Monday, December 31, 2012

අවුරුද්දක සාරාංශය.

 මේ අවුරුද්ද, එසේත් නැත්නම් ව්‍යවහාර වර්ෂයෙන් 2012 වර්ෂය මට සුභ මෙන්ම අසුභ දේ ද උරුම කර දුන් අවුරුද්දකි. නමුත් කල්පනා කර බලන විට මේ අවුරුද්දේ සුභ දේ වලට වඩා අසුභ දේ වැඩි බව මට සිතේ. අනික් අතට, මේ අවුරුද්දේ මා අවුරුදු 14ක් එක දිගට ගිය, මට ගෙදර සේ සමීප වූ මාගේ පාසල වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මා ගත කල අවසාන වර්ෂය ලෙස මේ වසර සටහන් විය. මේ වසරේ සිදු වූ වඩාත්ම දුක් බර, අසතුටුදායක සිදු වීම නම් එයයි. එය හරියටම ගෙදරින් එලියට යාමට සිදු වූවාක් මෙන් දැනුනි.
මේ මා ශිෂ්‍යයෙක් ලෙස විදුහල දකින අවසාන අවස්ථාවයි....

මේ වසරේ අගෝස්තු මස මා අ. පො. ස. හුචස් පෙළ විභාගයට පෙනී සිටි අතර එයද  සිතූ තරම් යහපත් නොවීය. එහි රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය දුටු විට මට එය කෑමට තරම් සිත් විය.
හුචස් පෙළත් ඉවරයි...
සිදු වූ තවත් දෙයක් නම් මට තව දුරටත් පාසල් වාරප්‍රවේශ පත්‍රය වලංගු නොවීමයි. මේ හේතුවෙන් කලින් රුපියල් 90ට ගිය මාසයට සැප්තැම්බර් මස සිට 240ක් ගෙවීමට සිදු විය. ප්‍රවාහනය ගැන කියද්දී මේ වසරේ මුලදී මහනුවරින් උදේ 10.15ට පිටත් වීමට තිබු දුම්රියද 9.40ට පිටත් වීමට වෙලාව වෙනස් කරන ලදී. ඒ අනුව දැන් උදේ 8ටේ දුම්රියෙන් නුවර ගොස් වැඩ ටිකක් කරගෙන අඩුම තරමේ පුස්තකාලයට වත් ගොස් ඒමට දැන් දුම්රියක් නැත.

තව බොහෝ දේවල් සිදු විය. ඒ අතර යහළුවන් ඈත් වීම් බොහෝ ප්‍රමාණයක් සිදු විය. ඒ ප්‍රමාණයද මේ වසරේ අධික විය. පාසලෙන් අස් වීම එක හේතුවක් වූ අතර තව නොයෙක් හේතුද ඒ සඳහා හේතු විය. තවත් සමහර මිතුරන් තරහ වූ අතර එයින් කිහිප දෙනෙක් මා සතුරෙක් හැටියට සලකන්නට පටන් ගෙන ඇත.

මේ වසරේ මට පමණක් නොව රටටද එතරම් සුභ කාලයක් නොවූ බව ආපසු මතක් කිරීමෙන් පෙනී යනුඇත.බොහෝ කලකෝලාහල ඇති වූ අතර උසස් පෙළ 2011 ප්‍රතිපල වලින් ආරම්භ වී අය වැය හරහා ලෝක විනාසයක් ගැන කතාවක් දක්වා එය ඇදී ආවේය..
                                     
                                                                      **********

අසුභ දේවල් වලින් සිදු වූ සුභ දේවල් පැත්තට ගියහොත් ඒ පැත්තෙන්ද දේවල් සිදු වී ඇත. ඒ අතර මා හට හොඳ යහළුවන් කිහිප දෙනෙක් අඳුනාගන්නට ලැබීම හා ඔවුන් සමග දුම්රිය චාරිකා කිහිපයක් සිදු කරන්නට ලැබීමද, S12 දුම්රිය මේ වසරේ මගේ උපන්දිනය යෙදී තිබු දිනම මහනුවරට සිය ප්‍රථම පරීක්ෂණ ධාවනය කිරීම හා ප්‍රියන්ත අයියා සමග එය බැලීමට යාමට ලැබීම ගත හැකිය. පසුව මහනුවරට ගොස් තවත් දෙදෙනෙක්, එනම්  නලින් අයියා  සහ  ප්‍රියංක මහතා  හමු වී එම S12 දුම්රිය ඇතුලට නැගී බැලීමට හැකි වීමද විශේෂයකි.
ප්‍රථම පරීක්ෂණ ධාවනය.

