Saturday, November 28, 2015

උඩරට මාර්ගයේ ඉන්ධන පිරවුම් හල වෙත...

       
හැටන් දුම්රිය ස්ථානයේ ඇති චීන මැදිරියක්..
        හැටන් වලින් පිටත් වූ පොඩ්ඩි, මීළඟට පිවිසෙන්නේ ලංකාවේ දිගම දුම්රිය බිංගය, එනම් සිංගිමලේ බිංගය තුලටයි. ඉංග්‍රීසි භාෂාවෙන්
“Pool Bank Tunnel” ලෙස නම් කර ඇති මෙය, දිගින් අඩි 1842ක්. පොඩි මැණිකේට මෙය තුලින් අනික් පසට යාමට තත්පර 30ක් පමණ ගත වනවා. මෙය කොළඹ සිට හමුවන 14 වන බිංගයයි. 

දිගම දුම්රිය බිංගය තුලින්..
         හැටන් පසුකර, මීළඟට හමුවන කොටගල දුම්රිය ස්ථානය වෙත ඇත්තේ සැතපුම් 3ක් පමණ වූ කෙටි දුරක්. ඒ මෙන්ම, මෙතෙක් තියුණු ආනතියකින් ඉහලට ආ දුම්රිය, හැටන් බිංගය පසු කල විටම බෑවුමක් වෙත යොමු වනවා. මෙහිද ආනතිය එකට හතලිස් පහක් වූ තියුණු බෑවුමක්. මෙවැනි බෑවුම් ආරක්ෂාකාරීව තරණය කිරීම සඳහා, ඩයිනමික් බ්‍රේක් නම් වූ විශේෂ තිරිංග ක්‍රමයක් යොදාගන්නවා..  

මෙයා නම් දැකපු වෙලාවේ ඉඳල හොඳට නිදි.
        බිංගය පසු කල පොඩි මැණිකේ, පහලට යන වේගය අඩු කිරීම සඳහා, රියදුරු ඩයිනමික් තිරිංග ක්‍රියාත්මක කරනවා.. දුම්රිය එලවන මෝටර, ජෙනරේටරයක් මෙන් ක්‍රියා කරවා, එයින් උපදින විදුලිය රෙසිස්ටර් හරහා යවා පුළුස්සා දැමීම මෙම ක්‍රමයයි. ඉහත රෙසිස්ටර් අධික උෂ්ණත්වයකට රත් වන බැවින්, එය සිසිල් කිරීම සඳහා, විශාල පංකාවක් යොදා තිබෙනවා. M6 පන්තියේ මෙම පංකාව ක්‍රියා කරන විට, එයටම ආවේණික ශබ්ධයක් නිකුත් වෙනවා.. 

කොටගල දුම්රිය ස්ථානය..
       මෙම කෙටි දුර තරණය කිරීමට, පැයට සැතපුම් 20ක වේගයෙන් පහලට යන පොඩි මැණිකේ ගත කරන්නේ, ඉතාම කෙටි කාලයක්. නමුත් එම කෙටි කාලය අතරතුර, වටපිට තේ වතු වලින් ගැවසුණු අලංකාර පරිසරයක් ඇය පසු කරනවා..
කොටගල දුම්රිය ස්ථානය වෙත ඇය ලඟා වන්නේ, මිනිත්තු 7ක පමණ ගමනකින් අනතුරුවයි. කොටගල දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 111 දම්වැල් 25ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 4065, එනම් හැටන් දුම්රිය ස්ථානයට වඩා ආසන්න අඩි 100ක් පහලින් පිහිටා තිබෙනවා. 

