නිවාඩුත් හම්බුනා ඔන්න සෑහෙන කාර්යබහුල සති
දෙකකින් පස්සේ.. කාර්යබහුල වෙන්න හේතුව තමා නොවැම්බර් අන්තිම සති ටිකේ මට විභාග
තිබුනා. ඒ අතරේ ඉස්කෝලේ වාර විභාග. ඒ ගැන කලින් පෝස්ට් එකේ ලිව්වා. ඕවා මේවා අහවර
වෙනවත් එක්කම, අපේ අත්තම්මත් අපිව දාලා ගියා හදිසියේම වගේ. ඒ නොවැම්බර් 26 වෙනිදා
සඳුදා.
ඒ වැඩ ඉවර කරලා, ඉතුරු වෙලා තිබ්බ පේපර් එකටත්
ලියලා, හත් දවසේ දානේටත් පස්සේ තමා හරිහමන් නිවාඩුවක් හම්බුනේ. ඉතිං ඊට පස්සේ සති
අන්තේ (දෙසැම්බර් 15 වෙනිදා), අපේ දුම්රිය සමූහයේ ගෙහාන්, තූර්ය, ලහිරු, ගයන්ත අයියල ඇතුළු යාළුවො ටික
ගමනක් ලෑස්ති කරලා තිබ්බා. ගමනාන්තයක් නැති ගමනක් කිව්වොත් තමා හරි.
මේ ගමනේ තීරණය වෙලා තිබ්බ එකම සාධකය තමා උදේ
මහනුවර ඉඳන් බදුල්ලට යන අංක 1126 මිශ්‍ර දුම්රියේ උඩහට යනවා කියන එක. යන්නේ කොහෙද,
බහින්නේ කොහෙද, ඊට පස්සේ මොකද කරන්නේ කියන එක දුම්රිය කාලසටහන සහ ධාවනය වන ආකාරය
මත තීරණය කරන්න අපි ලැස්ති පිට තමා ඉතිං ගියේ.
කොළඹින් පිටත් වෙන කස්ටිය ඉතිං මහා රෑ යක්කු ගස්
යන ජාමේ රස් බතයකින් නුවරට ඇවිල්ල තිබ්බා. ඒ අස්සේ එන්නම් කියල හිටි එක්කෙනෙක්
අන්තිම මොහොතේ අසනීප වෙලා ගමන අලවංගු කරලත් තිබ්බා. මමත් ඉතිං පාන්දර නැගිටලා
ලැස්ති වෙලා උදේ 3.40 වගේ වෙද්දී ගෙලිඔයට ගිහිං ගත්තා හපුතලේ ට ටිකට් කෝකටත්
කියලා.
මෙයා තමා M7 එන්ජිම. අඩු ඉඩකඩකින් උපරිම ප්‍රයෝජනයක් අරං හදපු එන්ජිමක්. ඒත් දැන් මේ ගෙවෙන්නේ මෙයාගේ අවසාන කාලය. |
දැන් ඉතිං ඉන්නවා ප්ලැට්ෆෝම් එකට වෙලා. ඒ අස්සේ
එදා ඔන්න තවත් අලුත් වැඩක්. නාවලපිටියට ලේසියකට යන්නේ නැති M7 පන්තියට අයිති අංක
810 එන්ජිම ආවා මිශ්‍ර දුම්රිය අරං. මොනා නැතත් වෙලාවට ආවා හැබැයි. ගම්පොලින් පාර්සල්
පනස් ගාණක් බාලා, ඔන්න ආවා නාවලපිටියට. එතනින් මම බයේ හිටියේ කලින් වගේ M5 එකක්
හම්බ වෙලා ගමන සොරි.කොම් වෙයි කියල. ඒත් මගේ බලවත් සතුටට හේතු වෙන පරිදි, අපිට M6
පන්තියේ අංක 792 එන්ජිම ලැබුනා. ඔය පන්තියේ තියන සුපිරිම එන්ජිමක්.