තවත් හොඳ දෙයක් නම් මා කලින්සඳහන් කල පරිදි අශාන්  සහ සංජය නම් මිතුරන් දෙදෙනා හමු වීමයි. ඒ අතරින් සංජය දුර වැඩි කම නිසා නිතර හමු නොවුනත් අශාන් සමග මහනුවර දුම්රිය  ධාවනාගාරය, දුම්රිය අංගනය, මහනුවර නගරය, සහ කඩුගන්නාව- රඹුක්කන අතර දුම්රිය පාගමන් දෙකක්ද  ඇතුළුව බොහෝ සංචාර සංඛ්‍යාවක් කලෙමි. ඒවාට මා සමග පැමිණීමට ඔහුට අතිශයින් ස්තුති වන්ත වෙමි.

ඒ සමගම හුචස් පෙළ විභාගය අවසන් වූ පසු රත්නපුර, ගම්පහ ආදී ප්‍රදේශ වලද සංචාරය කලෙමි. එම ගමන් තනියම ගිය අතර අලුත් දුම්රියෙන් නානුඔය බලා දෙවරක්ම යාමට ලැබුණි. ඒ එක් අවස්ථාවකදී සිදු වූ දෙය පිලිබඳ කලින්  සටහනකින් විස්තර ගෙනාවෙමි.

ඒ අතර තවත් යහළුවන් දෙදෙනෙක් සමග පොඩි මැණිකේ දුම්රියෙන් බදුල්ල. දක්වා අමතක නොවන චාරිකාවක් ගියෙමි. ඒ සඳහා අනුග්‍රහය දැක්වූ අකිල කරුණාරත්න හා ජනක මිලන්ත අයියලාට මාගේ ස්තුතිය පිරිනමමි.

තවත් දෙයක් නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ ඉහලම නිලධාරීන් දෙදෙනෙකු හමු වීමට ලැබීමයි. දෙමටගොඩ ධාවනාගාරය නැරඹීමට ලැබීම හා වසරේ අවසාන කාලයේදී අශාන් සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ කැළණි මිටියාවත මාර්ගයේ මද දුරක් ගමන් කිරීමට ලැබීමද එක් හොඳ සිදු වීමකි.
මුහුදුබඩ මාර්ගයේ..

වර්ෂයේ අවසාන ගමන ලෙස උඩරට මැණිකේ දුම්රියෙන් ගම්පහ ගොස්පසුදා උදේ ආනන්ද පාසලේ පිහිනුම් තටාකයට බැස, පසුවදා මෝටර් රියකින් කෑගල්ලට පැමිණ 27 වනදා යතුරු පැදියකින් අයියා කෙනෙක් සමග ගෙදර පැමිණීම සටහන් කල යුතුමය. ඒ එය මගේ ජීවිතයේ මෙතෙක් කල් ගිය දුරම යතුරු පැදි සවාරිය වූ නිසාය...

රට පැත්තෙන් බැලුවද මේ වසරේ අද්භූත එලි, අමුතු පාට වැසි ආදියෙන් "කුල්මත්"වූ වසරක් බැව් නොකීවොත් මේ සටහන සම්පූර්ණ නොවනු ඇත..


සිදු වූ තවත් දෙයක් වන්නේ මේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමයි..

ඉතින් මිතුරනි..
පුරා වසරක් පමණ කාලයක් මා සමග රැඳී සිටි සහ ඊටත් බොහෝ කලින් සිට මා දන්නා හඳුනන, මාගේ මිතුරු ඔබ සැමට උදා වන 2013 නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා!! කියා මා ප්‍රාර්ථනා කරන්නෙමි....

Friday, December 21, 2012

ලෝක විනාසය.

අද ඔය මොකද්ද ලෝක විනාසයක්ද මොකද්ද එකක් එනවා කිව්වනේ...
මම ඊයේ රෑ 12 වෙනකල්ඇහැරලා හිටිය ඕක ලයිව් බලාගන්න කියල...
ඒත් ආපු රෙද්දක් නෑනෙ..
ඉතින් ඔන්න ඔහේ කියල නිදාගත්තා..


