Sunday, February 18, 2018

මොබයිල් පරිණාමය..

          මෙයට දස වසරකුත් සතියකට පෙර, එනම්, 2008 පෙබරවාරි මස 11 වන දින, මගේ දිනපොතේ මෙසේ සටහන් වී ඇත- 

          ...................... අද දින මගේ ප්‍රථම ජංගම දුරකථනය ලැබුණි. එය නොකියා 5110 වර්ගයේ එකකි....

          මට ලැබුනේ මෙහි චාජරය සහ දුරකථනය පමණකි. ඒ ද, අක්‍රීය තත්වයෙනි. බැටරියක් දමා පළමුවෙන්ම පණ ගන්වා බලා අද දිනට හරියටම වසරකි. මෙයින් ඇරඹුණු මාගේ ජංගම දුරකථන ඉතිහාසයේ දශකයක මතක ආවර්ජනයක් කිරීමට සිතුවෙමි. 
පරිනාමික චක්‍රය..

          5110 දුරකතනයේ පැවති පණ නොගැන්වෙන දෝෂය සැදීම සඳහා මා ප්‍රථමයෙන් උත්සාහ කලෙමි. අනතුරුව, අප්පච්චිගේ මොබිටෙල් සිම්පත දැමූ විට වැඩ නොකළේය! සිග්නල් නැත.. මේකට මක් උනාදැයි සිතාගත නොහැකිව සිටින විට, මතක් වූයේ ලංකාවේ 1800 සහ 900 ලෙස සංඛ්‍යාත දෙකක නෙට්වර්ක් ක්‍රියාත්මක වන බවයි. අවසානයේ මාර්තු මාසයේ අප්පච්චීට කියා එකල ටීගෝ නමින් තිබුණු ජාලයේ සිම්පතක් ගෙන්වාගතිමි. ඒ, මාගේ ප්‍රථම සිම් පතයි. එය අදටත් ක්‍රියාත්මක ය. 

          ඔය දුරබනනයේ වයිබ්රේට් පහසුකම නොතිබුණු අතර, නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරිය නිසා අධික බරක් තිබුණි. කොටින්ම, වලියකට බය නැතුව ගෙන ගොස්, දෙතුන් දෙනෙක් වත් බිම දැමිය හැකි තත්වයක් තිබුණි. ප්‍රමාණය නිසාම, සාක්කුවේ දමාගෙන යාම කිරීමට අපහසු දෙයක් නොව, කල නොහැකි දෙයක් විනි. 

          එකල තිබුණු ජංගම දුරකථන අලුත්වැඩියා සඟරාවකින් බලාගෙන, ප්‍රථම වරට ජංගම දුරකතනයක් ගැලවීමට ඉගෙනගත්තේ ද මෙම දුරකථනයෙනි. නමුත්, මෙම දුරකථනය නම් 2008 ඔක්තෝබර් මාසයේ අස්ථානගත විය. එහි චාජරය පමණක් මා සතුව ඇත. 

          මගේම කියා ප්‍රථම වරට නව ජංගම දුරකතනයක් ලැබුනේ 2008 අගෝස්තු මාසයේ 16 වන දින ය. ඒ, නොකියා 1200 දුරකතනයකි. කිසිඳු අතිශයෝක්තියකින් තොරව කියන්නේ, මෙතෙක් මා ලද සුපිරිම දුරකථනය එය බවයි. කෙතෙක් සුපිරිද කිවහොත්, අදටත් එය ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයෙන් ඇත! 
1200 සහ 1100 ..
නොකියා සමාගමෙන් නිකුත් කල අතිසාර්ථක දුරකථන දෙකක් හමු වූ අවස්තාව..                             

