Friday, December 31, 2021

ගෙදර ට ම ගෙවිච්ච අවුරුද්දක සමාලෝචනය

          එක ළඟ පෝස්ට් කීපයක් ම ලියාගන්න ලැබුනා. මේ ගැම්ම එන අවුරුද්දටත් මෙහෙම ම තිබ්බොත් ශෝක්. ඇත්තෙන්ම කිව්වොත් ලියන්න දේවල් සෑහෙන්න තියනවා. ලියාගන්න හිතෙන්නේ නැති එක මිසක්.

          කොහොම හරි, තවත් අවුරුද්දක් අවසානේ ට ඇවිල්ලා. ජීවිතේ ගොඩක් බලාපොරොත්තු එක්ක පටන් ගත්ත අවුරුද්දක් කියන්න පුළුවන් මගේ පැත්තෙන් බැලුවොත්. හැබැයි හිතාගෙන හිටිය දේවල් උනෙත් නැති, වෙච්ච දේවල් හිතා ගන්නත් බැරි විදියට ගෙවුන අවුරුද්දක්. 

අවුරුද්දේ ට්‍රිප් එකක ට කියල යාගන්න හම්බුනේ මෙන්න මෙච්චරයි. රිවර්ස්ටන් යන්න ගිහිං සීගිරියේ ගිය එක.

          අවුරුද්ද පටන් ගත්තේ ම එක්සෑම් එකක් එක්ක. මම කර කර හිටිය එක උපාධිය ක අන්තිම වසරේ අන්තිම පරීක්ෂණය. ලෝකේ තිබ්බ (තියන) තත්ත්වෙත් එක්ක ඒවා මාර්ග ගත ක්‍රමය ට තිබ්බා. ජනවාරි 2 තමා අන්තිම දවස තිබ්බේ සබ්මිට් කරන්න.

          2020 සාමාන්‍ය පෙළ විභාගය කල් ගියා මේ අවුරුද්දේ මාර්තු වල ට. ඉතිං මගේ විභාගය ඉවර වෙලා, ඉස්කෝලේ පටන් අරගෙන තිබ්බ සුළු කාලේ ඇතුළත ඒ ළමයින් ට මිස් උන දේවල් එහෙම කරන්න උනා. අවුලකුත් නෑ ඉතිං මොක ද 11 වසරක් තිබ්බේ ම නැති තරම් නේ එයාල ට. ඒ උනා ට දෙපාර්තමේන්තුවෙන් කිසි ම සැලැස්මක් නැතුව තිබ්බ අනාවරණ පරීක්ෂණ නිසා ළමයින්ටයි අපිටයි ඒ වැඩ එපා වෙලා තිබ්බේ. 

කඳුරට ගුවන් විදුලියේ හඬ පරීක්ෂණය. මේක ට උදව් කරපු විශ්ව, සචින්ත මල්ලිලා ට, කාවින්දි නංගි ට ස්තුතියි!
(සේයාරුව- හංසිනි ද සිල්වා)

          කොහොම හරි අවුරුද්ද ලං වෙලා දවස් ටිකක් රට සාමාන්‍ය විදියට දිව්වා. ඒක මම නම් හිතන්නේ සාමාන්‍ය වැඩි උනා. අවුරුදු උත්සව අනංමනං ජන මාධ්‍ය කියල තමන් ව හඳුන්වා ගන්න, ඒත් ලෝකේ පිළිගත්ත මාධ්‍ය සදාචාරය අනුව කෙලින් ම “ජඩ මාධ්‍ය” ගණය ට වැටෙන අපේ චැනල් සෙට් එකෙන් සූ ගාලා සෙනඟ එක්ක සංවිධානය කරා. අළුත් අවුරුද්ද කට උඩ තියලා දහම් පාසලේ කථික සංසඳය එක්ක හඬ පරීක්ෂණයක ට යන්න හම්බුනා. එදා අපි දැක්කා හත් අවුරුද්දක් ඇඳුම් නැතුව හිටි ගාණ ට මිනිස්සු රෙදි කඩ අස්සේ පිරිලා. 

