Monday, February 21, 2022

ආතක් පාතක් නැතුව ගිය හයික් එක..


           අවුරුදු දෙකක ට වගේ පස්සේ ඔන්න ආපහු වතාවක් රේල් පාරක් දිගේ යන්න අවස්තාවක් හම්බුනා. ඒ ගැන තමා අද ලියන්න ආවේ.

මේ හයික් එකේ විශේෂතා කිහිපයක් ම තියනවා ඇත්ත ම කිව්වොත්. එකක් තමා වෙනදා හයික් එක සාමාන්‍යයෙන් යන්නේ අදාළ සෙක්ෂන් එක ගැන සෑහෙන්න හොයල බලලා, බලන්න තියන දේවල්, කෝච්චි කාලසටහන් බලලා, අදාළ පාර්ශව දැනුවත් කරලා, යන කට්ටිය කලින් සෙට් කරගෙන එහෙම වැඩ ගොඩක් කරලා.

හැබැයි මේ හයික් එක ඇත්තට ම තීරණය උනේ උදේ කෝච්චිය ට නැගලා යාළුවා හම්බ වෙලා මග දුරක් ගියාට ත් පස්සේ. යන්න ගියේ මාතලේ. අන්තිම ට නැවතුනේ අතරමගින් හයික් එකක් වෙලා.

ආ තව විශේෂත්වයක් තියනවා. වෙනදා අපි හයික් යන්නේ ප්‍රධාන මාර්ගය දිගේ සෙක්ෂන් එකක් තෝරාගෙන නේ. මේ පාර හයික් එක ගියේ මාතලේ මාර්ගයේ. ඒකත් සම්පූර්ණ ටැබ්ලට් සෙක්ෂන් එකක් නෙවේ. ටැබ්ලට් සෙක්ෂන් දෙකක සබ් ස්ටේෂන් දෙකක් අතර. ඒ තමයි උඩතලවින්න සහ පතන්පහ.

         මේ ගමන මුලින් ම සැලසුම් උනේ මාතලේ ට දුම්රිය ගමනක් විදියට. මහරගම ඉන්නවා මගේ යාලුවෙක් (ඇත්තට ම මට මුලින් ම හම්බුනේ මේ බ්ලොග් එකේ කමෙන්ට් වලින් ම තමා), මලිඳු ගිම්හාන් කියල. දුම්රිය ගැන හොයල බලන ආසාව තියන හැමෝ ම එක කුලකයක ට දාලා “කෝච්චි පිස්සෝ” කියල සාමාන්‍ය සමාජය හැඳින්නුව ට, ඒකෙත් ඇතුලේ එක එක දේවල් ගැන විශේෂයෙන් හොයන අය ඉන්නවා. මේ මල්ලි ගේ වැඩි උනන්දුව තියන්නේ දුම්රිය ප්‍රවේශපත් සහ උතුරු මාර්ගය පැත්ත ට. පෝය දවසේ, ඒ කියන්නේ 16 වෙනිදා මේ මනුස්පයා ආවා නුවර ට.

ඉතිං ඔන්න ඔය ප්‍රවේශපත් ගැන හොයන්න යන්න ඕනේ කියල මේ මුණියා කීවේ මාතලේ කෝච්චිය නුවරින් ඇද්දටත් පස්සේ! කාලා වරෙන්කො. යන්න තියන්නේ උඩතලවින්න ට ය, එතනින් වත්තේගම ට ගියා ට පස්සේ වෙන කරන්න දෙයක් නැති ය කියල ත් කියපි. දැන් ඉතිං වත්තේගම ට වෙලා පොල් ගාන්න යැ ඩවුන් එක එනකල්. මම එහෙනං පෙරළුණු පිට වඩා හොඳයි කියල කිව්වා එහෙනම් වෙනසක ටත් එක්ක යමං උඩ තලවින්නේ ඉඳන් වත්තේගම වෙනකල් පයින් කියල. 

මේ තමා අංක 236 දුම්රිය. මේක එදා නාවලපිටිය දුම්රිය එක්ක මාරු වෙන්න පේරාදෙණියේ දී පාෂ මාර්ගය ට දාන්න උනා. මේ එවෙලේ ගත්ත ෆොටෝ එකක්. 

දැන් ඉතිං ඔහොම තීරණය කරගත්ත ට පස්සේ අපි උඩතලවින්න ට ආවා කොහොම හරි. අපි ගියේ උදේ නාවලපිටියේ ඉඳන් මාතලේ යන පාසල් දුම්රිය, එහෙම නැත්තම් අංක 236 දුම්රියේ. වෙනද ට මේක ට දාන්නේ W3 හරි M5 හරි පන්තියේ එන්ජිමක්. ඒ උනාට මේ දවසේ දාලා තිබ්බේ නුවර මේ දවස් වල තියන M7 එන්ජිම. අංකය 802. හැබැයි වැස්ස නොතිබ්බ නිසා ලොකු අවුලක් ගියේ නැහැ. වෙලාවට ම ආවා උඩතලවින්නට. 

