ගිය අවුරුද්දේ රිවීව් එකෙන් පස්සේ ලියන්න තියා ඔලුව උස්සගන්න වත් උනේ නෑ. වැඩ හිටු කියල. මම හිතන්නේ ජීවිතේ වැඩියෙන්ම එකක් පස්සෙන් එකක් වැඩ සෙට් උන මාස 3 ද කොහෙද ගෙවිල ඉවර උනේ.
ඔක්කොම වැඩ අහවර වෙලා (අහවරයි කිව්වට අහවරමත් නෑ.. ගුහාව අස් කරන එකට විරාමයක් දීලා තමා මේ ලියන්නේ) ඔන්න මේ පැත්තේ ආවා සුපුරුදු අවුරුදු පෝස්ටුව දාන්න..
අවුරුදු කියද්දී මතක් උනේ, හත්තිලව්වේ මේ පාර අවුරුදු නැකත් සීට්ටු දෙකක් නේ.. පළවෙනියට ආපු එකේ ශෝක් නැකත් ටිකක් තිබ්බා. ඒකෙ හැටියට වැඩ අල්ලන්න තිබ්බේ නිර්වස්ත්‍රයෙන්... ආ නෑ මේ නිල් වස්ත්‍රයෙන් සැරසිලා රෑ 12.06ට! ඔය ගැන ටීවී එකේ, තව ෆේස්බුක් එකේ එහෙම බොහොම උණුසුම් විවාද කීපයකින් පස්සේ, ජාතික “නැකත් පාය” විසින් මොකද්ද සංශෝධනයක් කරලා පහුවදා උදේට දාලා තිබ්බා.
මුල් සීට්ටුව |
සංශෝධිත නැකත් පත |
ඒ උනාට අර පරණ සැට් එක ඒක පිළිගන්න බෑ ම කිව්වා! ඔන්න මම නැකත් සීට්ටු දෙකම අමුණනවා මේ පොස්ටුව ට පහලින්. කැමති කෙනෙක් කැමති විදියකට සමරගන්න පුළුවන්. එතකොට අඟහරු ලෝකේ මම මොකද්ද පිළිපදින්නේ?
අනේ ආයිබෝවං, බුදු බණේ තියනවා නේ “අත්ථො අත්ථසස නක්ඛත්තං - කිං කරිස්සන්ති තාරකා” කියල. ඒ නිසා මම නම් මට ඇහැරුන වෙලාවක කනවා. නැකතට කරලා මොනවද මෙච්චර කල් හරි ගියේ ඇත්තට? අනික් අතට, නැකතට නොකරා කියල වැරදුන දෙයක් තියනවා කියල මට නම් මතකයක් නෑ (මගේ පෞද්ගලික ජීවිතේ).
කොහොමින් කොහොම හරි, මේ නැකත් අවුල එක්ක, ඔය අවුරුදු උදාව ගැන අපි දන්න “සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට යනවා” කියන කතන්දරේ ගැන මම ටිකක් හෙව්වා. ඔය රාශි චක්කරේ කියන්නේ අහසේ තියන රටා 12ක් නේ. අපි පොළවේ ඉඳන් අහස බලද්දී, අපි එක තැන ඉන්නවා, ඉර යනවා වගේ නේ පේන්නේ. ඒත් ඇත්තටම වෙන්නේ පොළොව ඉර වටේ යන එක නේ.
කොහොම හරි, ඔය යන ගමනේදී, ඉතාම සරලව කිව්වොත්, ඉර ඔය තාරකා රටා වලින් නිරූපණය වෙන රාෂි 12 පසුබිම් කරගෙන තමා චලනය වෙනවා වගේ පේන්නේ. ඕකේ රවුම ගහලා ආපහු මුලට එන එක නේ ඔය අවුරුද්ද කියල සමරන්නේ.
මේ ගැන මහාචාර්ය නලින් ද සිල්වා ෆේස්බුක් අඩවියට එකතු කරලා තිබුන පෝස්ට් එකකින් කොටස් කිහිපයක් මම උපුටලා මෙතන දානවා. මේකේ සම්පූර්ණ කතෘ අයිතිය එතුමා ගේ.
