කොටගලින්
පිටත් වූ පොඩි මැණිකේ, ඉතාම අලංකාර ඉසව්වක් වෙතට අවතීර්ණ වූවාය. මෙහි චමත්කාරය
කෙතෙක්ද යත්, මා හට සෙයාරූ ගැනීම අමතක විය. සටහන් වූ සුළු සෙයාරූ කිහිපය මෙම සටහනට
එකතු කරන්නේ එම මතකය සිතේ අදටත් හොල්මන් කරද්දීය..
![]() |
| කොටගලින් නික්මීම.. |
කොටගල
පසු කර ටික දුරක් යන තෙක්, පැවති බෑවුම ඒ අයුරින්ම තිබේ. ඉන් අනතුරුව, කෙටි
නැග්මක් ඇත. එහි ප්‍රමාණය අඩි 60ට එකකි. එය එකනෙහිම අවසන් වී, නැවතත් දුම්රිය අඩි
44ට එකක් වූ තියුණු ආනතියකින් පහලට යොමු වූ මාර්ගයක් කරා යොමු වේ.
මෙවැනි
වෙනස් වන සුළු මාර්ග තත්වයන් යටතේ දුම්රිය ධාවනය කිරීමට, එම රියදුරු මහතා සතුව මනා
පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, ඉහලට යොමු වන ආනතියක් සහිත ස්ථාන වලදී,
පමණට වඩා වැඩියෙන් බලය යෙදීමෙන් රෝද ලිස්සීමට පටන් ගනියි. පමණට වඩා අඩුවෙන් බලය
යෙදුවහොත් දුම්රිය නතර වේ. රෝද ලිස්සන විට වැලි දමා දුම්රිය නැවත ධාවනය කරවාගත
හැකි වුවත්, එය සෑම විටකම සාර්ථක නොවේ. එමෙන්ම වැලි පෙට්ටි (Sand boxes) වල ඇත්තේ සීමා සහිත වැලි ප්‍රමාණයකි. එය බදුල්ලට
යන තුරුම ප්‍රවේසම් කරගෙන භාවිතා කල යුතුය. උඩරට දුම්රිය මාර්ගයේ සේවය සඳහා පළමුවන
පන්තියේ දුම්රිය රියදුරු මහත්වරුන් පමණක් අනුයුක්ත කෙරෙන්නේ මෙම කරුණු සලකාගෙනයි.
![]() |
| ඉහල කොත්මලේ ව්‍යාපෘතියට සමගාමීව ඉදි වූ නිවාස. |
දෙපසින්ම
තේ වතු සහිත අලංකාර වටපිටාවකින් යුතු මෙම කොටසට, කුඩා දුම්රියපොළ දෙකක් ඇතුලත්ය.
ඒවාද, තේ වතු නිසා ඇති වූ කුඩා දුම්රියපොළ (Estate platforms) පසුව මගී ප්‍රවාහනය සඳහා සැකසුනු ඒවාය. Derryclare සහ Saint Clair යන නම් දෙකින් මෙම දුම්රියපොළ ද්විත්වය හැඳින්වේ.
ඩෙරික්ලෙයා දුම්රියපොළ ඉතා කුඩා දුම්රියපොලකි. මෙය අලුතෙන් ගොඩනගා ඇත.
| ඩෙරික්ලෙයා නැවතුම්පොළ. නවීකරණය වී ඇත. සෙයාරූ අනුග්‍රහය- නිපුන දොඩන්තැන්න මිත්‍රයා. |
මෙම
කලාපයේ ඇති වැදගත්ම, එමෙන්ම ඉතාම සිත්ගන්නාසුළු දෙය නම් මේ කිසිවක් නොව, සෙන්ට්
ක්ලෙයා දිය ඇල්ලයි. දුම්රිය මාර්ගයේ යන විට ඉතාම අලංකාර දර්ශනයක් මවා පාන මෙම දිය
ඇල්ල, දුම්රිය මාර්ගයේ සිට සෑහෙන දුරින්, වම් පසට වන්නට පිහිටා ඇත. මෑත භාගයේ ඉදි
වූ ඉහල කොත්මලේ ව්‍යාපෘතිය නිසා මෙහි ජල ධාරිතාව අඩු වුවත්, එමගින් එහි ලස්සන නම්
අඩු වී නොමැත. මෙහි සේයාරුවක් ගැනීමට නම් ඉතාම කල්පනාකාරීව ගමන් කල යුතු මෙන්ම,
ඉවසිලිවන්ත, ඉක්මන් ක්‍රියාකාරී බවක් අවශ්‍ය වේ.
