Sunday, September 17, 2023

පැරණි ලොව සිහිවටන සොයා ගිය ගමනක පිය සටහන් දිගේ..


                        “කාලෙකින් බ්ලොග් එක පැත්තේ පස් පාගන්න බැරි උනා.”

          මුල් වාක්‍යය උදෘත පාඨ අස්සේ දැම්මේ ඇයි කියල බලන්නත් ඇති. ඒකට හේතුව තමයි, මේ වාක්‍යය මම ගත්තේ 2013 මේ බ්ලොග් එකටම ලියවුන චාරිකා සටහනකින්. ඒ වාක්‍යය හැබැයි මේක ලියවෙන අවස්තාවටත් සෑහෙන්න ගැලපෙනවා.

          අවුරුදු පෝස්ට් එකෙන් පස්සේ රේල්වේ ට්‍රේනිං එකේ ඉතුරු ටිකට යන්න උන නිසාත්, ඊට පස්සේ එක දිගට ආපු වැඩ, විභාග අනංමනං නිසාත් ඇත්තටම මේ පැත්තේ එන්න බැරි උනා. වෙනදා නම් අඩුම බ්ලොග් නොලිව්වට කියවන එක හරි කරාට, මේ පාර ඒකත් බැරි උනා.

          කොහොම හරි, අගෝස්තු මාසේ වෙද්දී ඔන්න වැඩ ටික එහෙමෙහෙ වෙලා, ආපහු පොඩි නිදහස් කාලයක් ලැබුනා. ඒ එක්කම, පොතේ හැටියට හිටු කියල වහින්න ඕනේ කාලේ උනත් වැස්සක් තියා නිකං වලාකුලක් වත් නැති වෙන තරමට අහසත් පැහැදිලි වෙලා තිබ්බ එකේ, පොඩ්ඩක් රවුමක් දාලා යන්න එන්න ඕනේ උනා.

          මේ පාර ඇවිදින්න යන්න මං එක්ක සෙට් උනේ, මගේ ඉස්කෝලේ මුල් කාලේ ඉඳන්ම යාළුවෙක් උන කාංචන. එයාගෙත් විභාග ඉවර වෙලා තිබ්බ එකේ, අපි කල්පනා කරා උඩරට පැත්තේ රවුමක් දාලා එමු කියල. ඒ ගමන සැලසුම් උනේ, මීට අවුරුදු 10කට කලින් ගිය ගමනක් ආපහු යන්න. ඒ තමයි, හපුතලේ ඇඩිෂම් බංගලාව බලන්න. 

අර අරහේ.

          මේ ගමන කලින් ගිහිං තිබ්බ නිසා මේ පාර සැලසුම්කරණයේ එච්චර ප්‍රශ්නයක් තිබ්බේ නෑ. යන කෝච්චි ගැන එහෙමත් ලොකු අවුලක් උනේ නෑ, කලින් විදියටම නයිට් මේල් ගිහිං අදාළ ටික බලලා, පහුවදා 1008 ආපහු එමු කියල තමා කතා උනේ. පළවෙනි ගමනේදී පොඩි මැණිකේ ආවට, දැන් පොඩි මැණිකේ කලින් යන නිසාත්, ඒක පවර් සෙට් වෙලා තිබ්බ නිසාත්, සෙනග නිසාත් අපි කල්පනා කරා නිවීහැනහිල්ලේ පහු වෙලා එන 1008 එමු කියල.

          පළවෙනි ගමනට අපි පිටත් වෙලා තිබ්බෙත් ජනවාරි 18. මේ පාරත් කොහොම හරි කැරකිලා 18ක් ම සෙට් උනා. මේ බංගලාව බලන්න දෙන්නේ සති අන්තේ සහ රජයේ නිවාඩු දවස් වල විතරයි. ඒ නිසා වෙන විකල්පයක් තිබ්බේ නැහැ. කොහොම හරි ඉතිං 18 වෙනිදා දවාලේ මම කෑම ගැන බලද්දී, කාංචන කිව්වා අපි දෙන්නටම පාන් අරගෙන එන්නම් කියල. දෙන්නෙක් පාන් ගෙනියන එකේ තේරුමක් නැති නිසා, මම ගත්තා අපේ ජාතික රේල්හයික් ආහාරය - වේපස්..

