Monday, May 13, 2013

අවතාරය....

තිත්ත කළුවර රාත්‍රියක...
නිවසේ තනිවම සිටින විට..
නිවසේ හෝ නිවසින් එළියේ යම්කිසි ශබ්දයක් ඇසී ඔබ එය බලන්නට යන්නේ විදුලි පන්දමක් අතැතිවය..
ශබ්දය ඇසුණු දෙසට එය යොමුකොට ඔබ ඒ කුමක්දැයි බලයි...
ඔබ දකින්නේ..
 ඔව්.. ඒ අවතාරයකි..
එවැනි අවස්ථාවක ඇති වන හැඟීම් විස්තර කිරීමට අටුවා ටීකා අවශ්‍ය නැත.. යකාටවත් බය නැති මිනිසුන් සිටියද, බොහෝ දෙනා මෙය දුටු සැනින් කුමන බාධක තිබුනත් ඒවා කඩා බිඳගෙන කිලෝමීටර් ගණන් දුවනු ඇත.. තවත් සමහරුන් සිහිවිකල්ව සිටි තැන අද වැටෙනු ඇත... හදවත් දුර්වල අය එතනම මිය යාම උවත් සිදු විය හැකිය..
මා අද වෑයම් කරන්නේ මේ නිශාචර සත්වයා ගැන පොඩි සටහනක් තැබීමටයි...
භූතයා යනු කවරෙක්ද??
ඇත්තෙන්ම මෙයට සරල නිර්වචනයක් දිය හැකි කෙනෙක් නැත. බොහෝ අය හොල්මනක්, අවතාරයක් ලෙස හැඳින්වූවද එය අසම්පූර්ණය. මියගිය කෙනෙකුගේ නැවත දර්ශනය වීමක් ලෙසින් මදක් සම්පූර්ණ අර්ථකතනයක් දීමට කෙනෙක් ඉදිරිපත් වේවි.. නමුත් මා කලින් සටහන් කල කාලය පිලිබඳ සටහන කියවා තේරුම් ගත්තා නම්, මියගිය කෙනෙකු හට නැවත දර්ශනය වීමට අවතාරයක් විය යුතුම නැති බව තේරුම් ගනු ඇත.. තවත් අයුරකින් කිවහොත්, යම්හෙයකින් ඔබට කාලය නමැති මානය තරණය කිරීමට, එය අධිගමනය කිරීමට හැකි වී, ඔබ මෙයට වසර 100කින් පමණ ඉදිරියට ගියහොත්?? එවිට එහි සිටීන අය, ඔබේ නෑදෑයන් ආදීන් ඔබව සලකනු ඇත්තේ අවතාරයක් ආකාරයට නම්!!!
නැත. එය කිසිසේත්ම සුන්දර අත්දැකීමක් වන්නේ නැත..


    එසේ නම් ඒ භූතයා යනු කවරෙක්ද??? එය නිර්වචනය කිරීම.....
මම කියවන ඔබට එය භාර කරමි...  

මීළඟට මා ඔබව එංගලන්තය වෙත කැඳවාගෙන යමි.. ඒ, භූතයින් හා අවතාර පිලිබඳ ප්‍රසිද්දියක් උසුලන භූත බංගලාවක් හෙවත් අවතාර අරක් ගත් මාලිගයක් වෙතටයි... එනම්, එංගලන්තයේ එඩින්බර්ග් මාලිගය වෙතටයි...


එඩින්බර්ග් මාලිගය.
 මෙය දැන් සංචාරක කලාපයක් ලෙසට පවත්වාගෙන යයි..මෙහි පැරණි සිරමැදිරි තුල දුක්වින්ද ප්‍රංශ ආදී විවිධ රටවල සිරකරුවන්ගේ ආත්ම හෝ එම ජීව ශක්තිය හෝ කුමක්හෝ වේවා,  මෙය තුල තවමත් සැරිසරයි.. මෙයට පැමිණෙන සංචාරකයන් අද්භූත හඬවල් ගැන, මරණ බයින් කරන කෑගැසීම් ගැන කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.. පසුව එක් පර්යේෂණ කණ්ඩායමක් මෙහි පැමිණ නේවාසිකව පරීක්ෂණයක් පැවැත්වීය.. ඒ පරීක්ෂකයින්ටද විවිද අතවර වලට ලක්වන්නට සිදු විය. රෙදි වලින් ඇදීම, අතින් පයින් ඇදීම, නිදාගත් ස්ථාන වලින් බිමට තල්ලු කිරීම, එක එක ශබ්ද ඇසීම ආදිය ඉන් සමහරකි. පසුව මෙය අවතාර ගැවසෙන ස්ථානයක බවට පිළිගන්නා ලැබීය...

