අවුරුද්දේ
පළවෙනි පෝස්ට් එක..
මම කිව්වා ගිය අවුරුද්දේ රිවීව් එකේදී, ලියන්න
දේවල් සෑහෙන්න තියනවා, මාසෙට එකක් වගේ ලියන්නම් කියල. ඒත් ඒ කතා පැත්තක තියද්දි,
මේ අවුරුද්දේ මුල්ම සංචාරය ගැන සටහන ඉස්සරහට අරං එන්න හිතුවා. මේ තියන්නේ ඒ සටහන.
මේ අවුරුද්දට දැනට ගෙවුනේ මාසයක් විතරක් උනාට, මේ
සටහන තියන 26 වෙනිදා වෙනකොට, ගමන් දෙකක් ම ගිහිං! ඒකත් හොඳයි. උසස් පෙළ ඉවරලා
හිටිය නිදහස් ජීවිතේ ට ආපහු යන්න පුලුවන්නම් මට ඊට එහා දෙයක් නැහැ.
බලන්නකෝ
පරිසරයේ ලස්සන සහ නිස්කලංක බව..
|
කොහොමින් කොහොමින් හරි, මේ පාරත් අවුරුද්දේ
පලවෙනි සංචාරය ඉතිං දුම්රිය ගමනක් තමා. හයික් එකකුත් එක්ක. හැබැයි මේ ගමන ප්ලෑන්
උනේ නම් ගිය අවුරුද්දේ. ෆේස්බුක් එකෙන් මට හම්බුන හොඳම යාළුවො කිහිප දෙනෙක්
ඉන්නවා. ෆේස්බුක් එකටයි දුම්රියටයි පිං සිද්ධ වෙන්න තමා ඒ සම්බන්දතා ටික හදාගත්තේ.
ඔය මම කිහිප වතාවක් ලියල තියන යකඩ යකා එකේ සෙට් එකේ ම අකිල ආරියප්පෙරුම අයියා
එයින් එක්කෙනෙක්. මේ ගමන සැලසුම් උනේ එයා එක්ක.
ගමන මුලින්ම සැලසුම් කලේ රාත්‍රී තැපැල් දුම්රියේ
ගිහිං, නානුඔය- පට්ටිපොළ පැත්තේ වගේ ඇවිදලා, පහලට ඇවිත් තලවකැලේ එහෙමත් බලලා පොඩි
මැණිකේ හරි 1008 එකේ හරි ආපහු එන්න. කොහොමින් කොහොම හරි, අන්තිමේ නතර උනේ උඩහට යන
මිශ්‍ර දුම්රිය, ඒ කියන්නේ 126 එකේ උඩට ගිහිං වටගොඩ- තලවාකැලේ සෙක්ෂන් එක කවර්
කරලා, සෙන්ට් ක්ලෙයා එකත් බලාගෙන පොඩි මැණිකේ එන්න තීරණය වෙලා. දවස විදියට තීරණය
උනේ 19 වෙනි ඉරිදා.
මට 18 වෙනිදා කැම්පස් එකේ එක්සෑම් එකක්. ඒ අස්සේ
ඒ සතියේ මැද අප්පච්චි පොඩි අනතුරක් කරගෙන. ඉතිං ඕවයි මේවයි එක්ක තමා ගමන යන්න
සූදානම් උනේ. හැබැයි එක්සෑම් එකේ පේපර්ස් දෙක ම සාර්ථක ව කරගන්න පුළුවන් උන නිසා,
ගමන ගැන හොඳ මුඩ් එකක හිටියා. ඒ අතරේම අකිල අයියා කෝල් කරලා කිව්වා, එයා නැරඹුම්
මැදිරියේ ටිකට් දෙකක් රිසර්ව් කරා කියල. ඒකට මගෙන් සල්ලි ගත්තෙත් නෑ!