මේ තියන්නේ ඉස්සර විදුලි ආලෝකය එන්න කලින් වේදිකා ආලෝකමත් කරන්න භාවිතා කරපු ක්‍රමයේ නෂ්ටාවශේෂ. ඔය කණුවේ උඩ තියනවා කේබල් එකක් දාපු කොක්කක්. හවස 6 වගේ වෙනකොට අර සමහර තැන් වල තවම දකින්න තියන "පැට්‍රෝමැක්ස්" කියල හඳුන්වන වර්ගයේ (මේකේ හරි තාක්ෂණික නම Field pressure lamp) ලාම්පු වල ට බිම දී හුළං ගහලා ප්‍රෙෂර් කරලා පත්තු කරලා, පොඩි ස්ටේජ් එකක තියල කොක්ක පාත් කරලා එල්ලනවා. ඊට පස්සේ ඔය ෆොටෝ එකේ තියන එක ට යතුරක් වගේ හැන්ඩ්ල් එකක් දාලා කරකවලා ලාම්පුව උස්සනවා. ඉස්සර ස්ටේෂන් වල "Lamp Room" කියල වෙනම කාමරයක් තිබිලා තියනවා මේ ලාම්පු තියල තියන්න සහ නඩත්තු කරන්න.

උඩතලවින්නේ අර මල්ලි ගේ වැඩ කටයුතු ඉවර වෙනකල් මම කරේ කැමරාව අරගෙන ෆොටෝ ගන්න එක. එතන දුම්රිය ස්ථාන භාර නිලධාරී මහත්මයා ට කියලා, එදා මොනාහරි විශේෂ දුම්රිය තියනවා ද, අපි ට ආපහු එන්න තියන දුම්රියේ වෙලාවල්, යන්න තියන දුර එහෙමත් අහගෙන අපි ඔන්න ගමන පිටත් උනා. 

මේ උඩතලවින්න පහු කරලා ටික දුරක් ආව ට පස්සේ හම්බුන පාලමක්. මේකෙන් හැබැයි මැදින් යනකොට කකුලක් වත් ලිස්සුවොත් නාගෙන තමා ගොඩ එන්න වෙන්නේ.

යන ගමන් කතා කරපු දේවල් වලින් තේරුනේ මලිඳු පළවෙනියට රේල් හයික් එකක් යන්නේ එදා කියල. මම උනත් දුරක් එහෙම මුකුත් නොදැන, ප්‍රධාන මාර්ගයෙන් එළියේ හයික් එකක් යන්නේ පළවෙනි වතාව ට. හැබැයි එහෙමයි කියල, මාතලේ මාර්ගය කියන්නේ බලන්න දේවල් නැති, ඇල්මැරුණු පාරක් නෙවෙයි. 

කෝපි.. මේ කෝපි කොළ වසංගතයෙන් පස්සේ ඉතිරි වෙච්ච ඒවායින් පැවතගෙන එන පරම්පරාව. තැන් කිහිපයක අපි ට දකින්න ලැබුනා මේ වගේ..

මහනුවර නගරය ට පිවිසෙන්න තියන්නේ දුම්රිය ප්‍රවේශ දෙකයි. එකක් පේරාදෙණිය, අනික මාතලේ මාර්ගයේ කටුගස්තොට. මාතලේ මාර්ගය විහිදෙන්නේ දුම්රිය මාර්ග සම්බන්ධයෙන් ගත්තොත් නම් ඉතාම දුෂ්කරයි කියල කියන්න පුළුවන් ප්‍රවේශයක් ඔස්සේ. 

මාතලේ මාර්ගය වැටිලා තියන්නේ ගොඩක් ම වෙලාව ට මෙන්න මේ වගේ පරිසරයක් මැදින්. බැලස්ට් එහෙම අඩුයි, මෑත දී යම් තරමක ප්‍රතිසංස්කරණයක් වෙලා තිබ්බත්, ගොඩක් තැන් වල වේග සීමා එක්ක තමයි දුම්රිය ධාවනය වෙන්නේ. ඔය වම් පැත්තේ පීල්ල ලඟින් තියන අමතර පීල්ල ට කියන්නේ "Guard Rail" කියල. කෝච්චියක් හදිසියේ පීලි පැන්නොත් රෝදේ ඔය පීලි දෙක අස්සට හිර වෙනවා.