යකෝ උදේ ඇහැරලා බලද්දී වැහැ වැහැ තිබ්බ එක මෙන්න හොඳට පායලා!!
ඇයි යකෝ මූණු පොත පැත්තේ තිබ්බනේ අද නිබිරු ඇවිත් වදිනවා, සීබ්‍රා ද මොකුන්දෝ එනවා, ටී සුනාමි එනවා කියල..
ඒ මුකුත් අහන්න වත් දකින්න වත් නෑ. අහසේත් එක වලාකුලක් තිබ්බේ නෑ. පියාඹන පීරිසියක් තියා කෝප්පයක්වත් දැක්කේ නෑ..
ඒ නිසා ඔන්න ඔහේ කියල ගියා නුවර පැත්තේ.. ටවුන් එකේ කිසි වෙනසක් නෑ වෙනද වගේම සෙනග හිටියා.


බලන් යද්දී මේකත් නිකම්ම පුස් බොරුවක් විතරයි කියලයි මට හිතුනේ.....


එත්..
මම දැක්ක ප්‍රවෘති වලට පෙන්නුවා ගාල්ලේ, කොළඹ එහෙම නගර එහෙම පිටින්ම වගේ පාලුවෙලා ගිහින්..
තව සමහර උදවිය ගෙවල් වලිනුත් එලියට බැහැල නෑ.

මේ ගැන මට හිතෙන දේ නම්,,
යකෝ, කැලෙන්ඩරයක් ඉවර වෙච්ච පලියට ලෝකේ විනාස වෙනවා නම්,, මෙලහට මේ ලෝකේ කීපාරක් විනාස වෙලා තියෙන්න ඕනෙද??

Friday, December 14, 2012

පිටසක්වල යානා..



අපේ එකක් නම් නෙවේ ඔන්න..
මේ දවස් වල ඉතින් රතු වැහි උල්කා වැහි අර වැහි මේ වැහි වලින් කෙළවරක් නෑ.. වහින වැස්සේ වතුර බනිදු වලටත් වඩා වැහි තොගයක් ලංකාවට වහිනවා.. ඒ අස්සේ මතු වෙච්ච අලුත්ම කේස් එක තමා පියාඹන පීරිසි කේස් එක. පියාඹන පීරිසි කිව්වට අමුතු එලි කියල තමා කතාව එලියට ආවේ. මේ වෙනකොට උඩරට කඳුකරයෙන් ඇරෙන්න රටේ අනිත් හතර දිගින්ම මේ ගැන වාර්තා වෙලා තියනවා. (මම හිතන්නේ පීරිසි වලට කඳු අදින්න බැරුව ඇති එක්කෝ නැත්තම් කඳු වල හැප්පෙයි කියල බය ඇති)

මේක නම් ඇත්තටම ගත් එකක් කියල කියන්නේ.. අනේ මන්දා....
කොහොමින් කොහොමින් හරි පළවෙනියට පුත්තලමෙන් පටන් ගත්තු එලි කතාව මේ වෙනකොට ගාල්ල, ගම්පහ, අකුරණ වගේ හැමතැනටම ගිහින්. ඔයාලට මතක ඇති සමහර විට 2001කේ එහෙමත් අනුරාධපුර පොලොන්නරුව පැත්තේ මේ වගේම පාතින් යන නිල් පාට එලි වගයක් ගැන කතාවක් ගියා. ඒක ගැන ප්‍රවෘති වලට හිටන් පෙන්නුවා. කට්ටියක් පරාක්‍රම සමුද්‍රය හරියට වෙලා ගවේෂනයකුත් කරාලු. එකේදී එයාලටත් මොනවදෝ අමුතු එලි වගයක් දකින්නන ලැබුන කියල තමා මේ පැත්තට ආරංචිය ආවේ.

ඒ මේ කොහොම වෙතත් කව්රුත් නොහිතන පැත්තකුත් මේ කතා ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ තමා දියුණුයි කියල කියාගන්න රටවල් අනික් රටවල් වල කටයුතු හොයා බලන්න දාපු අපූරු උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේක. මොකද මේවා දැකපු ගමන් සාමාන්‍ය මිනිස්සු දුවල හැන්ගෙනවා. හමුදාවක් උනත් වෙඩි තියන්න නිර්භීත වේවි කියල හිතන්න අමාරුයි.  එන්න ඒ නිසා අර වගේ වැඩක් වෙන්න හොඳටම ඉඩ කඩ තියනවා.

ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කල රේඩාර් වලට අහු නොවෙන ගුවන් යානයක් වන F117- Night Hawk යානය.
ඇමෙරිකාවේ ප්ලේන් හදල තියනවා මොනම රේඩාර් උපාංගයකට වත් අහු නොවෙන. ඉතින් අපේ ලෝකෙම එහෙම දේවල් තියද්දි මේවා රේඩාර් වලට අහු වෙලා නෑ කියලා මෙහෙම දේවල් නෑ, ඕව බොරු කියල අහක දාන එකත් එච්චරම හොඳ නෑ.

අනික තව සමහර අය කියන දෙයක් තමා මේ අරන් තියන පින්තූර බොරු, ඒවා නිකම්ම බල්බ් එහෙම අරන් ෆොටෝ ෂොප් වගේ එව්වලින් එඩිට් කරලා දාපුවා කියල. එකේ වරද්දකුත් නෑ මොකද එහෙම කරන අයත් ඉන්න නිසා. ඒත් එක එහෙමයි කියල හැම ජායාරූපයක්ම එහෙම නෙවෙයි නේද?
 තව සමහරු කියනවා ඒවා කැමරා වල කාච දෝෂ, ජල වාෂ්ප, දූවිලි නිසා හැදුන ඒවා කියල. ඒකට නම් මම එකඟ නෑ මොකද ඉස්සෙල්ල ඇහින් දකලානේ පස්සේ වීඩියෝ කරන්නේ..
අනික ගොඩ දෙනෙක් එක වර දැකපු තැනුත් තියනවා.. ඒ හැමෝගෙම ඇස් වල එකම වෙලාවේ එකම දොශේ එන්න අමාරුයි නේද??

ඉතින්...
මේ ගැනතවත් මම කතා කරලා වැඩක් නෑ.. මම මේ සටහන අවසන් කරන්නම් ඉංග්‍රීසි නාට්‍ය රචක ශේක්ස්පියර් මහතාගේ නාට්‍යකින් උපුටාගත් කොටසකින්..
"හොරෙශෝ.. ඔබගේ දර්ශනයට හසු නොවන බොහෝ දේ ස්වර්ගයේත් මහා පොළොවේත් ඇත.."

Wednesday, December 5, 2012

පරපුරක අවසානය..


W1- 650 මරදානේදී ගත් ජායාරූපයක්. (2012-11-20)
ඩීසල්- ද්‍රවශක්ති එන්ජින් පරපුරේ ආරම්භක පරපුර වූ W1 ධාවන පන්තිය එහි අවසානය කරා ලඟාවෙමින් සිටි..
1969 වසරේ දුම්රිය ස්වර්ණමය යුගයේදී එකල දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරය දැරූ බී. ඩී. රම්පාල මහතා ධාවන බලය ඩීසල් වලට හැරවීමේ අරමුණින් බටහිර හා නැගෙනහිර ජර්මනියෙන් ඩීසල්- ද්‍රවශක්ති ක්‍රමයට ක්‍රියාත්මක වන දුම්රිය එන්ජින් 60ක් ගෙන ඒමට ඇනවුම් කිරීමත් සමගම මේ රටේ ගල් අඟුරු හා ඩීසල් - විදුලි ක්‍රමයට පමණක් සීමා වී තිබු දුම්රිය ප්‍රවාහනය යාන්ත්‍රික විය. බටහිර ජර්මනියෙන් W1 පන්තිය යටතේ අශ්ව බල 1150කින් යුතු එන්ජින් 45ක්ද, නැගෙනහිර ජර්මනියෙන් W2 පන්තිය යටතේ අශ්ව බල 1578ක බලයකින් යුත් එන්ජින් 15ක් උඩරට මාර්ගයේ ධාවනයට ගෙන්වන ලදී. ඒ එන්ජින් අතුරින් W2 පන්තියේ එන්ජින් අධික ජවයකින් යුතු වූ බව පැවසෙන අතර දිශා තෝරන ලීවරය (Direction of travel lever) එක පැත්තකට දමා එන්ජිම පන ගැන්වූ විට එන්ජිම ඒ පැත්තට පනින බව කියවේ.

