Saturday, October 10, 2015

තුන්වන අදියර- ගම්පොල සිට උලපනේ දක්වා...

          ගම්පොලින් ගමන් ඇරඹු පොඩි මැණිකේ, වල්ලහගොඩ, තැඹිලිගල ආදී නැවතුම් පසු කරමින් වේගයෙන් ධාවනය වේ. දැන් නම් බලවේග කට්ටලයකින් ධාවනය වන පොඩි මැණිකේ තැඹිලිගලත් නතර වේ. නමුත් එකල පොඩි මැණිකේ නැවත නතර වන්නේ උලපනේ ය.
   
උලපනේ දුම්රිය ස්ථානය..
                   
          උලපනේ අලංකාර දුම්රිය ස්ථානයකි. පාෂ මාර්ග දෙකකින්, එක් වේදිකාවකින්, බඩු ගබඩාවකින් සහ උසට ඉදි කල සංඥා කුටියකින් සමන්විත මෙම හුදෙකලා දුම්රිය ස්ථානය මලින් ගැවසී ඇති අමුතුම ආකර්ෂණයක් සහිත ස්ථානයකි. මෑතදී (1960 දශකයේ) ඉදි වූ ටකරං වහලය නොවන්නට මෙය මුල් කාලයේ දුම්රිය ස්ථානයම වන්නට තිබුණි. 
උලපනේ පාෂ මාර්ගයේ සිට ගත් සේයාරුවක්..
                     
                       
  
          උලපනේ දුම්රිය ස්ථානය වෙත පැමිණිය යුතු වන්නේ කලින් ද සඳහන් කල අඩි 50ට එකක් වූ තියුණු නැග්ම පසු කරමින්ය. මෙවැනි තියුණු ආනතියක් තැබීමට හේතු වී ඇත්තේ, ඒ වන විට ඉදි කෙරෙමින් තිබුණු බිංගයක භූමියේ සහ පසේ ස්වභාවය හේතුවෙන් එය අත්හැර දැමීමට සිදු වීමයි. 

          මෙම ආනතිය තරණය කිරීම වඩාත් අපහසු වී ඇත්තේ දැන් නොව වාෂ්ප එන්ජින් යුගයේ ය. වාහනයක ඉදිරි ගමනට ඝර්ෂණය බාධා කරන්නාක් මෙන්ම, දුම්රියට අඩු ඝර්ෂණය විටෙක බාධාවක් වේ. මෙය ජයගැනීම සඳහා අධික බලයකින් යුතු දුම්රිය එන්ජින් ගෙන්වීමෙන් පලක් නැත. දුම්රිය එන්ජිමේ රෝද සහ පීල්ල අතර ඝර්ෂණය රඳවාගත යුතුය. එසේ නොවුනහොත් රෝද එක තැන කැරකීම සිදු වේ.

          වාෂ්ප එන්ජින් වල බර අඩුය. එම නිසා ඝර්ෂණයත් අවමය. මෙවැනි දුම්රියක්, අධික බරක් සමගින් ආනතියක නවතා, නැවත ගමනාරම්භ කිරීමට නම්, ඉතා හොඳ පළපුරුද්දක් අවශ්‍ය වේ. 

          කෙසේ වෙතත්, අද ඩීසල් යුගයේදීත්, මැදිරි 8කට වැඩි දුම්රියක් සඳහා සැම විටම වාගේ පසුපසින් සහායක එන්ජිමක් යෙදවේ. මෙම සහායක එන්ජිමේ රියදුරු සහ ප්‍රධාන එන්ජිමේ රියදුරු අතර සම්බන්ධතාවය තබාගන්නේ එන්ජිමේ නළාව සහ තිරිංග පීඩනය මගින් ය. ඉතිරිය සම්පූර්ණයෙන් අත්දැකීම සහ පළපුරුද්ද මත තීරණය වේ. 

          ගම්පොල දෙසින් කන්ද නැගගෙන එන දුම්රිය, එක් වරම මද බෑවුමකට යොමු වෙමින් දුම්රිය ස්ථානයට ඇතුළු වේ. පසුපසින් සහායක එන්ජිමක් යොදවා ඇත්නම්, මෙවිට එන්ජින් දෙකම ත්වරණය නොකර ධාවනය වීමට හැර තිබේ. උලපනේ නොනවත්වන්නේ නම්, ප්‍රථම වශයෙන් ඉදිරි එන්ජිමේ රියදුරු කෙටි නලා හඬක් නංවයි. එය ඇසී, පසුපස එන්ජිමේ රියදුරු මහතා ඔහුගේ එන්ජිම ත්වරණය කරයි. ඉදිරි එන්ජිම ත්වරණය කරන්නේ ඉන් අනතුරුවය. මෙම ක්‍රියාන්විතය වැරදුනොත් පීලි පැනීමකට ලක්වීමේ අවධානමක් ඇත. 


          පෙරවරු 9.22ට උලපනේට ලඟා වූ පොඩි මැණිකේ, දැන් නැවතත් ගමනාරම්භ කරයි. ඒ, උඩරට දුම්රිය ධාවනයේ කේන්ද්‍රස්ථානය වන නාවලපිටිය බලා පිටත් වීමටයි...   

උලපනේ පසු කරමින් ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ..
                      

Saturday, October 3, 2015

බදුලු සංචාරයේ දෙවන නැවතුම..

             ගම්පොළට පැමිණි පොඩි මැණිකේ විනාඩියක කාලයක් එහි නවත්වා තැබෙයි. ඒ මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ය. මෙතැන් පටන් මෙම දුම්රිය ඉදිරියට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ. ඒ දිනවලද එය එසේම සිදු විය.

                    

            ගම්පොල, දුම්රිය සේවය ගැන, එහි ඉතිහාසය ගැන කතා කරන විට මග හැරිය නොහැකි සංධිස්ථානයකි. ගම්පොළට දුම්රිය සේන්දු වූයේ 1873දීය. ඒ නම් පේරාදෙණියට දුම්රිය පැමිණ හය වසරකට පසුවය. 

           ගම්පොල දුම්රිය ස්ථානය එකල දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබුණි. හැරවුම් වේදිකාවකින් (turn table) සහ ගබඩාවකින් යුතු තරමක් විශාල දුම්රිය ස්ථානයක් වුවත් මෙහි දෙවැනි වේදිකාවක් අදටත් නොවේ. ගම්පොල දුම්රිය ස්ථානය කොළඹ සිට සැතපුම් 73යි දම්වැල් 67ක දුරින් පිහිටා ඇත. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 1638ක් උසය. 