අහම්බෙන් මහා මාර්ග කෞතුකාගාරය බලන්න යන්න චාන්ස් එකක් වැදුනා..

          කොහොම හරි, ඒ ජයට ම අවුරුදු කාපු පාර කොරෝනා ප්‍රෝ මැක්ස් වෙලා වැඩ කරලා, වෙසක් එක ට ගෙදර ට වෙලා තපින්න උනා. විටින් විට ලොක් ඩවුන් එක නැති කරත්, එක එක විදිය ට ලිහිල් කරත්, අවුරුද්දෙන් වැඩි හරියක් ගෙවුනේ ඔන්ලයින් වැඩ එක්ක ගෙදර කියන්න පුළුවන්. කාමරේ ම කිව්වත් වැරද්දක් නෑ මම හිතන්නේ, මොකද ඉස්කෝලෙන් එවපු වැඩ එක්ක බොහොම අඩුවෙන් තමා එලියට බහින්න හම්බුනේ. 

කොඩි ගහ නම් ඉස්සුවා සීමිත පිරිසක් එක්ක අමු වැස්සේ ම

          ඔය අහු අස්සේ අර ලියපු විභාගේ ප්‍රතිපල ඇවිත් බැලුව ම මොකක් හරි විවෘත විශ්ව විද්‍යාලේ වෙබ් අඩවියේ වෙච්ච ජංජාලයක් සහ තව සිද්ධි කිහිපයක් නිසා ඒ ප්‍රතිපල අවුල් ගිහිං! (විවෘත වැඩි වෙලා ද කොහේ ද)..

          ඒවා විසඳන්න නැටුවා ලොක් ඩවුන් බල්ල ට ගියාවේ කියල. ඒ වැඩ වල ට නම් අනේ අපරාදේ කියන්න බෑ කිහිප දෙනෙක් ම එකතු උනා. අපරාදේ කියන්න බෑ මාත් එක්ක වාහනෙන් කොළඹ ගිහින් ප්‍රශ්නේ කතා කරන්න ත් විශ්ව කියල යාළුවෙක් ආවා. ඒ අතර ඉතිං ලංකාවේ සුපුරුදු ලක්ෂණය වෙන කකුලෙන් ඇදිලි, බෙලි කැපිලි එහෙමත් දකින්න පුළුවන් උනා. ඔය වැඩේ කොහොම හරි මාස ගාණක් ඇදුනා. මහා ලොකු ඇකඩමික්ස් ලා කියාගෙන ඉන්න සම හරක් මිනිස්සුන් ගේ ඇත්ත මානසික තත්ත්වය ගැන හොඳ පාඩමක් කියල දීලා ම, ඒ ප්‍රශ්නය ට විවෘත විශ්ව විද්‍යාලය අපූරු උත්තරයක් දීලා තිබ්බා. ඒ ගැන වැඩි සඳහනක් කරන්නේ නැහැ, මොකද ප්‍රශ්නේ තාම ඉවර නෑ. 

මේ අවුරුද්ද මැද ඉතා ම පොඩි කාලෙක ට අපේ දිහා පදිංචිය ට ආව බලු ගෙඩියෙක්.  

          ඊට අමතර ව වෙච්ච තව වැදගත් දෙයක් තමා පොඩි කාලේ ඉඳන් අපේ සෙට් එකේ හිටිය ලොක්කි වෙච්ච අපේ නෑනා විවාහ ජීවිතේ ට ඇතුළත් උන එක. ඇත්තට ම අවුරුද්දේ උත්සව දෙකයි සෙට් උනේ. එකක් මගේ දහම් පාසලේ පංතියේ පරණ ම යාලුවෙක් වෙන ලක්ෂාන් ගේ වෙඩින් එක. අනික මේක. ඉතුරු කාල වල උත්සව කෙසේ වෙතත් එලිය ට බැහැගන්න බැරි තත්වයක් තිබ්බේ. ආ ඒ වගේ ම, ඉස්කෝලේ ස්ටාෆ් එක ට ගියා ට පස්සේ මගේ අතිජාත මිතුරියක් උන අනුත්තරා අක්කා මව් පදවිය ලබපු එකත් ලියල තියන්න ම ඕනේ. 

