Sunday, January 8, 2017

ඔහු සිය චාරිකාව අවසන් කළේය.....



2014 වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙක, මා සහ මට ඉගැන්වූ ගුරුවරයකු මාතර කෝච්චියෙන් කොළඹ පොත් ප්‍රදර්ශනයට ගියෙමු. එහිදී, අප දෙදෙනාම නොයෙකුත් පොත් මිළට ගත් අතර, මාගේ දුම්රියට ඇති ඇල්ම දැන සිටි ඔහු, මා හට දුම්රිය ගැන ලියැවුණු පොතක් පෙන්වීය. ඒ, එච්. යූ. තිබ්බොටුමුනුවේ නම් අයෙකු විසින් රචනා කොට තිබූ, “Adventures in Steam- British Era…” නම් කෘතියකි.


මට නිධානයක් සේ වටිනා කෘතිය..



එදා ගෙදර ආ මම, මෙම කෘතිය ගැන කලින් අසා කියවා තිබුනත්, මෙය කියවීම මදක් කල් දැම්මෙමි. සති තුනකට පමණ පසු, රාත්‍රී ආහාරයට පෙර විදුලිය විසන්දි වූ අවස්තාවක, ඉටිපන්දම් එළියෙන් මෙම පොත කියවීමට ගත්තේ විදුලිය එනතුරු කිරීමට දෙයක් වශයෙනි..
නමුත්, මෙම පොත මා සිත කෙතරම් ඇදගත්තේ ද කිවහොත්, විදුලිය නැවත පැමිණි පසුද, පොත පසෙකින් තබා රාත්‍රී ආහාරය සඳහා ගියේ මෙහි පිටු සියල්ලම කියවා හමාර කිරීමෙන් පසුවය.
අනතුරුව, මා ලත් අත්දැකීම්, ඇසුදුටු කරුණු ආදිය නිසාත්,  මා විසින්ද ලිපි සම්පාදනය කල “Lanka Railway Digest” නම් සඟරාවට එහි කතුවරයා විසින් සපයා තිබුණු ලිපි නිසාත්, ඔහු හමු වී කතාකිරීමේ ආශාවක් ඇති විය. වරින් වර එක එක කරුණු නිසා කල් ගිය මෙම කටයුත්ත, 2015 වසරේ ඉටුකරගැනීමට, මා පොතේ දී තිබුණු අංකය අනුව ඔහු ඇමතුවෙමි.
Hello! Can I speak to Mr. Thibbotumunuwe please? “
-         “Yes, speaking, who is this?”
මා හඳුන්වාදීමෙන් සහ හමුවීමට දිනයක් යොදාගැනීමෙන් ඒ කෙටි සංවාදය අවසන් විය. දවස් තුනකට පසු, මහනුවරින් මරදානටත්, මරදානෙන් කොට්ටාවටත් දුම්රියෙන් ගොස්, එතනින් කියූ මංසලකුණු අනුව නිවස සොයාගෙන මත්තේගොඩ ප්‍රදේශයට ගියේ ගැහෙන හදින්ය.
එදින මද වර්ෂාවක් විය. බස් නැවතුම අසල කඩයකට වී සිටි වයස්ගත පුද්ගලයකු, මා බැස වටපිට බලනු දැක ලඟට විත්, සුභාෂ් දැයි විමසා සිටියේය. හඳුනාගැනීමෙන් අනතුරුව, පයින් යන දුරින් පිහිටි ඔහුගේ නිවස වෙත අප ඇවිද ගියෙමු. වයස අවුරුදු 94ක් පිරී සිටි ඔහුගේ කාය ශක්තිය සහ නිරෝගීභාවය මා විශ්මයට පත් කිරීමට සමත් විය. ඔහු අඩුම ගනනේ හරමිටියකදු භාවිතා කලේ නැත!
නිවසට පැමිණ ආසනයක් පැනවූ ඔහු, ආ කාරණය විමසීය. මා ඇසූ ප්‍රශ්න වලට පැහැදිලිව පිළිතුරු සැපයූ ඔහු, අමතර කරුණු සහ මතක සටහන් ගෙනහැර දැක්වීය. ආ වැඩේ ඉවර නම් යන්න යයි නොකී ඔහු,
You must be thirsty than me” යයි කියා මා හට සිසිල් බීම එකක් පිළිගැන්වීමට තරම් කාරුණික විය. ඒ අප පළමුවෙන් හමු වූ දිනය විය.. 
 