කෙසේ නමුත් මේවායේ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහිත මෝටර් රථයක මෙන් සුමට ධාවන හැකියාවක් වූ අතර සමකාලීන අන් එන්ජින් මෙන් නොව ඉතා අඩු ශබ්දයක් සහිතව ධාවනය විය. ඉතා අධික බ්‍රමණ වේගයක් සහිත එන්ජින් වලින් සමන්විත වූ මේ එන්ජින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති දුම්රිය මාර්ග වල කරක් ගැසුවේ ධාවනය වූ සෑම ආකාරයකම දුම්රිය ධාවනය කරමිනි. (පටු දුම්රිය මාර්ගයක් වූ කොළඹ- ඕපනායක මාර්ගයේ හැර). උඩරට මාර්ගයේ තියුණු නැග්ම එක එන්ජිමක් භාවිතයෙන් තරණය කිරීමට මේවාට හැකි වූ බව කියවේ.

කෙසේ නමුත් රම්පාල මහතාගේ නික්ම යාමත් සමග දුම්රිය සේවයේ කඩා වැටීම ආරම්භ වූ අතර මෙම ද්‍රවශක්ති එන්ජින් වල අදාළ අලුත්වැඩියාවන් ඒ නියමිත කාලයටම කල යුතු වූ අතර එසේ නොවීමෙන් ඒවායේ අධික බ්‍රමණ වේගයන් හේතුවෙන් ගෙවීම් අධික වීමෙන් හානි වේ. එසේම ද්‍රවශක්ති එන්ජින් වල බල සම්ප්‍රේෂණය කිරීමට ඇති ද්‍රවයට නිසි ගණත්වයක් වන අතර එය නොමැති වීමෙන් ඒ උපකරණද හානි වේ. නුපුහුණු කාර්මිකයින්ගේ නොසැලකිලිමත් අලුත්වැඩියාවන් ආදී කටයුතු නිසා 1980 දශකය වන විට මෙම එන්ජින් වලින් සැලකිය යුතු කොටසක් ධාවනයෙන් ඉවත්ව තිබු බව පෙනෙන අතර එසේ ඉවත් වූ එන්ජින් වලින් කොටස් ගෙන එන්ජින් කිහිපයක් ධාවනය කිරීමට දෙපාර්තම්නේතුව කටයුතු කර තිබේ.

මේ අතරම මේවායේ නිෂ්පාදකයින් කියා තිබුනේ වසර 10කින් මේවායේ බලසැපයුම් එන්ජින් වෙනස් කලයුතු බවයි. නමුත් ඒ අතරම W2 නිපදවූ සමාගම වැසී යාමෙන් එම පන්තියට අවශ්‍ය අමතර කොටස් හිඟ වන්නට විය. එන්ජින් අලුතෙන් තබන්නට යන වියදමින් අලුත් එන්ජින් කිහිපයක් ගත හැකි වූ බැවින් මෙම වටිනා එන්ජින් තැන තැන අත්හැර දැමෙන්නට පටන් ගත්තේය. එයින් බොහෝ එන්ජින් යකඩ වලට කපා අලෙවි කරන ලද අතර අනෙක් ඒවා වල වැදුනි.

නමුත් වර්ෂ 1997තේදී ජර්මන් ජාතිකයෙකුගේ මැදිහත්වීමෙන් W1 පන්තියට අයත් 631, 636, 638, 647, 659, 665, 666, 667, 669 හා 673 දරණ එන්ජින් වලට කැටපිලර් එන්ජින් හා ඩයිනමික් බ්රේක් එකතු කර W3 ධාවන පන්තිය යටතේ නැවත ධාවනයට එකතු කරන ලදී. එම එන්ජින් සියල්ලම වගකීම් කාලය ඉක්මවා අවුරුදු 5 කට පසුවත් ඉතා හොඳින් ධාවනය වේ.
W1 පන්තියේ එන්ජින් වලට අලුතෙන් බල සැපයුම් එන්ජින් සවි කර W3 යනුවෙන් ධාවනයට එක් කල 666 එන්ජිම. 