ඕෂධී අක්කා ගේ විවාහ මංගල්‍යය. 

දහම් පාසලේ පැරණි ම මිත්‍රයෙක් ඒ වගේ ම නෑයෙක් වෙන ලක්ෂාන්..

          යාළු මිත්‍ර සමාගම ගැන ඉතින් මේ අවුරුද්දේ වැඩි යමක් ලියන්න නැහැ. පරණ හිටි සෙට් එක එහෙම ම ඉන්නවා. අළුතෙන් දෙතුන් දෙනෙක් එකතු උනා ට ඒවා වැඩි දුර තිබුනේ නැහැ. සමහරු රට ගියා, සමහරු මව් පියන් උනා දෙවෙනි වතාවට ත් එක්ක. මම එක අතක ට වාසනාවන්තයි මොක ද කල්‍යාණ මිත්‍රයෝ ටික දෙනෙක් මට ඉන්නවා ඕනේ කරදරේකින් බේරගන්න, මග පෙන්නන්න එහෙම. ඔය සෙට් එකෙන් දෙන්නෙක්- තූර්ය අයියා, ලහිරු අයියා එහෙම මෙහෙ ඇවිල්ලා ගියා අවුරුද්ද මැද. අවාසනාවක ට ෆොටෝ එකක් වත් ගන්න උනේ නෑ.

          ඒ අතර ම සමහර යාළුවො, ගෝලයෝ, නෑයෝ කියල හිතං හිටිය අය ගේ ඇත්ත මූණ දකින්නත් ලැබුනා. ඒවායින් සමහර ඒවා නම් සෑහෙන දරුණු ගැටළු බව ට පත් වෙන එක නූලයි දශමෙන් බේරුනා මොකක් හරි ඒ අදාළ හැමෝගේ ම වාසනාවක ට. අර කතාවක් තියනවා නේ “සිනා සිසී කීවත් පැණි පිරෙන කතා- මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා” කියල එන්න ඒක ඔප්පු කරපු අවුරුද්දක් කියන්න පුළුවන් මේක.

          අවුරුද්දේ අන්තිම මාස දෙක - දෙක හමාර වගේ නම් ටිකක් විතර නිදහස් කාලයක් උනා කියන්න පුළුවන්. ඉස්කෝල එහෙම ආය පටන් අරගත්තා පියවර කිහිපයක් යටතේ. ඒ වගේ ම ලොක් ඩවුන් ඔක්කොම වගේ ඉවත් කරලා, සංචරණ සීමා එහෙමත් ඉස්සුවා. ඒ කරලා බස්, කෝච්චි එහෙමත් ආපහු පටන් ගත්තා බැරි මර ගාතේ උනත්. ඊට පස්සේ ඉතිං පෝලිම ට මග හිටපු ඒවා, හැප්පුන ඒවා තිබ්බා, ඒක වෙන ම කතාවක්.. 

ප.ලි- මේක ලියල ඉවර වෙලා පෝස්ට් කරලා හවස පන්සල් ගියා. ගිහිං බලද්දී අදත් කලාවැව දී දේවාලයක් පාර හාලා.  

