අවුරුදුත් ඉවරයි.. පොඩි මැණිකේ චාරිකාවෙන් පස්සේ
දුම්රිය සංඥා පද්ධතිය ගැන සටහන් පෙළක් අරඹන්න හිටියත්, ඒකට අදාළ කරුණු ටික හොයල බලනකොට ඒක සෑහෙන ලොකු
වැඩක් බව පෙනුනා. ඉතිං ඒ නිසා, ඒක ජුනි මාසේ විතර වෙනකල් කල් දාන්න හිතාගත්තා.
කරුණු එකතු කරගන්නකල්. ඒ අස්සේ කාලෙකට කලින් ගිය පොඩි ට්‍රිප් එකක් ගැන සටහනක්
ලියන්න කියල ඉල්ලීමක් තිබුන. ඉතිං මේ ටිකේ නිකං ඉන්න වෙලාවේ, හිතුනා ඒ ගැන ලියල
දාන්න..
මේ පාර මම ගියේ සබරගමුව පලාතට. ඒ පැත්තේ ගිය
ගමනක් ගැන පරණ සටහනක් තිබ්බා. ඒ රත්නපුරේට. මේ, එතනිනුත් එහා- බලංගොඩ. මේ ගමන ගැන
කියනවා නම්, කිසිම පෙර සූදානමක් නැතිව, ඔක්කොම අන්තිම මොහොතේ තමා සෙට් උනේ.
අපේ ගෙදර සාමාන්‍යයෙන් අවුරුද්දකට වගේ වතාවක්
නැන්දලා මාමලා ඔක්කොම එකතු වෙලා දෙන දානයක් තියනවා. ගිය අවුරුද්දේ ඕක සෙට් උනේ
අගෝස්තු 30 වෙනිදට. ඔය දවස් වෙද්දී මම දහම් පාසලේ කට්ටියකට ක්ලාස් එකක් කරනවා.
ඉතිං දානේ දවසෙත් ඕකත් ඉවර කරලා, දානෙත් දීලා, ගෙදර ඇවිත් කට්ටිය දැන් යන්න සෙට්
වෙනවා. එතකොට රත්නපුරේ මල්ලිලාගේ ගෙදරින් යෝජනාවක් ආවා එහෙ යමු කියල.
මමත් ඉතිං මේ ටිකේ ගෙදර. මමත් හා කියල එවෙලේම
පටවගත්තා කළමනා ටිකක්- ඇඳන් හිටි එක පිටිංම ගිහිං සෙටමෝල් උනා කාර් එකේ කොනක.
ඔයින් මෙයින් එදා හවස් වෙද්දී රත්නපුරේට ආවා. ඒ එද්දී කාර් ඒකෙ රේඩියේටර් ෆෑන්
බෙල්ට් එකක් පතුරු ගිහිල්ලා ජල්බරියකුත් උනා.
කොහොමහරි, ඊළඟ දවසේ රත්නපුරේ ලොකු මල්ලියි මමයි
ගියා බලංගොඩ එයාලගේ මාමලාගේ දිහාට කාර් එක ගිහිං දෙන්න. ඔතනින් තමා ට්‍රිප් එක
පටන් ගන්නේ..
කැඩුන බෙල්ට් එකත් හදාගෙන, ඉස්සෙල්ලාම ආවා බලංගොඩ
ටවුමේ ඉන්න මාමලාගේ දිහාට. එහෙන් දවල්ට තේත් බීලා, එහෙං තව කස්ටියකුත් සෙට් කරගෙන,
ඔන්න අපි පිටත් උනා එයාලගේ ගමට යන්න. යන ගමන් ඉතිං කයියක් දාගෙන ගිහිං, මද්දහන
කිට්ටු කරලා, ඔය දුහුවිලි ඇල්ල- සමනල වැව පැත්තේ එහෙම යන පාරේ හම්බවෙන රජවක කියන
පලාතට සේන්දු උනා. මම නම් ඇත්තටම ගමන ආවේ මෙහෙ නවතින්න නෙවේ. අඩුමගානේ ලැප් ඒකෙ
චාජර් එක වත් ගෙනාවේ නෑ.
එහෙ සෙට් එකටත් මාව එච්චර සෙට් නෑ. මේ සෙට් එක
මුලින්ම හම්බුනෙත් 2007දී! ඊට පස්සේ 2010 දානෙකදී දැක්කට පස්සේ එදා තමයි ඔය හරියට
දැක්කේ. කොහොම කොහොම හරි කට්ටිය කතා කරකර ඉඳල, එයාලගේ තව එහායින් තියන ගෙයක් බලල
එමු කියල යන්න සෙට් උනා. මමත් ඉතිං බෑග් ඒකෙ තිබ්බ ෂෝටක් දාගෙන, කමිස පලුවකුත්
දාගෙන පිටත් උනා. ගිහිං වෙරළු ගහකට පොලු ගහල, කඩේකට ගිහිනුත් කාලා, මොනවදෝ එළවලු
වගාවක් හරහා එන්න සෙට් උනා.