           ගම්පොල දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රිය මාර්ගය පළමුව අඩි තුන හමාරේ පටු මාර්ගයක් ලෙස ඉදි කිරීමට යෝජනා විය. එවකට මාර්ග හා කර්මාන්ත ඉංජිනේරුතැන වූ එස්. මැක්බීන් මහතා විසින් සැලසුම් කරන ලද සැලසුමකට අනුව මාර්ගය ඉදි වූයේ පහත් බිමක් හරහාය. 

           මෙහි ප්‍රතිඵලය වූයේ ගංවතුර උවදුරු බහුල වීමයි. ඉතිහාසය පුරාවටම මෙම දුම්රිය ස්ථානය ගංවතුරෙන් යට වී ඇත. ඒ ගංවතුර මට්ටම ගම්පොල සංඥා කුටියේ බිත්තිය මත සටහන් වී ඇත. 1947 ගංවතුර මට්ටම කෙතරම් ඉහල ගියේද යත්, වේදිකාවේ වෙනම පීල්ලක් සිටුවා, ඒ මත ගංවතුර මට්ටම ලකුණු කිරීමට සිදු වී ඇත. සංඥා කුටිය සම්පූර්ණයෙන්ම යට වී ඇත. 
ගංවතුර මට්ටම.
                               
                             
           1974 වසරේ විශ්‍රාම ගිය DIM (District Inspector- Mechanical) මහතෙකු පැවසුවේ එක් වරක් ගංවතුරට W2 පන්තියේ එන්ජිමක් යට වූ බවත්, එය වෙනත් එන්ජිමක් සහ මැදිරි කිහිපයක දුම්රියක් යොදා නාවලපිටියට ඇදගෙන ආ බවත්ය..  
           ගම්පොලින් පසු මාර්ගය උලපනේ දෙසට අඩි 50ට එකක ආනතියක් පෙන්වයි. බරින් අධික දුම්රිය මෙතැන් සිට පසුපසින් තල්ලු කල යුතුය. ඒ සඳහා පෙර කල යෙදවුණු වාෂ්ප එන්ජිම පැමිණියේ නාවලපිටියෙනි. එම සහයක එන්ජිම හැරවීම සඳහා භාවිතා වූ නිසා, මෑතක් වනතුරු එහි හැරවුම් මේසය ක්‍රියාකාරී තත්වයේ පැවතුනි. අදටත් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය සඳහා සහායක එන්ජිම නාවලපිටියෙන් පැමිණේ. නමුත් ඩීසල් එන්ජිම එසේ හැරවීමේ අවශ්‍යතාවයක් නොමැත. එහෙත් හැරවූ එන්ජිම, සිය දුම්රිය එන තෙක් බලාසිටි පාෂ මාර්ගය (loop line) අදටත් භාවිතයේ තිබේ. 
         
          සියලු මගීන් දුම්රියට නැග අවසන්ය. මහනුවර බලා යන දුම්රියත් පැමිණ අනෙක් පාෂ මාර්ගයේ නවතා ඇත. රේල් ගේට්ටුව පහත වැටුණි. සෙමෆෝ සංඥාවත් පහත වැටුණි. දුම්රිය ස්ථානාධිපතිවරයා ඔහුගේ නලා හඬින් දුම්රියට ඉදිරියට යාමට අවසර දුන්නේය. කොළ කොඩි දෙකක් දුම්රිය ඉදිරිපස සහ පසුපස සිටි ගාඩ් මහතුන් දැක්වීය.


ගම්පොල දුම්රිය ස්ථානයට දර්ශනය වන අම්බුළුවාව.

           එතෙක් නිසලව සිටි පොඩි මැණිකේ, දීර්ඝ නළා හඬක් නගා, කඳුකරය වෙත යන සිය චාරිකාව නැවතත් ආරම්භ කළාය..




     


Saturday, September 26, 2015

සොඳුරු ගමනක ඇරඹුම- බදුලු චාරිකාව..

දිනය- 2012 සැප්තැම්බර් 26.
වෙලාව- උදෑසන 6.30.
          

          දුරකතනයේ එලාම් එක වැදෙනු ඇසී දඩිබිඩි ගා ඇඳෙන් බැස්සෙමි. පාන් ටික ටෝස්ට් කරගෙන, කිරි හදාගෙන, නාගතිමි. උදේ ආහාරය ගෙන අප්පච්චිට වැඳ ස්ටේෂන් එකට දුවන විට රේල් ගේට්ටුවත් වසා ඉවරය. ස්ටේෂන් ඒකෙ මා එන තුරු අකිල අයියා සිටියේය. එකල පොඩි මැණිකේ දුම්රිය ගෙලිඔයේ නතර නොකෙරුණි. ඒ නිසා, අප උදේ කාර්යාල දුම්රියෙන් පේරාදෙණිය හන්දිය වෙත ගමන් කළෙමු.
උදෑසන කාර්යාල දුම්රිය..
                         
           පේරාදෙණියේදී අපේ තවත් මිත්‍රයෙක් වූ රුචිර වත්තෙතැන්න නම් මාගේ පාසල් මිතුරා හමු විය. එකල පොඩි මැණිකේ දුම්රියට උදේ සහ හවස සම්බන්ධක දුම්රියක් මහනුවර සිට පැමිණි අතර, පොඩි මැණිකේ පේරාදෙණිය හන්දියෙන් හැරී ගියාය. මහනුවර යන මගීන් සම්බන්ධක දුම්රියෙන් ගමන් කල යුතු විය.
පේරාදෙණිය සන්ධිය ලංකාවේ පැරණිම දුම්රිය ස්ථානයකි. එය 1867 වසරේ මුලින්ම භාවිතයට ගෙන ඇතත්, දැන් පවතින දුම්රිය ස්ථානය ගොඩ නැගුනේ 1875දී, නානුඔය වෙත දුම්රිය මාර්ගය ඉදි වන සමයේ ය. මුහුදු මට්ටමේ සිට අඩි 1553ක් ඉහලින් පිහිටි මෙය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 70කුත් දම්වැල් 67ක් දුරින් පිහිටා ඇත.
           පෙර කාලයේ කොළඹ සිට පැමිණෙන දුම්රියක් හරවා යැවීම ඉතා අපහසු වීම නිසා, මෙම දුම්රිය හන්දිය ගොඩ නැගී ඇත. ප්‍රධාන දුම්රිය මාර්ගය මෙතනින් බදුල්ල දෙසට හැරෙන අතර, මහනුවර දුම්රිය ස්ථානය දැන් මාතලේ මාර්ගයට අයත් සේ සලකනු ලබයි.

