Sunday, July 28, 2019

ෆුට් සයිකලෙන් මෝටර් සයිකලයක්..


මැයි මාසෙන් පස්සේ ඔන්න ආපහු පෝස්ට් එකක් අරං ආවා. ඇත්තටම මීට කලින් මොනාහරි ලියාගන්න උවමනාව තිබ්බත්, ලොකුවට ලියන්න කියල දෙයක් සෙට් උනේ නැහැ. ලොකු වැදගත් වැඩක් නැතුව නිසොල්මනේ ගෙවිල ගිය වාරයක් කියන්න පුළුවන්. රටේ ආරක්ෂක තත්ත්වෙත් එක්ක එච්චර අනංමනං කරගන්න හැකියාවක් තිබ්බෙත් නෑ ඉතිං.
කොහොමින් කොහොම හරි, නොකරයි කිව්වට මුකුත් නොකරේමත් නැහැ. ගිය වාරේ ඉඳන් අපේ ළමයි ටිකක් මට කිය කියා හිටිය අදහසක් ක්‍රියාත්මක කරන්න පුළුවන් උනා. ඒ ගැන තමා අද කොටලා දාන්න හිතං ආවේ.

ඔරිජිනල් ජපන් බයිසිකල් එකක්..
(සේයරූ අනුග්‍රහය-ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය)

මේ ළමයි ටික තමා අර මම කිහිප වතාවක් මේ බ්ලොග් එකේ සටහන් වලදී ලියපු 9I පන්තියේ ළමයි ටික. ඔය ළමයි ටික ඉතිං 6 වසරේ ඉඳන් මගේ එක්ක වැඩ කරලා තිබ්බ නිසා, ඕනේ දෙයක් ඇවිත් කියනවා. ඔතන හිටියා ජොෂුවා කියල දරුවෙක්. ඔය දරුවයි එයාගේ තව ලිනාල් කියල යාළුවෙකුයි ඇවිත් මගෙන් ඇහුවා
“සර්, ෆුට් සයිකල් එකකට එන්ජින් එකක් තියල මෝටර් බයික් එකක් හදන්න බැරි ද?” කියල.


2017දි අපි සෙට් එකක් ඕක කරන්න බැලුවා 10 වසරේ ළමයි ටිකක් එක්ක. ඒක හැබැයි සාර්ථක කරගන්න බැරි උනා. ඒ නිසා මම කිව්වා තියරිටිකලි නම් පුළුවන්, ප්‍රැක්ටිකලි අමාරුයි ටිකක්, ඒත් බලමු කිව්වා. පස්සේ ඒ දරුවා හොයාගෙන ආවා ඉන්ටර්නෙට් එකෙන් පොඩි එන්ජිමක්. ඒක තිබ්බොත් නම් කරගන්න පුළුවන් වෙයි කියල හිතුන නිසා ගණන් බලද්දී ඒ එන්ජිම ලංකාවට එද්දී සෑහෙන ගානක්! 

ඔය අහු අස්සේ මගෙන් 6 වසරේ ඉඳන් බුද්ධ ධර්මය ඉගෙනගන්න දරුවෙක් ඉන්නවා ධනිත කියල ඔය පන්තියේ ම. මේ දරුවා ඕනේ දේකට දක්ෂයි, නමුත් ඔය යාන්ත්‍රික කාර්මික පැත්තට වැඩිය නැහැ. අපිට දැන් ෆුට් සයිකලේකුත් එපැයි. අපි ටික ලයිබ්‍රරියට වෙලා මේ ගැන කතා කර කර ඉද්දි වෙන වැඩකට ඔතනට ඇවිත් හිටිය මේ දරුවා කිව්වා
“සර් අපේ ගෙදර පරණ බයිසිකලයක් තියනවා, ගැලපෙනවා නම් දෙන්නම්” කියල. 



මේ එයාගේ සහෝදර බයිසිකලය. මේක තමා ලැබෙන්න තිබ්බේ. පස්සේ අනිකේ තත්වය මීට වඩා හොඳ නිසා අනික ලැබුනා. පාට විතරයි වෙනස්.

එකේ ෆොටෝ එකක් ගෙන්නාගෙන බැලුවම එයාගේ අදහසත් හොඳයි අකුරුත් ගැලපෙනවා. ඉතිං මම වයිස් ප්‍රින්සිපල් සර්ගෙන් අවසරත් අරගෙන ඔන්න ඉස්සෙල්ලම බයිසිකලේ ගෙන්නගත්තා. ඒක ජපන් බයිසිකලයක්. ලේඩීස් වර්ගය කියන්නේ. එන්න ඒකක්. ඔය වැඩ ටිකටයි, ගේන එන්ජිම තීරණය කරලා ජොෂුවාගේ තාත්තට කියල ඕක ඕඩර් කරගන්නයි පළමුවෙනි වාරේ ගියා. 

අප්‍රේල් නිවාඩුව ඉවර උන ගමන්ම එන්ජිම ඉස්කෝලෙට ගෙන්නාගෙන අපි වැඩ පටන්ගන්නයි හැදුවේ. ඒත් මොන.. නිවාඩුව ඉවර වෙන්න දවස් ගානක් තියල, තව්හිද් ජමාද් එකෙන් ගැහුවා. ඒ ගැන මේ සටහනේ විස්තර කරන්න යන්නේ නෑ කුණුහරප ලියවෙන්න පුළුවන් නිසා. ඒකෙන් මේ වැඩේ මාසයක් විතර ම කල් ගියා කිව්වොත් වරදක් නැහැ. 

කොහොමින් කොහොම හරි, ඔන්න මැයි මාසේ අන්තිමේ එන්ජිම අරගෙන ආවා ඉස්කෝලෙට. මේක ඇවිල්ලා ද්වි පහර (Two Stroke) , 50CC එන්ජිමක්. ලුබ්‍රිකේෂන් තියන්නේ පෙට්‍රොයිල් ක්‍රමය. සාමාන්‍යය මෝටර් සයිකලයක් වගේ ම තමා. මේකේ ක්ලච් එකක් එක්ක ට්‍රාන්ස්මිෂන් එකක්, මැග්නිටෝ ජනකයක් එහෙම තියනවා. තනි සිලින්ඩරේ එන්ජිමක්. මේ සෙට් එක එක කිට් එකකට අහුරලා තමා ආවේ.  



මෙන්න මේ වගේ කෑලි ටිකක් තමා අපිට ලැබුනේ..

මැයි මාසේ අපි ඉස්කෝලේ මෝටර් යාන්ත්‍රික තාක්ෂනය හදාරන ළමයින්ට ඉගෙනගන්න වෙනම තැනක් හදලා දුන්නා. එතෙන්ට ඕනේ බ්ලොක් ගලේ ඉඳන් ගඩොල හරහා යකඩ බාර් එක දක්වා හැම දෙයක්ම මෝටර් යාන්ත්‍රික සංගමය එක්ක අපි ටික හොයල දීලා මාස එක හමාරෙන් වගේ වැඩේ ඉවර කරගෙන ඒක විවෘත කරා. 


වැඩ පටන්ගත්ත දවසේ.. පේනවා නේ කට්ටියගේ තියන ආසාව..

 ඔතන කරන පලවෙනි ව්‍යාපෘතිය හැටියට තමා මේ බයිසිකල් වැඩේ පටන්ගත්තේ. හැදුවේ සීනියර් සෙක්ෂන් එකේ ළමයින්ට උනාට, දැන් පළවෙනි ව්‍යාපෘතිය කරන්නේ 9 වසරේ ළමයි ටිකක්! එයාලටත් ඉතිං අත්දැකීම අලුත්. එතන කිසි කෙනෙක් අඩුම ගානේ පෙට්‍රල් එන්ජිමක් ගලවල වත් තිබ්බේ නැහැ. 