          කලින් පාර අත්දැකීම් නිසා මේ පාර මම රෑ ගෙලිඔයට ගිහිං, අංක 596 අල්ලාගෙන පේරාදෙණියට ගියා. මේක ඇද්දේ M6 පංතියේ අංක 790 එන්ජිම. රෑ 9 පහු වෙලා පොඩ්ඩකින් මම එහෙ. කාංචනවත් එතනට ගෙන්නගත්තා. 

පේරාදෙණියෙන් පිටත් වීමට සූදානම් වූ අංක 596 මිශ්‍ර දුම්රිය. 

         ඔහොම පැයක් විතර යද්දී, කොළඹ - මහනුවර - බදුල්ල බලා යන පාසල් නිවාඩුව වෙනුවෙන් දාපු විශේෂ දුම්රියක් ආවා. මේ ගැන මම ගිය ගමන්ම දුම්රිය ස්ථානාධිපතිතුමා මට දැනුම් දුන්න නිසා අපි ඒකත් බලාගෙන හිටියා ඇත්තටම. ඇතුලේ නිදාගෙන යන්නත් ඉඩ තිබ්බ නිසා, මේල් එක ගැන අදහස ටිකක් කල් දාලා, අපි දෙන්නා නැග්ගා ඒකට. මේක අළුත්ම S14 බලවේග කට්ටලයක්. එදා ආවේ අංක 987/979 කට්ටලය. ඉතිං ඉතාම සුවපහසුවට, නිදහසේ අපි නානුඔය වෙනකල් මේකෙන් ආවා. 

මහනුවරින් පිටත් වීමට සූදානම් විශේෂ දුම්රිය. ඔය පේන්න තියන එම් 6 එක තමා 790.  

          මෙතැනදී එක දෙයක් කියන්න හිතුනා. මම දැකල තියනවා බොහෝ දෙනෙක් මේ දවස් වල දුම්රිය දෙපාර්තමේන්තුවට බනිනවා හිටු කියල, මැදිරි නඩත්තු කරන්නේ නෑ, මේවයේ කුණු, අරකයි මේකයි කියල. හැබැයි එහෙම කියන මගීන් ම, කකුල් සීට් උඩ තියාගෙන, කාපු බීපුවා ඒ ඒ තැන් වල නැත්තම් කෝච්චිය ඇතුලෙ බිම, නැත්තම් ජනේලෙන් එලියට. බුලත් කාලා හුණු පිහින්නේ සීට් එකේ නැත්තම් හැන්ඩ්ල් එකේ. එතකොට දුම්රිය විනාස වෙන එකට දෙපාර්තමේන්තුවට, දේශපාලුවන්ට විතරක් දොස් කියන්න පුළුවන් ද? 

ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිට.. 

          කොහොමින් කොහොම හරි, දුම්රිය හරි වෙලාවට ම වගේ නානුඔයට ආවා. පාන්දර දෙක වෙද්දී නානුඔයේ. මෙච්චර කලින් උඩහට ගිහිං සීතලේ වෙව්ල වෙව්ල ඉන්නවට වඩා හොඳයි කියල, අපි දෙන්නා නානුඔයෙන් බැස්සා. එතන රෙස්ට් රූම් එකක් එහෙම තියනවා. කාංචනට නිදාගන්න කියලා, මම ගියා කලින් සේවා ස්ථානයේ වටේට රවුමක් දාන්න.. 

නානුඔය 

          එතන ඔහොම ඇවිද ඇවිද ඉද්දි ඔන්න ඈතින් මේල් එක එනවා ඇහුනා. මේක ඉතිං සුපුරුදු පරිදි අදින්නේ M6 පන්තියේ එන්ජිමකින්. එදා ඉස්සරහ තිබ්බේ අංක 789. රෑ 596 වැඩ කරගෙන නුවර ගිය එන්ජිම, අංක 790 තමා මහනුවරින් හරවලා සහායක එන්ජිම විදියට පස්සෙන් තල්ලු කරේ. නානුඔයේ සුළු විරාමයක් ගත්ත බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, වෙලාවටම වගේ බදුල්ල බලා පිටත් උනා. 

නානුඔය ස්ටේෂන් එක ලස්සන නැති වෙලාවක් හොයාගන්න නෑ. සතියක් නැවතිලා හිටිය නිසාත්, නොයෙක් ගමන් වලදී පහු කරලා ගිහිං තියන නිසාත් මේ බව මම හොඳට දන්නවා.. 