            අප දෙදෙනා ප්‍රවේශ පත්‍ර මිලදීගෙන, වේදිකාවට වී සිටියෙමු. ටික වෙලාවකින් පහත සඳහන් නිවේදනය ඇසෙන්නට විය.. -

"කොළඹ කොටුවේ සිට, බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ සීග්‍රඝාමී දුම්රිය, තව ස්වල්ප වෙලාවකින් දෙවන වේදිකාවට ලඟා වනවා ඇත.. මෙම දුම්රිය නවත්වන්නේ ගම්පොල. ගම්පොල සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...

Podi Manike express train from Colombo Fort to Badulla will arrive onto number 2 platform shortly. She will be stopping at Gampola, and all the stations beyond…."

            ස්වල්ප වෙලාවකින්, පේරාදෙණිය දුම්රිය ස්ථානය පසුකොට බදුල්ල දෙසට ධාවනය වී සංඥා කුලුන අසල නතර වූ දුම්රිය පසුපසට ගැනීමට දුන් නලා හඬ ඇසුනි. M6 දුම්රිය එන්ජිමකින් බලය ලැබූ පොඩි මැණිකේ දුම්රිය, ටිකින් ටික වේදිකාවට සේන්දු වූවාය. එහිදී, රඹුක්කන සිට පැමිණි අපේ අනෙක් මිතුරා, අශාන් විජේකෝන් අප සඳහා පා පුවරුවක් අල්ලාගෙන සිටියේය.
තවත් නිවේදනයක් යකඩ කටින් නිකුත් විය.-
පොඩ්ඩි කඳුකරය වෙත ගමනාරම්හ කිරීමට සූදානමින්...
“ දෙවන වේදිකාවේ නවතා ඇති පොඩි මැණිකේ දුම්රිය දැන් බදුල්ල බලා පිටත් වේ.. එම දුම්රිය නවත්වන්නේ ගම්පොල. ගම්පොල සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.....”

             ඒ සමගම, තියුණු නලා හඬක් නිකුත් කල පොඩි මැණිකේ, බදුල්ල බලා ගමන් ඇරඹුවාය..
                  
            පේරාදෙණිය දුම්රිය හන්දියක් බැවින් එක දුම්රියක් සම්පූර්ණයෙන්ම ගමන් දිශාව ආපසු හැරවිය හැකිය. ඒ බැවින්, කොළඹ සිට පැමිණෙන විට කොළඹ දෙසට මුහුණ ලා තිබුණු නැරඹුම් මැදිරිය, දැන් මහනුවර දෙසට මුහුණ ලා සිටී..

පේරාදෙණිය පසු කල පොඩි මැණිකේ, කොස් හින්න, අප චාරිකාව පටන්ගත් ගෙලිඔය, වැලිගල්ල ආදී දුම්රිය ස්ථාන වේගයෙන් පසු කොට මහවැලි ගඟ අද්දරින් වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ කහටපිටිය බිංගය තුලින් ගම්පොල වෙත සේන්දු වූවාය. මෙම කහටපිටිය බිංගය අප චාරිකාවේ අපට හමුවන ප්‍රථම බිංගයයි..  

Saturday, September 5, 2015

පොඩ්ඩිත් එක්කලා ගිය ගමනක සටහන..

             මාස ගණනක නිහැඬියාවකින් පසුව, යලිත් බ්ලොග් අඩවියට එන්නට සිතුනි. බ්ලොග් ලිවීම, කියවීම සහ සම්පූර්ණයෙන්ම අතහැරී ගියේ කාලය නැති කමක් නිසා නොව, ඩේටා නැති කමත්, පෙර මෙන් අන්තර්ජාලය වෙත පිවිසීම සඳහා භාවිතා කල හැකි ජංගම දුරකතනයක් නැති වීමත් හේතුවෙනි. ඒ දවස් වල නොකිඅ 2730c සහ 6220c, පසුව 6720c දුරකථන වලින් 100MB දත්ත ප්‍රමාණයක් දවස් තුනක් වත් භාවිතා කල හැකි විය. ඒ නමුත්, දැන් ඇති ඩොන්ගල් එකට එම දත්ත ප්‍රමාණය සෑහෙන්නේ පැය 4-5 කට පමණි. ඒ හේතුවෙන් මා අන්තර්ජාලය භාවිතා කිරීම අවම විය.
             බ්ලොග් අඩවියට නැවත සටහන් එක් කිරීමට සිතමින් සිටි පසුගිය කාලයේදී, චාරිකා සටහන් පෙළක් ඇරඹීමට මගේ සිතේ ආශාවක් ඇතිවිය. ඒ අතරතුර, පාසල් මතකයන් ද මා සිත තුල විටින් විට හොල්මන් කරන්නට විය. විශේෂයෙන් උසස් පෙළ විභාගය නිම වී ගත කල කාලය, එම කාලය තුල කල සංචාර ගැන මතකයන් මතු වන්නට විය.
මෙසේ සිටින අතරවාරයේ, බදුල්ල බලා ධාවනය වන අංක 1007 දුම්රියෙන් කොළඹ සිට මහනුවර බලා පැමිණීමට අවස්තාවක් ලැබුණි. ඉස්සර උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රිය සමගින් ධාවනය වූ M6 පන්තිය පසෙකට වී චීනෙන් ආ අලුත් මනමාලයන් සමගින් එම මැණිකෙලා දැන් කඳු අතරට පැමිණේ. නමුත් එදා ගමනින් පසු, M6 පන්තියත් සමග ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ මා ගිය සුන්දර සංචාරයන් මා හට සිහිනයෙන් පවා පෙනුනි..
             සංචාරක සටහන් පෙළක් ගැන සිතමින් සිටි මට, අපූරු අදහසක් සිතට නැගුණි. ඒ නම්, පොඩි මැණිකේ දුම්රියේ මා 2012 වර්ෂයේ පොඩි මැණිකේ සමගින් බදුලු ගිය ඒ සොඳුරු සංචාරය සටහන් කල හැකි නොවේද අදහසයි..                                 

            ඉතින්, මේ ඇරඹෙන්නේ එම සටහන් පෙළයි. මෙය ඇරඹුණේ, ජංගම දුරකතනයේ අදටත් පවතින මෙම කෙටි පණිවිඩයෙනි- 

“ Aiya, api Podi Manike Badullata gihin emuda? Nawathinna thanak thiyanawada?” 

