Saturday, January 30, 2016

මධ්‍යම කඳු වළල්ලේ මුහුණතේ පිහිටි හපුතලේ වෙත..

            ඉදල්ගස්හින්න පසුකොට පොඩි මැණිකේ ඉදිරියට ඇදෙන විට, මට සිහි වූයේ මා සාමාන්‍ය පෙළ කරන කාලයේ ජාතික රූපවාහිනී නාලිකාව විසින් විකාශය කල “උඩරට මැණිකේ” නම් වැඩසටහනයි. එහි මෙම මාර්ගයේ, විශේෂයෙන් නානුඔයෙන් ඉහල කොටසේ සුන්දරත්වය අපූරුවට විස්තර විය. නානුඔය හරියේදී අශාන් නිකමට මෙන් මෙම කොටසේ පා ගමනක් යාමට කල යෝජනාව, මා සිතින් අනුමත කලෙමි. 

             ඉදල්ගස්හින්නෙන් පිටත් වූ දුම්රිය, තේ වතු මැදින් සුරපුරයක් බඳු පෙදෙසක් හරහා හෙමිහිට ධාවනය වූවාය. මෙම මාර්ගයේ අපට හමු වන අංක 36 බිම්ගෙය පසු විය. එය කෙටි එකකි. බිම්ගෙය පසු කොට මද දුරක් ගිය විට දිස් වූයේ, මෙම මාර්ගයේ ආනතිය සලකුණු කොට තිබුණු පුවරුවකි. එයට අනුව, එම ස්ථානයෙන් දෙපසට අඩි 44ට එකක් සහ  අඩි 46ට එකක් වශයෙන් තියුණු බෑවුමක් ඇත. ඒ නම්, මෙම දුම්රියේ නැරඹුම් මැදිරිය එන්ජිමට වඩා අඩි 6ක උසකින් පිහිටයි! 
ආනතිය දැක්වීම (Gradient marker)
              මෙම මාර්ගයේ පිහිටි තේ ප්‍රවාහනයට ඉදි වූ දුම්රිය වේදිකා (Estate platforms)  ගැන මා මීට කලින් සඳහන් කලෙමි. මෙම කොටසේ අපට ඉතා හොඳින් සංරක්ෂණය කල එවැනි වේදිකාවක් හමු වේ. ඒ, ග්ලෙනනෝර් (Glennanore) වේදිකාවයි. අද මෙහි දුම්රිය නතර නොවුනත්, මෑතක් වන තුරුම මෙම වේදිකාව භාවිතා වී ඇත. 
ග්ලෙනනොර් දුම්රිය වේදිකාව.
(ඇඩිෂාම් බංගලාවට යන අතරතුරදී ගත් සේයාරුවකි)
              මෙහි සේයාරුවක් ගැනීමට දුරකථනය අතට ගතිමි.. නමුත්.. මාගේ නොසැලකිලිමත් කැමරා භාවිතය හේතුවෙන්, එහි බැටරිය අන්තිම කට්ටටම බැස තිබුණි. දැන් ඉතිං කල හැකි දෙයක් නැත.. මෙතැන් සිට සෙයාරූ ගැනීම අකිල අයියාට සහ අශාන්ට භාර කලෙමි. මා පාපුවරුවට වී නිදහසේ ගමන රස වින්දෙමි. මෙතැන් පටන් ඇතුලත් වන සෙයාරූ එක්කෝ අකිල අයියා විසින් ගත් ඒවා වන අතර, නොඑසේ නම් අප ආපසු පැමිණෙන අතරතුර ගත් ඒවාය. 