          මෙකල මා සාමාන්‍යය පෙළ ප්‍රථම වසරේ සිටි සමයයි. යුද්ධය දරුණුවට ඇදුනු මෙම කාලයේ, අමතර පන්ති සහ විවිධ ගමන් යෑම තරමක අවධානමක් එල්ල කළේය. නමුත් ඇත්තටම ඒ කාලයේ එය ගණනක් තිබුනේ නැත. ගෙදරට පණිවිඩයක් දීමට ක්‍රමයක් ලැබුණු නිසා, තිබුණු බයද නැති විය. 

          එකල යහළුවන්ගෙන් කිහිප දෙනෙකුට පමණක් දුරකථන තිබුණු අතර, බොහොමයක් ඒවා මොනොක්‍රෝම් තිර සහිත නොකියා දුරකථන විය. මේවායින් අප කම්මැලි සිතුනු විට කෙටි පණිවිඩ මගින් විහිලු තහළු කරගත් අතර, පින්තූර පණිවිඩ හෙවත් පික්චර් මැසේජ් එකතු කිරීම එම කාලයේ අපේ උනන්දුව විය. කෝල් නම් ගත්තෙම නැති තරම් වූ අතර, ඒ එකල යන කෝල් එකට මෙන්ම එන කෝල් එකටත් ගාස්තු අය වූ බැවින් ය! 
Tigo සිම්පත සමග ලැබුණු ගාස්තු සටහන..

          එකල තවත් කටයුත්තක් වූයේ කොම්පෝසර් එක භාවිතයෙන් රිංටෝන් තැනීමය. මුලින්ම කුණුහරපයක් වුවද, පසුව එයාටෙල් ජාලයේ නාද රටාව සහ X Files  කතාවේ තේමා වාදනය පවා තිරය නොබලා ටයිප් කිරීමට තරම් එම කලාව ප්‍රගුණ කළෙමු. 

          සාමාන්‍යය පෙළ කිරීමෙන් පසුව මාස හතරක් පමණ භාවිතා කිරීමෙන් අනතුරුව, නොකියා 6230i නම් වූ තෙවැනි දුරකථනය ලැබුණි. මුලින්ම අන්තර්ජංජාලය ගැන දැන සොයා ගත්තේ මෙන්ම, මුහුණු පොත හෙවත් ෆේස්බුක් එකට රිංගුවේ ද ඒකෙ පිහිටෙන් ය. කොත්මලේ ජලාශය බැලීමට ගොස් සේයාරූ ගත්තේ ද එයින් ය. මෙහි මෙමරි කාඩ් දැමීමට හැකි වූ අතර, තත්පරයට කිලෝබයිට සුළු ගානක් වූ අන්තර්ජාල වේගයන් භාවිතා කරමින්, මුලින්ම රසඳුන පත්තරයකින් පදමාලාව කියවූ  “හඳ හඬනා නිහඬ රැයේ” නම් ගීතය ඩවුන්ලෝඩ් කිරීමට පැය කාලකටත් අධික වෙලාවක් ගත වූවා මතකය. 

          මෙයින් පසු ගත් නොකියා 2700 දුරකථනය කමකට නැති වූයෙන්, මාස දෙකක පමණ අවෑමෙන් නොකියා 2370 ක්ලැසික් එකක් ගතිමි. උසස්පෙළ ආසන්නයට පැමිණෙන තුරු, ඉතා විශාල වැඩ කොටසක් කරගත්තේ මෙයින් ය. 

          මෙය භාවිතා කරන සමය, ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රය විශාල පෙරලි ගණනාවක් අත් දුටු කාලයක් විය. ටච් ස්ක්‍රීන් දුරකථන ලොව ආක්‍රමණය කිරීම, Android  මෙහෙයුම් පද්ධතිය කරලියට පැමිණීම, චයිනීස් ෆෝන් ප්‍රසිද්ධ වීම මෙන්ම 3.5G  කනෙක්ෂන් පැමිණීම, එමෙන්ම ජංගම දුරකථන කැමරා ක්ෂේත්‍රයේ දියුණු තියුණු වීම් මෙම කාලයේ සිදුවීය. 