             මෙය මා විසින් අප සංචාරය සාර්ථක කරගැනීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් අකිල කරුණාරත්න අයියා වෙත යවන ලද්දකි. මෙතැන් පටන්, ඉන්නට තැනක්, යන දුම්රිය, යන්නේ කවුද, යන්නේ මොකේද, එන්නේ මොකේද යනාදී බොහෝ මාතෘකා පිලිබඳ විවිධ අය සමග කෙටි සාකච්ජා පවත්වා, උදේ පොඩි මැණිකේ දුම්රියේ යන්නටත්, ඊළඟ දවසේ පොඩි මැණිකේ දුම්රියෙන්ම එන්නටත් සාකච්ජා විය...
එතැන් පටන් ගමනේ තොරතුරු, මෙම ගමන සිදු වූ සැප්තැම්බර් 26 වැනිදා සිට බලාපොරොත්තු වන්න.....


Tuesday, April 21, 2015

සයිබර් ලෝකයේ මිතුරු හමුව...

                  කලින් පෝස්ට් ඒකෙ දැම්මනේ මගේ අවුරුදු අත්දැකීම් ටිකක්.. ඒ කිව්වේ ඒවායින් අංශු මාත්‍රයක් වගේ තමා.. ඔන්න මේ පෝස්ට් ඒකත් අවුරුදු කතාවක්... ඒ කිව්වේ අපේ මේ බ්ලොග් කරුවන්ගේ සයිබර් සැණකෙළියට ගියානේ මම.. මේ ඒක ගැන... හැබැයි මෙතන වැඩක් තියනවා.. ඒ කිව්වේ අර එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නෙවේ, තුන් දෙනෙක්ම නෙලාගත්තා..
     මෙදා පාර ඔන්න බ්ලොග් ගෙට් එකට යන්න උදේ මාතර කෝච්චියට සෙට් උනා අපේ රන්දුනු යසරංග අයියත්.. එතුමා එක්ක මාතර කෝච්චියෙන් පිටත් වෙලා ගිය තැන ඉඳල, මෙන්න ෆොටෝ වලින් කතාව...


මාතර දුම්රියෙන් වැල්ලවත්ත බලා... මේ ගමන නම් ආවේ කොයි වෙලේ එන්ජිම හිටීද කියල බයේ..

කස්ටිය සූදානම් වෙන අතරේ මම ඔය අහු වෙච්ච ගැජට් කෑලි ටික පොඩ්ඩක් බැලුවා...

මෙන්න ඒ අස්සේ වලියක්....
    කොහොමින් කොහොම හරි, 8ට පටන් ගන්නවා කියල තිබිල, 9ට කිට්ටු කරලා ඔන්න පටන් ගත්තා.. මේ ඇවිල්ල පහන් පත්තු කරපු වෙලාව..
පහනට ගිනි තබන කවුෂි අක්කා....

දැල්වූ පහන්- දළු ලා වැඩේවා..!

බ්ලොග් කරණය නම් තත්වයට හේතු වන වෛද්‍යවිද්‍යාත්මක තත්වයන් ගැන හරබර දේශනයක් සමගින් වැඩ ඇරඹීම....
 ඔය දේශනා, පොල්තෙල් පහන් දැල්වීම් අනංමනං වලින් ඉවරලා ඔන්න මයික් එක අතට ගත්ත ජනරඟ අයියයි දුලාන් අයියයි අපිව කෙලින්ම තරඟ වලට කැඳෙව්වා.. උදේට කෑවෙත් 3.30ට.. සෑහෙන බඩගින්නකින් හිටියත් ධාවන තරඟෙට බඩ ගෑවා.. ඒකත් ඉවරලා එන ගමන් වැටක් උඩ ඉන්න මාරයා තුමා සමග සිහිනයා හම්බුනා.. ඔන්න ගැහුවා ෆොටෝ එකක්...

සිහිනයා, මාරයා සමග අඟහරුවා...

දිනයේ මයික් ටයිසන් වූ දුලාන් අයියා, රසික අයියාගේ තොරතුරු විචාරමින්...

මීළඟට තිබ්බේ අලියට ඇහැ තැබීම.. මේ ඇවිල්ල අපේ රසික අයියා ඇසුත් වහගෙනම අලියට ඇහැ තියන්න ගිය ඓතිහාසික දර්ශනය...

අඟහරු ඩී ජේ....

මේ ඇවිල්ලා තොප්පි දමාගැනීමේ තරඟයේ උණුසුම් අවස්තාවක්...

තොප්පිය පාස් කිරීමේ තරඟයේ අවසාන තරඟ කාරියන් දෙදෙනා... මෙයින් එක්කෙනෙක් අපේ බස්සි...
 ඒ මේ තරඟ ටිකක් ඉවර උනා.. කනයාට මුට්ටියෙන් ගැසීම.... ආ වැරදුනා කණා මුට්ටියට ගැසීම එහෙමත් ඉවර වෙලා, ඔන්න පොඩි බ්‍රේක් එකක් ගන්න අපි ටික වාඩි උනා.. වාඩි උනා කිව්වට ඉතිං, ඒ වෙලාවේ කරෙත් ෆොටෝ ගහපු එක තමා... මේ එයින් ටිකක්..
 
රන්දුනු අයියා, නිල්මිණි අක්කා සමග මම තුමා.. ආ තව එක්කෙනෙකුත් ඉන්නවා...

ඔය අතරේම අනික් පැත්තෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් (වගේ එකක්) තිබ්බා.. මේ අපේ වැප් අයියා තමා හඳුන්වාදීපු අවස්තාව..

මෙයත් ඇවිත් හිටියේ... මම හිතන්නේ කපුටා.කොම් එකෙන් වෙන්න ඇති...
        දිවා ආහාරය පොඩ්ඩක් පරක්කු උනා. ඉතිං අපි ඔය වටේ ඇවිද ඇවිද දන්නා, නොදන්නා, අලුත්, පරණ අයත් එක්ක කයිය ගගහ ඒ වෙලාව ගෙවල දැම්මා.
බඩගිනි චැට් එක...

මේ තියන්නේ මේ පාර ටිකට් එක.. මම නම් වෙජිටබල් ඈ....

මේ ඔබ අමතන්නේ අඟහරු සිට පැමිණි අඟහරුවාය....
             දිවා ආහාරයට පස්සේ ඔන්න පටන් ගත්තා ජනකවි ගායනා.. මම තුමාත් කවි දෙකක් ඇද බෑවා...
ජනකවි ගායනා තරඟයේ හොඳම අංගය ඉදිරිපත් කලේ මෙතුමා තමයි. ඒ ඇවිල්ලා අටුවා සීපද.. මමත් ඇහුවෙත් එදාමයි.