කෙසේ හෝ මෙය ලියන 2012 වර්ෂය පටන් ගන්නා විට W1 ධාවන පන්තියේ එන්ජින් 3ක් ධාවනය වූ අතර ඒ අංක 650, 657 හා 658 යන එන්ජින්ය. ධාවන තත්වයේ තිබු අවසාන W2 එන්ජිම වූ අංක 715 දරණ එන්ජිම 2011 වසරේ අගදී අත්හැර දැමුණු බව දැනගන්නට ඇති අතර ඒ අනුව ඒක කලෙක විශිෂ්ට සේවයක් කල දුම්රිය සේවයේ යෝධ පරපුරක අවසානය එසේ සනිටුහන් විය.
W1 පන්තියටද මේ ඉරණමම අත්වෙන්නට යන බව පෙනෙන්නට තිබෙන අතර අද දින (2012-12-05) සිදු වූ පීලි පැනීමකින් පසු ධාවන තත්වයේ ඇති ගණන 1ක් බවට පත් වී ඇත. දැනට ධාවනය වන්නේ 657 පමණකි. 658 දරන එන්ජිමත් මෑතකදී අලුත් වැඩියාවන් අත්හැරදමා ඇති සැටියකි. 650 දරන එන්ජිම අද දින පීලි පැනීමට ලක් විය. ඒ අනුව ළඟදීම ඓතිහාසික දුම්රිය පන්තියක සාක්ෂි රහිත අවසානය ළඟදීම සිදු වනු ඇත...........

ප/ලි-  ද්‍රවශක්ති බල සම්ප්‍රේෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න- මෙතනින් හෝ   මෙතනින්..

W1 ධාවන පන්තිය ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

W2 ධාවන පන්තියේ විස්තර සඳහා පිවිසෙන්න.

W3 ධාවන පන්තියේ විස්තර මෙතනින්.

Tuesday, December 4, 2012

අනේ ඉතින් ඒ කාලේ....


           මම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නේ ටිකක් හිතේ අමාරුවෙන්.. ඒ මොකද කියනවා නම් අවුරුදු 10ක් පමණ පුරා එක දිගට කරගෙන ආ, වෙනස් නොවූ පිළිවෙත් කිසිවකින් තොරව තවත් අවුරුද්දක අවසානයේ මුවගට පැමිණ සිටීමයි..........
         වෙනද මේ දවස් වෙනකොට අඟේ අමාරුවටම නිදි රෑ 9 විතර වෙනකොට. ඇයි ඉතින් උදේ 7.20ට ඉස්කෝලේ ගියාම සෙල්ලම් කරන්න පටන් ගන්න එක නවත්තනේ ආයෙත් එක ඇරෙන වෙලාවට, ඒ කියන්නේ දවල් දෙක හමාරටනේ. (මහනුවර ත්‍රිත්ව විදුහල දවසේ වැඩ අවසන් කරන්නේ දෙකයි තිහට) ඒ සෙල්ලම එතනින් නවතින්නෙත් නෑ. මොකද මම පිහිනුම් කණ්ඩායමේ හිටි නිසා ඒ පුහුණුවීම් තියනවා. ඉතින් හොඳට නාගෙන එහෙම පාසලෙන් එලියට බහිද්දී වෙලාව හවස 4.30යි! 
                                 
මේකේ ආය කවදා පීනන්නද...........

           ඒ දවස් වල ඉතින් උදේ නම් ලකුණු කරන්න පන්තියට ඇවිත් ගියාම අය යන්නේ හදිසියෙන්වත් ලකුණු දෙනවා කිව්වොත්, නැත්තම් ඉතින් දවල්ට කන්න තමයි. ඒ කරලත් ආයෙම කරන්නේ සෙල්ලම් කරන එක. ක්‍රිකට් ගහන බොලේ පලුනම එකෙන්ම ටැප් රගර් සෙල්ලම් කරපු ඒ සුන්දර කාලේ ආය කවදාවත් එන්නේ නෑ........


මෙතන තමා අපි හය වසරේ ඉඳන් පාසල් ජීවිතයේ අවසාන දවස දක්වා සෙල්ලම් කරේ... (පිට්ටනිය තිබුනත් එතෙන්ට වඩා මෙතන හොඳයි)


           එහෙම සෙල්ලම් කරන්න නොගිය දාට කරන්නේ පන්තියේ මුල්ලකට වෙලා සෙට් එකත් එක්ක සින්දුවක් ගහන එක. අපේම බීට් එකට සමහර විට වචන අතින් දාල හරි සින්දුව ගහනකොට එන ත්‍රිල් එක මොන මියුසිකල් ෂෝ එහෙකින්වත් ගන්න බෑ කියල මම ඕනෙම ඔට්ටුවක් අල්ලනවා.

