Showing posts with label එක එක දේවල්... Show all posts
Showing posts with label එක එක දේවල්... Show all posts

Sunday, July 6, 2025

පරිගණක මතක සටහන්..

මේ ටිකේ තම තමන් කම්පියුටර්, ෆෝන් පාවිච්චි කරන්න ගත්ත හැටි ගැන ලියවුන සටහන් කීපයක්ම දැක්කා මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන්.. මම කලිං මගෙ ෆෝන් කතාව ගැන බ්ලොග් එකටම ලියල තිබ්බට, කම්පියුටර් ගැන එහෙම ලියන්න උනේ නෑ..

අද හවස් අතේ, කාලෙකට කලිං ලිව්ව වාර්තාවක් හොයන්න මං පරණ හාඩ් එකක් ඇද්දා. ඒක හොයාගෙන යද්දි මට හම්බුනා පරණ ෆොටෝ එකක්. ඒකත් එක්ක, පොඩි කතාවක් ලියල තියන්න හිතුනා.

මං මුලින්ම කම්පියුටර් එකක් කියල එකක් අටවගනිද්දි, මං ඒ ලෙවල් පළවෙනි අවුරුද්දෙ (2010). ඒ දවස් වල අප්පච්චිගෙ යාලුවෙක් අතෑරල දාපු කම්පියුටර් එකක කෑලි ටිකක් මෙහෙ තිබ්බා. ඒකෙ තිබ්බ කෑලි වලිං ගන්න පුලුවන් තත්වෙක තිබ්බෙ මොනිටර් එකයි මවුස් එකයි, සීඩී රොම් එකයි විතරයි.

ඔය දවස් වල මං සුලු සුලුවෙන් එක එක තැන් වල කම්පියුටර් වල, ෆෝන් වල දෝෂ සමනය කරන්න පටං අරං තිබ්බා (තිබ්බ සුලු ඉලෙක්ට්‍රොනික්ස් දැනුමයි, කර කර හිටිය කම්පියුටර් හාඩ්වෙයා කෝස් එකේ දැනුමයි යූස් කරල).

මේකෙදි අතෑරල දාපු කෑලි, එතකොට සුලු සුලු ගණං වලට නුවර පුරා ඇවිදල එකතු කරගත්ත පාවිච්චි කරපු කම්පියුටර් කෑලි අනංමනං එකතු කරල තමයි පළවෙනි කම්පියුටර් එක අටවගන්නෙ. ඔය දවස් වල නුවර ටවුන් එකේ ත්‍රිකුණාමල වීදියෙන් පටන් ගත්තම, උඩ පාරේ යොවුන් එක ගාව ඉඳන් දොඩම්වල හන්දියට එනකල්, ඊට පස්සේ ගුඩ් ෂෙඩ් එක ගාව තිබ්බ කම්පියුටර් පාට්ස් කඩවල් ඔක්කොගෙම කට්ටිය මාව දන්නවා. ඒ සමහර කඩවල් වල තිබ්බ පාට්ස්, එයාලගේ සිස්ටම් එක, මුදලාලිටත් වඩා මම දන්නවා..

 මේකෙ මුල්ම ස්පෙක්ස් මෙහෙමයි-

ප්‍රොසෙසර් එක - පෙන්ටියම් 4 , LGA 775 socket -  2.8GHz

රැම් මතකය - 256MB + 512MB (DDR1)  

හාඩ් ඩිස්ක් එක -  80GB (IDE)

ඔප්ටිකල් ඩ්‍රයිව් එක - 48x CD ROM                             

මදර්බෝඩ් එක - Dell Optiplex 280.

මවුස්/කී බෝඩ් - පරණ එකෙන් ගත්ත PS/2  Ball Mouse + Keyboard

ස්පීකර් - නොකියා 2730c එකේ ඉයර්ෆෝන් එක

මොනිටර් - පුපුර පුපුර වැඩ කරපු පරණ එකේ CRT මොනිටරේ.

UPS - උඩ ගෙදර අයියගේ කම්පියුටර් එකේ යුස් කරලා මෙහෙ තියල තිබ්බ 2003 එකක්.   

මදර්බෝඩ් එකත් එක්ක කොටස් ටිකේ සමීප ජායාරූපයක්.. ඔය හාඩ් එක අර අප්පච්චිගේ යාළුවගේ එකේ තිබ්බ එකක්. 

මේකෙ දුවවපු OS එක වින්ඩෝස් Xp සර්විස් පැක් 2. පස්සෙ අර විජය පරිගණක ටික බලාගෙන, ඒ එක්කම වින්ඩෝස් 98 ඩුවල් බූට් කරා. මේකට තව OS එකක් හම්බුනා SLITAS කියල ලිනක්ස් එකක්. MB30 ක OS එකක්. පෙන් එකකින් බූට් කරන්න පුළුවන්. හැබැයි දාන්න හදපු දෙපාරම එරර් එකක් ඇවිත් මගින් නවතිනවා. තාම පෙන් එකේ ISO එක තියනවා.