     අවතාර දර්ශන වලට බොහෝ ප්‍රසිද්ධ ස්ථානය, සොහොන් බිම්.. අප රටේ ඉපැරණි කාලයේදී මිනී එක්කෝ පුච්චනු ලැබීය. නැතහොත් කලේ රෙද්දක ඔතා අමු සොහොනේ දැමීමය. නැතහොත් කැලේ ගැසීමය. මෙම සොහොන් පොළවල් අසල අවතාර ගවසීම් බොහොමයක් වාර්තා වී ඇත. අප රටේ මෑතකදී නිපදවූ "බහුභූතයෝ" නම් චිත්‍රපටයක්ද මේ අවස්ථාවේ මට මතක් වේ.. මෙම සොහොන් කුටි හා සොහොන් කොත් ආශ්‍රිතව හොල්මන් කොතරම් ජනප්‍රියතාවක් අත් කරගෙන සිටිතිද කිවහොත්, තවමත් ලංකාවේ (ලෝකයේම තත්වය මෙය වීමටද හැකිය) බොහෝ පලාත්වල අඳුර වැටුණු පසු තනිවම සොහොන් පිට්ටනියක් ආසන්නයෙන් ගමන් කරන්නේ එක්කෝ හිත හයිය "යකාටවත් බය නැති" ටයිප් එකේ කෙනෙක් වන අතර නැතහොත් කට ගොන්නක් බීගත් පුද්ගලයින්ය..
     කෙසේ වෙතත්, සොහොන් බිම් ආශ්‍රිතවද අවතාර ගැවසෙන බව පර්යේෂණාත්මකව තහවුරු කර තිබේ. පහත ජායාරූපය එයට නිදසුනකි.. මෙම ජායාරූපය ගන්නා අවස්ථාවේදී මෙතන හෝ මේ අවට වෙන කිසිම කෙනෙක් සිට නොමැති අතර, ජායාරූපය සුද්ද කල විට, සොහොන් කොතක් මතට වී කල්පනාවක නිමග්නව සිටි මෙම කාන්තාව දක්නට ලැබී ඇත!!! 
   ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ මහාචාර්යවරයෙක් වන නන්දසේන රත්නපාල ශූරීන් විසින් මේ විෂය අලලා බොහෝ පර්යේෂණ කර ඇති අතර ඒ පිලිබඳ පොත් ප්‍රකාශනයට පත් කිරීමද සිදු කොට ඇත. එමෙන්ම තවත් විද්වතෙකු වූ ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන මහතා කල පර්යේෂණ කටයුතු අලලා ලිපි පෙළක් මේ දිනවල ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවනු සති කිහිපයක් මුළුල්ලේ දුටිමි. මෙම විද්වතුන් දෙපොළගේ පර්යේෂණ සටහන් කිහිපයක් වෙනත් පොත්පත්වල තිබී කියවීමේ භාග්‍ය මටද ලැබුණු බව මම සඳහන් කල යුතුය. අවාසනාවට මහාචාර්ය නන්දසේන රත්නපාලයන් අද අප අතර නැත...
   අවතාර පිලිබඳ සටහන් කිරීමේදී අමතක කල නොහැකි චරිතයක් වන්නේ අයිරිෂ් ජාතික ලේකඛ බ්‍රෑම් ස්ටෝකර් විසින් නිර්මාණය කරන ලද "ට්රාන්සිල්වෙනියාවේ ඩ්රැකියුලා සිටුවරයා" නම් චරිතයයි.. මේ කතාවට අනුව මොහු තම ආත්මය යක්ෂයාට බාර කල ඉපැරණි රජතුමෙකි. මෙම ට්රාන්සිල්වෙනියාව පිහිටා ඇත්තේ රුමෙනියාවට ආසන්නයේය. ඒ අනුව මෙය සත්‍ය ප්‍රදේශයක් පසුබිම් කරගත් කතාවක් ලෙස සැලකිය හැක. මොහු එංගලන්තයට සංක්‍රමණය වීමට යන විට ඊට එරෙහිව ක්‍රියාත්මක වන මහාචාර්ය වෑන් හෙල්සින්ග් වනාහි ඕලන්ද ජාතික වෛද්‍යවරයෙකි.. ඔහුට අනුව මෙම හොල්මන් සහ අවතාර කන්නාඩියක් තුලින් දැකගත නොහැකි අතර, ඔවුන්ගේ හෙවනැල්ලක් නොවැටේ. දහවලදී අක්‍රීය වන මොවුන් එලියට පැමිණෙන්නේ රාත්‍රියේදීය.. දහවල එසේ අක්‍රීයව සිටින විට හදවත පසාරු කරගෙන යන සේ ලී උලක් යැවීමෙන් මොවුන් නිහඬ කල හැකිය.