               ග්ලෙනනොර් වේදිකාව පසු කරනවාත් සමගම ඉතා මනස්කාන්ත භූමි දර්ශනයක් අප නෙත් මානයේ දිස් විය. ඒ, පහල නිම්නය හරහා ඈත කඳු දක්වාම පැතිරුණු භූමියේ දර්ශනයයි. එය වචනයෙන් විස්තර කල නොහැකි අලංකාරයකි.
තවත් මද දුරක් ගමන් කල මැණිකේ, තේ වත්තක් මැදට පෙරලී ගිය භාණ්ඩ ප්‍රවාහන ගැලක් පසු කළේය. එහි විවිධ දේශපාලුවන්ගේ නම් කොටා තිබුණි. එය පසුකොට සුළු වෙලාවකින්, අප හපුතලේ දුම්රිය ස්ථානය වෙත ලඟා වුනි. 
පීලිපැන තේ වත්තක නතර වූ භාණ්ඩ ප්‍රවාහන ගැල.
               හපුතලේ දුම්රිය ස්ථානය, මෙම මාර්ගයේ එක් කලෙක ප්‍රධාන දුම්රිය ස්ථානයක්ව පැවතුනි. අදටත් මෙතනින් අවසන් වන දුම්රිය දෙක තුනක් ධාවනය වේ. මුහුදු මට්ටමේ සිට අඩි 4653ක උසකින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 153ක් සහ දම්වැල් 43ක දුරකින් පිහිටා ඇත. පාෂ මාර්ග කිහිපයක අංගනයක්, ගබඩාවක් සහ විශාල වතුර ටැංකියක් සතු මෙම දුම්රිය ස්ථානය සතුව, අතීතයේ එන්ජින් දෙකක් සඳහා ධාවනාගාරයක් පැවතී ඇත. අද ඔබ කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දකින B9- 135  එන්ජිම, එක් කලෙක මෙම දුම්රිය ස්ථානයට අනුයුක්තව තිබී ඇත. 
හපුතලේ වේදිකාව.
               හපුතලේ වෙත දුම්රිය මාර්ගය ලඟා වූයේ 1893දීය. මෙම මාර්ගය තැනීමේදී, මෙතෙක් අනුගමනය කල පුද්ගලික කොන්ත්‍රාත් ක්‍රමය වෙනුවට, රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉදිකිරීම් කටයුතු සිදු කෙරී ඇත.

හපුතලේ දුම්රිය ස්ථානයේ විනාඩියක් නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් සිය තිරිංග මුදා හලේ, දියතලාව බලා යාමටය... 

Saturday, January 23, 2016

ශ්‍රී ලංකාවේ සුන්දරතම දුම්රිය ස්ථානයක් වෙත...

        
ඉදල්ගස්හින්න දෙසට ඇදෙන පොඩි මැණිකේ..