මේක ට එක හේතුවක් තමයි මාර්ගය ඉදිකරලා තියන භූමියේ ස්වභාවය. මේ හරියේ පස් වල මැටි ස්වභාවය ඉතාම අධිකයි. ඒ වගේ ම තමා භූගත ගංගා සහ ජල මාර්ග සෑහෙන්න තියනවා. මාර්ගයේ තව ඉස්සරහට යනකොට හුණුගල් ස්ථර එහෙමත් හම්බ වෙනවා. ඔන්න ඔය නිසා පසේ ඉසිළුම් ධාරිතාවය අඩුයි. 

මීගම්මන දුම්රිය නැවතුම. බලන්න මෙතන තියන මාර්ගයේ ආනතිය..

අනික් කාරණය තමයි මහනුවර සහ මාතලේ සම්බන්ධ කරන ප්‍රවේශයේ භූ විෂමතාවය. මේ මාර්ගයේ උපරිම ආනතිය (Ruling gradient) තියන්නේ 50:1 වගේ. ඒ කියන්නේ අඩි 50ක් යනකොට අඩියක් ඉස්සෙනවා/ පහල බහිනවා කියන එක. මේක අර උඩරට මාර්ගයේ වගේ එක දිගට තියන බෑවුමක් නොවුනට, එක ළඟ ළඟ මේ නැග්ම/බැස්ම මාරු වෙනවා. 50:1, 80:1, 88:1 මේ වගේ තැන් හැතැම්ම කාලෙන් බාගෙන් වගේ හම්බ වෙනවා. 

මේ බලන්න බෑවුමත් එක්කම ළඟ ළඟ වංගු තියන විදිය. මේ පාරේ මේ වගේ තැන් තමයි සෑහෙන්න තියන්නේ.

ඊළඟ ට මේ මාර්ගයේ තියන වංගු. දම්වැල් 7 ½ ක වංගු ගොඩක් මේ මාර්ගයේ හම්බ වෙනවා. ඒවා උඩරට මාර්ගයේ දම්වැල් 5 වංගු එක්ක බලද්දී එච්චර තියුණු නැහැ තමයි. ඒ උනාට මාතලේ මාර්ගයේ මේ වංගු එක දිගට ම, දෙපැත්ත ට හැරි හැරී අහු වෙන්නේ. අපි ඇවිදපු සෙක්ෂන් එකෙත් මේ වගේ තියුණු වංගු හම්බ වෙනවා. ඒ වගේ ම සමහර තැන් වල මේ වංගු වමට එකයි, අඩි 50ක ට ත් කලින් ආය දකුණට එකයි වගේ හම්බ වෙනවා. 

වෙනදා මූණු පේන්න ඔහේ ෆොටෝ ගන්න පුළුවන් උනා ට දැන් ඒ කාලේ ගියා. හැබැයි ඉතිං එහෙමයි කියල ෆොටෝ නොගෙන ඉන්නත් බෑ නේ..

අපි ඇවිදින්න ගත්ත පළවෙනි සෙක්ෂන් එක උඩතලවින්නේ ඉඳන් වත්තේගම ට. ඒ කියන්නේ හැතැම්ම 3ක් වගේ. මේ සෙක්ෂන් එක ම වගේ දිය පාරක් අද්දරින්, ග්‍රාමීය පරිසරයක් හරහා යන හරි ම ලස්සන, සුන්දර සෙක්ෂන් එකක්. වටේපිටේ ලොකු බංගසාල ගෙවල් එහෙම නැති ම තරම්. එක අතක ට මේක නිකම් කැලණිවැලි මාර්ගයේ කොටසක් ගලවල මෙහාට ගෙනාවා වගේ. 

මේ තියන්නේ වත්තේගම ට ආසන්නයේ ම තියන "යටිරාවන" කියන දුම්රිය නැවතුම. මේවා Estate Halts, ඒ කිව්වේ වතු වේදිකා විදියට තමා ගොඩක් වෙලාව ට ආරම්භ වෙලා තියන්නේ. 

කොහොමිං හරි අපි වත්තේගම ස්ටේෂන් එක ට හිතුව වෙලාව ට වඩා කලින් ආවා. වත්තේගම කියන්නේ මාතලේ මාර්ගයේ තියන ප්‍රධාන දුම්රිය ස්ථානයක්. එක වැර දුම්රිය 3ක් නවත්තල තියන්න වේදිකා තියන, ගබඩාවක් එක්ක පැති මාර්ග 5ක (දැන් වැඩ කරන්නේ 3යි) අංගනයක් තියනවා. ලඟදි ප්‍රධාන වේදිකාව උස්සල තියනවා බලවේග කට්ටල එහෙම දුවන්න ගත්තයින් පස්සේ. 

වත්තේගම දුම්රිය ස්ථානය ප්‍රධාන මාර්ගයේ සිට. බලන්න කිසිම වේදිකාවක සැමෆෝ සංඥා නැහැ. 

