
ගිය අවුරුද්දේ බීච් පාටියට ගියායින් පස්සේ බ්ලොග් ලියන/ කියවන ගොඩ දෙනෙක්
අඳුරගෙන, කතාබහ කරලා, යාලු මිත්රකම් ඇති කරගත්තා. ඒ අයගෙන් සමහරක් දෙනෙකුට
නම් මාව අමතක වෙලා ගියේ අමතක වීම ලෝක ස්වභාවය බව පසක් කරමින්... එහෙම
උනත්, ඒ අතරින් මගෙත් එක්ක හිටි කට්ටිය මේ පාර අවුරුදු උත්සවේ ලං වෙනකොටම
වගේ මට මැසේජ් කරලා, කතා කරලා ඇහුවේ, "එනවා නේද අවුරුදු උත්සවේට? වරෙන් බන්
උඹට පීරිසිය දාන්න තැනක් දෙන්නම්, මල්ලි එනවා නේද මේ පාරත්? අඩෝ අවුරුදු
උත්සවේට යනවද? සයිබර් ෆෙස්ටිවල් යන්නේ මොකේද? මල්ලි කොහොමද යන්නේ?" ඔන්න ඔය
වගේ ඒවා තමා.. මගේ හිතෙත් ආපහු අර බීච් පාටියේ වගේ සොඳුරු හෝරා කිහිපයක්
ගත කරන්න තිබ්බ ආසාව ඉතින් මේ ආපු පණිවිඩ එක්ක නතර කරන්න බැරි උනා.. ඒ
නිසා,, මමත් ඔන්න ඔහේ කියල ෆෝම් එක පුරවල, මගේ සහභාගීත්වය ස්ථිර කරා.. මේ
පාර මට ලැබුනේ අංක 30. ඉතින් ඒ මේ ඔක්කොමත් එක්ක, මේ පාර සයිබර් ගෙට් එක
පැලවත්ත බුද්ධදාස ක්රීඩාංගනයේ, ඕෂනික් ගේම්ස් අනුග්රාහයෙන්, බ්ලොග්
අවකාශයේ මිතුරෝ සංවිධායකත්වයෙන්, උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා..
ඒ සඳහා යාමට මමත්, පේරාදෙණියෙන් උදේ 5.20ට මාතර බලා පිටත් වන අංක 40 දුම්රියට නැග පා පුවරුවක් වෙන් කරගත්තා.. මගෙත් එක්ක යන්න එනවා කියපු කස්ටිය නම් අන්තිම මොහොතේදී හැලුනා.. ඒකනම් මට ප්රශ්නයක් උනේ නෑ.. ගිය පාර නම් ආපු දුම්රියෙන්ම අදාළ ස්ථානයට යන්න හැකි උනත්, මේ පාර මම මරදානෙන් බැහැල, කැළණි වැලි මාර්ගයේ ධාවනය වන දුම්රියෙන් කෝට්ටේ පාර දුම්රිය ස්ථානයට ගොස්, එතනින් අංක 174 බස් රථයකින් අදාළ ස්ථානයට ලඟා උනා..
 |
| මාතර දුම්රියෙන් මරදාන බලා.. |
 |
| මේ මගදී හම්බුන එක්කෙනෙක්.. මේ තමා ලංකාවේ ඉංජිනේරු මහතෙක්ගේ සංකල්පයකට අනුව බිහිවෙච්ච රේල් බස් රථය. හම්බුනේ පොල්ගහවෙල මංසන්ධියේදී. |
පිටිය තුලට ආවත් වැරදීමක්දෝ යන හැගීම හොල්මන් කලේ වරක් දෙවරක් නොවෙයි. මා සමගම අවංක හොරා ඇතුළු පිරිසත් පිටියට ආවා. කෙසේ හෝ අපේ සසිඳු තුමා ටිකට් කඩා රෙජිස්ටර් කරන අයුරු දුටු විට සියලු සැක පහව ගියා..
 |
| වැරදි තැනටද ආවේ කියලත් හිතුනා... |
 |
| ටිකට් කඩන කස්ටිය. |
මෙවර කලින් රෙජිස්ටර් වන අයට තිළිණයක් ලෙස ටී ෂර්ට් එකක් ලබා දීමට පියවර ගෙන තිබුනා.. මා ගිය වර හඳුනාගත් බ්ලොග් අවකාශයේ මිතුරියක වන චතු අක්කා විසින් මට එය ලබා දුන්නා. එයත් රැගෙන ඇඳගැනීටම ක්රීඩාගාරය වෙත යන අතරතුර මා දුටුවේ ලහි ලහියේ සූදානම් වෙන උත්සව භූමියයි.. මේ අතර පිළිගැනීම් කිහිපයකුත් ලැබුනා..