ඛනිජ ඉන්ධන ගබඩාව.
       කොටගල දුම්රිය ස්ථානය වැදගත් වන්නේ දුම්රියටත් වඩා ඛනිජ තෙල් සංස්ථාවටයි. උඩරට එක් ප්‍රධාන ඉන්ධන ගබඩාවක් කොටගල පිහිටා තිබෙනවා. දුම්රියෙන් ගෙන එන ඉන්ධන, මෙහි ගබඩා කොට තබා, උඩරට ප්‍රදේශයට බෙදා හරිනු ලබනවා. කොටගල වෙත විශේෂ ඉන්ධන ප්‍රවාහන දුම්රිය දෙකක් දෛනිකව ධාවනය වනවා (පහලට සහ ඉහලට). පාෂ මාර්ග දෙකක්, ගබඩාවක් මෙන්ම ඉන්ධන ගැල් සඳහා විශේෂ පාෂ මාර්ගයක් මෙහි පිහිටා තිබෙනවා. 

තලවාකැලේ බලා පිටත්වීම..
       මගී අවශ්‍යතා සඳහා විනාඩියක කාලයක් නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් සිය ගමන ආරම්භ කරන අතර වාරයේ, ඉදිරියේ ඇති මාර්ගය ගැන විස්තර අසාගත් අප, හොඳ සෙයාරූ කිහිපයක් ගැනීම අරමුණින්, පා පුවරු කිහිපයක් වෙත විසිරී යනවා....

Saturday, November 21, 2015

ශ්‍රී පාද අඩවිය වෙත...

        රොසැල්ලෙන් පිටත් වූ පොඩි මැණිකේ, දැන් නියම අයුරින් තේ වගාවන් අතරට පිවිසේ. මාර්ගයේ තියුණු වංගුවක් පසු කරන පොඩි මැණිකේ, තේ වත්තක් අතරින් නැවතත් තියුණු වංගුවකින් වමට හැරේ. මෙසේ එක ළඟ පිහිටි වංගු මෙම මාර්ගයේ බොහෝ දක්නට ලැබෙයි. මෙම වංගු වල නියම ස්වභාවය දැකිය හැක්කේ, රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කරන විටයි.. 

තේ වතු අතරට පිවිසෙන පොඩ්ඩි..
        මෙයට පෙර බදුලු ගමන කිහිපවරක් ගොස් තිබු අකිල අයියා ඇතුලට වී වාඩි වී සිටියත්, මාගේ සහ අශාන්ගේ ප්‍රථම බදුලු ගමන මෙය වූ බැවින්, අපට නම් පා පුවරුවෙන් ඇතුලට යාමක් නොවීය. 

අතරමග පිහිටි කුඩා පාලමකින් එතෙර වන පොඩ්ඩි..
        පාලම්, බිංග ආදී ඉතා අරුම පුදුම ඉපැරණි නිර්මාණ අප හමුවේ විටින් විට දර්ශනය විය. ඒ මෙන්ම, පාලමක් පසු කොට ඉතා කෙටි දුරකින්, එම පාලම අප හට අප පසුපසින් දැකගත හැකි තරම් තියුණු වංගු වලින් මාර්ගය සමන්විත විය..
                     
පෙර සේයාරුවේ වූ පාලම මෙසේ සේයාරුවක සටහන් විය..                     
        සැතපුම් ගණනක් මග ගෙවා බොහෝ වෙලාවක් හිටගෙන සිටියත් වෙහෙසක්ද නොදැනුනේ, මැණිකේ සමග යන මෙම ගමනේ සුන්දරත්වය නිසාම විය යුතුය.. 

තේ වතු සහ අතරින් පතර දිස් වන නිවාස සහිත භූමි දර්ශනය..
       බදුලු ගොස් නැතත්, උසස් පෙළ විභාගයට පෙරදීම මුහුණු පොතේ මිතුරන් කණ්ඩායමක් සමග රේල් හයික් කිහිපයකට සහභාගී වී තිබු අශාන් හැටන් දුම්රිය ස්ථානයට පොඩ්ඩි සේන්දු වූ බව පැවසීය.. 