ගලවන්න කලින් අවසන් ගෞරව දැක්වීම....

සීනියර් සෙක්ෂන් එකේ මෝටර් යාන්ත්‍රික සංගමයේ එහෙමත් උදව් ඇතිව, ළමයි ටික වැඩේ පටන් ගත්තා. පළවෙනියට ම මුළු ෆ්‍රේම් එකම හිස් කරලා ළමයි ඒක රතු/කළු වලින් පේන්ට් කරා. ස්ප්‍රේ පේන්ට්. ඒ වැඩේ ඉවර වෙද්දී අනික් ටික දෙනා එන්ජිමයි ක්ලච් එකයි ටික සෙට් කරගෙන. 



කට්ටිය පේන්ට් වැඩ..

ඔන්න දැන් පළවෙනි ගැටලුව. මේ ක්‍රමයේ හැටියට පිටිපස්සේ රෝදේ වම් පැත්තට අමතර දැති රෝදයක් එන්න ඕනේ මොටරේ ඉඳන් එන දම්වැල සෙට් වෙන්න. මේ රෝදේ ස්පෝක් වලට හිර වෙන විදියට තමා තියන්නේ. මේක හයි කරන්න බැලුවම, ඒ ඔරිජිනල් ජපන් හබ් එකත් එක්ක ඒ සෙල්ලම් දාන්න බෑ! 

දැන් ඉතිං මක් කොරන්නද.. අලුතෙන්ම හබ් එකක් අරගෙන ඒකට රීම් එක සෙට් කරගෙන ගෙනාවා එක ළමයෙක්. ඔන්න දැන් ඒ වැඩේ හරි. බැලන්ස් කරලා වීල් එක සෙට් කරගත්තා. 

ඊළඟට චේන් එක දාන්න ගියාම ඒක කොටයි. පුරුකක් වැඩි කරාම දිග වැඩියි. චේන් එකක නිදහස් බුරුල වැඩි උනොත් චේන් එක පනිනවා. මේකට ඉතිං පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා, ටෙන්ෂනර් එක අයින් කරලා ජිල්මාර්ට් එකක් දාගත්තා. 

ඊළඟට තෙල් ටැංකිය. මේකේ තියන භයානක ම කොටස. ඇයි, තෙල් එන්න තියන්නේ පොඩි බටයක්. රබර් එකක්. උණු වෙන්න පුළුවන් ලේසියෙන්. තෙල් කියන්නේ ඉන්ධන. ඒ කියන්නේ පෙට්‍රල්. නිකම් රත් උනත් ඇති නේ. ඉතිං අපි මොකද කරේ ඕක එන්ජිමෙන් පුළුවන් තරම් ඈත තියන විදියට ඉස්කෝලේ වෙල්ඩින් වැඩපොළට ගෙනිහින් අර ලේඩීස් බයිසිකලේ ට ෆ්‍රේම් එකක් වෙල්ඩ් කරගත්තා.. (දැන් ඕනේ නම් ඩබල් දාලා පාගන්නත් පුළුවන්). 

ඔය ඔක්කොම සෙට් වෙද්දී ජුලි 15 වගේ උනා. ජුලි 17 අපි ඕක ටෙස්ට් කරමු කියල කතා උනා. කට්ටියට එක්සෑම් භීතිකාව. අන්තිමේ අවසර අරගෙන, පොඩි ඉස්කෝලේ පිට්ටනියට ගෙනිහින් බැලුවා ස්ටාර්ට් කරන්න. අනේ අපොයි ස්ටාර්ට් වෙන්නේ නැහැ! මම එක පාරක් ට්‍රයි කරද්දී පොඩ්ඩක් ස්ටාර්ට් උනත් ඊට පස්සේ එන්ජිම බෑ කියල ම යි කිව්වේ. මටත් දැන් අවුල් ටිකක් වෙච්ච වැඩේ ට. 



බයිසි මොටෝව..

ගෙදර ඇවිත් හිතල බැලුව මොකද්ද වෙන්න පුළුවන් අවුල කියල. එන්ජිමට පෙට්‍රල් එනවා හැබැයි ලාවට. ස්පාර්ක් වෙනවා. එත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. චෝක් එක ඇදල බැලුවත් නැහැ. මම නිකමට හිතුව කාබියුරේටර් එකේ මොකක් හරි වත් ද කියල. ගූගල් දෙයියන්ට කියල ජාලේ කරක් ගහල බැලුව. ඒ එන්ජිමේ විස්තර අරහෙන් මෙහෙන් හොයල බැලුව. අපි කරපු වැඩේ කිසි වැරද්දක් නැහැ.  

ඔන්න පහු වෙනිදා හිටු කියල වහින්න ගත්තා. ආය ට්‍රයල් තියා නිකම් පයින් ඇවිදින්න වත් බෑ. මම 4/5 පීරියඩ් වල නිදහස්. එක්සෑම් එකක් ඔලුවේ තියං උනත් අර ළමයින්ගේ ඊයේ අප්සට් මූණු ටික දකිද්දී හරි අවුල්. ඉතිං මම ගිහිං රූම් එකට, ගැලෙව්වා කාබ් එක අන්තිම ඇනේට ම. හරි නේ. මොනවදෝ තෙල් වගේ තියනවා කාබ් එකේ. සුද්ද කරා සම්පූර්නෙන් පෙට්‍රල් වලින්. ආපහු හයි කරා. ඉන්ධන යන නලයත් හරියට හදලා වැඩි කොටස කපල අයින් කරා. 

ගැලෙව්වා ස්පාර්ක් ප්ලග් එක. කැරකුවා බලන්න රෝදේ ක්ලච් එක අතෑරලා. ඔන්න දැන් නම් සැරට පෙට්‍රල් එනවා කිසි අවුලක් නැතුව. ඔය ටික ඔහොම තියල මම ගියා දවල්ට කාලා එන්න. එද්දී ඉතිං අර ළමයි ටික ඉන්නවා. දැන් ඊයේ මොකද සර් උනේ, කියල දෙන්න කියල එක යුද්ධයයි. 

මම ඉතිං තියරිය කියල දීල, නිකම් බලමු කියල බයිසිකලේ උස්සල, එක්කෙනෙක්ට කිව්වා රෝදේ කරකවන්න කියල. වෙලාව 2.30 ට වගේ ඇති. දෙතුන් පාරක් හයියෙන් කැරකුවත් මේකාගෙන් ප්‍රතිචාරයක් නැහැ. ඔය වෙලාවේ එළියේ 6 වසරේ ළමයි ටිකක් එකතු වෙලා ඉතිං එක එක ඒවා කියනවා. එකෙක් කියනවා
“ඕක ස්ටාර්ට් උනොත් මම රුපියල් සීයක් දෙනවා” කියල. 

අපි ඔය මුකුත් ගණන්ගත්තෙ නැහැ. කාබ් එකට තෙල් ටිකක් එන්න පම්ප් කරලා, චෝක් එකත් ෆුල් ඇරලා, අන්තිම පාර කියල අර දරුවට කිව්වා රෝදේ හයියෙන් කරකවන්න කියල. මෙන්න බොලේ එක පාරටම ස්ටාර්ට් උනා..! අනේ අප්පේ ඒ වෙලාවේ කට්ටියගේ කටවල් කනේ. මෝටර් මිකැනිසම් උගන්නල තිබ්බත්, මෙච්චර කාලෙකට මුල ඉඳන් වාහනයක් ඇසෙම්බල් කරලා තිබ්බේ නැහැ මමත්, ෆුට් සයිකලේ ඇරෙන්න. ඉතිං මටත් හරි සන්තෝසයි. 