මේක ඉතිං අර පරණ එකේ කේසිං එකට දාන්න බැරි නිසා (ඩෙල් ඔප්ටිප්ලෙක්ස් බෝඩ් ස්ටෑන්ඩර්ඩ් AT/ ATX කේසිං වලට තියන්න බෑ) මේසෙ උඩ මේ විදිහට තමයි තියල තිබ්බෙ. පවර් ස්විච් එක වෙනුවට ඒ පින් දෙක නියනකින් ෂෝට් කරල තමයි ඔන් කරන්නෙ. මේකෙන් හැබැයි සෑහෙන්න යමක් ඉගෙනගත්තා හාඩ්වෙයා පැත්තෙන්.

මේකෙ තිබ්බ සොෆ්ට්වෙයා ගත්තම, ඔෆිස් 2007, Winamp, නීරෝ, ජෙට් ඕඩියෝ, VLC ප්ලේයර්, අවාස්ට් ඇන්ටිවයිරස්, ෆයර්ෆොක්ස් වගේ කීපයක් තිබ්බා. ඒ දවස් වල මං ඩිස්ක් එකක් තියං හිටියා සොෆ්ට්වෙයා දාලා දෙන්න එහෙම ඉල්ලන අයට. එතකොට මම කරන්නේ ඔය ඩිස්ක් එක එක්ක Xp ඩිස්ක් එක අරං ගිහිං සිස්ටම් දාලා, සොෆ්ට්වෙයා ටිකත් දාලා දීලා එනවා. (නෙට් එකෙන් සොෆ්ට්වෙයා බාන වැඩේ තවම ලොකුවට ඇවිත් තිබ්බෙ නෑ). මේ කාලේ අලුත්ම වින්ඩෝස් එක තිබ්බේ විස්ටා. ඒක එච්චර හොඳ ප්‍රතිචාර තිබ්බ එකක් නොවෙන නිසා, ගොඩක් අය Xp ම යූස් කරා. 2010 අග වගේ තමා වින්ඩෝස් 7 මෙහෙ කම්පියුටර් වලට එන්න ගත්තේ.

මේක නිකංම එළියෙ තිබ්බ නිසා හාඩ්වෙයා දෝෂ සෑහෙන්න එනවා. දූවිලි අනංමනං එක්ක. මේ කාලෙ අපෙ ගෙදරත් හදන ගමන් තිබ්බෙ. එතකොට ඒවත් බලපෑවා. එක්කො රැම් බුරුල් වෙනවා, මදර්බෝඩ් එක උඩ දූවිලි රැඳෙනවා අනංමනං. එහෙම උනාම ඉතිං මදර් බෝඩ් එක එලියට අරං ගිහින්, ෆෑන් එකේ ඉඳන් ගලවලා සුද්ද කරලා, CMOS බැටරි ඒකත් ගලවලා ආය දාලා සෙට් කරාම On වෙනවා.

මේ කාලෙ අපෙ ගෙදර වයරිං එකේ Earth නෑ. ඉතිං කොහෙ හරි ලෝහ කෑල්ලක අත පය ගෑවුනාම ආය නෑ වදිනවා දුං විසික් වෙන්නම කරන්ට්.. කොටිංම මේකෙන් වැඩක් කරගන්න එක බෝම්බයක් නිශ්ක්‍රිය කරන තරමෙ වැඩක්. ඒ එක්කම, අටවපු කෑලි වීම නිසාම එන දෝෂත් තිබ්බා. එක දවසක් නිවාඩු දවසක මේක On කරාම කියනවා “Operating System not found” කියල. කාලා වරෙන්කො ඉතින්.. 

මේ තියන්නේ මම අටවපු මුල්ම කම්පියුටර් එක 2012 දි ගත්ත ෆොටෝ එකක්. ඔය පෙන්නලා තියන හාඩ් එක 15GB එකක්. ඒ කාලේ යූස් කරපු නොකියා 2730C එකත් තියනවා ළඟ. ඒ කාලේ ආපු තරම නෙට් ආවේ ඔය ෆෝන් එකෙන්. ෆොටෝ එක ගත්තේ Nokia 6220c එකෙන්. 

 මේකෙන් හැබැයි, අප්පච්චිගෙ ලියුම් ටයිප් කරල දෙන එක, මගෙ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකේ මුල් අදියරේ වැඩ ටික කරන එක, වින්ඩෝස් වල අහුමුලු වල තිබ්බ දේවල් ඉගෙනගන්න එක, ගේම් ගහන එක වගේ ගොඩක් දේවල් කරගත්තා. නුවර නබීෂා කම්ප්ලේක්ස් එකේ යටම තට්ටුවේ තිබ්බා ගේම්/ සොෆ්ට්වෙයා විකුණන කඩයක්. තාම තියනවා මම හිතන්නේ. ඔතනින් අරන් එන ඒවා මුලින්ම ටෙස්ට් කරෙත් මේකේ. මීට අමතරව ඔය කෝස් එකේ කියපු, පත්තර වල ගිය ආටිකල් වල තිබ්බ දේවල් අත්හදා බලන්නත් මේක යූස් කරා. ඕවර් ක්ලොක් කරන්න ට්‍රයි කරෙත් මේකෙන් තමයි. මේ කාලෙ ප්‍රොසෙසර් වල තර්මල් ත්‍රොට්ලිං කියල එකක් නෑ. ඕවර්හීට් උනොත් ප්‍රොසෙසරේ ලෙප්ට්..