          තැපැල් දුම්රියේත් ලොකු සෙනගක් හිටියේ නැහැ. අපි පළවෙනිම මැදිරියට ගොඩ උනා කලින් ගමන වගේ ම. මම නම් ඉතිං පා පුවරුව අද්දරම තමා ගියේ. කාංචන නම් සීට් එකකට ගියා මෙච්චර ලස්සනට සීට් තියද්දි මොකටද ෆුට් බෝඩ් යන්නේ කියල (කතාව ඇත්ත ඉතිං..)

 මෙහෙම තමා මේල් එකේ එන්ජින් දෙක පට්ටිපොළ දී හම්බ වෙන්නේ..

          ඔය අහු අස්සේ, අගෝස්තු 19 මගේ උපන්දිනේ.. වෙනදා නම් මාළිගාවට ගිහිං නුවර රවුමක් දාලා එනවා. මේ පාර උපන්දිනේ සැමරුවේ කෝච්චියක. සාමාන්‍යයෙන් මෙච්චර කාලෙකට රෑ 12ට මට විශ් එකක් නම් ඇවිත්ම නෑ. මේ පාර ඉස්සරහ සීට් එකේ ඉඳන් කාංචන විශ් කරා (හැබැයි ඉතිං වෙනදා වගේම ගෙදර අයට නම් මතකයක් නෑ. පස්සේ හෝ ගාලා ආව දහම්පාසලෙයි ඉස්කෝලෙයි ළමයින්ගේ ඒවා තමා සිටි සිටි ගාලා ආවේ). 

හිරු නැගෙන යාමය. 

          පාන්දර පහ හමාර වෙනකොට ඔන්න අපි ඉදල්ගස් හින්නට ආවා. කලින් සැරේ වගේම, මෙතැනින් අපි බැස්සා. ඒ හරිය කලින් වගේ ම හරිම ලස්සනයි. මේ සැරේ අපි එනකොට ම වගේ තමා සූර්ය උදාව තිබ්බේ. ඔහිය - ඉදල්ගස් හින්න අතර තියන බිංග 14 අතරින් කෝච්චිය යනකොට, උදෑසන හිරු එළිය එක්ක අමුතුම ලස්සනක් තිබ්බා. ඒ අතරට එකතු උන M6 එන්ජින් ද්විත්වයේ ලයාන්විත හඬ ලස්සන ගීතවත් බවක් ඒ දර්ශනයට එකතු කරා කිව්වොත් මම හිතන්නේ කාංචන මං එක්ක එකඟ වේවි. 

පායන හිරු කිරණ අතරින් ඇදෙන රාත්‍රී තැපැල් දුම්රිය 

          මේල් එකට යන්න දීලා, අපි මූණ කට එහෙම හෝදගෙන, දුම්රිය ස්ථානාධිපතිතුමා දැනුවත් කරලා, හපුතලේ බලා පල්ලම් බැස්සා. මම අරං ගියා චෝකෝ නට්ස් එකක්. ඕක කකා තමා ඉතිං අපි පල්ලම් බැස්සේ. කාංචන ගේ ෆෝන් එකේ බැටරි එක නොදන්නා හේතුවකට බලාගෙන ඉද්දි බහින්න ගත්තා ඔය වෙද්දී. ෆෝන් කම්පැනි එකේ අයට උදේ පාන්දර හෙම්බිරිස්සාවක් හැදෙන්න ඇති. 

බදුල්ල බලා ඇදෙන රාත්‍රී තැපැල් දුම්රිය 

හිරු නැගෙන යාමයේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය 



කලින් පාරත් මේ හරියෙම ෆොටෝ එකක් ගත්තා..
 

සෙක්ෂන් එකේ හම්බ වෙන එකම බිංගේ.. කලින් ඔහිය - ඉදල්ගස්හින්න සෙක්ෂන් එකට තමා මේ මාර්ගයේ වැඩිම බිංග ගාණක් අහු වෙන්නේ. ඒ ගාන 14ක්. සමහර වෙලාවට රාත්‍රී තැපැල් දුම්රිය එකවර බිංග තුනක් ඇතුලෙන් ගමන් කරනවා ඒ සෙක්ෂන් එකේ.
  