හැටන් දුම්රිය ස්ථානය සමීපයේ පිහිටි තේ වත්තක්..                    
       නැවතත් තේ වතු අතරින් දිගහැරෙන පහත් බිමක මනරම් දර්ශනයක් අප නෙතට හසු විය. ඒ සමගම, තවත් ටික දුරක් ගිය විට, පහලින් මහා මාර්ගයක් දක්නට ලැබුණි. 
හැටන් වෙත දිවෙන මහා මාර්ගය.
        නියමිත වෙලාවට තත්පරයක් හෝ ප්‍රමාද නොවී, ඇය හැටන් දුම්රිය ස්ථානයට ලඟා වූවාය. ඒ, එකල ඉහලට යන පොඩි මැණිකේට, පහලට එන උඩරට මැණිකේ මුණ ගැසෙන ස්ථානයයි. අප එනතුරු ඇය තෙවන වේදිකාවේ බලාසිටි අයුරු මට දකින්නට ලැබුණි. 
හැටන් වෙත ලඟා වන පොඩි මැණිකේ.. දකුණු පස මාර්ගයේ අප එනතුරු බලා සිටි උඩරට මැණිකේ දැකිය හැක.
       හැටන් දුම්රිය ස්ථානය, බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වන්නේ, ශ්‍රී පාද වන්දනාකරුවන් අතරයි. දුම්රිය මගින් ශ්‍රී පාදය වන්දනා කිරීමට තිබුණු එක සහ පහසු මාර්ගය වූයේත් හැටන් දුම්රිය ස්ථානය හරහා යාමයි (අනික් මාර්ගය නම් කැළණි වැලි මාර්ගය ඔස්සේ ගමනයි). 

       හැටන් දුම්රිය ස්ථානය මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කෙරුනේ වර්ෂ 1884 ජුනි මස 4 වන දිනයි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 108යි දම්වැල් 13ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 4141ක උසකිනුත් පිහිටි මෙම දුම්රිය ස්ථානය, උඩරට ප්‍රධාන දුම්රිය ස්ථානයකි. වේදිකා තුනකින් සහ ගබඩා සංකීර්ණයකින්, මගී විවේකාගාරයකින් වර්තමානයේ සමන්විත මෙම දුම්රිය ස්ථානය, අතීතයේදී වාෂ්ප එන්ජින් 2ක් සඳහා ධාවනාගාරයක් මෙන්ම හැරවුම් මේසයක් සහ තරමක් විශාල අංගනයකින් සමන්විත විය. 

       හැටන් දුම්රිය ස්ථානය, අතීතයේදී හඳුන්වා ඇත්තේ “Hatton- Garden” යනුවෙනි. එකල භාවිතා වූ නාම පුවරු ක්‍රමය අනුව, ඉහලින්ම ඉංග්‍රීසියෙන් එසේ සටහන් වෙද්දී, ඊට යටින් සිංහලෙන් “හැටන් වත්ත” යයි සඳහන් වී ඇත. මේ තොරතුර ලබා දුන්නේ පෙර සඳහන් කල තිබ්බොටුමුනුව මහතාය. 

      හැටන් දුම්රිය ස්ථානය එදා මෙන්ම තවමත් උඩරට දුම්රිය ධාවනය සම්බන්ධ ප්‍රධාන දුම්රිය ස්ථානයකි. හැටන් දුම්රිය ස්ථානයෙන් ගමන නිමා කරන මෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙතින් ආරම්භ වන දුම්රියයන් කිහිපයක් අදත් ධාවනය වේ.    
      මෙම ඉපැරණි දුම්රිය ස්ථානයේ, පොඩි මැණිකේ විනාඩි 2ක් පමණ කාලයක් නැවතී සිටියාය. ඒ අතර, පහලට යන උඩරට මැණිකේ වෙත පිටත් වීමට සංඥා නිකුත් කෙරුණි. අප මිතුරකු වූ ලකිත රත්නවීර අයියා පහලට යන උඩරට මැණිකේ දුම්රියේ සිටියදී අප හා කතා කළේය. 

උඩරට මැණිකේ සමග පහලට යන ගමන් අප හා කතා කිරීමට පැමිණි ලකිත අයියා..

      දුම්රිය දෙකම පිටත් වීමට සූදානම්ය. තියුණු නලා හඬ දෙකක් දෙපසින් ඇසුනේ, මැණිකෙලා දෙදෙනා එකිනෙකාට සමු ගැනීමේ ආචාරය පවත්වන්නාක් මෙනි. ඒ සමගම මද ගැස්මක් සමගින් පොඩි මැණිකේ, සිය ගමනට අවතීර්ණ වූවාය.. 

