Friday, January 1, 2021

මාරයා සමග ගෙවිච්ච අවුරුද්දක මතක සටහන්..

 

2003 මව සමග පදිංචි ව සිටි නිවස..

    අර වෙනදා මම රිවීව් එක පටන් ගන්නේ එහෙ බලලා මෙහෙ බලද්දී අවුරුද්දක් ගිහිං කියල.. මේ අවුරුද්දට නම් ඒක හරියට ම ගැලපෙනවා. රිවීව් එකක් ලියන්ට කියල ඉතිං ලොකු දෙයක් ඇත්තේ ම නැති තරම්. ඇයි ඉතිං වැඩිහරියක් ගෙදරට වෙලා ම නේ හිටියේ. හැබැයි ඉතිං මුකුත් නොවුනා ම ත් කියන්ට බැහැ. 

    ඇත්තටම අවුරුද්ද ලස්සනට පටන් ගත්තා. කලින් අවුරුද්දේ ඉඳන් චීනේ වෛරස් එකක් ගැන කතා තිබ්බත්, අපි එච්චර හිතුවේ නැහැ ඕක ලංකාවට තියා ඒ අල්ලපු රටවල් වලට වත් යයි කියල. ඉතිං අපි සාමාන්‍යය විදියට වැඩ පටන් අරගෙන ගියා. 

ගල් අඟුරු එන්ජින් දෙකක කෝච්චියක්.. කාලෙකින් හම්බෙන අවස්තාවක්..

    ඉස්කෝලේ ඉතිං පළවෙනි වාරේ ජනවාරි වල ම ස්පෝට්ස් මීට් එක තියනවා නේ. ඕකට ඉතිං පහුගිය වතා වල වගේ ම අපිට රේස් එකක් දාලා තිබ්බා. හැබැයි මේ පාර රිලේ එකක්. ඒකටත් දිව්වා. දුවල අපෙ ටීම් එක දිනුවා. ඒත් එක්කම ජනවාරි 31 වෙනිදා තිබ්බ ඒ උත්සවය තමා එතකොට හිටිය ෆවුලර් වොට් සර්ගේ අන්තිම උත්සවය සහ රාජකාරී දවස. මම තමා අන්තිම තෑග්ග ගත්තේ.. 

බයිසිකල් ටුවර් එකක් අතර වාරේ..

    ඒකත් එහෙම ඉවර වෙද්දී, මේ පාර තමා මට ඉස්කෝලේ ට ගියා ට පස්සේ ටෙක්නිකල් වලට වැඩි ම ළමයි පිරිසක් සෙට් වෙච්ච අවුරුද්ද. 10, 11 දෙකම ගත්තම ළමයි 30ක් ඔක්කොම. මේ සෙට් එක අරගෙන රත්මලානේ දුම්රිය කර්මාන්තශාලාව බලන්ට ගියා අවුරුද්දේ පළවෙනි ෆීල්ඩ් විසිට් එක හැටියට. තව සර් කෙනෙකුත් එක්කන් ගියා ඒකට. 

ෆීල්ඩ් විසිට් එක.. මේක තමා මේ ළමයි ගිය එකම චාරිකාව. 

    පෙබරවාරි මාසේ එහෙම ඉවර වෙද්දී, මාර්තු මාසේ පළමුවෙනි සතියේ මේ අවුරුද්දේ පිරිතත් තිබ්බා. ඒකටත් ඉතිං වෙනදා දෙන සහයෝගය දීලා, සාර්ථකව වැඩ අවසන් කරා. මේ පාර අලුතෙන් පිරිත් කොටුවකුත් හදලා, ඒක ඉස්කෝලෙට ම දීලත් ගියා. 

පිරිත දවසේ ගෝලබාලයෝ එක්ක..
සේයාරු අනුග්‍රහය- ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය.
 
පිරිත් කොටුව.