          ඔහිය දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ නැවතත් අවතීර්ණ වූයේ වනාන්තර පෙදෙසකටයි. උඩරට වියලි කලාපයට ආවේණික ලක්ෂණ පෙන්නුම් කල වනාන්තරය තුලින් වැටී තිබුණු මග ඔස්සේ ඇය ගමන් කලේ, අඩු වේගයකිනි. එක් විටම පැරණි වෙඩි බෙහෙත් ගබඩාවක් පසු විය. එය නම් සේයාරු ගත කිරීමට මට නොහැකි විය. 
නාය යාම් සහ ගල් කඳු කඩාවැටීම් ගැන අනතුරු අඟවා තිබුණු අයුරු.
          මෙම කොටස දැඩි බෑවුමකින් යුතුය. මෙම බෑවුමත් එසේ මෙසේ බෑවුමක් නොව, අඩි 44ට එකක ආනතියකින් යුතු බෑවුමකි. පොඩි මැණිකේ දුම්රිය සාමාන්‍යයෙන් මැදිරි 6කින් සමන්විතය. එක මැදිරියක් ටොන් 28ක් පමණ බරය. ඒ අනුව මුළු දුම්රිය (එන්ජිම රහිතව) ටොන් 168ක් බරය! මෙම මැදිරි වල මුළු බරත්, මගීන්ගේ සහ අනෙකුත් අවශේෂ බරත් එකතු වූ විට ටොන් 175ක පමණ බරක් එකතු වනු ඇත. මෙම සියලුම බර දරා සිටිය යුත්තේ ටොන් 89ක් බර එන්ජිමක තිරිංග පද්ධතියයි.
උඩරට වියලි කලාපය තුලින් බෑවුම ඔස්සේ..
          යම් හෙයකින් තිරිංග ගිලිහී යාමට ඉඩ හළොත්, බණ්ඩාරවෙලට දුම්රිය ලඟා වන විට පැයට සැතපුම් 100කට එහා වේගයක් දුම්රිය සතු වනු ඇත! මේ නිසා, මෙම කොටසේ ධාවනය වන සියලුම දුම්රිය වෙත පැයට සැතපුම් 20ක උපරිම වේග සීමාවක් පනවා ඇත. මෙම වේගය පවත්වාගැනීමට, ඩයිනමික් හෙවත් ගතික තිරිංග මහෝපකාරී වේ. අප ඔහිය දුම්රිය ස්ථානයෙන් පිටත් වූ තැන් පටන් දිගටම, ඩයිනමික් තිරිංග පද්ධතියට අදාළ පංකාව වේගයෙන් ක්‍රියා කරන හඬ අපට එන්ජිමේ හඬ පරදවා අසන්නට ලැබුණි.
          අප මෙම ගමන් කරන කොටසේ එක් විශේෂතාවයක් ඇත. පාරිසරික සුන්දරත්වය මෙන්ම, උඩරට දුම්රිය මාර්ගයට ලාක්ෂණික වූ බිංගෙවල් එම විශේෂත්වයයි. ඒ, යාබද දුම්රිය ස්ථාන දෙකක් අතර හමු වන වැඩිම බිංග සංඛ්‍යාවක් ඇතුලත් කොටස මෙය වන බැවින්ය. අංක 22 බිංගයෙන් ආරම්භ වී, එකක් පසුපස එකක් ලෙසින් අංක 36 වන බිංගය දක්වා අපට මෙම කොටසේදී හමු වේ. සමහර ස්ථාන වලදී, දුම්රිය එකවර බිංග දෙකක් තුලින් ගමන් කරයි. 
එකක් පසුපස එකක් ලෙස පිහිටි බිංග 14න් දෙකක්. (දුම්රිය පා ගමනක් අතරතුරදී ගත් සේයාරුවකි)
          මෙම බිංගෙවල් වඩාත්ම කතා බහට ලක්වූයේ, අද නොව වාෂ්ප එන්ජින් යුගයේ ය. ගල් අඟුරු එන්ජිමට සෑම වෙලේම ගල් අඟුරු දමන්නේ නැත. ෆයර්මන්වරයා විසින් එය කරන්නේ ක්‍රමානුකූලවයි. ඔහුට මාර්ගය ගැන හොඳ දැනීමක් තිබීම අත්‍යවශ්‍යය. බිංග තුලදී චිමිනියෙන් පිට වන දුමාරය අවම වන සේ ඔහු කටයුතු කල යුතුය. ගල් අඟුරු දුමාරය හුස්ම ගැනීම අපහසුතා ඇති කරන බැවින්, බිංගය තුලට පිවිසෙන දුම්රිය එහි ඇතුලත දුමාරය අවම වන පරිදි බිංගයට කලින් ලිප හොඳින් දල්වා වාෂ්ප පීඩනය ඉහල දමා තිබිය යුතුය. 
නැවතත් තේ වතු කලාපය වෙත..
          එකක් පසුපස එකක් පිහිටි බිංග 14 තරණය කල පොඩි මැණිකේ, නැවතත් තේ වතු පෙදෙසකට අවතීර්ණ වූවාය. මදක් ඈතින් සංඥා කුළුණක් දිස් විය. ඒ, ඉදල්ගස්හින්න අවුට් හෝම් සංඥාවයි. තරමක විශාල වංගුවක් පසු කල පොඩි මැණිකේ, අතහැර දමනු ලැබූ පුංචි කෝච්චි මැදිරියක් පසු කොට, ඉදල්ගස්හින්න වෙත සේන්දු වූවාය.. 
ඉදල්ගස්හින්න වෙත පිවිසෙන පොඩ්ඩි..
(සේයාරු හිමිකම- අකිල කරුණාරත්න)
          ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දරතම දුම්රිය ස්ථාන අතරින් එකකි. මුහුදු මට්ටමේ සිට අඩි 5464ක උසකින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුමරිය ස්ථානයේ සිට සැතපුම් 148ක් සහ දම්වැල් 74ක දුරකින් පිහිටියේය. පාෂ මාර්ග දෙකක් සහිත තරමක කුඩා දුම්රිය ස්ථානයක් වූ මෙහි, ඈත කාලයේ එක් වාෂ්ප එන්ජිමක් ස්ථානගත කර තිබුණු බව පැවසේ. 
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය.
          ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පිහිටියේ, දෙපසින්ම දැඩි බෑවුම් සහිත කඳු මුදුනක් වැනි අඩවියකයි. මෙම දුම්රිය ස්ථානයේ විශේෂත්වය නම්, වහලට වැටෙන වැසි ජලය, එක් පසෙකින් මහවැලි ගඟටත්, අනෙක් පසින් වලවේ ගඟටත් එකතු වීමයි! පැහැදිලි දිනයකදී මෙම දුම්රිය ස්ථානයේ සිට දකුණු මුහුද දක්වාම දැකිය හැකිය! රාත්‍රී කාලයේ දෙවුන්දර ප්‍රදීපාගාරයේ එලිය මෙම දුම්රිය ස්ථානයේ වේදිකාවට දර්ශනය වන බව කියවේ.. 
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ වේදිකාවට පෙනෙන දර්ශනය..