           මේ දවස් වල ඉතින් ටර්ම් ටෙස්ට් ඉවර නිසා ගෙදර ඇවිල්ලත් පොතක් අල්ලන්නේ නෑ. ඒ දවස් වල මේකාලෙට තිබ්බ පිස්සුව උනේ සරුංගල් හැදීම සහ එව්වා යැවීම. ඒකට ඉතින් තල් කූරු හොයල හෙන ගේමක් දීල සල්ලි හොයාගෙන සව් කොළ ගෙනල්ල තව තංගුස් නූල් පන්දුවකුත් ගෙනල්ල එකත් ලීයක් වටේ ඔතාගෙන පොඩි ගේමක් දෙන්න ඕනේ. අනික අපිට සරුංගල් යවන්න කියල ලොකු ඉඩක් තිබ්බේ නෑ. ඉතින් අපි තෝරාගත්තේ ගෙදර ඉස්සරහින්ම යන රේල් පාර. ඕක දෙපැත්තෙයි උඩින් හරහටයි ඇදල තියන කම්බි වල නොපැටලී සරුංගලේ නග්ගගන්න එකයි කෝච්චි වලට හැප්පෙන්නේ නැතිව සරුංගල් යවන එකයි හෙන යුද්දයක්.
මේක ලියන වෙලාව වෙද්දී ඒ කාලේ (2007තේ විතර) සරුංගල් දෙකක් තියනවා සාලේ පුටු දෙකක් උඩ. එකක් පට්ටමක්. අනික අලවල වේලෙන්න තියපු එකක්. ඔය සරුංගල් අරිනකොට පාවිච්චි කරන්න අපි ගාව වෙනම වචන සෙට් එකකුත් තිබ්බා. දැන් කාලේ මල්ලිලා එහෙම එව්වා අහලවත් නැතිව ඇති. කඩෙන් පොල් ඉරටු සරුංගලයක් ගෙනල්ල සන් නූල දාල ගෙදර බැල්කනියේ ඉඳන් නේ දැන් කාලේ සරුංගල් යවන්නේ..

         වෙන දවස් වලට ඉතින් ඉස්කෝලේ අරුන ගමන්ම වෑන් එකෙන් ඇවිත් තියන මොනාහරි ගිලදාලා දුවනවා සෙල්ලම් කරන්න. ඒවා ඉවරල ගස් වැද්දෝ වගේ දූවිලි පෙරාගෙන ගෙදර එන්නේ 6ට විතර. ඒ ඇවිත් නාල එහෙම තේ එකක් බීල ගෙදර වැඩ කරලා නිදි. එච්චර තමා. ක්ලාස් බ්ලාස් මොකුත් නෑ ඒ කාලේ. (පන්තියෙන්ම අන්තිමටම ක්ලාස් යන්න පටන්ගත්තේ මමද කොහෙද)

          කිව්වට විස්වාස කරන්න මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමා අවුරුදු දාහතරකට පස්සේ ප්‍රගති වාර්තා පොත නැතිව ගෙදර ඉන්න පලවෙනි දෙසැම්බර් මාසේ. ඒ කාලේ අමාරුම වැඩේ ඕක ගෙදරට පෙන්නන එක. (මොකෝ ඉතින් අපි පයිතගරස්ලා නෙවෙයිනේ )

ඒ කාලේ දෙසැම්බර් වල තියන තව දෙයක් තමා දහම්පාසල් විභාගේ. එකට නම් මම පාඩම් කලේ දෙපාරයි. ඒ දහය වසරේ විභාගේටයි දහම් පාසල් අවසාන විභාගේටයි විතරයි. අනිත් අවුරුදු වල නම් පොත අල්ලන්නේ වත් නෑ.

         ඒ දවස් වල පාසල් කාලේ කරපු තව වැඩක් තමා නිවාඩු දෙන දවසේ ගුරුතුමන්ටයි තුමියන්ටයි වැඳලා එන එක. ඇත්තෙන්ම ඒ ගොල්ලන්ගේ ආශිර්වාදය ඉතාම වටිනා දෙයක්. ඉතින් අපි අපිට උගන්නපු ගුරුවර ගුරුවරියන්ට බුලත් දීල වැඳලා තමා නිවාඩුවට ගෙදර එන්න පිටත් වෙන්නේ. මේ දෙසැම්බර් මාසේ ඒ කිසිම දෙයක් නෑ...