           මග දිගට ඉතිං ෆොටෝ ගහගෙන, සෑහෙන නිශ්ශබ්දතාවයක් තිබ්බ ඒ පරිසරයේ චමත්කාරය විඳගෙන, අපි හෙමි හෙමින් ග්ලෙනනෝර් වතු වේදිකාවට ලඟා උනා. කලින් සැරේ වගේම, එතන ඉඳන් උදේ ආහාරය අරගත්තා. හැබැයි අපි කොළ කෑල්ලක් තරම් වත් දෙයක් එතන දාලා නොඑන්න පරෙස්සම් උනා. ඒ වගේම, ජනවාරි නොවුන නිසා, මෙතනින් එහාට සීතලේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. 

ග්ලෙනනොර් වතු වේදිකාව. කලින් වගේ නෙවෙයි මේකේ දැන්වීම් ගහලා කාලා..

          කලින් පාර අශාන් එක්ක ආවම ෂෝට් කට් එකක ගියත්, මේ පාර ඒ හරිය ටිකක් වෙනස් වෙලා තිබ්බ නිසාත්, අපිට වෙලාව ඕනෙවටත් වැඩිය තිබ්බ නිසාත්, අපි තීරණය කරා අනික් පාර දිගේ ගිහිං, එනකොට ෂෝට් කට් එකේ එමු කියල. ඇත්තටම ඒ රවුම් පාරත් ලස්සනයි. තේ වත්තක් මැදින් යන්නේ. 

අනන්තයට යන පාර දිගේ...  

          ඕකේ ගිහිං, ඇඩිෂම් බංගලාව දක්වා වැටුන පාර දිගේ හෙමි හෙමින් උඩහට ගියත්, විවෘත කරන්නේ උදේ 9.00ට නිසා පැය භාගයක් වගේ අපිට එළියේ ඉන්න උනා. ඔය අතරේ ඉතිං මම කැමරාව එහෙම අටවගත්තා. මේක ඇතුලට පිවිසෙන්න, රුපියල් 100ක ගාස්තුවක් අය කරනවා. කලින් සැරේ එද්දි 50 ද කොහෙද. 

ටිකට් දෙනකල්...

            කලින් පාර නම් අපි ඇතුලට යද්දී අපි විතරයි හිටියේ. මේ පාර පෝලිමේ ම හිටියා 10ක ට එහා. වෙලාව ලං වෙන්න වෙන්න තව සෑහෙන්න ආවා. අපි ඉතිං නූලට වෙලාවට ම ඇතුලට ගියා. 

මේ පාර කැමරා එකක් තිබ්බා හොඳ ලෙන්ස් එකක් එක්ක. මේ ඒකෙන්.. 

          කලින් වගේ ජනවාරි මාසේ නොවුනත්, එදාත් උදේ ඉර එක්ක හරිම ලස්සන දර්ශනයක් අපි දැක්කා. මොනවා උනත් අවුරුදු 10ක වෙනස කියල ලොකු දෙයක් පේන්න තිබ්බේ නෑ. කලින් සැරේ වගේ ම ඇතුලේ ෆොටෝ ගන්න දුන්නේ නෑ. අමතර ෆොටෝ එකක් දෙකක් (චිත්‍රයක්) එහෙම එල්ලලා තිබ්බා ඇතුලේ තිබ්බ ඒවාට.

          ආපු සෙනග එක්ක, කාංචන කිව්වා “මචං මේ සෙට් එක ඇතුලේ ඉන්න වෙලාවේ අපි එලියට ගිහිං ෆොටෝ ටික ගහගමු” කියල. මමත් ඉතිං ආවා එලියට.. මොන පිස්සුද.. ඒකෙ සෙනග හරියට යුද්ධේ ඉවරල මහින්දගේ රැස්වීමක වගේ.. බොහොම අමාරුවෙන් ඉඳල ඉඳලා අල්ලගත්තා මිනිස්සු අඩු හරියකට ෆොටෝ ටිකක්. 

එළියේ ඉඳන් අල්ලපු ෆොටෝ.. මේ ටික අල්ලගන්න සෑහෙන වෙලාවක් ඉවසන්න උනා.. 

          ජෑම් කෝඩියල් වල ගණන් බලන්න කියල ඒ පැත්තට ගිහාම, කෙලින් ම ෆයර් මැතමැටික්ස්.. ඒ හරියෙත් සූ ගාලා සෙනග පිරෙන්න ගත්ත නිසා, අපි තව වටයක් දෙකක් කැරකිලා, හෙමි හෙමින් ආපහු යන්න පටන් ගත්තා. 