ඇඳගෙන ආ පසු එකිනෙකා හා කතා කරමින් සිටින විට පොල් තෙල් පහන දැල්වීමේ අවස්තාව එළඹුනා. එයද සෙයාරූ ගත කරා. එයින් පසු එළඹියේ තරඟ සඳහා අවස්ථාවයි.. උදේට මුකුත් නොකාම දුම්රියේ හිටගෙන ආ බැවින් ඇඟට මහන්සියක් දැනුනත් දුම්රිය පසුපස දුවා දීර්ඝ පළපුරුද්දක් ඇති බැවින් ධාවන තරඟයට සහභාගී උවත්, එය 4වන ස්ථානයෙන් නිමා කිරීමෙන් මගේ තරඟ සහභාගීත්වය නතර උනා.
 |
| පොල්තෙල් පහන් දල්වා උත්සවය ආරම්භ කිරීම.. |
 |
| කාන්තා මීටර් සීය.. තව තත්පර පහක් පරක්කු උනා නම් තරඟය අලවංගු කරන්න වෙනවා.. |
 |
| බනිස් කෑම සඳහා පෙළ සෑදී සිටි අය බනිස් අතරින් මගේ කැමරාවේ සටහන් වූ අයුරු.. පසුව පැමිණි ක්රීඩිකාවන් කිහිපදෙනෙක් විසින් ඉදිරිපෙළ අල්ලාගෙන සිටි අයුරු. |
 |
| කකුල් 4 කකුල් 3 කරගෙන දිවීම.. |
 |
| මා බ්ලොග් අවකාශයට ඇද තබාගැනීම සඳහා මුල් වූ එක් බ්ලොගයක් වන සුප්රසිද්ධ කතන්දර බ්ලොග් අඩවිය පවත්වාගෙන යන රසික සූරියආරච්චි මහතා.. ඔහු විසින් රචිත කෘතියක්ද මට පිළිගැන්වීය... |
 |
| සමූහ සේයාරුව.. ගිය පාර එකටත් ඉන්න බැරි වෙච්ච එකේ මේ පාර එකටවත් හිටි එක වටිනවා.. |
 |
| සීනියර් උදවිය.. |
 |
| ගහගන්න කලින් කතා බහ.. |
 |
| කොට්ට පොරයේ උණුසුම් අවස්තාවක්... |
 |
| මා තුන් වෙනියට කියවූ බ්ලොග් අඩවිය සහ, වැඩියෙන්ම බැලූ බ්ලොග් අඩවි දෙකෙන් එකක් වන මාරයාගේ හෝරාව ලියන මාරයා සමග සේයාරුවක් ගැනීම දුර්ලභ අවස්තාව.. |
 |
| කවදත් කොතනත් කැමරාව බෙල්ලේ- සිනහ සාගරේ තියරියෙන් ඉන්නා වෙනි අයියා.. |
 |
| මේත් ඉන්නේ සීනියර් කස්ටියක්.. හම්මෝ මෙයාල එක්ක ජායාරූපයක් ගන්න ලැබීමත් සතුටක්.. මෙතනින් මතක තරියාගේ කෙරුවාව ලියන තරියා, දෙවාගේ අඩවිය ලියන දේවා, අපේ රජා, මමතුමා, හිරු අක්කා.. |
 |
| මගෙත් එක්ක හැමදාම වගේ හිටිය කුරුටු ගෑ ගී පොතේ දිලිනි අක්කා සහ හේමමාලි අක්කා.. |
 |
| මේ දෙන්න (මාරයා සහ හිරු අක්කා) නැත්තම් අද අඟහරු අඩවිය කියල බ්ලොග් එකක් නෑ.. ඇත්තෙන්ම මෙතෙන්ට තව තුන් දෙනෙක් අඩුයි. ඒ තමා අඟුරු නොකා.. බ්ලොග් එක කරපු චන්දික අයියා, පොඩි කුමාරිහාමි, සහ රසික සූරියආරච්චි මහතා. ඔයාල පස් දෙනාම එකට තියල සේයාරුවක් කවදා හරි ගන්න ලැබේවා! |
කොට්ටපොර ආදී ක්රීඩා මදකට නතර කලේ දැඩි රස්නය නිසායි. ඒ අතරතුර ක්රීඩාගාරය අසලට සහා නිවේදන කටයුතු සිදු වූ ස්ථානයට රැස් වූ අප සැම දිවා භෝජනය ලැබෙන තුරු හැමදාම නොකෙරෙන, එම නිසාම ඉතා සොඳුරු වූ කතාබහක් සඳහා වාඩි උනා..