   මේ කාලයට පසු කාලයක නිර්මාණය වූ තවත් ප්‍රබන්ධයකින් මෙම සිටුවරයා සුප්‍රකට රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් සමග පටලවනු ලැබුණි. එම කතාවේදී සිටුවරයා හෝම්ස් හමුවේ තම බලය පිලිබඳ මෙසේ සඳහන් කර සිටී..
මේ අහනවා හෝම්ස්.. භයානකම දේ මරණය නෙවෙයි.. ඊට වඩා අන්ත භයානක, ඒ වගේම පිළිකුල් සහගත දේවල් තියනවා. දවල්ට මගේ බලය සීමිතයි.. ඒත් රෑට එහෙම නෙවෙයි.. සීතල මිනී වලවල් වලින් උන් නැගිටිනවා.. පෝරකයට ගිහින් මැරෙන උන් ඉන්නේ ඒ අතර. ඒවාට මම කටවචනයෙන් අණ කලයුතු නෑ.. මම වචනයෙන් නොකිව් උපදෙස් පිට ඒවා ඒකරාශී වෙනවා..."     
    මේ කතාවේ තව දුරටත් සඳහන් වන්නේ ඩ්රැකියුලා සිටුවරයා පැමිණි අසබඩ ඇති වෙන දැඩි සීතල ගතියයි.. එය ඔවුන් ලගිනා මිනී වලවල් තුල ඇති සීතලය.. ඔබටත් යම් හෙයකින් අසාමාන්‍ය සීතලක් දැනුනහොත්...
      ඔව්.. විමසිලිමත් වන්න.. එය යම් අමනුෂ්‍යයකුගේ ආගමනය පිලිබඳ කෙරෙන සලකුණක් විය හැකියි...
ඩ්රැකියුලා සිටුවරයා ලේ උරාබීමෙන් අනතුරුව..
       අවතාර හා බූතයින් එක එක වෙස් ගනී.. හැඩයක් නොමැති මීදුමක්, වැලි කුණාටුවක්, සතුන්, මිනිසුන් ආදී ලෙස එය වෙනස් වනු ඇත. තවත් විටක ඔවුන් දර්ශනය වන්නේ යන්තමින් විනිවිද පෙනෙන මනුෂ්‍ය හැඩය ඇති දුමක් වැන්නක් ලෙසටය. එවැනි අවස්ථාවකි පහතින් දැක්වෙන්නේ...


    අවතාර ගැන කතා කරන විට අමතක කල නොහැකි තවත් මිනිසුන් කාණ්ඩයක් වන්නේ සමුද්‍ර යාත්‍රිකයින් හා අහස්යාත්‍රිකයින්ය. ලෝක යුද සමයේ ජර්මානු නාවික හමුදාවේ සවිය වූ යූ බෝට්ටු ගැන අසා නැති කෙනෙක් නොසිටිය හැක. යූ බෝට්ටු යනු ජර්මානු හමුදාව භාවිතා කල සබ්මැරීන විශේෂයකි.. මෙම යාත්‍රා කාණ්ඩගත කරනු ලැබුවේ U අක්ෂරයෙනි. මෙයින් U- 65 දරන යාත්‍රාව ගැන බොහෝ අභිරහස් සිදු වීම් වාර්තාගත විය. එය නිෂ්පාදනයේ සිට, ප්‍රථම පරීක්ෂණ ධාවනය සහ අවසානයේ අද්භූත අයුරින් මුහුද මැදදී පුපුරා යාම දක්වා සැම ගමනකදීම අවතාරයක් කොහේ හෝ සිට මෙහි කුමක් හෝ අවුල් කල අතර (මෙවැනි හිංසාකාරී භූතයින් බටහිර විද්‍යාවේදී Poltergeist යනුවෙන් හඳුන්වති) , එයින් එහි නිලධාරීන්ට ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදු වූ පුවත්ද, ඉන් පසු එම නිලධාරීන්ද භූතාත්ම බවට පත් වූ ආකාරයද තවමත් පැහැදිලි නොකළ ඉතිහාස කතා ගොන්නට ඇතුලත්ව ඇත...  තවද මුහුද මැදදී අනතුරට ලක් වන්නට යන නෞකා බේරාගැනීමට අමුතු ඇඳුම් හැඳි නාවිකයින් යයි සිතිය හැකි අයගෙන් උදව් ලැබුණු ආකාරය ගැන කතාද ලොග් පොත් වල ලියවී තිබේ..