පාර හෑම සඳහා භාවිතා කරන දේවාලයක් ප්‍රීමා පිටි දුම්රිය ගෙන එන අතර හාමින් පවතින අයුරු තමා මිත්‍රවරුනි මේ පෙන්නලා තියන්නේ..
(සේයාරුව අනූපම පොසොන්සූරිය විසින් ෆේස්බුක් අඩවිය ට එක් කොට තිබුණි)


 

          ගුරුවරු සෑහෙන දිග වැඩ වර්ජනයක් කරා එයාලගේ වැටුප් විෂමතාවයක් හදාගන්න. ඒ කරපු වැඩේ ඉතාමත් හොඳයි මම දකින විදිය ට නම් (මට ඒක අදාළ නොවුනත්). මොක ද පාසල තියන දවස් වල ඔහොම වැඩ වර්ජනය කරන එකෙන් ළමයින් ගේ ආරක්ෂාව ට විශාල තර්ජනයක් එනවා. නමුත් ඉස්කෝල වහලා තියන දවස් වල ඔන්ලයින් වර්ජනය කරා කියල එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි සමාජයෙන් ඒක ට එල්ල වුන ප්‍රතිචාර දැක්කම නම්, සද්භාවයෙන් ගුරු කම කරන්නේ මොකට ද කියන එක මට නොහිතුනා ම නෙවේ.

          කොහොම හරි, අපි පෞද්ගලික පාසලක් නිසා අපි ට එක අදාළ උනේ නැහැ. අපි ඉතින් දිගට ම ඔන්ලයින් වැඩ කරගෙන ගියා. සිලබස් ඉවරත් කරා. ඒ නිසා ඉස්කෝල පටන් ගත්තා කියල අපි ට කරන්න දෙයක් තිබ්බේ නැහැ. අපේ වර්තමාන විද්‍යාලයීය පරිපාලනය තරමක් රාජ්‍ය ආයතන එක්ක ම වැඩ කරන විදියක් පේන්න තියන නිසා, අපි ත් ඉස්කෝල පටන් ගත්තා ඒ උනා ට. ඊට පස්සේ විභාගයක් තිබ්බා 11 වසර ට. ඒක මැද දී එතන පන්තියක ද දරුවෙක් ට කොරෝනා කියල ආරංචි වෙලා දෙවැනි සතිය වෙනකොට ළමයි මාර ගොඩක් ආවා.

          කොහොම හරි, ඔය අතර වාරේ දී ම, මගේ විභාග දෙකකුත් තිබ්බා. මම ඒවාට ත් ලිව්වා ඉතිං පුළුවන් විදිය ට. ඒවා ට ලියන්න මේ පාර කුරුණෑගල යන්න උනා. 2005 බයිසිකලේ ගන්න ගිය එකටයි, 2011 කෝච්චි සෙට් එකත් එක්ක ට්‍රිප් එක ගිය එකටයි පස්සේ ආය ඔය කුරුණෑගල ගියාමයි. 

මෙහෙම නව නිෂ්පාදන ත් කරා ඉතිං.. ඇති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම කියල තමා මේක ට කියන්නේ.. 



හැබැයි වැඩේ කිසි අවුලක් නැතුව ගියා. මේකේ රෙසිපිය දුන්නේ ඉස්කෝලේ මගෙන් ඉගෙනගන්න ළමයෙක්. දුලිත් කියල. හදන්න වැඩි වැඩ කොටස කරේ අපේ නංගි තමා..

          ඉතිං ඕවා මේවා ඔක්කොම ඉවර වෙලා, දෙසැම්බර් මාසේ ට සතියක- එක හමාරක වගේ නිවාඩුවක් හම්බුනා. ඔන්න ඒ ටිකේ තමා නිදහසේ හුස්මක් කටක් ගත්තේ ඉස්කෝලෙන් මේල්, අරහෙන් පණිවිඩ, සෙමිනා, ලෙක්චර්, අසයින්මන්ට් නැතුව. 

අවුරුද්දේ අන්තිම උත්සවේ හැටිය ට අපේ ගෙදර ඉස්සරහා පන්සලේ විවෘත කරපු සුමේධ විද්‍යාලයේ ජනගත කිරීමේ උළෙල මෙහෙයවන්න අවස්ථාවක් ලැබුනා.

