Sunday, June 16, 2013

ස්පිරිට් නමැති අශ්වයා....

       

                                                           

           හැමෝම චිත්තර පටි බලන්න ආසයිනේ.. සිංහල, ඉංග්‍රීසි, හින්දි, තව ඔය එක එක නොතේරෙන භාෂා වලිනුත් යන එව්වා තියනවනේ.. සම හරක් කෙල්ලෝ එහෙම හින්දි කිව්වොත් මැරෙන සයිස්.. ඒත් ඉතින් මට නම් හින්දි කිව්වත් බඩ දඟලනවා.. :-P
          හරි.. දැන් ඔය හැමෝම බලපු චිත්‍රපටි වලින්, ඔයාල ආස එව්වා ඇතිනේ.. නෑ නෑ එව්වා පහලින් කමෙන්ට් කරන්න නෙවෙයි.. මම අද කියන්න යන්නේ මම පොඩි කාලේ (7 වසරේ) බලපු මගේ හිත් ගත්තු චිත්‍රපටියක් ගැන..
          මේ පෝස්ට් එක විමල් මහත්තය එහෙම දැක්කොත් මොන මොනවා කියයිද දන්නැහැ. ඇමරිකාවෙන් උනත් හොඳ දෙයක් දැක්කොත් ඒක ගන්න එක අපේ වැඩක්. හොඳ එකටයි නරක එකටයි හැම එකටම බැන බැන වටේ යන්නේ නැතුව.. ඇමරිකාවෙනුත් හොඳ දේවල් එනවා.. කොටින්ම අපේ ලංකාවේ තියන දුම්රිය දෙපාර්තමේන්තුවට තියන හොඳම එන්ජින් වෙන M2 පන්තියේ එන්ජින් "පරිත්‍යාග" කරලා තියන්නෙත් කැනඩාවෙන් සහ ඇමරිකාවෙන්..
          හරි කෝච්චි ගැන ඒ ඇති.. ඇයි යකෝ මේක කොච්චියක්ය..
          මේ කියන්න යන කතාවට පසුබිම් වෙන්නේ අශ්වයෙක්.. අශ්වයෙක් එයාගේ රංචුව, එයා උපන් මාතෘ භූමිය බේරගන්න කරන හුදෙකලා සටනක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ.. මේක ඇවිල්ලා එංගලන්තේ සුද්දෝ එහෙම ඇමරිකාවේ පළාත් "අයිති" කරගන්න කාලේ කතාවක්. ඒ කාලේ රතු ඉන්දියානුවන් එක්ක ඒ සුද්දෝ සෑහෙන්න යුද්ද කරපු කාලේ.. ඒ යුද්දෙකුත් මේ චිත්‍රපටියේ යනවා. ඇත්තෙන්ම මේ කතාව ආරම්භ වෙන්නෙත් ඒ වගේ එහෙකින් තමා.. මම කතාව කෙටියෙන් කියන්නම්..
          මේ කතාව පටන් ගන්නේ අශ්වයා ඉපදෙන තැන ඉඳන්මයි.. මෙයාගේ තාත්ත තමයි ඒ රැලේ නායකයා. ඉතින් තාත්තාගෙන් පුතාට මේ නායක කම යනවා. දවසක් රෑ ඈත බලන් ඉද්දි මෙයා දකිනවා ඈතින් දුමක් නගිනවා.. එයා ඒක හොයන්න යනවා..