    දැන් තමා කෙලිය පටන් ගත්තේ. මෙච්චර කල් මේ අවුරුද්දේ ගිනි ගහන්ට පෑවිල්ලක් අල්ලලා තිබ්බා. අනේ ඉතිං එක එක්කෙනා එක එක තියරි ඉස්සරහට දැම්මා, මේ පායන්නේ රටේ වාසනාවට, කොරෝනා උෂ්ණත්වය නිසා විනාස වෙනවා ය, අරකයි මේකයි කියල. ඔන්න එතකොට ම මාර්තු 12 ලංකාවෙන් කොරෝනා අහු උනා. උදේ අහු වෙලා හවස් වෙද්දී ඉස්කෝල වහලා, 20 ගණන් වෙද්දී රට ලොක් ඩවුන්. 

කෑම පෝලිමේ.. කූපන් එකකුත් ලැබුනා නම් කතාව සම්පූර්ණයි..

    ඔතනින් පස්සේ තමා හොඳම හරිය. භාරකාර ආණ්ඩුවක් වගේ එකක් නේ තිබ්බේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ඒක එක්ක එකතු වෙලා සෑහෙන කොන්ට්‍රෝල් කිරිල්ලක් කරා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්තයා, තව එතකොට හෙද කාර්යයමන්ඩලයේ පුෂ්පා රම්‍යානි හෙද නෝනා එහෙම ජනතාව දැනුවත් කරන්ට සෑහෙන වෙහෙසක් අරගත්තා. ඕකට අනිල් ජාසිංහ මහත්තයා එහෙමත් ලොකුවට දායක වෙලා සමාජය පාලනය කරගත්තා. 

රටේ ආර්ථිකේ වගේ ම බිමට සමතලා වෙච්ච ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ..

    මිනිස්සුත් ඉතිං ගෙවල් වලට වෙලා හෝ ගාලා කෑම හදන්ටයි, වතු වවන්ටයි, මාස්ක් මහන්ටයි අනංමනං කරා. කොටින්ම ජූනි මාසේ වගේ වෙනකොට හාල් මැස්සෝ, කරවල එහෙමත් හිටවන තත්වයක් තමා තිබුනේ. 

ලොක් ඩවුන් කාලේ වෙනුවෙන් හැදිච්චා. උපුටාගැනීම ෆේස්බුක් වෙබ් අඩවියෙන්.

වතු වැඩ..

    ඔය අහු අස්සේ ඔන්න අගෝස්තු මාසේ ජන්දේ තියලා, ඒකෙන් පොහොට්ටු පාර්ශවය සෑහෙන තරමක බහුතරයක් එක්ක ආණ්ඩුවක් පිහිටෙව්වා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති හැටියට දිව්රුම් දුන්නා. ඔය වැඩෙත් එක්කම රටේ තිබ්බ ලොක් ඩවුන් තත්වයත් ටිකින් ටික ලිහිල් කරලා, සමාජය යථාවත් කරන්ට පටන්ගත්තා. 

නිවාඩුවේ දහම් පාසලේ ළමයින්ට සයන්ස් අනංමනං ටිකක් ඉගැන්නුවා. ක්ලාස් එහෙම ඇනහිටලා තිබ්බ කාලේ.

    ඇත්තටම අපිත් හිතුවා හරි මේ කරදරේ ඉවරයි, ආපහු සුපුරුදු ටයිම් ටේබල් එක ට යන්ට පුළුවන් වෙයි කියල. මාස්ක් දාගෙන යන එක ට අමතරව හැබැයි. අර පහුගිය නිවාඩු කාලේ වෙච්ච තව දෙයක් තමා අධ්‍යාපනය සහසම්පූර්නයෙන් ම මාර්ගගත හෙවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔන්ලයින් වෙච්ච එක. අපේ ඉස්කෝලේ නම් ට්‍රයල් කරලා ටිකක් විතර පහු පරක්කු උනත්, සෑහෙන දියුණු මට්ටමකින් ඒ වැඩේ ක්‍රියාත්මක උනා. ඒක අපේ ඉස්කෝලේ කොච්චර සාර්ථක උනා ද කිව්වොත්, ජූලි මාසේ පටන්ගත්ත ඔන්ලයින් වැඩේ නිසා අගෝස්තු වෙද්දී මගේ සිලබස් එකත් ඉවරයි බුද්ධ ධර්මයයි යාන්ත්‍රික තාක්ෂණවේදය යි දෙකම! 

    ජූලි මාසේ කොහොම හරි ඉස්කෝලේ ට ස්මාර්ට් බෝඩ් ටිකකුත් අරගෙන ඇවිත්, ඒවා ට්‍රයල් කරන්ටත් මම සම්බන්ධ උනා. මම දන්න විදියට ඉස්කෝලේ පළවෙනි ඔෆිෂල් ඔන්ලයින් ක්ලාස් එක කරේ මම. ඒවාට ඉතිං මයික් ටෙස්ට් කරපු විදිය, කැමරා ටෙස්ට් කරපු විදිය එහෙම ගැන සෑහෙන රසකතා ගොඩක් තියනවා. ඒවා වෙනම ලියන්නම් දවසක. 

ස්මාර්ට් බෝඩ් ඉගැන්නිල්ල.. මේ නම් විදුලි තාක්ෂණය පාඩමක්. මුල්ම කාලේ එකක්. 

    ඔය අහු අස්සෙම අගෝස්තු 2 වෙනිදා අපේ යකඩ යක්කු සෙට් එකේ අවිවාහක ව හිටිය අවසාන සාමාජිකයා (මම හැරෙන්ට) විවාපත් උනා. ඒ උත්සවේ ට මටත් එන්ට කියල තිබුන නිසා කිට මරලා මාස්ක් එකකුත් දාගෙන අංක 26 කොළඹ ගියා. කෝච්චියේ සූ ගාල 10ක් විතර හිටියා ගම්පහට යනකල් ම! 

ලහිරු අයියාගේ වෙඩින් එක.. 

උපන්දිනේ දවසේ මාළිගාවට නම් යාගත්තා කල්‍යාණ මිත්‍රයෙක් එක්ක.

    ඒකෙන් මේකෙන් ඔන්න අගෝස්තු 20 වෙනිදා ඉඳන් අදියර කිහිපයක් යටතේ ඉස්කෝල විවෘත උනා. පළවෙනියට උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති, ඊට පස්සේ 9 ඉඳන් 6 වෙනකල්. එතනින් පහල පටන්ගත්තේ නැහැ. මම ඔන්ලයින් කරන්ට බැරි පාඩම් ටිකක් ඉතුරු කරගෙන තිබ්බා, ඒවා ඔය ටිකේ ටක් ගාලා ඉවර කරලා දැම්මා. ඔහොම සාමාන්‍ය විදියට ම නොවුනත් ඒ ආසන්න වශයෙන් මාස දෙකක්, ඔක්තෝබර් 5 වෙනිදා වෙනකල් රට දිව්වා. මේ වෙද්දී අපේ රට කොරෝනා පාලනය අතින් දෙවෙනි තැන තිබ්බේ. ඔය වෙද්දී මාස්ක් නැතුව යන තත්වෙට, සැනිටයිසර් බෝතල් වේලෙන තත්වෙට ඇවිල්ලා. ඔක්තෝබර් 2 වෙනිදා අපේ ඉස්කෝලේ දුරස්ථභාවය තියාගෙන, ලෝක ළමා දිනය සැමරුවා. ඒ එක්කම අපිට අලුතෙන් විදුහල්පති කෙනෙක් පත් වෙලා ආවා. ඒ අපේ ආදිශිෂ්‍යයෙක් වෙන අරලිය ජයසුන්දර පියතුමා. එදා ගෙදර ගිහිං ඉරිදා දහම් පාසලුත් ගියා. ලේ දන් දීමත් තිබ්බා. ඔන්න ඔය අතරේ ආරංචියක් ආවා කොළඹ- කුරුනෑගල පැති වල ආපහු කොරෝනා තියනවා කියල! 

