ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආව බ්ලොග් එක පැත්තේ.. බ්ලොග් එක පැත්තේ විතරක් නෙවේ ලැප් එක හරියට දැක්කෙත් මාසෙකට විතර පස්සේ තමා.. මොකද මට පහුගිය ටිකේ වි භාගයක් තිබ්බ. ඒකෙ වැඩ නිසා මේ හතරමායිමට තහංචියක් දාගෙන තමා හිටියේ.
හරි, පහුගිය ටිකේ කෝච්චි ගැනයි හොල්මන් ගැනයි කතා කරා.. මාව ආපහු ලැප් එක ගාවට අරගෙන ආවෙත්නම් කෝච්චියක් තමයි. ඒ උනාට ඒ ගැන වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ.. කෙටියෙන් කිව්වොත්, සෑහෙන කාලෙකට පස්සේ වාෂ්ප දුම්රිය එන්ජිමක් උඩරට දුම්රිය මාර්ගයේ ඉහල කොටසට ආපු එක තමා හේතු උනේ. හරි ඒ ඇති.
ඔය පහුගිය දවසක පෝස්ට් එකක් දාපු වෙලාවක දැන් මේ පැත්තේ දකින්න නැති ධාරා කියල තිබ්බ විභාග කාලෙට තමා ලියන්න දේවල් හිටු කියල මතක් වෙන්නේ කියල. ඒක සහතික ඇත්ත අෆ්ෆා. ඔය විභාගෙට උවමනා කරන පරණ පොතක් හොයන්න අල්මාරියක් ඇදපු වෙලාවක, මට බොහොම අපූරු "වස්තුවක්" හම්බුනා..
|
මේ තමා උන බට තුවක්කුව... |
මේ තුවක්කුවට තව නමක් කියනවා.. අනික් පළාත් වල කොහොමද මම දන්නේ නෑ අපි නම් පොඩි කාලේ මේකට අච්චු බටේ කියන නමත් පාවිච්චි කරා.. ඔය දැන් තියන ප්ලාස්ටික් Air gun කියන පිස්තෝල වගේ නෙවෙයි. මේකකින් වෙඩි තියනකොට ඩෝන් ගාල සද්දෙත් එනවා. ඒ වගේම, පරිසරයට කිසිම හානියක් නෑ.. ඔය මම දාල තියන තුවක්කුව හැදුවේ මම 6 වසරේ ඉන්නකොට. ඒ කියන්නේ 2004. අගෝස්තු වල තමා මගේ දිනපොතේ හැටියට. ඒ කියන්නේ දැනට අවුරුදු 10කට කලින්. ඒ උනාට, පුංචි පිපිරීමක් ඇරෙන්න, තාමත් ඉතා හොඳ ක්‍රියාකාරී මට්ටමෙන් තියනවා!!
මේකක් හදාගන්න හැටි කියනවා නම්, මුලින්ම හොයාගන්න ඕනේ උණ පඳුරක්. ඒ කියන්නේ මෙන්න මෙව්වා..
|
මේ තමා කහ උණ. කොළ උණත් තියනවා. හැබැයි කහ උණ බටේ හයියයි වගේම වැඩි කල් පැවැත්මක් තියනවා..
විද්‍යාත්මක නාමය- Bambusa vulgaris. |
උණ පඳුරක් හොයාගෙන, එකෙන් එක ගහක් කපල දාගන්න ඕනේ. ඒ ගහ ඇද නැති එකක් වීම අනිවාර්යයි. මේකේ ඉහලම කොටස තමා තුවක්කුවට ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියන බටේ හීනි වෙන තරමට හොඳයි. සාමාන්යෙන් පැන්සලක මහතට වගේ තියෙන්න තිබ්බ නම් ගානයි. දැන් ඔන්න ඔය හරියෙන්, ගැටෙත් එක්කම කපාගන්න ඕනේ සෙන්ටිමීටර් 15ක් 20ක් දිග කෙලින් කෑල්ලක්. ඊට පස්සේ, ගැට දෙක මුලින්ම වගේ කපල අයින් කරගන්න, හැබැයි මේ වැඩේ කරනකොට බටේ පලාගන්න එපා..
ඔය ටික කරාම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ.