එතන සේවයේ හිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගෙන අදාළ අවසර ගත්තයින් පස්සේ අපි ටිකක් අංගනය ඇතුලේ ඇවිදලා බැලුවා. අර මල්ලි නම් එතනත් ටිකට් ගැන තමයි උනන්දු උනේ. මම ඉතිං සංඥා පද්ධතිය, පාෂ මාර්ග ටික, එතැනින් එහාට ගිහාම අංගනයේ සැලැස්ම වගේ දේවල් පොඩ්ඩක් හොයල කරලා බැලුවා. කලින් මේ දුම්රිය ස්ථානය ගැන හොයල බලල නොආපු එකේ අවුල සෑහෙන්න තේරුනා, මොකද මොනවා ද බලන්න තියන විශේෂ දේවල් කියල දළ අදහසක් ඔලුවේ නොතිබ්බ නිසා. 

මේ තියන්නේ වත්තේගම ට කටුගස්තොට පැත්තේ ඉඳන් එනකොට හම්බ වෙන Outer Home සංඥාව (රතු මුහුණත) සහ වත්තේගම ඉඳලා එනකොට හම්බ වෙන Advanced Starter සංඥාව (සුදු මුහුණත). සාමාන්‍යයෙන් සැමෆෝ සංඥාවක් පිහිටවන්නේ දුම්රියේ රියදුරු මහතා අසුන් ගන්න පැත්තේ (ඒ කියන්නේ වම් පැත්තේ). මේක වෙනස් වෙන වෙලාවල් තියනවා. එතකොට මොන සංඥා ද තමන් ට අදාළ වෙන්නේ කියන එක බලාගන්න තියන ක්‍රමය තමා සැමෆෝ සංඥා අතේ දෙපැත්ත ට පාට දෙකක් පාවිච්චි කරන එක. ධාවනයේ දී සලකන්නේ මුහුණත රතු පැත්ත පෙනෙන සංඥා පමණයි. Distant Signal වල දී මුහුණත කහ වෙනවා.

කොහොම හරි, වත්තේගම දුම්රිය ස්ථානය ගැන මම දැකපු විශේෂ දෙයක් තමයි, මේ දුම්රිය ස්ථානය කොච්චර ලොකු උනත්, සංඥා කුටියක් නැහැ. වේදිකාවේ ලීවර දෙකක් තිබුනට, පැති මාර්ග ඔක්කොම වගේ පාලනය වෙන්නේ (මම දැකපු හැටියට) “ගුණ්ඩු පයින්ටු” කියල ලංකාවේ හඳුන්වන (මේක ට ඉංග්‍රීසි වචනයක් අනිවාර්යයෙන් ඇති. ඒක හොයාගන්න ඕනේ) පයින්ටු ක්‍රමයෙන්. මේක තරමක් දුර ට අනාරක්ෂිතයි කියන්න පුළුවන්, මොකද මේවා ටැබ්ලට් යන්ත්‍රය එක්ක සම්බන්ධයක් නැහැ. 

මේ තමා වත්තේගම දුම්රිය ස්ථානයේ වේදිකාවේ තියන සංඥා ලීවර දෙක.

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් හැටියට, මේ වගේ දුම්රිය ස්ථාන වල මෙහෙයුම් නැති වෙලාවල් වල සියලු ම පයින්ටු ප්‍රධාන මාර්ගය ට හරවල ඉබි යතුරු දාලා තමයි තියන්නේ. අපි ට මේකත් දකින්න ලැබුනා. ඒ වගේ ම තමයි, වත්තේගම දුම්රිය ස්ථානයේ පිටවීමේ හෝ ඇතුළු කිරීමේ සැමෆෝ සංඥා නැහැ! මේවට පිළිවෙලින් Starter / Platform Starter සහ Admission/ Home Signals කියල කියනවා. වත්තේගම දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන් ම පාලනය වෙන්නේ කොඩි වලින් දෙන සංඥා වලින්. Advance Starter සහ Outer Home සංඥා නම් තියනවා දකින්න ලැබුනා. ඒවාත් ගේට්ටු වලටත් එක්ක තමා තියන්නේ. මොකද වත්තේගම දුම්රිය ස්ථානය ට ඉතාම ආසන්නයේ දෙපැත්තෙන් ම දුම්රිය මාර්ගය හරහා මහා මාර්ගය ගමන් කරන තැන් තියනවා. 