ඕක ඔහොම 2016 වගේ වෙනකල් අපෙ දිහා තිබ්බා. පස්සෙ මගෙ යාලුවෙක් බෝඩ් එක අරගත්තා. ඒ අතර ඉතිං මේකෙ රැම්, ප්‍රොසෙසර් අප්ග්‍රේඩ් උනා, ග්‍රැෆික්ස් කාඩ්, සවුන්ඩ් කාඩ් එකතු උනා, පවර් යුනිට් එක මාරු උනා (පුපුරලා), ඔප්ටිකල් ඩ්‍රයිව් එක DVD රයිටර් උනා, හාඩ් එක 160GB උනා.. අන්තිමට මොනිටර් එකකුත් දාගන්න පුලුවන් උනා.

ඔය අතරෙ 2011 අගට වෙන්න මට ලැප් එකක් හම්බුනා. ඒ කියලත් ඔය අරහෙන් මෙහෙන් හම්බෙන ගේම්ස්, සොෆ්ට්වෙයා දුවවන්න, ෂුවර් නැති පෙන්, ඩිස්ක් අනංමනං ගහන්න ඕක තමයි යූස් කරේ. කොටින්ම ලැප් එක රිස්ක් කරගන්න බැරි දේවල් වලට මේක යූස් කරා.

අදටත් මේකෙන් ඉතුරු උන සමහර කෑලි මං ගාව තියනව. මේකට පස්සෙ හම්බුන ස්ටෑන්ඩර්ඩ් ATX බෝඩ් එකත් එක්ක පරණ රෙට්‍රොපීසී එකක් ගෙදර තියං ඉන්නව හද්දා පරණ ගේම්ස් එහෙම දුවවන්න. දැන් තියන ලැප් එකේ හොඳ ස්පෙක්ස් තිබ්බත්, NFS2, Desert Storm වගේ මම පොඩි කාලෙ ගහපු ගේම්ස් එහෙම කාලෙකට සැරයක් හරි සෙල්ලම් කරන්න, අතිධාවනකාරී වර්තමානයෙන් පොඩ්ඩකට හරි මිදිල, පරණ කාලෙට එස්කේප් වෙන්න ඒක හොඳ ක්‍රමයක්..

මෙතැනදී, මම විශේෂෙන් මතක් කරන්න ඕනේ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔය කාලේ FB අනංමනං නෑ නේ. ඉතින් මට කම්පියුටර් ගැන උපදෙස්, මගපෙන්වීම් දුන්නේ මගේ කසින් කෙනෙක් වෙන පුලතිසි අයියා, එරංග අයියා, තව මාත් එක්ක ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට බැහැල හිටිය දහම්පාසලේ යාලුවා විරාන්, ගෙවල් ළඟ අකිල අයියා, තව කෝච්චි සෙට් එකේ අකිල අයියා, මෙන්ඩිස් අයියා, ගයාන් අයියා එහෙම තමා අහන අහන ප්‍රශ්න වලට උත්තරයි, තව සොෆ්ට්වෙයා එහෙමයි ගෙනත් දුන්නේ/ කියල දුන්නේ. ඊළඟට ඔය කාලේ ඉස්කෝලේ අපිට GIT උගන්නපු මායා කරුණාතිලක ටීචර්. මොකද, මේ බෝඩ් එක තිබ්බ තත්වේ එක්ක හැම සතියකම මොකක් හරි දෝෂයක්. සොෆ්ට්වෙයා පැත්තේ එකක් නම් අහන්නෙම ඔය ටීචර්ගෙන්.

ප.ලි - ෆේස්බුක් එකට දාන්න මේක මුලින් ලිව්වේ. ඒකට දාන්න පුළුවන් තරමට වඩා දිග උන නිසා, තව විස්තර ටිකක් එක්කම, බ්ලොග් එකට දැම්මා.

Sunday, May 25, 2025

දු.ක විමසුමක්..

 

 Nokia S30, Nokia S60, Android 9, iOS 16

          මම මුලින්ම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්ත කාලේ තිබ්බ ඒවා ඇත්තටම “ෆෝන්” විතරයි. ඉන්ටර්නෙට්, වයර්ලස් චාජිං, රෙටිනා ඩිස්ප්ලේ අනංමනං තියා හරි හමං කැමරා එකක් වත් තිබ්බේ නැහැ. හැබැයි ඉතිං “සන්නිවේදනය” කියන මූලික අරමුණ නම් උපරිමයෙන් තිබ්බා. මම සෙල්ෆෝන් අතපත ගාන්න අරගෙන ගෙවුන දශක දෙක ඇතුලේ, මේ ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් දකින්න ලැබුනා.