ඔන්න ඉඟුරුඔය පහු කරලා එනකොට ඉර පායාගෙන එනවා.. |
ඉඟුරු ඔය.. |
කලින් ගමන වගේ නෙවේ මේක ඉතිං රොකට් එක වගේ යනවා
උඩහට. මෙදා සැරේ අපේ කණ්ඩායමට අලුතෙන් පවුල් පන්සල් උන දෙන්නෙකුත් ඇවිත් හිටියා.
ඉතිං ඒ බවලත් උදවිය නිසා යන ගමනේ වැඩි හරියක් ගියේ ආසන වල වාඩි වෙලා තමා. හැබැයි
ඉතිං ඒ කියලත් මගේ චර්යාවේ නම් වැඩි වෙනසක් තිබ්බේ නෑ. ෆුට් බෝඩ් එකේ තමා මගේ ගමන වැඩි
හරියක් තිබ්බේ. කන වෙලාවට විතර ද කොහෙද ඉඳගන්න ආවේ.
මේ යන ගමන් අපි සෙට් එක. ගානට සීට් එකට ඉන්නවා. |
වටවල.. |
මේ ඇවිල්ලා හැටන් දුම්රිය ස්ථානයේ තියන කාලයට අනුව ඩිජිටල්කරණය වී නවීකරණය වූ පැරණි තරාඳියක්. අවම වශයෙන් ග්‍රෑම් 500ක් කිරන්න පුළුවන්. |
මම අත්දැකීමෙන් දැකල තියන දෙයක් තමයි, උඩරට
පැත්තට යන්න හොඳම කාලේ දෙසැම්බර්- ජනවාරි කියන එක. ඔය කාලෙට ඔය පැත්ත මාර ම
ලස්සනයි. ටිකක් පායපු කාලයක් නිසා, ඒ ලස්සන තවත් වැඩි වෙලා වගේ මට පෙනුනා.
කොහොමින් කොහොම හරි, අපි උඩහට ඇවිත් ඔන්න කොටගලටත් ආවා. කලින් මේ දුම්රියේ ගිය
දෙපාරම මෙතන ෂන්ටින් සෙට් වෙලා නැතත්, මේ පාර ඉස්සරහ තිබ්බ ඔයිල් ටැංකිය (BGT- Bogie Gasoline Tank) ගලවලා
ඉවත් කරලා වෙන එකක් දාගත්තා. කොටගල ෂන්ටින් එකක් දැක්කමයි.
කොටගලදී දුම්රියට එකතු වූ ඉන්ධන ප්‍රවාහන ටැංකිය. |
එතන ඉඳන් ඒකත් බලලා, ඔන්න ආවා නානුඔයට. මෙතනින් කෝච්චිය පිරුනා හරියට පොල් ලොරිය වගේ. මේ
දුම්රියේ තිබ්බේ තෙල් ටැංකියක් (BGT), භාණ්ඩ ප්‍රවාහන ගැලක් (BCGS), තෙවන පන්තියේ
තිරිංග මැදිරියක් (TV), දෙවන
පන්තියේ මැදිරියක් (SC) සහ පළමු
පන්තියේ නිරීක්ෂණ මැදිරියක් (OFV). ඔය තුනම ෆුල්. ඔය අහු අස්සේ අපිට දැනගන්න
ලැබුනා අඹේවෙල ආපහු ෂන්ටින් එකක් තියනවා කියල. ඉතිං අපි තීරණය කළා අඹේවෙලින්
බැහැලා, පට්ටිපොළ සමිට් ලෙවෙල් එක වෙනකල් පයින් යන්න.
කොහොමින් හරි ඔන්න 10.45 වෙනකොට අපි අඹේවෙල.