Saturday, November 14, 2015

හුදෙකලාව පිහිටි රොසැල්ල වෙත...

  
ඈතින් ඈතට විහිදෙන කඳු පන්තිය..
       වටවලින් පිටත් වූ පොඩ්ඩි නැවතත් පිවිසෙන්නේ අලංකාර වටපිටාවකින් යුතු පරිසරයක් තුලටයි. එක පසෙකින් ඈතින් ඈතට විහිදී යන කඳු පංති වලින්ද, අනෙක් පසින් අතරින් පතර තේ වතු හරහා විහිදෙන ලදු කැලෑ වලින්ද යුතු මෙම කොටස, ඉතාමත් අලංකාරය.

කඳු වළල්ල අතරින් වැටුණු මහාමාර්ගයක් දක්නට හැකිය.
           වටපිට පරිසරය අලංකාර වුවත්, එම චමත්කාරය විඳීමට ඇයට නතර විය නොහැකිය. දම්වැල් 10 ප්‍රමාණයේ වංගු, අඩි 44 ට එකක් වූ තියුණු නැග්ම මෙම මාර්ගය දිගටම එසේමය. මෙම මාර්ගය තරණය කරන්නට ඇයට සිය සම්පූර්ණ බලය යෙදීමට සිදු වේ. එන්ජිමට පසුපස තුන්වන පන්තියේ මැදිරියේ සිටින අපහට, M6 එන්ජිමේ හදවත වේගයෙන් ගැසෙනු ඇසේ. එහෙත් තියුණු වංගුවකින් එන්ජිම හැරෙන විට, එම හඬ විටින් විට නොඇසී යන්නේ, වංගුවේ තියුණු බව නිසාමය. 

දම්වැල් 5කට ආසන්න අරයක් ඇති වංගුවක්. හොඳින් බලන්න, තවත් එවැනිම වංගුවක් ඉදිරියෙන් ඇත.
          වටවලින් පිටත් ව ටික දුරක් ගමන් කල විට, ඈතින් තේ කර්මාන්තශාලාවක් දිස් වේ. උඩරට දුම්රිය ධාවනය ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුවක් නම් මෙම තේ වතු සහ කෝපි වතුය. එකල දැව ආශ්‍රයෙන් නිමවා තිබුණු මෙම තේ කම්හල්, දැන් දැන් නවීකරණය වෙමින් පවතී. එහෙත් එම කර්මාන්තශාලා අදත් නැගී සිටින්නේ, සියවසක පමණ ඉතිහාසයේ සලකුණු කියාපාමිනි. 

තේ කර්මාන්තශාලාවක්..
         ඉහල වටවල යනු මෙම කොටසේදී මුණගැසෙන උප දුම්රියපොළකි. කොළඹ සිට සැතපුම් 101කුත් දම්වැල් 40ක දුරින් පිහිටි තරමක් පසු කාලීනව පිහිටවූ දුම්රියපොලකි. ටැබ්ලට් යන්ත්‍ර, සංඥා කුළුණු හෝ දුම්රිය දෙකක් මාරු වීම පිණිස පාෂ මාර්ග වලින් තොර මෙම උප දුම්රියපොළ වේදිකාවේ, මගීන් කිහිපදෙනෙකු පහලට එන දුම්රිය බලාපොරොත්තුවෙන් රැඳී සිටිනු දක්නට ලැබුණි. 

ඉහල වටවල වෙත පිවිසෙන පොඩ්ඩි..
      