            ඔහොම තමා ඉතිං මගේ අවුරුද්ද ගෙවුනේ. ඉස්කෝලේ පැත්තෙන් බැලුව ම ඉතා ම අවිවේකී අවුරුද්දක් කියන්න පුළුවන්. වෙනදාටත් වැඩ නම් අඩුවක් නැති උනා ට, මේ පාර ගොඩක් වැඩ ඔන්ලයින් වෙච්ච එක කරදරයක් වගේ දැනුනා. වෙනදා තිබ්බ නිදහස් ඉගැන්වීම් ශෛලිය නැතිවීම ත් මට දැනුනා සෑහෙන්න. ඒ වගේ ම, අපේ ඉස්කෝලේ ඉන්ජෙක්ෂන් ගහන්න සෙන්ටර් එකක් විදියට තෝරාගෙන, එතන ඩේටා එන්ට්‍රි ඩියුටි වලට ත් හිටියා. 

ඉන්ජෙක්ෂන් විදින්න ආපු අපේ නංගි සහ මම තුමා..

 

පිරිත.. මේක නම් වරු පිරිතක් වගේ තමා තිබ්බේ..

          ඉස්කෝලේ පැත්තෙන් ගත්ත ම වෙච්ච ඉතා ම කණගාටුදායක සිදු වීමක් තමා 10 ශ්‍රේණියේ ඉගෙනගත්ත සාමක බෝගහවත්ත ශිෂ්‍යයා ඉතාම අවාසනාවන්ත විදිය ට අපි ට සමු දෙන්න තීරණය කරපු එක. ඒ ගැන හේතු සාධක මම තවම නොදන්නවා උනා ට, මම දකින්නේ ඒ සිද්ධිය දැන් කාලේ අධ්‍යාපනයේ ඇති වෙලා තියන සෝචනීය තත්ත්වයේ ම ප්‍රතිඵලයක් හැටියට. 

අකාලයේ අප අතරින් වෙන් වූ සාමක

          ඕක ට අමතර ව ඉතිං ඉස්කෝලේ ගැන කතා කරන්න තියන්නේ අළුත් බිල්ඩින් හැදිච්ච ඒවා තමා. කොමර්ස් බ්ලොක් එක (අපේ කාලේ කියපු විදියට ප්‍රිසන් එක) ගියා අළුත් ම බිල්ඩිමක ට. තව අපේ කාලේ අයිකන් එකක් වෙලා තිබ්බ සමර් හට් එක එහෙම අයින් උනා. ටක් ෂොප් එකත් ලෙප්ට්. 

අර ඉරාජ් කිව්වත් වගේ "අම්මට්සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ..."

          ආ ආය ඉතින් වැදගත් දෙයක් කියල ලියන්න තියන්නේ, අවුරුද්ද අන්තිම වෙන්න සති දෙක තුනක් තියලා, ඔය මම එක්සෑම් එකක් ලියන්න ගිය දවස ක තිබ්බා සෑහෙන පවර් කට් එකක්. එදා රෑ අපේ ඉස්කෝලේ නඩත්තු අංශයේ ගබඩා අනංමනං ඔක්කොම ගින්නකින් විනාශ වෙලා තිබුනා. එන අවුරුද්දේ පුටුවක් වත් හදාගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ ඔය තත්වේ උඩ. 

ගිනි අරගත්ත නඩත්තු අංශය. මේ එළියේ ඉඳන් ගත්ත එකක්. ඇතුල ට යන්න බෑ තාම.

          වෙන ඉතිං මට කතා කරන්න තියන්නේ රේල්ලුව ගැන නේ. ඒක ගැන කියනවා නම් මේ අවුරුද්දේ දුවපු රේල්ලුවක ට වඩා හිටලා තිබ්බ රේල්ලුවක් තමා තිබුනේ. ඒ උනා ට මම හිතන්නේ ඒ වැඩෙන් රේල්ලුවේ පාඩුව නම් අඩු වෙන්න ඇති. මෙහෙයුම් ඒ තරම් සිද්ධ නොවුන නිසා.