ඉතිං කොහොමින් කොහොම හරි, පහුවදා පාන්දර 2.10ට
ඇහැරලා, 3.40 වෙනකොට ස්ටේෂන් එකට ගියා. ඔය 126 එක ගැන මම කලින් ලියල තියනවා. තාමත්
ඒක මිශ්‍ර දුම්රියක්. එදා නුවරින් තෙල් ටැංකි දෙකකුයි භාණ්ඩ ප්‍රවාහන වැගන් එකකුයි
සාමාන්‍යය මැදිරි තුනයි තිබ්බා. හැබැයි මට ලොකුම දේ උනේ, එදා එන්ජිම. ඒක මම ඉටු
නොවෙයි ම කියල හිතං හිටිය, W3 පන්තියේ අංක 669 එන්ජිම!
මම ඉතිං අකිල අයියා කියපු විදියට, නැරඹුම්
මැදිරියට නැග්ගා. මගේ පළවෙනි උඩරට සංචාරය නැරඹුම් මැදිරියේ යන. ඒකත්, ලංකාවේ පස්සේ
මොඩිෆයි කරපු එකක් නෙවේ. කෙලින්ම රුමේනියාවෙන් හදපු ඔරිජිනල් OFV (Observation First class brake Van) එකක්. කට්ටිය නගින්න කලින් කළුවරේ ම මම ෆොටෝ
ටිකක් එහෙම අරගත්තා. ඕකෙන් මේකෙන් කෝච්චිය නාවලපිටියට ආවා.
නැරඹුම් මැදිරිය.. |
නාවලපිටියේදී ඉතිං ඔකේ සාමාන්‍යයෙන් එන්ජිම මාරු
කරනවා නේ. ජනවාරි මාසේ පාර වේලිලා උනත්, පින්න සෑහෙන්න තියනවා. මම ඉතිං දැන්
ලැස්ති උනා වරු ගාණක් බඩ ගාන්න. ඒත් එදා කතාව වෙනස්. තෙල් ටැංකි ටික ගලවල දාපු
ඩබ්ලිව් 3 එක, ආපහු කෝච්චියට කපල් කරා! අකිල අයියත් එක්ක ගමන ප්ලෑන් කරද්දී ම අපි
කතා උනා ඩබ්ලිව් ක්ලාස් එකක් ආවොත් නම් නියමයි, ඒත් ඉතිං ඒක වෙන්න තියන්නේ බොහොම
අඩු අවස්තාවක් නේද කියල. ඉතිං මේක බොහොම දුර්ලභ අවස්තාවක්.
අංක 126 මිශ්‍ර දුම්රිය ඩබ්ලිව් 3 පන්තියේ එන්ජිම සමග සූර්ය උදාවේ.. |
කොහොම හරි, කෝච්චිය 5.40ට ඇද්දා බදුල්ල බලා.
වෙනදා වගේ ලිස්ස ලිස්සා බඩ ගාන්නේ නැතුව, මේක ජෙට් එක වගේ ගියා එදා. හැම ස්ටේෂන්
එකකටම රයිට් ටයිම්. ගල්බොඩ දී පොඩි කප්ලින් අවුලක් ආවත් ඉක්මනට නිවැරදි කරගෙන අපි
ඉස්සරහට ගියා.
නැරඹුම් මැදිරියට දිස්වන වටවල දුම්රිය ස්ථානය.. |
කොච්චර වෙලාවට ගියා ද කිව්වොත්, 9 වෙද්දී තලවකැලේ
ට යාගන්න හිතාගෙන ආපු අපි, 8ටත් දහයක් තියල තලවකැලේ! එතනට වෙනකල් ඉතිං නැරඹුම්
මැදිරියට වෙලා කයියක් දාගෙන, ෆොටෝ අල්ල අල්ලා ආවා. නැරඹුම් මැදිරියට ම හිටියේ තව
එක පවුලකුයි අපි දෙන්නයි විතරයි. ඒ පවුලත් තලවකැලේ දී බැහැල ගියා. තලවකැලේ දී
එන්ජිම පැත්තට පොඩ්ඩක් ගිය වෙලාවේ, අඳුරන රියදුරු මහත්තයෙක් හිටියා. ඉතිං එන්ජිම
බලාගන්නත් අවස්තාවක් ලැබුනා.
