හාලිඇල දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි
මැණිකේ, සිය ගමනේ අවසාන පියවර කිහිපය තැබීමට පටන් ගත්තාය. බදුල්ල දෙසට ඇති අඩි 44ට
එකක් වූ සුපුරුදු බෑවුම හෙමිහිට තරණය කිරීමට පටන් ගත් ඇය, හාලිඇල දුම්රිය
ස්ථානයෙන් නික්මුනේ විනාඩියක හෝ ප්‍රමාදයක් නැතිවය.
මෙම කොටසේ, පරිසරය නැවතත් අපට පුරුදු මහනුවර
පරිසරය මෙන්ම විය. සැලකිය යුතු දෙයක් වශයෙන් හමු වූයේ පාලමක් පමණි. නමුත්, මෙම
කොටසේ අවසානයට ලං වන්නට, උඩරට දුම්රිය මාර්ගයේ දැකිය හැකි අවසාන බිම්ගෙය, එනම් අංක
43 බිම්ගෙය හමු වේ. අඩි 216ක දිගින් යුතු මෙම බිම්ගෙය හමු වන්නේ, බදුල්ල අවුට්
හෝම් සංඥාව ආසන්නයේය.
මෙම අවුට් හෝම් සංඥාව දුටු මට, මා පාසල්
යන සමයේ ඇසූ කතාවක් සිහි විය. දුම්රිය
ස්ථානයක් අසල ඇති සංඥා කණුවට මදක් එපිටින්, රතු පාට රේල් පීලි කැබලි දෙකක් හරහට
සවි කල කණුවක් ඔබ දැක ඇතැයි සිතමි. මෙයට දුම්රිය සේවයේ ව්‍යවහාර වන්නේ “රම්පාල පොල්ල” කියාය. මෙයට එසේ ඇමතීමට හේතු වූ
කතාවක් ඇත.
Inner home සංඥාව. (සේයාරුව- අකිල කරුණාරත්න) |
දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරය දරණ සමයේ,
බී. ඩී. රම්පාල මහතා, වරක් බණ්ඩාරවෙලින් බදුල්ල දෙසට යන දුම්රියක රියදුරු කුටියට
ගොඩ විය. එතැන් සිට දුම්රිය පදවාගෙන ගියේ ඔහුය. බදුල්ල දෙසට ලං වන විට, අවුට් හෝම්
සංඥාව පසු කර, ඉන් පසු ඇති “Inner home” සංඥාව
තිබුනේ “Danger” සංඥාව දක්වමින්ය. නමුත්, රම්පාල මහතාට වෙලාවට
දුම්රිය නතර කරගැනීමට නොහැකි විය. සංඥා කුලුන පසුකොට ටික දුරක් ඇදී ගිය දුම්රිය,
නියාමකවරයා විසින් තිරිංග යොදා නවත්වන්නට යෙදුනි.
ටික වෙලාවකින් සංඥා ලැබුණි. දුම්රිය
බදුල්ල වේදිකාවේ නතර කෙරුණි. රියදුරු කුටිය වෙත පැමිණි ප්‍රධාන නියාමකවරයා,
රියදුරු අසුනේ සිටින පුද්ගලයා හඳුනා නොගෙන, සංඥා කුලුන අසල නියමිත පරිදි දුම්රිය
නොනැවැත්වීම හේතුවෙන් “ඉතා හොඳ අනර්ඝ භාෂාවෙන්” රියදුරු අසුනේ සිටි රම්පාල මහතාට
බැන වැදී යන්නට ගියේය.
පසුවදා කොළඹ බලා ගිය සාමාන්‍යාධිකාරීවරයා,
අදාළ නියාමකවරයාට කැඳවීමේ ලිපියක් යැවීය. ඒ අනුව එහි පැමිණි නියාමකවරයා වෙත, දඩ පත්‍රිකා 4ක් ඉදිරිපත් කෙරුණි.
අනතුරුව එතුමා මෙසේ පැවසීය.
“
මේකෙන් දෙකක් අයිති මට. මොකද, මම මට අදාළ නැති වැඩක් කරා. අනික නතර කරන්න ඕනේ
සිග්නල් ඒකෙ මම නතර කරේ නෑ. ඉතුරු දෙක තමුන්ට. පලවෙනි එක- නියාමකගේ රාජකාරිය තමා
ධාවන අධීක්ෂණය. රියදුරා හරියට හරි තැන කෝච්චිය නතර කරේ නැත්තම් තමුන් දැනගන්න ඕනේ
නතර කරන්න. එකට තමා බ්‍රේක් ලීවර් එකක්
දීල තියන්නේ. අනික් එක, තමුන්ගේ හැසිරීම.”