          ඔතනින් තමා කතාව හරියට පටන් ගන්නේ.. මේ ඇවිල්ල ඉන්නේ ඉංග්‍රීසි හමුදාවට අශ්වයෝ අල්ලන්න. පොඩි සටනකින් පස්සේ මෙයා ඒ හමුදාවට කොටු වෙනවා....
          මෙයා කොහොම හරි සෑහෙන සටනක් දෙනවා ඒ සුද්දෝ ටික අශ්වයෝ දෙන්නෙක්ගේ සහයෙන් මෙයාව කඳවුර දිහාට ඇදගෙන යන එකට විරුද්ධව. ඒ වෙලාවේ මේ ෆිල්ම් එකේ සින්දුවක් යනවා. අර හින්දි මගුල් වල වගේ නෙවෙයි මේ සින්දු ටික නම් හිතට හොඳටම වදිනවා.. ඒ සින්දුවේ කියන්නේ මෙන්න මේ ටික..
          You- Can't take me--- I'm free..මේ සින්දුවේ වීඩියෝ එකට පාර තමයි ඔය දාල තියන්නේ. ඕනේ කට්ටිය එක බලාගෙන එන්නකෝ..
           ඉතින් කොහොමින් කොහොම හරි කඳවුරට ගෙනියපු මේ අශ්වයාට ඕනේ කොහොම හරි නැවතත් එයාගේ රංචුවට එකතු වෙන්න. ඒ වගේම, මෙයාගේ ලොම් කපන්න, කුර ගහන්න දෙන්නෙම නෑ. අනික් අශ්වයොත් මෙයාගේ වැඩ දැකල උඩ පනින්න ගන්නවා. ඊට පස්සේ ඒ කඳවුරේ නායකයා, මෙයාගේ පිටේ යන්න හදනව. නමුත් ඒ හැම සැරේම එයා බිම!!  එතනත් හොඳ උද්‍යෝගිමත් සින්දුවක් එහෙම යනවා..
            ඒත් අන්තිමේ සුද්දෝ කොහොමත් දරුණු ජාතියක් නිසා, ඒ දරුණු කම මේ අසරණ සතාටත් ක්‍රියාත්මක වෙනවා. "මෙයාව දවස් තුනක් කණුවේ ගැට ගහල තියන්න. කෑම, වතුර නෑ.." ඔන්න ඕකයි නියෝගය. එක ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා..
           ඔය අතරේ මේ කඳවුරට අල්ලන් එනවා රතු ඉන්දියානු නායකයෙක්. එයාගෙනුත් තොරතුරක් දැනගන්න බැරි උනහම එයාටත් අර දඬුවම දෙනවා. ඔය අතරේ අශ්වයාගේ දවස් තුන ඉවර වෙනවා. එදා සෑහෙන ගේමක් දීල ඔන්න නායක සෙබල නගිනවා පිට උඩ. වටේට බලල පොර මෙන්න මේ වගේ කතාවක් කියනවා..
                                        
  """""'කාලය, විනය, කැප වීම.. මේ තුන තියනවා නම් ඕනේ දෙයක් කරන්න පුළුවන්..""""""
          මේ ටික කියල ඉවර වෙද්දීම වගේ අශ්වයා එක පාරටම පොරව බිම දානවා. හොඳටම තරහ ගිය කර්නල් මෙයාට වෙඩි තියල මරන්න යනවා...
          ඒ අතරේ. අර රතු ඉන්දියන් කාරය එයා ගාව තිබ්බ පිහියකින් බැමි කපාගෙන මේ අශ්වයා පිටේ නැගල පැනල යනවා! ඒ, එතන හිටිය අනික් අශ්වයෝ ඔක්කොමත් එක්ක!
         රතු ඉන්දියානු නායකයා එයාව එක්කන් යනවා එයාගේ ගමට. එතෙන්දි ඒ නායකයාගේ වෙළඹ එක්ක මෙයාව ලණුවකින් බඳිනවා හැසිරෙන්න උගන්වන්නයි පැනල දුවන ඒකෙන් වළක්වන්නයි. ඒත් එයාටත් එපා වෙලා අශ්වයට දවසක යන්න අරිනවා.. ඒත්, ඒ යන දවසෙම අර ගමට ඉංග්‍රීසි හමුදාව පහර දෙනවා. එතෙන්දි ඇති වෙන සටනකදී, මේ අශ්වයා අර නායකයාව කර්නල්ගේ වෙඩි පාරකින් බේරාගන්නවා. ඒත් එක්කම අර වෙළඹ වැටෙනවා වතුරට. මෙයත් පනිනවා....
         වතුර දිගේ සෑහෙන දුරක් ගහගෙන ගිහින්, දෙන්න එක තැනකට ගොඩ ගහනවා.. එතන ඉන්නකොට, ඒ පැත්තේ රේල් පාරක් හදන කට්ටියක් ඇවිල්ල මේ අශ්වයාව අරගෙන යනවා.. මෙයාට වැඩ කරන්න තියා කෙලින් හිටගන්නවත් බෑ... ඒ නිසා එතෙන්දි කිසිම දෙයක් නොකර කීකරුව ගිහින් දුම්රියට නගිනවා.. දුම්රිය ඉදිරියට ධාවනය වෙනවා.. මෙන්න මේ වෙලාවේදී මෙයාට ගෙදර මතක් වෙනවා,, මෙයාගේ අම්ම මතක් වෙනවා.. මේ වෙලාවේදී හරිම සංවේදී සින්දුවක් යනවා.. කොහොමත් මේ චිත්‍ර පටිය බලන ඕනෙම කෙනෙකුට දෙතුන් තැනකදී ඇහෙන් කඳුළු වැටෙනවා..