     අහස්යාත්‍රිකයින් ගැන සඳහන් කරද්දී මේ ගැන පොතක් ලියූ මාටින් කැයිඩින් නම් ඇමෙරිකානු ජාතිකයා අපට අමතක කල නොහැක. එහි ඔහු, වර්ෂ ගණනාවකට පෙර මියගිය නමුත්,, ධාවනපථ දිගේ ඇවිද යන, ඔවුන් දෙස ගල්ගැසී බලා සිටින අන් නියමුවන් සමග පැහැදිලි බසින් කතා කල අය ගැන සඳහන් කර තිබේ.. එම පොතේ සුළු කොටසක් කියවීමට සබැඳියක් පහත දක්වා ඇත..
    අවතාර හා භූතයන් ගැන කියද්දී ශ්‍රී ලංකාවේ සඳහන් වන විවිධ යක්ෂයින් පිලිබඳ සඳහන් නොකලොත් එය අඩුවකි. ශ්‍රී ලංකාවේ මන්ත්‍ර ශාස්ත්‍රය තුලින් බොහෝ යක්ෂ යක්ෂණියන් පිලිබඳ තොරතුරු දත හැකිය.. ඒ අතර, කළු කුමාර යක්ෂයා, රීරි යක්ෂයා, කෝල සන්නියා, බෝදිරිමා (මෙනමින් සිටින කටුසු වර්ගය නොවේ), ගරා යකා ආදී ප්‍රධාන යක්ෂයින්ද, පිල්ලි යැවීම පිණිස මිනියට පන ඉපදවීමට ගෙන්වාගන්නා යක්ෂයින්ද ඇතුළුව බොහෝ ගණනක් දැක්විය හැකිය. එහෙත්, මෙම ක්‍රියා ඉතා අන්තරායදායක වන අතර, වැරදීමක් සිදුවුවහොත් තමන් ගෙන්වාගත් අවතාර අතින්ම සිය පන නසා ගැනීමට සිදු වීම අනිවාර්යය..
    ඉතින් දැන්..
මෙම හැම තැන හැසිරෙන භූතයා අර්ථ දැක්වීමට කාලය පැමිණ ඇත.. එහෙත්,, ඒ කෙසේද?? මම එය නොදනිමි.. එය අර්ථ දැක්විය හැක්කේ එවැනි දේට මුහුණ දී, අත්දැකීම් ලද යට පමණක් බව මගේ විශ්වාසයයි.. එය අර්ථ දක්වා සාමාන්‍යකරණය කර තිබේ නම් අප භූතයන්ට තව දුරටත් බිය විය යුතු නැත..


අප සත්‍ය වශයෙන්ම බිය විය යුත්තේ මළගියඅයට නොවේ.. ජීවත්ව සිටිනා අයටය...


ආශ්‍රිත ලිපි ලේඛන..
1. අවතාර- ජේ. ආර්. සමන්මංජුල.
2. අන්තර්ජාලය- විකිපීඩියා වෙබ් අඩවිය සහ ගූගල් සෙවුම් යන්ත්‍රය..
3. විදුසර, ලංකාදීප පුවත්පත්.
4. Ghost of the Air- True Stories of Aerial Hauntings- Mr. Martin Caidin.

Friday, May 10, 2013

කාලය..

                                          


කාලෙකින් ආව බ්ලොග් එක පැත්තේ.. මේ දවල් වල මගේ ලැප් රාජයට පපුවේ අමාරුවක් හැදිලා අසාද්‍ය වෙලා හිටියේ. අද තමයි යන්තම් "කෙටි දුර ධාවන කටයුතු" සඳහා පමණක් යෝග්‍ය ලෙස අලුත්වැඩියා කර ගෙදර ගෙනාවේ. කට්ටිය අහලත් තිබ්බ මොකෝ මේ කමෙන්ට් රිප්ලයි ඔක්කොම සිංග්ලිෂ් වලින් කියල.. මගේ ෆෝන් එකේ සිංහල නෑ. එකේ තියන්නේ ඉංග්‍රීසිය විතරයි තේරෙන භාෂාවකට. ඒකෙන් කමෙන්ට් කරන්නේ ඒකයි හොඳේ.. තරහ වෙන්න එපා..