පළවෙනියට ස්ටාර්ට් කරපු වෙලාවේ.. ඉතුරු වෙලා හිටියේ මෙච්චරයි ඒ වෙද්දී. බයිසිකලේ ටිකක් ප්‍රසිද්ධියට අකැමැති වගේ. කට්ටිය බලං නො ඉද්දි තමයි වැඩ පෙන්නන්නේ.
(සේයාරූ අනුග්‍රහය- ගයේන්ද්‍ර අමරසේකර)

එදා වැඩ එතනින් හමාර කරලා, ඊළඟ දවසේ උදෙත් ඇවිත් ඔන්න ස්ටාර්ට් කරලා මම රවුමක් පැද්දා එතන. ඒක නම් අපේ සර් කෙනෙක් වීඩියෝ කරලා ෆේස්බුක් දාලත් තිබ්බා. මම හිතන්නේ අපේ ඉස්කෝලේ කට්ටියක් මුල ඉඳලා කොටස් එකතු කරලා වාහනයක් පණගැන්නුවා ම ද කොහෙද ඒ.  

මේ බයිසිකලේ ස්ටාර්ට් කරන්න තියන්නේ පෙඩල් කරගෙන ගිහිල්ලා පැයට සැතපුම් 5 ක වගේ වේගෙකදී ක්ලච් එක අතැරලා. ඊට පස්සේ සාමාන්‍යය මෝටර් සයිකලයක් වගේ ක්ලච් එකෙනුයි ඇක්සෙලරේටර් එකෙනුයි පාලනය කරගන්න ඕනේ. මෙතෙන්දි අපිට අවුලක් ආවා එන්ජිමේ එක්ස්හෝස්ට් එක, එහෙමත් නැත්තම් සයිලන්සරේ වදිනවා පෙඩල් එකේ. ඒ නිසා මේ ඔක්කොම ට්‍රයල් ගියේ සයිලන්සරේ නැතුව (ඔව් ඔව් කන ළඟ හෙන ගහනවා වගේ තමා..) 


ඔන්න කට්ටියම..
වමේ ඉඳන් (මූණු පිළිවෙලට)-
නිම්නාද්, දිල්ශාන්, රවීජ, ධනිත, ජොෂුවා, ලිනුක, හසරංග, රයන්, ජනිදු, ලිනාල්, සනිතු, නේමින්දර සහ මම තුමා..
සේයාරූ අනුග්‍රහය- චේතක අතුකෝරල.

 මේ වැඩේ ඉතිං කොහොමින් කොහොම හරි සාර්ථක උනා. ළමයි ටික එකා වගේ වැඩ කරා. මම 12.50 ට එනවා කිව්වා නම් ළමයි ටික තිතට වෙලාවට එතන. මම හිතන්නේ අනික් පීරියඩ් එකකට වත් එච්චර රයිට් ටයිම් යන්නේ නැතුව ඇති කට්ටිය. වැඩේ ඉස්කෝලේ වටේ ම ගිහිං තිබ්බා. ඉතිං මීඩියා යුනිට් එකෙන් මේක ගැන පොඩි වීඩියෝ එකකුත් කරලා වෙබ් සයිට් එකට දාලා තිබ්බ. මෙතනින් ගිහිං බලන්නකෝ. 

ගුරුවරයෙක් විදියට මම නම් දකින්නේ මේ වැඩේ ළමයි කල යුතු ම වැඩක් විදියට. විශේෂයෙන් පිරිමි ළමයි. මොකද එයාලා ලෝකෙට සමාජෙට ගියාම මේ කාර්මික යාන්ත්‍රික පැත්ත එක්ක ජීවත් වෙන ළමයි. ඒ ගැන කිසි දෙයක් නොදැන හැම දේ ම ගරාජ් එකට බාර දීලා ගාන ගෙවන ළමයි ටිකක් වෙනුවට, තමන්ගේ වාහනේ ගැන එහෙම දැනුමක් තියනවා නම් ඒ සේව්‍ය සේවක දෙපැත්තටම හොඳයි කියන එකයි මගේ අදහස. 

අනික තමා අත් හුරුව. පොතටම සීමා වෙච්ච ළමයි අතරේ යම් කිසි ප්‍රායෝගික දැනුමක් තියන ළමයි හොයන එක අද හරි අමාරුයි. මේ ළමයි මේක හරහා බොහොමයක් ආවුද උපකරණ පාවිච්චි කරන හැටි, නොකළ යුතු හැටි, ප්‍රායෝගිකව ම ඉගෙනගත්තා. ග්‍රීස් ගාගෙන, පේන්ට් ගාගෙන ඒ වැඩ හරියට කරන්න ඉගෙනගත්තා. මම හිතන්නේ ඒක තමා අන්තිමේ වටිනාම දේ. මේ ළමයි ඊළඟ අවුරුද්දේ සාමාන්‍යය පෙළ ට යාන්ත්‍රික තාක්ෂණවේදය තෝරාගත්තොත් කවුරු ඉගැන්නුවේ නැතත් පේපර් එක ලියල A සාමාර්ථයක් ගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි. 

මම මේ සටහන ලියන්න හිතුවෙ මේක මටත් පෞද්ගලිකව ලොකු සතුටක් ගෙනාපු ව්‍යාපෘතියක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් වර්තමාන ගුරු ජීවිතේ කියන්නේ එපා කරපු රස්සාවක් කිව්වොත් එකේ වරදක් නැහැ. ඉතිං ඒ ඒකාකාරී බවෙන් මිදිලා, මේ වගේ දෙයක් කරන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ වගේම, ඉස්කෝලේ මෝටර් යාන්ත්‍රික සංගමයේ හිටපු සභාපති කෙනෙක් හැටියට, මේ වගේ දෙයක් මගේ සේවා කාලය ඇතුලේ කරගන්න පුළුවන් උන එකත් මට ලොකු දෙයක්.  

මේ ළමයින්ට තවත් ඉදිරියට මේ වගේ දේවල් සහ මීට ඉස්සරහ තාක්ෂණයත් ජයගන්න පුළුවන් වෙන්න කියන එක තමයි මම අන්තිමේට තියන ප්‍රාර්ථනාව. 



ප. ලි - පෝස්ට් සීයකුත් වැටිලා.. මෙච්චර කල් ඇදගෙන එන්න පුළුවන් වෙයි කියල නම් හිතුවේ නැහැ. සිය වෙනි පෝස්ට් එක හොඳ දෙයක් ගැන ලියන්න හම්බුනා. මෙච්චර කල් ලියපුවා කියවපු, කමෙන්ට් කරපු, උදව් කරපු හැමෝටම ස්තුතියි!

Friday, April 12, 2019

මෙදා පාර අවුරුදු..