ඒ මේ ඔක්කොම ඉවරලා 3.30ට විතර කට්ටිය සෙට් උනා සමූහ සේයාරුවට.
      සමූහ සේයාරුවෙන් පස්සේ මම හැමෝටම වගේ කියලා එතනින් පිටත් වෙලා ආවා.. ඒ තව වැඩකට. අර උඩින්ම මම දාල තියන්නේ එක ගලින් කුරුල්ලෝ තුන් දෙනෙක් කියලා.. මේ තමා එයින් එකක්.. ඒ කිව්වේ අපේ ෆේස්බුක් ඒකෙ දුම්රිය ලෝලී  මිතුරන්ගේ සුහඳ හමුවක්.. ආය ඉතිං හෝරා එක හමාරක් වගේ උනත් නියමෙටම ගියා ඒක නම්.... 
ඔය ඉන්නේ යකඩ යක්කු ටික..
       ඒ වැඩ ඉවර වෙලා ඔන්න මහා වර්ෂාවකටත් අහු වෙලා ඒ මැදින්ම තූර්ය අයියලාගේ ගෙදරට සැපත් උනා.. ඇවිල්ල නාල කාල එහෙම එදා දවසේ කටයුතු නිමා කරා.. එන අතරමග කෑලි ගැලවෙච්ච ඉයර්ෆෝන් ඒකත් තූර්ය අයියලාගේ ගෙදරදී හදාගත්තා..

      ඊළඟ දවසේ, මම කියපු තුන් වෙනි වැඩේ- ඒ කියන්නේ බදුල්ලට යන 1007 කියන දුම්රියේ නුවර එන එක කරන්න විදියක් බැලුවා.. උදේම ආව දෙහිවලට, එතනින් මරදානට. ඔබතුමන්ලාට කියන්න පිංවතුනි, මම මරදානට එද්දී මීට කලින් නුවරට යන කෝච්චියත් එතන. ඒකෙ නගින්න ඕනේ තරම් හැකියාව තිබ්බත්, මට ඕනේ උනා 1007 එක්කම ආපහු එන්න. ඉතිං පොප්කෝන් පැකට් දෙකයි, ජින්ජර් බියර් එකයි අරගෙන ගියා ප්ලැට්ෆෝම් ඒකෙ කොනටම. බලං ඉඳලා, ඔන්න ආවා සෙට් එක. නැගල ඉතිං වාඩි වෙලා, ෂෝයි එකට ගෙදර ආවා එක්ස්ප්‍රස් ඒකෙ...
අංක 1007 දරණ සීග්‍රඝාමී දුම්රියෙන් ගෙදර බලා....
විශේෂ ස්තූතිය-
* බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයට,
* මා සමග වචනයක් හෝ කතා කල හිතවත් බ්ලොග් කරුවන්ට,
* ගයන්ත සමරදිවාකර, තූර්ය ඔවිටිපාන, නිපුන දොඩන්තැන්න, ගෙහාන් චන්දික, ලහිරු කන්නංගර, සහන් ජයසූරිය  ඇතුළු මිතුරන්ට....

Thursday, April 16, 2015

අවුරුදු කතා...


        ඔන්න ඉතිං තව අවුරුද්දක් ඉවර උනා.. සූර්යයා ග්‍රහ චක්කරේ වටේ ගිහිං ආපහු මුලට ආවා.. ඉස්සර වෙලාම කට්ටියටම 
                                       
කියල ඉන්නම්කො...

         මේ ටිකේ ඇත්තටම මොකක් වෙලාද මන්දන්නේ නෑ බ්ලොග් එක 4 මායිමේ එන්න හිතෙන්නේ නෑ.. ලියන්න කියල දේකුත් හිතේ නෑ. කෝච්චි ගැන ලිව්වට කියවන බල්ලෙක් වත් නැති නිසා ඒවා ආය ලියන්න යන්නේ නෑ කියල හිතාගත්තා. ලියන්නේ මොනාද කියල හිත හිත ඉන්න ගිහිල්ල කොහොම හරි අවුරුද්දත් පැන්නා.. ඊයේ රෑ ඔන්න හිතුනා අවුරුදු කතා ටිකක් ලියන්න.. මේ ඒ ටික...

          මට ඔය අලුත් අවුරුද්ද හොඳට සැමරුවා කියල මතකයක් මුලින්ම තියන්නේ 1998 අවුරුද්දේ තමයි. ඒ කාලේ වෙද්දී අපේ අම්ම එහෙමත් අපිත් එක්ක හිටපු නිසාත්, ගෙදර අනික් කට්ටියත් නැකත් එහෙම නූලටම වගේ කරපු නිසාත් අවුරුද්ද ජයටම වගේ තිබ්බා. ගනුදෙනු කිරීම පවා ඒ කාලේ කරා. ජීවිතේ පලවෙනි පාරට ගිනි කූරක් ගැහුවෙත් ඒ අවුරුද්දේ... 99, 2000 අවුරුදුත් ඒ වගේ ගියා..

         කොහොමින් කොහොම හරි 2002 අවුරුද්ද නම් එපාම කරපු එකක් උනා මතකයි. ඒ ගැන වැඩිය සඳහනක් නොකර ඉන්නවා. 2004ත් තරමක් හොඳ උනත්, 2005, ඒ කියන්නේ මීට හරියටම දශකයකට කලින් අවුරුද්ද තමා මට නම් සරුම. නැන්දලාගෙන් මාමලාගෙන් ඇඳුම්, රතිඤ්ඤා, අහස්කූරු එහෙම හම්බුන ඒකත්, අප්‍රේල් මාසෙම නිවාඩු වෙච්ච ඒකත්, සෙල්ලම් කරන්න එහෙම සෑහෙන ගෘප් එකක් හිටපු ඒකත් එකට හේතු උනා..
        ඒ කාලේ 7 වසරේ හිටපු අපිට කොහොමත් අවුරුදු සරු වෙන්නේ ඇඳුම්, කෑම වලටත් වඩා ඔය ගිනිකෙළි නිසා නේ.. ඒ කාලේ අල්ලපු ගෙදර දෙන්නයි මමයි එකතු වෙලා තමයි ඕවා පත්තු කරන්නේ.. ටින් වලට දාල රතිඤ්ඤා පත්තු කරන එක, පොල් කටු අස්සට දාල පත්තු කරන එක, මහ පාර දිගේ අහස් කූරු යවන එක තමා ඒ දවස් වල අපේ වැඩේ. 