     හොඳයි. අද මම ඔයාලට ටිකක් වෙනස් දෙයක් ගැන කියන්නයි හදන්නේ. මම දැන් මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ "කාලෙකින්" කියන වචනයෙන්.. මොකද්ද මේ කාලය කියන්නේ? මොකද්ද මේකෙන් කියවෙන්නේ? අපි සාකච්ජා කරලා බලමු..
     ඉස්සෙල්ලම බලමු ඇයි අපි මේ කාලය කියල සංකල්පයක් හදාගෙන තියන්නේ කියලා. දැන් නිකමට හිතන්න, අපේ ලෝකේ කාලය කියල සංකල්පයක් තිබුනේ නෑ කියල. ඒ වගේම අපේ මේ ලෝකෙට දවාලක් රැයක් කියල දේකුත් නෑ. හරි. ඉතින් මෙහෙම තියන ලෝකෙකදී, අපි කොහොමද කාලය කියල දෙයක් හදාගන්නේ?? මොකද අපේ ලෝකෙදි (අඟහරු නෙවේ හොඳේ) කාලය බෙදන්න අපි පළවෙනියටම සැලකුවේ ඉරේ වෙනස් වීම නේද? ඉස්සරලම මිනිස්සු පැය වලින් කාලය මනින්න කලින් දවස බෙදුවේ දෙකකට. ඒ තමයි දවාලයි රාත්‍රියයි. දැන් මම මෙහෙම ඇහුවොත්? එතකොට දැන් දවසකට වරු කීයක් තියනවද??
     ඔයාල හිතන්න ඇති මේ මොනාද මේ ප්‍රශ්න? ඕක අහන්නත් දෙයක්ය වරු තුනක් තියනවනේ උදේ දවල් සහ රෑ කියල.. හිතුවේ එහෙම නම් ඔයාලට වැරදිලා..!! දවසකට තවම තියන්නේ වරු දෙකයි.. ඒ තමයි පෙරවරුව සහ පස්වරුව..
     හරි. දැන් මේ විදියට කාලය මනින්නේ ඇයි?? සරලව කිව්වොත් යම් සිදු වීම් දෙකක් අතර තියන සම්බන්ධය ගොඩ නගන්න, එකක් අනිකකින් වෙන් කරලා දක්වන්න නේද? නැත්තම් අපි කොහොමද ගිය අව්රුද්දෙ කෙනෙක් මිය ගිය එක කියන්නේ? පොඩ්ඩක් හිතල බැලුවොත් ඔයාලට තේරේවි අපි කාලය එක්ක කොච්චර බැඳිලා ඉන්නවද කියල නේද??
     තව දෙයක්- කාල මත තමයි අපි වේගය වගේ දෙයක් උනත් ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් වශයෙන් භෞතික විද්‍යාවේදී අපි වේගය කියල කියන්නේ එකීය කාලයක් තුර ගමන් කල දුරට නේද?
     දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්? අපි මේ හැම හපන්කමක්ම කරන්නේ කාලය හැමතැනම එක විදියට තියනවා, එකම වේගෙන් තමයි ඉස්සරහට යන්නේ කියල හිතලානේ.. මේක වෙනස් උනොත් මොකද වෙන්නේ?? මම ඔයාල නිරුත්තර කරා නේද? ඇත්තෙන්ම ඒ වගේ දෙයක් අපිට හිතාගන්න අමාරුයි තමයි. මොකද අපිට එහෙම දෙකට ලක්වෙන්න සිදු වෙලා නැති හින්ද. නතිමත් නෙවෙයි.. දැනෙන වෙනසකට අපි ලක්වෙලා නැති හින්ද.
     මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයාල සර්වසම ඔරලෝසු දෙකක් අරගෙන, දෙකේම එකම වෙලාව තියල එකම වෙලාවට එකම වේගෙකින් යන ප්ලේන් දෙකකින් ලෝකේ වටේ දෙපැත්තට යැව්වොත්, එකරලා එක වටයක් ගියාට පස්සේ ඒ දෙකේම වෙලාවල් බැලුවොත් ඔයාලට තේරේවි දකුණු දිශාවට ගමන් කල යානයේ තිබ්බ ඔරලෝසුවේ වෙලාව අනිකට වඩා අඩු බව. ඔයාල කියවල තියනවනම් මතක් වේවි අර "ලෝකය වටේ අසූ දවසකින්" කියන පොතෙත් මේ දේම සඳහන් වෙනවා.
     ඒ වගේම මම තව දෙයක් කියන්නම්. දැන් හිතන්න, ඔයාගේ නිවුන් සහෝදරයෙක්/ සහෝදරියක් ඉන්නවා. ඔයා ඒ සහෝදරයා මේ ලෝකේ ඉද්දි ආලෝකයේ වේගයට ආසන්න වේගෙකින් අභ්‍යාවකාශ සංචාරයක යනවා, ඔයා ගිහින් ආපහු එද්දී... ඔව්, ඔයා ගිහින් ආපහු එනකොට ඔයා වයසට ගියාට වඩා වැඩි කාලයකින් ඒ සහෝදරයා වයසට ගිහින් කියල ඔයාට පේනවා..!!! ඇයි ඒ?? අන්න ඒවා තමයි අපිට හොයාගන්න තියන්නේ.. හැබැයි ඉතින් ආලෝකයේ වේගෙන් ගමන් කරන එක නම්, මහා විද්වතෙක් ලෙස සැලකෙන අයින්ස්ටයින්ට අනුව නම් තවත් ලොකු ප්‍රශ්න ගොඩක් ඇඟේ දමාගනීමක් වෙනවා.
      කාලය ගැන කියද්දී මට තව දෙයක් මතක් වෙනවා. ඒ තමයි, බටහිර ලෝකේ බොහෝ වෙලාවට කාලය හඳුන්වන්නේ "Arrow of time", එහෙමත් නැත්තම් කාලයේ ඊතලය කියල. ඒ මොකද කිව්වොත්, ඔයාලට තේරෙනවා ඇති කාලය කවදාවත් පිටිපස්සට යන්නේ නෑ.. එක යන්නේ ඉස්සරහට විතරයි.. විද්වතුන් කියන විදියට, මේ අපි ජීවත් වෙන ලෝකේ උස, දිග, පළල මත යැපෙන ත්‍රිමාන ලෝකයක්..ඒ කියන්නේ මේ මාන තුනම අපිට මේ ලෝකෙද යම් තරමකට උනත් පාලනය කල හැකියි. අපි මේ මාන තුන දිගේ චලනය වෙන ගමන්ම, කාලය කියන සිව් වැනි මානය දිගේ ඉදිරියට චලනය වෙනවා.. ඒ මානය දිගේ අපිට වෙන කොහේටවත් යන්න බෑ...
     ඒ නමුත්, මේ සීමා වලංගු අපේ ලෝකෙට විතරයි. මේ විශ්වයේ, අනන්ත අප්‍රමාන ලෝක තියෙන්න පුළුවනි. ඒ ලෝක අපේ වගේ ත්‍රිමාන නෙවේ සමහරවිට සිව්මාන, පංචමාන ලෝක උනත් තියෙන්න හැකි.. ඒකේ අනිත් පැත්ත බැලුවොත් උස, දිග සහ කාලය පාලනය කල හැකි ත්‍රිමාන ලෝක උනත් තියෙන්න පුළුවන්.. එහෙම නේද? ඒ වගේම මාන වෙනස් විශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් එක මත එක වේලිලා පැටලිලා තියෙන්න පුළුවන්.. එත් මාන වල වෙනස හින්ද එකක ඉන්න යට අනිකේ කට්ටිය පෙන්නේ නෑ.. මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරලා, බහුමාන විශ්වයක පැවැත්ම ගැන මහා විද්වත් අයින්ස්ටයින් කතා කරලා තියනවා..