මිශ්‍ර
දුම්රිය, ඩබ්ලිව් 3 පන්තියේ එන්ජිම සමග තලවාකැලේ දී..
|
තලවාකැලෙන් ඩක්කුවක් අමුනාගත්තා දුම්රිය. මාර්ග
කම්කරු පිරිසක් රැගත් ඒ ඩක්කුව, ඉහල කොත්මලේ ජලාශය හරහා යන පාලම ට ටිකක් එහා දී
දුම්රියෙන් ලිහාගෙන නතර වෙනවා. මේ වැඩේ ට දුම්රිය නතර කරන්නේ වත් නැහැ!
කොහොම හරි, අපි 8.15 වෙද්දී වටගොඩ! දුම්රිය
ස්ථානාධිපතිවරයා අපිට කිව්වා ඕනේ නම් ටවුමට ගිහිං මොනාහරි කාල එන්න කියල. අපිත්
ඇත්තටම කෑම ගැන වැඩිය හිතං ආවේ නෑ. ඉතිං ටවුමට ගිහිං, අපි ගත්තා මුරුක්කු පැකට්
දෙකකුයි වතුර බෝතලෙකුයි! මගේ ගාව තිබ්බා චොකලට් ෆින්ගර්ස් එකක්. ඔන්න ඔච්චරයි ඉතිං
අපේ ආහාර සැපයුම! වටගොඩ පරණ ගුඩ් ෂෙඩ් එකත් බලලා, ස්ටේෂන් එකේ ෆොටෝ ටිකක් අරගෙන,
අපි පහලට එන්න පිටත් උනා. වටගොඩ ගැන කලින් පෝස්ට් එකක ලියල තියන නිසා, මේ වෙලාවේ
වැඩිය කියන්න යන්නේ නැහැ.
වටගොඩ දුම්රිය ස්ථානය.. ඔය පිටිපස්සෙන් පෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් කඳු යාය. |
වටගොඩ ඉඳන් තලවකැලේ වෙනකල් රේල් පාරේ කිලෝමීටර්
හතකට, එහෙමත් නැත්තම් සැතපුම් හතරකට ආසන්න දුරක් තියන්නේ. අපිට ආපහු යන්න පොඩි
මැණිකේ දුම්රිය තලවාකැලෙන් පිටත් වෙන්න තිබ්බේ එක වෙද්දී. ඉතිං අපිට සෑහෙන වෙලාවක්
තිබ්බා. අපි හිමිං හිමිං කන්ද බැහැගෙන ආවා. මේ සෙක්ෂන් එක හරි ලස්සනයි. ඒ වගේම
නිස්කලංකයි. තේ වතු වලින් වට වෙලා තිබ්බත්, හරි ම නිශ්ශබ්දයි. ඒ සීතලත් එක්ක, මට
නම් නතර වෙන්නම නොහිතුනා කිව්වොත් ඒක නම් බොරුවක්.
ශ්‍රීපාද අඩවිය දක්වා විහිදෙන මනස්කාන්ත දර්ශනය.. |
අකිල අයියා හයික් එකට එන ගමන් Drone එකක්
ගෙනත් තිබ්බා. අපි ඒකත් ලැස්ති කරගෙන පහලට ගියේ එන කෝච්චියක් උඩ ඉඳන් වීඩියෝ
කරගන්න. මොකද, ඔය සෙක්ෂන් එකේ ට්‍රැක් එකේ විශේෂත්වයක් තියනවා.
Drone එක. |
මේ සෙක්ෂන් එක තමා නානුඔය ට පිවිසීමට නැග්ම පටන්
ගන්න සෙක්ෂන් එක. මේ සෙක්ෂන් එක ඇදෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් වතු යාය අද්දරින්, ග්‍රේට්
වෙස්ටර්න් කන්ද පාමුලට. ඉහල කොත්මලේ ජලාශය වටෙන් වටයක් ගහන තැනින්ම පටන් ගන්නවා
45:1 තියුණු නැග්මක්. මේක තැන් දෙක තුනකදී විතරයි අඩු වෙන්නේ. ඒ වගේම, තලවකැලේ-
වටගොඩ අතර තියන උස වෙනස තරණය කරන්න, දැඩි වංගු සහිතව තමා මාර්ගය හැදිලා තියන්නේ.