          මම ෆෝන් පටන්ගත්තේ නොකියා වලින්. පළවෙනි OS එක (මෙහෙයුම් පද්ධතිය) Nokia Series 30, එහෙමත් නැත්තම් කෙටියෙන් S30 (දැන් එන S30+ එක නෙවෙයි). හරිම සරලයි. අවශ්‍ය වැඩ ඔක්කොම වගේ තිබ්බා. මෙනු එක එහෙම ඇස් වහගෙන උනත් යන්න පුළුවන්. තව ඉතින් ඕකේ තිබ්බා මරු මරු වැඩත් (අර ටෝන් කම්පෝසර් එක, පික්චර් මැසේජස් එහෙම).. මලාට ක්‍රෑෂ් වෙන්නේ නෑ. අප්ඩේට් ප්‍රශ්න නම් කවදාවත් නෑ. ෆෝන් එක ඔන් කරලා විනාඩියෙන් කෝල් එකක් ගන්න හැකි. හොඳම කතන්දරේ තමයි බැටරි එක. මම යුස් කරපු විදියට, එක පාරක් ෆුල් චාජ් කරාම සතියක් ඇද්ද හැකි. සිග්නල් උනත් හොඳම තත්වෙන් තිබ්බා. මේ ප්ලැට්ෆෝම් එකේ මම යූස් කරේ නොකියා 1200. 




Nokia 1200 (මගේම වූ පළවෙනිම දුරකථනය.. තවම වැඩ)

          ඊළඟට මට හොඳටම සෙට් උන OS එක තමා Nokia Symbian Series 60, එහෙමත් නැත්තම් S60. ජාවා පාදක මෙහෙයුම් පද්ධතියක් උන මේක ඉතාම හොඳ, කාලයක් ලෝකේ ප්‍රසිද්ධම මෙහෙයුම් පද්ධතියක්. මේකේ විශේෂත්වය තමයි, ඉතාම අඩු බලයක හාඩ්වෙයා එක්ක උනත් බොහොම හොඳට දුවන්න පුළුවන් උන එක. GB ගණන් RAM අහල වත් තිබ්බේ නෑ ඒ කාලේ ෆෝන් වල. මෙගාබයිට් 128ක වගේ RAM මෙමරි එක්ක, අද කාලේ ස්මාට්ෆෝන් වලින් කරන්න පුළුවන් වැඩ උනත් ඒ කාලේ හැටියට සාර්ථකව කරගන්න පුළුවන් තරම් මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රබලයි. ඒ වගේම, ගේම්ස්, ඇප්ලිකේෂන් එහෙම හොඳට තිබ්බා. ඩවුන්ලෝඩ් කරගන්න නෙට් ඕනේ උනාට, බහුතරයක් වැඩ කරන්න නෙට් ඕනේ උනේ නැහැ. ලේසියකට ක්‍රෑෂ් වෙන්නේ එහෙමත් නැති හොඳ, වැඩහිතකාමී මෙහෙයුම් පද්ධතියක්. මේ ප්ලැට්ෆෝම් එකේ මම යූස් කරා කීපයක්ම. වැඩියෙන්ම ඇල්ලුවේ නොකියා 6220c. 

Nokia 6220c (මගේ පළවෙනි "ස්මාට්" දුරකථනය.. මේකත් තවම වැඩ..)

 

          ඊට පස්සේ අපි ගොඩක් අයට සමීප OS එක උනේ Android. මම මේකෙන් ෆෝන් 3ක් පාවිච්චි කරා, ඒ වගේම කලින් ඒවා වගේ නෙවෙයි, මේකේ ළඟ ළඟ සංස්කරණ යාවත්කාලීන වෙන නිසා, එයින් කීපයක්මත් පාවිච්චි කරා. හැබැයි මුල් කාලේ මට ඔය මෙහෙයුම් පද්ධතිය ඇල්ලුවෙම නැහැ. අර කලින් දෙකේ තිබ්බ “ලේසිය, පහසුව සහ රිලයබිලිටි එකත් එක්ක ආපු සරල බව” නැති වීම කියන කතාව මට ටිකක් තදින් දැනුනා. ආපහු එකක් එක දිගට යූස් උනේ මේ ලඟදි, මට යාලුවෙක්ගෙන් හම්බවෙලා, රිපෙයාර් කරලා ගත්ත ෆෝන් එකක් නිසා. හැබැයි ඒ පාවිච්චි කරද්දී මට තේරෙන්න ගත්තා ඉස්සරට වඩා දැන් මේ OS එක සෑහෙන්න පොලිෂ් වෙලා කියලා. සංකීර්ණ බව නම් වැඩි වෙලා, හැබැයි කලින්ට වඩා මගේ විදියට හැඩගස්වගන්න පුළුවන් කියල මට තේරුනා. මෙතන මගේ අත්දැකීමට පාදක උනේ Android 9 සංස්කරණය උඩ දුවන නොකියා 8. 