          මෙම කාලයේ ෆේස්බුක් මැසේජ් වෙනම අඩවියක්ව තිබුනේ නැත. ෆේස්බුක් app එක ඩවුන්ලෝඩ් කල විට, බලා සිටිද්දී බැටරි බසී. සිංහල පෙන්නන්නේ ද නැත. මළ විකාරයකි. මෙහි තිබුණු සිම්බියන් S40  මෙහෙයුම් පද්ධතියේ එක වරකට ධාවනය කල හැක්කේ එක ඇප්ලිකේෂන් එකක් පමණි. 
                                             
          උසස්පෙළ ට මාස කිහිපයක් තබා, නොකියා 6220 ක්ලැසික් දුරකතයක් ගතිමි. මෙය භාවිතා කල තත්වයෙන් මිලදී ගත්ත ද, අවසානයේ 1200 එකට පසුව ලද සුපිරිම දුරකථනය බවට පත් විය. කැමරාව, එකල තිබුණු සාමාන්‍යය ඩිජිටල් කැමරාවක් තරමට ම විශිෂ්ට වූ අතර, ජංගම දුරකථන වල දුර්ලභ අංගයක් වූ සෙනොන් ෆ්ලෑෂ් එකකින් යුක්ත විය. අදටත් අර්ධ ක්‍රියාකාරී තත්වයෙන් පවතින මෙය, එම තත්වයට පත් වූයේ ද 2015 දීය. 
6220 දුරකථනයේ ඇතුලාන්තය.
          අනතුරුව 2012 අගදී ලද නොකියා 6720 ක්ලැසික් දුරකථනයත්, එය මාරු වී ලද ලුමියා 620 දුරකතනත් එතරම් මගේ කටයුතු සහ පිළිවෙල සමග සහයෝගයෙන් වැඩ කලේ නැත. ලුමියා 620 මා ලද ප්‍රථම ටච් ස්ක්‍රීන් දුරකතනයයි. එය මාරු කොට ලබා ගත් සෝනි එරික්සන් එක්ස්පීරියා රේ දුරකථනය, මට  Android  මෙහෙයුම් පද්ධතිය තිත්ත කරවීමට සමත් විය. 
නොකියා E52 දුරකතනයේ ඇතුලත..
          එය තිබියදීම ලැබුණු නොකියා  E52  දුරකතනයක් කලක් භාවිතා කල අතර, ඒ අතරතුර ලබාගත් නව නොකියා 230 දුරකතනයක් විකිණීමෙන් ලබාගත් මුදල් සහ අතේ තිබුණු මුදල් දමා, අවසානයේ ඇපල් අයිෆෝන් 5S දුරකතනයක් ගතිමි. 

          ඇපල් දුරකථනය මගේ දෘෂ්ටිකෝණයෙන් නම්, සියලු නවීන අංග සහිත, එහෙත් භාවිතය අතින් 2000 දශකයේ පවතින දුරකතනයකි. ඒ ඇයිද කිවහොත්, බ්ලුටූත් ආදී කිසිදු ක්‍රමයකින් කිසිවක් හුවමාරු කල නොහැක. ගීත, වීඩියෝ ආදිය ඩවුන්ලෝඩ් කල නොහැක. අඩුම තරමේ, ජායාරූපයක් වත් හුවමාරු කල නොහැක. නමුත් ඒ අතරම, කිසිඳු විටක ස්ටක් නොවෙන අතර, විශ්වාසවන්ත භාවය නම් උපරිම ය. 

          2016 ලබාගත් මෙම දුරකථනය තවමත් හොඳින් ක්‍රියාත්මක වේ. ඇපල් සමාගම පසුගිය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව, 5S දුරකථනය සඳහා සේවා අත්හිටවනු ලැබුණි. නමුත් මගේ දැනීමේ හැටියට, අස්ථානගත නොවුනහොත් හෝ හදිසි ආපදාවකට ලක් නොවුනහොත්, අඩුම වශයෙන් තවත් වසර 4ක් හෝ භාවිතා කල හැකි තත්වයක් මෙහි ඇත. 