ෂන්ටින් එකත් බලලා, කෝච්චියට යන්න දීලා, අපි ඒ වටේත් පොඩ්ඩක් ඇවිද්දා. අඹේවෙල
කියන්නේ පාෂ මාර්ග දෙකකින් සහ ගබඩාවකින් සමන්විත පුංචි උප දුම්රිය ස්ථානයක්. කොළඹ
ඉඳන් කිලෝමීටර් 219ක් දුරින් මෙතන පිහිටලා තියන්නේ. අපි යන්න ඕනේ ඔතන ඉඳන්
පට්ටිපොළ ට. ඒ කියන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානයට. ඒක තියන්නේ කිලෝමීටර් 223ක්
දුරින්. ඒ කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් 5ක වගේ ගමනක් තියන්නේ.
පා ගමන ආරම්භ කිරීමට පෙර අඹේවෙල දී.. |
අපි ඉතිං හෙමි හෙමිහිට යන්න පිටත් උනා. අපි ආපහු
එන්න කතා උනේ පොඩි මැණිකේ ට පස්සෙන් එන අංක 1008 දරණ දුම්රියේ. ඒක පට්ටිපොළ ට එන්න
තිබ්බේ පස්වරු 1.55ට. ඉතිං අපිට පැය තුනක වගේ කාලයක් තිබ්බා. මේ සෙක්ෂන් එකේ
බිංගෙවල් එහෙම මුකුත්ම නැහැ. හැබැයි පරිසරය ලස්සනයි. අපිට පස්සෙන් ඇල්ල බලා යන
සීග්‍රඝාමී දුම්රිය එන්න තිබ්බා. ඒ වගේම ඉස්සරහින් පොඩි මැණිකේ එන්න තිබ්බා. ඔය
දෙකෙන් කෝක එයිද කියල විමසිල්ලෙන්, ඒ උනත් අනංමනං කකා සැහැල්ලුවෙන් විහිලු
තහළුවෙන් අපි ගමන ගියා.
මේවත් එහෙං මෙහෙන් නෙවේ හරියට හම්බුනා. |
මේ සෙක්ෂන් එකේ අතරදී අපිට හම්බවෙන එක සුවිශේෂී
ස්ථානයක් තමයි අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්තශාලාව. මේක රේල්පාරට අල්ලපු වැට වගේ.
ඇත්තම කිව්වොත් රේල් පාරෙන් කටුකම්බි වැට පැන්නොත් කෙලින්ම ෆැක්ටරියේ. මේ
කර්මාන්තශාලාව පිහිටවන්නේ 1974 අවුරුද්දේ මට මතක විදියට. ඔතන කරන්නේ එක එක තැන්
වලින් එකතු කරන දියර කිරි ගෙනල්ලා, එක්රැස් කරලා, විසිර වියලන ක්‍රමයට වියලීම.
අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව. |
ඒ
කියන්නේ කිරි සියුම් බිංදු විදියට විසුරුවනවා. ඔය විසිරෙන කිරි, රත් කරපු ලෝහ
බැරල් එකකට වදිනවා. ඒකෙන් වෙන්නේ වතුර වාෂ්ප වෙලා පිටි වගේ කිරි එකතු වෙනවා බැරල්
එකේ. ඔන්න ඕක එකතු කරලා පැකට් වල අහුරලා තමා ඔය පිටිකිරි විදියට කඩේ ට එන්නේ.
මෙහෙම සරලව කිව්වට ඒක තව පියවර ගණනාවක් තියන ක්‍රියාවලියක්. ඊට අමතරව ඔතන තව
නිෂ්පාදන වෙනවා. යෝගට්, ඒ වගේම, අපි හැමෝම බොහොම ආසාවෙන් බොන හයිලන්ඩ් රස කල
කලකිරි එහෙමත් මෙතන නිපදවෙනවා.
ඔතන ඉතිං ෆොටෝ ටිකක් එහෙම ගහගෙන අපි ඉස්සරහට
ගියා. ඒ අතරේ ඔන්න ඇහුනා S12 හෝන් දෙකක් විතර. දැන් අපි බැලුවා කොහෙන්ද මොකද්ද
එන්නේ කියල. ටිකකින් ඔන්න ඉස්සෙල්ලම අංක 1006 දරණ පොඩි මැණිකේ අපේ කන් බීරි කරගෙන
හෝන් එකක් ගහගෙන පහලට ගියා.