අර පොඩි කාලේ තේරවිල්ලක් කිව්වේ -
අරිනකොට වහනවා -වහනකොට අරිනවා
පාර මුර කරනවා - තේරුවොත් දිනනවා
කියල. මෙන්න මේක තමා ඕක ට හරි ම උත්තරේ. මේ වර්ගයේ ගේට්ටු කිහිපයක් තමයි දැන් ඉතුරු වෙලා තියන්නේ. මේ ගේට්ටුව සාමාන්‍ය වෙලාවේ දී රේල් පාර වහනවා. දුම්රියක් එනකොට මහා මාර්ගය වහනවා. ඔය රතු සංඥා ලාම්පු දෙකත් තවම වැඩ. මාතලේ මාර්ගය කියන්නේ සජීවී කෞතුකාගාරයක් වගේ තැනක්.

වත්තේගම වැඩ ටිකත් ඉවර කරලා තවත් වෙලා තිබ්බ නිසා මම කල්පනා කරා තව සෙක්ෂන් එකක් යමු කියල. උකුවෙල ට ම යන්න වෙලාව මදි උනා ට, අඩුම ගානේ පතන්පහ වෙනකල් වත් ඇවිදින්න හිතාගෙන දුර ඇහුව ම හැතැම්ම දෙක හමාරක් වගේ කියල තමා කිව්වේ. ඒක නම් මොකද්ද එහෙනම් යමු කියල පිටත් උනා. 

මාතලේ මාර්ගය ඇත්තට ම කිව්වොත් සාමාන්‍ය දුම්රිය මාර්ගයක් මිස සැහැල්ලු මාර්ගයක් නෙවෙයි. ඒ උනාට පටන් ගත්ත කාලේ වගේ ඉඳල ම මේ මාර්ගයේ සැහැල්ලු එන්ජින් තමයි යොදවල තියන්නේ.වාෂ්ප එන්ජින් කාලේ මේ මාර්ගයේ බැලස්ට් වෙනුවට දාලා තියන්නෙත් ගල් අඟුරු අළු. දැන් උනත් ගොඩක් තැන් වල බැලස්ට් නැහැ, පස් එහෙම තමා තියන්නේ. මේකේ දුම්රිය දුවන්නේ අඩු වේගෙකින්. ඒ දුවන්නෙත් සැහැල්ලු දුම්රිය. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ.

මේ වෙනකොට අව්ව එහෙමත් ටිකක් පායලා. ඒ මදිවට මම උදේ කෑවට පස්සේ මුකුත් කන්නේ වත් නැතුව තමා මෙච්චරලා ඇවිද්දේ. ඉස්සර නම් රේල් හයික් යනකොට අනංමනං මොනාහරි කන්න අරගෙන ගිහින් මග දිග ට කෑවා ට, දැන් එහෙම කරන්න බැහැ නේ තියන තත්වේ එක්ක.. ඉතිං මේ සැරේ මගේ ජාතික හයික් ආහාරය වෙන වේපස් අරං ගියෙත් නැහැ.

මේ සෙක්ෂන් එක කලින් ආපු ටික වගේ නෙවේ. මේ හරියේ ගෙවල් තිබ්බත්, ඒ දුරින් දුරින්. ගොඩක් තිබ්බේ එක එක වගාවල් තමා. අතරින් පතර ගෙයක් දෙකක්, නැත්තම් අඩි පාරක් එහෙම අහු උනේ. මේ පැත්තේ සමහර මිනිස්සුන්ට රේල් පාර තමා බස් පාරේ ඉඳන් ගෙදර ට එන්න තියන එක ම මාර්ගය. සෑහෙන දුරක් බස් එකෙන් බැහැල කට්ටිය රේල් පාර අයිනේ අඩි පාර දිගේ ඇවිදිනවා අපි ට දකින්න ලැබුනා. 

මේ ඇවිල්ලා වත්තේගමින් පතන්පහ පැත්ත ට ටික දුරක් ගියා ට පස්සේ මාර්ගය තනි කෙලින් පිහිටලා තියන කොටසක්. මෙතන තියනවා පුවක්, සාදික්කා වගේ මේ පළාතේ අය වගා කරන දේවල්වල නිකම් හරස් කැපුමක් වගේ පෙනුමක්. ඒ වගේ ම වැටහිර උනත් දර ට එහෙම පාවිච්චි වෙනවා.

මාතලේ ට රේල් පාර එන්න ප්‍රධාන ම හේතුව උනේ, අනික් උඩරට පැති වගේ ම, වගාවන් තමයි. ඒ කිව්වේ කෝපි තමා ලොකුවට ම. හැබැයි 1870 දශකයේ අග අවුරුදු වල මේක හැදෙන්න පටන් අරගෙන 1880 වෙද්දී අවුරුදු 3කින් විතර ඉවර උනා. ඒත් මේ කාලේ ම තමා ලංකාවේ කෝපි වල ට වසංගතය (හෙමිලියා වස්ටාට්‍රික්ස් එහෙම නැත්තම් අර සමහරු කිව්වා වගේ “වනසන එමිලි”) ඇවිල්ලා කෝපි වතු පිටිං ගිනි තියන තත්වේ ට පත් උනේ. මේකෙන් උනේ මාතලේ මාර්ගය හැදුව ට ලාබ වාර්තා කරන්න බැරි උනා සෑහෙන කාලයක් යනකල්.