                                   
ඕනේ අය ගිහින් සින්දුව අහල එන්න.          

           මේ සින්දුවෙන් පස්සේ, ඔන්න අශ්වයෝ ටික ඔක්කොම කෝච්චියෙන් බස්සල අරන් යනවා එකේ එන්ජිම කන්දක් උඩින් එහා පැත්තට ගෙනියන්න. කන්ද උඩට ආවම මෙයා දකිනවා, මේ පාර යන්නේ එයාගේ නිජ භූමිය දිහාවට කියල.. 
                                                 
                                 
           මේක කොහොමහරි නවත්තන්න ඕනේ කියල හිතන මෙයා, කලන්තේ දාල වගේ වැටෙනවා.. ඒ කරලා මෙයාව අනික් අශ්වයෝන්ගෙන් වෙන් කරලා ඇදන් යනකොට, මෙයා නැගිටලා අර දුම්රිය එන්ජිම අශ්වයින්ගේ කරවල් වලට හයි කරලා තියන දම්වැල් කඩනවා.
           ඔය අතරේ, අර රතු ඉන්දියානු නායකයා පන බේරාගෙන, රේල් පාර දිගේ පයින්ම පිටත් වෙනවා අර අශ්වයා හොයන්න. ඉතින් අර කඹ දම්වැල් කඩපු එන්ජිම කොහොම හරි අශ්වයා ඉන්න පැත්තටම පෙරළෙනවා.. පල්ලම දිගේ හයියෙන් දුවල එනකොට, පහල නවත්තල තිබ්බ තව එන්ජිමක අර එන්ජිම ගැටෙනවා.. ඒකෙන් ගින්නක් ඇති වෙලා, වටේටම ගිනි ගන්නවා මුළු කැලේම.
           මෙයත් ඉතින් ගින්දර පස්සෙන් පන්නන ගමන්ම දුවනවා. මේ ටිකේ නම් ඇත්තටම හුස්ම ගන්නත් අමතක වෙනවා බලන කෙනෙක්ට!! ඒත්,, එක පාරටම මෙයාගේ කරේ දම්වැල් කෑල්ලක් ඉතිරි වෙලා තියන එක පැටලෙනවා ගස් කඳක... ඒ වෙලාවේ එතෙන්ට එන අර රතු ඉන්දියානු නායකයා, පොරවකින් කපල අශ්වයා බේරාගෙන එයාවත් ඇදගෙන දිය ඇල්ලක් පහලට පනිනවා.....
           නෑ නෑ කතාව තව තියනවා.. ඊ ළඟ දවසේ උදේ, මේ දෙන්නව අර කර්නල්ට අහු වෙනවා.. පන්නගෙන පන්නගෙන ගිහින්, එක කන්දක් මුදුනට මේ දෙන්නව කොටු කරන්න කර්නල් ඇතුළු පිරිස සමත් වෙනවා.. ඒත් හිතට ධෛර්යය ගන්න අශ්වයා, ඒ කඳු මුදුනේ එක කොනකට ගිහින්, දුවගෙන ඇවිත් එහා කන්දට පනිනවා... 
                                       