         අවුරුද්ද අන්තිමේ බොහෝ අවුරුදු වල අපි පන්තියම එකතු වෙලා පාටියක් දානවා. හැමෝම මොනාහරි ගෙනල්ල කාල බීල සන්තෝසෙන් අවුරුද්ද ඉවර කරනවා. නමුත් ඉතින් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී ඒ යාළුවො රටේ තැන තැන. එහෙම එකතු වීමක් ගැන දැන් හිතන්නවත් අමාරු විදියට අපි ඈත් වෙලා..

         මීට අවුරුදු 14කට කලින් මුල්ම දවසේ අප්පච්චිගේ අතේ එල්ලිලා පාසල් භූමියට පා තියද්දි ගෙදරින් වෙන් වෙලා ඉන්න වෙන එක ගැන දැනුනු දැඩි කනගාටුවට වැඩි කනගාටුවක් ඊට අවුරුදු 14කට පස්සේ එතන දාල එද්දී නොදැනුනා කිව්වොත් ඇත්තෙන්ම එක බොරුවක්. මම හිතන්නේ එක දිගට එච්චර කාලයක් ඒ වගේ තැනක හිටපු ඕනෙම කෙනෙක්ට එක සාධාරණයි. අනික අපි මුලින්ම ඇතුලට යද්දී අපිව සනසන්න, අපිව භාරගන්න ගුරුවර ගුරුවරියන් හිටිය. එයාල ගෙදරින් පිට කියල නොහිතෙන්න වෙනසක් නොදැනෙන්න අපිව බලාගත්ත. ඕනේ දෙයක් කතා කරන්න යාළුවො හිටිය. නමුත්, නමුත් ඊට අවුරුදු 14කට පස්සේ අපි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට බැහැල පය තියන්නේ සමාජයට. එතන කවුරු විස්වාස කරන්නද, මොනවා වෙයිද කියල කලින් කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ කියන්නේ ඇත්තටම අපි වෙනම ලෝකෙකට යනවා වගේ. එහෙම තැනකට ගිහින් බොහෝ විට කරදරේක වැටුනම, එහෙමත් නැත්තම් අමාරු අවස්ථාවකට මුහුණ දීපු වෙලාවක තරම් අපිට අපේ පාසල ගැන මතක් වෙන වෙලාවක් තවත් නෑ කියල මම කියනවා.

         මම මේ ටික ලිව්වේ හිතේ තියන හැම දෙයක්ම එලියට දාන ඕනෙවට. නමුත් එක හිතුව තරම් ලේසි නෑ. අපි ඇත්තටම මුල්ම දවස් වල ඉස්කෝලෙට වෛර කරනවා. ගුරුවරුන්ට පලු යන්න බනිනවා. උදේට සමහර ගෙවල් වල දෙවෙනි ලෝක යුද්දේ රිපීට් වෙනවා.. ඒ උනාට, අපි ගොඩ දෙනෙක්ට පාසල් කාලය තරම් සුන්දර කාලයක් අය ජීවිතේටම එන්නේ නෑ. ඒ කාලේ සිද්ද වෙච්ච පුංචි සිදුවීමක් උනත් පහු කාලේ ආසාවෙන් සිහිපත් වෙන දෙයක් වෙනවා.. මේ සටහන අවසන් කරන්න මම පාසල් පුස්තකාලේ තිබිල මට හම්බ වෙලා කියවපු ගුණදාස ලියනගේ මහත්මය ලියපු "මල්ලිගේ විත්ති " කියන පොතේ හැඳින්වීමෙන් උපුටාගත් පාඨයක් යොදාගන්නම්...
"පසු වී ගිය යුගය නිතර ම රසවත්ය. අප මේ ගත කරන යුගය ද ඒ තරමටම නැතිනම් ඊටත් වඩා රසවත්ය. එහෙත් ඒ රසය අපිට අද නොතේරේ. කාලයාගේ ගමන සමග මේ අප ගත කරන යුගයට 'පසුගිය යුගය' යන නම යම් දිනක ලැබේද, එදාට එහි රසවත් බවත් ඉස්මතු වී පෙනෙන්නේය. එදා කරදර, හිරිහැර, කටුක දේවල් ලෙස අප සලකූ සිද්දීන් අද තනිකර රස වැදලි බවට පත් ව ඇත"

           පාසල් යුගය පසු වී ගොස් ඇත. එය නම් නියම රස වැදැල්ලක් බව සැබෑය. නමුත් ඒ රසවත් කාලය කිසි දා නැවත  මේ භවයේදී නම් නොඑනු ඇත..........
    
ඉතින් ආයුබෝවන්...