අඩි 300ට එකක් වෙන පාලමේ බෑවුමෙන්, කෙලින්ම අඩි 44 ට එකක් වෙන තියුණු ආනතියට පිවිසීම.. |
මේ ගැන තොරතුරු කිව්වේ අකිල අයියා. මේ ඇවිල්ලා මේ වගේ තියුණු බෑවුම් වලදී, දුම්රියක් තිරිංග යොදනකොට, පීල්ල ලිස්සල නොයන්න (පීල්ල ඇණ දාලා සිල්පර වලට හයි කරලා නෑ) දාන අගුලක්. |
මේ වංගු කොච්චර තියනවා ද කිව්වොත්, ඔය සෙක්ෂන්
එකේ අහු වෙනවා අංක 16 බිංගය, හොලිරූඩ් ටනල් එක. ඔය හරියේ ඉඳන් වටගොඩ තනි ඉරකින් යා
කරොත්, රේල් පාර ඒ ඉර තැන් නවයකින් කපනවා! ඒ වගේම ඒ වංගු, දම්වැල් 5ක අරයක් තියන
ඉතාම තියුණු වංගු. ඔය සෙක්ෂන් එකේ රේල් පාරේ හිටගත්තම, අඩි ගානක් පහලින් ආපහු රේල්
පාර පේන තැන් ඕනේ තරම් තියනවා. අඩි ගානක් පහලින් උනාට, ඒ ට්‍රැක් එක පාස් වෙන්නේ
ඉතාම ලඟින්.
මේ එන්නේ උඩරට මැණිකේ.. |
තව ඔය සෙක්ෂන් එකේ තියනවා සෝඩා බෝතල් වංගුව (Soda bottle curve) කියල
වංගුවක්. සෝඩා බෝතල් වංගුව කියල ඕකට කියන්නේ, උඩ ඉඳන් බැලුවම ඔය වංගුවේ හැඩය,
හරියටම පරණ සෝඩා බෝතලයක් වගේ. ඔය වංගුව පහු කරලා පහලට ආවම තමා අර කලින් කියපු
හොලිරූඩ් බිංගය අහු වෙන්නේ. ඔය බිංගය පහලට, වටගොඩ ඉඳන් එන කෝච්චිය තැන් හතරකට වගේ
පේනවා.
අංක 16 බිංගය |
පැරණි සෝඩා බෝතලයක්. ගොඩක් අය අතර තියන මතයක් තමයි සෝඩා බෝතල් වංගුව කියන්නේ සෝඩා බෝතලේ ක කට් වගේ තියන නිසා කියල.කට නෙවෙයි, මේ බෝතලේ හැඩයට තමා වංගුව තියන්නේ. මේ සේයාරුව නම් ගූගල් අඩවියෙන් හම්බුනේ. |
අපි අපේ පළවෙනි කෝච්චිය අල්ලාගත්තේ ඔන්න ඔතනදි.
අපිට කොහොමත් සෙට් වෙන්න තිබ්බේ කෝච්චි තුනයි. මික්ස් එක හැටන් වලින් අපිට ක්‍රොස්
උනා. අපි අර ගැජට් එක උඩ යවලා බැලුවා කොහෙද කෝච්චිය කියල. එතකොට ඒක වටගොඩ ට එනවා.
ඉතිං එතන ඉඳගෙන අපි උඩරට මැණිකේ අල්ලගත්තා. අකිල අයියා Drone එකෙනුයි
මම මගේ නිකොන් කැමරා එකෙනුයි තැන් දෙකක ඉඳන් ෆොටෝ අල්ලගන්න හැකි උනා.
පහලට යන උඩරට මැණිකේ.. |
එතන තව ටිකක් පහලට ගියහම අපිට ඇහුනා මහනුවර ඉඳන්
ඇල්ල බලා ධාවනය වන නගරාන්තර දුම්රිය තලවකැලේදී මාරු වෙලා උඩහට එන්න හෝන් කරනවා. අපි
ආපහු කැමරාව ගුවන් ගත කරා. ඒක හැබැයි ලොකු වෙනසක් නෑ ඉතිං, මොකද ඒකත් පවර් සෙට්
එකක්.