          වෙලාවට විනාඩි දෙකක් කලින් මෙහි ලඟා වූ බැවින්, අපට අවට සිරි නැරඹීම පිණිස විනාඩි දෙකක අමතර කාලයක් ලැබුණි. මාගේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කට්ටේ තිබුනත්, සේයාරු දෙකක් සටහන් කරගතිමි. හරියටම වෙලාවටම පොඩි මැණිකේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹීය...  






Saturday, January 16, 2016

මහ එලිතැන්න රක්ෂිත අඩවිය හරහා..

           
පට්ටිපොලින් නික්මුණු විගස හමු වූ එළවලු පාත්තියක්..
            පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් නික්මුණු පොඩි මැණිකේ, තව දුරටත් සිය සුපුරුදු වේගයෙන්ම ඉහල නගින්නට වූවාය. අවට පරිසරය කාලය තුල නැවතී ඇති සෙයක් දිස් විය. මේ අප ගමන් කරන්නේ මහ එලිතැන්න රක්ෂිතය හරහාය. එබැවින් අප වනාන්තරයක් තුලින් දුම්රිය ගමනක යෙදෙන්නාක් වැනි හැගීමක් අපට දැනුනි.. 

             හදිසියෙන්ම අකිල අයියාගේ කටහඬ අවධි විය.
   “ඔන්න සමිට් ලෙවල් එක තියනවා ගන්නවා ගන්නවා....” 

සමිට් ලෙවෙල් එක පසු කරන එන්ජිම..
             අපි වහ වහාම කැමරා අතට ගෙන සූදානම් වූයේ ලොව එතෙක් මෙතෙක් පුළුල් ආමාන මාර්ගයක් ගිය ඉහලම උන්නතාංශය වන අඩි 6226ක උස සටහන් වන ස්ථානයේ සිටුවා ඇති පුවරුවේ සේයරූ සටහන් කරගැනීමටයි. මාගේ විශ්වාසනීය කැමරාවට පිං සිදුවන්නට පොඩ්ඩි එය පසු කර යනු දෙවරක්ම කැමරාවට ගත හැකි විය.. 

            පාකිස්තානයේ දැනට භාවිතා නොකරන දුම්රිය මාර්ගයක් හැරුණු විට, වැඩිම උන්නතාංශයක් කරා ගමන් ගන්නේ අප උඩරට දුම්රිය මාර්ගයයි. එම ගමනේ වැඩි හරියක්, අඩි 44ට එකක් වූ තියුණු නැග්මක පිහිටා ඇත. අනික් පසින් එවැනිම තියුණු බැස්මකි. කඳු හෙල් අතරින්, අසීරු භූ ප්‍රදේශ හරහා, ඉතා කෙටි දුර අතර සීඝ්‍ර බෑවුම් සහිත මෙම මාර්ගය, එකල “Railway to the Moon” යනුවෙන් අන්වර්ථ නම් ලබා ඇත.. 
ඉහලට නැගීම අවසන් කරන නැරඹුම් මැදිරිය..
            සමිට් ලෙවල් එක පසු කල පොඩ්ඩි, දැන් සිය ගතික තිරිංග (Dynamic brake) භාවිතා කිරීමට පටන් ගනී.. මෙතැන් පටන් බදුල්ල දක්වාම ඇය ඉදිරියට යන්නේ තිරිංග සහිතව අවදානම් ගමනකි. පැයට සැතපුම් 20ක වේගයක් තරයේම ඇය වෙත පවත්වාගැනීමට, රියදුරු මහතා සිය දක්ෂතාවය සමග එක් වූ අත්දැකීම් සමුදාය භාවිතයට ගනී. 
මෙකට් ටනල් එකට සම්බන්ධයි. මේ ආරුක්කුව ඇවිල්ලා මෙතනින් ඉහල දේවාලයකට සහ පන්සලකට යන්න තියන පාර.
            තවත් ටික දුරකින්, සුප්‍රකට අංක 18 බිංගය අප හමුවේ දිස් වේ. සමිට් ටනල් ලෙස හැඳින්වෙන මෙය, කලක් දුම්රිය දෙපාර්තමේන්තුවට මහා කරදරයක්ව පැවති ස්ථානයකි. අධි බල ගැරට් එන්ජින් වලින් නිකුත් වූ වාෂ්ප පහර නිසා, මෙහි ඇතුලත ලයිනින් එක කැඩී, ඇතුලට මඩ පිරෙන්නට විය. අවසානයේ, 1981 වර්ෂයේ ප්‍රියාල් ද සිල්වා ඉංජිනේරු මහතා යටතේ කෙරුණු අලුත්වැඩියා කටයුතු සාර්ථක විය. 

           මෙම බිංගය සතුව තවත් විශේෂත්වයක් ඇත. ඒ, පට්ටිපොළ දෙසින් උඩරට තෙත් කලාපයේ සීතල, වැසිබර කාලගුණය අත් දකිමින් බිංගය තුලට ඇදී යන දුම්රිය, ඉන් එලියට එන විට, දීප්තිමත් හිරු බැබලෙන උඩරට වියලි කලාපයට එක් වරම ප්‍රාදුර්භූත වීමයි.. නානුඔය දෙසට වර්ෂා දිනවලදී මෙම කාලගුණ වෙනස ඉතා හොඳින් අත් විඳීමට ලැබේ.. 

අංක 18 බිංගයට ඇතුළු වන පොඩ්ඩි..
          මේ අයුරින් පට්ටිපොළ බිංගය පසු කල පොඩි මැණිකේ, දැවුණු වෘක්ෂ සහිත කලාපයක් පසු කළේය. ඒ ආසන්න කාලයකදී දැවුණු වනාන්තරයෙන් ඉතිරි වූ ගස් අප දුටුවෙමු. ඒවායේ පිටපොත්ත දැවී, ඇතුලත කඳ ඉතිරි වී තිබුණි. 

ගින්නට දැවුණු ගස්..
    “ඔය ගින්නෙන් වැටිච්ච ගස් ඔතනම සුද්ද කරලා අරං රේල් පාරේ පිච්චුන කොට වෙනුවට කොට හදලා දැම්මා..” ඒ, මගේ වදන්ය. 

          තවත් ටික දුරක් යන විට, මෙම ගමනේදී අපට හමු වන අංක 19 බිංගය හමු විය. තරමක් කෙටි බිංගයක් වූ එය පසු වී, අප මෙම මාර්ගයේ ඇති වැඩිම දුරක් තනි කෙලින් පිහිටි බිංගය වන අංක 20 බිංගය වෙත ඇතුළු වූයෙමු. මෙම බිංගය ආරම්භයේ සිට අවසානයටම තනි කෙලින් පිහිටියේය! 

මෙන්න තවත් බිංගයක්..
            එය පසුකොට, තවත් මද දුරක් ඇය ගමන් ගත්තාය. එන්ජිම, සිය ඩයිනමික් තිරිංග භාවිතයෙන් නිපදවෙන විදුලිය පුළුස්සා දමන ප්‍රතිරෝධක සිසිල් කිරීමට, සිසිලන පංකාව වේගයෙන් ක්‍රියා කරවන හඬ, අපට මැදිරි වල සිටම ඇසීමට හැකි විය.. තවත් පාලමක් පසු විය. ඒ සමගම, බිංගයක් පසු කල පොඩි මැණිකේ, ඔහිය දුම්රිය ස්ථානයට අවතීර්ණ වූවාය.. 

           ඔහිය දුම්රිය ස්ථානය වනාහි, මෙම දුම්රිය මාර්ගයේ ඇති කුඩා, එහෙත් දර්ශනීය දුම්රිය ස්ථානයකි. ශ්‍රී ලංකාවට වඩා, යුරෝපයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඇති දුම්රිය ස්ථානයක සිරිය උසුලයි. මුහුදු මට්ටමේ සිට අඩි 5877ක උසින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 143ක් සහ දම්වැල් 30ක දුරින් පිහිටියේය. 

           පාෂ මාර්ග දෙකකින්, ඉපැරණි බවක් දිස් වූ පැරණි දුම්රිය ස්ථානය වට කරගත් නවීකරණය කෙරුණු ගොඩනගිල්ලකින් සමන්විත මෙම දුම්රිය ස්ථානය, එකල වඩාත් ප්‍රසිද්ධ වූයේ, හෝටන් තැන්න වෙත යා හැකි පහසු මාර්ගය ලෙසයි..


ඔහිය දුම්රිය ස්ථානය අද..
විනාඩියක කාලයක් ඔහිය දුම්රිය ස්ථානයේ නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් බදුල්ල බලා පිටත් වීමට සූදානම් වූවාය. නලා සංඥා දුන් ඇය, හෙමිහිට තිරිංග මුදාහලෙන්, නැවත බදුල්ල දෙසට ඇදී යාමට පටන් ගත්තාය..  

Saturday, January 9, 2016

ලංකාවේ ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානය වෙත..

           අඹේවෙල  දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ, නැවතත් සිය සුපුරුදු නැග්ම වෙත අවතීර්ණ වූවාය.. අවට පරිසරය තේ වතු වලට වඩා, උඩරට එළවලු වගාවන් තුලින් වැටුණු සෙයක් දිස් විය. ඇත්ත වශයෙන්ම තේ වතු නොදුටු තරම්ය. 
උඩරට  එළවලු වගාවන්..

          මාර්ගයේද දළ බෑවුමක් නොවූ ලෙසින්, පොඩි මැණිකේ මෙම කොටසේ තරමක වේගවත් ධාවනයක් සිදු කලාය. අඹේවෙල වන තුරු පැමිණි අඩි හතලිස් හතරට එකක් වූ දැඩි ආනතියට වඩා අඩු ආනතියක අප ගමන් කරන ලෙසක් දැනුනි.
          එමෙන්ම, ඉහලට යන විට කාලගුණයේ සහ අවට පරිසර උෂ්ණත්වයේද වෙනසක් දැනුනි. හිරු පායා තිබුණු දීප්තිමත් දිනයක් වුවත්, අවට පරිසරයේ වූයේ ප්‍රබෝධජනක සිසිල්, නැවුම් බවකි. අප පා පුවරු වලම ගමන් කළෙමු. දුම්රිය තොරතුරු හුවමාරු කරගනිමින්, මාර්ගය ආදී දේ ගැන අප දත් දේ සාකච්ජා කරමින්, විහිලු තහළුවෙන් අප ගමන් කළෙමු.

          අශාන් ඔහු මෙම මාර්ගයේ ඔහු පැමිණි රේල් හයික් ගැන කතා කළේය. අපද එවැනි රේල් හයික් එකක් යා යුතු බව ඔහු යෝජනා කළේය.. රේල් හයික් ගැන එතරම් පැහැදීමක් හෝ දැනුමක් නොවුණු මා එම කතා අසා සිටියේය.
  
         ඉතා කෙටි දුරක් ගෙවීමෙන් අනතුරුව, නැවතත් සංඥා කුළුණක් දිස් විය. ඒ, පට්ටිපොළ ඉහල අවුට් හෝම් සංඥාවයි. තවත් කෙටි දුරකින්, පොඩි මැණිකේ පට්ටිපොළ දුම්රිය ස්ථානයට ලඟා වූවාය..
පට්ටිපොළ වෙත ලඟා වන පොඩ්ඩි.. පේනවා නේ? කැමරා ටික අතේම තමා..
         පොඩි මැණිකේ මේ පැමිණියේ, උඩරට මාර්ගයේ තවත් වැදගත් දුම්රිය ස්ථානයක් වෙතටයි. උඩරට මාර්ගයේ පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවටම සහ ලෝකයටම වැදගත් දුම්රිය ස්ථානයක් වෙතටයි. ඒ නම්, ලොව ඉහලම උසකින් පිහිටි පුළුල් ආමාන (Broad Gauge) දුම්රිය ස්ථානය වෙතටයි. එමෙන්ම, දැනට ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයටයි..
ප්ලැට්ෆෝම් ඒකෙ මෙන්න මෙහෙම එකක් තිබ්බා..
         උසින් මුහුදු මට්ටමේ සිට අඩි 6224ක් සහ, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 139ක් සහ දම්වැල් 19ක දුරින් පිහිටි පට්ටිපොළ දුම්රිය ස්ථානය, පාෂ මාර්ගයකින් සහ නටඹුන්ව ගිය තවත් වේදිකාවකින් සමන්විත තරමක් කුඩා දුම්රිය ස්ථානයකි. මහ එලිතැන්න රක්ෂිතය ආශ්‍රිතව පිහිටි මෙම දුම්රිය ස්ථානය, වාෂ්ප එන්ජින් යුගයේදී දුම්රිය ත්‍රිකෝණයක්ව පැවතුනි. එය භාවිතයට ගත්තේ, එකල නානුඔය දෙසින් සහ බදුල්ල දෙසින් පැමිණෙන සහායක එන්ජිම ආපසු හරවා යැවීම පිණිසයි.  
පට්ටිපොළ දුම්රිය ස්ථානය..
          දුම්රිය එන්ජිමක් හැරවීමට ක්‍රම දෙකක් ඇත. එකක් නම් මහනුවර ආදී දුම්රිය ස්ථාන වල දක්නට ඇති හැරවුම් මේසයයි (Turn table). අනෙක නම් ත්‍රිකෝණයයි. මෙම ක්‍රමය වියදම් අඩු ක්‍රමයකි. පට්ටිපොළ ත්‍රිකෝණයේ අඹේවෙල දෙසින් වූ කොටස, පසු කාලීනව ගලවා ඉවත් කර ඇත. 
දුම්රිය ත්‍රිකෝණයේ ඉතිරි කොටස..
         මගීන් කිහිපදෙනෙක් දුම්රියට ගොඩ වූ අතර, කිහිප දෙනෙක් බැස ගියෝය. දුම්රියට නලා සංඥාව ලබා දෙන්නට පැමිණි දුම්රිය ස්ථානාධිපති දුටු මට සහ අකිල අයියාට පුදුම සිතුනි. ඒ, එම දුම්රිය ස්ථානාධිපති වෙන කිසිවෙක් නොව, කලින් ගෙලිඔය දුම්රිය ස්ථානයේ සේවය කල ස්ථානාධිපතිවරයා වූ බැවින්ය!
වෙලාව පස්වරු 1යි 16 වී ඇත. විනාඩියක ප්‍රමාදයක් සහිතව අප පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් පිටත් වූයෙමු..

Saturday, January 2, 2016

කලක් දඩයමට සුප්‍රසිද්ධ වූ එල්ක් තැන්න හරහා..

          පොඩි මැණිකේ නානුඔයෙන් පිටත් වූ පසු, අප දිවා ආහාරය ගැනීම සඳහා වාඩි වූයෙමු. බොහෝ මගීන් පිරිසක් නානුඔයෙන් බැස ගොස් තිබු නිසා, දුම්රිය ආසන සෑහෙන තරම් හිස් විය. අප සිව් දෙනාට එක ළඟ අසුන්ගත හැකි විය.
මා මෙම ගමන සංවිධානය කරන විට හැමෝටම කී දෙයක් නම්,  

“කන්න ගේන දෙයක් අතේ නොගෑවෙන්න කන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ... නැත්තම් අත් හෝදගන්න හතර වටේ යන්න වෙයි..” 

          යන්නයි. එම නිසා, අපේ දිවා ආහාරය, කඩල, පාන් ආදියෙන් සමන්විත විය. මා මගේ “විශේෂ” ක්‍රමයකට සෑදු පොල් සම්බෝල් දමා පාන් ටෝස්ට් කරගෙන අරං ගියෙමි. 

           පොඩි මැණිකේ මුල් කාලයේ ධාවනය වූයේ නානුඔය දක්වා පමණි. ඒ, M2 හෝ M6 එන්ජින් වලින් නොව, S3 පන්තියේ බලවේග කට්ටල පවර් කාර් 2ක් එකිනෙකට පසුපස සිටින සේ සම්බන්ධ කොට, ඒ පසුපසින් මැදිරි 9ක් එකතු කිරීමෙනි. අශ්වබල 1700ක බලයක් සහිත වූ මෙම ද්විත්ව කට්ටලය, උදැසන කොළඹින් පිටත් වී දහවල් වනවිට නානුඔයට පැමිණ, නැවතත් හවස් වන විට කොළඹ ආවාය. 

           එහෙත් 1970 දශකයේ මැද වන විට, S3 බලවේග කට්ටල වල කාර්යය W2 පන්තිය භාරගෙන තිබුණි. පොඩි මැණිකේට නැරඹුම් මැදිරියක් එකතු වී තිබුණි. 1970 දශකයේ අග වන විට, ඇය ක්‍රමයෙන් බණ්ඩාරවෙලට සහ අනතුරුව බදුල්ලටම යාමට පටන්ගත්තාය..  
යමු යමු පෙරමුණ බලා...
           ආහාරය එහෙන් මෙහෙන් ගිල දැමූ අපි, හවසට තව කොටසක් ඉතිරි කරගෙන, නැවතත් පා පුවරු කරා ගියෙමු. ඒ විටම වාගේ, පොඩි මැණිකේ කුඩා දුම්රිය නැවතුමක් වූ පැරකුම්පුර නතර කෙරුණි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 130ක් සහ දම්වැල් 50ක් දුරින් පිහිටි මෙම කුඩා දුම්රියපොළේ, පැරණි, අත්හැර දමන ලද පටු ආමානයේ භාවිතා වූ භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් දක්නට ලැබුණි! 