ශ්‍රී වේළුවනාරාමය අපේ ගෙදර වහල උඩ සිට..
(Nokia 6720c දුරකතනයෙන් ගත් සේයාරුවකි)

           අපේ ගෙදර ඉස්සරහම තියන්නේ පන්සලක්. කුඩාපීලිගම ශ්‍රී වේළුවනාරාමය තමා නම. ඔකේ ඉන්න පොඩි හාමුදුරුවන්ට එහෙම මේ කාලෙට රතිඤ්ඤා අහස් කූරු නිලා කූරු එහෙම හම්බවෙනවා ආය කඩවල් ගණන්. දායක දායිකා සැදැහැවත් උපාසකයින් ගෙනත් පුදන ඒවා.. ඉතිං නිකම් ලැබෙන එක නේ.. අවුරුද්දට දවස් දෙකක් විතර තියලා පටන් අරං, ආය අවුරුදු පහු වෙලා සතියක් විතර යනකල් සද්දේ. හැබැයි හොඳම සෙල්ලම පටන් ගන්නේ රෑට. කට්ටිය සෙට් වෙලා අපේ ගෙදරටයි අල්ලපු ගෙදරටයි අහස් කූරු එවනවා. අපි යවනවා රිප්ලයි. අවුරුදු දවසට මේ හරිය නිකං මුදා නොගත් කලාපයක් වගේ තමයි.

මේ වගේ තමා ඒ දවස් වල අපේ ගෙවල් පැත්ත. මේක නම් ගූගල් සර්ච් එකෙන් හම්බුනේ.  



       දවසක් ඔය වගේ අහස් කූරක් ඇවිල්ලා අපේ ගෙදර ඉස්සරහම පිපුරුවා.. මම අහස් කූරු යවන්නේ කොසු මිටකට ඇණ දෙකක් ගහල අටවගත්ත ලෝන්චර් එකක තියල. ඕක මිදුලේ හිටවල තමා තියන්නේ. අහස් කූර ආපු එකට මට දැන් මල. මම මොකද කරේ ගානට ලෝන්චර් එක ඒම් කරලා, ඉරට්ට හරි කෙලින් තිබ්බ අහස් කූරකුත් අරගෙන, වැඩි හරිය කඩලා පත්තු කරා.. හුටා මේක කෙලින්ම ගිහිල්ල ආවාස ගේ දොරකඩ දඩෝන් ගාපි... ටිකකින් පන්සල ඇතුලෙන් ඇහෙනවා ලොකු හාමුදුරුවෝ අමතන සද්දේ... ඒ යුද්දේ එතැනින්ම අහවරයි.
          ආය දවසක් මම අහස් කූරක් පත්තු කරලා ආපහු හැරෙද්දී අත වැදුනා ඔය ලෝන්චර් ඒකෙ. අනේ ඒ අහස් කූර කැරකිලා ගිහිල්ල පාරේ ගිය වීල් එකක පිපුරුවා... ඌ ඇමතුවා ඇමතිල්ලක් ආය නෑ ඒ භාෂාව මාර සුන්දරයි.. කොච්චර සුන්දරද කියනවා නම් මම ඉස්සරහ ලයිටුත් නිවලා ගෙදර ඇතුලට ගිහිං දොරත් වහගත්තා... මම හිතන්නේ අපේ පරම්පරාවටම එදා කිබුහුම් යන්න ඇති හිටු කියලා..
            අහස් කූරු ඉවර උනහම අපි ගන්නේ ග්‍රෙනේඩ්.. ආ නෑ වැරදුනා රතිඤ්ඤා.. 
     
ඔය තියන්නේ ජාති ඔක්කොම..
       ඒ කාලේ තිබ්බ අලිඩොන්, මැණික්, යකා මාක්, මුවා එහෙම කියල බ්‍රෑන්ඩ් හැටහුටාමාරක්. හැබැයි ගිය අවුරුද්දේ කන පැලෙන්න සද්ද තිබ්බ එක ඊළඟ අවුරුද්දේ *ඩයක් තරම් වත් සද්ද නෑ. අලිඩොන් ඒකෙ නූල තියන්නේ අඟල් භාගයයි. නැත්තම් ඊටත් අඩුවෙන්. ඕක අපි කරන්නේ සවු කොලේ ගලවලා නූල ටිකක් පළුඳු කරන එක. හැබැයි එක දවසක් දාපු ගමන් පුපුරලා දකුණු කන කූං කූං ගගා තිබ්බා මාස ගානක්...
        ආය ඔය අපේ පැත්තේ මරිමෝල් ඩයල් එකක් ඉටිපන්දමකින් රතිඤ්ඤා පත්තු කරන්න ගිහිල්ල, ඉටි පන්දම විසි කරලා රතිඤ්ඤා එක සාක්කුවට දාගෙන තිබ්බා.. මිනිහා ඊට පස්සේ දකින්නවත් හිටියේ නෑ හැබැයි.. මේ පෝස්ට් එක ලියන වෙලාවේ අපේ අප්පච්චි ඉඳගෙන කියනවා අනුරාධපුර පැත්තේ සිගරට් එකකින් පත්තු කරන්න ගිහිල්ල ඒක විසි කරලා රතිඤ්ඤා එක කටේ ගහගත්තා කියලත්. මිනිහ නම් නොමැරී බේරිලා තියන්නේ 99යි දශම 999999ලු.
        මේ අවුරුද්දෙත් ඔය ගිනිකෙළි සෙල්ලම් සෑහෙන්න මෙහෙ තිබ්බා.. පන්සලේ හිටියා මුවෙක්. අනේ පන්සලේ ඩීන් ඩොන්ග් ගගා පුපුරන සද්ද වලට බයේ ඌ 14 වෙනිදා රාත්‍රියේ පැදුරටත් නොකියා පැනල ගිහිල්ලා.. ඌ තාම ආගිය අතක් නෑ කියල තමා දැනගන්න ලැබුනේ.
         අවුරුදු ගැන කියද්දී මතක් වෙන තවත් දෙයක් තමා අවුරුදු උත්සව. දහම් පාසලේ හිටපු ගුරුවරයෙක් වශයෙන් මමත් දහම් පාසලේ අවුරුදු උත්සවේට නොමසුරු ශ්‍රම දායකත්වය දුන්නා.. තව පොඩ්ඩෙන් කණා මුට්ටි බිඳපු පාර මගේ ඇහැකුත් දන් දෙන්න වෙනවා.. තව ඔය ෆේස්බුක් එක පැත්තේ දැක්කා මෙන්න මෙහෙම තරඟ වගේකුත්-
* අවුරුදු කුමාරිට පොල්ලෙන් ගැසීම,
* ලස්සනම කණා මුට්ටිය තේරීම,
* ලිස්සන ගහේ ග්‍රීස් ගෑම,
*අවුරුදු කුමාරයාගේ ඇට ගණන් කිරීම,
* පැපොල් ගෙඩිය හැන්දේ තබාගෙන යැම,
* ගම හරහා බඩ ගෑම,
* සැඟවුණු බනිස් සෙවීම,
* ගම හරහා කඹ ඇදීම,
* කනාට මුට්ටියෙන් ගැසීම,
* දෙහි ගෙඩියට ඇහැ තැබීම,
...... තව සෑහෙන්න තිබ්බා... ආ මේ අවුරුද්ද ගැන ලියද්දි මතක් උනේ.. ලබන සතියේ අපේ බ්ලොග් ලියන කට්ටියගේ සයිබර් සැණකෙළිය පැවැත්වෙනවා... කට්ටියම එන්ඩ ඈ.. ඕනේ නම් ඔය උඩ තියන තරඟයක් දෙකක් තියන්න කියමු...