දෙවැනි වතාවට හමු වීම..
පසුව, මා ඔහුගෙන් එදා අසාගත් දෑ සහ තවත් මා මතකයේ තිබුණු දෑ ගොනු කොට, උසස්පෙළ සහ නොයෙක් සටහන් ඉක්මනින් ලිවීමට හුරු වී විනාශ වුනු මගේ අත් අකුරින් ලියා, තරමක් දිග ලිපියක් යැව්වෙමි. මේ, එයට ඔහු එවූ පිළිතුරයි.. 

අත් අකුරු පැහැදිලි කරගන්නා ලෙස උපදෙස් දෙමින් ලියු ලිපිය..

මීට පසුව දුරකතනයෙන් ද, කිහිප වරක් ලිපි මගින් ද මාගේ ප්‍රශ්න වලට කාරුණිකව පිළිතුරු දීමට තරම් ඔහු නිහතමානී විය. තමාට දැන් වයස යයිද, කැමති දෙයක් ඔහු වෙත පැමිණ අසාගෙන යන ලෙසද කිසි දා මට නොකීවේය. තරමක් දීර්ඝව පැහැදිලි කල යුතු දෙයක් පමණක්, නැවත ආ දිනයක අසන ලෙස කීවේය. ඒ4 කොළ දෙක තුනක් පුරාවට මා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලියා එවීමට තරම් කාරුණික වූයේ, මා දුම්රිය දෙපාර්තමේන්තුව සමග කිසි සම්බන්ධයක් නැති කෙනෙක් බව නොසලකාය. 
 
වාෂ්ප එන්ජින් ගැන මගේ ආසාව දැනගත් ඔහු සකස් කොට එවූ ලිපි.
වර්ෂ 1942 ලෝක යුද්ධ සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශේෂ ආධුනික රියදුරු  (Special Apprentice Driver)  කෙනෙකු ලෙස බැඳී, අවුරුදු පහක පුහුණුව නිම කර 1947 වසරේ වාෂ්ප එන්ජින් රියදුරකු වශයෙන් සේවයට එක් වූ ඔහු සතුව, ඉතාමත් වටිනා, දුම්රිය ලෝලී අපහට සහ ඉතිහාසයට ලැදි සැමට, ධන නිධානයක් මෙන් වටිනා අත්දැකීම් රාශියක් විය.
ගල් අඟුරු වෙනුවට ලෝක යුද්ධ සමයේ දර යොදා වාෂ්ප එන්ජින් ධාවනය කිරීම, ගැරට් එන්ජින් වලට ගල් අඟුරු වෙනුවට දැවී තෙල් භාවිතය, 1971 කැරලි සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් විශේෂ දුම්රිය ධාවනය, ඒ මෙන්ම සහල් ප්‍රවාහනය තහනම් වූ අවධියේ දුම්රිය රියදුරන් සහල් ප්‍රවාහනය ආදී නැවත කිසි දා නොලැබෙන අත්දැකීම් මෙන්ම, දිස්ත්‍රික් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලද පසු, පැවැත්වූ පරීක්ෂණ, ඒවායින් හැකි සැම විටම රියදුරන් සහ අනෙකුත් දුම්රිය සේවකයින් නිවරදිකරුවන් වන අයුරින් වාර්තා සකස් කල හැටි, කඩුගන්නාවේ දුම්රිය එන්ජිමක් තැපැල් දුම්රිය පසුපස ධාවනය වූ සිදුවීමෙන් පසු, අදටත් භාවිතයේ පවතින  “Scotch Block” නම් උපකරණය දුම්රියට හඳුන්වාදීම ආදී බොහෝ වටිනා අත්දැකීම් ඔහු සතුවිය. ඒ මෙන්ම, ඒවා නිර්ලෝභීව ඔහු අපට බෙදා දුන්නේය. 