රදැල්ලේ සිට


මාස තුනක් ඉවරල ඔන්න හම්බුනා අවුරුදු නිවාඩුවත්. පහුගිය මාස තුන නම් යනවා දැනුනෙත් නෑ. පෝස්ට් එකක් දාන්නම් දාන්නම් කියල හිටියට, ඉස්කෝලේ වැඩ යි කැම්පස් වැඩයි ගෙදර වැඩයි අරවයි මේවයි එක්ක ඒක දවසින් දවස කල් ගියා. අන්තිමේ ඉතිං අවුරුදු පෝස්ට් එකම දාන්නම් කියල හිටියා.
මේ අවුරුද්දේ අවුරුදු නම් නෑ ඉතිං අපිට. ගිය අවුරුද්ද වෙනකල් අපිත් එක්ක හිටපු අත්තයි අත්තම්මයි නැති උන නිසා. අවුරුදු 94ක් මෙහෙ හිටිය, මගේ ජීවිතේ ම ලඟින් හිටිය මනුස්සය නැතුව මොන අවුරුදු ද..
ඒ කියලත් ඉතිං ගමේ නම් වෙනසක් නෑ. දවස් දෙක තුනකට කලින් ඉඳන් ම සද්ද ටික පටන් අරං තිබුනේ. මේ ලියන වෙලාවෙත් පන්සලේ සද්දේ ඇහෙනවා කන බීරි වෙන්න. පවු අර එහෙ ඉන්න අලුත් බලු පැටව් ටික.
මේ පාර අවුරුද්ද නම් ටිකක් රුවිතෙට ගිහිං වගේ. වහින්න ඕනේ කාලේ වැස්සේ නැතුව අන්තිමට අර 2002 වගේ ලයිට් කපන්න ගත්තා. අපිට සලාක ක්‍රමයට පැය 4ක් කැපුවා දවසට. ඊයේ තමා ඒ මගුල ඉවර උනේ. හැබැයි දැන් කියලත් ලොකුවට වහින්නේ නෑ ඉතිං. මට මේ දවස් වල කාලගුණය දැක්කම මතක් වෙන්නෙම අර කොසොල් රජ්ජුරුවෝ දැක්කයි කියපු හීන 16.
දහම් පාසලේ අවුරුදු උත්සවයත් මේ පාර කල් ගියා අප්‍රේල් 28 ට. දන්නා කාලෙක ඕක අවුරුද්දෙන් පස්සේ තිබ්බේ නෑ. ඒ නිසා ඉතිං ඒක ගැනත් ලියන්න දෙයක් නෑ. රට ගැන නම් ඉතිං ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ නේ. ෆේස්බුක් එකට ගියාම රටේ ආශ්චර්යය දෝරේ ගලනවා.. 


යකඩ යකා දස වැනි සංවත්සරය
සේයාරුව- කවිඳු පෙරේරා

ලියන්න දෙයක් නෑ කිව්වට නැත්තේ ම ත් නෑ. එකක් තමා ඔය පහුගිය වාරේ අපේ යකඩ යකා සමූහයේ ගෙට් එක තිබ්බා. මාර්තු තුං වෙනිදා. ඊට කලින් දවසේ ඉස්කෝලේ පිරිතටත් ඉඳලා, එහෙමම ඉන්ටසිටියේ ගියා. ගිහිං ඉතිං වාෂ්ප දුම්රිය එන්ජින් ගැන පොඩි ඉදිරිපත් කිරීමකුත් කරා. ඒ අතරම නිවේදන කටයුතු ටිකත් ශේප්මන්ට් එකේ කරගත්තා. 


අර ගෙහාන් අයියා මේක ට මරු ටයිටල් එකක් දුන්නා එදා..
"වාෂ්ප නම් බණ්ඩාර"
ඒ ප්‍රසන්ටේෂන් එක හදාගන්න උදව් කරපු අනුත්තරා අක්කටයි සුභාෂ් අයියටයි ගෙහාන් අයියටයි ගොඩක් පිං!
සේයාරුව- කවිඳු පෙරේරා

මේ ටිකේ නිවේදන කටයුතු නම් හම්බුනා මදි නොකියන්න. එකක් තමා ඉස්කෝලේ පිහිනුම් තරඟාවලිය. ඒක නම් ඉංග්‍රීසියෙන් කරන්න උන නිසා ටිකක් ෆෝමල් උනා වැඩි ද කොහෙද. ඔය ඔක්කොම ඉවර වෙද්දී, නිවාඩුත් හම්බුනා. ඔය අතරවාරේ අපිට DIMO එකෙන් ළමයින්ට ඉගෙනගන්න එන්ජිමක් ගෙන්නගන්නත් පුළුවන් උනා. ඔය ටික තමා වාරේ අතර උනේ.
නිවාඩු හම්බුන ඊළඟ සතියේ ම ස්ටාෆ් ට්‍රිප් එකක් වැටුනා. නුවර එලිය හරහා රදැල්ලට. එතන ගිහිං වැවිලිකරුවන්ගේ සමාජශාලාවේ (Radella Planters Club) බොහොම විනෝදශීලී දවසක් ගෙව්වා. 


ග්‍රෙගරි වැවේ බෝට්ටු සවාරිය..



Planters Club- Radella

 විනෝදශීලී කිව්වට ඉතිං මම නම් කරේ ඔතනට ගිහිනුත් ක්‍රිකට් ගහන එකයි කයිය ගහන එකයි තමා. 


ක්‍රිකට් මැච් එක. මේක නම් අපි දිනුවා කොහොම හරි.

නාන්න ඔයක් තිබ්බා. එතෙන්ට යන්න හදනකොට කොහේදෝ නැති වැස්සක් එක්ක කුණාටුවක් කඩාපාත් උනා. අන්තිමට සෙල්ලම් කරන්න දාගත්ත ඇඳුම පිටින්ම ගෙදර එන්න උනා ඒකෙන්. මගදී බස් එක කැඩුන නම් ශෝක්.
ආ තව එකක්.. ඔය ගමන යන අතර වාරේ පාර මාරු වෙන්න ගිහිං තව පොඩ්ඩෙන් ලංගම බස් එකකට යට වෙලා රොටියක් වෙනවා. එහෙනම් අද තමා වලගම්පිටි යන දවස.
වෙනදා නම් මේ වෙද්දී අහස්කූරු ටිකක් එහෙම මොඩිෆයි කරගන්නවා. ඒ කියන්නේ, ලංකාවේ තියන ඒවාට අහස් කූරු කිව්වට ඒවා යන්නේ හරහට නේ. ඉතිං කෙලින් උඩ යවන්න පුළුවන් ක්‍රමයකට මම හදනවා කිහිපයක්. තියන එක ඉරට්ට සමාන කෑලි තුනකට කඩලා තුං පැත්තෙන් සෙලෝටේප් කරලා අර රොකට් එකක් වගේ හිටින්න හදනවා. ඒක නම් තනි කෙලින් උඩ යනවා.
ආය ඉතිං රතිඤ්ඤා ගත්තත් යුද්ධ හමුදාවේ ග්‍රෙනේඩ් වගේ නේ. ඇයි පත්තු කරපු ගමන් පුපුරනවා. නූල් අඟල් බාගයක් වත් නෑ නේ. මම ඉතිං ඕකටත් පොඩි ට්‍රික් එකක් දානවා සවු කොලේ අයින් කරලා නූල අග පොඩ්ඩක් පළුඳු කරලා. එතකොට කන අස්සේ පුපුරන්නේ නෑ.
ලංකාවේ ගිනිකෙළි තාක්ෂනය කොච්චර දියුණු ද කියනවා නම්, දැන් තියන බඹර චක්‍ර, නිලා කූරු එහෙමත් පුපුරන්න පුළුවන්. දවසක් නිලා කූරක් පුපුරලා කෑලි අතට විසික් වෙලා අතත් පිච්චුනා මතකයි. මේ සැරේ මම දැක්කා ෆේස්බුක් එක පැත්තේ සෑහෙන ප්‍රචාරයක් යනවා රතිඤ්ඤා පත්තු කරන්න එපා සත්තුන්ගේ කන් ඇහෙන්නේ නැතුව යනවා කියල. ඒ කතාව නම් ඇත්ත. මොකද බල්ලන්ට වගේ සත්තුන්ට අපිට වඩා සියුම් සද්ද ඇහෙනවා. ඉතිං අපිට උනත් දරාගෙන ළඟ පාතක ඉන්න බැරි අර පුපුරන සද්ද බල්ලන්ට කොහොමත් දරාගන්න අමාරුයි.
හැබැයි මට තියන ප්‍රශ්නේ, අපේ ගෙදර හිටි බල්ලයි බළලායි අපි ඕවා පත්තු කරද්දී කිසි ගානක් ගත්තේ නෑ. බල්ලා නම් ගිහිං ඇඳක් යට හැංගෙනවා. බළල් තඩියා නම් පිලට වෙලා බලං ඉන්නවා අපි කරන විකාර. හැබැයි ඉතිං ඒ බලන්න උන් දෙන්නත් මේ අවුරුද්දේ නෑ. යකෝ බලං ගියාම ගිය අවුරුද්දේ සුබ අලුත් අවුරුද්දක් කියල සුබ පැතුවට සුබක් වෙලා නෑ නේ..
ඔය ඔක්කොමත් හරි, මේ පාර අවුරුදු දෙකකට පස්සේ සයිබර් බක්මහ උළෙල පැවැත්වෙනවා කියල අඟහරු ලෝකෙට ආරංචියක් ලැබුනා. අන්තිම එකට මට යන්නත් බැරි උනා. මේකට නම් යන්න බලන්න ඕනේ. පීරිසියට පාකිං දෙන්නේ නැතිය කිව්ව නිසා මෙදා සැරෙත් ඉතිං දුංරියේ පිහිට තමා.
එහෙනම් ඉතිං මෙදා සැරේ අවුරුද්දට කියල ලියන්න තියන්නේ ඔච්චරයි. ට්‍රිප් දෙක තුනක් හිතේ තියං ඉන්නවා. බලමු ඒ ටික යාගන්න හැකි උනොත් සටහන් ටිකක් ලියන්නම්. මේකත් මේ ඊයේ ලියන්න හිටියේ. ඒත් ඉන්ධන පද්ධතිය අවුලක් ගිහිං ඊයේ දවසම නිදාගන්න උනා.
එහෙම නම් කියවන ලියන හැමෝටම සුභ නව වසරක් වේවා කිව්වා..!!

