කොහොමද ළමයි...
මාස තුනක් ගියා දැනුනෙත් නෑ. ලියලා තියන්න සතුටු හිතෙන කාරණාවක් තියනවා. 2025 අවුරුද්දේ තියපු උසස් පෙළ විභාගයෙන්, මගෙන් ඉස්කෝලේ සහ දහම්පාසලේ අවුරුදු 4-5කට වඩා ඉගෙනගත්ත ළමයි කීප දෙනෙක්ම විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුවා. මෙතන කීප පාරක් ලියවිලා තියන දහම්පාසල් කථික සංසඳයේ නංගි කෙනෙකුත් ඒ අතර ඉන්නවා. ඒ වගේම, කරාටේ ජාතික පාසල් කණ්ඩායමේ උප නායිකාව විදියටත් එතනින් කෙනෙක් තේරිලා ඉන්නවා.
හැබැයි ඉතින් ඒ හැරෙන්න, මේ මාස තුනේ හරි හරි මගඩි තමයි උනේ. මගඩි කොච්චර ද කියනවා නම්, අපි දැන් ඉන්නේ ලෝක යුද්ධෙක! ඉතුරු විස්තර අවුරුදු අගට ලියන්න ඉතුරු කරගෙන, මේ පාර අවුරුදු පෝස්ට් එක ලියන්න තමයි මේ කැස කවන්නේ..
මෙදා පාර අවුරුද්දට කලින් ඉඳන්ම, අවුරුදු රස්නේ නම් හැබැයි ලෙසටම දැනිලා තිබ්බා. මාර්තු මැද හරියේ ඉඳන්, මේ පැත්ත නිකම් බොයිලේරුවක් වගේ රස්නෙයි. කොච්චර ද කියනවා නම්, මේ සීතලයි කියන මහනුවරත් දවල්ට සෙල්සියස් අංශක 35 පන්නපු දවස් ඕනේ තරම්. අනුරාධපුර, පොළොන්නරුව එහෙම ගැන හිතාගන්න පුළුවන්. ඒ වගේම, මං කොළඹ නොහිටිය එක ගැන වැඩියෙන්ම සතුටු උන කාලයක් තමයි මේ..
![]() |
| කොච්චර රස්නේ තිබ්බත් ලංකාවේ ඔෆිස්.. |
![]() |
| ලංකාව දැන් කොච්චර දියුණුයි ද කියනවා නම්, බේකරි හිමියන්ගේ සංගමයෙන් කාලගුණ අනාවැකි පවා කියනවා.. |
මීට කලින් මෙච්චර රස්නයක් තිබ්බා කියල මතක 2004 අවුරුදු කාලේ තමයි. හැබැයි ඒ දවස් වල හිතේ හැටියට නාන්න වතුර හරි තිබ්බා. මේ පාර සමහර දවස් වලට වතුරත් නෑ එක දිගට. ඇරත්, ඒ කාලේ අපේ ඉස්කෝලේ අවුරුදු නිවාඩුව අවුරුද්දට ටිකක් කලින් පටන් අරගෙන, මාසයක් වගේ ඇදෙනවා. හැබැයි මේ පාර අවුරුදු නිවාඩු දුන්නේ අවුරුද්ද ලබන්න දවස් 2ක් තියලා. ඒ මදිවට, නිවාඩු තියන්නේ දවස් 3යි! මාර දිග අවුරුදු නිවාඩුවක්..
මේ පාර තෙල් අර්බුධ එක්ක අනංමනං ගණන් ගිය පාර, අවුරුදු සමරන්න තිබ්බ උනන්දුවත් මිනිස්සුන්ගේ අඩුවක් දකිනවා. මේකට, කලින් අවුරුද්දේ වගේම මතු උන නැකත් අවුලත් සෑහෙන තරමකට හේතු උනා කියලා හිතෙනවා. ඇත්තටම කිව්වොත්, වෙනදා පරිසරයේ එහෙමත් තියන “අවුරුදු සිරිය” නෑ කියලා හොඳට දැනෙනවා. වෙනදට අප්‍රේල් මාසේ එද්දී ගස් වැල් එහෙම දළු දාලා, මල් පිපිලා ගෙඩි හැදිලා පරිසරයේ හරි ලස්සන පිබිදීමක් දකිනවා. ඒක හුස්මක් ගත්තත් හොඳට දැනෙනවා. මේ පාර කිසි දෙයක් නැහැ.
![]() |
| නැකත් පත.. (උපුටා ගැනීම - සිරස TV ෆේස්බුක් පිටුව) |
පොඩි කාලේ නම් මේ දවස් කියන්නේ ගෙදරට කන්නයි නිදාගන්නයි විතරක් එන කාලේ. උදේ කාලා ගෙදරින් එලියට බැස්සට පස්සේ අපි කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ කියල ආය කවුරුවත් දන්නේ නෑ (එහෙමයි කියලා අපි දැන් ළමයි වගේ කුඩු ගහන්නයි තැන් තැන් වල බොන්නයි, වෙන අවලං වැඩ කරන්නයි ගියේ නම් නෑ හැබැයි). දවල්ට කාලා ආය එලියට බැස්සම හවස් වෙනකල් ආය එළියේ. දවල්ට එන්නේ සෙල්ලම් කරලා, දූවිලි නාලා, සමහර වෙලාවට ගස් අස්සේ රිංගලා ඒ කහටත් එක්ක, නාන්න බලාගෙන.
සමහර විට වැටිලා අත් කකුල් එහෙම නිකම් යුද්ධෙට ගියා වගේ තමයි.. මේවට අපි කරෙත් ගොඩ වෙදකම්. කෝපි දළු පොඩි කරලා තියන එක, කුරුම්බා ඇට්ටියක් පොඩි කරලා ගාන එක, ගහල වැල් දළු පොඩි කරලා තියන එක වගේ දේවල් තමා බෙහෙත්. හෝදන්නෙත් එක්කෝ පිහිල්ලට එන වතුරෙන්, නැත්තම් ලිඳකට ගිහිං එතනින්.. මට නිකම් කල්පනා උනේ, දැන් කාලේ පොඩි එකෙක් එහෙම වැටිලා ඔය විදියට කරොත් පොරට හැදෙන ලෙඩ හොයන්න ඇමරිකාවේ Area 51 ගියත් බැරි වෙයි නේද කියලා..
ඒ කාලේ ලෝකල් සත්ත්ව කරුණාවාදීන් නොහිටි නිසාත්, මේ පැති වල සත්තුන්ට නිදහසේ ඉන්න ඕනේ තරම් ඉඩ තිබ්බ නිසාත්, අපිට ගිනිකෙළි භාවිතයට ලොකු තහංචි තිබ්බේ නැහැ. ඒ කාලේ කරපු ඔක්කොම දේවල් මෙතන ලියන්න ගියොත් එක්කෝ පොලිසියෙන් අල්ලාගෙන යනවා බෝම්බ හදන්න උගන්නනවා කියලා. නැත්තම් ඉරානෙන් අරගෙන යනවා මිසයිල් හදන්න කොන්තරාත්තු දීලා.
අද අප්පච්චියි මමයි කතා උනේ, ඒ කාලේ මේ වෙද්දී ගෙවල් වල පංච දානවා, ඔංචිලි පදිනවා, කට්ටිය සෙට් වෙනවා, මොන මොනවා හරි වෙනවා. ගමෙන් එළියේ රස්සා කරපු/ ඉගෙනගත්ත අය අඩු නිසාත්, හිටි අයත් කොහොම හරි ගමට එන නිසාත්, මේ දවස් වල ගමත් හරි උද්‍යෝගිමත් තැනක් කියනවා. ඒ අස්සේ කෑම එහෙමත් හැදෙනවා, බෙදෙනවා, කැවෙනවා...
මේ පාර ඒ දේවල් කොච්චර නැති වෙලා අභාවයට ගිහිං ද කියනවා නම්, සමහර ළමයින්ට අද පරණ අවුරුදු දවසෙත් ක්ලාස්! මම දැක්කේ නෑ පාරක් අයිනේ ක්‍රිකට් ගහන ළමයි සෙට් එකක් වත් මේ පැත්තේ. වැඩි යමක් තියා, මට පහුගිය සතියේ අවුරුදු උත්සවයකට එන්න කියල දහම් පාසලේ මල්ලි කෙනෙක් කතා කරා. මමත් හා කියලා දත කට මැදගෙන හිටියා යන්න.. කොහෙද, මුලු දවසම ලෙක්චර්ස් වැටුනා ආයිබෝං. දහම්පාසලේ අවුරුදු උත්සවය තිබ්බත්, මම දැන් ආයතනයේ නැති නිසා ඒකත් නෑ. ඉතිං ඇත්තටම කියනවා නම් මෙදා සැරේ අවුරුදු නිකම්ම හිස්..