ඇල්ල බලා ධාවනය වන වායු සමීකරණය කරන ලද නගරාන්තර දුම්රිය.. |
ඔය වැඩේ ඉවරල අපි ටිකක් ඉස්සරහට ආවම හම්බ වෙනවා ඩෙවෝන් දිය ඇල්ල. හැබැයි මේක
සෑහෙන ඈතින් තියන්නේ. හොඳ විශාලන බලයක් තියන කාචයක් එක්ක කැමරාවක් ඕනේ හොඳ
සේයාරුවක් අරගන්න නම්. මම ඉතිං අතේ තිබ්බ එකෙන් ගත්තා ෆොටෝ දෙක තුනක්.
ඩෙවෝන් දිය ඇල්ල. මේක කෝච්චියක යනකොට නම් අල්ලගන්න හරි අමාරුයි.. |
ඔය වැඩේ ත් කරගත්ත ට පස්සේ ආය ඉතිං වැදගත් දෙයක්
කියල අපිට තිබ්බේ නැහැ. අපි ඉතිං සුපුරුදු පරිදි කයියක් දාගෙන පහලට ආවා. ඒ එනින්
ගමන් අහු වෙනවා පරණ, ලස්සන පාලමක්. ඔන්න ඕකට එනකොට අපිට ඇහුනා බදුල්ලේ ඉඳන් කොළඹ
යන දෙනුවර මැණිකේ. මේක ඇවිල්ලා අලුත් S14 පවර් සෙට් එකක්. මම ඒකත් අල්ලගත්තා එතන
පාලම ගාව ඉඳන්. ඒක නම් ෆෝන් එකෙන් වීඩියෝ කරන ගමන්, කැමරාවෙන් ෆොටෝ ගත්තා..
සෑහෙන
පරණ පාළමක්. හැබැයි තවම ශක්තිමත්. ඒ වගේම දැන් තියන ඒවා වගේ නෙවේ, අලංකරණය ගැනත්
සැලකිලිමත් වෙලා තියනවා.
|
ඒක බලද්දී කොහොම හරි දොළහට කාලක් වගේ තමා ඉතුරු
උනේ. අපි සෙන්ට් ක්ලෙයා යන අදහස අතැරලා දැම්මේ, එකක් අපි යක්කු දුසිමක් විතර කන්න
තරම් බඩගින්නේ හිටි නිසාත්, ඒ වෙලේ තිබ්බ අව්ව සැරේ හැටියට ඒ ගමන පැයකින් දුවල එන
එක ටිකක් අවධානම් නිසාත්.
ඔන්න
අර අරං ආපු ඩක්කුව
|
ටෙලිග්‍රාෆ් කණුවක්.හොඳට බැලුවොත් ඇයි මම මේක මේ පැත්තට හරවල දාලා තියන්නේ කියල තේරෙයි.. |
ඒ වගේම, මේ සෙක්ෂන් එකේ තව දෙයක් අපි මග දිගටම
බලාගෙන ආවා. ඒ තමා, ටෙලිග්‍රාෆ් කණු. දැන්නම් වැඩි පාවිච්චියක් නැති උනත්, ඉස්සර
දුම්රිය සේවය සතුව වෙන ම ටෙලිග්‍රාෆ් සේවයක් තිබුනා. ඒ ගැන නම් වෙනම සටහනක් තියන්න
වෙනවා. කොහොමින් කොහොම හරි, මේ ටෙලිග්‍රාෆ් කණු වලට පාවිච්චි කරලා තියන්නේ රේල්
පීලි. අර කතාවට කියන්නේ, අපේ දුම්රිය සේවය කියන්නේ සජීවී කෞතුකාගාරයක් කියල. ඒ
කතාව ඇත්ත කියල තේරෙන්නේ මෙන්න මේවා බලද්දී.