මුරට ඉන්න බලුස් කෙනෙක්..

          එළියට එනකොට පාර දිගේ වාහන දිග...... පෝලිමක්. එතන ඇත්තටම බලන්න තියන්නේ බොහොම සුළු කොටසයි. අපි ඒත් කල්පනා කරා මේක බලන්න මෙච්චර සෙනගක් වාහන පෝලිම් ගහගෙන එන්න හේතුව මොකද්ද කියලත්. 

ෂෝට් කට් එක.. 

          ඕවා මේවා කයිය ගගහා, ෂෝට් කට් එක දිගේ පහල රේල් පාරට ඇවිත්, හපුතලේ බලා අපි පල්ලම් බැස්සා. ඒ එන අතරමග අපිට බැලස්ට් එකක් එක්ක අංක 791 ඇන්ජිම හම්බුනා. එතකොට මේ වෙද්දී 789, 790, 791 තුනම එක ගමනකදී හම්බ වෙලා.. 

බැලස්ට් එකක් එක්ක අංක 791 ඇන්ජිම.. 

          හපුතලේ ට ඇවිත්, අපි කෝච්චියට තව සෑහෙන වෙලා තිබ්බ නිසා, ටවුම වටේ රවුමක් දාලා, දවල්ට කන්න සෙට් උනා. කලින් වගේ අපි ගෙනාපු කෑම වලින් විතරක් දුවන්න මේ පාර පුළුවන් උනේ නැහැ. ඒ නිසා අපි ටිකක් පිළිවෙලයි කියල පෙනුන හෝටලේකට ගියා කන්න කියල. 

දවල්ට කාපු තැන.. 

          ඇත්තටම එතන හොඳ කෑම වේලක් සාධාරණ ගානකට කන්න පුළුවන් උනා. කෑම එකේ රසත් හොඳයි, අඩුත් නෑ වැඩිත් නෑ. පල්ලෙහා රේල් පාරයි මහපාරයි ටවුන් එකයි දිහා බලාගෙන, කයියක් දාගෙන අපි පාඩුවේ කෑවා. 

මේ තියන්නේ මාර්ගයේ ආනතිය දක්වන සංඥාව. මෙතන ඉඳන් එක පැත්තකට පාර අඩි 50 ට අඩියක් ඉස්සෙනවා. අනික් පැත්ත ලෙවල් (තැනිතලා). 

          කාලා එහෙම ඉවර උනාට පස්සෙත් තව පැය භාගයක් වගේ තිබ්බා ඉතුරු වෙලා. ඒ ටික අපි හිමින් හිමින් ස්ටේෂන් එකට ඇවිදගෙන ගිහිං, ටිකට් එහෙම අරගෙන, ප්ලැට්ෆෝම් එකට වෙලා කයියක් දාගෙන හිටියා.

          ඔන්න ටික වෙලාවකින්, අංක 1008 අරගෙන ආවා M6 පන්තියේ අංක 790 ඇන්ජිම.. ඒ කියන්නේ මම ගමන පටන් ගන්නෙයි ඉවර කරන්නෙයි එකම එන්ජිමෙන්. මේ දවස් වල උඩරට මාර්ගයේ ලෝකොමෝටිව් වලින් දුවන කෝච්චි තියන්නේ නයිට් මේල් දෙක, මිශ්‍ර දුම්රිය දෙක සහ 1007/1008 දෙක විතරයි. අනික් සියල්ල බලවේග කට්ටල නිසා එන්ජින් චක්‍රය හරි සරලයි. ඒක මෙතන විස්තර කරන්න යන එක තරමක් නීරස වෙන නිසා වැඩිය ලියන්න යන්නේ නෑ ඒ ගැන. 

මේ තියන්නේ අපේ මිනිස්සුන්ගේ ජාතික හපන්කම්..  

          එයිට් එක කොහොම හරි එදා හපුතලේ ට විනාඩි 5ක් වගේ ලේට් වෙලා ආවේ. හැබැයි කලින් සැරේ පොඩි මැණිකේ වගේ නෙවෙයි. මේක සෑහෙන්න ලේට් වෙනවා කියල මම අත්දැකීමෙන් දන්නවා මොකද රේල්වේ ට්‍රේනිං ඉද්දි ඉරිදා හවස ගියේ ම ඕකේ. එදාත් ඉතිං ඔහියේ, ඉදල්ගස්හින්නේ, වටගොඩ විනාඩි 15 – 20 වගේ ඉද්දි තේරුනා අදත් ඒ සෙතේ ම තමයි කියල.