හැබැයි ඒ වෙනුවට කොකෝවා, තේ වගේ වගාවන් ප්‍රතිස්ථාපනය වෙලා තියනවා ඒ ආසන්න කාලේ ම වගේ. 1910 පදනම් කරගෙන ලියවෙන “Ceylon Along the Rail Tracks” කියන පොතේ හෙන්රි කේව් කියන හැටියට වත්තේගම කොකෝ සහ තේ වතු සෑහෙන්න තිබිල තියනවා.

අපි මේ කතා කරන කාලේ වෙද්දී නම් මේ පැත්තේ තේ වතු දකින්න නැති ම තරම්. ඒ වගේ ම ඉතුරු උන කෝපි ගස් කිහිපයක්, කොකෝවා වගේ භෝග නම් අපි දැක්කා මාර්ගය අයිනේ එහෙමත්. 

මේ පළාතේ තවත් ආදායම් මාර්ගයක් වෙච්ච කොකෝවා. හරි අඩුවෙන් තමයි මම දැක්කේ නම් හැබැයි. කොකෝවා ගන්නේ මොනවට ද කියල දන්නේ නැත්තම්, චොකලට් වල ප්‍රධාන අමුද්‍රව්‍ය තමා කොකෝවා.

ඒ වගේ ම, පස්සේ කාලේ ක වවපු සාදික්කා, පුවක් වගේ වගාවන් අතරින් තමයි අපි මේ ඇවිදින දෙවෙනි සෙක්ෂන් එකේ මාර්ගය වැටිලා තිබ්බේ. අර කලින් කියපු බෑවුම නම් එහෙම ම වගේ තිබ්බා. හරි ම නිස්කලංක පැත්තක් හරහා වැටුණු හරි ම ලස්සන මාර්ගයක්. 

මෙතන තියනවා මේ මාර්ගය අවට දැන ට වගා කෙරෙන භෝග දෙකක්. එකක් තමා ඔය ලඟට ම පේන්න තියන කෝපි. අනික තමා පිටිපස්සෙන් තියන සාදික්කා. 

මාර්ගය V කැපුමක් හරහා ලඟා උනා අපිට හම්බ වෙන යටවර කියන නැවතුම ට. අපි මෙතන ඉඳන් කාලා එහෙම ආපහු කෝච්චිය ට ඉන්නවා ද කියල පොඩ්ඩක් කතා කරලා, දුම්රිය ස්ථානයෙන් කියපු දුර අනුව තව මහා දුරක් නැති වෙන්න ඕනේ කියන තර්කය උඩ, පතන්පහ ට ම යන්න තීරණය කරා. 

V කැපුම තුලින් පෙනෙන "යටවර" දුම්රිය නැවතුම.

 

"යටවර" දුම්රිය නැවතුම. අපි මෙතන නැවතිලා කාලා එහෙම යන්නත් හිතලා, පස්සේ දිගටම යන්න තීරණය කරා.

පතන්පහ දක්වා පොඩි මාර්ග කොටසත් මෙච්චරලා පහු කරගෙන ආපු හරිය වගේ ම උනා ට, ඊටත් වඩා පාලු බවක් ඉසිළුවා. බස් පාරක් පේන්න තියා ඇහෙන්න වත් තිබ්බේ නැහැ ඇත්තට ම සමහර තැන් වල දී. කොහොම හරි මාර්ගය තිබ්බේ ම අපි යන පැත්ත ට බෑවුමක. 

පාළුව ට ගිය දුම්රිය නිල නිවාස සංකීර්ණයක්. මේවා ටිකක් හදලා එහෙම වෙන වැඩ වල ට දෙන්න හරි පුලුවන්නම් දුම්රිය සේවය ට අමතර ආදායමක් වෙනවා සිකුරුයි.

එන්න ඕනේ දුරෙන් භාගයක් වගේ ගියාම මෙන්න මාත් එක්ක ගිය මනුස්පයා කියනවා පොර උදේ ටත් හරියට කාලා නෙවේ ගෙදරින් ආවේ කියල! මමත් උදේ 5.30 ට වගේ කාපු පාර. මේ මනුස්සයා උදේ 2 ට මහරගමින් ඇවිත් තියන්නේ. බල්ලා නයා කාපි ය කිව්වා ලු. දැන් අතරමග නැවතිලා කන්න යැ. කෝච්චිය ට වෙලාවත් කිට්ටු වෙනවා. මේක මිස් උනොත් තව කිලෝමීටර් 1.5ක් වගේ ඇවිදින්නත් ඕනේ බස් පාරක ට යන්න වත්! 