තේ දළු නෙලීම.. |
ඔය සෙක්ෂන් එකේ රේල්වේ එකට අමතරව (අමතරව ම
කියන්නත් බෑ ඉතිං) තව දෙයක් තියනවා වැදගත්. ඒ තමා තේ. මේ හරියේ තමා තේ වලට ඉතාම
සුදුසු කාලගුණයක් සහ දේශගුණයක් තියන එක කලාපයක් පිහිටලා තියන්නේ. තලවාකැලේ ස්ටේෂන්
එක තමා ආගරපතන දිඹුල වගේ ප්‍රධාන වැවිලි දිස්ත්‍රික්ක වලට අදාළ දුම්රිය ස්ථානය. 1910
“Ceylon Along the Rail
Tracks”
පොත ලියපු හෙන්රි කේව් සඳහන් කරලා තියනවා ලංකාවේ හොඳම තේ ග්‍රේඩ් එක හැදෙන්නේ මේ
පළාතේ කියල.
තලවාකැලේ පාළමෙන් මෙතෙර වන පොඩි මැණිකේ.. |
ඔයින් මෙයින් අපි තලවාකැලේ පාලම, ඒ කිව්වේ ඉහල
කොත්මලේ ජලාශය හරහා දුම්රිය මාර්ගය ග්‍රේට් වෙස්ටර්න් වතු යාය වෙත අරගෙන යන පාලම
ලඟට ආවා. එතැනදී අපිට හම්බුනා ඉහලට යන පොඩි මැණිකේ. ඒක නම් වැඩිය දුවන්නේ කරන්නේ
නැතුව අල්ලගත්තා එතන ම ඉඳන්. මේ වෙද්දී අපිට පැයක් වගේ තමා ඉතුරු වෙලා තිබ්බේ.
ඉතිං අපි තීරණය කළා තලවාකැලෙන් අපේ සංචාරය නිමා කරන්න.
තලවාකැලේ
දුම්රිය ස්ථානය වෙත පිවිසීමේ දී අපට හමු වුන ඉතා පැරණි ගේට්ටුවක්..
|
තලවාකැලේ දුම්රිය ස්ථානාධිපතිතුමා මගේ හොඳ
යාලුවෙක්. තලවාකැලේ සංඥාකරු එක්ක සංඥා කුටීරය බලන්නත්, දුම්රිය ස්ථානය ගැන ගොඩාක්
කරුණු ඉගෙනගන්නත් අපිට ඒ නිසා අවස්තාව ලැබුනා.
තලවාකැලේ ගැන මූලික විස්තර ටිකක් බදුලු සංචාරය
වෙලාවේ එහෙම කියපු නිසා, මේ සටහනේ මම ලියන්නේ එදාට පස්සේ හම්බුන අමතර විස්තර ටිකක්
විතරයි.
දුම්රිය මාර්ගය තලවාකැලේ දක්වා විවෘත වෙලා
තියන්නේ 1884 නොවැම්බර් මාසේ 20 වෙනි දා. පාෂ මාර්ග තුනකින්, බඩු ගබඩාවකින් දැනට
සමන්විතයි. හැබැයි මෙතන වේදිකා තියන්නේ නම් එකයි. අතීතයේ මේ දුම්රිය ස්ථානය සතුව
අශ්වයින් සහ හරක් ගොඩ බෑම සඳහා අංගනයක් (Horse and Cattle doc), ඒ වගේම හැරවුම් වේදිකාවක් එහෙමත් තිබිලා
තියනවා. තලවාකැලේ ඉස්සර ඉතාම කාර්යබහුල මෙහෙයුම් තිබුණු දුම්රිය ස්ථානයක්. 1910
වසර වෙනකොට, වසරකට තේ රාත්තල් මිලියන විස්සක් පමණ මේ හරහා ප්‍රවාහනය වෙලා තියනවා.
ඒ වෙනකොට තලවාකැලේ ජනගහණය 1500ක් පමණ කියල තමයි සඳහන් වෙන්නේ.
තලවාකැලේ බඩු ගබඩාව.. |
ඒ වගේම, තාක්ෂණික පැත්තෙන් ගත්තමත්, තලවාකැලේ
විශේෂත්වයන් කිහිපයක් තියනවා. පළවෙනියටම, කොටගල දෙසින් දුම්රිය ස්ථානය වෙත
පිවිසීමේ දී, පහත් කල නොහැකි අනතුරු ඇඟවීමේ සංඥාවක් (Permanent Distant Caution Signal) තියනවා. මේක හැම වෙලාවේ ම අනතුරුදායක (On) අවස්ථාවේමයි තියන්නේ. මොකද කිව්වොත්, මේ දුම්රිය
ස්ථානයේ හැරවුම් වේදිකාව භාවිතා කලොත්, ඒක එක අවස්තාවකදී පාෂ මාර්ගයට (Loop line) යොමු වුන දුම්රියක වදින්න පුළුවන් තරමට ලං
වෙනවා. ඒ වගේම, හැරවුම් වේදිකාව ලොක් කරන්න පුළුවන් වෙන්න ලීවර් එකකුත් දීලා
තියනවා.