Tuesday, January 1, 2019

බොහෝ දේ සිදු වූ වසරක ආවර්ජනය..

 තවත් අවුරුද්දක් ඉවරයි.. සෑහෙන්න දේවල් සිද්ධ උන, ඒ වගේම ජීවිතේට අලුත් අත්දැකීම්, මිනිස්සු එකතු උන අවුරුද්දක්. ඒ වගේම, ආදරය කල, ආදරය දුන් ලබැඳි අය සෑහෙන දෙනෙක් සමුගෙන ගිය අවුරුද්දක්..
ජනවාරි මාසේ පටන්ගත්තේ නම් නියම අවුරුද්දක් විදියට. සෑහෙන වැඩ කෙරුණා. ඉස්කෝලේ පන්තියක් හම්බුනා, ඒකෙ ළමයි ටිකත් මගෙත් එක්ක සෑහෙන ෆිට් එකේ හිටියා. ක්ලාස් ට්‍රිප් ගියා, විවාද වලට ටීම් එක අරං ගියා.. ඉස්කෝලේ තුනට ඇරෙන්න ගත්ත එකටත් පුරුදු උනා ටික ටික. 
 
8I එකත් එක්ක ගිය ක්ලාස් ට්‍රිප් එක.. ඔය අනික් පැත්තෙන් හිටං ඉන්නේ අපේ ස්ටාෆ් එකේ ඉන්න අනික් සුභාෂ් සර්.
කොහොම හරි වාරේ ටයිම් ටේබල් එකත් ටිකක් බර උනා. සෙනසුරාදා ඉරිදාත් එක එක වැඩ වැටුනා. විභාගයි ලෙක්චර් එහෙමයි අනංමනං. අතැරලා දාල තිබ්බ කෝස් එකකුත් ආය පටන්ගත්තා. වාර විභාගේ උනත් මම කලින්ම පේපර් ටික බලල එහෙම දීලා දැම්මා අනික් අය හැරෙන්නත් කලින්. නිවාඩුව හම්බුනත් ඉස්කෝලේ අනංමනං වැඩ තිබ්බා. 

ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව. මේකට සමාන්තරව හීනියට කෝඩින් සහ මෘදුකාංග ශිල්පයත්, පරිඝනක ක්‍රමලේඛන ලිවීමේ ශිල්පයටත් අත් පොත් තිබ්බා. ඒකට උදව් කරන ඉස්කෝලේ පරිඝනක ආචාරිනී - අනුත්තරා අක්කටත් ගොඩක් පිං!
මෙදා සැරේ සිංහල අලුත් අවුරුද්දට මගේ ම මහන්සියෙන් ගත්ත ඇඳුම් පැළඳුම් සහ තවත් සුළු දේවල් ටිකක් අත්තටයි අත්තම්මටයි අප්පච්චිටයි ලොකු නැන්දටයි ගිහිං දෙන්න ලැබුන එක තමා අවුරුද්දට කලින් මට කරගන්න හම්බුන, දැනට සතුටුම හිතෙන දේ. ඒවා අරගනිද්දී ඒ දෙන්නගේ මූණේ තිබ්බ සන්තෝසේ මට වචනෙන් කියන්න බෑ. ඒ වගේම අත්තම්මා ඒකට කොච්චර කැමති උනා ද කියනවා නම්, නැති වෙනකල් ම පුළුවන් හැම වෙලේ ම ඒක ම ඇන්දා. පොඩි කාලේ මට අපේ අම්මට වඩා දහස් ගුණේකින් හොඳ අම්ම කෙනෙක් වෙච්ච අත්තම්මගේ හිතේ සන්තෝසේ මට හිතාගන්න පුළුවන්. 
 
නානුඔයේ ගියා අවුරුදු නිවාඩුවේ..

මේ අපේ ඉස්කෝලේ කණිෂ්ක සර් ඩබල් හෙඩ් වෙච්ච දවස.. අප්‍රේල් නිවාඩුවේ..


ස්ටාෆ් එකේ අවුරුදු උත්සවේ..
සිංහල අවුරුද්ද නම් මේ සැරේ ලොකුවට ගියේ නෑ අපේ දිහා නම්. අහස් කූරු ටිකක් එහෙම නම් දැම්මා. අවුරුදු පෝස්ට් එකේ ඉතිං ඒ කාලේ ගැන ලිව්ව නිසා මෙතන වැඩිය සඳහන් කරන්න යන්නේ නැහැ ඒ ගැන. මෙදා සැරේ අවුරුද්ද කිට්ටුවම වෙසක් එකත් වැටිලා තිබ්බ නිසා අපිට එකටම නිවාඩු හම්බුනා ඉස්කෝලෙන්. දිග.............. නිවාඩුවක්. වෙසක් කූඩු ටිකක් එහෙම හදලා එල්ලලා පන්සලෙත් එහෙං මෙහෙන් වැඩ ටිකක් කරලා, රවුමක් ගහල ආවා. මේ සැරේ තමා අපේ අත්තයි අත්තම්මයි අවුරුදු, වෙසක් වලට අපි එක්ක හිටිය අන්තිම අවුරුද්ද. 

ඔය මේ අහකට කොළඹ ගිය වෙලාවක කෝච්චි අස්සේ රිංගපු වෙලාවක්. මේ තමා අත්තටයි අත්තම්මටයි ගිහිං ඇවිත් හොඳට විස්තර කියපු අන්තිම කොළඹ ගමන.
ඩිමෝ එකට ගිය විසිට් එක- මෝටර් යාන්ත්‍රික සංගමය සමග.