                  ඒ වෙලාව වෙද්දී අර කර්නල් එහෙමත් ඒ කන්ද මුදුනට ඇවිත්. අශ්වයා පැනල ආපහු හැරිලා බලද්දී එයා කලින් හිටි කඳු මුදුන උඩ ඉන්නවා කර්නල් එහෙම. එක සොල්දාදුවෙක් තුවක්කුව අරන් වෙඩි තියන්න යනකොට, කර්නල් එක නවත්තල, හිස නමා ආචාර කොට යන්න යනවා..
         ඉතින් අර රතු ඉන්දියන් නායකයයි අශ්වයයි ආපහු ඒ ගමට යනවා.. එතකොට අර වෙළඹත් සනීප වෙලා. ඒ වෙලාවේ රතු ඉන්දියන් නායකයා අශ්වයට Spirit කියල නම තියනවා..
        "ස්පිරිට්- ඔයාගේ ආත්මය ගොඩාක් ශක්තිමත්.. මෙයාව හොඳින් බලාගන්න .."

මෙහෙම කියන නායකයා, එයාගේ වෙළඹත් ස්පිරිට්ට භාර දෙනවා.. අන්තිමේ මේ දෙන්නම එයාලගේ නිජ භූමිය බලා යනවා..
                               
   මේක තමා කතාවේ සාරාංශය. ඇත්තෙන්ම මේකෙන් අපිට සෑහෙන්න ආදර්ශ ගොඩක් ගන්න පුළුවන්..
වැටුණු විට නැගිටීම, යටත් නොවීම, නොසැලෙන ආත්ම විශ්වාසය, යුක්තියට වැඩ කිරීම, දැඩි මිත්‍ර කම ආදී බොහෝ දේ මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. කාර්ටූන් චිත්‍ර පටියක් උනත් බොහෝ දේ හිතන්න තියන, හොඳට හිතට වදින කතාවක්..
මේ චිත්‍රපටිය නිවාඩු කාලේ සිරස නාලිකාවෙන් විකාශය කල සිංහල හඬ කැවූ චිත්‍රපටි වලින් එකක්. ඉංග්‍රීසියෙන්ම තිබ්බත් ප්‍රශ්නයක් නෑ බලන්න පුළුවන් මොකද මේ කතාවේදී අශ්වයා කතා කරන්නේ නෑ. එයාගේ හිතට එන දේවල් විතරක් පසුබිම් කටහඬකින් කියනවා..
මේ චිත්‍රපටිය බාගෙන බලනවා නම්, මෙන්න පාර..
චිත්‍රපටිය ගැන වැදගත් විස්තරයක් විකිපීඩියාවෙත් තියනවා.. යනවා නම් මෙහෙන් එන්න.
මේකේ යන සින්දු ටික විතරක් ගන්නවා නම්, මෙහෙන් ගන්න පුළුවන්..

ප.ලි-
  මේ මම මේ අගොස්තුවට කලින් දාන අන්තිම පෝස්ට් එක. මට මේ අවුරුද්දේ උසස්පෙළ විභාගය ලියන්න තියන නිසා ඉදිරියට තවත් පෝස්ට් එකක් දැමීමට හැකියාවක් නෑ.. ඒ නමුත් ඊට පස්සේ සුපුරුදු ලෙසට බ්ලොගය පවත්වාගෙන යාමට මා බලාපොරොත්තු වෙනවා!! එතෙක් කියවන ඔබ සැමට තෙරුවන් සරණයි!!!