ප.ලි- පැනලා ගිය මුවා පන්සලට ටිකක් එහා කැලේ සිටියදී හමු වී නැවතත් පන්සලට වඩම්මවා... ආ නෑ මේ ගෙනාපු බව ලාම්පු කණගාටුවෙන් යුතුව සඳහන් කරමි...

Friday, March 13, 2015

ජීවන පාඩම..

    ලියනවා ලියනවා කිව්වට එක එක කසාඳ හින්ද ලියන්නම බැරි උනා අෆ්ෆා.. මේ ටිකේ නම් සයිලන්ට් වෙන්න උනේ අර 6220c ෆෝන් එක කොහොම හරි හදාගන්න මූල්‍ය ප්‍රතිපාදන හොයාගන්න ඉන්ටර්නෙට් වියදම් කපාහැරපු නිසා. ඒ වැඩේ සෑහෙන පමණකින් ඉවර කරලා, ආව ආපහු සමාජය හමුවට.. බ්ලොග් එකේ ලියන්න දේවල් තිබ්බට, එක පාරට ලියන්න මොකදෝ වගේ.. ඒ නිසා ට්‍රයල් එකක් වගේ දුවන්න දාන්න දෙයක් හිත හිත ඉන්නකොට මීටරේට ආව කතාවක්.  මේ කතාව මම 9 වසරේ ඉන්නකොට ඉංග්‍රීසි වලට ඉගෙනගත්ත කතාවක්.. මේකෙන් ලොකු පණිවිඩයක් දෙනවා.. ඒ නිසා මේක සිංහලට පරිවර්තනය කරලා බ්ලොග් එකේ ලියන්න හිතුවා.. 


                                   
    
         මේ කතාව පලස්තීනේ කතාවක්.. පලස්තීනේ හිටිය මෝසස් කියල ඇඳුම් මහන මනුස්සයෙක්. මේ මනුස්සයට තව හිටිය එයාගේ බිරිඳ සහ ළමයි තුන් දෙනෙක්. හැබැයි, මේ මනුස්සයට වැඩ කරන්න, ඉන්න, උයන්න පිහන්න, ඔක්කොටොම කියල තිබ්බේ එකම එක කාමරයයි!! මේ ගෙදර ජීවිතේ දවසින් දවස අමාරු වෙන්න ගත්තා.. මනුස්සයට වැඩක් කරන්න ඕනේ උනාම ළමයි ඒක කඩාකප්පල් කරනවා.. උයන්න පිහන්න අස් කරන්න ඕනේ උනහම එහෙන් හරස් වෙලා..
           මේ කරදරේ ඉවසන්න බැරුව, මේ මනුස්සය දවසක් යනවා එහෙ අපේ පන්සල් වගේ තියන පූජ්‍ය පක්ෂය ඉන්න තැනට. එහෙ ඒකට කියන්නේ සිනගෝගය කියල ඉන්නේ රැබයි කියන පූජකයෝ. මේ ගොල්ලෝ ඇත්තෙන්ම දාර්ශනිකයෝ වගේ කට්ටියක්. මේ මනුස්සය ගිහින්, අර පූජකතුමාට කියනවා

" පූජකතුමනි, මට මගේ ගෙදර ජීවිතේ එපා වෙලා තියන්නේ.. අපි පස් දෙනෙක්ට ජීවත් වෙන්න, මට වැඩ කරන්න, උයන්න පිහන්න ඉන්න වෙලා තියන්නේ එකම එක කාමරයකයි.. ජීවිතේ කරදර එන්න එන්න වැඩි වෙනවා.. ළමයින්ගේ කරදර එහෙන්.. කරුණාකරලා මට ජීවිතේට උපදෙසක් දෙන්න"

මේක අහගෙන ඉඳල පූජකතුමා කියනවා,

"මෝසස්, ඕගොල්ලන්ගේ ගෙදර ඉන්නවද කුකුලෙක්?"

"නැහැ පූජකතුමනි.."

"හොඳයි, එහෙනම් කුකුලෙක් හොයාගෙන ඇති කරන්න ගන්න. ඒ කරලා ලබන සතියේ එන්න මේ පැත්තේ.."

මෝසස් ගිහිල්ල, සතියකින් එනවා..

" අනේ පූජකතුමනි, තත්වය තවත් විකාරයි.. කුකුලා උදේ පාන්දර හඬලලා අපිව පට්ටපල් පාන්දර ඇහැරවනවා. උගේ ජරාව කාමරේ පුරා වැටෙනවා.."

"හරි, මෝසස්, ඔයාලගේ ගෙදර ඉන්නවද බළලෙක්?"

"නැහැ පූජකතුමනි.."

"හොඳයි, එහෙනම් බළලෙක් හොයාගෙන, සතියකින් එන්න මාව හම්බවෙන්න.."

සතියකින් මෙයා එනවා ආපහු..

" කුකුලයි බළලායි කෙළවරක් නැතුව රණ්ඩු කරනවා... බලල අපේ බාල දුවව හූරල එයා පැය දෙකක් ඇඩුවා.."

"හරි, ගිහිල්ල, බල්ලෙක් හොයාගෙන සතියකින් එන්න මෙහාට..."