 |
| මාර කතාබහක් අතරතුර ගන්නා ලැබූ සේයාරුවකි.. |
 |
| මෙදා සැරේ ටිකට්ටුව.. |
 |
| පෘතුවියේ ඉද්දි ඉන්න තැනින් ඇරෙන්න හොඳ කෑම එකක් ලැබෙන්නේ එහෙමත් වෙලාවක. එවයෙනුත් තමන් කැමති, තමන්ට කැමති පිරිසක් එක්ක ඒ කෑම එක කන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.. මේ එයින් එක අවස්තාවක්.. |
 |
| චතු අක්කා, මම තුමා සහ රෙප් මහත්තයා... |
 |
| කට්ටිය දෙහි ගෙඩි හැන්දේ අරගෙන එන ගමන්.. |
ඔන්න ඉතින් මේ ඔක්කොම අස්සේ කාලයත් හෙමි හෙමින් ගෙවිලා ගිහිල්ල මේසොඳුරු උත්සවයට සමු දෙන්න මට වෙලාව ආවා.. අකමැත්තෙන් උනත් ඒ සොඳුරු මිතුරු මිතුරියන්ට සමුදීලා මම අපේ සොරෝ සහ නිශා අක්කා සමග ආපහු එන්න පිටත් උනා.. එතනින් එලියට ඇවිල්ලා 171 බස් එකක නැගල කොටුවට ආවා.. ඒ එද්දී ජීවිතේ පලවෙනි වතාවට මම පොකට් ගැසීමක ඉලක්ක කරුවෙක් උනා.. ඒ නමුත්, මගේ පෙර වාසනාවකට හෝ මම අන්සතු දෙයක් නොගෙන ඇති නිසාවෙන් හෝ,මුදල් ස්වල්පයක් හැරෙන්නට වැදගත් සියල්ල සමග මුදල් පසුම්බිය නැවත මා අත පත් උනා.. ඒ මේ සියල්ලෙන් අනතුරුව කොළඹ කොටුවෙන් මහනුවර බලා පැමිණෙන අංක 35 (සෙංකඩගල මැණිකේ) දුම්රියෙන් මා ආපසු ගෙදර පැමිණියා.. මා සමග පේරාදෙණිය දක්වා නිශා අක්කාද පැමිණියා.
 |
| සෙන්කඩගල මැණිකේ දුම්රියෙන් ආපසු ගෙදර බලා.. |
ඒ එන ගමන් හමු වූ දුම්රිය ආදිය සෙයාරූ ගත කලත්, අඳුර නිසා ඒවායේ නම් ගත යුත්තක් නෑ... ඒ කෙසේ වෙතත් ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිදු වූ ටැබ්ලට් යන්ත්ර ක්රියා විරහිත වීමේ සුළු ප්රමාදය හැරෙන්නට වෙන කිසිම උපද්රවයකින් තොරව මා රාත්රී 8.30 වන විට නිවසට ලඟා උනා..
 |
| මේ තියන්නේ දෙමටගොඩ ධාවනාගාරයේ හැරවුම් මේසය.. ඈතින් පෙනෙන්නේ කැළණි මිටියාවත් දුම්රිය මාර්ගය පටු ආමානයේ වූ අවදියේ එහි ධාවනය වූ වාෂ්ප රේල් කාර් රථය (ලෝකයේම ඉතිරිව ඇති එකම එක) හා N1 ධාවන පන්තියට අයත් එන්ජිමක්.. |
උත්සවයේ කටයුතු හමාරකොට අවසානයටම නිවස බලා ආ කිහිපදෙනාගෙන් එක්කෙනෙක් ලෙස මා මෙසේ ගමන නිම කලේ අත්දැකීම් සහ නව මිතුරන් රාශියක් ලබාගෙන.. එවැනි උත්සවයක් සංවිධානය කිරීම පිලිබඳ සංවිධායක මණ්ඩලයට සහ සියලු දෙනාට ස්තුතිවන්ත වන අතර, නැවතත් මෙවැනිම සොඳුරු දිනයක මුණ ගැසීමේ බලාපොරොත්තු සහිතව ජීවිතයේ ගෙවුනු එක් සොඳුරු හෝරා කිහිපයක් පිලිබඳ මේ සටහන මෙසේ අවසන් කරනවා...