දෙවෙනි පොත..
පසුගිය වසරේ, දෙසැම්බර් මස 16 වනදා, මා තවත් මිතුරකු සමග ඔහු හමුවන්නට ගියේ, වෙනදා මෙන් මගේ අවශ්‍යතාවයකටම නොව, පැමිණෙන ලෙස ඔහු විසින්ම කරන ලද ආරාධනයකට අනුවය. අප යන විට මදක් රෝගී තත්වයක පසු වුවද, පෙර මෙන්ම විවිධ කරුණු කියමින් අප සමග පැය තුනකට ආසන්න කාලයක් පිළිසඳරේ යෙදුනි.
“ මට හම්බුන උගන්නපු ඒ මහත්තය හරි හොඳයි. ගොඩ්ෆ්‍රී කිංග්ස්ටන් කියල නම. මාව රෝස්ටර් කරනකොට බුකින් ක්ලාක් කිව්වෙත් හරි අමාරුයි වැඩ කරන්න, පුලුවන්ද කියල. මම හා කමක් නෑ කියල භාරගත්ත. පලවෙනි අපිට වැඩ කරන්න තිබ්බේ තලෙයිමන්නාරම කෝච්චිය. මම කලින් ගිහිං ටූල් බොක්ස් එක එහෙම හොඳට සුද්ද කරලා, ආවුද හොඳට දිලිසෙන්න සුද්ද කරලා තිබ්බ. එන්ජිමත් කට්ටිය එක්ක හොඳට සුද්ද කරා.
මිනිහ ඇවිත් බැලුව, මොකද්ද නම ඇහුව, එච්චරයි. ඊට පස්සේ කිසි කතාවක් නෑ එලවාගෙන යනවා. මම අඟුරු දානවා.. ගිහිං අනුරාධපුරෙන් බැස්ස. බැහැල යනකොට කිව්වා I will be waiting for you in the Booking Office කියල. ඔන්න ඔච්චරයි. බුක් ඔෆ් කරලා ඉවර වෙලා යනකොට තමා කතා කරේ....”
මෙලෙස සංවාදයේ යෙදී, ළඟදී ඔහු විසින් ලියු පොත ගැනද සඳහන් කොට, ඒ සඳහා සේයාරුවක් රැගෙන දිය හැකි දැයි විමසීය. එයට අප එකඟ වූ පසු, ඒ ගැන විස්තර කතා කොට, ඔහුට සුභ පතා, අප ඔහුගෙන් සමුගත්තෙමු. ඒ, නැවත හමුවන පොරොන්දුව පිටය.. එහෙත්..
එම පොරොන්දුව කිසිදා ඉටු නොවන පොරොන්දුවක් වන්නට දෛවය තීන්දු කොට තිබුණි.
එම සෙනසුරාදා දිනම ඔහුට උවමනා සේයාරුව ගැනීම පිණිස පිටත් වීමු. එය හමාර කොට, ගෙදර පැමිණි මා හට රත්නපුරය බලා පිටත් වීමට සිදු විය. එහිදී මා ඔහු අමතා, මා බලංගොඩ බලා පිටත් වන බවත්, සේයාරුව ලබාගත් බවත් දැන්වීමි. ඒ, මා ඔහු ඇමතු අවසාන වතාව විය.
ජනවාරි පළමුවන දා, දිවා ආහාරයෙන් පසුව අලුත් අවුරුද්දට සුභ පැතීමට ගත් ඇමතුමට ප්‍රතිචාරයක් නොවීය. ගෙදර දුරකතනයද විසන්දි වී තිබුණි. අනතුරුව පාසල් පටන්ගත් බැවින්, එම කටයුතු වල නියැළී, අද දින උදයේ, ෆේස්බුක් අඩවිය වෙත පිවිසුණු විට දුටු දෙයින් මා හදවත මොහොතකට නතර විය.
ඒ, ඔහුගේ අවමංගල උත්සවය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් විසින් පල කෙරුණු පුවත්පත් දැන්වීමේ ජායාරූපයකි.. 2016 අවුරුද්ද, මෙරට සිටි ප්‍රබුද්ධ, වැඩ දායක, වටිනා පුද්ගලයින් බොහෝ දෙනෙක් බිලිබාගත්තේය. එයින් අවසාන වශයෙන්, අවුරුද්ද අවසන් වන්නට හොරා කිහිපයක් තිබියදී, මෙම වටිනා සොඳුරු මිනිසාද මෙලොවට ආයුබෝවන් කියා තිබුණි.. 
 
පුවත්පත් දන්වීම..
මා හට කල හැක්කක් නොවීය. නිවසට ඇමතුමක් ගෙන මාගේ කනගාටුව ප්‍රකාශ කලෙමි. සවස ඔහු ලියූ පළමු කෘතිය නැවත අතට ගත්තේ කියැවීමට වඩා, ඔහුගේ මතකයන් ආවර්ජනය කිරීමටය. එහි පිටු පෙරලන සෑම අවස්ථාවකම, එම පිටු අතරේ සිට, ඔහු එම කතාව ඔහුගේ හඬින් මා හට පවසනු ඇසේ.. ඔහු නික්ම ගොස් ඇත. ජීවිත කෝච්චියේ සැතපුම් 96ක් ගෙවා, දුම්රිය නතර වී ඇත.. එන්ජිමේ ගින්දර නිවී ඇත.. ඔහුම පැවසූ පරිදි, ඔහු වර්ෂ 25ක් ගින්දර රස්නය වින්දේය. වාෂ්ප එන්ජින් වල දුම් බිව්වේය. ගැරට් එන්ජින් වල තෙල් මිශ්‍ර දුම ද, ඩීසල් දුමද ඇති තරම් වින්දේය.. නැවත සංසාරයේ ගින්දර නොවිඳ, නිර්වාණයේ සුවය අත් වේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි....!