|
ඔන්න තුවක්කු බටේ.. මේකේ නම් සෙලෝටේප් වලින් සීල් කරලා තියන්නේ වටේට. අලුත් එකක ඒවා ඕනේ නෑ. මේක කොළ උණ වලින් හදපු එකක්. |
රයිට්. ඊළඟට වෙඩි තියන කොටස, නැත්තම් ට්‍රිගර් එක කිව්වා නම් හරි යයි.. මේකට, අර ගහේම, ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලට ලඟම පුරුකෙන් වගේ, සෙන්ටිමීටර් 5ක් විතර දිග කෑල්ලක් කපාගන්න, හැබැයි, ගැටේකුත් අහු වෙන්න. එකරලා, කිතුල් කෝටුවක් හරි ඒ වගේ නැවෙන්නේ නැති, හයිය තියන, අර ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලේ බටේ ඇතුලෙන් ලේසියෙන් යවන්න පුළුවන්, ඒ බටේට වඩා සෙන්ටිමීටර් 5ක් වගේ වැඩියෙන් තියන කෝටුවක් කපාගන්න. පරණ හයිය හැඳි මිටක් තියනවා නම් සුද්ද කරලා ගත්තත් කමක් නෑ. ඔය කෝටුව, අර ගත්ත පොඩි උණ කෑල්ලේ ඇතුලට යවාගන්න. මේක හොඳට හිරවෙන තරමට හොඳයි.. ගැටේ තියන්න කිව්වේ, වෙඩි තියනකොට ඔය කෝටුව අනික් පැත්තෙන් එන එක වලක්වන්න. මේක සම්පූර්ණ කරගත්තම මේ වගේ වෙන්න ඕනේ...
|
පේනවා නේද මම අගින් ගැටයක් තියල තියන හැටි.. |
දැන් ඔය වැඩ ටික කරගත්ත නම්,තුවක්කුව හදල ඉවරයි. එතකොට කෝ උණ්ඩ?? මේකට දාන ඔරිජිනල් උණ්ඩ තමා කුඩුදවුල ඇට. දැන් කට්ටිය අහයිද දන්නේ නෑ ඒ මොන කුනුහරපයක්ද කියල. :D
නෑ නෑ බයවෙන්න ඕනේ නෑ. මේකට තව උණ්ඩ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. එකතු කරගන්න මෙන්න මේ ටික-
පරණ පත්තර පිටු දෙක තුනක්,
ටිකක් ලොකු කෝප්පයක්,
කෝප්පෙන් භාගයක් තරමට වතුර.
ඔය ටිකෙන් උණ්ඩයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම පත්තර පිටුවක් ඔය වතුර ටිකේ හොඳට පොඟවගන්න. ඊට පස්සේ ඒක ඔය තුවක්කුවට දාගන්න පුළුවන් තරමක කෑලි වලට කඩල ගුලි කරගන්න. අච්චු කූර (ඔය උඩ තියන්නේ.. ) අරගෙන, ඕක දිග බටේ එක පැත්තකට යවාගන්න. දැන් තව එකක් අරගෙන අනික් පැත්තෙන් තියල හෙමීට කූරෙන් ඇතුලට තල්ලු කරන්න. කූරෙන් අඟල් භාගයක් තරම ඇතුල් කරන්න පුළුවන් තරමට කොළ ගුලිය ඇතුලට ගියහම, කූර බටේට ඇතුල් කරලා, වෙර දාල තල්ලු කරන එකයි තියන්නේ. බටේ පිපුරුවේ නැත්තම්, අර කලින් තියපු ගුලිය ඩෝන් ගාල එලියට විසික් වේවි. (මූනට අල්ලාගෙන එහෙම ඔය වැඩේ කරන්න එපා ඇහැක් හොයන්න යන්න වේවි ඊට පස්සේ)
මේ තියන්නේ ඔය සම්පූර්ණ කට්ටලය..
|
ඔන්න සම්පූර්ණ කට්ටලය. ඔතන එකක් තෙමපු උණ්ඩයක්. අනික කලින් පාර පාවිච්චි කරලා ඇතුලේ තිබ්බ එක. |
ඔය තුවක්කුවෙන් වෙඩි තියන්න ටිකක් පුරුදු වෙන්න ඕනේ. අපි ඒ දවස් වල ඕවලින් යුද්ධ හිටන් කරලා තියනවා. ලේ පාට හිටින්න, කොල පොඟවන වතුරට රතු පාට දිය සායම් හරි ගඩොල් කුඩු හරි දිය කරනවා.. :D
මේකේ ක්‍රියාකාරීත්වය තියන්නේ වායු පීඩනය මත. ඒ කියන්නේ, කොළ ගුලි දෙකෙන් හිර වෙනවනේ වාතය කොටසක්. බටේ හරහා එලියට යන්නත් බෑ. ඉතින් එක පැත්තකින් තල්ලු කරද්දී, වායු පීඩනය නිසා ලේසි කෙලවරින් කොළ ගුලිය විසි කරගෙන වාතය නිදහස් වෙනවා. එහිදී වායුවේ තිබ්බ ශක්තියෙන් කොටසක් ශබ්දය විදිහටත් නිදහස් වෙනවා. බැරි වෙලාවත් උණ බටේ දුර්වල උනොත්, බටේ පුපුරන්නත් ඉඩ තියනවා.. ඔය අච්චු බටේට සමාන යාන්ත්‍රණයක් මත තමා වාෂ්ප දුම්රිය වැඩ කරන්නෙත්.. වායු බලයේ තරම හිතාගන්නකෝ ඉතින්...