ගෙදර කෑම මොනාහරි හදන්න කියලා හිටියත්, නිවාඩු ලැබෙන්න අන්තිම දවස් වෙනකල් ගිය නිසා කළමනා අනංමනං ලැස්ති කරගන්න උනෙත් නෑ, අන්තිම දවස් දෙකෙත් ලෙක්චර්ස් එක්කයි තව වැඩ එක්ක බිසී උන නිසයි, වෙලාවක් තිබ්බෙත් නෑ. කොටින්ම, ගෙදර අවට සුද්ද කරගත්තෙත් මේ ලියන දවසේ උදේ. ඇත්තටම හෙට අලුත් අවුරුදු කියලා මට තාම ලොකු ගානක් නෑ..
හැබැයි එකක්, මං හිතන්නේ 2019 අවුරුද්දෙන් පස්සේ, ආපහු මම කලින් විදිහට අවුරුදු ඇඳුම් ගන්න ගිය පළවෙනි අවුරුද්ද මේක. කලින් අවුරුදු වලත් ගියත්, ෆුල් ඇඳුම් සෙට් එක ගත්තේ නෑ. මේ පාර අවුරුදු කට උඩ තියලා උනත්, ඉස්කෝලේ කාලේ පුරුදු විදියට නිවාඩු දෙන දවසේ හවස ඒ වැඩේට ගියා, සුපුරුදු පරිදි තනියම.
හැබැයි ඇඳුම් ටික අරගෙන, කාලා එහෙම, ආපහු එන්න සුපුරුදු පරිදි කෝච්චි පාර දිගේ ස්ටේෂම දිහාවට ඇවිදගෙන එද්දී මතක් උනා, “යකෝ මේ පාර කෝච්චි නෑ නේද” කියලා. පහුගිය නොවැම්බර් 27 වෙනිදා අංක 153 ටර්න් එකට පස්සේ, ගෙලිඔය ට්‍රේන් සර්විස් එකක් දැක්කේ නෑ. ඒ ගියපු ස්කූල් ට්‍රේන් එකත් තාම මග!
1873 ජනවාරි 15 ඉඳලා හැමදාම මේ හරහා දුම්රිය ධාවනය උනා. එතෙක් මෙතෙක් හිටිය හැම පරම්පරාවක්ම අවුරුද්දට ගමේ එන්න, බඩු අනංමනං අරන් එන්න, නෑගමන් යන්න කෝච්චිය පාවිච්චි කරා. 19 වෙනි සියවසේ හිටිය කවුරුත් දැන් ජීවතුන් අතර නෑ. අපේ පරම්පරාවේ හැමෝම උපන් දා පටන් දැකපු කෝච්චිය අද නෑ. මේ තමයි අපි බහුතරේකට, කෝච්චි නැතුව ගෙවෙන පළවෙනි සිංහල අවුරුද්ද. මම දන්නේ නෑ අනික් අයට කොහොමද කියලා, හැබැයි මට නම් ඒක සෑහෙන්න දැනෙනවා. ඒ නිසාම, කෝච්චි නැතිව ගෙවෙන අන්තිම අවුරුද්දත් මේක වෙන්න කියන එක තමයි මෙදා සැරේ මගේ අවුරුදු ප්‍රාර්ථනාව..
![]() |
| නැවත දුම්රියක් එන තුරු.... |
හරි, මේ සැරේ වැඩිය ලියන්න දෙයක් නෑ ඇත්තටම කිව්වොත්. 2016 ඉඳන් 2026 වෙනකල් අවුරුදු පෝස්ට් 10ක මම වැඩි හරියක් දේවල් ලියලා තියනවා. 2036 වෙද්දී ලියන්න මම නැති වෙන්නත් පුළුවන්, සිංහල අවුරුද්දක් නැති වෙන්නත් පුළුවන් මේ යන විදියට.. මම නම් කියන්නේ අපේ දේවල් කවුරු මොනවා කිව්වත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතිහාසය, සංස්කෘතිය විනාශ කරපු ජාතියකට පැවැත්මක් නෑ.
එහෙමනම්,
ලබන්නා වූ
සිංහල අලුත් අවුරුද්ද,
හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වෙන,
ජීවිතේ සතුට උදා වෙන,
සුබ අලුත්
අවුරුද්දක් වේවා!