ඉහල වටවලින් පිටත් වී මද දුරක් ගිය කල්හි පෙනන භූමි දර්ශනය..
  මීළඟට දුම්රිය තියුණු වංගු දෙකක් පසු කර ලඟා වන්නේ රොසැල්ල දුම්රිය ස්ථානයටයි. මෙම දුම්රිය ස්ථානය වෙත පිවිසෙන දුම්රිය, දම්වැල් 5 ප්‍රමාණයේ S හැඩයට පිහිටි වංගු දෙකක් පසු කරයි. Rozelle S curve  යනුවෙන් ප්‍රකට මෙම තියුණු වංගු ද්විත්වයේ දෙවැන්න, නාය යාමක් හේතුවෙන් දම්වැල් 4 හමාරකට වන සේ කාලයක් සකසා තිබුණි. මෙම කාලයේ ඉහලට එන දුම්රියක් පාෂ මාර්ගයට ගැනීම තහනම් කොට තිබුනේ, එම දුම්රිය පීලි පැනීමෙන් වළක්වාගැනීමටයි. 
රොසැල්ල වෙත පිවිසීමේදී හමුවන පළමුවන දම්වැල් 5 වංගුවේ සිට ලබාගත් දුම්රිය ස්ථානයේ සේයාරුවක්.
        රොසැල්ල දුම්රිය ස්ථානය, කොළඹ කොටුවේ සිට සැතපුම් 103යි දම්වැල් 59ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 3741ක උසකින් පිහිටා ඇත. රොසැල්ල දුම්රිය ස්ථානය ඉතා පැරණි දුම්රිය ස්ථානයකි. 

පාෂ මාර්ගයේ නවතා ඇති නාවලපිටිය සහ මහනුවර බලා යන දුම්රිය..

        පාෂ මාර්ගයකින් සහ පසුකාලීනව ඉදි වූ දෙවන වේදිකාවකින් යුතු මෙම දුම්රිය ස්ථානයට, මෑතක් වන තුරුම විදුලිය නොමැති විය. පසු කාලීනව, මෙම දුම්රිය ස්ථානය අසලින් ගලා යන කුඩා ඇල මාර්ගයේ ජලය භාවිතයෙන් කුඩා විදුලි ජනකයක් ක්‍රියා කරවීමෙන් දුම්රිය ස්ථානයට විදුලිය සපයා ඇත. දැනටත් මෙම දුම්රිය ස්ථානයට විදුලි බලය සපයන්නේ මෙම කුඩා බලාගාරයයි. 

         මෙම දුම්රිය ස්ථානය සතු එක් විශේෂතාවයක් වන්නේ,  “Train Indicator Bars” යනුවෙන් හඳුන්වන උපකරණයයි. මෙම උපකරණය නම්, දුම්රිය ස්ථාන පරිශ්‍රය තුල පිහිටි මාර්ගයේ, පීලි වලට ආසන්නයෙන් පිහිටා ඇති කුඩා වානේ පීල්ලකි. ඉහලට හෝ පහලට යන දුම්රියකට සංඥා නිකුත් කොට, එම දුම්රිය මෙම පීලි පිහිටි කොටසේ නවත්වා ඇති විට, එම පීලි මත රෝදයේ  Wheel flange කොටස පිහිටයි. එමගින් මෙම පීලි වල පිහිටුම වෙනස් කල නොහැකි ලෙස හිර වේ. එකම මාර්ගයේ දුම්රිය දෙකක් ගමන් කිරීම වැලැක්වීම සඳහා යොදා ඇති අපූරු උපක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකිය. 

Train Indicator Bars ගැන දැන්වීම් පුවරුවක් මගින් දැනුම් දී ඇත.
          කලකට ඉහතදී Lanka Rail Digest සඟරාවට කෙටි සටහනක් සපයන විශ්‍රාමලත් දිස්ත්‍රික් පරීක්ෂක තිබ්බොටුමුනුව මහතා පවසන්නේ, 1940 සහ ආසන්න කාලයේ මෙම දුම්රිය ස්ථානය ඉංග්‍රීසියෙන්  “Rozelle” ලෙස නම් වී තිබූ බවත්, ඊට යටින් සිංහල නම ලෙස සඳහන් වූයේ  “රොසැල්ල” හෝ “රොසෙල්” යන්න නොව, “බිං ඔය” බවත්ය. පෙර සඳහන් කල කුඩා දිය පහරේ නම ආශ්‍රයෙන් එම නම තබන්නට ඇත. “Rozelle” යනුවෙන් ඉංග්‍රීසියෙන් නම වැටෙන්නට ඇත්තේ ආසන්නව පිහිටි එම නමින් යුතු තේ වත්ත නිසා වන්නට ඇත. 