එල්ජින් ඇල්ල. අඹේවෙල - නානුඔය කොටසේදී හම්බෙන මේක අල්ලගන්න සෑහෙන විමසිල්ලෙන් යන්න ඕනේ. ෆොටෝ ගහන්න ඊටත් එහා විමසිල්ලක් ඕනේ. 
          

          නානුඔයට එනකොට කොහොමහරි පැයකට ආසන්න පරක්කුයි. ඒ ඇවිල්ලා නානුඔයේදී තව කෙලියක්. එදා දුවන්න තිබ්බා ස්පෙෂල් එකක් බදුල්ලට. එස් 14 සෙට් එකක් තමා වැඩ කරේ. මේ හිපාටුව නානුඔයට කොහොම හරි ඇවිල්ලා, එතනින් එහාට අදින්නේ නෑ. හෙලවෙන්නේ වත් නෑ. දැන් වටගොඩින් බදුලු යන උඩරට මැණිකේ ඇවිල්ලා. හැබැයි දාන්න ප්ලැට්ෆෝම් එකක් නෑ (ඩවුන් එකේ අපි, අප් එකේ ස්පෙෂල් එක).  

පාර ක්ලියර් වෙනකල් යන්න විදියක් නැතුව නානුඔයට වෙලා.. 

          කොහොම හරි කතා කරලා ස්ටේෂන් එකේ අය අපේ ට්‍රේන් එක සෙට් බැක් කරලා ලූප් එකට දැම්මා. ඒ කරලා උඩරට මැණිකේ ඩවුන් ප්ලැට්ෆෝම් එකට අරගෙන ඉස්සර වෙලා ඒක පිටත් කරලා අපිවත් පහලට පිටත් කරා. 

මේක ඉතිං මේ බ්ලොග් එක කියවන හැමෝම දන්නවා.. සෙන්ට් ක්ලෙයාර් ඇල්ල.

          ඔයින් මෙයින් කොහොම හරි නානුඔයෙන් යනකොට අපි පැයකට එහා පරක්කුයි. රියදුරු මහත්මයා හොඳයි හැබැයි, තමන්ගේ සීමාවේ ඉඳගෙන, ඩිලේ එක පුළුවන් තරමක් කවර් කරගන්න බැලුවා. මීදුම එහෙම තිබ්බෙත් නැති එක උදව්වක් උනා. හැබැයි ඉතිං ඒ ඔක්කොම, හැටන් පහු කරලා කොටගලට එනකල් විතරයි. 

          කොටගල පන්නලා කිලෝමීටර් දෙකක් එන්න උනේ නෑ, තද තිරිංග යෙදීමක් එක්ක දුම්රිය නැවතුනා. මම ඉතිං ජීවත් උන අවුරුදු 30න් 25ක් විතරම කෝච්චියේ නේ. ඉතිං ඒ පුරුද්දෙන් තේරුම් ගත්තා කවුරු හරි වැදුනා, නැත්තම් වදින්න ගියා කියල.

          බැහැලා බලද්දී හරි. ගෑනු කෙනෙක් හැප්පිලා කෝච්චියට. රේල් පාර අයිනේ ඉඳල වැදුනා කියල තමයි ඒ පැත්තේ ඉඳල දැකපු අය කිව්වේ. කොහොම හරි, අපි නියාමක මහත්වරු දෙන්නගේ මගපෙන්වීම යටතේ ස්ට්‍රෙචර් එක අරගෙන, ඒ වෙද්දීත් ලාවට පණ තියනවා වගේ පෙනුන ඒ කාන්තාව ස්ට්‍රෙචර් එකට දාගෙන, ප්‍රධාන නියාමක කුටියට උස්සල දැම්මා.

