Sunday, May 8, 2016

අවුරුද්දකට පසු උඩරටට ගිය දුම්රිය පාගමන...



ගිය අවුරුද්දේ නානුඔයේ ගියාට පස්සේ, ආය ඒ පැත්ත පළාතේ පස් පාගන්න බැරි උනා. ඒ, එකක් මගෙත් එක්ක හැමදාම හයික් ගිය මිත්‍රයා, අශාන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එකතු වීම සහ, මටත් එක දිගට එක්සෑම්, ලෙක්චර්ස් අනංමනං සෙට් උන එක නිසා.
පොඩි පොඩි ගමන් නම් දෙකතුනක් ගියා. ඔහොම ඉඳල ඉතිං 2015 අවුරුද්දත් ගෙවිලා ගියා. 2016 අවුරුද්ද ලැබුවත් හරි ගමන් ටිකක් සෙට් උනා. ඔන්න ඔහොම ඉන්න අතරවාරෙදි තමයි, අපේ ෆේස්බුක් එකේ යකඩ යකා සමූහයේ මිතුරු පිරිස අතරේ කතාවක් ඇති උනේ, හයික් එකක් යමු කියලා.
ඔහොම කතා උනාට පස්සේ, අවංකවම කියනවා නම්, වැඩේට වැඩිම බාල්දි සංඛ්‍යාවක් අතහැරියේත් මමතුමාම තමා ඉතිං. රිසර්ව් කරලා යන්න බෑ කිව්වා, එකෙක් නැතුව යන්න බෑ කිව්වා, මේල් ඒකෙ එන්න බෑ කිව්වා........ කොහොමින් කොහොම හරි, එක ටිකට් එකක් ෆ්‍රීත් හම්බුනා.
අවසාන මොහොතේ දෙන්නෙකුට වෙන වැඩ සෙට් වෙලා වෙකන්සි දෙකකුත් හැදුනා. අශාන්ව කොහොමහරි ඇදගන්න බැලුවත්, එතුමාට නිවාඩු නෑ කියපු නිසා, මම යන්න සෙට් උනා.
ඒ අස්සේ එදා උදේ ඉස්කොලෙනුත් කතා කරලා වැඩක් බාර දුන්නා. ඒ ගැන දැන්මම නොකියා ඉන්නම්. කොහොම හරි, හවස 4ට ගෙදර ඇවිත්, වැස්සේම රෙදිත් හෝදලා, පැයක් විතර නිදාගෙන, ආය නැගිටලා, පාන් ටිකක් හදාගෙන, නාලා, 7.36ට ගෙලිඔයෙන් යන අංක 185 කෝච්චියේ නාවලපිටියට ගියා.
එතැනදී, මට හම්බුනා අපේ දුම්රිය සේවයේ ඉන්න බොහොම ගරු කටයුතු රියදුරු මහත්මයෙක්. ඒ තමා, මංගල පෙරේරා මහතා. ඔහු සමග කතා කර කර ටික වෙලාවක් හිටියා. ඔහු මා සමග පැවසු අත්දැකීම් වෙනම පෝස්ට් එකකින් ඉදිරිපත් කරන්නම්. කොහොම හරි, ඔහු මට රියැදුරු විවේක කාමරයේ හාන්සි පුටුවක් දෙන්න තරම් කාරුණික උනා. ඉතිං මේල් එක නාවලපිටියට එනකල් මම නිදාගත්තා.
මේ තමා බදුල්ලේ ඉඳන් මහනුවර යන අංක 126 දුම්රිය. මේ එන්ජිම තමා මේල් එක පිටිපස්සෙන් තල්ලු කරන්නේ. මේකේ තමා මංගල පෙරේරා රියදුරු මහතා ආවේ.
වෙනදා අශාන් එක්ක හයික් යනකොට ආය මේල් ඒකෙ නිදාගන්නේ නෑ. එක එක දේවල් කියව කියවා, ෆොටෝ ගගහා  තමා යන්නේ. ඒත් මෙදා නම් කට්ටිය නිදන මැදිරියක ආසන වෙන් කරලා තිබ්බා. 
 
නිදන මැදිරිය.. මේකේ නිදාගෙන ගියත් විටින් විට ඇහැරලා බැලුවා වටෙපිටේ  මොකද වෙන්නේ කියලා.
ඉතිං මමත් පට්ටිපොළට එනකල් නිදාගත්තා. ඔන්න පට්ටිපොලින් බැහැපු තැන ඉඳන් කතාව-

මෙන්න පට්ටිපොලදී එන්ජින් දෙක හම්බුන වෙලාව.. මේ  දවසේ මේල් එක අරං ආවේ M6- 797 සහ  786 කියන  ජර්මානු එන්ජින් දෙක.