මගක් එද්දී රජවක ලොකු නංගි කියපි “ඕවට වල්නාශක
එහෙමත් ගහල තියනවා ඇඟේ ගෑවෙන්නත් හොඳ නෑ” කියල. ඒ අස්සේ මට දෙලොව රත්වෙලා හිටියේ
තව එකක් මතක් වෙලා- ඔය පැත්තේ පොලොංගු එහෙම ඉන්නවා සෑහෙන්න. කොයි වෙලේ කොහෙන්
එකෙක් මතු වෙයිද කියල මම හිටියේ. ඒත් අනික් සෙට් එකට ඕනේ උනේම ඒ ඉලව්ව අස්සේ
රිංගන්න. මම ඉතිං කෝකටත් කියලා කෝට්ටක් එහෙම කඩාගෙන, ඒ සෙට් එක පස්සෙන් ගියා.
ගිහිං ගිහිං ඔන්න ආවා වතුර පාරක් ගාවට. දැන් ආපහු
යන්නත් හෙන වටයක් යන්න ඕනේ. ඒත් අර වගාව හරහා. ඔතන කල්පනා කරකර ඉද්දී, කවුදෝ අපිට
හොඳවයින් අමතන සද්දයක් ඇහුනා එහා ඉවුරෙන්. කෙලියා හුටා.. බලද්දී එහෙ මාමා අපිව
හොයාගෙන ඇවිත්. අනේ ඉතිං අපිත් අර මොකුන්දෝ වගේ වතුර පාරෙන් එතෙර වෙලා මාමා
පස්සෙන් ගියා ගෙදර. ඒ ගියත් ගියයි ආය අපිට කොහෙවත් යන්න දුන්නේ නෑ.
ඊට පස්සේ හවස් වරුවේ අපේ වැඩේ ක්‍රිකට් ගහපු එක.
එදා කොහොම හරි අපි සෙල්ලම් නවත්තද්දී හවස 6ත් පහු උනා. රෑට කාලා, කයිය ගගහ හිටියා
පාන්දර දෙක විතර වෙනකල්. පහුවදා උදේ හැබැයි 6 වෙද්දී නගිටලත් එක්ක. මොකද, එකක්
බලංගොඩ දේශගුණය හරිම හොඳයි. රත්නපුරේ ගිනිගහන රස්නේ වත්, අපේ පැත්තේ උදේට තියන ගල්
වෙන සීතලවත් නෑ.
ඊළඟ දවසෙත් අපි එක එක විකාර කරකර හිටියා. රෑ එහෙ
අත්තම්මව බලංගොඩ ගෙනියන්න උනා හදිසියේම. ඉතිං රෑ ඉව්වේ අපි සෙට් එක. මෙහෙ උයලා, දර
ලිප පාවිච්චි කරලා තියන නිසා හොඳට ගියා. එහෙ ඉතුරු වෙලා හිටි සෙට් ඒකත් අල්ලාගෙන,
බතුයි මාළු දෙකකුයි හදාගත්තා අවුලක් නැතුව. කාටවත් අවුලක් නම් ගියේ නෑ හැබැයි.. :D
ඊළඟ දවසේ හොඳ වෙලාවට ලැප් එකට චාජර් එකක්
හොයාගන්න පුළුවන් උනා. ඉතිං ඒකෙ තිබ්බ ෆිල්ම් එහෙම බල බල හිටියා. ඒ අස්සේ හෝල්ඩර් එකක් සෙට් කරන්න ගිහිං ඒ මගුල පිපුරුවා! ඒ අස්සේ අපි සෙට් එක දවල්ටත්
උයන්න සෙට් උනා. උයලා, ඒ අහු අස්සේ ආපු අයිස්ක්‍රීම් වීල් එකකින් අයිස්ක්‍රීම්
අරගෙන කාලා ඉද්දි, ඔන්න නිවාඩුව අවසන් කිරීමේ නිවේදනය ආවා. ඒකෙ හැටියට, “හවස හය
වෙන්න කලින් බලංගොඩ වෙත වාර්තා කල යුතු බව” අවධාරණය කෙරුනා.
කොහොම හරි, හවස් වෙනකල් ඉඳලා, ඔන්න ඉතිං ඔක්කොම
අහුරගෙන යන්න සෙට් උනා. කට්ටියම කාර් එකට පැක් වෙලා, එක එක විකාර කර කර ගියා. ඔය
සමනල වැව පවර් ප්ලාන්ට් එක පැත්තට යන පාර මරු පාරක්. හරියට රෝලර් කෝස්ටර් ට්‍රැක්
එකක් වගේ. අපි ඒ පැත්තෙත් රවුමක් ගැහුවා..
එදා රෑ, බලංගොඩ මාමා අපිව කානිවල් එකකට එක්කන්
ගියා. ඒ, මම ජීවිතේ පලවෙනි පාරට කානිවල් එකක් බලන්න ගිය පාර!!
මාරක ලිඳ.. මේක නම් මාරකයි තමා. මම මේ බයේ හිටියේ කොයි වෙලාවේ මේක බිමට සමතලා වෙයිද කියලා. |
මේ ඒ කානිවල් එක අස්සෙම තිබ්බ තොරණක්.. |
පහුවදා උදේ පාන්දර,
එහෙ කට්ටියත් එක්ක බස් එකකින් රත්නපුරේට ඇවිල්ලා, එහෙ දාල ගිය කෑලිබෑලි ටිකත් එකතු
කරගෙන, ආපහු ටවුමට ඇවිල්ලා, අවිස්සාවේල්ලට
එන්න බස් එකකට නැග්ගා. අවිස්සාවෙල්ලෙත් පැයක් තැපලා, කැළණි වැලි පාර ගලවපු
උන්ගේ පරම්පරාවල් මතක් කරන ගමන්ම, නුවර එන්න බස් එකකට නැග්ගා. ඒ හිපාටුව
කඩුගන්නාවට එද්දී එකට කාලයි. ඕනේ ලබ්බක් කියලා මම බැස්සා. බැහැල ස්ටේෂන් එකට
ගිහිං, කොළඹ ඉඳන් නුවර යන අංක 19 කෝච්චිය අල්ලාගෙන පේරාදෙණියට ගිහිං, එතනින්
නාවලපිටිය කෝච්චියේ ගෙදර ආවා..
කොහේ ගියත් කෝච්චි ෆොටෝ එකක් ගත්තේ නැත්තම් හරි නෑ වගේ නේ. ඔන්න මේකේ තමා මම කඩුගන්නාවේ ඉඳන් පේරාදෙණියට ගියේ. |
මේ ගමන, අන්තිම මොහොතේ ලැස්ති උනත්, ඉතාම කෙටි
උනත්, හරිම සුන්දර සංචාරයක්. රජවක පැත්තේ පැරණි ගම එහෙමම වගේ ආරක්ෂා වෙලා තියනවා.
ඒ ජීවිතේ හරිම නිදහස්. කුඹුරු එහෙම තාම වැඩ. කට්ටිය දවල් වැඩ කරලා, හවස ගිහිං
පීල්ලෙන් හරි කොහෙන් හරි නාලා, ඇවිත් ඉන්නවා.. අපිත් ඔච්චරයි. ෆෝන් එකකට ආසාවට
සිග්නල් නෑ. මම දහම්පාසලට පණිවිඩයක් දෙන්න ගහක් උඩටත් නැග්ගා! අන්තිමේ ගෙදරින්
කිලෝමීටරයක් විතර ඇවිදලා තමා කතා කරන්න පුළුවන් වෙන්න සිග්නල් අල්ලාගත්තේ.
ඒ මොන දුෂ්කරතා තිබ්බත්, ඒ මිනිස්සු හිතේ
සතුටෙන්, නිදහසේ ජීවත් වෙනවා. අපි මෙහෙ හැමදාම රේස් යද්දී, ෆෝන්, ලැප්ටොප්,
ෆේස්බුක්, අනංමනං දිග ඇරගෙන පිස්සු නටද්දී, ඒ පැත්තේ ජීවිතේ හරි හෙමින් ගලාගෙන
යනවා.
මේ ට්‍රිප් එක ගිහිං ඇවිල්ලා, ඒ පැත්තේ කට්ටියත්
එක්ක දාගත්ත කොක්කක් නිසා, දැන් එයාල මගෙත් එක්ක තරහ වෙලා. ඉතිං, ආය මේ පැත්තේ
යැවෙන්නේ නෑ. එහෙම උනත්, මේ සරල සුන්දර ජීවිතේ දවස් කිහිපයකට හරි විඳින්න ලැබීම
ගැන, මම ඉතාම සතුටු වෙනවා..
පළාත හරිම නිස්කලංකයි. ඒ වගේම සුන්දරයි.. |