ඕක ඉවර වෙලා දෙවෙනි වාරේ තමා ඔන්න කෙළවෙන්න පටන්ගත්තේ. අර කැමැත්තෙන් කරගෙන ආව පන්තිය හදිසියේ භාර දීලා උසස්පෙළ පැත්තට මාරුවක් හම්බුනා. ප්‍රොමෝෂන් එකක් වගේ උනාට, අර පන්තිය දාල එන්න උන එක ගැන නම් ටිකක් හිතට අප්සට්. හැබැයි ඉතිං මේ පන්තිය නරකයි කියනවා නෙවෙයි. ඒකත් හොඳයි. ඒත් වගකීම් වැඩියි. 


අලුත් පන්තිය- 12S2

මේ අවුරුද්ද ටිකක් මළගෙවල්/ සමුගැනීම් වැඩි අවුරුද්දක් වගේ දැනුනා. දන්න කියන බොහෝ අයගේ නෑයෝ එහෙම නැති උනා. අපේ මළගෙවල් සෙට් එක පටන්ගත්තේ අපේ බල්ලගෙන්. 2006 මම 8 වසරේ ඉන්නකොට උඩ ගෙදරට ගෙනාපු දෙන්නගෙන් අන්තිමට ඉතුරු වෙලා හිටි බල්ලත්, මැයි මාසේ අන්තිම සෙනසුරාදා නැති උනා. 

ඔය ඉන්නේ බලු තඩියා. නැති වෙන්න සතියකට වගේ කලින්.
දෙවෙනි වාරේ නම් ඉස්පාසුවක් තිබ්බෙම නැති තරම්. හැමදාම වැඩ. එක්කෝ මෝටර් යාන්ත්‍රික සංගමයේ, එහෙමත් නැත්තම් විවාද කවයේ, එහෙමත් නැත්තම් වෙන ටයිම් ටේබල් එකක වැඩක්, ඔය මුකුත් නැති දවසට කැම්පස් එකේ විභාග. 

ත්‍රිත්ව විද්‍යාලයීය විවාද සංසඳය.
ගෙදර හිටිය සෙනසුරාදාවක් හොයාගන්නම නැහැ. ඔය අතර වාරේ ඉතිං මහනුවර පොත් ප්‍රදර්ශනය බලන්න එහෙමත් යන්තම් සන්තම් වෙලාව හොයාගත්තා. හැබැයි කියන්න සන්තෝසයි පිංවතුනි එතනින් ගත්ත පොත් සමහරක් තාම කියවන්න බැරි උනා. ඔය අහු අස්සේ, මේ වාරේ අපේ කෝච්චි සෙට් එකේ කල්‍යාන අතිජාත මිත්‍රයෙක් වෙන ගයන්ත සමරදිවාකර අයියන්ඩි තනිකඩ ජීවිතේ ට තිත තිබ්බා. ඒකටත් සහභාගී උනා.. 


විවාහ දිවියට එළඹී ගයන්ත අයියා..



දෙවෙනි වාරෙත් එක්ස්ප්‍රස් එකේ ගිහිං ඔන්න නිවාඩුවක් හම්බුනා මාසෙක. ඔය නිවාඩුවේ තමා අර කලින් දාපු ස්ටාෆ් ට්‍රිප් එක එහෙම ගියේ.


ස්ටාෆ් ට්‍රිප් එකේ දුනු වායෙක් වීම..

 නිවාඩු දෙන්න සති තුනකට කලින් තමා අපේ අත්තා අන්තිම වතාවට ඉඳගෙන හොඳ සිහියෙන් මගෙත් එක්ක කතා කරේ. ඊට පස්සේ ටිකින් ටික ටිකින් ටික දුර්වල වෙන්න ගත්තා. කෑම බීම අඩු උනා, අන්තිමේ අගෝස්තු වෙද්දී නැත්තටම නැති තරම් උනා. 

තනියම සමරපු 25 වෙනි උපන්දිනේ.. ඔව්, 2019ත් තනියම තමා යකෝ මෙතෙන්ට එන්නේ..
අගෝස්තු කියන්නේ මට කොහොමත් වැඩ බහුල මාසයක් මොකද දහම් පාසැල් තරඟ වලට පුහුණු කිරීම්, මග පෙන්වීම් තියන නිසා. අත්තගේ තත්ත්වෙත් එක්ක ඉතාම අවිනිශ්චිත තත්වයක උනත් ඒ ටික කරගන්න පුළුවන් උනා. ඒ තරඟ වලින් නම් අපේ දහම් පාසැල කලාපේ පළවෙනි තැනටම ආවා. ඒ ගැන සතුටක් හිතේ තියනවා. ඒ වගේම, අපේ කෝච්චි සෙට් එකේ තවත් මිත්‍රයෙක් සහ මගේ උසස් අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් බරපතල විදියට සැලකිය යුතු උදව් කරපු අපේ තූර්ය අයියත් ඔන්න ඩබල් හෙඩ් උනා. ඒකට යද්දී නම් අත්තා මම යනවා කියපු එක වත් ඇහුනේ නැති තත්වෙක හිටියේ. 

විවාපත් තූර්ය අයියා..
නිවාඩුව අන්තිම වෙනකොට අත්තගේ තත්වේ අන්තිමයි. මම ස්ටාෆ් මීටිං ගියෙත් හිතේ දෙගිඩියාවෙන්. ඒත් ආපහු ඇවිල්ල, අපි කර කර හිටිය ගෙදර ලයිට් අලුත්වැඩියාවත් ඉවර කරගන්න අපිට පුළුවන් උනා. පහුවෙනිදට එළිවෙන පාන්දර, ඒ කියන්නේ සැප්තැම්බර් 4 වෙනිදා උදේ 3.45ට වගේ, අපේ අත්තා අපිව දාලා ගියා.
මළගෙදර වැඩ ටික කරගත්තා. ඒත් ඉතිං අත්තා නැති පාඩුව හොඳට අපිට දැනුනා. මම ඉස්කෝලේ ගියත්, වෙනද වැඳලා යනකොට “රත්නත්තරේ පිහිටයි බුදුන්ගේ සරණයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ..” කියපු, අන්තිම දවස් වල මට “ඉස්කෝලේ මහත්තයා” කියල කතා කරපු අත්තා නැති එක හිතට හොඳට දැනුනා. 


අත්තා..

මේ මාස දෙක හමාරෙත් තරමක් කාර්යය බහුල උනා. එකක් තමා මාස දෙකෙන් වගේ සිලබස් ඉවර කරන්න තිබ්බා. මගේ විෂයය විවිධත්වය වැඩි වීම නිසා එක ටිකක් අමාරු කාර්යයක් උනා. ඒ අතරේ ගොඩාක් කරදර බාධක මැද්දේ අපි කොහොම හරි සිංහල දිනයත් තියාගත්තා. “වාග් ප්‍රතිභා” විවාද තරඟාවලියත් කොහොම හරි කරගත්තා. ඒකට ලොකු පිරිසකගේ කැපවීම මහන්සිය බලපෑවා. 


වාග් ප්‍රතිභා විනිශ්චය මණ්ඩලයේ..

ඔන්න ඊට පස්සේ සති දෙක තුන තමා මට තරමක විවේක කාලයක් කියල හම්බුනේ. ඒත් ලොකුවට විවේකයක් කියල තිබ්බෙත් නෑ. මොකද කාලයක් ඇද ඇද තිබ්බ ඉස්කෝලේ යාන්ත්‍රික තාක්ෂණවේදය කරන ළමයි ටික රත්මලානේ දුම්රිය කර්මාන්තශාලාව බලන්න එක්කං යන ගමන ඉතුරු වෙලා තිබ්බා. ඒකත් කොහොම හරි කරගත්තා. ඒ ළමයින්ට නම් එතන සෑහෙන වටිනවා. 