          1999 වසරේ ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත් තැන සිට, දුරකථනයේ පරිනාමික යුගයේ අති දැවැන්ත පෙරලියක් අපේ පරම්පරාව සියැසින් දැකගතිමු. කුඩා අවධියේ රූපවාහිනී බලන විට, ඩයලොග් එකෙන් ඕෆ් පීක් සඳහා ගාස්තු අඩු කරන ලද බව කියන දැන්වීමක් විකාශය වනු මට මතකය. එසේ අඩු වූ ගාස්තු, අද නැවතත් අහස උසට නැග, හඳේ හැප්පීමට යන බවක් දිස් වේ. 

          එකල අත්‍යවශ්‍ය පණිවිඩයකට පමණක් භාවිතා වූ මෙම උපාංගය, අද නැතුවම බැරි, හැම වෙලේම අතේ රැඳෙන (හෝ කනේ රැඳෙන) උපාංගයක් වී ඇත. මෙය ඇත්තටම කරදරයක් වන අවස්ථා ද නැත්තේ නොවේ. වෙලාවකට මම ද, මෙහි කරදර වැඩි වන විට, 1200 දුරකථනය භාවිතයට ගනී. ජංගම දුරකථන, එතෙක් දුරට අද ප්‍රයෝජනවත් මෙන්ම කරදරකාරී උපාංගයක් බවට පත් වී ඇත. මේ නිසා සිදු වූ ජීවිතහානි ප්‍රමාණය නිමක් නැත. 2011 වසරේ මගේම පාසලේ මට පහල පන්තියක ශිෂ්‍යයෙක්, දුරකථන පණිවිඩයක් දෙමින් පාර පිලිබඳ අවධානය ගිලිහී දුම්රිය මාර්ගය මාරු වීමට යාමේදී දුම්රියට හසුවිය. 
                                                      

          එමෙන්ම, 2004 වසරේ පළ වූ “බුවාලන්තයේ සිට” නම් කතාවේ, ජංගම දුරකතනයට කුදලාගෙන යන දුරකථනය යයි නම් තබා තිබුණි. සත්‍ය වශයෙන්ම එකල විවිධ සමාගම් වලින් හැකිලිය හැකි දුරකථන, දෙකට නවන දුරකථන ආදී වශයෙන් නානාප්‍රකාර දුරකථන හඳුන්වා දුනි. නමුත් දැන් නම් සියල්ල එක මෝස්තරයට පැමිණ, කුදලාගෙන නොව අතේ තබාගෙන යෑම පවා කරදරකාරී වන තැනට පැමිණ ඇත. මා දුටු මෙහි ඉතිහාස කතාව අනුව අවසානයේ මට කිව හැක්කේ, ගඩොල් බාගයක් ලෙස ඇරැඹී, ජංගම දුරකථනය ටයිල් කැටයක්ව නැවතුනු බවය.. 

Thursday, February 15, 2018

විවාහ මගුල් සහ මළ මගුල්..

                                         

          පහුගිය දවසක පාසලේ 8 ශ්‍රේණියේ පන්තියකට බුද්ධ ධර්මය විෂයය යටතේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන ඉගැන්වීමට තිබුණි. එම පාඩම කරන අතරවාරයේ ඔලුවට ආ කරුණු සුවල්පයක් මෙසේ අකුරු කර තබන්නෙමි. 

          ඊයේ දිනයේ ලංකාවේ මතු නොව ලොව බොහෝ රටවල වැලන්ටයින් නම් දිනයක් විශේෂයෙන් තරුණ පරම්පරාව විසින් සමරන ලදී. එයට තව වචනයක් භාවිතා වේ. එනම්, ආදරවන්තයින්ගේ දිනය යන්නයි. අද මෙම සටහනින් මා කතා කරන්නේ ආදරය ගැන ය. හැබැයි ඉතිං, මෙකී වැලන්ටයින් දිනය සමරන්නේ ද, කාගේදෝ ආදරය වෙනුවෙන් වූ මරණයක් වෙනුවෙනි. එනම්, මෙය මගුලක් නොව මළ මගුලකි. 