මේ ඇවිල්ලා අපි සෙට් එක පට්ටිපොලින් බැහැලා, උදේට කන්න කඩයකට යන්න යන ගමන් ගත්ත ෆොටෝ එකක්. මේක අරගත්තේ කැමරාව ප්ලැට්ෆෝම් රෑම්ප් (Platform ramp) ඒකෙ තියලා.



මේ ඇවිල්ලා ලංකාවේ දුම්රියක් ගමන් කරන උසම ස්ථානය. මුහුදු මට්ටමේ සිට අඩි 6226ක් උසයි. මේ සේයාරුව ගත්තේ අහම්බෙන් අපිට හම්බුන දමින්ද ප්‍රාසාංගික මිත්‍රයා.

මම මේ කොටස ගැන පෝස්ට් දෙකක්ම ලියල තියනවා. කලින් මේ සෙක්ෂන් එකම ගියා අපි අශාන් එහෙම එක්ක. ඒ පෝස්ට් එකේදී මම කිව්වා මේ කොටසේ පන්සලක් හම්බවෙනවා කියලා. මේ ඒකට යන ගමන්. කට්ටිය පහලින් හෙමීට ගාටද්දී මම ගියා උඩට. ඔය පේනවනේ..

මේ තියන්නේ උඩරට තෙත් කලාපය උඩරට වියලි කලාපයෙන් වෙන් කරන අංක 18 බිම්ගෙය..

කලින්  පාර  අපිට  උඩරට  මැණිකේ  හම්බුනේ  බිම්ගෙය  පසු  කලාට  පස්සේ. ඒත්  අද  අපිට  කලින්ම  හම්බුනා. මේ  එන්නේ  එයා.

ඔය  ඉන්නේ  අපේ  සෙට්  එක. ඌව  පලාතට  ඇතුල්  වෙන්න  සූදානමෙන්. අනවසරයෙන්  කියන්න  බෑ  මොකද  අපි  දැනුවත්  කලයුතු අය දැනුවත් කරලයි ගියේ..

මේ  අංක 18 බිම්ගෙය ඒ කාලේ  ඉඳන්ම කරදර  ගොඩක්  ඇති කරපු තැනක්. 1951 වසරේ ගැරට් එන්ජින් නිසා ආපහු මේක  කරදරයක් වෙන්න ගත්තා. කොහොම හරි, 1981  වසරේ , එවකට  දිස්ත්‍රික් ඉංජිනේරු මහතා උන ප්‍රියාල් ඩි සිල්වා මහතාගේ  අධීක්ෂණය  යටතේ  අලුත්වැඩියා කල  මෙම  බිම්ගෙය, ඉන් පසු අද දක්වාත් කිසිඳු කරදරයක් දී නැහැ.
 
මේ තමා පීලි හිල් කරන ඩ්‍රිල් එක. අපිට මගදී හම්බුනේ.

මේ තියන්නේ ලංකා දුම්රිය මාර්ගයේ, තනි කෙලින් පිහිටි දිගම බිම්ගෙය.

කලින් පෝස්ට් බලපු කට්ටියට මතක ඇති, මේ කොටසේ ලැවූ ගිනි ගැන මම සඳහන් කරා. බලන්න, මේ ගින්දරට පිච්චුන ගස් වල පොත්ත අදටත් පෙර විදියට හැදී නෑ. ඒ පිළිස්සුම් කැළැල් තවම තියනවා.

ඔය පීල්ලට එහායින් දාල තියන අනික් පීල්ලට කියන්නේ Check Rail කියලා. මේ පීල්ල දාන්නේ වංගු වල. පීලි පැන පෙරලීම් වලක්වන්න. බලන්න මේ හරිය තියන දැඩි වංගු  නිසා රෝදය Check Rail එකෙත්  ගෑවිලා  තියන  විදිය.

මෙන්න නියම පාලමක්. මේක හරහා එදා වගේම අදටත් පිටස්තර අයට යන්න තහනම්. ඒත් අපි ආවා.

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි, හැමෝම ඔහියට ආවා. මේ අපේ නිපුන තුමා මහන්සියට පුටුවක් නැතුවම ඉඳගෙන ඉන්න හැටි.
 