Nokia 8 (මේක නම් මම ගත්ත එකක් නෙවෙයි, අක්‍රීය තත්වයෙන් මට ඇවිත්, දැන් ඉගෙනගන්න ගමන් පාවිච්චියේ)

 

          අන්තිමට, අද කාලේ තවත් ඉතාමත් ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධතියක් වෙන, iOS, එහෙමත් නැත්තම් Apple සමාගමේ iPhone වලට එන මෙහෙයුම් පද්ධතිය. මේකෙත් මම මුලින්ම පටන්ගනිද්දී තිබ්බේ 9 සංස්කරණය. එතන ඉඳන් මම දැන් මේ යූස් කරන 16 වෙනකල් හැම එකක්ම වගේ මම හොඳටම පාවිච්චි කරා. කලින් දෙක වගේ නෙවෙයි, මේක ක්ලෝස්ඩ් සෝස් (ඒ කියන්නේ මුල් කේත සටහන නිදහස් නැහැ). ඒ වගේම, මේ OS එකට ෆෝන් හදන්නේ ඇපල් එක විතරයි. එක අතකට ඒ නිසා වැඩ කරන්න සෑහෙන ලේසි, මොකද හාඩ්වෙයා හදලා තියන්නේ මේකට ගැලපෙන්න නිසා. මේකෙත් රිසෝසස් පාවිච්චිය ඉතාම හොඳයි. 128GB වලින් 1GB වලටත් අඩුවෙන් ෆ්‍රී තියද්දීත් සෑහෙන තරමක වේගයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, විශ්වාසී, ආරක්ෂාකාරී මෙහෙයුම් පද්ධතියක්. මේකෙත් මම ෆෝන් කීපයක්ම පාවිච්චි කරා. මෙතන දාලා තියන්නේ අයිෆෝන් SE2. 

Apple iPhone SE2 (අන්තිමටම ගත්ත දුරකථනය. දැන් දුවන්නේ මේක)

 

මම මෙතන මේ හතරෙන් හොඳම OS එක මොකද්ද කියලා නෙවෙයි කියන්න උත්සාහ කරේ. මට වඩාත්ම ගැලපුනේ, පහසු උනේ මොකද්ද, මගේ අත්දැකීම මොකද්ද කියන එක. අපි හැමෝම ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන්නේ එක එක දේවල්. ඒ නිසා, එක්කෙනෙක්ට හරියන OS එක තව කෙනෙක්ට හරි නොයන්න පුළුවන්.

මම උනත් ඔය අතරට Windows phone, Series 30+, Series 40 වගේ අනික් OS එහෙමත් විටින් විට පාවිච්චි කරා. හැබැයි මට අදටත් හොඳටම ගැලපුනා සහ ගැලපෙනවා කියල මට තේරෙන්නේ නොකියා S60 ෆෝන් එක. කාලයට අනුව iPhone එකක් මම පාවිච්චි කරනවා ලොකු ගැටළුවක් නැතුව. හැබැයි දැන් තියන එකෙන් පස්සේ iPhone පරිණාමය උන දිශානතිය (සහ ගණන්) එක්ක බැලුවම, බොහෝ දුරට මගේ ඊළඟ තේරීම Android එකක් වෙන්න ඉඩ සෑහෙන්න තියනවා.

ප.ලි - මා සතු වූ තෙලබණු මැයෙන් කලෙකට පෙර ලියැවුණු සටහනකට මෙතැනින් පිවිසිය හැකියැ..

Sunday, April 13, 2025

අවුරුදු සමරුව..

කොහොමද ළමයි!!

කිසිම විවේකයක් නැතුව ගෙවුන මාස 4කට වගේ පස්සේ ඔන්න දවස් කිහිපයක ඉස්පාසුවක් හම්බුනා. එච්චර මොනාද තිබ්බ වැඩ කියලා මම කොහොමත් අවුරුද්ද අග රිවීව් එකක ලියනවා නේ. එතකොට ම කියන්නම්.. කලින් ගිය හයික් එකෙන් පස්සේ, ඒ අවුරුද්දේ රිවීව් එකට පස්සේ, මේ ලියන්නේ කෙලින්ම අවුරුද්දට. එතකොට ඉතින් තත්වේ හිතාගන්න.. 

හැක්ටර් බ්ලොග් අඩවියෙන් අඟහරු ලෝකය වෙත තිළිණයක්! මේ සෙට් එකට වගේම,  මට පරෙස්සමෙන් ලැබෙන්න සලස්වපු තට්ට්යාගේ කොළම බ්ලොග් කතු තුමාටත් බෙහෙවින් ස්තුතියි! 