මේ ඇවිල්ලා පහලට යන පොඩි මැණිකේ අපිව පහු කරගෙන යන ගමන්.. |
ගිහිං අඹේවෙල ස්ටේෂන් එකේ ගහපු හෝන් එකත් ඇහුනා.
දැන් මේ කියන තැන ට කිලෝමීටර් 2ක් වගේ දුරයි. ඒත් හෝන් එක ඇහුනා. අපි ඉතිං ඕනේ
එකක් කියල දැන් ඉස්සරහට යනවා. ඔන්න ටිකකින් පහලින් තවත් හෝන් එකක් ඇහුනා. මේ
වෙද්දී අපි පට්ටිපොළ අවුට් හෝම් සංඥාවට ඇවිල්ල. ඒත් ඒක තාම ඔන්. ටිකකින් ඔන්න
සංඥාව ඕෆ් උනා. අපි ටක් ගාලා පාරේ අයිනට උනා. මහනුවර සිට ඇල්ල බලා යන දුම්රියත්
එතැනදී අපිට පාස් උනා. දැන් ඉතිං ආය දුම්රියක හැපීම ගැන බයක් නැහැ.
ඇල්ල සීග්‍රඝාමී දුම්රිය. |
අපි පට්ටිපොළ ට ආවා 12.15 වගේ වෙද්දී. මමයි
ගෙහාන් අයියයි ලැස්ති උනා සමිට් ලෙවල් එකට ගිහිං එන්න. ඒත් ඉතිං ගයන්ත අයියයි
තූර්ය අයියයි කිව්වා “අපි මෙහෙම ඉන්නං. ඔහෙලා ගිහිං වරෙල්ලා” කියල. ඉතිං ඒ දෙන්නට
එතන බලා කියාගෙන ඉන්න කියල, අපි ඉතුරු ටික දෙනා එක්ස්ප්‍රස් එකේ ඇද්දා සමිට් ලෙවල්
එකට. ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙවේ, ලෝකෙම පුළුල් ආමාන දුම්රිය මාර්ගයක් යන ඉහලම
උන්නතාංශය තියන තැන.
සමිට් ලෙවල් හෙවත් ලෝකයටම ක්‍රියාකාරී පුළුල් ආමාන මාර්ගයක් යන උසම ස්ථානය. මේ ගැන පෝස්ට් කිහිපයකම කතා කල නිසා වැඩි විස්තරයක් සඳහන් කරන්නේ නෑ. |
එතැනට ගියාම දකින්න තිබ්බ දර්ශනයට නම් හදවත නතර
උනා කිව්වොත් හරි. කලින් පාරවල් වල එනකොට තිබුණු වන ආවරණය නැත්තටම නැති වෙලා එතන
ගස් කපලා දාලා. එතනට එන්න තිබ්බ ආසාව සම්පූර්ණයෙන්ම නැති උනයි කියල දැනුනේ මට
විතරක් නොවෙන වග, ගෙහාන් අයියගේ වචන වලිනුත් තේරුනා.
මේ ඉතා පැරණි මාර්ග සංඥාවක්. මේකේ භාෂා භාවිතය ගැන පොඩ්ඩක් අවධානයෙන් බලන්නකෝ. |
ඔතන ඉඳන් ෆොටෝ එකක් ගත්තට පස්සේ, අපිට අංක 18
බිංගය බලන්න යන්න වෙලාව තිබ්බත්, බඩගින්න බලවත් උන නිසයි, බවලත් අය දෙන්නෙක් හිටි
නිසයි, අර දෙන්නා ස්ටේෂන් එකේ දාලා ආපු නිසයි, අපි තීරණය කළා ගමන මෙතනින් නවත්තල
ආපහු හැරෙන්න. ගියාට වඩා ඉක්මනින් කොහොම හරි ස්ටේෂන් එකට ආපහු ආවා.
පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඇති විස්තර පුවරුව. |
පට්ටිපොළ වර්තමාන කාල සටහන. |
ඒ ඇවිත් ඔන්න අපි කඩේකට ගියා කන්න. එතනින් ෆ්‍රයිඩ්
රයිස් එකක් හම්බුනා ආය ඒක නම් තරු පහයි. මම ඉතිං කොහොමත් ටාර් පටාර් ගාලා කනවා නේ.
කාලා ඉවරලා අනික් අය එනකල් මම පට්ටිපොළ වටේ ඇවිදලා බැලුවා. පට්ටිපොළ ගැන මම කලින්
ලියල තියනවා. එතකොට ඔතන තිබ්බ දුම්රිය ත්‍රිකෝණය ගැන කියල තියනවා.
ඕක හැදුවේ ඒ දවස් වල පට්ටිපොළ දක්වා පසුපසින්
තල්ලු කරන්න යොදන එන්ජිම, ඒ කිව්වේ බෑන්කින් එන්ජිම, එහෙමත් නැත්තම් ඉස්සරහින්
යොදන සහායක හෙවත් පයිලට් එන්ජිම ආපහු හරවගන්න. ඕකට දෙපැත්තකින් ඇතුල් වෙන්න
තිබ්බත්, දැන් තියන්නේ එක පාදයක් විතරයි. ඕක බල බල ඉන්න අතරේ, පහලට යන පොඩි මැණිකේ
ගියා.
ඔය අතරේ කට්ටිය කාලා බීලා ඉවරල කඩෙන් එලියට ආවා.
ඒ කරලා ඉතිං ගිහිං ස්ටේෂන් එකට වෙලා කයියක් දාන් හිටියා. නාගන්න උණු වතුර උණු කරන
හැටි ගැන එහෙම රසවත් කතා ගොඩක් එතන උනා ඉතිං. ඔය අතරේ අපේ ඉස්කෝලේ සෙට් එකකුත්
කොහේදෝ ගිහිං ඇවිත් ඔතනට සෙට් උනා.
නියමිත වෙලාවට විනාඩි 10ක් විතර පරක්කු වෙලා,
ඔන්න 1008 දුම්රිය ආවා පට්ටිපොළ ට. ඒක ඇද්දේත් හොඳ එන්ජිමක් වෙන M6 පන්තියේ 783
එන්ජිම. වේගෙන් නමුත් සුපුරුදු ලතාවට දුම්රිය පහලට ධාවනය උනා. අපි ආවේ දෙවෙනි
පන්තියේ මැදිරියක. මම ගිහින් මැදිරියේ ඉස්සරහම පා පුවරුව අල්ලගත්තා. එතන හිටිය
ඇමරිකන් ජාතික යුවලක් එක්ක කෙටි කතා බහකටත් සෙට් උනා මමයි තූර්ය අයියයි.
1008 දුම්රියේ අනික් අයට ටිකක් නිදහසේ මහන්සි අරින්න ඇරලා මම ආවා පා පුවරුවකට. |
කිසි විශේෂ සිදුවීමක් නැතුව ඉතිං 1008 පහලට ආවා.
මට මතක් උනා 2012 ගිය බදුලු ගමනයි 2013 ගිය හපුතලේ ගමනයි පොඩි මැණිකේ එක්ක. 1008
දුවන්නෙත් ඒ වගේම සෙට් එකක් එක්ක තමා. ඇත්තම කිවොත් 1008 රීප්ලේස් උනෙත් පොඩි
මැණිකේ දැන් දුවන සෙට් එකෙන්. ඉතිං ඒ මතක සටහනුත් එක්ක, හැටන් එද්දී, මට ආසනයක්
හම්බුනා. එතන ඉඳන් ටික දුරක් එනකොට කැමරාවේ බැටරි බැස්සා. ඒ නම් සීතලට මම හිතන්නේ.
මොකද ෆෝන් එකේ බැටරි එකත් බැහැල තිබ්බ නිසා.