ලේ දන් දෙන එක නම් කරගන්ට ලැබුනා..

    එවෙලේ ම ඉස්කෝල වැහුවා. ආපහු ඉතිං ගෙදරට හිර උනා. රට ලොක් ඩවුන් කරේ නැති උනාට, අහු වෙන අහු වෙන පැති වලට සංචරණ සීමා පැනෙව්වා. මේක ලියන වෙලාව වෙද්දීත් ඒ සමහර තැන් එහෙමයි. ආපහු මැදින් දවස් තුනක් ඉස්කෝල පටන්ගත්තත්, එසැනෙන් ම වහන්ට උනා, මොකද එකක් කොරෝනා මේ පාර රට වටේ ම ගිහිල්ලා තිබ්බ නිසාත්, ළමයින්ගේ පැමිණීම මාර හොඳ වෙච්ච නිසා ත්. අද වෙද්දීත් මේක තමා ඉතිං රටේ නම් තත්වය. ඔය අතරම, ඇමේසන් ගිනි ගත්තා, ඕස්ට්‍රේලියාවේ ගිනි ගත්තා, ලෙබනන් වල ද කොහෙද මොකක් හරි පිපුරුවා... ඔහොම තව සෑහෙන්ට වැඩ තිබ්බා. ඔය ඔක්කොටොම වඩා, ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා පැරදිලා ජෝ බයිඩ්න් පත් වුනා. තාම බල මාරුව සිද්ධ වෙලා නැහැ හැබැයි. 

කහ පාට ලංගම බස්.. මේ ස්කුල් සර්විස් දුවන ඒවා.. 

    මගේ ජීවිතේ පැත්තෙන් ගත්තොත් මහා ම මහා කම්මැලි අවුරුද්දක් කියන්ට පුළුවනි. වැඩි හරියක් කරේ ගෙදරට වෙලා ලැප් එක ට විරවාගෙන හිටිය එකයි ලැප් එකට බුරපු එකයි ෆෝන් එක කූරු ගාපු එකයි තමා. මේ අවුරුද්දේ මගේ එක උපාධියක් ඉවර වෙන්ට නියමිතයි. ඒකෙ ත් අන්තිම විභාගේ ඔන්ලයින් වෙලා. දැන් මේ අසයින්මන්ට් ගහන ගමන් තමා මේකත් ටයිප් කරන්නේ. 

ඒ අස්සේ ඔය නත්තල් තරු පේන ඒවා ආවා, උල්කාපාත වැහි ආවා. මේවා ඉතිං මාර විදියට පෙනුනා වැස්ස වලාහක දෙයියන්ට පිං සිද්ධ වෙන්ට. අම්මපා. ආ, අම්මපා කියද්දී මතක් උනේ, අපේ අම්මටත් අසනීප තත්වයක් ආවා හදිසියේම. දැන් නම් ප්‍රතිකාර ලබමින් සුව අතට හැරෙමින් ඉන්නවා. කොහොමත් මේ අවුරුද්දේ ලෙඩ වලින් නම් අඩුවක් උනේ නෑ අපි හැමෝටම.

ඒත් එක්කම, මගෙන් ඉගෙනගන්න ළමයෙක් හැදුවා මේ වගේ වෙලාවල් වලට ප්‍රයෝජනවත් වෙන රැහැන් රහිත වෙද නළාවක්! මේකට නම් මාධ්‍ය අවධානය එහෙමත් සෑහෙන්ට ලැබුනා. මගෙන් ඉගෙනගත්ත දරුවෙක් ඒ වගේ යමක් කරපු එක නම් ඇත්තටම ආඩම්බරයි. මේක අපිට මහනුවර තිබ්බ කර්මාන්ත ප්‍රදර්ශනයක ඉදිරිපත් කරන්ටත් අවස්තාවක් ලැබුනා. ඒ ප්‍රදර්ශනය ගැනත් වෙනම පෝස්ට් එකක් ලිව්ව හැකි ඉතිං.