මෙම සිදුවීමෙන් අනතුරුව, සෑම සංඥා
කුළුණක් ඉදිරිපසින්ම, මීටර් 400ක් (සැතපුම් කාලක්) දුරින්, ඉදිරියෙහි සංඥාවක් ඇත
යන්න ඇඟවීමට මෙම රතු පැහැති රේල් පීලි දෙකක් හරහට සවි කල කනුව යොදනු ලැබුණි. මේවා
අදත් බොහෝ ස්ථාන වල දැකිය හැකිය.
ආ මග දෙස හැරී බැලීම- නැරඹුම් මැදිරියේ සිට. |
සැතපුම් හතරක දුර ගෙවූ පොඩි මැණිකේ,
බදුල්ල Inner home සංඥාව ලබාගෙන, බදුල්ල දුම්රිය ස්ථානයට ඇතුළු
වූවාය. පස්වරු 4 වනවිට එහි පැමිණිය යුතුව තිබුනත්, අද දින, පස්වරු 3.55 වන විට
පොඩි මැණිකේ බදුල්ල පළමුවන වේදිකාවේ විය!
ගමන අවසන් කල පොඩි මැණිකේ.. මෙම එන්ජිම, නැවතත් රාත්‍රී තැපැල් දුම්රිය සමග කොළඹ යා යුතුය. |
උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය
ස්ථානය, හෙවත් අන්ත්‍ය දුම්රිය ස්ථානය වන, බදුල්ල දුම්රිය ස්ථානයට අප දැන් පැමිණ
ඇත. කොළඹ කොටුවේ සිට සැතපුම් 181ක් සහ දම්වැල් 7ක දුරක් ගෙවා, මුහුදු මට්ටමේ සිට අඩි
6226ක් වැනි ඉතා ඉහල උසකට නැග, නැවතත් මුහුදු මට්ටමේ සිට අඩි 2140ක උසක් දක්වා පහල
බැස ඇත.
බදුල්ල නාම පුවරුව. |
උඩරට මාර්ගයේ අන්තිම කෙලවර. |
බදුල්ල දුම්රිය ස්ථානය සේවා කටයුතු සඳහා
විවෘත වූයේ වර්ෂ 1924 පෙබරවාරි මස 5 වැනි දිනයි. පාෂ මාර්ග කිහිපයක් සහිත අංගනයක්
මෙන්ම, තරමක් විශාල ධාවනාගාරයක්, හැරවුම් මේසයක්, වේදිකා තුනක් සහිත මෙම අන්ත්‍ය
දුම්රිය ස්ථානය, මෑතදී දීර්ඝ කරන ලද වේදිකා දෙක සහ 60 දශකයේ එක් කෙරුණු වහලය
හැරෙන්නට, තවමත් සිය පැරණි උරුමයන් ආරක්ෂා කරගෙන සිටී.
දුම්රිය ස්ථානයේ ඉදිරිපස.. සේයාරුව- අකිල කරුණාරත්න. |
දුම්රිය කාල සටහන- බදුල්ල. |
බදුල්ල දුම්රිය ස්ථානය වටේ ඇවිද, සෙයාරූ
කිහිපයක් ගත් අප සිව් දෙනා, අපට නවාතැන් සූදානම් කර තිබුණු අකිල අයියාගේ ඥාති
නිවසට ගියෙමු. අපව උණුසුම් අයුරින් පිළිගත් එම නිවැසියන්ටත්, විශේෂයෙන්, අනතුරකට
ලක් වී සිටියදී පවා අපව නාන්නට පවා කැඳවාගෙන ගිය එම ඥාති සොහොයුරාටත්, එම ස්ථානය
සූදානම් කර දුන්, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ජනක මිලන්ත අයියාටත් මා ඉත සිතින්
ස්තුති වන්ත වෙමි.
බදුල්ල දුම්රිය ස්ථානයේ අංගනය. |
සමූහ සේයාරුව- අකිල අයියාගේ කැමරාවෙන්, අරලිය ගසක් උඩ තබා ගන්නා ලදී.. |