නානුඔය දුම්රිය ස්ථානයට ලඟා වන 1008 දුම්රිය. මට නම් පොඩි මැණිකේ ආවා වගේමයි. |
තේ වතු කලාපය පසු කරන 1008 දුම්රිය. මේ කාලේ නම් නියම උඩරට ගතිය තියනවා මේ පළාතේ. |
මීදුමෙන් වැසෙන වටගොඩ දුම්රිය ස්ථානයේ නවතා ඇති 1008 දුම්රිය. |
නියමිත වෙලාවට ම රොසැල්ල දුම්රිය ස්ථානයට ලඟා වීම. |
කැමරාව චාජ් කරගන්න ක්‍රමයක් නැති නිසාත්,
විශේෂෙන් ෆොටෝ ගන්න දෙයක් නැති නිසාත්, සීට් එකට වෙලා කට්ටිය එක්ක කයියක් දාන්
ආවා. රයිට් ටයිම් ම වගේ පහලට ආපු කෝච්චියට පළමුවෙනි ප්‍රමාදය අහු උනේ නාවලපිටියත්
පහු වෙලා උලපනේ දී. ඉහලට එන අංක 1023 ටිකිරි මැණිකේ එනකල් විනාඩි 20ක් විතර එතන
බලං හිටියා.
කොහොමින් කොහොම හරි, පොද වැස්සකටත් මැදි වෙලා, 7ට
10ක් තියලා ඔන්න 1008 පේරාදෙණිය හංදියට ආවා. එතනින් කට්ටියට සමු දීලා, මම හිටියා
අංක 1185 නාවලපිටිය දුම්රිය එනකල්. ඒක ටිකක් ප්‍රමාදයි කියපු නිසා, පැණිදෙනිය
පැත්තට පොඩ්ඩක් ගිහිං ආසාවට ලේයර් කේක් දෙකක් කෑවා. ඒකත් කාලා කොළඹ ඉඳන් එන 1035
සෙංකඩගල මැණිකේ දුම්රියත් ආවට පස්සේ අපි එතනින් පිටත් උනා.
අපි පහලට එන ටිකට මේ යකා ඇල්ල ටත් ගිහිං ආපහු ත් යනවා. |
සංචාරය සාර්ථකව නිම කරලා, රෑ 8.30 වෙනකොට මම
ගෙදර. මුළු ගමනේම කිලෝමීටර් 12ක් වගේ ඇවිදලා තිබ්බා කෝච්චියේ ෆුට් බෝඩ් ආපු ටික
නැතුව. අතරමග දී වෙච්ච කතා බහයි, අත්දැකීමුයි, ගත්ත ෆොටෝ ටිකයි එක්ක මේකත් අමතක
නොවෙන වටිනා ගමනක්. ඒක කරගන්න උදව් කරපු වගේ ම, මට මේකට එන්න කියපු හැමෝමත් මේ
වෙලාවේ මතක් කරන්න ඕනේ.
අර කියමනක් තියනවා නේ- යන හැම ගමන ම සංචාරයක්
වෙන්නේ නෑ, සංචාරයක් වෙන්න නම් තමන් ප්‍රිය කරන අය එක්ක යන්න ඕනේ කියල. මෙතෙක්
කාලෙකට මම ගියපු දුම්රිය ගමන් නම් කෙලින්ම සංචාර ගමන් විදියට ගන්න පුළුවන්. මොකද ඒ
අතින් හොඳ යාළුවො ටිකක් ඉන්න නිසා. මේ ගමනට ආපු අය වගේ ම, හැමදාම ගමන් යන අශාන්
එහෙමත් එහෙමයි.
මේ අවුරුද්දට ආය ගමන්/ සංචාර යන්න වෙන්නේ නැහැ.
කොළඹ ගියා තව වැඩ ටිකකට, ඒක ඉතිං සංචාරයක්ම නෙවේ. තාම සිංගල් හෙඩඩ් දුවන එකේ, එන
අවුරුද්දත් මේ වගේ ටුවර් ටිකක් වැඩි වැඩියෙන් යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතිං
කැම්පස් එකේ එක්සෑම් එක්ක මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ.