Wednesday, December 8, 2021

නිහඬ වීම

 

හදිසියේ දාන්න හිතුනා පොඩි සටහනක් බ්ලොග් එක ට. මේක මගේ සාම්ප්‍රදායික සටහනක් වගේ නම් නොවෙන්න පුළුවනි. මොකද මේක ලියන්න පාදක උන කතාව ඇදුනේ හදිසියේ, ඒ වගේ ම ඒ සිද්ධිය තාම යන ගමන් තියන්නේ.

සටහන ට ප්‍රවේශයක් මම මෙහෙම අරගන්නම්- මම බ්ලොග් ලෝකේ ට ඇවිත් දැන් අවුරුදු 10ක් වෙනවා. ඒ මේ කාලේ ඇතුළත සන්නිවේදනය කියන එක සෑහෙන පිමි ගාණක් පැනලා ඇවිල්ලා තියනවා. අපි දන්නා කාලේ අරගෙන බැලුවොත් ඒ දවස් වල අපි පාවිච්චි කරේ සාමාන්‍ය කෝල්, sms මැසේජ්, උපරිම ෆේස්බුක් චැට් එක වගේ සීමිත මාර්ග කිහිපයක් එදිනෙදා කට්ටිය එක්ක සම්බන්ධ වෙන්න. ෆේස්බුක් චැට් එක ඒ කාලේ ෆෝන් වලින් ලයිව් දුවන්න හැමෝට ම පුළුවන් උනේ නෑ. ඒ කියන්නේ ඇත්ත ම කිව්වොත් ඒ කාලේ ඔන්ලයින් ඩේටා බැඳීම් ලොකුව ට තිබ්බේ නෑ කියන්න පුළුවන් පොදුවේ.

හැබැයි 2011 තිබ්බ ඒ තත්වේ ත් එක්ක බලද්දී 2021 තත්වේ සෑහෙන වෙනස්. අද අපි ට බොහෝ දුර ට ඕනෑම තැනක ඉඳගෙන, ඕනෑම වෙලාවක ලෝකේ ඕනේ ම තැනක ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියනවා (න්‍යායාත්මක වශයෙන් හරි). ඒකෙ ප්‍රතිඵලයක් විදිය ට, අපි ට ඉතාම ලේසියෙන් අපි අගය කරන, ආදරය කරන අය එක්ක පැය 24 පුරාවට ම සම්බන්ධකම් පවත්වන්න, කතා කරන්න, වීඩියෝ කෝල් විදිය ට දකින්න එහෙමත් පුළුවන් වෙලා තියනවා.

ඒත්, මේ ලඟදි ඉඳන් මට ආපු ප්‍රශ්නයක් තමා, යම් දවසක මේ සේවා සහ යෙදුම් නැති උනොත්, හදිසියේ බිඳ වැටිලා හෝ තහනම් වෙලා හෝ මොන ම ක්‍රමයක ට හරි ඒවා අභාවය ට ගියොත්, අපේ පැවැත්ම කීයෙන් කී දෙනෙක් ට මතක් වෙයි ද, අද අපි එක්ක වරු ගණන් (සමහර අය ට දවස් ගණන්) එක දිග ට කතා කරන කීයෙන් කී දෙනෙක් අපි ගැන හොයල බලයි ද, සරල ව ම අපේ සම්බන්ධතා හදිසියේ බිඳ වැටීම කියන එක කී දෙනෙක් ට නෝට් වෙයි ද කියන එක.

මේක ඉතිං හිතේ තිබ්බා මිසක්, හොයල බලන්න ක්‍රමයක් තිබුනේ නෑ, උවමනාවක් තිබුනෙත් නැහැ ලොකුව ට. මීට මාස කීපයක ට උඩ දී එක පාරක් වට්සැප් එන්න බැරි වෙලා මම උගන්නන ළමයි ටිකක් මට කොරෝනා හදවලා කොරන්ටින් සෙන්ටර් යවල ත් තිබ්බා. ඒ නිසා මේ කාලේ නම් කොහොමත් අදහසක් තිබ්බේ නැහැ ඒක ට්‍රයි කරලා බලන්න.

නමුත්....

මේ පහුගිය සඳුඳා, ඒ කියන්නේ 6 වෙනි දා හවස 7.00 ට වගේ මම වට්සැප් මැසේජ් මුකුත් තිබුනේ නැති නිසාත්, කාලෙකින් පරණ කම්පියුටරේ නොදැම්ම නිසාත්, ෆෝන් එක ඕෆ් කරලා, සිම් එක ගලවල ඩොන්ගල් එක ට දාලා, ඒ කම්පියුටර් එකෙන් ඉන්ටර්නෙට් යන්න බැලුවා (ඒකෙ තියන්නේ වින්ඩෝස් Xp). මට ඇත්තට ම බලාගන්න ඕනේ උනේ එක වැඩ කරනවා ද කියල විතරයි (ඒ කම්පියුටරේ ගැන වෙන ම පෝස්ට් එකක් ලියනවා). ඒක ට අවශ්‍ය සොෆ්ට්වෙයා එහෙම දාලා ඉවරලා ඉන්ටර්නෙට් යනකොට රෑ 8යි. කාලා එහෙම ඇවිත් සිංහල ෆොන්ට්ස් ටිකක් එහෙම දාලා, ඔන්න ගූගලා ව එහෙම හම්බෙලා, අර පරණ මිනි ක්ලිප් සයිට් එකේ ෆ්ලෑෂ් ගේම්ස් ටිකක් ප්ලේ කර කර ඉද්දි, යාළුවෙක් ගෙන් කෝල් එකක් ආවා.

ඒක ඉවර කරලා කම්පියුටරේ ඕෆ් කරද්දී මම හිතන්නේ රෑ 11 වගේ වෙන්න ඇති. ෆෝන් එකේ බැටරි ත් බැහැල තිබ්බ නිසා එහෙම ම දාලා, මම නිදාගත්තා. පහුවදා පුරුද්ද ට මම ෆෝන් එක ඔන් කරා (සිම් එක ඩොන්ගල් එකේ කියල මට ගාණක් ගියේ නෑ). ඊයේ වට්සැප් ලොග් වෙන්න උවමනාවක් තිබ්බේ නැහැ මොකක් හරි හේතුවක ට. මට සිම් එක මතක් උනේ ඊයේ රෑ නිදාගන්න යද්දී.

කොහොම හරි, අද උදෙත් නැගිටලා, මූණ කට හෝදලා තමා සිම් එක අරගෙන ෆෝන් එක ඔන් කරේ. කියන්න සංතෝසයි මිත්‍රවරුනි, එක ම එක කෝල් එකක්/ මැසේජ් එකක් තිබ්බේ නෑ. මිස්ඩ් කෝල් ඇලර්ට් එක මම ඇක්ටිව් කරලා තියන්නේ. එක ම එක මැසේජ් එකක් තිබ්බා මම ඊයේ කොළඹ යන්න හිටියා, ඒක ගැන අහලා යාළුවෙක් ගෙන්. එච්චර ම තමා. අද දවස ම ෆෝන් එක ඔන්. කෝච්චියක් ගැන අහන්න ආපු එක කෝල් එකක් ඇරෙන්න, මේ වෙලාව (රෑ 11.30) වෙනකල් එක ම එක මැසේජ් එකක්/ කෝල් එකක් නෑ. ඉස්කෝලෙන් ඊමේල් එකක් වත් නෑ!