වෙද නළාව නිර්මාණය කල වෙනුර විජේසේකර සහ මමතුමා ඇතුළු ගෝලබාලයින්..

    ට්‍රිප් එහෙම යන්ට හිටිය ඒවා ඔක්කොම වගේ කැන්සල් උනා. මේ අවුරුද්දේ අංක 1007 එක්ක බදුලු යන්ට, මාතර, කන්කසන්තුරේ එහෙම යාගන්ට උවමනාව තිබ්බා. ඒ ඔක්කොටොම චීනා කෙලියා. එකම එක හයික් එකක් යාගත්තා අවුරුද්ද මුල. ඒ වටගොඩ ඉඳන් තලවකැලේ ට. ඒ ගැන කලින් ලිව්ව නිසා ආය ලියන්නේ නැහැ. දෙතුන් වතාවක් කොළඹ යන්ට පුළුවන් උනා බුක් ෆෙයා එකටත් එක්ක. ඔච්චර තමා මගේ ගමන්බිමන්. අළුත් යාළුවො ටිකක් හම්බුනා ෆේස්බුක් එකට පිං සිද්ධ වෙන්ට. ඒ වගේ ම ඉතිං අවුරුදු දෙකක වගේ ඉඳන් එල්ල වෙන විවාහ මරණීය තර්ජනයත් තාම ඒ විදියට ම ක්‍රියාත්මක වෙනවා. 

බුක් ෆෙයා ගමන. මෙදා පාර ළමයි දෙන්නෙකුත් ඇදගෙන යන්ට පුළුවන් උනා.

නිවාඩුයි කියල ගේ අස්සට ම වෙලා ඉන්ටත් බෑ නෙහ්..

    2011 ඉඳන් මගේ දුකට සැපට හිටිය ලැප් එක ලෙඩ උනා, දැන් අසාධ්‍ය තත්වයේ ඉන්නේ. ඒක යන්තම් හරි ඇදගෙන යන්ට බලන්ට ඕනේ. ඒ වගේ ම මගේ කටට හෙන දුර්දශාපන්න කාලයක් ලබලා. දෙතුන් වතාවක් ම දත් සෙට් එක රිපෙයාර් කරගන්ට උනා. හැබැයි ඉතිං වෙච්ච දේවල් වල හැටියට ඔයින් ගියා මදැයි.. අවුරුද්ද අන්තිම ටිකේ ඉතිං පැණි වලි එහෙම තිබ්බා. කොරෝනා වලට එක එක පැණි වර්ග, කසාය එහෙම එක එක දෙවියෝ, භූතයෝ, යක්කු එහෙම හෙළි කරනවා දැක්කා. ඒ වගේ ම බටහිර ලෝකෙන් ඉන්ජෙක්ෂනුත් ඇවිල්ලා තිබ්බා. සේනක බිබිලේ ප්‍රතිපත්තියට විරුද්ධව එළිපිට ම වැඩ කරපු ෆයිසර් සමාගමත් එයින් එකක්. මේක ලියවෙනකොට, ඒ එක එන්නතක් ලංකාවට ගේන්ට වැඩ සිද්ධ වෙමින් පවතිනවා. 

අත්තම්මාගේ දෙවර්ෂ පූර්ණ පිංකම 

 

මේ තමා මේ අවුරුද්දේ දැකපු වාසනාවන්තම සිද්ධිය. ඔය රෝද සෙට් එක යට මනුස්සයෙක් ඉන්නවා! අහු වුනා කෝච්චියට. ඒත් ආපහු ජීවත් වෙන්ට වාසනාව තිබ්බා.

 

ආ මට කියන්ට බැරි උනා.. කැමරා රාජයෙක් හම්බුනා.. 

