Wednesday, December 31, 2014

එකසිය පනස් වසරක ගමන් මග...



ශ්‍රී ලංකා දුම්රිය සේවයට අවුරුදු එකසිය පනහක් පිරීම නිමිත්තෙන් නිකුත් කෙරුණු සමරු ප්‍රවේශ පත්‍රය..

                                                     
         මීට වසර එකසිය පනහකට පෙර, 1864 වසරේ දෙසැම්බර් 27 වන දින, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානය නම් වූ ගොඩනැගිල්ල තුල ලංකා මෙන්ම ආසියාවෙහි ඉතිහාසයේ ද ඉතා වැදගත් සිදු වීමක් සිදු වෙමින් පැවතුනි. උඩරට වැවිලි කරුවන් මෙන්ම සුදු ජාතික පාලකයින්ද පුල පුලා බලා සිටි අවස්ථාව කෙමෙන් එළඹුණි.. 
එදා ප්‍රථම දුම්රිය පිටත්ව ගිය කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානය...
සේයාරූ අනුග්‍රහය- lankapura.com


        දුම්රිය ස්ථානාධිපති මහතාගේ සංඥාව අනුව, ජී. එල් මොල්ස්වර්ත් මහතා විසින් ධාවනය කල වාෂ්ප එන්ජිමෙන් අදිනු ලැබූ ලංකාවේ ප්‍රථම මගී දුම්රිය කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයෙන් අඹේපුස්ස බලා පිටත් විය.. ලංකාවේ ප්‍රවාහනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කල මෙම ගමනට වේයන්ගොඩින් එවකට බෙල්ජියමේ ඔටුන්න හිමි කුමරු වූ බ්‍රැබන්ට්හි ආදිපාදතුමා සහභාගී විය..
        
            එලෙසින් ගමන් ඇරඹි ලක්දිව දුම්රිය, සිය ගමන් මගෙහි විවිධාකාර සිහිවටනයන් රැසක් ඉතිහාසයට දායාද කළේය.. විශේෂයෙන් උඩරට දුම්රිය මාර්ගය විශිෂ්ට ඉංජිනේරු ශිල්පය ප්‍රදර්ශනය කිරීමෙහිත්, එමෙන්ම මිනිසා සතු නොසැලෙන අධිෂ්ඨානය, බාධක වලට නොබියව මුහුණ දීමේ ගුණය ප්‍රදර්ශනය කරමින් මුහුදු මට්ටමේ සිට අඩි 1600ක් උසින් පිහිටි මහනුවර වෙත ප්‍රවේශය සලසයි.. මෙම මාර්ගය ඉදි කිරීමේදී සේවකයින් බොහෝ දෙනෙක් සිය ජීවිත වලින් වන්දි ගෙවූ අතර, මෙම මාර්ගයේ ඇති සෑම සිල්බර කොටයක් පාසාම මිනිස් ජීවිතයක වන්දිය සටහන්ව ඇති බව මෙම මාර්ගයෙහි ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙක් දන්නා කටුක සත්‍යයකි..
කඩුගන්නාව ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් අතරතුර..
මෙම සේයාරුව www.lankapura.com අඩවියේ පලවූවකි.


        එමෙන්ම මා පෙර සටහනකින් ගෙන ආ පරිදි, විදුලි ආලෝකයක් තබා එවැන්නක් ගැන අසාවත් නැති, වර්තමානයේ ඇති ගතික තිරිංග ක්‍රම, විදුලි පණිවුඩ හුවමාරු ක්‍රම ආදිය නොතිබුණු යුගයේ, ඉදිරියේ එල්ලන ලද කාබයිඩ් ලාම්පුවක් ආධාරයෙන් පමණක් මාර්ගය සහ සංඥා අසීරුවෙන් බලාගෙන, මීදුම මැදින්, බොහෝ විට අනෙක් එන්ජිමේ රියදුරු සමග නලා සංඥා මගින් පණිවුඩ හුවමාරු කරමින්, ඒ අතීත දුම්රිය රියදුරන් මෙරට මගී ප්‍රවාහනයට, මෙරට ආර්ථිකයට වැදගත් මෙහෙයක් ඉටු කළහ.. රෝද ලිස්සා යෑමට නොදී ධාවනය කිරීමට සිය පළපුරුද්ද සහ හැකියාවන් උපරිමයෙන් යෙදිය යුතු විය.. එමෙන්ම අනෙක් පස, පොල්තෙල් ලාම්පුවකින් එලිය වුනු ගාඩ් මැදිරියේ සිට, තිරිංග පීඩනය ආදී දහසකුත් එකක් දේ බලාගෙන එම අතීත නියාමකවරුන් අසීරු රාජකාරියක් ඉටු කළහ.. එවන් මිනිසුන් සිය මෙහෙය සඳහා සිහිවටන ස්මාරක කිසිවක් ඉතිරි නොකර  අතීතයේ දුම් වලාව තුල සැඟවී ගොස් ඇත.. නැවත කිසිම දිනෙක ඔවුන් මේ මිහිමත නැවත පහල නොවනු ඇත..