ඔන්න ඔහොම තමා ඉතිං ඒකේ කතන්දරේ. මේක ලියන්නම් කියල හිතුවේ, ඇත්තට ම අපි මිනිස්සු එක්ක කතා කරා ට, සම්බන්ධ කම් පැවැත්තුවා ට, හදිසියේ වත් ඔය කනෙක්ෂන් ඩ්‍රොප් උනොත්, නැත්තම් හදිසියේ වත් ලොකු හේතුවක් නැතුව හෝ ඇතුව ම උනත් සතියක් දෙකක් වගේ ඕවා පාවිච්චි නොකර හිටියොත්, ඔය කතා බහ කරන කට්ටියගෙන් කීයෙන් කී දෙනෙක් තමන් ගැන හොයල බලයි ද කියන ප්‍රශ්නාර්ථය නිසා.

මේක මට විතරක් නෙවෙයි, මම හිතන්නේ අපි ගොඩ දෙනෙක් ට පොදු දෙයක්. ඒ වගේ ම මට තව මතක් වෙච්ච දෙයක් තමයි, ඔය 2016 ට වගේ කලින් දවස් වල, මට ලොකුව ට ඉන්ටර්නෙට් තිබුනේ නැහැ. අප්පච්චිගේ රුපියල් සීයේ රීලෝඩ් එක මාසයක් දුවන්න ඕනේ ඒ කාලේ කොහොම හරි. එතකොට තිබ්බ ෆෝන් එකේ වට්සැප් එහෙම තිබුනෙත් නෑ. ෆේස්බුක් එකෙත් සීමිත පිරිසක් එක්ක තමා මම සම්බන්ධ වෙලා හිටියේ, ඒකෙන් ප්‍රධාන ම කට්ටිය තමා අපේ “යකඩ යකා” සමූහයේ කට්ටිය.

මට ඉන්ටර්නෙට් යන්න ඩේටා පැකේජ් එක ඉවර උනා ම මම ඉතිං ගොඩක් වෙලාව ට නිකම්ම නිශ්ශබ්ද වෙනවා. දවසක් වගේ යනකොට ගොඩක් වෙලාව ට ඒ ගෘප් එකේ ඇඩ්මින් කෙනෙක් sms එකක් දාලා අහනවා “මොකෝ නිශ්ශබ්ද?” කියල. ඒකට රිප්ලයි කරගන්න සල්ලිත් නැති වෙච්ච වෙලාවල් තිබ්බා (මම ෆෝන් එකේ අන්තිම රුපියල් 10 වගේ වියදම් කරන්නේ නෑ ලොකු ම අවශ්‍යතාවයක් උනොත් කියල). ඒ වෙලාව ට ඉතිං මෙහෙ තියරිය දන්න ඒ කවුරුහරි පොඩි රීලෝඩ් එකක් දාපු වෙලාවල් තිබ්බා. එහෙම සමහරු ඉන්නවා තමන් එක්ක ඉන්න අය ගැන හොයල බලන.

තව ත් දෙයක්- අද කාලේ මම දකින දෙයක් තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ තත්‍ය ලෝකේ, ඒ කිව්වේ තමන් ඇත්ත ට ජීවත් වෙන, තමන් ගේ ගෙදර අය, නෑයෝ වගේ අය එක්ක ආශ්‍රය ගොඩක් ම අඩු කරලා දාලා තියනවා. එක ගෙදර ම උනත් ඉන්න අය ගොඩක් වෙලාව ට ඉන්නේ තම තමන්ගේ අතත්‍ය ලෝක වල. එක ගෙදර ජීවත් වෙන සැමියා සහ බිරිඳ පවා දන්නා හඳුනන නන්නාඳුන්නන් බව ට පත් වෙලා තියනවා. අම්මල - දරුවෝ එක්ක කතා කරපු අවස්තාවක් ඇහුවොත් මතක් කරගන්නත් බැරි වෙන තත්වයක් දක්වා ගිහිං තියනවා.

