Thursday, February 24, 2022

රේල්ලුවේ මරු දවසක්..

කට්ටිය තුන් වෙනි ලෝක යුද්ධේ ගැන සෑහෙන විශ්ලේෂණ කරනවා දැක්කා මේ ටිකේ. ලෝකේ යුද්ධ තිබ්බ ට අපි මොනවා කරන්නත් කාලා ඇඳලා ඉන්න එපාය. ආන්න ඒ නිසා ඊට අදාළ වැඩක ට මම අද මංගැච්චුවා කොලොම්පුරේ ට. ගියේ/ ආවේ ඉන්ද්‍රසිරි එකේ. ඔන්න ඔය ගමනේ දැකපු දේවල් ටිකක් තමා මේ ලියා තියන්ට යන්නේ. 

කොළඹ කොටුව බලා ධාවනය වන එකම පිරිමි නමක් සහිත දුම්රිය - ඉන්ද්‍රසිරි සීඝ්‍රගාමී දුම්රිය..

        උදේ පහල ට ගිය ගමන නම් ලොකු විශේෂයක් නෑ. ඇල්මැරුණු වේගෙන් ඉන්ටර්සිටිය ගියේ. ඇයි ඉතිං ලොකුවට ස්පීඩ් යන්න දුන්නේ ම නෑ සිග්නල් ටික. අවුලක් නෑ වෙලාව ට වගේ ගියා හැබැයි. 

      

ගොල්ෆ් පිට්ටනිය හරහා යන කැළණි වැලි මාර්ගය..
 

        ගිය වැඩේ කොටසක් ඉවර කරගෙන, හම්බෙන්න ගිය අයත් හම්බෙලා, ඔන්න ආවා ආපහු එන්න උඩහ ට එන ඉන්ටර්සිටිය ට. මෙතනින් තමා කතා ටික පටන් ගන්නේ.

අංක - 1

        අර අලුතින් තන්ත්‍රී එකෙන් අලුත්වැඩියා කරලා දාපු මැදිරි වල සීට් තියල තියන්නේ එක්කෝ බීලා, නැත්තම් අමනුස්සයෙක්.

        කොනේ සීට් එකේ එක්කෙනා ට සීට් එක ට හෝ එලියට යන්න වෙන හැම වෙලේ ම මැද සීට් එකේ (වෝක් වේ එක පැත්තේ) එක්කෙනා නැගිටින්න ඕනේ. කකුල් තියාගන්න ඉඩ ත් මදි. ඉස්සරහ එක්කෙනා සීට් එක නැමුවොත් (රික්ලයින් කරොත්) පස්සේ එක්කෙනා ගේ ඔලෙක්කේ.

        ඒවායේ ජනෙල් ඊට එහා. ලොක් එක මදි ජනේලේ ඇරලා තියාගන්න. දුවනකොට ගැස්සෙද්දී වැටෙනවා ග්ලාස් එක. ඒක ඇරෙන්නෙත් බාගෙට. ඒවයෙන් එලිය බලන්න බෙල්ල ගලවල අතට ගන්න ඕනේ.

        හොඳ ම කතාව මේක නෙවෙයි. හැම දෙවෙනි පන්තියේ පෙට්ටියකම සීට් 8ක් තියනවා හරියට ම ජනෙල් දෙකක් අතර තියන ලෑල්ල ට සෙට් කරපු. මෙතැන හම්බෙන එකා හිරේ දැම්මා වගේ තමා යන්න ඕනේ. නිකම් ගුඩ්ස් වැගන් එකක යනවා වගේ.

        අද ආපහු එනින් ගමන් මට මේ වගේ කොනක් සෙට් වෙලා, හිස් තිබ්බ සීට් එකක ට මාරු උනා මම. TTE ඇවිත් කියපි “මහත්තය ගේ සීට් එකේ ම යන්න ඕනේ, මාරු වෙන්න ආපහු” කියල. මම අපහසුතාවය කිව්වම එයා කිව්වා “ඕවා ගානට මැනලා කරලා හදල තියන්නේ” කියල. මරුවට මැනලා තියනවා හැබැයි. 

       

තන්ත්‍රී මැදිරි එක්ක කඩුගන්නාව නැග්මේ හමුවෙන "සෙන්සේෂනල් රොක්" නමැති ස්ථානය පසු කරන මහනුවර නගරාන්තරය. අද උඩට සහ පහළ ට දෙකට ම තිබ්බේ මැඩම් 9 පන්තියේ අංක 867.

