Monday, September 9, 2013

යකඩ යක්කු සමග මගේ අත්දැකීම්..

මේ අපේ දුම්රිය ස්ථානය.
     මේ පෝස්ටුව දාන්න  හිතුනේ අපේ හිරු අක්ක ලියපු මෙන්න මේ කෝච්චි කතා පෝස්ට් එක නිසා. මමත් ඉතින් 1996 (මට මතක මුල්ම කාලේ) ඉඳල කෝච්චියේ ගියා. ඒ නිසාම මටත් මේ ගැන අත්දැකීම් සෑහෙන්න තියනවා. මේ සූදානම ඒවා ටිකක් ලියල දාන්න..
       මම මුලින්ම දුම්රිය ගමනට එකතු උනේ පාන්දර 5ට මහනුවර ඉඳන් මාතර යන දුම්රියෙන්. ඒ කිව්වේ ඉස්සර අපේ අම්මයි අප්පච්චියි දෙන්නම රස්සාව කලේ කොළඹ. ඉතින් සඳුදා උදේට අපි ඒ දුම්රිය අල්ලාගෙන කොළඹ යනවා. මමත් යනවා. සිකුරාදාට හවස සෙන්කඩගල මැණිකේ දුම්රියෙන් ආපහු එනවා.. ඒ සෙල්ලම වැඩි දවසක් කරන්න ඕනේ උනේ නෑ මොකද දෙන්නම මාරු වෙලා මහනුවර ආපු නිසා. එතකොට මම එකතු උනේ නාවෙලපිටියෙන් මහනුවර බලා එන උදෑසන කාර්යාල දුම්රියට. මේ වෙනකොට මම බොහොම පොඩි. පෙර පාසල් වත් නෑ. ඒ උනාට අප්පච්චිලගේ ඔෆිස් එකට මමත් යනවා. (වැඩියත්ම ගෙදර ඉන්න කම්මැලි නිසා සහ ඒ කාර්යාලය අසලම තිබ්බ ළමා උද්‍යානයට යන්න තිබ්බ ආසාව නිසා)
       ඔන්න ඔය කාලෙන් තමා මගේ දුම්රිය යුගය හරියට පටන් ගන්නේ.... අපේ අප්පච්චි කියන්නේ මම කෝච්චි පිස්සෙක් කියල. :-D මම ඒ කාලේ ඉඳලම දුම්රියට පුදුම විදියට ආස කළා. ඒ දවස් වල උඩරට මාර්ගයේ ධාවනය වෙච්ච දුම්රිය එන්ජින් පන්ති මට ඒවායේ හෝන් එකෙන් කියන්න හැකියාව තිබ්බ කිව්වොත් ඒ අතිශයෝක්තියක් නෙවේ. හැබැයි ඉතින් මම ඔය දුම්රිය වර්ග කරලා තියන අකුරු ඉලක්කම් දන්නේ නෑ නේ.. ඒ නිසා මම කිව්වේ මෙහෙමයි.
W1- උදේ ඔෆිස් ට්‍රේන් එකේ එන්ජිම.
M2- කැනේඩියන් එන්ජිම.
M4- බඩු කොච්චි අදින කැනේඩියන් එන්ජිම.
M5- බස් එන්ජිම.
M6- උඩරට මැණිකේ එන්ජිම.
M7- කොළඹ කෝච්චියේ එන්ජිම.
M9- මේක එද්දී නම් M9 කියන එක දැනගෙන හිටිය.
W3- මෙයා W1 වලින් 10ක් අරගෙන අලුතෙන් එන්ජින් තියල හදපු පන්තියක්. මෙයා පළවෙනියට මගී දුම්රියක්      එක්ක උඩරට එන ගමන මම බලන් හිටිය. ඒ 1997.එදා අපේ අත්ත තමයි මට කිව්වේ අන්න අර අලුත් එන්ජිම දාල කෝච්චියක් එනවා කියල. ඉතින් ඒක ඒ විදියට අලුත් එන්ජිම උනා..  ඒ කාලේ ඉඳන් 2003 වෙනකල් අපි මෙයාට කිව්වේ අලුත් එන්ජිම කියල.
S5- හිතාචිය.
        තව මොකක් හරි බලවේග කට්ටලයක් මෙහෙ දිව්වා. මම හිතන්නේ S6/S7නැත්තම් S8.මොකද්ද මම දන්නේ නෑ හැබැයි ඒක නම් මහනුවරදී පීලි පැනීමකට ලක් වෙලා හදන්න අරන් ගියා ගියාමයි ආය පැත්ත පළාතේ ආවේ නෑ. කොහොම හරි එයාට මම කිව්වේ පවර් සෙට් එක කියල. ( ඉහත සියලු ධාවන පන්ති පිලිබඳ විස්තර මෙම අඩවියේ සඳහන්ව ඇත)
  ඔහොම ටික කාලයක් යනකොට W1 එන්ජින් මෙහෙන් අයින් වෙලා එවල රාජකාරි W3 වලට ගියා. M5 අයින් වෙලා M5B ආව. M4 යන්නම ගියා..
  ඔය අතරේ මම ජීවිතේ දැකපු මුල්ම දුම්රියට අසු වීමේ සිදු වීමට මුහුණ දුන්නේ මම පාසලේ 1 වසරේ ඉද්දි. ඒ කියන්නේ 1999යෙ. අපි සෙන්කඩගල මැණිකේ එක්ක කොළඹ යනකොට අප්පච්චි කියන හැටියට ඉහල කෝට්ටේදී තමා මේක උනේ. පාර අයිනේ හිටිය කෙනෙක් අහු වෙලා. හැබැයි මැරිලා නෑ. මම දැක්ක මනුස්සය උස්සන් එනවා. එදා නම් ඒක එච්චර ගානක් ගියේ නෑ..
  තව දවසක් අපි නුවර එළියේ ගියා.. නුවර එළියේ ඉඳල නානුඔයට ඇවිත් එතනින් පහලට එන උඩරට මැණිකේ අල්ලාගෙන ගෙදර එන්න තමා අපි ආවේ. කොහොම හරි නාවෙලපිටියට ටිකක් ලං වෙලා ස්ටේෂමක (මම හිතන්නේ ඉඟුරුඔය වෙන්න ඇති) කෝච්චිය නතර කළා. අප්පච්චි ගිහින් බලපුවහම අපිට කලින් ගිය කෝච්චියක් පීලි පැනල. දැන් ඉතින් මොකෝ කරන්නේ.. ආව නාවෙලපිටියටම පයින්! ඉස්සරහ තිබ්බ කෝච්චිය ලඟින් ආවේ මාවත් වඩාගෙන ඒකෙ තිබ්බ දම්වැල් වගයක් එහෙම අල්ලාගෙන බොහොම අමාරුවෙන්. ඒ තමා දුම්රිය පීලි පැනීම් ගැන මගේ මුල්ම අත්දැකීම.

  ඉතින් ඔහොම කාලේ ගෙවිල යද්දී ලංකා දුම්රිය ඉතිහාසයේ දරුණුම අනතුරක් විදියට සැලකෙන මහනුවර- කොළඹ කොටුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය රඹුක්කනදී පීලි පැනීම සිදු වුනා 2002 වර්ෂයේදී. ඒකෙන් අපේ පාසලේ ආපන ශාලාවේ වැඩ කරපු දෙන්න නැති උනා....
   මේ කාලේ වෙනකොට අපි කටුගස්තොට පැත්තට ගියා මාස ගානකට. ඒ නිසා දුම්රිය අත්දැකීම් එච්චර නෑ. ඊට පස්සේ ආපහු ගෙලිඔයට ආව.
     7 වසර වෙනකොට මම පාසැලේ පිහිනුම් කණ්ඩායමට බැඳුනා. ඒ පුහුණුවීම් ඉවරල හැමදාම වගේ ගෙදර ආවේ අංක 23- ටිකිරි මැණිකේ දුම්රියෙන්. එදා ඉඳන් 2013 වසර දක්වා බොහෝ දින වල ගෙදර ආවේ ඔය දුම්රියෙන්ම තමා.                             
මේ ඇවිල්ල මම පාසැල් ගිය අංක 236 දුම්රිය. ඔය පලවෙනි පාපුවරුවේ ඉන්නේ මමතුමා! පින්තූරය ගත්තේ අශාන් විජේකෝන්.
     ඒ වගේම මම 9 වසරේ ඉඳන් උදේ පාසැල් දුම්රියෙන් පාසල් යන්න පටන් ගත්තා.. සාමාන්‍ය පෙළ පළමු වසරේ ඉද්දි( ඒ කියන්නේ 10 වසරේ) මම වාර ප්‍රවේශපත්‍ර අරගන්න පටන් ගත්ත ගෙලිඔය- මහයියාව. මේක කොච්චර ලාබද කියනවා නම්, එතෙන්ට සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව රුපියල් 15යි. වාර ප්‍රවේශපත්‍රය 90යි! ඒ කියන්නේ සතියකින් ගාන කවර්! ඉතිරිය නිකම් වගේ!! ඒ නිසා, පැය භාගෙට වැඩියෙන් ප්‍රමාද උනොත් ඇරෙන්න, හැමදාම වගේ දුම්රියේම පාසල් ගියා.. හැබැයි ඉතින් උදේ 7.30ට පටන් ගන්න ඉස්කෝලෙට, 8.15ට ගිය දවසුත් දෙක තුනක් තිබ්බා :-D
   මුල කාලේ දවසක් මම භයානක අත්දැකීමකට මුහුණ දුන්න ඔය ට්‍රෙන් එකේදී. එදා මම දෙවෙනි පන්තියේ මැදිරියට නගින්නම් කියල දුම්රිය එක්කම ඉස්සරහට ආව. නවත්තන්න ලං වෙද්දීම මම දොරේ බාර් එක අල්ලගත්ත. ඒ එක්කම කව්ද කෙනෙක් මගේ පිටට අත තිබ්බ. ඒ ආපු තල්ලුවට මම කොච්චියයි ප්ලැට්ෆෝම් එකයි අතරට වැටුන!! ඒත් මම බාර් එක අතෑරියේ නැති නිසාත්, අන්තිම පඩියට කකුලක් තියාගත්ත නිසාත් දුම්රිය ඇතුලට නොවැටී බේරුනා.. එතකොටම දුම්රියත් නැවැත්තුව. හැබැයි, වැඩේ කියන්නේ මගේ පිටට අත තියපු කෙනා, මටත් උඩින්ම දුම්රියට නැගල!!
  කොහොමින් කොහොම හරි, ඇඳුමේ මඩ පාරක් ඇරෙන්න වෙන හානියක් නැතුව මම එදා බේරුනා..
ආපහු ටිකිරි මැණිකේ ගැන කතා කලොත්, ඕක කොළඹ ඉඳන් හැටන් එන දුම්රියක්. මහනුවර හරහා එන්නේ.. ඒ කියන්නේ හවස 4.10යට මහනුවර ඇවිත්, එන්ජිම අනිත් පැත්තට හයි කරගෙන හවස 4.45ට හැටන් යනවා.. සාමාන්‍ය පෙළ  අමතර පන්ති, උසස් පෙළ ටියුෂන් පන්ති ඉවරල ගෙදර ආවෙත් ඔය දුම්රියේ. ඕකේ යද්දී මම දරුණුම අත්දැකීමට මුහුණ දුන්නේ 2011හේ මැයි මස දෙවැනි දිනයි. එනම්, අප පාසලේ අපිට අවුරුද්දක් පහල පන්තියේ මල්ලි කෙනෙක් අප ගමන් ගත් දුම්රියට අසු වී මිය යාමයි. ඔහු දුම්රිය මාර්ගය හරහා මාරු වීමේදී මෙය සිදු විය. හවස පන්ති ඉවර වී මහනුවර අධිකරණ සංකීර්ණය අසල ගුවන් පාලම යටින් මාර්ගය හරහා යාමට ඔහු පැමිණියේ ජංගම දුරකතනයෙන් සිය මවට කතා කරමිනි! ඒ.. ඔහුගේ අවසාන දුරකථන ඇමතුම විය...
   ඒ වගේ බිහිසුණු අත්දැකීම් වගේම සොඳුරු අත්දැකීමුත් තියනවා. මට 2007 වසරේ ඉඳන් දුම්රියේ මිතුරන් කණ්ඩායමකට එක් වීමට හැකි උනා. මේ වසරේ මා හවස දුම්රියේ ගමන් නවත්වන තුරු මා ආ ගියේ ඒ කණ්ඩායම සමගයි.. අප 2010 වසරේදී යාපහුව බලා විනෝද සවාරියක්ද ගියා. ඒ ගමන නම් මා ජීවිතයේ ගිය හොඳම විනෝද සවාරි වලින් එකක් වූ බව කිවයුතුමයි. උදේ ගොස් හවස ආපසු ආ ගමනක් උවත්, එම ගමන මාගේ මතකයේ රසවත් සටහන් රාශියක් සටහන් කිරීමට සමත් උනා....
                                                                                                                   
ඔය ඉන්නේ අපේ කට්ටිය. මේ ඇවිල්ල ටිකිරි මැණිකේ මග නතර උන දවසක්. රජවත්ත කියන හරියේ..

   දුම්රිය හැමදාම වෙලාවට ධාවනය වන්නේ නෑ... නොවැලක්විය හැකි හේතු නිසා ප්‍රමාද වීම් සිදු වෙන එක වළක්වන්නත් බෑනේ... ඒ වගේ දවස්  වලට දුම්රිය මහනුවරට පැමිණ තිබුනොත් (මෙම දුම්රිය ගමන් අරඹන්නේ කොළඹ කොටුවේ සිටයි) අප කරන්නේ සියල්ලන්ම මුදල් දමා යම්කිසිවක් දුම්රිය ස්ථානයේ  භෝජනාගාරයෙන් ගෙනවිත් බෙදාගෙන කෑමයි. දුම්රිය කීයට පිටත් වුවත් අපට කිසි ගානක් නොවන්නේ අප මිතුරන්ගේ විහිලු තහළු ආදියෙන් කාලයේ ගෙවී යෑම නොදැනෙන තරම් දෙයක් කරන නිසාය. දුම්රිය මහනුවරට පැමිණ නැත්නම්, පැය දෙකකට වඩා ප්‍රමාද නම් අප කරන්නේ මහනුවර- නාවෙලපිටිය බස් රථයක අවසාන ආසනය අල්ලාගැනීමයි. මගින් නගින කිහිප දෙනාටද බස් රියේ ඩිපෝ අංකය (උදා- NW-45) කියා එයට පසුපස දොරෙන් ගොඩ වන ලෙස කියමු. ඉන්පසු දුම්රිය බස්රිය වෙනසක් අපට නොමැති තරම්ය.. :-)
   ඔයින් මෙයින් මම උසස්පෙළ කරන්නත් ආව. උසස් පෙළට හැම ශිෂ්‍යයෙක්ම ව්‍යාපෘති දෙකක් කරන්න ඕනේ කියන එක දන්නවනේ.. ඉතින් මම මගේ කේවල ව්‍යාපෘතිය කරේ "ශ්‍රී ලංකා දුම්රිය සේවය භාවිතා කරන සංඥා පද්ධති" කියන මාතෘකාවෙන්. ඉතින් මේ ව්‍යාපෘතියට ඕනේ ජයාරූප ගන්න කැමරාවක් මගේ ගාව තිබ්බේ නෑ. ඒ වැඩේ කරගත්තේ මගේ ජංගම දුරකථනයෙන්. ඒ ජයාරූප ටික හදල, පාවිච්චි කරන්න පුළුවන් විදියට දාල දුන්නෙත් අර දුම්රියේ මිතුරන් අතර හිටි ගයාන් සාලියරත්න අයියා! ඒ ගැන එයාටත් ස්තුතියි!
   තව ගොඩක් දේවල් තියනවා.. අපි 2010 වසරේ කතාවෙලා යාපහුවට විනෝද චාරිකාවක් ගියා.. ඒ ගමන මම ජීවිතේ ගිය හොඳම ගමන් වලින් එකක් විදියට මතක සටහන් අතර තියනවා. අපි කුරුණෑගල ඇත්කඳ විහාරෙටත් ගිහින්. යාපහුව මුදුනටම ගියා.. එක දවසේ ගමනක් උනත් ඒ ගමන ලෙසටම ගියා..
                                         
ඔය ඉන්නේ ට්‍රිප් එක ගිය කස්ටිය. මේ කුරුණෑගල ඇත්කඳ විහාරේදී. 
මේ තමයි ඔය සියලු සිදුවීම් ඇරඹුණු ටිකිරි මැණිකේ දුම්රිය..


ආය ඉතින් තව විවිධාකාර අත්දැකීම් තියනවා.. සමහර එව්වා මේ බ්ලොග් එක හරහාම කියල තියන නිසා ආයෙම කියන්නේ නෑ... ඒ උනාට ටිකක් වැදගත් කියල හිතෙන දෙයක් තියනවා.. ඒ තමා, උඩරට මාර්ගයටම කියල බලවේග කට්ටල ගෙන්නපු එක. ඇවිත් පලවෙනි පරීක්ෂණ ධාවනයත් මම දැක්ක. ෆොටෝත් ගත්ත.
මේ මහනුවරට ආපු පරීක්ෂණ ධාවනයේදී ගත්ත ජායාරූපයක්.
  තව දෙයක් තමා මම දැකපු දුම්රිය අනතුරක්.. මේක උනේ 2008 වසරේ. ඩයලොග් ආයතනයේ සැටලයිට් tv සම්බන්දතා ලබාදෙන්න ආපු වෑන් රියක් අපරීක්ශාකාරීත්වය නිසා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට වැදී එහි ගමන් කල තිදෙනාගෙන් දෙන්නෙක්ම මියගියා.. රියදුරු නම් බේරුනා. හැප්පෙනවා නොදැක්කට පස්සේ එතෙන්ට ගිහින් බැලුව.. දුම්රිය එන්ජිම සමග වෑන් රිය මීටර් තුන්සීයක් පමණ ඉදිරියට ගොස් තිබුනා.. එක් අයෙක් ඒ මොහොතේදීම මිය ගිය අතර, අනෙක් තැනැත්තා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හවස 6.30ට පමණ මිය ගිය බව දැනගන්නට ලැබුනා.. එම වෑන් රිය පපඩමක් මෙන්  වී තිබුණු අතර, ටයරයක් අසල වූ කුඹුරත් පැන, මහපාරත් පැන, පාරෙන් එහා නතර වී තිබුනා.. මොවුන්ට දුම්රිය ගැන ඒ නිවසේ කට්ටිය අනතුරු අඟවා තිබුනත්, එන ගමන් මොවුන් සීඩී යන්ත්‍රයද ක්‍රියාත්මක කරවා, වීදුරු සියල්ල වහගෙන, මත්පැන් බොමින් පැමිණ ඇති අයුරු දිස් උනා.. අනතුරෙන් පසුවත් සීඩී යන්ත්‍රය ක්‍රියාකරමින් තිබුණු අතර, එහි ශබ්ද දර්ශකය (volume indicator) උපරිම මට්ටමට මදක් පහලින් තිබුනා!! මෙම සිදු වීම අප නිවස ඉදිරියේම සිදු වූවක්.. 
 උඩරට මැණිකේ ගැන කියද්දී තවත් එකක් මතක් උනා.. මෙතෙක් කාලයක් එන්ජිමක් එක්ක ගිය (බොහෝ විට M2/ M6) උඩරට මැණිකේ දුම්රියටත් බලවේග කට්ටලයක් ආදේශ උනා. එකේ ප්‍රථම ධාවනයට මමත් එක් උනා..
                                         
ඔය තියන්නේ ඒ ගමනේදී ගෙලිඔය පහු කරලා ගිය අවස්ථාව.
ඒ වගේම, මේ රටට මෙතෙක් ආපු අසාර්ථකම එන්ජිම විදියට කවුරුත් හඳුන්වන M9 පන්තියේ ප්‍රංශ එන්ජිමේ පලවෙනි උඩරට ධාවනයත් මම බැලුව මතකයි. ඒ ගමනේ නම් පෙට්ටි සෑහෙන තොගයක් ඇදන් ආවත්, පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ, නාවෙලපිටියෙන් උඩහට යන්න බැරි තත්වෙට එයා පත් වෙනවත්මම දැක්ක.මේ තියන්නේ නාවෙලපිටියට මැදිරි 4ක දුම්රියක් ඇදගෙන යන අවස්තාවක්. (අලුත්ම ආරංචි මාර්ග වලට අනුව, මේ එන්ජින් සියල්ලම තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරලා තියනවා)
මේ ඇවිල්ල රඹුක්කන සිට නාවෙලපිටිය බලා යන අංක 120 දරණ දුම්රිය. දැන් මෙයත් මහනුවරට ගිහින් එන්නේ.. 



මේ මම පාසල් යන කාලේ ගත්ත එකක්. ගෙදර යන ගමන්. මේ ඇවිල්ල මහනුවර බලා ආපු ටිකිරි මැණිකේ දුම්රිය. ජායාරූපය ගත්තේ කලින් මගේ යාලුවෙක් වෙච්ච යෂ්මාල් නෙරන්ජ.

        මේ කතා ඔක්කොම අස්සේ මට එක්කෙනෙක් ගැන කියන්න අමතක උනා.. ඒ තමයි උඩරට දුම්රිය මාර්ගයේ 1961 වසරේ සිට වසර පනහක් පමණ අඛණ්ඩ සේවයක් කොට, මේ වෙනකොට සුළු ආබාධ තත්වයෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන M2C නමැති එන්ජිම. මේ එන්ජින් විශේෂයෙන් ඇමරිකාවේ General Motors- Electro Motive Devision සමාගම මගින් නිපදවා දුන්නේ අපේ රටේ කඳුකර මාර්ගයට ගැලපෙන විදියට. මම සාමාන්‍ය පෙළ කරනකොටත් මේ දෙන්න (626- Montreal  සහ 627- Vancouver.) රාත්‍රී තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, නානුඔය නගරාන්තර දුම්රිය වගේ නොයෙක් දුම්රිය ඇද්ද. එතකොට මෙයාට අවුරුදු 48ක්! මේ එයාලගේ උඩරට සේවයේ අවසාන කාලේ ගත්ත එකක්.. 
                                            

නානුඔය නගරාන්තර දුම්රිය සමග කොළඹ බලා යන කැනේඩියානු එන්ජිම.
    ඉහත මම සඳහන් කලේ දුම්රිය ගැන මා ලැබූ අත්දැකීම් වලින් ඉතාම ස්වල්පයක් පමණයි.. මා හිරු අක්කාගේ පෝස්ටුවට දැමූ කමෙන්ටුව ලෙසම, ඒ ගැන සඳහන් කරන්නේ නම් පොතක් උවත් ලිවීමට තරම් දේ මා සතුව තියනවා..