පතන්පහ ලං වෙනකොට මාර්ගයේ දර්ශනය ගොඩක් ම මේ වගේ. හරි ම නිශ්ශබ්ද නිස්කලංක පළාතක්.

දැන් බැඳගත්ත බෙරේ කොහොම හරි ගහන්න ඕනේ කියල අපි ගමන් වේගය ටිකක් වැඩි කරලා, ෆොටෝ ගන්න එහෙම නතර වෙන ඒවා ටිකක් අඩු කරලා ගියා ඉස්සරහ ට. කොහොම හරි, අන්තිමේ කෝච්චිය පතන්පහ ප්ලැට්ෆෝම් එකේ උකුවෙල කෙළවර ට එනකොට අපි වත්තේගම කෙළවරෙන් ප්ලැට්ෆෝම් එක ට නැග්ගා. 

දවසේ ගමනාන්තය. මේකේ නම් වැඩි විස්තරයක් හොයන්න වත් ඇවිදින්න උනේ නැහැ මොක ද අපි මෙතෙන්ට ආවේ කෝච්චිය ට වෙලාවට ම වගේ නිසා. ඔය වේදිකාවේ තියන්නේ අපි ගියපු කෝච්චිය මාතලෙන් එන්ජිම අනික් පැත්ත ට සම්බන්ධ කරගෙන ආපහු එන ගමන්.

කෝච්චිය ට නැග්ගත් හරි මේ මනුස්සයා සීට් එකක් අල්ලාගෙන වාඩි උනා. මම ඉතිං මට සුපුරුදු තැන වෙන පළවෙනි පෙට්ටියේ පළවෙනි ෆුට් බෝඩ් එක ට නැගලා වටපිට බලාගෙන ආවා. මේ ගමන එන්න කලින් දවසේ මගේ නිකොන් පොඩි කැමරා එක චාජ් වෙන්න දැම්මා. උදේ බලද්දී මොකක් හරි අවුලක් ගිහිං ඒකෙ බැටරි කඳුලක් නෑ! මරු නේ.. අන්තිම ට අර ගිය අවුරුද්ද ට කලින් අවුරුද්දේ හම්බුන DSLR එක තමා අරගෙන ගියේ. ඒකෙන් කවර් කරපු පළවෙනි ටුවර් එක උනා මේ ගමන.

අපි ගමන පටන් අරගත්ත උඩතලවින්න ස්ටේෂන් එක තියන්නේ පේරාදෙණිය හන්දියේ බටහිර මාර්ගයේ හැරවුම් ස්ථානයේ ඉඳන් හැතැම්ම 8යි දම්වැල් 72ක දුරින්. වත්තේගම ට හැතැම්ම 11යි දම්වැල් 33ක් දුරයි. එතන ඉඳන් අපි ගමන අවසන් කරපු පතන්පහ ට හැතැම්ම 14යි දම්වැල් 16ක් තියනවා. ඒ කියන්නේ අපි මුළු දුර හැතැම්ම 6ක ට ආසන්න දුරක් ගිහිං තියනවා. කිලෝමීටර් නම් 8ක් විතර (හරියට ම හැතැම්ම 6ක් නොගිය නිසා). අවුරුදු දෙකකින් කරපු පළවෙනි හයික් එක ට ඒ ගාන හොඳට ම ඇති මට අනුව නම්.

කොහොම හරි ඉතිං ඩවුන් එකේ, ඒ කිව්වේ අංක 632 දුම්රියේ අස්ගිරියට ඇවිත්, කාලා එහෙම, මම අර මල්ලි ව නුවරින් අංක 20 දුම්රිය ට දාලා, මම අංක 153 නැත්තම් නුවරින් හවස ස්කුල් ට්‍රේන් එකේ ගෙදර ආවා. මේ දවසේ තවත් විශේෂයක් තමයි, ඔය ඔක්කොම කෝච්චි ටික ඇද්දේ අර උදේ හම්බුන M7- 802 එන්ජිම ම තමා. ගෙදර ඇවිල්ලත් පැයක් විතර කණ ඇතුලේ M7 එකේ සද්දේ..

ඉතිං ළමයි, ඔන්න ඔහොම තමා 2022 අවුරුද්දේ පළවෙනි රේල් ටුවර් එකේ චාරිකා සටහන. කොරෝනා එක අපි දකින විදියට තමන් ගේ තටු අකුලාගනිමින් ඉන්න කාලෙක, මෙහෙම හරි ගමනක් යාගන්න හැකි උන එක ඇත්තට ම හිත ගත දෙකට ම ලොකු සැනසීමක්. විශේෂෙන් මේ පහුගිය දවස් ටික මට ටිකක් අවුල් දවස් ටිකක් කියන්න පුළුවන්. ඒ පීඩනයත් අඩු උනා මේ ගමනෙන්.