අංක - 2

        පොල්ගහවෙල ලං කරලා මට අර හුණ්ඩුවේ හිර වෙලා ඇකිලිලා ගිහිං ඇති උනා. මම ගියා ෆුට් බෝඩ් එකක ට හුළං ටිකක් වත් වදින්න කියල. මම දැන් පියාඹන වේගෙන් යන ඉන්ටර්සිටි එකේ ෆුට් බෝඩ් එකක ටිකක් ඇතුළට වෙන්න හිටගෙන යනවා (මේකේ නම් එල්ලිලා යන්න එපා විසි උනොත් දවස් දෙක තුනක් යයි වැටෙන්න).

        පොල්ගහවෙල පන්නලා ට්‍රැක් දෙකේ ම තියනවා පොඩි පාළමක්. මෙතන කට්ටියක් හිටගෙන හිටියා (මම හිතන්නේ පවුලක්). ඉස්සරහ තියන තර්ඩ් ක්ලාස් පෙට්ටි දෙකෙන් එකක ගිය හාල්පාරුවෙක් (මීට වඩා දරුණු වචන හරි නම් පාවිච්චි කරන්න ඕනේ) “තර්ඩ් ක්ලාස්” වැඩක් කරා.

        අර බිම හිටිය මනුස්සයා එන්ජිම පාස් වෙද්දී ම ඒ ගිය පැත්ත ට හැරුනා. අර පෙට්ටියේ හිටිය )(&#)(@& මොකක් හරි අතේ තිබ්බ ලොකු සුදු පාට ගුලියකින් ගැහුවා අර බිම හිටිය මනුස්සය ට! ඔලුව පිටිපස්ස ට වැදුන ඒ පාරට අනිවාර්යයෙන් ඔලුව තුවාල වෙන්න ඇති. මම දැක්කා ඔලුව අල්ලාගෙන ආපහු හැරෙනවා.

        මම එතන හිටිය TTE ට කිව්වා මෙහෙම එකක් උනා කියල. මම හිතන්නේ ඉස්සරහ හිටිය Under- Guard දැක්කා. මම වොච් ග්ලාස් එක හරහා දැක්කා එයා නැගිටලා යනවා. කොහොම හරි මම පේරාදෙණියේ දී අහනකොට කිව්වා හොයාගන්න බැරි උනා කියල.

මේ වගේ කාලකණ්නින්ට වෙඩි තියල දාන්න ඕනේ මම නම් කියන්නේ.

අංක - 3

        කොළඹ ගියා කියල මට හරියට දවල් ට (උදේටත් ඉතිං පාන්දර කාලා ගිය පාර) කන්න හම්බුනේ නැහැ. කෝච්චිය පොල්ගහවෙල ට එන්නත් කලින් බඩේ ඉන්න යකා කෑම ඉල්ල ඉල්ලා හිටියේ. තව සල්ලි වගයක් බැංකුගත කරන්නත් තිබ්බා. අපේ පැත්තේ CDM නෑ. ඉතිං ඉන්ටර්සිටිය වෙලාවටත් කලින් නුවරට යන තත්වයක් තිබ්බ නිසා මම තීරණය කරා නුවරට ම ගිහිං කාලා ඔය අනික් වැඩත් කරන් එමු කියල.

        ගිහිං ඉතින් කාලා, සල්ලිත් දාලා, වටයක් කැරකිලා ඇවිත් 7.10 අල්ලගත්තා නුවරින්. එන්ජිම තිබ්බේ W3 – 673. සාමාන්‍යයෙන් හොඳ එන්ජිමක් (මගේ අත්දැකීම් හැටියට). 

       

නාවලපිටිය බලා පිටත් වීම ට සූදානමින් සිටින W3- අංක 673..

        අතුරු කතාවක් - ඔය කෝච්චියේ වාඩි වෙලා ඉන්න ටික ට දෙන්නෙක් කකුල් සීට් උඩ තියාගත්තා දැක්කා මම. සෙරෙප්පු ගලවලා උනත් මම කිව්වා “සීට් උඩ කකුල් තියන එක හරි නැහැ නේ ද” කියල. ඒ දෙන්න ම කකුල් බිම ට දැම්මා. මොන ජාතිය ට හැදිච්ච මිනිස්සු ද මම දන්නේ නෑ ඒ නම්..

        මහනුවර - පේරාදෙණිය රන් එක සුපුරුදු විදියට නෑ කියල මගදී ම තේරුනා. පේරාදෙණියට ගිහිං නැවැත්තුවා විතරයි හබක් ගාලා ෂට් ඩවුන්! මේ වෙලාවේ නම් මම හිතුවා ෂුවර් ඩීසල් කේස් එකක් තමා කියල.