         මෙම කලාපය, දිවයිනේ ඉහලම වර්ශාපතනයක් ඇති කලාපයකි. එම නිසා, දිය පහරේ ජලය සිඳී නොයන බවක් කියවේ. කිහිපවිටකම නාය යාම් සහ සෝදාගෙන යාම් සිදු වී ඇති මෙම දුම්රිය ස්ථානයේ, 1907 සිදු වී ඇති අනතුරකින් ඒ හරහා ගමන් කල දුම්රියක සිටි සියලු මගීන් මඩ වගුරක ගිලී මියගොස් ඇත. තිරිංග මැදිරියක් පමණක් පිට රැඳී තිබූ අතර, එහි සිටි යුරෝපීය ජාතික කාන්තාවක සහ දුම්රිය ගාඩ්වරයා පමණක් දිවි ගලවාගෙන ඇත. ලංකාවේ කිසිඳු තොරතුරක් මෙම අනතුර පිලිබඳ සොයාගැනීමට නැතත්, ඉන්දීය සඟරාවක මෙම අනතුරේ සේයාරුවක් පලවී තිබී අකිල ආරියප්පෙරුම නම් මාගේ මිතුරා විසින් මා හට පෙන්වන ලදී. 


          ඒ මේ තොරතුරු අතරින්, පොඩි මැණිකේ නැවතත් ඉදිරියට යාමට සූදානම්ය. ටැබ්ලට් ලැබී, සංඥා නිකුත් වුනි. පහලට යන දුම්රිය පාෂ මාර්ගයේ තිබෙද්දී, අප ඊළඟ නැවතුම වන හැටන් බලා පිටත් වීමු.. 

හැටන් බලා ඇදෙන පොඩි මැණිකේ..

Saturday, November 7, 2015

දුම්රිය ඉතිහාසයේ අඳුරු මතකයන් ගැවසෙන වටවල වෙත...

            ගල්බොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ, මීළඟට පිවිසුනේ ඉතා අලංකාර පසුබිමක් සහිත ප්‍රදේශයකටයි. 
පසු කර  ආ ගල්බොඩ දුම්රිය ස්ථානයේ පහල අවුට්හෝම් සංඥාව.
           එක පසෙකින් තේ වතු ද, අනෙක් පසින් කැළණි මිටියාවත දක්වා දිස් වෙන ඈතට විහිදී ගිය පහත් බිමද, සුන්දර දසුනක් මවා පායි. පැහැදිලි දිනයක කොළඹ නගරාශ්‍රිත ප්‍රදේශයත් මෙම කොටසේදී දැකිය හැකි බව පැවසුනත්, අප ගමන් ගන්නා පොඩි මැණිකේ දුම්රිය, සිය ගමනාන්තය වෙත හැකි ඉක්මනින් ලඟා වීමට ඇති උනන්දුව දක්වමින්, මෙම සොඳුරු දසුන් පසු කොට හැල්මේ ගමන් කරන්නට වූවාය.. 

ඈත කඳු තෙක් දිස් වන පහත් බිම..
           මෙම කොටස අතරමගදී, දෙකිඳ සහ වේවැල්තලාව යනුවෙන් කුඩා දුම්රිය නැවතුම් දෙකක් හමු වුවත්, ඒවා පොඩි මැණිකේ හට ගිමන් හැරීමට ස්ථාන නොවූ බවක් දිස් විය. වේවැල්තලාවෙහි මිනිසුන් කිහිපදෙනෙක් සිටියද, පොඩි මැණිකේ ඔවුන් දෙස වත් නොබලා නලාව හඬවමින් දිගටම සිය ගමනේ යෙදුනි. 