යකඩ යකා සමග...
(සේයාරුව - විරාන් සංජීව)

          ඔක්තෝබර් අග - නොවැම්බර් මුල හිටු කියල රට ට වහින්න ගත්තා. ඔය අතරවාරේ කඩුගන්නාව හරිය නාය යන කතන්දරේකුයි, ලයන්ස් මවුත් එක හරියේ ට්‍රැක් එක නාය යන්න අවධානමකුයි ගැන හා හූවක් මතු උනා. ඕක බලල පහුවදා ඇහැරිද්දී, අර තූර්ය අයියා කියපු විදියට “කඩිගමුව ලෙප්ට්..” 

කඩිගමුව නාය යාම.
(සේයාරුව ෆේස්බුක් අඩවිය වෙත යොමු කොට තිබුණු එකකි)

          හැබැයි කොහොම කොහොම හරි වැස්ස පායන්න ගත්ත ගමන් පාර ආපහු හදලා, දැන් ආපහු කඩුගන්නාව කන්දේ තියන ස්ටේෂන් 3 ම ක්‍රොසින් ස්ටේෂන් විදියට වැඩ. ඒ උනා ට මේ සටහන ලියවෙනකොට ත් ඒ හරියේ වේග සීමා දාලා තමා දුවන්නේ. 

තාවකාලික විදියට අලුත්වැඩියා කරපු කඩිගමුව.

          රේල්ලුව ගැන කියනකොට තව කියන්න අවශ්‍ය ම දෙයක් තියනවා. අපි ට රේල්ලුව ගැන දැනුම් සම්භාරයක් සපයපු, ඉතාම හොඳ මිත්‍රයෙක් වගේ ම වෙලාවක ට ගුරුවරයෙක් උන, දෙමටගොඩ අංගනයේ අධීක්ෂණ කළමනාකාරවරයෙක් විදියට සේවය කල නිලුපුල් වික්‍රමගේ මහත්මයා ගේ අභාවය තමා ඒ. කවදාවත් පුරවන්න බැරි අඩුවක් ඒකෙන් උනා. එතුමා ට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. 

නිලුපුල් අයියා වෙනුවෙන් යකඩ යකා සමූහය සඳහා නිර්මාණය වූ කවරය. 

          රට ගැන කියනවා නම්.... ඇත්ත ට ම නොකියන තරම ට හොඳයි මම හිතන්නේ. ආව තරමක් ආවේ අර්බුධ ම තමා. මම මේකේ දේශපාලනය කතා කරන්නේ නැහැ. කොහොමත් පක්ෂ දේශපාලනය මට අරහං නේ. ඊට වඩා මම හිතන්නේ රටේ කලාකරුවන් කිහිප දෙනෙක් සහ රටේ ඉතිහාසය සම්බන්ධ ව වැඩ ගොඩක් කරපු පඬිවරයෙක් ගේ සමුගැනීම සටහන් කරා නම් වටිනවා..

අද අපි ඉතිහාසය ට ඉගෙනගන්න ගොඩක් දේවල් මේ අයට පිං සිද්ධ වෙන්න තමා ඉතින්..

          එක එක මූල්‍ය අර්බුධ, වැරදි තීරණ, ගහලා පැය ගාණකින් රිවර්ස් වෙච්ච ගැසට්, කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ්, හදිසියක ට බෝම්බයක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන් ගෑස් සිලින්ඩර්, ඕවා මේවා තමා රටේ හෙඩ් ලයින් උනේ මේ අවුරුද්දේ. තව අටෝරාසියක් තිබ්බා. මම මේ ලිව්වේ මේ වෙලාවේ ඔලුව ට ආපුවා විතරයි. තත්වේ බලාගන්න ඔය ටිකත් මදැයි. 

ආපහු පරණ තාලේ ට...

 

අවුරුද්දේ වැහැපු එක නම් වැස්සා මදි නොකියන්න. මේ ගෙලිඔය. මෙච්චර පිරිලා තියනවා අන්තිම ට දැක්කේ 1998.