![]() |
| සෙන්ට් ක්ලෙයා දිය ඇල්ල එදා අපට දිස් වූ අයුරු.. |
දිය
ඇල්ල පසුකල විට, අපට සෙන්ට් ක්ලෙයා දුම්රිය නැවතුම දක්නට ලැබුණි. සෙන්ට් ක්ලෙයා
දුම්රිය පොළ, සෙන්ට් ක්ලෙයා වතුයාය සතු තේ කර්මාන්තශාලාව අසලම ඉදි වූවකි. කොළඹ සිට
සැතපුම් 114ක් සහ දම්වැල් 69ක දුරින් පිහිටි මෙම අලංකාර දුම්රියපොළ, දැනට
භාවිතයෙන් තොර වී ඇත. මේ අසලම පිහිටි තේ කර්මාන්තශාලාවේ සිට කෙලින්ම තේ ප්‍රවාහනය
කිරීමට, වාහක පටියකින් පවා සමන්විත වූ මෙම දුම්රියපොලේ වර්තමාන තත්වය කණගාටුවට
කරුණකි.
| සෙන්ට් ක්ලෙයා දුම්රියපොළ සහ තේ කර්මාන්තශාලාව. |
මෙම
දුම්රිය නැවතුම පසුකල ඉක්මනින්ම පොඩි මැණිකේ මෙම මාර්ගයේ හමු වන අංක 15 බිංගය තුලට
ඇතුළු වූවේ අප සැම මොහොතකට අන්ධකාරයේ ගිල්වමිනි. එයින් එලියට පැමිණි පොඩ්ඩි, ජල
තලාවක් අසල පිහිටි, ඉපැරණි බවක් විදහා දැක්වූ දුම්රියස්ථානයක නතර වූවාය. ඒ,
තලවාකැලේ දුම්රිය ස්ථානයයි..
කොළඹ
අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 115යි දම්වැල් 72ක දුරකිනුත්, මුහුදු මට්ටමේ
සිට අඩි 3935ක උසකිනුත් පිහිටා ඇති මෙම විශාල දුම්රිය ස්ථානය, දිවයිනේ ප්‍රධාන තේ
දිස්ත්‍රික්ක දෙකක් වූ දිඹුල සහ ආගරපතන යන වැවිලි කලාප වෙත සේවා සපයන ප්‍රධාන
දුම්රිය ස්ථානයයි. ගබඩා සංකීර්ණයක්, හැරවුම් වේදිකාවක්, විශාල දුම්රිය ස්ථාන
ගොඩනැගිල්ලක් සහිත මෙම දුම්රිය ස්ථානය සතුව පාෂ මාර්ග කිහිපයකින් යුතු අංගනයක් ද
ඇත.
![]() |
| තලවාකැලේ දුම්රිය ස්ථාන නාමපුවරුව. |
තේ
ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන ක්‍රමය දුම්රිය වූ යුගයේ, වසරකට තේ රාත්තල් මිලියන
විස්සක් පමණ මෙම දුම්රිය ස්ථානයෙන් පමණක් දුම්රියට පටවා ඇත! ඒ සඳහා යොදාගත්තා යයි
සිතිය හැකි ගබඩා, අද හොල්මන් ගුහා මෙන් නැගී සිටින්නේ එම සශ්‍රීක යුගයේ මතකයන්
වර්තමානයට දායාද කරමිනි. තලවාකැලේ දුම්රිය ස්ථානය සේවා සඳහා විවෘත වී ඇත්තේ 1884
නොවැම්බර් මස 20 වන දාය. ඒ අනුව මෙම දුම්රිය ස්ථානයට වසර 130ක් වයසය. නමුත් එම 130
වසරටම, මෙහි වෙනස් වී ඇති දේ නම් ඉතාමත් අල්පය.
![]() |
| ඉහල කොත්මලේ ජලාශයේ වේල්ල. මේ ගැන මීළඟ පොස්ටුවෙන් විස්තර බලාපොරොත්තු වන්න.. |
තලවාකැලේ
වෙත පැමිණි පොඩි මැණිකේ, එන්ජිම සහ ප්‍රථම තිරිංග මැදිරිය අතර ඈදුමෙහි (Coupling) යම්කිසි දෝෂයක් දැක්වූවාය. ඉදිරි ගමන ප්‍රමාද
වේදැයි මා සිතේ තරමක සැකයක් ඇති විය. එහෙත් රියදුරු මහතා සහ නියාමකවරයා එයට
පිළියම් යොදා, විදුලි කේබලයකද සුළු සැකසීමක් කළහ. එම කටයුතු ඉවර වී, සංඥා ලැබූ
පොඩි මැණිකේ, සිය බදුල්ල බලා යන ගමන නැවතත් ආරම්භ කලාය...
![]() |
| තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට සූදානම් වූ පොඩ්ඩි.. |



