        කොහොම හරි කාර්යය මණ්ඩලය ඒක නම් ආපහු ස්ටාට් කරලා ගත්තා. මම පැත්තක ට වෙලා බලාගෙන හිටියා. මට තියන සුළු කාර්මික දැනුම අනුව මම හිතන්නේ ෆුවල් රැක් එක ඇජස්ට් කරන්න වේවි ඒ එන්ජිමේ. මේ එන්ජින් දැන් පරණයි (අවුරුදු 25ක් මේ අවුරුද්දට). මේවා සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන්න ඕනේ මගේ නම් අදහස.

        හැබැයි මේ වැඩේ නිසා කෝච්චිය ප්‍රමාද උනේ නැහැ මොකද ඒ වෙද්දීත් සෙංකඩගල මැණිකේ ඇවිත් නොතිබ්බ නිසා.

අංක - 4

        මේක තමා මරු ම කොටස. එන්ජිම ඊළඟ ට තියන කොස් හින්න හෝල්ට් එකේ නැවැත්තුවා විතරයි කොහේදෝ තිබ්බ ජෑම් ගහක ලොකු අත්තම කඩාගෙන එන්ජිමයි පළවෙනි පෙට්ටියයි අතර ට වැටිච්චි! ඒ අස්සේ ආපහු එන්ජිම ෂට් ඩවුන්.

        මේ වෙලාවේ ඔය පළාතට ම පවර් එක නෑ! ඉටි පන්දම් ව්‍යාපාරිකයන්ගේ සුබසිද්ධිය තකා විදුලි බලය අත්හිටුවලා!

        දැන් කොහොම හරි යන්නත් එපැයි.. කාර්යය මණ්ඩලය එක්කත් කතා කරලා, හෝල්ට් එක බාර ව හිටිය අයිය යි, අපි කතා වුනා පිහි දෙක තුනක් හොයාගෙන ගහ කපමු කියල.

        ඔය හරියේ ඉන්නවා ප්‍රමුදි කියල අපේ දහම් පාසලේ මගෙන් ඉගෙනගන්න ළමයෙක්. ගත්තා කෝල් එකක්- ඉල්ලගත්තා වක් පිහියක් (අනික් පැති වල ඕක ට මන්නේ කියලත් කියනවා). ස්ටේෂන් එකේ අයියත් පිහියක් අරං ආවා.

        කට්ට කළුවරේ කට්ටිය ෆෝන්, ටෝච් ගහගෙන ගහ කප කපා අතු ඇදලා දැම්මා. අපරාදේ කියන්න බෑ ගහ කපන්න මහන්සි උනේ උප නියාමක මහත්මයා සහ දුම්රිය ස්ථානය බාර ව හිටිය අයියා (මේ දෙන්න ගේ නම් දෙක නම් අහගන්න බැරි උනා). 

       

කොස් හින්නේ මහා ගස් කැපීමේ ශ්‍රමදානය.. 

        වෙනදා නම් වටේ ට එකතු වෙන අය කරන්නේ වැඩ වලටත් බාදා වෙන විදියට ෆොටෝ අල්ලන එක උනාට, මේ වෙලාවේ නම් හැමෝම ලයිට් එකක් ගහල හරි සපෝට් එක දුන්නා.

        කොහොමෙන් කොහොම හරි, ගසුත් කපාගෙන, එන්ජිමත් හදාගෙන, දුම්රිය ආය පිටත් උනා. මම හිතන්නේ එතැනින් එහාට කරදරයක් නැතුව යන්න ඇති.

        ඔන්න ඔහොමයි ළමයි ඉතිං අද දවස ගෙවුනේ. මම හිතනවා අර පොල්ගහවෙල මනුස්සය ට වැඩිය අමාරුවක් නැහැ කියල. ඒ වගේ ම අංක 673 ට කිසි ප්‍රශ්නයක් නැතුව ඇති කියල. 

       

ආපහු එද්දී පැත්ත පළාතට ම පවර් නෑ. ඔය එක තැනක දෙකක ජෙනරේටර් දාලා තිබ්බා. මේ එකක්. අනික් වටේ ම කට්ට කළුවරයි. හොල්මං එහෙම කී දෙනෙක් පහු උනා ද දන්නේ නෑ. 

(මුලින්ම ෆේස්බුක් එක ට ලියපු සටහනක්. ඒත් බ්ලොග් එකකුත් තියන එකේ වැඩිපුර ෆොටෝ ටිකකුත් එක්ක මෙතනට ත් දාලා තියන්නම් කියල හිතුවා.)