වටවල වෙත ඉක්මන් ගමනින් යන පොඩි මැණිකේ..
           මෙම මාර්ග කොටස ගැන සඳහන් කරන විට, මා හඳුනන රුඩි හොඩ්සන් නම් මහතකු පැවසු තොරතුරු කිහිපයක් මගේ සිහියට නැගෙයි. එයින් පළමුවැන්න නම්, 1970 දශකයේ සිදු වූ අනතුරකි. ඩබ්ලිව් 1 පංතියේ එන්ජිමක් සමග දුම්රියක් ගමන් කරන විට, මෙම කොටසේ පිහිටි බෝක්කුවක් කැඩී ගොස් ඇත. ඩබ්ලිව් 1 එන්ජිමට අනතුරක් නොවී බේරී ඇත. මෙම තොරතුරු සැපයු හොඩ්සන් මහතාගේ පියා, මෙය අලුත්වැඩියා කිරීමෙන් පසු පරීක්ෂණ ධාවන සඳහා ඒ හරහා දුම්රිය රැගෙන ගිය බව ඔහු මා හා පැවසීය. 

වටවල දුම්රිය ස්ථාන නාම පුවරුව.
          මද වංගුවක් පසු කල දුම්රිය, මදකට නතර විය. ඒ, වටවල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 3259ක උසකින් පිහිටි මම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 100කුත් දම්වැල් 26ක දුරින් පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථානයද, බඩු ගබඩාවකින්, පාෂ මාර්ග දෙකකින් සහ එක වේදිකාවකින් සමන්විත, පැරණි දුම්රිය ස්ථානයකි. 1890 දශකය වනවිටත්, මෙම දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම ගොඩනැගී තිබුණි. මෙහි දක්නට ඇති විශේෂ උපකරණයක් වන්නේ, දුම්රිය වැගන් වල බර කිරීමට ඇති තරාඳියයි. 

දුම්රිය වැගන් වල බර කිරීමට ඇති තරාඳිය.
          ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සිය අත්දැකීම් අළලා ඉතා වටිනා ග්‍රන්ථ දෙකක් සම්පාදනය කල විශ්‍රාමලත් දිස්ත්‍රික් පරීක්ෂක තිබ්බොටුමුනුව මහතා, ඔහු ගමන් කල බදුලු රාත්‍රී තැපැල් දුම්රිය, පහලට ගමන් කල දුම්රිය සමග වටවලදී මුහුණට මුහුණ ගැටුණු අයුරු ගැන සටහන් කල විස්තරයත් මේ ලියන මොහොතේදී මට මතක් වේ. 

         ඒ අයුරින්ම, වටවල, ඔබ සැමට මතක ඇති අයුරින්, නාය යාම ගැන 1957 වසරේ සිටම දැඩි ප්‍රසිද්ධියක් උසුලා ඇත. M6 ධාවන පන්තියේ 790 දරණ එන්ජිම, 1990 දශකයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සමග නාය යාමකට ලක් විය. එයින් පසු, මෙයට ස්ථිර පිලියමක් ලෙස මාර්ගය මදක් වෙනස් කොට, භූමිය කළුගල් යොදා නැවත සකස් කෙරුණි. දැන් දුම්රිය ධාවනය වන්නේ ඒ නව මාර්ගය ඔස්සේය. 
වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ නාය ගිය කොටස අසලින් ගමන් කරමින්,,,

        වටවල දුම්රිය ස්ථානයට, පැහැදිලි දිනයක, කටුනායක ගුවන් තොටුපලේ විදුලි ආලෝක එලියද දර්ශනය වන බව අසන්නට ලැබුණි. වටවල තේ සිහි කරමින් මදක් ඈතින් තේ කර්මාන්තශාලාවක් දිස් විය. ඒ සියල්ල එසේ සිදු වන විට, දුම්රිය ස්ථානාධිපතිවරයා පොඩි මැණිකේට ඉදිරි මාර්ගය වෙත පිවිසීමට අවසර පත්‍රය ලබා දුන්නේය. නළා හඬත් සමගම, ඇය නැවතත් සිය ගමනට අවතීර්ණ වූවාය..