රත්මලානේ දුම්රිය කර්මාන්තශාලාව වෙත ගිය ගමන.

ඒ වගේම, ඉස්කෝලෙදි මට සෑහෙන්න උදව් කරපු, කොටින් ම මට දිවා ආහාරය නේවාසිකාගාරයෙන්  ගන්න පවා කටයුතු සලස්වල දීපු, මම බොහොම ගෞරව කල වගේම මුළු ඉස්කෝලයක් ආදරේ කරපු, නේවාසිකාගාරය භාරව හිටිය ඇලෙක්ස් ලාසරස් සර් හදිසියේ ම අප අතරින් වියෝ උනා.

එන්ජිමක් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය.

ඊට පස්සේ ඔන්න මගේ විභාග පෝලිමක් පටන්ගත්තා ආපහු. ඒ ටික ඉවර වෙද්දී ඉස්කෝලේ වාර විභාග. පේපර් ටික ඇවිත් මුල් දවස් ටිකේ වැඩි දෙයක් කරගන්න බැරි උනා මගේ විභාග එක්ක. ඒක ඉවරල දවස් දෙකයි  හරියට පේපර් ටිකක් බලාගන්න පුළුවන් උනේ. නොවැම්බර් 26 වෙනිදා මම විභාග කටයුතු ඉවර කරලා කන්න එනකොට කෝල් එකක් ආවා අත්තම්මා වැටිලා නේද මොකද තත්වේ කියල අහල.
මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ වෙලාවේ ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. නීතියෙනුත් තහනම්. ඉතිං ගෙදරින් කෝල් කරලවත් නොතිබ්බ නිසා මම දැනගෙන හිටියේ නැහැ. කොහොමත් මම පේපර් බලන්න තිබ්බ නිසා ඉස්කෝලේ ඇරුන ගමන් කෝච්චියේ ආවා ගෙදර එන්න. පේරාදෙණියට එනකල් මම ෆුට් බෝඩ් එකට වෙලා හිත හිත ආවේ දැන් හොස්පිටල් අරං යන්න වෙයි ද, එහෙම උනොත් මොකද කරන්නේ කිය කියා. ඒත් පේරාදෙණියෙන් බැස්සා විතරයි අප්පච්චි කතා කරලා “පුතේ ඉක්මණට ගෙදර එන්න, අත්තම්මා නැති උනා” කියල කිව්වා.
මමත් ඉතිං එතනින් පාලම උඩට නැග්ගා. ඔන්න එතකොටම මාමලාගේ කාර් එක හම්බුනා. මම යනකොටත් අපිට නෑ වෙන ඩොක්ටර් කෙනෙක් (අපේ නැන්දා කෙනෙක්) එහෙමත් ඇවිත්. වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා. ලොකු නැන්දම්මා කියපු විදියට හවස මල් පූජා කරන්න මල් කඩන්න වට්ටියත් හෝදලා තියලා කුස්සියට ආවලු දවල්ට කන්න. කෑම එක අරං බංකුවේ ඉඳගනිද්දී ම තමා නැති වෙලා තියන්නේ.
මේ ටික කියපු ගමන් මටත් හිතාගන්න බැරි උනා, මොකද මම එදා උදේ ගෙදරින් යනකොටත් හොඳට හිටගෙන මම වඳිනකොටත් වෙනද වගේම “පරෙස්සමෙන් ගිහිං එන්න මගේ පුතාට වරදින්නේ නෑ දෙයියන්නේ පිහිටයි බුදුන්ගේ සරණයි..” කියල වෙනද වගේම ඔලුව අතගාල මට සමුදීපු අත්තම්මා මෙහෙම හදිසියේ ගියේ ඇයි කියල. ඒත් ඉතිං පස්සේ මට හිතුනා කිසි වේදනාවක් විඳින්න නැතුව මෙහෙම ගිය එකත් වාසනාවන්තයි නේද කියලත්. 


අත්තම්මා..

පේපර් ටික හිර උනා ඔය අතරවාරේ දැන්. රෑ ඇහැරගෙන පුළුවන් තරම් බැලුවත් මට ඉවරකරගන්න පුළුවන් උනේ ටිකයි. ඉතිං ඉස්කෝලේ අවසර ඇතුව, නිශ්චිත පිළිතුරු තියන බහුවරණ ටික ඉස්කෝලේ මගේ කල්‍යාණ මිතුරියකට යවන්න උනා. මට උගන්නපු සිංහල ටීචර් කෙනෙකුත් ඒ ටික වෙලාවට ඉවර කරගන්න ලොකු උදව්වක් දීලා තිබුනා. ඒ දෙන්නට පිං! ඒ වගේම, බුද්ධ ධර්මය සහ ප්‍රායෝගික තාක්ෂණික කුසලතා ලකුණු ටික මම ඉස්කෝලේ එනකල් ම දෙන්න බැරි උනා. ඒ ප්‍රමාදය ඉවසගෙන හිටිය හැමෝටමත් ලොකුවටම ස්තුතියි කියන්න ඕනේ. එක දවසින් රිපෝට් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ කියල මම හොඳටම දන්න නිසා.
දෙසැම්බර් නිවාඩුව ඊළඟ දවසේ හම්බුනත්, අත්තම්මගේ හත් දවසේ දානේ නිසා මට නිවාඩු හරියට හම්බුනේ ඊළඟ සතියේ. අත්තගේ තුං මාසේ දානෙයි අත්තම්මගේ හත් දවසේ දානෙයි එක ම දවසට වැටුන එකත් එක්තරා පුදුමයක්. 

නිවාඩුවේ වැඩ..
ස්ටාෆ් පාටිය. මේ පාර මේකත් ලස්සනට සංවිධානය කරලා තිබ්බා ඉස්කෝලෙන් එළියේ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලේ.
ඒ මේ වැඩ ඉවර කරලා තමා ඉතිං හරියට මේ අවුරුද්දට නිදහසේ හුස්මක් කටක් ගන්න පුළුවන් උනේ. ට්‍රිප් දෙක තුනක් ගියා. කොළඹ ගියා.. ට්‍රිප් ගැන කියද්දී ඉතිං කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිහින් එද්දී ඉන්ටසිටිය දීපු සැපත් අමතක කරන්න බෑ. ඒ වගේම තමයි කලින් පෝස්ට් එකේ දාපු 126 කෝච්චියේ ග්‍රේට් වෙස්ටර්න් ගිය ගමන. ඒ ගැන වැඩිය කියන්න යන්නේ නෑ ඒ පෝස්ට් වල දාපු නිසා. 


ඉන්ටසිටිය දීපු ආතල් එක..

ග්‍රේට් වෙස්ටර්න් - වටගොඩ පා ගමන..