මේ ගමන සාර්ථක කරගන්න උදව් උනා කීප දෙනෙක්. එයාල ට ස්තුති නොකරොත් ඒක අඩුවක්. විශේෂයෙන් ඉන්දික කුමාරසිංහ අයියා ඇතුළු කටුගස්තොට, වත්තේගම, මහනුවර දුම්රිය ස්ථානාධිපති වරුන්. ඊළඟ ට, ටිකට් හොයන්න නුවර ඇවිල්ලා, රේල් පාරක් දිගේ මගේ පච වට්ටෝරුව අහගෙන බඩ ගාපු මලිඳු මල්ලි ට. හයික් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා මල්ලි ලස්සන කතාවක් කිව්වා. ඒකත් කියල ම මම සටහන ඉවර කරන්නම්..

“ආය නම් අයියේ ඔයා ට ගමනක ට එන්න කියන්න කලින් දෙපාරක් නෙවෙයි තුං පාරක් ම හිතනවා..” ඔන්න ඔහොමයි ළමයි ශ්‍රාවක ප්‍රතිචාර..

14 comments:

  1. අපො බං උඹව මං දැක්කොත් නං හැංගෙන්වා. ඔය කයි කෝචිචියට හව් වෙනවට වඩා මැරෙන එක සැපයි.

    වත්තෙගම ස්ටේසමේ ඉදල පාරට කොච්චර දුරද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මනුස්පයා අරහෙම කිව්වේ හයික් එකක් ඇදගෙන ආපු එක ට.
      වත්තේගම නම් ලොකු දුරක් නැහැ අල්ලපු වැට වගේ.

      Delete
  2. මම ගැන දීලා තියෙන වර්ණනාවට බොහොම ස්තුතියි 😂

    ReplyDelete
  3. මං නම් මගෙ ජීවිතේට ඔහොම ගමනක් ගිහින් නෑ.�� හැබැයි ඒකෙත් පොඩි interesting ගතියක් තියෙනවා කියලා තේරුනේ මේක කියවද්දි ❤️��

    ReplyDelete
    Replies
    1. ඔව් රේල් හයික් එකක් දැනගෙන යනවා නම් ගොඩක් දේවල් බලන්න ඉගෙනගන්න පුළුවන්.

      Delete
  4. බොහොම ස්තූතියි මේ අපූරු ගමන, ලස්සන පිංතූරත් එක්කම දාපු එකට. කියවලා ඉතුරු ටික කියන්න ආයෙ එන්නම්.🙏👌😊

    ReplyDelete
    Replies
    1. හරි! කියවලා කමෙන්ට් එකක් දාන්න කෝ..

      Delete
  5. අහා.. මේ මාතලේ ලයින් එක, උඩතලවින්න ස්ටේෂන් එක, මගේ ජීව්තේ වෙනස් කරපු මතක හැංගිච්චි තැන්.. ;) මොකෝ කියලා හිතා ගන්න පුළුවන් නේ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම පුළුවන් අයියා.. අපි කාලයක් පල්ලේතලවින්නේ හිටියා. ස්ටේෂන් එක ළඟ.

      Delete
  6. මේක මරේ මාරු! මගේ කැම්පස් යාලුවෙක්ගෙ ගෙදර ගියා නුවරින් ට්‍රේන් නැගලා උකුවෙලට කට්ටියක්ම සෙට් වෙලා.. අලේ ඉතින් ' මෙම දුම්රිය මහනුවර සිට ම උකුවෙල දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවලත් ඒ අතරමැදත් නවත්තනු ලැබේ' තමයි...
    තවත් ජොලි වැඩේ කියන්නේ අපේ සෙට් එකේ පිරිමි ළමයෙක් ඒ හැම ස්ටේෂන් එකකින්ම බැහැලා වැසිකිලි ගියානේ උකුවෙලටම යනකල්!

    ආසයි පයින් යන්න... නියමයි

    ReplyDelete
    Replies
    1. හම්මේ මෙයා ව දැකපු කල්..
      උකුවෙල ට නං ලොකු ස්ටේෂන් ගානක් නෑ. ඔය පාරෙ දුවන එක්ස්ප්‍රස් ඒවයෙ වෙනස තියන්නෙ හෝල්ට් වල නවත්තන්නැති එක විතරයි.
      පයිං යනව නං උඩරට මාර්ගයෙ කොටසක් තෝරගන්න. ඒක ලස්සනයි.

      Delete
  7. කිව්වත් වගේ පෙරළුණු පිට වඩා හොඳ වෙලා නෙව. අපූරු ගමනක්, හොඳ සටහනක්.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!
      ඔව් අර කතාව නං හරියට ම හරි.

      Delete