Saturday, September 26, 2015

සොඳුරු ගමනක ඇරඹුම- බදුලු චාරිකාව..

දිනය- 2012 සැප්තැම්බර් 26.
වෙලාව- උදෑසන 6.30.
          

          දුරකතනයේ එලාම් එක වැදෙනු ඇසී දඩිබිඩි ගා ඇඳෙන් බැස්සෙමි. පාන් ටික ටෝස්ට් කරගෙන, කිරි හදාගෙන, නාගතිමි. උදේ ආහාරය ගෙන අප්පච්චිට වැඳ ස්ටේෂන් එකට දුවන විට රේල් ගේට්ටුවත් වසා ඉවරය. ස්ටේෂන් ඒකෙ මා එන තුරු අකිල අයියා සිටියේය. එකල පොඩි මැණිකේ දුම්රිය ගෙලිඔයේ නතර නොකෙරුණි. ඒ නිසා, අප උදේ කාර්යාල දුම්රියෙන් පේරාදෙණිය හන්දිය වෙත ගමන් කළෙමු.
උදෑසන කාර්යාල දුම්රිය..
                         
           පේරාදෙණියේදී අපේ තවත් මිත්‍රයෙක් වූ රුචිර වත්තෙතැන්න නම් මාගේ පාසල් මිතුරා හමු විය. එකල පොඩි මැණිකේ දුම්රියට උදේ සහ හවස සම්බන්ධක දුම්රියක් මහනුවර සිට පැමිණි අතර, පොඩි මැණිකේ පේරාදෙණිය හන්දියෙන් හැරී ගියාය. මහනුවර යන මගීන් සම්බන්ධක දුම්රියෙන් ගමන් කල යුතු විය.
පේරාදෙණිය සන්ධිය ලංකාවේ පැරණිම දුම්රිය ස්ථානයකි. එය 1867 වසරේ මුලින්ම භාවිතයට ගෙන ඇතත්, දැන් පවතින දුම්රිය ස්ථානය ගොඩ නැගුනේ 1875දී, නානුඔය වෙත දුම්රිය මාර්ගය ඉදි වන සමයේ ය. මුහුදු මට්ටමේ සිට අඩි 1553ක් ඉහලින් පිහිටි මෙය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 70කුත් දම්වැල් 67ක් දුරින් පිහිටා ඇත.
           පෙර කාලයේ කොළඹ සිට පැමිණෙන දුම්රියක් හරවා යැවීම ඉතා අපහසු වීම නිසා, මෙම දුම්රිය හන්දිය ගොඩ නැගී ඇත. ප්‍රධාන දුම්රිය මාර්ගය මෙතනින් බදුල්ල දෙසට හැරෙන අතර, මහනුවර දුම්රිය ස්ථානය දැන් මාතලේ මාර්ගයට අයත් සේ සලකනු ලබයි.

            අප දෙදෙනා ප්‍රවේශ පත්‍ර මිලදීගෙන, වේදිකාවට වී සිටියෙමු. ටික වෙලාවකින් පහත සඳහන් නිවේදනය ඇසෙන්නට විය.. -

"කොළඹ කොටුවේ සිට, බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ සීග්‍රඝාමී දුම්රිය, තව ස්වල්ප වෙලාවකින් දෙවන වේදිකාවට ලඟා වනවා ඇත.. මෙම දුම්රිය නවත්වන්නේ ගම්පොල. ගම්පොල සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...

Podi Manike express train from Colombo Fort to Badulla will arrive onto number 2 platform shortly. She will be stopping at Gampola, and all the stations beyond…."

            ස්වල්ප වෙලාවකින්, පේරාදෙණිය දුම්රිය ස්ථානය පසුකොට බදුල්ල දෙසට ධාවනය වී සංඥා කුලුන අසල නතර වූ දුම්රිය පසුපසට ගැනීමට දුන් නලා හඬ ඇසුනි. M6 දුම්රිය එන්ජිමකින් බලය ලැබූ පොඩි මැණිකේ දුම්රිය, ටිකින් ටික වේදිකාවට සේන්දු වූවාය. එහිදී, රඹුක්කන සිට පැමිණි අපේ අනෙක් මිතුරා, අශාන් විජේකෝන් අප සඳහා පා පුවරුවක් අල්ලාගෙන සිටියේය.
තවත් නිවේදනයක් යකඩ කටින් නිකුත් විය.-
පොඩ්ඩි කඳුකරය වෙත ගමනාරම්හ කිරීමට සූදානමින්...
“ දෙවන වේදිකාවේ නවතා ඇති පොඩි මැණිකේ දුම්රිය දැන් බදුල්ල බලා පිටත් වේ.. එම දුම්රිය නවත්වන්නේ ගම්පොල. ගම්පොල සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.....”

             ඒ සමගම, තියුණු නලා හඬක් නිකුත් කල පොඩි මැණිකේ, බදුල්ල බලා ගමන් ඇරඹුවාය..
                  