වර්ෂාවසාන සංචාරය..
රට ලෝකේ අතින් බැලුවමත් මේ අවුරුද්ද නම් මහා රුවිතෙට ගිය අවුරුද්දක්. කාලගුනේ කණපිට හැරිලා අඤ්ඤකොරොස් වෙලා ගිහිං තිබ්බා. සමහර පැති වලට ගලන්න වහිද්දි සමහර පැති වලට පොදක් වත් නෑ. මට මතකයි රට වටේට ම වහිද්දි මහනුවර ට විතරක් නොවැහැ තිබ්බ මාසයක් හමාරක්.
හැබැයි වහින්න ගත්තම වැස්සේ නැතැයි ගලන්න. සමහර දවස් තිබ්බා අපේ පාර මහවැලි ව්‍යාපාරේ කොටසක් වගේ වෙච්ච. ඒ වගේම අවුරුද්ද අන්තිම වෙද්දී ආපහු ඉන්දුනීසියාවට ටී සුනාමියක් ඇවිල්ලා. ඒ අස්සේ ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරන්න අරං. ලෝකේ මනුෂ්‍ය සංහතියට විරුද්ධව වැඩ කරන්න පටන් අරං කියලයි මට හිතෙන්නේ.
ඒ වගේම, මේ අවුරුද්දේ ලොකු මාතෘකාවක් උනේ කෝච්චිය ට අලි හැප්පෙන එක. මේ වැඩේ නම් ඉතාම සෝචනීය තත්වයක්. මේ වෙනකොට අලි 10ක ටත් වඩා අපිට අහිමි වෙලා. ඒ වගේම තමා දළ අරගන්න මරපු ඇත්තු.
අලි කියද්දී මතක් උනේ. අවුරුද්ද අන්තිම කාලේ අපේ ශ්‍රී ලංකාව , ට සිරි ලංකාව වෙන තත්වෙකට ම අරං ගියා අපේ ගරු ජන අධිපති තුමා. දවසක් සිකුරාදා උදේ වැඩට ගියේ හවුල් ආණ්ඩුවක් යටතේ. මෙන්න යකෝ ගෙදර එද්දී ආණ්ඩුව ශ්‍රී ලංකා වෙලා මහින්ද අගමැති වෙලා! 


බල පෙරලිය ස්ටේටස් එකකින්..

ඔය අර්බුධය ඉතිං සෑහෙන දවසක් ඇදුනා. එහෙට පයිනවා මෙහෙට පයිනවා, සල්ලි වලට ගන්නවා, අම්මෝ.. හැබැයි ෆේස්බුක් එකේ අපිට නම් ඉතිං මේ සෙට් එක ආතල් දුන්න හෝ ගාලා. හිනා උනාට ඉතිං දුකයි රට ගැන. ඔය කලබැගෑනිය අස්සේ, අපේ පවුලේ හිතවත්ම පවුලක කෙනෙක් ඔය සිද්ධියත් එක්ක ආපු කලබලේකට අහු වෙලා ජීවිතේ නැති උනා. ඒ මිනිස්සු පවු ඉතිං. මොකද අන්තිමේ ලොක්කෝ ටික මොන වලිය ඇදගත්තත් උන්ට කිසි ප්‍රශ්නයක් නෑ, විඳවන්නේ මේ වගේ මිනිස්සු තමා.
ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ගිය අවුරුද්දේ ගත්ත නේ ඇසුස් ලැප් එකක්. ඒකට පුරුදු වෙන්න තාම බැරි උනා හරියකට. ඉතිං ඒ නිසා ම, අත්‍යවශ්‍ය වැඩ ටික කරගන්න, පරණ ඩෙල් එක හදල ගත්තා. මේ පෝස්ට් එක ලියන්නෙත් ඒකෙන්. 

ලැප්ටොප් රිපෙයාර්
ඒ අහු අස්සේ 2016 ඉඳන් පාවිච්චි කරපු ඇපල් iPhone 5S එක විකුනලා iPhone SE එකක් අරගත්තා මාර්තු මාසේ. ඒ ගැන රිවීව් එකක් පස්සේ ලියන්නම්. ඒ වගේම, කැම්පස් එකේ වැඩ වලටයි එහෙ මෙහෙ යද්දී අරං යන්නයි .pdf, ඊබුක් අනංමනං බලන්නයි කියවන්නයි කියල ලංකාවේ හදපු Ewis ටැබ් එකක් ගත්තා. ඒකෙන් නම් මේ ටිකටත් සෑහෙන වැඩක් ගත්තා. කාලෙකින් කරපු හොඳ ආයෝජනයක්. 

ඔය අහු අස්සේ, අන්න රේල්ලුවට නැවක් වගේ එන්ජිමකුයි, තව චීන S12 එක කොපි කරලා හදපු DEMU හෙවත් ඩීසල්- විදුලි බහු ඒකක (තේරෙන්න කිව්වොත් පවර් සෙට්) ටිකකුයි ගෙනල්ලා. මේවා මීට කලින් තිබ්බ ඩීසල්- විදුලි දුම්රිය වලට වෙනස් වෙන්නේ, කලින් තිබ්බ ඒවා වගේ නෙවේ මේවල ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා මෝටර්. කලින් ඒවා (M9 හැර) ක්‍රියාත්මක වෙන්නේ සරල ධාරා මෝටර්. බලමු මේවා කොහොම දුවයිද කියල. මට තාම දකින්න බැරි උනා ඇහැට.

අලුතෙන් ආවුද/උපකරණ ලැයිස්තුවට එකතු වූ මල්ටිමීටරය..
මුහුද බලන්නත් ගියා. නැත්තම් කෑවේ නෑ වගේ නේ..

ඉතිං, දෙසැම්බර් නිවාඩුවත් ඉවරයි. කලින් දවසේ බයිසිකලේ එහෙමත් හෝදලා සර්විස් කරලා ගෙවිච්ච කෑලි අහක් කරලා අලුතින් දාලා හදල ගත්තා. ඒ වගේම දැන් කාමරේත් අස් කරා. ඊළඟ අවුරුද්දට තව ඉතුරු වෙලා තියන්නේ බොහොම පොඩි කාලයක්. ඊයේ රෑ අපේ පන්සලේ පිරිතක් තිබ්බා. ඒකටත් ගිහින් ඇවිත් අද දවසේ කාලා නාලා කාමරේ එහෙම අස් කරා ඊළඟ අවුරුද්දේ වැඩ පටන්ගන්න. මට ඉවෙන් තේරෙනවා සෑහෙන කාර්යයබහුල අවුරුද්දක් වේවි කියල. එක අතකට මට හිතෙනවා මේ අවුරුද්දත් හරියට 2008 අවුරුද්ද වගේමයි කියල.  

බයිසිකලේ ෆුල් ෂෙඩියුල් රිපෙයාර් දැම්මා.
අවුරුදු 25ක් එකට ඉඳපු කට්ටිය නැතුව, අලුත්ම ජීවිතයක් හෙටිං පටන්ගන්න තියනවා. දැන් බඳින්න කෙනෙක් හොයාගන්න, කවුරුත් තාම නැද්ද වගේ ප්‍රශ්නත් දැන් දැන් එල්ල වෙන්න පටන් අරං. අපි අහු වෙයි ඕවට.. අර කෝච්චි භාෂාවෙන් ම කිව්වොත්, “ගැරට් කවද්ද ඩබල් හෙඩ් කරේ..”
එහෙනං, ගිය අවුරුද්දේ මගේ වැඩ වලට උදව් කරපු, මගේ එක්ක ඉඳල මට මග පෙන්වපු හැමෝට මත්, ඒ වගේම මා ගැන විශ්වාසය තියපු හැමෝට මත් ස්තුති කියන්න ඕනේ. ඒ වගේම ඉතිං ඒ ස්තුතියට මගේ කකුලෙන් ඇදපු, කපල දාන්න උත්සහ කරපු අයවත් එකතු කරගන්නවා. එයාලත් මගේ ජීවිතේට පාඩම් කියල දීපු නිසා.. 



අවුරුද්දේ අන්තිම ඉවෙන්ට් එක- අපේ බැච් එකේ ගෙට් එක වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ටරය.  මේකේ සංවිධායක මණ්ඩලයට සෑහෙන්න ස්තුති කරන්න ඕනේ.

එහෙනම්, ඔන්න ලියන කියවන හැමෝටම,
“හෙටිං උදා වන ලෝකය සැමහට - සුවදායක කරමු..”
කියන ප්‍රාර්තනයත් එක්ක 2019 වසරට පා තබන්න ලැබේවා කියල සුභ පතනවා..!