ඊළඟ සතියේ මනුස්සය ආපහු එනකොට, ඇස් දෙක යට කළු පැල්ලම් ගැහිලා.. නිදාගෙන නෑ හරියට..
"මොකද තත්වේ?" පූජකතුමා අහනවා..

"කියල වැඩක් නෑ පූජකතුමනි.. දැන් මට තේරෙනවා ඇයි මිනිස්සු කියන්නේ සමහරු බලු බළල්ලු වගේ රණ්ඩු වෙනවා කියල... අපි එක විනාඩියක් කනක් ඇහිලා හිටියේ නෑ.. බල්ලයි බළලායි කාමරේ වටේ දුව දුව රණ්ඩු කරනවා.. කුකුලා අඬලනකොට බලලා ඤාව් ඤාව් ගානවා ඉවරයක් නැතුව. ඒ අස්සේ බල්ලා බුරනවා.. ඒ අස්සේ ළමයිත් කෑ ගගහා රණ්ඩු කරනවා.. මගේ බිරිඳ මේ සත්තු කාමරේට ගේන එක ගැන කොච්චර තරහින්ද ඉන්නේ කිව්වොත් මගෙත් එක්ක කතා කරන්නෙත් නෑ..."

"හරි... ඒත්, මෝසස්ට පුලුවන්ද බූරුවෙක් හොයාගන්න?"

" හොයාගන්න නම් පුළුවන්, ඒත් කරුණාකරලා මට කියන්න එපා ඌව අපිත් එක්ක කාමරේ තියාගන්න කියලා...."

          ඊළඟ සතියේ මෝසස් එනකොට, යුද්ධෙට ගිහිල්ල වගේ පෙනුමක් මනුස්සයාගේ තිබ්බා..
බූරුවා එයාගේ කකුලට පයින් ගහලා, බල්ලා අත හපලා, බළලා මූණ හූරලා... බූරුවා කාමරේ මුළු ඉඩම වගේ අල්ලාගෙන.. අනික් අයට හැරෙන්නවත් ඉඩක් නෑ.. මේ කතාව අහගෙන හිටපු පූජකතුමා, මෝසස්ට කිව්වා බූරුවව ආපහු දීල, සතියකින් එන්න කියලා..

         ඒ ඊළඟ සතියේ එනකොට, මනුස්සයාගේ කලින් තිබුණු දුක්ඛදායක පෙනුම ටිකක් අඩු වෙලා තිබුනා..
"බල්ලයි බලලයි තවමත් රණ්ඩු කරනවා, ඒ උනාට අඩුම ගානේ, මට පයින් ගහන්න දැන් බූරුවෙක් නෑ..."

"හරි, බල්ලව ආපහු දෙන්න. දීල සතියකින් එන්න.."

       ඊළඟ සතියේ එද්දී, මනුස්සය හොඳට විවේක අරගෙන තියන බව පෙනුමෙන් කියන්න පුළුවන් තත්වයක් තිබ්බා.. "කුකුලයි බළලායි තවමත් රණ්ඩු කරලා ළමයින්ට එහෙම කරදර කරනවා, නමුත් දැන් අපිව හපන්න බල්ලෙක් නෑ අඩුම ගානේ..." මෝසස් කිව්වා..

"කුකුලයි බළලාවයි ආපහු දීල ලබන සතියෙත් එන්න.."

     ඊළඟ සතියේ මෝසස් සිනගෝගයට දිව්වා.. ඔහු අලුත් මිනිසෙක් බවට පත්වෙලා හිටියා...
"දැන් කොහොමද තත්වේ?"

"දැන් නම් නියමයි.. මම පුදුම වාසනාවන්ත මනුස්සයෙක්. මොකද, මට හොඳ සෞඛ්‍ය සම්පන්න, නිරෝගී දරුවන් තුන් දෙනෙකුත්, හොඳ මවක් සහ බිරිඳක්, වගේම වැඩ කරන්න, ඉන්න ජීවත් වෙන්න ලස්සන පුංචි කාමරයක් තියනවා... ආය වෙන මොනවද මනුස්සයෙක්ට අවශ්‍ය...?"

" මෝසස්,"
පූජකතුමා ඔහුගේ දිගු රැවුල අතගාමින් කිව්වා..
" ඔබ මේ ඉගෙනගත්තේ ජීවිතේ වටිනාම පාඩමක්.. එක තමයි, තමාට ඇති දෙයින් සෑහීමට පත්වීම... මේ පාඩම කිසිම දවසක අමතක කරන්න එපා.."

            ඕක තමයි කතාව.. බලන්න, අපි හැමෝම එක විදියකට බැලුවම මෝසස් වගේ.. කොච්චර දේවල් තිබ්බත් අපිට මදි.. එක දේකින් සෑහීමට පත් වෙන්නේ නෑ.. තව තව දේවල් හොයාගෙන යනවා.. රුපියල් සීයක් හම්බුනාම, ඇයි 1000ක් නැත්තේ කියල ඒ පස්සේ දුවනවා.. ෆෝන් එකක් හම්බුනාම, ඒක තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඇති උනත්, අලුත් එකක් ආපු ගමන් වැඩක් නැති උනත් ඒ පස්සෙත් දුවනවා..
    ඒ උනත්, අපි මොහොතකට නැවතිලා හිතන්නේ නෑ, යකෝ මට මෙච්චර වත් නැති වෙන්න තිබ්බා නේද කියල.. මේක තමා එක ඉංග්‍රීසි ජාතික කතුවරයෙක් ලිව්වේ,

" I complained because I had no shoes, but then I met a man who had no feet"
කියල. දලයි ලාමා තුමා දවසක් මෙන්න මෙහෙම කිව්වා..
"What most surprises me is the humanity itself, for men spend all their health to earn money, and later they spend all that to regain health. And they live like they'll never die, and die having never really lived"
 මේක තේරුම්ගන්න එච්චර අමාරු නෑ කියල හිතනවා.. මීට අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් සරල ගති පැවතුම් ඇති වීමත්, ලද දෙයින් සතුටු වීමත් දියුණුවට හේතු වෙනවා කියලයි.. ඉතින් මෙච්චර දේවල් උදාහරණ එක්කම පැහැදිලිව තියෙද්දිත්, ඇයි අපි තවත් එක එක අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ?? අන්තිමට මොකද්ද මේකෙන් ලැබෙන්නේ??
හිතන්න විනාඩියක්...

Look before you leap,
And before you ask or complain about anything,
Stop and think for a minute that,
Things could be worse....