හැබැයි ඒ මිනිස්සු අපි ව යම් දවස ක දාලා ගියාම, කියාගන්න බැරි උන දේවල්, විඳින්න බැරි උන මතක ගැන හිත හිතා තැවී තැවී දුක් වෙනවා. ඒකටත් සමාජ ජාල තමා පාවිච්චි කරන්නේ. අද කාලේ ගොඩ දෙනෙක් තමන්ගේ අතිශය පෞද්ගලික කරුණු කාරනා පවා පිටස්තර අය එක්ක විවෘත ව සාකච්ජා කරනවා. ඒ උනා ට තමන් ගේ ගෙදර අය එක්ක, පවුල එක්ක නොකියන තරමයි  (මේක ට විවිධ හේතු තියෙන්න පුළුවන්).

හැබැයි, කොච්චර කොහොම හිටියත් මට නම් කියන්න තියන්නේ ඔය බැඳීම් තියන්නේ කනෙක්ෂන් තියනකල්, ෆෝන් වල බැටරි තියනකල් විතරයි. ඒ වගේ ම, ගොඩ දෙනෙක් ඔය යාළුකම් තියාගෙන ඉන්නේ එක එක්කෙනාගෙන් උදව් තියනකල්, පාළු කපනකල් විතරයි. තමන්ගෙන් ඒ දේවල් වෙන්නේ නැති උනා ම, නැත්තම් මොකක් හරි හේතුවක ට නතර උනා ම, වහාම ඒවා අමතක වෙනවා. මම කොහේ හරි කියෙව්වා ආදර සම්බන්ධතාවයක් උනත් කැඩුන ට පස්සේ උපරිම විඳවන්නේ දවස් 20ක් වගේ කියල.

ඒ නිසා අවසානය වශයෙන් දෙයක් කිව්වොත්, අපි හැමෝ ම හිතට ගන්න ඕනේ දෙයක් තමා, ඩේටා යාළුකම් (ඕනේ නම් බැඳීම්) වලින් එහා ලෝකයක් තියනවා. ඒකෙ අපි ට ගොඩක් දේවල් කරන්න, යෙදෙන්න, විඳින්න තියනවා. ඩේටා බැඳීම් වල හිර වෙලා ඉන්නේ නැතුව මේ ලෝකය විඳලා බලන්න. තමන් දෙයක් ඉගෙනගනීවී. ඒ වගේ ම, කිසි ම දවස ක තමන් ගේ සමීපතමයින් එක්ක ගත කරන කාලය අහිමි කරගන්න එපා. එහෙම අය නැත්තම්, තමන් තමන් ට වැඩක් කරගන්න.    

 

16 comments:

  1. ඔය කථාව ඇත්තම ඇත්ත!~ අපි ඉඳලා හිටලා අපගේ ඨීපී තෙ ශම්ප් සිටෙ එකට ගියාම සිග්නල් තියා සමහර දවස් වලට ෆෝන් එක ඕන් කරගන්නවත් වෙන්නේ නෑ. සිඝ්නල් නැතුව ෆෝන් එකක්; ආයේ විට කොටන්නයෑ!? වෙලාවකට ඒක පුදුමාකාර සහනයක්! කාලය ඉතිරි වීමක්!
    කොහොමත් මට ලැබෙන ඇමතුම් වලින් සීයට අනූවක්මත් මම ගන්නා ඇමතුම් වලින් සීයට අනූ පහක්මත් අවශ්‍යතා පදනම් කරගෙන හුවමාරු වෙන ඒවා! බොහොවෙ විට මා ඇමතුම අරඹන්න යොදන වාක්කිය වෙන්නේ "මොනවද වෙන්ඩ ඕන!?" කියන ප්‍රශ්ණර්තයම මයි! මම ඇමතුමක් ගන්නකොට මම මුලින්ම කියන වැකිය "මචං දන්නවානේ මං කෝල් එකක් ගන්නේ වැඩකටම කියලා!?" එහෙම වෙලත් දවසේ පැය 24 මදි මේ මගුලට!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔලුව ට නම් සෑහෙන සහනයක් තමා. මමත් ගොඩක් වෙලාව ට දැන් එන කෝල් වල ට උත්තර දෙන්නේ ඔය විදිය ට තමා. "මොකද්ද වෙන්න ඕනේ" කියන එකෙන්.