          තරුණ කාන්තාවක් සහ පුරුෂයෙක් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම සරලව ආදරය ලෙස අර්ථකථනය කෙරේ. නමුත්, අද දින පත්තරයේ පලවන මංගල යෝජනා තීරයන් විශ්ලේෂණය කර බැලීමේදී ඉහත නිර්වචනය අභියෝගයට ලක් වන අයුරු ද දක්නට හැකිය. 

          මේ ගැන කියන්නේ නම්, අද ලංකාවේ පුවත්පත් වල පලවන විහිලු කතා තීරයන්ට වඩා විහිලු මේවායේ තිබේ. එක් දිනක් ෆේස්බුක් අඩවියේ පළවූ මංගල යොජනාවක මෙසේ සඳහන් වී තිබෙනු දක්නට ලැබුණි- 

“............................. උගත් රූමත් කාන්තාවට වාහනයක් ගැනීම අදහස බැවින් විවාහයට රියදුරු මහතෙක් සොයති.......” 

          බඳින එකාට ඉතිං බුදු සරණයි දෙවි පිහිට තමා ය. ඒ අස්සේ තවත් වර්ගයක් ඇත. ඔවුන්ගේ දැන්වීම් පොදුවේ මෙම ආකෘතිය ගනී- 

“.................. උගත් බුද්ධිමත් චරිතවත් දියණියට මතින් දුමින් තොර අහිංසක සුකුමාල සහකරුවෙක් සොයයි.. (සුළු වරදකින් දරුවෙක් සිටී).....” 

          තවත් පාර්ශවයක් ඇත. ඔවුන් සියලු වස්තූන්ගෙන් සපිරි දිව්‍යසම දිවියක් ගෙවන අතර, ජීවිතයේ පාළුව කාන්සිය නිවාගැනීමට තරුණ කාන්තාවක් සොයයි. මෙහි කිසි අවුලක් නැත. නමුත් අවුල මතු වන්නේ මොවුන්ගේ වයස දුටු විටය. මට හමු වී ඇති සමහර දැන්වීම් වලදී මෙය වයස 80 පමණ වූ අවස්ථාද දැක ඇත්තෙමි. 

          මේ සියලු ආතබූත බලාගෙන යන විට, මංගල යෝජනා තීරය - මංගල විහිලු තීරය ලෙස සංශෝධනය කිරීමේ වරදක් මා නොදකිමි. 

          කෙසේ හෝ කොහෙන් හෝ සහකරු/සහකාරිය හමු වූ විට, මීළඟ කාරිය වන්නේ කසාඳ බැඳීමයි. අද ලංකාවේ කසාඳය හෙවත් විවාහය වනාහී, අදාළ පවුල් මතු නොව අදාළ නැති අහක සිටින මිතුරු මිතුරියන් පවා මූල්‍යමය වහනයකට ලක් විය හැකි අති භයංකාර කටයුත්තකි. 

          උදාහරණයකට, අද කාලයේ මගුලක් ගැනීමේදී එය හෝටලයක (ගෙස්ට් හවුස් එකක) නොගතහොත් එය “පොෂ්” මදි බව කියවේ. මෙයින් එකක සාමාන්‍යයෙන් කෑමට හැකි අයුරින් සැකසූ ආහාර පිඟානක් අඩුම 4000ක් වත් වේ. සිතා බලන්න- සෙනග 100ක් පමණ පවුල් දෙකෙන්ම ආවොත් 100 x 4000 = 400000කි. රුපියල්ම 400000ක් ආහාර වලට පමණක් වියදම් ය!! මේ අවශේෂ වියදම් නැතුව ය. 