අපි ඔහියට එද්දී , මහනුවර - බදුල්ල මිශ්‍ර දුම්රියත් ආවා. මෙතැනදී මේකෙන් BCGS මැදිරියක්  ගලවල ඉවත් කරන්න ඕනේ  උනා. එහෙම එන්ජිම ගලවපුවාම, මේ පැත්තේ තියන පල්ලමේ කෝච්චිය යන්නේ නැති වෙන්න, මෙන්න මෙහෙම කෝච්චියට යාන්ත්‍රික තිරිංගයක් යොදනවා. මේකට කියන්නේ Sprag එක කියලා. 

ඒ කොහොමින් කොහොම හරි, වෙනදට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් මාරු වෙන අංක 1008 සහ අංක 1126මිශ්‍ර දුම්රිය යන දුම්රිය දෙක,එදා මාරු උනේ ඔහියෙන්.ඒ නිසා, කට්ටියට ආයුබෝවන් කියලා,මම ඔහියෙන් ආපහු එන්න කෝච්චියට නැග්ගා. මේ ඇවිල්ලා, මම ඌව පලාතෙන් සමුගන්න කලින් ගත්ත අන්තිම සේයාරුව.

ඔන්න  අපි  සමිට්  ලෙවෙල්  එක  පහු  කරා.දැන්  ඉතිං  හෙමින්  හෙමින්  පල්ලමේ  යන්න  තමා  තියන්නේ..
මේ කෝච්චියේ  දෙවන පන්තියේ  මැදිරියක් තියනවා වෙන් කල යුතු නැති.  ඊයේ  මේ මැදිරිය සම්පූර්ණයෙන්ම  වගේ  හිස්  ආවේ. මම  අඹේවෙල දුම්රිය  ස්ථානයෙන්  බැහැලා, මගේ  තුන්වන  පන්තියේ  ප්‍රවේශ  පත්‍රය, දෙවන  පන්තියට  මාරු  කරගත්තා..

පට්ටිපොළ  ත්‍රිකෝණයේ  ඉතිරි  වී  ඇති  කොටස...

වටගොඩ ට  දුම්රිය  එනකොට, මහා  වර්ෂාවක්  අහු  උනා. මේක  එක  දිගටම  තිබ්බා  ඉඟුරුඔය  පහු  කරනකල්ම. පේනවනේ  වැස්සේ  සැර.. ෆොටෝ  ගන්නවා  තියා  හිතන්නවත්  බෑ. තැන්  කිහිපයකදීම, අපේ  මැදිරියේ  දකුණු  පස  දොරෙන්  ඇතුළු  වූ  වර්ෂාව, වම් පස  දොරෙන් එලියට  යන  තරම්  අධික උනා..

කොහොමින් කොහොම හරි, මේ වරුසාව මැද උනත්, අංක 1008 දුම්රිය පස්වරු 5.50 වෙද්දී පේරාදෙණියට ආවා. හැබැයි, මම ගෙදර එන්න හිතාගෙන ආපු ටිකිරි මැණිකේ දුම්රිය, කඩුගන්නාවේදී මග නතර වෙලා. ඉතිං මම බස් ඒකෙ ගෙදර ආවා. 
මේ හයික් එක ගැන කියද්දී කියන්න තව එක දෙයක් තියනවා. මේ තමා මම අශාන් නැතුව උඩරට ගිය පලවෙනි හයික් එක. මේ හයික් එක ඉතාම විනෝදජනක සහ ගවේෂණ පිරි එකක් උනත්, අශාන් නැති අඩුව හැම වෙලේම වගේ දැනුනා. විශේෂයෙන් ආපහු එන ගමන්. 
මේ ගමනේ බරපැන දැරුවේ මමත් අපේ  අප්පච්චිත් තමා. ඉතිං වියදම අඩු කරා සෑහෙන්න. ඒ වෙනුවෙන් සහය වෙලා, එක ටිකට් එකක් මට නොමිලේ ලබාදුන් තූර්ය  අයියා ඇතුළු මිතුරන්ට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම, මගේ තොරතෝංචියක් නැතිව ඉදිරිපත් කෙරුණු දුම්රිය විස්තර සාවධානව අසා සිට මගේ කණ නොපැලුවාටත් පිං! ආපහු එද්දී කට්ටිය මම නැතුව නිවිහැනහිල්ලේ එන්න ඇති කනක්  ඇහිලා. :D