මේ අවුරුද්ද කොච්චර ශෝක් ද කියනවා නම්, අවුරුදු නිවාඩුව මේ පාර හම්බුනේ අප්‍රේල් 11 වෙනිදා. අලුත් අවුරුදු 14. එකොළොස් වෙනිදා වෙනකල් ම එක දිගට ඉස්කෝලේ වැඩ. අවුරුදු ඉවරලා දළදා ප්‍රදර්ශනයක් තියන්න ලෑස්තියි අප්‍රේල් 28 වෙනකල්. ඒ වෙනකල් නුවර ඉස්කෝල වලට නිවාඩු. නැත්තම් අපිට අවුරුදු නිවාඩුවක් වත් නැති වෙන තත්වයක් තිබ්බේ..

ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ ඔය 2005 එහෙම නම් අවුරුදු නිවාඩුව මාසයක් වගේ ඇදෙනවා. රජයේ ඉස්කෝල වල උනත් සති තුනක් දෙනවා අඩුම. ඒ කාලේ හෝඩියේ පන්තියටත් ටියුෂන් දාලා, ඒවයෙත් පැය 8 – 10 එක දිගට ගෙන්නාගෙන, පේපර් ක්ලාස් අර ක්ලාස් මේ ක්ලාස් කිය කියා මරවන කතා නොතිබ්බ නිසා, ළමයින්ට සෑහෙන්න නිදහසක් හම්බුනා. අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර් මාස තුනම වගේ නිවාඩු (මම කිව්වේ ඇත්තටම නිවාඩු) නිසා, ටොන් ගාණක් බර සිලබස් එකක පීඩනය ඇත්තටම ලොකුවට දැනුනේ නැහැ. ඒ කාලේ ඩිප්‍රෙෂන් හැදිච්ච ළමයි, සිලබස් පීඩනය වැඩි වෙලා එල්ලිලා මැරෙන ළමයි නොහිටියේ ඒකයි.

මාර්තු අග වාර විභාගයත් ලොකුවට යන්නේ නැහැ, මොකද පළවෙනි වාරේ අමතර වැඩ වැඩි නිසා. බොහෝ විට ප්‍රධාන විෂයය විතරයි ඒකට අහන්නේ. ඕකේ රිපෝට් එක ගෙදර අරන් ආවට ඉතින් ඕක ගෙදරට පෙන්නන්නේ ගොඩක් වෙලාවට ඉස්කෝලේ පටන් ගන්න දවසට කලින් දා රෑ තමා. නැත්තම් පටන් ගත්ත පළවෙනි දවසේ හවස..

2005 කියන්නේ මම 7 වසරේ. ඒ නිවාඩු කාල ඉතින් උදේ කාලා එලියට බැස්සම අපිව හොයන්න පොලිස් විශේෂ කාර්යය බළකායෙන් දැම්මත් බැරි තත්වයක් තමයි තිබ්බේ (නෑ ඒ කාලේ අපි ගාව සෙල්ෆෝන් කියල තිබ්බේ නෑ). උදේම එක ගෙදරකට සෙට් වෙලා තමයි තීරණය කරන්නේ එදා දවසේ මොකද කරන්නේ කියල.

ගොඩක් වෙලාවට කරන්නේ පාරක හරි මෙහෙ පස්සහ මිදුලට හරි සෙට් වෙලා ක්‍රිකට් ගහන එක. එහෙමත් නැත්තම් සෑහෙන ඒරියා එකක් කවර් වෙන්න තිබ්බ පිහිල්ල පාරේ කැලේ හැංගිමුත්තම් කරන එක. මේක නම් ඉතින් හොයන්න ලේසි නෑ. ගස් උඩ, බිම, පඳුරු අස්සේ ඔක්කොම හොයන්න ඕනේ. එක පාරක් හැංගුනාම විනාඩි 15ක් වත් යනවා හොයන්න. ඕක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා, බිම ටින් එකකට ගල් ටිකක් දාලා රවුමක් මැද්දේ තියලා තියනවා. හැංගිලා ඉන්න අය ටික ටික කිට්ටු කරලා කෙනෙක් ඕකට පයින් එකක් ගහපු ගමන් ආපහු ගේම් එක රීසෙට් වෙනවා. 

එදා පිහිල්ල පාර අද.. ඔය ලයිට් කණුව කෙලින් එහා පැත්තේ පිහිල්ලක් තිබ්බා. පාර පළල් කරද්දී එක ඉවරයි..

කැලේ තිබ්බා කජු, හිඹුටු, දං එහෙම. තව කොකෝවා, කුරුම්බා, අඹ එහෙමත් හම්බෙනවා. ගෙදරක නම් ඉන්නේ එහෙනුත් ඔය මොන මොනා හරි හම්බෙනවා ආමාශගත කරගන්න. ඒ නැතත්, ළඟ කඩයක් තිබ්බා එකෙන් 5 බයිට් පැකට් එකක් හරි රුපියලේ, රුපියල් දෙකේ, රුපියල් 5 අයිස් (නෑ නෑ මත්ද්‍රව්‍ය නෙවේ) පැකට් එකක් දෙකක් ගත්තම ඉතින් දවල් කෑම වෙනකල් ඇති.