            පේරාදෙණිය දුම්රිය හන්දියක් බැවින් එක දුම්රියක් සම්පූර්ණයෙන්ම ගමන් දිශාව ආපසු හැරවිය හැකිය. ඒ බැවින්, කොළඹ සිට පැමිණෙන විට කොළඹ දෙසට මුහුණ ලා තිබුණු නැරඹුම් මැදිරිය, දැන් මහනුවර දෙසට මුහුණ ලා සිටී..

පේරාදෙණිය පසු කල පොඩි මැණිකේ, කොස් හින්න, අප චාරිකාව පටන්ගත් ගෙලිඔය, වැලිගල්ල ආදී දුම්රිය ස්ථාන වේගයෙන් පසු කොට මහවැලි ගඟ අද්දරින් වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ කහටපිටිය බිංගය තුලින් ගම්පොල වෙත සේන්දු වූවාය. මෙම කහටපිටිය බිංගය අප චාරිකාවේ අපට හමුවන ප්‍රථම බිංගයයි..  

Saturday, September 5, 2015

පොඩ්ඩිත් එක්කලා ගිය ගමනක සටහන..

             මාස ගණනක නිහැඬියාවකින් පසුව, යලිත් බ්ලොග් අඩවියට එන්නට සිතුනි. බ්ලොග් ලිවීම, කියවීම සහ සම්පූර්ණයෙන්ම අතහැරී ගියේ කාලය නැති කමක් නිසා නොව, ඩේටා නැති කමත්, පෙර මෙන් අන්තර්ජාලය වෙත පිවිසීම සඳහා භාවිතා කල හැකි ජංගම දුරකතනයක් නැති වීමත් හේතුවෙනි. ඒ දවස් වල නොකිඅ 2730c සහ 6220c, පසුව 6720c දුරකථන වලින් 100MB දත්ත ප්‍රමාණයක් දවස් තුනක් වත් භාවිතා කල හැකි විය. ඒ නමුත්, දැන් ඇති ඩොන්ගල් එකට එම දත්ත ප්‍රමාණය සෑහෙන්නේ පැය 4-5 කට පමණි. ඒ හේතුවෙන් මා අන්තර්ජාලය භාවිතා කිරීම අවම විය.
             බ්ලොග් අඩවියට නැවත සටහන් එක් කිරීමට සිතමින් සිටි පසුගිය කාලයේදී, චාරිකා සටහන් පෙළක් ඇරඹීමට මගේ සිතේ ආශාවක් ඇතිවිය. ඒ අතරතුර, පාසල් මතකයන් ද මා සිත තුල විටින් විට හොල්මන් කරන්නට විය. විශේෂයෙන් උසස් පෙළ විභාගය නිම වී ගත කල කාලය, එම කාලය තුල කල සංචාර ගැන මතකයන් මතු වන්නට විය.
මෙසේ සිටින අතරවාරයේ, බදුල්ල බලා ධාවනය වන අංක 1007 දුම්රියෙන් කොළඹ සිට මහනුවර බලා පැමිණීමට අවස්තාවක් ලැබුණි. ඉස්සර උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රිය සමගින් ධාවනය වූ M6 පන්තිය පසෙකට වී චීනෙන් ආ අලුත් මනමාලයන් සමගින් එම මැණිකෙලා දැන් කඳු අතරට පැමිණේ. නමුත් එදා ගමනින් පසු, M6 පන්තියත් සමග ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ මා ගිය සුන්දර සංචාරයන් මා හට සිහිනයෙන් පවා පෙනුනි..
             සංචාරක සටහන් පෙළක් ගැන සිතමින් සිටි මට, අපූරු අදහසක් සිතට නැගුණි. ඒ නම්, පොඩි මැණිකේ දුම්රියේ මා 2012 වර්ෂයේ පොඩි මැණිකේ සමගින් බදුලු ගිය ඒ සොඳුරු සංචාරය සටහන් කල හැකි නොවේද අදහසයි..                                 

            ඉතින්, මේ ඇරඹෙන්නේ එම සටහන් පෙළයි. මෙය ඇරඹුණේ, ජංගම දුරකතනයේ අදටත් පවතින මෙම කෙටි පණිවිඩයෙනි- 

“ Aiya, api Podi Manike Badullata gihin emuda? Nawathinna thanak thiyanawada?” 

             මෙය මා විසින් අප සංචාරය සාර්ථක කරගැනීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් අකිල කරුණාරත්න අයියා වෙත යවන ලද්දකි. මෙතැන් පටන්, ඉන්නට තැනක්, යන දුම්රිය, යන්නේ කවුද, යන්නේ මොකේද, එන්නේ මොකේද යනාදී බොහෝ මාතෘකා පිලිබඳ විවිධ අය සමග කෙටි සාකච්ජා පවත්වා, උදේ පොඩි මැණිකේ දුම්රියේ යන්නටත්, ඊළඟ දවසේ පොඩි මැණිකේ දුම්රියෙන්ම එන්නටත් සාකච්ජා විය...
එතැන් පටන් ගමනේ තොරතුරු, මෙම ගමන සිදු වූ සැප්තැම්බර් 26 වැනිදා සිට බලාපොරොත්තු වන්න.....