          මේ අවුරුද්ද ගත්ත ම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ඉපදුනා ට පස්සේ වැඩි ම ඉන්ජෙක්ෂන් ගාණක් ගැහුවේ මේ අවුරුද්දේ වෙන්න ඕනේ (පොඩි කාලේ මගේ කාඩ් එක නෑ මගේ ළඟ ඒක බලාගන්න). මොඩර්නා එකෙන් පළවෙනි සහ දෙවෙනි එන්නත් මාත්‍රා දෙකකුත් ගහලා, දෙවෙනි එකේ මැඩෝනා අක්ක ගේ සැර ත් බලලා, දෙසැම්බර් 29 වෙනි දා ෆයිසර් එකෙන් බූස්ටර් එක අරගෙන ඊයේ දවස පුරා ම ඇමරිකන් රැස්පට් බැලුවා. මාර සනීපයි.

          ඔය අහු අස්සේ කට රිපෙයාර් කරා තුන් වතාවක්, කකුලක් (මම හිතන්නේ සෑහෙන වාසනාවක් කොහේ හරි තිබිලා) නොකැඩී නූලෙන් බේරුනා. කොරෝනා හදාගන්න ඔන්න මෙන්න තියලා ගැලවුන වෙලාවල් දෙක තුනකුත් තිබුනා. හැබැයි අර ඉන්ජෙක්ෂන් ගැහුවා ට පස්සේ මට හැමදාම වගේ හැදෙන උණ හෙම්බිරිස්සාවේ සැර නම් අඩු උනා. ආ ඒ වගේ ම, මේ අවුරුද්දේ 3න් වතාවක් ලේ දෙන්න පුළුවන් උනා. ඒ කියන්නේ අවුරුද්ද ට දෙන්න පුළුවන් උපරිමය දුන්නා. සන්තෝසයි ඒ ගැන නම් අප්‍රමාණව. 

අවුරුද්දේ දෙවෙනි ලේ දන් දීම.. 

          මේ අවුරුද්දේ ට්‍රිප් නම් නෑ. යන්න හිතාගෙන හිටියා දෙක තුනක් ම. ඒ එකක් වත් යාගන්න බැරි උනා කෝච්චි නැති නිසා ත්, ග්‍රීක් හෝඩිය ම කවර් වෙන්න එකක් පස්සෙන් එකක් ආපු කොරෝනා වේරියන්ට්ස් නිසා ත්. බයිසිකල් නම් පැද්දා හැබැයි මදි නොකියන්න. 2010 ඉඳන් එක දිග ට නොකඩවා ගිය බුක් ෆෙයා ගමනත් නැති උනා ඒක කැන්සල් වෙච්ච නිසා. 

මේ බයිසිකල් පදින්න පේරාදෙණිය පැත්ත ට ගිය වෙලාවේ හම්බුන පාසල් මිතුරන් දෙදෙනෙක්. මෙයින් එක්කෙනෙක් මේ වෙද්දී රටේ නෑ. එයා ගේ කටයුතු ත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! 

          ගිය සතියේ දුම්රිය ස්ථානාධිපති සංගමය ඉල්ලීම් කිහිපයක් නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන තිබ්බා. ඒක මගීන් ට කරදරයක් නොවෙන්නත්, ආණ්ඩුව ට දැනෙන්නත් කරන්න අරගෙන තිබ්බ ප්‍රශංසනීය තීරණය නිසා, රට ට දවස් කිහිපයක් දුම්රියේ නොමිලේ යන්න අවස්තාවක් හම්බුනා. මමත් සඳුදා කොළඹ ගියා සම්පූර්ණයෙන් නොමිලේ! මම නම් ගියේ ට්‍රිප් එකක් නෙවෙයි, මගේ සහතික ටිකක් අරගෙන එන්න. හැබැයි 2004න් පස්සේ (ඒකත් ටිකට් නැතුව කියන්න බෑ) ජීවිතයේ පළවෙනි වතාව ට දුම්රියේ ටිකට් නැතුව යන්න හම්බුනා ඒ වැඩෙන්. 