ඒ දවස් වල රතිඤ්ඤා, අහස්කූරු එහෙමත් දැනට සාපේක්ෂව සෑහෙන්න ගණන් අඩුයි. ඕවා අරං ඇවිත් පොල් කටු, ටින් එහෙම අස්සට දාලා පත්තු කරනවා. පිහිල්ල පාර තිබ්බේ වෙළ අද්දර. ඒ නිසා ගෙවල් වලට වත් කොහේටවත් වදින්නේ නැතුව, අපිත් පරෙස්සම් වෙලා ඕවා කරන්න පුළුවන්. රතිඤ්ඤා එහෙම ටයිම් කරලා පුපුරවන්න, ෆියුස් එක ඩිලේ කරන්න ක්‍රම අපි ගාව තිබ්බා. ඒ නිසා අතේ පුපුරන ප්‍රශ්න අපිට තිබ්බෙම නෑ. 

මෙන්න දැන් තියන රතිඤ්ඤා... නූල අඟලක් වත් නෑ..

දැන් ළමයි (අවුරුදු 20ක් කියන්නේ ඉතින් සෑහෙන කාලයක්, ඒක පිළිගන්න වෙනවා) සෑහෙන්න වෙනස් ඒ අතින්. එයාලගේ ලෝකේ තියන්නේ ෆෝන්, කම්පියුටර්, ටැබ්ලට් අස්සේ. මුන් අවුරුදු උත්සව තියන්නෙත් ඔන්ලයින්. යුද්ධ කරන්නෙත් ඔන්ලයින්. සැබෑ ජීවිතේ සෙට් උනොත් එකෙක් හරි කුඩු ගහනවා, නැත්තම් තූල් තියනවා. ඉතින් සෙට් වෙන්නත් බයයි. වැඩි හරියක් හිතාගෙන ඉන්නේ උන් පාතාලේ කියල. වරදක් කියන්න බෑ ඉතින්, මොකද ඒ ළමයි. එයාලව ඒ තත්වෙට පත් කරන්න වැඩිහිටියෝ සෑහෙන තරමකින් දායක වෙලා තියනවා. 

මේ තියන්නේ අද ළමයින්ගේ මානසිකත්වය පෙන්නන උදාහරණයක්. බිග් මැච් එකකට දාපු, ළමයින් විසින් "මොඩ්" කරපු රතිඤ්ඤයක් ඔතන්න යොදාගෙන තියන්නේ පාසල් පෙළපොත්..

මේ පාර අවුරුදු උත්සව ගැන ලියන්න දේකුත් නැහැ. මොකද මම ගිය එකම අවුරුදු උත්සවය දහම් පාසලේ එක. ඒ සේවයෙන් 2023 අග සමුගත්ත නිසා ආය එතනට මට යන්න බෑ නේ. ඒ නිසා දැන් අවුරුදු ගානක ඉඳන් අවුරුදු උත්සව ගැන ලියන්න දෙයක් නැහැ (2019 ඉඳන් අවුරුදු 3-4ක් තිබ්බේ නැහැ. 2024 තිබ්බා, ඒත් මම ගියේ නැහැ සේවයෙන් ඉවත් වෙලා නිසා). 

බහුකාර්යය උපකරණ භාවිතයෙන් ආහාර නිෂ්පාදනය හෙවත් ඩ්‍රිල් බීටිං..

මේ පාර හැබැයි අපේ දිහා අවුරුදු කෑම නම් ටිකක් හැදුනා. ඒ කාලේ අත්තම්මා ඉද්දි නම් මුං කැවුම්, කොන්ඩ කැවුම්, කොකිස් (විශේෂයෙන් මට), තව අනංමනං කීපයක් ම හදනවා. අත්තම්මා නැති උනත් හරි ඒවා අභාවයට ගියා. අත්තම්මගේ කොකිස් රෙසිපි එක මට මතක තිබ්බට, කවදාවත් මට ඒ පදම අරගන්න බෑ. අත්තම්මා කොකිස් වලට බිත්තර දාන්නේ නැහැ. දෙපාරක් බදිනවා, ඊට පස්සේ ආය පොඟන්නේ නැහැ. 

අඟහරු කේක්..

ඒ ගැන කියද්දී, මට මතක් උනේ, අපිට කොච්චර දේවල් ඒ පරම්පරාවෙන් අත්ඇරිලද කියල. ගොඩක් දේවල් කඩෙන් ගන්න පුරුදු වෙලා ඉන්න නිසා ඒ දැනුම පාස් කරගන්න කාටවත් ලොකු උවමනාවක් උනෙත් නැහැ. ඒ අතින් බැලුවම අපි වාසනාවන්තයි යම් තරමකට හරි. ඒ වගේම, මට 10ක්, 20ක් බාල පරම්පරාවල අය, අපි දන්න දේවල් වලින් උනත් දන්නේ කොච්චර පොඩ්ඩක් ද කියලත් මට හිතුනා. තල් කූරු කපාගෙන සරුංගලයක් හදනවා කිව්වම මගේ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න පොඩි අය මට හම්බ වෙලා තියනවා. ඒ වගේම, සරුංගලයක් හැදුවා කිව්වම “වවුලෙක් ද මොණරෙක් ද, ඉබ්බෙක් ද, මාළුවෙක් ද” ඇහුවම “ඒ මොනවද ඒ” කියල අහන අයත් මට හම්බවෙලා තියනවා.