                                                
තරණය කිරීමට අසීරු වූ මීයන් ඇල්ල දුර්ගයේ පහලට ධාවනය වන එන්ජිමක්..
        ලෝක යුධ සමයේ, කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වල රාත්‍රියේදී ගුවන් ප්‍රහාර වැලැක්වීම සඳහා ආලෝකය දැල්වීම තහනම් විය.. රාගම ගාල්ල අතර දුම්රිය ධාවනය වූයේද ප්‍රධාන ලාම්පු නිවාගෙනය. කිසිදු අනතුරකට ඉඩ නොදී, එමෙන්ම ප්‍රමාද රහිතව එම දුම්රියයන් ධාවනය කිරීම මගින් ශ්‍රී ලංකා දුම්රිය සේවය ආහාර, ලිපි ලේඛන, සෙබල බල ඇණි ආදිය ප්‍රවාහනය කළේය.. එම රියදුරන්, ෆයර්මන් වරුන්, ස්ථානාධිපතිවරුන් ආදීන් ගැන අද ලෝකයාට අමතක වී ඇත..
එමෙන්ම ගං වතුර තත්වයන්, මහා වර්ෂාවන්, නියං තත්වයන් ආදී සැම සියලු උවදුරු පසෙක තබා දුම්රිය ධාවනය පිණිස කැප වූ දුම්රිය සේවයක් අපට තිබුණි.. වාෂ්ප එන්ජින් වල අවසාන කාලයේ දැවී තෙල් දහනය කල එන්ජින් ඒවායේ අධික දුම විඳදරා ගනිමින්, එමෙන්ම අනෙකුත් පරිසර පීඩා දරා ගනිමින්, රටට, ජනතාවට සේවය සැලසු එම මිනිසුන්ගෙන් කිහිප දෙනෙක් අදටත් අප්‍රසිද්ධියේ ජීවත් වෙති..
ඩීසල් දුම්රිය ආදේශ වීමෙන් පසුව උවත්, සීඝ්‍ර බෑවුම් වල අසීරු ධාවන කටයුත්තක යෙදෙමින්, එමෙන්ම ඝන කැලෑ තුලින්, මහා වර්ෂා මැදින්, එම දුම්රියයන් සීරුවට ධාවනය කරමින් තවමත් දුම්රිය සේවය ජනතාවට සේවය සලසයි.. මීට හරියටම දශකයකට පෙර සුනාමි රළ පහරට හසුව විනාශ වූ දුම්රියේ කාර්ය මණ්ඩලය, එමෙන්ම සේවයේ යෙදී සිටියදී ජීවිතයෙන් සමුගත් දුම්රිය නිලධාරීන්, සේවකයන් අපමණය.. එදා සුනාමි රල පානදුර වනසන විට, මහනුවරින් මාතර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු මහතා, සිය දුම්රිය ඇතුළු මගීන් බේරා ගැනීමට, ලැබුණු අණද නොතකා, දුම්රිය ආපසු ධාවනය කළේය.. එවැනි මිනිසුන් මෙම දුම්රිය සේවයේ තවමත් සිටිති..
         එමෙන්ම මෙරටින් බිහි වූ විශිෂ්ට ඉංජිනේරු මහතෙකු වූ බී. ඩී. රම්පාල මහතා, අදටත් සූවස් ඇලෙන් මෙහා හොඳම ඩීසල් ඉංජිනේරුවරයා ලෙස කීර්තිය ලබා සිටී.

එදා මෙදා තුර දුම්රිය ඉතිහාසයෙන් බිඳක්.....
ලංකා දුම්රිය සේවය සතුව ඇති පැරණිතම වාෂ්ප එන්ජිම..

ලංකාවට ආ ප්‍රථම ඩීසල් එන්ජිම..

ද්‍රව ඉන්ධන ප්‍රවාහන ටැංකියක්.. මෙහි යටි රාමුව පවා දැවයෙන් නිමවා ඇත...

අප රටේ මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා එංගලන්තයේ නිෂ්පාදනය කොට ගෙන ආ M1 පන්තියේ ඩීසල් එන්ජිම.