     කාලය ගැන කියද්දී මගේ මතකෙට එන දෙයක් තමයි, කාල තරණය. මේක මේ දවස්වල නැගලම යන මාතෘකාවක්. ඔයාල Terminator චිත්‍රපටි ටික බලල තියේ නම් මතක ඇති මම මේ කියන්නේ මොකද්ද කියල. හැබැයි, සත්‍ය ජීවිතේදී ඔයාලට එහෙම දෙයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ. අපි මේකට කියනවා "Grandfather Paradox" කියල. Paradox කියන්නේ විරුද්ධාභාෂය කියන එකට. ඒ කියන්නේ දැන් හිතන්න, ඔයා ඉතිහාසෙට ගිහින්, ඔයාගේ සීයව මරනවා කියල. එත් ඔයා කරපු වෙලාවේම ඔයාවත් මේ විශ්වයෙන් සම්පූර්නෙන්ම අතුරුදහන් වෙන්න ඕනේ!! ඇයි, සීය නැත්තම් ඔයාට කවදාකවත් මේ ලෝකේ ජීවත් වෙන්න බෑ!! අනික, ඔයා ඉතිහාසෙට යන මොහොත වෙනකල් සීය කරලා තිබ්බ වැඩ වලටත් ආගිය අතක් නැති වෙන්න ඕනේ!! ඒත් මේක න්‍යායාත්මකව හරි ගියාට ප්‍රායෝගිකව කරන්න හැකි දෙයක් නෙවෙයි කියල මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති. අනික තමයි, ඔයා ඉපදෙන්න කලින් ඉතිහාසෙට ගියත්, ඒ වෙනකොටත් දැන් ඔයාලගේ ඇඟේ ඔය තියන භෞතික පදාර්ථ ටික ඒ කාලෙත් කොහේ හරි තිබිල තියනවා! එතකොට එකම පදාර්ථයට, එකම වෙලාවක දෙතැනක තියෙන්නත් බෑ නේද???
      හැබැයි බටහිර විද්‍යාවේ එනවා අදහස් ටිකක් මේ කාල තරණය යතාර්ථයක් කරගන්න පාවිච්චි කළහැකි අදහස් ටිකක්. ඒක මේ වගේ බ්ලොග් පිටුවකින් දෙන්න පුළුවන් අදහසක් නෙවෙයි.. නමුත්, මම එක පින්තූරයක් දාන්නම්. මේකට කියන්නේ "පණුගුල් න්‍යාය" කියල. ඕනේ කෙනෙක් ඉන්නවා නම් වැඩි දුර විස්තර, මම දෙන්නම් පහලින් යන්න පාරක්. ගිහින් හොයල බලන්නකෝ..
හරි.. මේ කාලය ගැන කියද්දී අමතක කරන්න බැරි දෙයක් තියනවා. ඒ තමයි ක්වොන්ටම් යාන්ත්රිකය. මේ යාන්ත්රිකය ක්‍රියාත්මක වෙන්නේ පරමාණුක අවස්තාවටත් පල්ලෙහා උප පරමාණුක අවස්ථාවේදී. ඒ කියන්නේ, මම කිව්වොත්, ඒ අවස්ථාවේදී පරමාණුවක් සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ, මේ සාමාන්‍ය ලෝකේ එවරස්ට් කන්දත් එක්ක!!
  නමුත්, අපිවත් හැදිලා තියන්නේ ක්වොන්ටම් අංශු වලින්... ඒ නිසා අපි පොඩ්ඩක් ඒ පැත්තත් බලමු! මේ යාන්ත්රිකය ක්‍රියාත්මක වෙන අවස්ථාව වෙනකොට, අංශු වලට අපි දන්නා සමීකරණ කිසි එකක් පාවිච්චි කරන්න බෑ!! ඒවා තවදුරටත් අදාළ නැති තත්වෙකට පත්වෙනවා! ඒ වගේම, මේ වෙනකොට අංශු වලත් කිරණ වලත් සාමාන්‍ය හැසිරීම ඒවාට නැති වෙනවා! මේ දෙකම, දෙවිදියටම ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා!