      Delete
  2. මේක සිරා කතාවක් බං. ඔය විස්තරේ හොඳටම දැනෙන්නේ රටෙන් එළියේ තනියම ඉද්දී. ෆෝන් එක, social media නැත්නම් කිසිම connection එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අයියා. අපි මේ ලංකාවේ ඉඳල ත් මෙහෙම නම් ඔයාල ට කොහොම ද කියල හිතාගන්න පුළුවන්.

      Delete
  3. හදවතින්ම එකඟයි මේ කියන කතාවත් එක්ක.
    හැබැයි හොයා නොබැලුවට වෙච්ච පොරොන්දුවක් නම් ඉෂ්ඨ කළා ඊයේ (08).

    ReplyDelete
    Replies
    1. දැක්කා මල්ලි ඒක.. ස්තුතියි!

      Delete
  4. අපි වගේ සද්ද නැතුව හිටියනං ඔහොම දෙයක් උනාය කියල ලොකු අවුලක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් අවුලක් නෑ, ඇත්තට ම දවස් දෙක වෙනද ට වඩා සැනසිල්ලේ හිටිය ද කියලත් හිතුන වෙලාවල් තිබ්බා.

      Delete
  5. හදිසියේ සියල්ල බිඳ වැටුනොත් මොකද වෙන්නෙ කියන එක විද්‍යා ප්‍රබන්ධ වලටත් කේමා වෙච්ච හොඳ මාතෘකාවක්. මට මතක් වෙනවා කියවපු පොත් දෙකක්. Edmand Cooperගෙ All Fools Day කියන පොතයි Johm Wyndhamගේ The Day of the Triffids කියන පොතයි. ලෝකයේ සියළු සන්නිවේදන හා නිෂ්පාදන මාර්ග බිඳ වැටුනොත් මොකද වෙන්නෙ කියලා හිතන්න කැමති නම් රස විඳින්න පුළුවන් පොත් දෙකක්.

    ReplyDelete
    Replies
    1. ඒ දෙක කියවල බලන්නම්. ස්තුතියි! මමත් ඒ පැත්ත ට ටිකක් උනන්දුයි.

      Delete
  6. ෆෝන් එක කැඩිලා කෙල උනාම එන ෆීලින් එක අඟහරුවා කියන කතාව ඇතුලේ මට දැනිලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් අන්න ඒ වගේ වෙලාවල් වල ත් දැනිලා තියනවා මට ත් ඒක. කොරෝනා එන්න සෑහෙන කාලෙක ට කලින් 2017 ෆෝන් එක හදන්න දෙන්න උනා ම ඕක උනා.

      Delete
  7. ඇත්ත. මෙච්චර පහසුකම් නැති කාලෙ අපේ තාත්තලට තිබුණු විවේකෙ අපට නැත්තෙ මේ උවමනා නැති සම්බන්ධකම් නිසාත් තමා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. එන අවුරුද්දේ බලන්න ඕනේ මේවායින් ඈත් වෙන්න.

      Delete
  8. කනෙක්ෂන් ඩ්‍රොප් උනාම අපි ගැන හොයන්නෙ නෑ වගේ. අපි අනිත් අය ගැන ඒ විදිහට හොයනවද කියන කාරණයත් ටිකක් හිතන්න ඕන. කොහොමත් අපි වැඩි හරියක් බලාපොරොත්තු, ලැබෙන නොලැබෙන දේ ගැන නෙ. මං නම් දෙකටම කාලෙක ඉඳන් හුරු වෙලා ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. මම නම් සාමාන්‍යයෙන් ලඟින් ආශ්‍රය කරන්නේ බොහොම ස්වල්ප දෙනෙක්. එයාල ට නම් මැසේජ් එකක් හරි දානවා දවස ට. අඩු ම ගුඩ් මෝනිං කියල හරි. මොන වැඩේ තිබ්බත් මම ඒක කරනවා.

      Delete