වෙලාව
පෙරවරු 9.59 වී ඇත. ඉඟුරු ඔය දුම්රිය ස්ථානාධිපතිතුමාගේ නළා හඬ සමගම තිරිංග මැදිරි
දෙකෙන්ද සංඥා නිකුත් විය. මද ගැස්මකුත් සමග ඇය නැවතත් ඉදිරියට ඇදෙන්නට විය.
ගල්බොඩ බලා ඇදෙන පොඩි මැණිකේ... |
ඉදිරියට
එන කොටස තරමක් දැඩි වංගු වලින් යුතුය. පා පුවරු සංචාරකයින්ගෙන් සහ සාමාන්‍ය
මිනිසුන්ගෙන් පිරී ඇත. නමුත් අප පේරාදෙණියේ සිටම පා පුවරුවේ සිටි බැවින් අපට
බාධාවක් නොවීය. නවීන බලවේග දුම්රියයන්ගේ නැති ආකර්ෂණයක් පැරණි පොඩි මැණිකේට සහ
උඩරට මැණිකේට ලැබෙන්නේ මෙවැනි වංගු සහිත මාර්ගයේ ධාවනය වන විටය. ඇතින්නියකගේ ගමන
සිහි කරවමින්, දෙපසට පැද්දෙමින්, වංගු වලදී දෙපසට නැවෙමින් පොඩි මැණිකේ සිය ගමනේ
යෙදෙයි.
මෙම
දුම්රිය බලය ලබන M6 පන්තියේ එන්ජිමේ හඬ ද එම ලාලිත්‍යටම එක් වෙයි.
මෙම එන්ජිමේ හඬ සැබැවින්ම ගීතවත් හඬකි. වෙනත් එන්ජින් වල නොමැති සුමුදු හඬක් එයින්
නැගෙයි. කලකට පෙර දුම්රිය ගැන වටිනා බ්ලොග් අඩවියක් ලියූ ගෙහාන් චන්දික මිත්‍රයා ඒ
ගැන සටහන් කරමින්, “උඩරට කඳුකරයේ බටහිර ජර්මානු රිද්මය” නමින් මෙම එන්ජිම
හැඳින්වීය.
එය
සැබැවින්ම අත්දැකීමට නම් ඔබත් එම එන්ජිම සමගින් කඳු තරණය කර තිබිය යුතුය. ඔබ
සිටින්නේ නැරඹුම් මැදිරියේ නම්, දුම්රියේ හඬ අතරින්, ඉදිරිපස ඇති එන්ජිමේ හඬ ඔබට
සිහින් මුනුමුණු හඬක් ලෙස ඇසෙනු ඇත. මට නම් එය දැනුනේ පොඩි මැණිකේ සියුම් ගීතයක්
මුමුණමින් කඳු අතරට ගමන් කරන්නාක් මෙන්ය.
මෙම කුඩා නැවතුම අසල දුම්රිය සේවයේ ඛේදවාචකයක් සටහන්ව තිබේ. ඒ නම්, වර්ෂ 1973 දී, මෙහි නතර කල ගැරට් වර්ගයේ අංක 343 දරණ එන්ජිම ගිනිගෙන විනාශ වී යාමයි... |
මෙම
කොටසේදී, අපට තවත් බිංග දෙකක් එකක් පසුපසින් එකක් ලෙසින් හමු වේ. කොළඹ සිට එන විට
හමුවන 12 වන සහ 13න් වන බිංග දෙක ඒවාය. ඒ නමුත්, සැබැවින්ම මේ වනවිට පොඩි මැණිකේ
බිංග 14ක් පසු කොට ඇත. ඒ, පසු කාලීනව නිර්මාණය වූ අංක 5A සහ 9A
යන බිංග දෙකත් සමගය.
පහලට යන යෝධ ජලනලය. |
බිංග
දෙක අතරේ, කුඩා, එහෙත් සෑහෙන පහලින් ගලන විශාල වතුර පහරක් මතින් ඇය ඉදිරියට ඇදෙයි.
මෙය පසෙකින්, පහලට ජලය ගෙන යන විශාල කොළ පැහැති නලයක් ඇත.
ගල්බොඩ දුම්රිය ස්ථානය වෙත ඇතුළුවන පොඩි මැණිකේ... |
බිංග
තුලින් එලියට ආ පොඩි මැණිකේ, කෙටි ගමනකින් අනතුරුව, වංගුවක් සමග පිහිටි දුම්රිය
ස්ථානයකට ඇතුළු වූවාය. ඒ, ගල්බොඩ දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 2581ක්
උසින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ සිට සැතපුම් 94ක් සහ දම්වැල් 36ක දුරකින්
පිහිටා ඇත. ඒ නම්, පසුගිය සැතපුම් හතර තුල, දුම්රිය අඩි 400ක් ඉහල නැග ඇත.
ගල්බොඩ දුම්රිය ස්ථාන නාම පුවරුව.. |
ගල්බොඩ,
ඉතා පැරණි දුම්රිය ස්ථානයකි. විශාල වතුර ටැංකියක්, ගබඩාවක්, පැරණි ක්‍රමයට සෑදු
දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක් සහ දුම්රිය දෙකක් මාරු වීමට පාෂ මාර්ගයකින් සමන්විත,
අති දර්ශනීය දුම්රිය ස්ථානයකි. ලංකාවේ පවතින ඉතාම පිරිසිදු ජල උල්පත් අතරින් එකක්
මෙම දුම්රිය ස්ථානයට නොමිලයේම ජලය සපයයි. ගල්බොඩ දුම්රිය ස්ථානයට පොඩි මැණිකේ ලඟා
වීමට නියමිතව තිබුනේ 10.10ටය. හරියටම තිතට එම වෙලාවටම පැමිණීමට පොඩි මැණිකේ එදින
සමත් වූවාය.