          මේ වෙලාවේ නැරඹුම් මැදිරියේ හිටිය වෛද්‍යවරියක් පරීක්ෂා කරලා බැලුවා. එයා නම් වැඩි බලාපොරොත්තුවක් නොතිබ්බත්, වෙච්ච හරිය පාලන මැදිරියට දන්වලා, කෝච්චිය ආපහු කොටගල ට සෙට් බැක් කරා (කෝච්චි සාමාන්‍යයෙන් පසුපසට ධාවනය කරද්දී යෙදෙන වචනය රිවර්ස් කිරීම නෙවෙයි. සෙට් බැක් කිරීම). එතැනින් ඒ කෙනා දුම්රිය ස්ථානයට බාර දීලා, දුම්රිය ආය එන්න පිටත් උනා. 

වටගොඩ... 

          මේ වෙද්දී වෙලාව කොහොම හරි හවස 5ත් පහු වෙලා. ආය ලොකුවට බලන්න, ෆොටෝ ගහන්න උවමනාවක් තිබ්බෙත් නෑ අපි දෙන්නට ම. කයියක් දාගෙන ආවා ඉතිං අනතුරු අනංමනං ගැන. රිය අනතුරකදී එහෙම කොහොමද ඒ මනුස්සයව හසුරවන්න ඕනේ වගේ කාරණා සෑහෙන දෙයක් ගැන කාංචන මට කියල දුන්නා (කාංචන වෛද්‍යවරයෙක් විදියට සමත් වෙලා තමයි මෙහෙ ඇවිත් ඉන්නේ).

          කොහොමින් කොහොම හරි, හවස 5.25ට ගෙලිඔය පහු කරන්න ඕනේ කෝච්චිය, හවස 7.40 වෙද්දී ආවා ගෙලිඔයට. පැය දෙකකට වැඩි ප්‍රමාදයක්. හැබැයි ඉතිං එච්චර දැනුනේ නැහැ කයියක් ගහන්න කාංචන හිටිය නිසාත්, බලන්න එහෙම දේවල් තිබ්බ නිසාත්. 

ඔන්න ගමන ඉවරයි... 

          පළවෙනි පාර මේ ගමන යනකොටත්, කෝච්චි පීලි පැන්නා, එන්ජින් ෆෝල්ට් ආවා ඔය වගේ සෑහෙන අත්දැකීම් ගොඩක් හම්බුනා. මේ පාරත් එහෙමයි. නිවාඩුවේ ගමන් කිහිපයක් යන්න හිතාගෙන හිටියත්, අන්තිමේ යන්න උනේ මේ ගමනයි, තව එක කොළඹ ගමනකුයි විතරයි.

          මේ ගමන සාර්ථක කරගන්න උදව් කරපු කීප දෙනෙක් වත් මතක් නොකරොත් ඒක අඩුවක්. පළවෙනියට ම, පේරාදෙණිය දුම්රිය ස්ථානාධිපතිතුමා සහ කාර්යය මණ්ඩලය. එයාලා අපි ආව ගමන් ම අපිට විශේෂ දුම්රිය ගැන දැනුම් දුන්නා. ඊට පස්සේ නානුඔය දුම්රිය කාර්යය මණ්ඩලය. ඉන් පස්සේ ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලය. මේ සියලු දෙනා නන් අයුරින් දක්වපු සහයෝගය ට ස්තුතියි..  

මෙදා පාර බංගලාවේ දී වැඩිය ෆොටෝ ගන්න උනේ නෑ.. සෙනග එක්ක. 

          මේ සටහන ලිව්වේ 22 හවස. හැබැයි පබ්ලිෂ් කරන්න වෙන්නේ අද (සැප්තැම්බර් 17). හේතුව තමයි කැමරා එකෙන් ගත්ත ෆොටෝස් ටික ලැප් එකට ගන්න ගිය පරක්කුව (මෙමරි කාඩ් එක දැම්මට කම්පියුටර් එකේ පෙන්නන්නේ නැහැ. සමහර වෙලාවට විතරයි පෙන්නන්නේ. ලැප් දෙකේම එහෙමයි). ඊට පස්සේ ෆොටෝ ටික අරගෙන පෝස්ට් එකට දාලා අප්ලෝඩ් කරන්න බැලුවම ලෝඩ් වෙන්නේ නැහැ.

          කොහොමින් කොහොම හරි ඔන්න අද මේක පෝස්ට් කරනවා. ඉස්සරහට රේල්වේ ට්‍රේනිං එක ගැනත් පෝස්ට් සීරීස් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා. ඒවා ඉතිං යථා කාලේදී තථා අයුරින් සිද්ධ වෙයි.