          කලකට පෙර පොඩි කුමාරිහාමි නම් බ්ලොග් එකේ හාට් ඇටැක් හැදෙන ආකාරයේ මගුල් සැලසුමක් දුටිමි. නමුත් අද සමහර මගුල් දකින විට, ඒවා මොනවද යයි සිතේ. පෙර මංගල්‍යයෙන් අනතුරුව ගත් එක් සේයාරුවක් වෙනුවට, දැන් ප්‍රී ෂූට්, වෙඩින් ෂූට්, හෝම් කමින් ෂූට් ආදී නානාප්‍රකාර ෂූට් වර්ග හැටහුටාමාරක් ඇත. මේවාට යන ගණන් බැලීමේදී තුවක්කුවක් ගෙන බුලට් ෂූට් කරගැනීමට නොසිතීමම පුදුමයකි. 

          ඈත ඉතිහාසයේ තමන් කැමති කාන්තාවගේ හිසට පොල්ලකින් තඩි බා සිය වාසස්ථානයට ඇදගෙන ආ විවාහ ක්‍රමයක් තිබුණු බව කියති. ඒ ක්‍රමය පසුව වෙනස් වී, අද කාලයේ විච්චූර්ණ විකාරය වෙත විකාශය කෙසේ වෙතත් විනාශය වී ඇත. ඒ මේ සියලු වැඩකිඩ දමා ලියාපදිංචි කරන විවාහය, මාසයකින් හමාරකින් අවසන් කොට කෙල්ල පැත්තකටත්, කොල්ලා අනෙක් පසටත් ගොස්, දෙදෙනාම තරඟයට සිය “සෙකන්ඩ් ෂයි” එක කිරීමට වලි කෑමත් අද සුලභ දර්ශනයකි. 

          පෙර යුගයේ විවාහයකට ආරාධනා ලැබුණු විට පවුලම සහභාගී විය. ආරාධනාවද පවුලටම ලැබුණි. එසේ නොයාමට නම් හොඳ හේතුවක් තිබිය යුතු වූයේ, නොගියේ  නම් අදාළ අය තරහා විය හැකි බැවිනි. නමුත්, සත්‍යය නම්, අද කාලයේ ආරාධනා කර නොගොස් සිටීමෙන්, සංවිධායකයින්ට විශාල වාසියක් වන බවයි. මේ මගුල් වලදී සිදු වන රසකතා බොහොමයකි. එයින් කිහිපයක් කලකට පෙර දුමී අයියා මෙසේ සටහන් කර තිබුණි.. 

          විවාහ ගැන කතා කරද්දී හඳහන හෙවත් නැකත් පත්‍රය ගැන කතා නොකරම බැරිය. බොරු හඳහන් සෑදීමේ සිට, විවිධ මගඩි සම්‍යක් ප්‍රයෝග සමග හඳහන බැඳී පවතී. කැමති කෙල්ල සමග විසි පොරොන්දම් නොගැලපෙද්දී, හඳහන් හදාගෙන හෝ විවාහ වීම ලංකාවේ සිදු වේ. එසේම, කපුවකු මගින් සිදු වන විවාහයකදී වුවත් මෙම නැකත් පත ප්‍රධාන තීරකයක් වේ. 

                           
          වතාවක් මෙසේ මගුලක් කතා කරන්නට යන කපුවකුට, අදාළ නැකත් පත ගෙන යාමට අමතක වුනි. දැන් කිරීමට දෙයක් නොමැති බැවින්, එම අමතක වීම කපු මහතා මෙසේ කවියකින් ගෙදර උදවියට ප්‍රකාශ කළේය.

“ මේ මනමාල මහතාගේ නැකත් පත - අත්වැරදීමකින් අද මෙහි ගෙනත් නැත..” 

          මෙය කන වැකුණු කාමරයේ සැරසෙමින් සිටි මනාලිය, කවියේ ඉතිරි දෙපාදය මෙසේ සම්පූර්ණ කලේ ලු. 

“එහෙනම් අම්මේ ඒ දීගෙන් කමක් නැත- මේ මනමාල මහතාගේ නැකත් පත..”