මෙරට වැඩිම කාලයක් (අවුරුදු 50ක් - 1958- 2008) සේවයේ යෙදුනු බලවේග කට්ටල පන්තිය වූ S3...

කැළණි මිටියාවත් පටු මාර්ගයේ ධාවන කටයුතු සඳහා ගෙන ආ N2 එන්ජිම...


       ඉතින්, නව්‍යකරණයේ අධිවේගී ගමනට එක් වී සිටින දුම්රිය සේවය, සිය ඉතිහාසයේ තවත් කඩ ඉමක් මත්තේ සිටින මේ අවස්තාවෙහිදී, එම දුම්රියට අපමණ ලෙසින් ආදරය කරන දුම්රිය ලෝලියෙක් ලෙසටත්, ජීවිත ගමන් මගේ දශක එක හමාරක් පමණ දුම්රිය හා ගමන් කල දුම්රිය මගියෙකු ලෙසටත්,
අප දුම්රිය සේවයට තවත් බොහෝ කලක් සිය සේවය ජාතියට, දේශයට සපයමින්, දිගු ගමනකට ආසිරි පතන්නට මෙම සටහන තබමි.. එමෙන්ම, එම ආ ගමනේදී ඒ සඳහා උරදුන්, සිහිවටන නොමැතිව අප අතරින් වෙන්වූ එම සියලු දුම්රිය නිලධාරීන්, සේවකයන් ආදීන්ටද මෙම සටහන උපහාරයක් වේවායි මම පතමි..
කලෙක, අප දුම්රිය ආසියාවේ හොඳම දුම්රිය සේවය ලෙසින් විරුදාවලි ලැබීය... නැවතත් එම තත්වය ලබා, ශතවර්ෂ ගණනාවක් නොනැවතී ඉදිරියට ගමන් කිරීමට අප දුම්රිය සේවයට ආසිරි පතමි!!!


They gave their lives
to lay the rails
and the sleepers
on which you travel today,
watching the beautiful scenes,
or singing with the dancing carriages...

They worked day and night..
to see that your grand parents
reached their destinations
on time and safe...

They took the railways
to the hills and to moon,
as they once said..

May their souls
rest in eternal peace,
and may them be remembered,
as each train passes,
whistling aloud
through the hills...


                 ****************************************************************     


        මාස දෙකකින් පමණ බ්ලොග් එක ලිවීමට නොහැකි විය.. එමෙන්ම බ්ලොග් කියවීමටද නොහැකි විය.. ඒ ගැන මා හිත මිතුරු ඔබ සැමගෙන් සමාව භාජනයකට දමන මෙන් ඉල්ලමි.. මෙම අවුරුද්දේ රිවීව් එකක් ලියන්නට හිතන් හිටියත් එය නොහැකි විය.. එහෙයින් ඉතා කෙටි සටහනක් මෙලෙස එකතු කරමි..
මෙම වසර ආරම්භයේදී ඉතා කටුක වසරක් විය.. දන්නා හඳුනන අය, ඥාතීන්, යහළුවන් ආදීන්ට පැමිණි විපත් වල නිමක් නැත.. ඒ නමුත්, වසර මැදදී ඒ සියල්ල වෙනස් උනි.. මෙම වසර අධ්‍යාපනික වශයෙන් ඉතා සාර්ථක වසරක් වූ අතර, පෙනී සිටි සැම විභාගයකින්ම සමත් වුනි. එමෙන්ම, දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු වලින් විශ්‍රාම යෑමට සිදු වීම, මෙම වසරේ අධ්‍යාපනික අතින් සිදු වූ ඛේදජනක සිදු වීම විය..
         වර්ෂාව ඉතා අධික වසරක් වූ මෙය, ලාංකේය දුම්රිය සේවයට ඉමහත් අලාභ හානි සිදු කරමින් අවසාන විය.. එහෙත්, දුම්රිය සේවයට වර්ෂ 150ක් සම්පූර්ණ වීම සැමරීම පිණිස කඩුගන්නාවේ ඉදි වූ අභිනව දුම්රිය කෞතුකාගාරය ලංකාවේ දෙවන දුම්රිය කෞතුකාගාරය ලෙස 27 වැනිදා විවෘත විය.. එය නැරඹීමට ගිය ගමන වසරේ අවසාන සංචාරය ලෙසින් සටහන් විය..

                                     

S3- 613 රියදුරු අසුනේ සිටින මම තුමා...


එසේ නම්, උදා වන නව වසර,
ඔබටත්,
අප හැමටත්,
සුභ නව වසරක් වේවායි කියා අඟහරු වාසී මා ඇතුළු අප හැම සුභාශිංසනය කරන්නෙමු!!