මේ අධ්‍යාපන රේස් එකත් ඒ ඛේදවාචකයට ලොකු දායකත්වයක් දීලා තියනවා. ඒ රේස් එක ගැන කිව්වොත්, දැන් දැන් ලංකාවේ කාර්යාල, ඉස්කෝල, සමාජ ජීවිතය කියන හැම පැතිකඩක් ම වහගෙන පැතිරෙන බව පේන්න තියනවා. “ඉක්මනට වැඩ කරන්න, ඉක්මනට පොහොසත් වෙන්න” කියන තදියම කොහෙන් හරි ප්‍රධාන ජීවන ඉලක්කය විදියට පෙන්නලා තියනවා.

අපි මතක තියාගන්න ඕනේ දේ තමයි, මනුස්සයා විතරක් නෙවෙයි, හැමෝම ජීවත් වෙන්නේ කාලා, වැඩ කරලා, නැහිලා යන්න නෙවෙයි කියන එක. මම මේ ටිකේම දකිනවා “ඉස්සර අවුරුදු කාලෙට තිබ්බ සතුට දැන් දැනෙන්නේ නෑ නේද” කියන කතාව. ඉතින් ඇත්ත නේ.. පහුගිය වාරේ ඉස්කෝලේ වැඩ කරපු විදියට මට තේරිලා තියනවා හොඳටම, යකෙක් පස්සෙන් පන්නන ගානට වැඩ කරද්දී තියන තත්වේ. ඇත්තටම එහෙම කරාම වෙන්නේ වැඩේ කාර්යය සාධනය පහල යන එක. මිනිස්සු හොඳටම වැඩ කරන්නේ සතුටින් වැඩ කරද්දී.

ඒ ටිකත් එක්ක, ඔයාල අපි හැමෝටම ආපහු පරණ අවුරුදු සිරි විඳින්න ඕනේ නම්, කරන්න තියන ප්‍රධානම දේ හැටියට මගේ අදහසත් කියලා මම මේ අවුරුදු පෝස්ට් එක ඉවර කරන්නම්. පළවෙනි ම දේ, අපි මතක තියාගන්න ඕනේ මිනිස්සු ජීවත් වෙන්නේ වැඩ කරන්න නෙවෙයි, වැඩ කරන්නේ ජීවත් වෙන්න. ඒ නිසා කරන වැඩේ හිත නිදහසේ, තමන්ට පුළුවන් වේගෙන් හරියට කරන්න.

ඊළඟ දේ තමයි, සල්ලි හම්බ කරන එකම නෙවෙයි ජීවිතේ එකම වැඩේ. ජීවත් වෙන්න අවශ්‍ය තරමට හම්බ කරගන්න. හැබැයි ඒක ජීවිතේ එකම වැඩේ කරගන්න එපා.

අනික් එක තමා තමන්ට මොකක් හරි දෙයක් හොඳටම පුළුවන් උන පමණින්, අනික් කෙනෙක්ටත් ඒක එහෙමම පුළුවන් වෙන්න ඕනෙමයි කියල එකක් නැහැ. අපි මැෂින් වලින් වෙනස් වෙන්නේ අන්න එතැනදී. මිනිස්සු වාත්තු යකඩ නෙවෙයි නේ. ඒ නිසා හැමෝම එක අච්චුවට දාන්න යන්න එපා.

අන්තිම දේ, නීති දාලා, පන්නලා, ගහල බැනලා, මයික්‍රෝ මැනේජ් කරලා එපා කරවලා වැඩ කරගන්න බෑ මිනිස්සුන්ගෙන්. වැඩ හිතකාමී පරිසරයක් එක්ක, සතුටින් වැඩ කරන්න පුළුවන්, කෙරෙන කාර්යය ඇගයෙන තැනක තමා හොඳටම මිනිස්සු වැඩ කරන්නේ. ඒ නිසා, තමන්ගේ දියුණුව වෙනුවෙන් අනුන්ගේ සතුට විනාශ කරන්න එපා.

ඔන්න ඔය දේවල් ටික ට අපි හැමෝම අපේ වපසරිය ඇතුලත අනුගත උනොත්, ඉස්සර වගේම හිත නිදහසේ ගමේ හරි ගෙදර හරි ගිහිං, පවුලේ හරි තමන් ආදරේ කරන කෙනෙක් එක්ක හරි අවුරුදු සිරිය සතුටින් විඳලා ජීවිතේට සුන්දර මතක එකතු කරගන්න පුළුවන් වෙයි. ඒ දේ හැමෝටම ලැබේවා කියල මේ අවුරුද්දේ අවුරුදු ප්‍රාර්ථනාව හැටියට තියලා මම මේ සටහන ඉවර කරන්නම්..

එහෙම නම්, හැමෝටම සතුටින් ගෙවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!