ටිකටුත් නැතුව ඉන්ටර්සිටියේ පළවෙනි ෆුට් බෝඩ් එකේ.. මරු ගමන හැබැයි..

          අවුරුද්ද අන්තිමේ ඉලෙක්ට්‍රොනික්ස් එහෙම නැති වීගෙන යන එකයි, තියන ඒවා අස්ප ගණන් යන එකයි දැකලා, මම අළුත් ෆෝන් එකක ට මාරු උනා. ඊට අමතර ව, ඉගෙනගත්ත දැනුම පාවිච්චි කරලා සොච්චමක් හරි හොයාගන්න තීරණය කරලා, අලුත්වැඩියා උපකරණ සෙට් එකකුත් ගෙන්නගත්තා. ඒක ට උදව් කරපු හැමෝට ම ස්තුතියි! 

ඈම්ප් එකේ IC එක ගිනිකෙළි සංදර්ශනයක් තියපු වෙලාව..මේක හදාගන්න විරාන්, චතුර මල්ලි එහෙම සෑහෙන උදව් කරා. සම්පූර්ණ කරලා වෙන ම පෝස්ට් එකක් ලියන්නම්..

          ඕක තමා ඉතිං අවුරුද්දේ මගේ සාරාංශය. වෙනදා නම් ඊළඟ ට එන අවුරුද්ද ට සුබ පතලා එහෙම නේ පෝස්ට් එක ඉවර කරන්නේ. ඒ උනා ට දැන් නම් කියන්න තියන්නේ “කමිං කලර්ස් නොට් ගුඩ්” කියලා තමා. එන අවුරුද්දේ සෑහෙන ලොකු ආර්ථික අර්බුධයක් සමග තවත් අර්බුධ ගාණක් මතු වෙන්න තියන, පැහෙන තාච්චියක් වගේ රටක් තමා එන්න තියන්නේ. අර 1970 දශකයේ හැදීගෙන ආපු දේශීය නිෂ්පාදන කඩා කප්පල් නොකර යම් ආකාරයකින් හරි කරගෙන ආවා නම්, රට මේ වෙද්දී මෙච්චර දරුණු තත්වයක ට තල්ලු නොවෙන්න තිබ්බා කියන එක තමා මගේ නම් අදහස.

          කොහොම හරි, අපි බලමු. සුබවාදී ව හිතමු. අවුරුදු 30ක් පුරාව ට ඇදිච්ච යුද්ධයක්, සුනාමියක්, තව සාගත, ආර්ථික අර්බුධ අපේ හැම පරම්පරාවකට ම වගේ පුරුදුයි (හැම එක ම නොවුනත් එක දෙකක් හරි). ඒවා මේවා ඉවර උනා ට පස්සේ වඩා ත් සෞභාග්‍යමත්, සශ්‍රීක රටක් ලැබේවා කියල අවසානේ දී මේ අවුරුද්දේ ප්‍රාර්ථනාව විදියට ලියන්නම් කියල හිතුවා. 

        පෝස්ට් එකෙන් පස්සේ මගේ තව යෙහෙලියක් සහ සහෝදර පාසලේ ගුරුවරියක් අවුරුද්ද ට කවියක් එවලා තිබ්බා.. ඒ ප්‍රාර්ථනාව ත් මම මේක ට ඇතුළත් කරන්න හිතුවා..

                              පැතිරේවා මල් සිනහා සැම            මුවග
                              සැනහේවා දන මන යහපත           සමග
                              වැඩිවේවා රන් අස්වනු රඟන            රඟ
                              ඉතිරේවා තුටු කඳුළැලි අප          නෙතග
                                                                                - දිලංකා වැරැල්ලගොල්ල-

 

එහෙම නම්, ඒ මේ ප්‍රාර්ථනා ඉටු වෙන, විපත් දුරු වෙන්න මග පෑදෙන සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝට ම!