“මේ සමග රුප සටහනක් ඇති. එයින් පෙන්නන්නෙ ඛගෝලය. (හිස් ගෝලය celestial sphere ) ඒ ඛගෝලයෙ පෘථිවි සමකය ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා. ඒ වගේ ම සූර්යයාගේ ගමන් මාර්ගයත් (ක්‍රාන්ති වලයය ecliptic) ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා.ඇඳලා තියෙනවා කිවුවත් කමක් නැහැ. පෘථිවිය තම අක්‍ෂය වටේ පැය විසිහතරකට සැරයක් කැරකෙනවා. ඒ අතර එහි අක්‍ෂයත් බමරයක වගේ අවකාශයෙ අචල අක්‍ෂයක් වටේ කැරකෙනවා. එ නිසා අර සමකයේ ප්‍රක්‍ෂෙපණය වෙනස් වෙනවා. මේ බමර සෙල්ලමට පූූර්වායනය (precession) කියා කියනවා.
අමුණා තිබුණු රූප සටහන |
සමකයේ ප්‍රක්‍ෂෙපණයත් ක්‍රාන්ති වලයයෙ ප්‍රක්‍ෂෙපණයත් ඡෙදනය වන ලක්‍ෂ්‍යයට මේෂ රාශියේ ප්‍රථම ලක්‍ෂ්‍යය කියනවා. එය ග්‍රීක හෝඩියෙ ගැමා අක්‍ෂරයෙන් හැඳින්වෙනවා. සූර්යයා තම වාර්ෂික ගමනේ දක්‍ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධගෝලයට යන එක සනිටුහන් වෙන්නෙ ගැමා ලක්‍ෂ්‍යයෙන්. ඒ ක්‍රාන්තිවලයයේත් සමකයේත් ඡෙදන ලක්‍ෂ්‍යය. සූර්යයා සමකය හමුවෙන ලක්‍ෂ්‍යය. අර පූර්වායනය නිසා ගැමා ලක්‍ෂ්‍යය අවුරුදු හැත්තෑදෙකකට දවසක් පමණ ඉදිරියට යනවා. අවුරුදු දෙදදහකට පමණ පෙර ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙන කාලෙ සූූර්යයා ඔය ගැමා ලක්‍ෂ්‍යය පසු කෙළෙ මාර්තු 21 වෙන්න ඕන. අවුරුදු දෙදහකට විතර පස්සෙ අද එය සිිද්ධ වෙන්නෙ අප්‍රේල් 18 19 දිනවල. ඒ අනුව සමහරු සූර්යයා මීනයෙන් මේෂයට යන්නෙ මාර්තු 21 හරි අප්‍රේල් 18 19 හරි කියල ගන්නවා. මාර්තු 21 වැනි දා බටහිර ලෝකයෙ වසන්ත කාලය නිල වශයෙන් ආරම්භ වෙනවා.
අපි අහසෙ ග්‍රහයන් යන වළල්ල හඳ අනුව නකත් 27කට බෙදුවට බැබිලෝනියන්වරු රාශි දොළහකට බෙදුවෙ. වෛදිකයන් මේ පද්ධති දෙක එකතු කරා කියල හිතන්න පුළුවන්. ඔය තුලා ලග්නය සිත නකත හා සම්බන්ධයි. තුලා ලග්නයෙ ප්‍රධාන ආරම්භක තාරකාව ස්පිකා කියල හඳුන්වනවා. එයට චිත්‍ර නක්‍ෂත්‍ර කියල වෛදිකයන් කිවුව. චිත්‍ර නක්‍ෂත්‍රට හරියට ම අනෙක් පැත්තෙ තියෙන මාසය වෛදිකයන් චිත්‍ර මාසය කියා හැඳින්නුවා. අර චිත්‍ර (ස්පිකා) තරුවට හරියට ම අනෙක් පැත්තට සූර්යයා එන දිනය සූර්යයා අලුත් අවුරුද්ද ආරම්භ වෙන දිනය ලෙස ගන්නවා.
මට හිතෙන්නෙ එය රේවති අස්විද නකත් සීමාව මීන මේෂ රාශි සීමාවට එක් කරන්න ගිහින් වෙච්ච දෙයක්. සූර්යයා රේවති නකතෙන් අස්විදයට යන්නෙ අප්‍රේල් 13 14 15 දිනවල. මේෂ රාශියෙ මුල තියෙන්නෙ අස්විද නකතෙ මුල නොවෙයි. එය තියෙන්නෙ අස්විද නකතෙ දෙවැනි පාදයෙ විතර. නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අර වළල්ල පාද 108කට. පාද 108ක් යන්න දින 365ක් යනවා නම් පාද එකකට ටිකක් වැඩියෙන් විතර යන්න දින තුන හතරක් යනවා. අපේ අවුරුද්ද අප්‍රේල් 18 19 නැතුව අප්‍රේල් 13 14 වෙන්නෙ එ නිසා කියයි මා හිතන්නෙ. අපි භාරතීය පද්ධතියට යටවෙල සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කිවුවට අප සමරන්නෙ සූර්යයා රේවති නකතින් අස්විද නකතට යෑම කියලයි මට හිතෙන්නෙ.”
මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ මේ විදියට. මම මේක උපුටලා මෙතන දැම්මේ, දහම් පාසලේ දරුවෙක් අද අහනවා, අවුරුදු දවස් මෙහෙම වෙනස් වෙන්න හැකි ද කියල. හැකියි කියල කිව්වට, ගොඩක් අය හිතන්නේ එක්දාස් අටසීය බර ගණන් වල ඉඳලම හැමදාම අවුරුදු වෙලා තියන්නේ අප්‍රේල් 12- 14 අතර කියල. නෑ ඒක එහෙම නෑ.
කොහොමින් කොහොම හරි, මේ අවුරුද්ද පහුගිය අවුරුදු දෙක තරම්වත් ලොකුවට හිතට දැනුනේ නැහැ මේ ඔක්කොම එක්ක. 2022 නම් අරගල අනංමනං එක්ක සෑහෙන කතන්දර නේ. 2023 (ගිය අවුරුද්දේ) නම් බංකොලොත් ලබන්න ඔන්න මෙන්න කියල මම හිටියේ ට්‍රේනිං එකේ අන්තිම කාලේ. මේ අවුරුද්දේ තමයි ඇත්තම කිව්වොත් 2019 ට පස්සේ සුපුරුදු පරිදි රෙදි එහෙම අරගන්න චක්‍රයට යන්න ලැබුනේ.
ඇඳුම් වල ගණන් දැක්කම නම් හැබැයි සසර කලකිරුණා. මම එහෙම කිව්වට, මේක ලියවෙන 12 වෙනිදා රෑ වෙද්දීත් ගොඩක් ඇඳුම් කඩවල් වල පෝලිම් කියල මම ෆේස්බුක් එකෙන් එහෙම දැක්කා. මිනිස්සු කොහොම හරි සතුටු වෙන්න, තමන්ගේ නෑයෝ සතුටු කරන්න බලනවා. මම සාමාන්‍යයෙන් අවුරුද්දට යන ගෙවල් දෙකක් තිබ්බා යාලුවන්ගේ. මේ පාර එක්කෙනෙක් රුමේනියාවේ. අනික් කෙනා පවුල් බරත් එක්ක බිසී වෙලා. ඒ නිසා මේ පාර මට එහෙමට කියල යන්න තැනකුත් නෑ. මතක හැටියට 2003න් වගේ පස්සේ මේ විදියට තනියම අවුරුද්දක් ගෙවනවාම ද කොහෙද (2020 අදාළ කරගන්න බෑ ඉතින් හැමෝම ගෙවල් වල නේ).
දහම් පාසල් සේවයෙන් අයින් උන නිසා, ඒ උත්සව ගැන ලියන්න කියල දේකුත් නෑ මේ පාර. කොහොමත් 2019 මිස් උනාට පස්සේ එකක් තිබ්බේ ම නෑ, ඊට පස්සේ හිටිය අවුරුදු ටිකේ උනත්. ඉස්කෝලේ නම් කොහොමත් ඤැහ් නේ.. වටේ පිටේ උනත් මේ පාර අවුරුදු උත්සව අඩුයි. ඔය අහු අස්සේ තරඟ කිහිපයක නම් වෙනස් කරලා තියනවා දැක්කා රජයේ මැදිහත් වීමෙන්..
මේ පාර අවුරුදු පෝස්ට් එක බොහොම කෙටියි. නලින් ද සිල්වා මහාචාර්යතුමාගේ පෝස්ට් එකක් දාලා ඇඟ බේරාගෙන කියන්න නම් එපා, ඇත්තටම අවුරුද්ද ගැන ලියන්න මහා ලොකු යමක් නෑ මට මේ පාර.එහෙනම්, ලියන කියවන හැමෝටම, ලබන්නා වූ (කීයට හරි) අලුත් අවුරුද්ද, සියලු බලාපොරොත්තු ඉටු කරගැනීමට ශක්තිය නැණ නුවණ ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!