පැරකුම්පුර ඇති පටු ආමාන මැදිරිය.
           අප දිවා ආහාරය ගන්නා අතරතුරේ, පොඩි මැණිකේ සෑහෙන තරමක දුරක් පැමිණ ඇත. තරමක වන ලැහැබක් තුලින් ගමන් ගත් පොඩි මැණිකේ, නැවතත් විවෘත අඩවියකට ලඟා විය.. ඒ, අප බලා සිටි අවස්ථාවකි. ඒ නම් එල්ජින් ඇල්ල දර්ශනය වන්නේ මෙම අඩවියටයි. මාගේ විශ්වසනීය ජංගම දුරකථනය සිය කැමරාවෙන් එහි දර්ශන දෙකක්ම සටහන් කරගැනීමට සමත් විය..  
එල්ජින් ඇල්ල.
           දැන් දැන් තේ වතු අතරින්ම උඩරට එළවලු වගාවන් දක්නට ලැබුණි. ගෝවා, ලීක්ස් සහ මට හඳුනාගත නොහැකි වූ එළවලු වර්ග ඒ අතර තිබුණි.  
මේක නම් වැවක්ද මොකද්ද දන්නේ නෑ..
       
අලුතෙන් සිටවූ එළවලු පාත්තියක්..

         තවත් මද දුරක් ගමන් කල පොඩි මැණිකේ, සුප්‍රසිද්ධ නානුඔය පාලම තරණය කලාය. එකල පොඩි මැණිකේ සතු වූ නියම ලස්සන දිස් වූයේ මෙවැනි පාලම් ආදිය හරහා ගමන් කරන විටය.. අප එම අවස්ථාවද කැමරා වලින් සේයාරු ගත කළෙමු.. 

නානුඔය පාලම හරහා..
ඈතින් දිස් වූ එම පාලම
           තවත් ටික වෙලාවකින්, ඉපැරණි බවක් දිස් වූ සැමෆෝ සංඥා කණුවක් දිස් විය. ඒ, අඹේවෙල දුම්රිය ස්ථානයේ අවුට් හෝම් සංඥාවයි.. 
අඹේවෙල අවුට් හෝම් සංඥාව.
           ඒ සංඥා අනුව, පොඩි මැණිකේ සිය හදවතට මද විවේකයක් ලබාදෙමින් අඹේවෙල දුම්රිය ස්ථානයට ඇතුළුවී මදක් ගිමන් හරින්නට වූවාය..
අම්බෙවෙලට එන පොඩ්ඩි.. පේනවා නේද කට්ටිය හෝ ගාලා ෆොටෝ අල්ලනවා..
           අඹේවෙල දුම්රිය ස්ථානය, මුහුදු මට්ටමේ සිට අඩි 5995ක් උසින් පිහිටියේය. ඒ, නානුඔයට වඩා අඩි 700ක පමණ උසකි. මෙම උස නැගීමට දුම්රිය මාර්ගය සැතපුම් 9ක දුරක් ගෙවා ඇත. ඒ නම්, අඹේවෙල දුම්රිය ස්ථානය කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 137කුත්, දම්වැල් 08ක් දුරින් පිහිටියේය.. අඹේවෙල දුම්රිය ස්ථානයද, පැරණි උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ආකෘතියට අනුව, පාෂ මාර්ග කිහිපයක්, බඩු ගබඩාවක් සහ තනි වේදිකාවකින් සමන්විත, මනරම් දුම්රිය ස්ථානයකි. 

අඹේවෙල දුම්රිය අංගනය සහ ගබඩාව.
            මෙම දුම්රිය ස්ථානය පිහිටියේ එල්ක් තැන්න නම් අඩවියේ ය. එල්ක් තැන්නට නම වැටීමට එල්ක් නම් මුව විශේෂය හේතු වී ඇත. එහෙත් කණගාටුවට කරුණ වන්නේ, අධිරාජ්‍යවාදී සමයේ මෙන්ම පසු කාලයේද සිදු වූ සීඝ්‍ර දඩයම් කිරීම නිසා, මෙම සතුන් දැන් මෙම අඩවියේ බෙහෙතකටවත් සොයාගැනීමට අසීරු වීමයි..
  
            මෙම දුම්රිය ස්ථානයට යාබදව, සුප්‍රකට අඹේවෙල දියර කිරි කර්මාන්තශාලාව පිහිටා ඇත.. මෑතකදී පලවූ ප්‍රවෘතියක් අනුව, මෙම කර්මාන්තශාලාව සිය නිෂ්පාදන දුම්රිය මගින් බෙදාහැරීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත.. 
අඹේවෙල කිරි කර්මාන්තශාලාව එදින දිස් වූ අයුරු..
         පොඩි මැණිකේ දුම්රිය අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට සූදානම්ය. වෙලාව පස්වරු 1යි විනාඩි 9කි. අඹේවෙල දුම්රිය ස්ථානයෙන් ඇය පිටත් විය යුතු වූයේ 1යි 10ටය. වෙලාව එනතුරු මදක් රැඳී සිටි ඇය, හරියටම වෙලාවට අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට සිය නලා හඬ නැංවූවාය...