    ඉතින්, මේ අපි දන්න පදාර්ථ වගේම තව දෙයක් තමයි "ප්‍රතිපදාර්ථ." ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝනයක ප්‍රතිපදාර්ථය තමයි "පොසිට්‍රෝනය" මේ දෙකක් එකට හැප්පුනොත් ඒ පදාර්ථය සම්පූර්නෙන්ම ශක්තිය බවට පරිවර්තනය වෙනවා! ඒ කියන්නේ ෆෝටෝන දෙකක් උපදිනවා! ෆෝටෝන වලට අපි පාවිච්චි කරන දන්නා වචනේ තමයි ආලෝකය!! ඉතින්, දැන් මෙහෙම හිතන්න. ඔය ෆෝටෝන දෙක, එකකට එකක් ආලෝක වර්ෂ මිලියන ගානක් ඈතින් තියල, එකකට පොඩි වෙනසක් කරලා, ඒ කියන්නේ ඒක ගමන් කරන දිශාවට පොඩි වෙනසක් කරලා ඒ ගමන්ම අනික දිහා බැලුවොත්... ඔව්, එහෙම කරොත් අපිට දකින්න ලැබෙන්නේ, ඒ අපි කලින් එක වෙනස් කරපු දිශාවට විරුද්ද දිශාවට නමුත් ඒ වේගෙන්ම අනිකත් චලනය වෙන බව!! ආලෝක වර්ෂ 1ක් උනත් සෑහෙන දුරක්! ඉතින් මෙතරම් ඉක්මනට මේවා අතරේ සන්නිවේදනය කරන්න පුළුවන් කියන්නේ, ෆෝටෝන වලට කාලය ඉක්මවා කටයුතු කරන්න පුලුවන්ද?? නැත්තම් ඇත්තටම කාලය කියල දෙයක් තියනවද?? ඇත්තම කිව්වොත්, සමහර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ, මෙන්න මේ හේතු හින්ද, කාලය කියල දෙයක් සැබවින්ම නොපවතින බවයි!
      ඉතින් එහෙනම්, අපේ වීඥාණයට කාලය ඉක්මවා කටයුතු කල හැකි විය යුතුයි. ඇත්තෙන්ම මේ ගැන අපිට හොඳ උදාහරණ හමු වෙනවා බුද්ධ චරිතයෙන්. මොකද ජාතක කතා හැම එකක්ම බුදුහාමුදුරුවෝ අතීතයෙන් දේශනා කරපුව. ඒ වගේම බුදුන්ගේ අවසාන කාලයේ "පාතලිපුත්ත" කියන නගරය ඉදිකරද්දී ඒක ගැන පෙරයීමකුත් බුදුහාමුදුරුවෝ වදාරන්නේ ඒ අතිශයින් දියුණු කල මනසට ඉහත සඳහන් කල මාන පිලිබඳ සාධක අදාළ නොවූ නිසාද? නැත්තම් කාලය කියා දෙයක් නොපවතින නිසාද??
      අවසානයට, මට තවත් දෙයක් කියන්න දෙන්න., මේ ලෝකේ හැම දෙයක්ම අවසාන වෙන හින්ද, කාලයත් යම් තැනකින් අවසාන වෙන්න ඕනෙද? එහෙම වෙනවා නම් ඒ කොහෙදිද? සමහරුන් මේ තැන හඳුන්වන්නේ කළු කුහරයක් හැටියට.
ඒ කියන්නේ විශ්වයේ තියන අධික ස්කන්ධ ස්ථානයක්. මේකේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ගැලවෙන්න ආලෝකයටවත් බෑ. මේකක් අස්සේදී කාලය අවසාන වෙන බවට විද්වතුන් මත ප්‍රකාශ කරලා තියනවා!!
       හැබැයි අර කාලය කියල දෙයක් නෑ කියල ගත්තොත්, තුන්කල් එකම මොහොතකදී උනත් පවතින්න පුළුවන් නේද? එහෙම නම් අපි අර හොල්මන් කියල කියන්නේ ඒ කාලයේ බැම්මෙන් මිදිලා කාල සංචාරය කල හැකි තත්වෙකට පත් උන අයට වෙන්න බැරිද??? ඒ වගේම, ඉතිහාසයෙන් ආපු යම් දෙයක් හෝ යම් කෙනෙක් අපිත් එක්ක මේ මොහොතේත් ජීවත් වෙනවා වෙන්න බැරිද??? දෙන්නෙක්ගේ අත් ඔරලෝසු දෙකක විනාඩි 5ක වෙනසක් තියනවා කියන්නේ, එක්කෙනෙක් අනිත් එක්කෙනාට වඩා විනාඩි පහක් කලින් ලෝකේ දකිනවා, වැඩ කරනවා කියන එකද? එතකොට එයා ඉන්නේ වෙනම ලෝකෙකද??? ඇත්තටම කාලය යනු කුමක්ද??
 

ආශ්‍රිත ලිපි ලේඛන-
 1. විකිපීඩියා විශ්ව කෝෂය.  
 2.  කාලය වෙබ් අඩවිය. 
 3. Aerial Hauntings ග්‍රන්ථය.- මාර්ටින් කැයිඩින් මහතා.
 4. තරුලොව සඟරාව.