එතනින් එහාට ආවම, තලවාකැලේ තියන්නේ ගම්පොල වගේ ම,
දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ම, ඒ ගොඩනැගිල්ල මැදින් ම උස්සල හදපු කැබින් එකක්. ඒ
කිව්වේ කැබින් වර්ගීකරණය අනුව A2 වර්ගය. මේකේ තියන වාසියක් තමයි සමස්ත දුම්රිය
ස්ථාන පරිශ්‍රයම කැබින් එකට පේනවා. හදිසියේ වත් මේ වගේ වෙලාවක දුම්රියක් වෙන්
වෙලා, ඒ කියන්නේ මැදිරි ගැලවිලා තියන බව පෙනුනොත්, සංඥාකරු (Signalman) දවාලේදී
නම් කොළ කොඩියක් වැනීමෙනුත්, රාත්‍රියේදී නම් කොළ ලාම්පුවක් වැනීමෙනුත් දුම්රිය
කාර්යය මණ්ඩලයට සංඥා කල යුතුයි.
තවත් යමක් කිව්වොත්, සාමාන්‍යයෙන් දුම්රිය නීතිය
තමයි, දුම්රිය ස්ථානයෙන් ඉවතට යාමට සැමෆෝ (හෝ ආලෝක) සංඥා නිකුත් කලාම, දුම්රියක්
පසු පසට ගැනීමට (Set
back) අවසර නැහැ. ඒත් තලවකැලේදී ඒ වැඩේ කරන්න පුළුවන්.
ඒ වගේම, දුම්රියක් තලවකැලේ වෙත ඇතුල් වීමේ දී, එයට ස්ටාටර් සංඥාව නිකුත් කර ඇති
විටෙක වුවත්, එන්ජිමට එම සංඥාව පසු කර නැවැත්විය නොහැකියි. මෙයට හේතුව තමයි,
හදිසියෙවත් ඉදිරි මාර්ගයේ යම් කටයුත්තකට ගිය ට්‍රොලි ආදිය නවත්වා තැබීමට ඇති ඉඩකඩ.
සාමාන්‍යයෙන් උඩරට මාර්ගයේ රඹුක්කනින් උඩදී,
දුම්රියක් පහල දෙසට පසුපසට ධාවනය කරන්න බැහැ, ආරක්ෂක හේතූන් මත. ඒත් පේරාදෙණිය,
ගම්පොල, තලවාකැලේ සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන වලදී ඒ කටයුත්ත කල හැකියි.
මාර්ගය සම්බන්ධයෙන් ගත්තම, තලවාකැලේ සම්බන්ධ තවත්
දෙයක් තමයි, මේකේ පාෂ මාර්ග දෙකටම උගුල් පයින්ටු ( Trap points) යොදා
තිබීම. මේවායින් පාෂ මාර්ග වල නවතා ඇති වැගන් ආදිය, අනිසි ලෙස තල්ලු වී ප්‍රධාන
මාර්ගය වෙත පැමිණීම වළක්වනවා. ඒ කියන්නේ ඒවා පීලි පැනීමට සලස්වනවා. ඒ වගේම, උඩරට
මාර්ගයේ ඩයමන්ඩ් ක්‍රොසින් ආකාරයේ හුවමාරුවක් ඇත්තේ ද තලවාකැලේ පමණයි (නාවලපිටියේ
ද වූ බව අසා ඇතිමුත් අද දැකගත නොහැකියි). ඒ වගේම, කෙතරම් විශාල දුම්රිය ස්ථානයක්
උනත්, බදුලු රාත්‍රී තැපැල් දුම්රිය දෙක මෙතැනදී මාරු කිරීම කල නොහැකියි!
ඩයමන්ඩ් ක්‍රොසින් එක.. |
ඔය වගේ විස්තර රාශියක් අපිට දැනගන්න ලැබුනා. මෙතන
සඳහන් කලේ පොඩි දේවල් ටිකක් විතරයි, මොකද සටහන දීර්ඝ වෙන නිසා. කොහොම හරි, විනාඩි
5ක පමණ ප්‍රමාදයක් සහිතව, පොඩි මැණිකේ දුම්රිය තලවාකැලේ වෙත ලඟා උනා. අපි ඉතාමත්
සාර්ථක සංචාරයකින් පස්සේ, ආපසු ගමනට පිටත් උනා.
විශේෂ සිදුවීමක් නැතිව, අපිට ගමන අවසන් කරන්න
ලැබුනා. පහුවදා ඉස්කෝලේ යන්නත් තිබ්බ නිසාත්, පාන්දර දෙකේ ඉඳන් නැගිටලා නිසාත්, මම
නම් ආපු ගමන් කරේ රෙදි හෝදලා, ඇඟ හෝදලා, ටිකක් නිදාගත්ත එක. අකිල අයියා 7.30 ට
විතර කොළඹට ගියා කියල පණිවිඩයක් එව්වා.
මේ සංචාරය සාර්ථක කරගන්න අපිට උදව් කරපු කීප
දෙනෙක් මතක් නොකරොත් ඒක යුතුකම් පැහැර හැරීමක් වෙනවා. පළවෙනියටම, මට ප්‍රවේශ පත්‍රයක්
පවා රැගෙන දීලා, නොදන්නා ඉතිහාස කරුණු එක්ක ගමන් විස්තරයක් සපයපු, අකිල
ආරියප්පෙරුම අයියා.
අකිල
අයියා සමග අඟහරුවා
|
ඊළඟට, සේවයෙන් ඉවත් වීමේ දැඩි අවධානමේ පසු වෙන
අතරම කලාතුරකින් උඩරට ධාවනය වන ඩබ්ලිව් 3 පන්තියේ එන්ජිමකට ගොඩ වී අවසාන කාලයේ
ස්වභාවය බලාගැනීමට ඉඩ දුන් රියදුරු මතතා (එතුමාගේ නම සඳහන් නොකර ඉන්නවා).
තලවාකැලේදී අපිට තොරතුරු හොයාගන්න අවස්තාවක් දුන්
තලවාකැලේ දුම්රිය ස්ථානාධිපති- පරාක්‍රම රණතුංග අයියා සහ සංඥාකරු, දේවපුර මහතා.
තලවාකැලේ සංඥා කුටිය සහ සංඥාකරු- දේවපුර මයා |
ඒ වගේම, 126, 1006 දුම්රියයන්ගේ නියාමක මහත්වරුන්ට
සහ එදා තලවාකැලේ- කොටගල අතර මාර්ග අලුත්වැඩියාවේ යෙදී සිටි කාර්යය මණ්ඩලය ද
අනිවාර්යයෙන්ම මතක් කල යුතුයි.
එන මාසේ දිහාවට තව ගමනක් දෙකක් යාගන්න
බලාපොරොත්තුව තියනවා. ඒ වගේ ම, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ගැනත්, තව අවශේෂ
දේවල් කිහිපයක් ගැනත් සටහන් රළුවට හදලා තියනවා. ඉඩ ලැබෙන විදියට දාන්නම්.
ප.ලි-
මේක
යන අතරවාරේ චීනෙන් ලීක් වුන කොරෝනා වෛරස් එක ගැනත් කසුකුසුවක් ගියා. මේක අවසන් වෙන
අද දවස වෙද්දී, ඒක ලංකාවටත් ඇවිත්. මම ඒ ගැන විස්තර හම්බුන ගමන්, අලුත් දෙයක්
ලැබුනොත් මුහුණු පොතේ පල කරන්නම්. ලංකාවේ කිසි කෙනෙක්ට එකෙන් කරදරයක් නොවේවා කියල
අඟහරු ලෝකේ අපි ප්‍රාර්ථනා කරනවා!