    මේ අවුරුද්ද ඉතිං ඔහොම තමා ගෙවුනේ. කරන්ට හිතං හිටි ගොඩාක් දේවල් මිස් වෙච්ච, ජීවිතේ කවදාවත් නොකරපු දේවල් කරන්ට වෙච්ච, වෙනස් ම අවුරුද්දක්. ඒ වගේ ම ගොඩ දෙනෙක් ට රැකියා අහිමි වෙලා, උන්හිටි තැන් පවා අහිමි වෙලා. අර අවුරුද්ද මුල දී කිරියෙන් පැණියෙන් උතුරන්ට කියල විශ් කරා ට, කිරියෙන් කෙසේ වෙතත් පැණියෙන් නම් නියමෙට ම උතුරපු අවුරුද්ද තමා මේක. අන්තිම වාක්‍යය හැටියට මට දාන්ට තියන්නේ, 2013 අවුරුද්ද අවසානේ දාපු එකම තමා. 

You have given me more than enough. Just shut your *%$@{}+ mouth and go. Thanks for coming and please don’t come back. F&@£ you! 

    2012 අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාසයක් වෙනවා කියල බලාගෙන හිටියා කට්ටියම. ඒක 2021 අවුරුද්දේ නොවේවා කියල ප්‍රාර්ථනා කරමු. එළඹෙන අවුරුද්ද ලෝකේ තත්වය යහපත් වෙන හැමෝටම සුභ වෙන අවුරුද්දක් වේවා!

Sunday, April 12, 2020

නිවාස අඩස්සියේ සිට ලියමි...


          මාසයක් විතර ගෙදර කෙලින්ම. කෙලින්ම කියන්නේ ඉතිං වෙනදා නම් මේ වගේ නිවාඩුවක් හම්බුනහම එක දවසක් හරි අඩුම ගානේ නුවර හරි ගිහිං එන්න යනවා. ඒත් මෙදා සැරේ ගෙදරටම ගාල් කරා.. අර ඒ ලෙවල් ඉවරල හිටපු ගන්ධබ්බ කාලේ වත් මෙහෙම ගෙදර හිටියේ නෑ.
          වෙනදා නම් අවුරුදු පෝස්ට් එක ලියන්නේ අවුරුදු උත්සවේ එහෙම ඉවරලා, ඉස්කෝලේ වැඩ එහෙමත් ඉවරලා, හැමදාම යන ෂොපින් රවුම එහෙම ඉවරල සමහරවිට තව ට්‍රිප් එකක් දෙකක් එහෙමත් ඉවර කරලා, නැන්දලා මාමලා එහෙමත් ඇවිත් ගියා ට පස්සේ, බොහෝ විට නොනැගතේ වෙලාවේ.
          මේ අවුරුද්දේ ඒ කියපුවයින් එකක් වත් කරගන්න උනේ නෑ. ඇයි, මාර්තු 12 වෙනිදා හෙන ගැහුවා වගේ කිව්වා නේ ඉස්කෝලේ නිවාඩු කියල. 13 වෙනිදා නුවර ගිහිං අත්‍යවශ්‍ය කටයුතු ටිකක් තිබ්බා කරගෙන ආවත් ආවා, තාම ඒ ආපු පාර ම ගෙදර. එයිට කලින් ඉරිදා දහම් පාසලේ අවුරුදු උත්සවය තියන්න ප්ලෑන් කළා 5 වෙනිදා. ගිය අවුරුද්දෙත් නැති වෙච්ච නිසා මේ අවුරුද්දේ වත් පුළුවන් වෙයි කියල හිතං හිටියා. ගිය පාර නානා කෙලියා මේ පාර චීනා කෙලියා.
ගෙදරට කොටු වෙන්න කලින් අවසන් දුම්රිය ගමන- අංක 142..
          ඉස්කෝලේ වාරේ ගත්තත් ඉතිං පලවෙනි වාරේ යන අධ්‍යාපන චාරිකා වලට මේ වාරේ මට සම්බන්ධ වෙන්න ලැබුනේ නැහැ. මොකද මේ අවුරුද්දේ මම පන්ති භාර ගුරුවරයෙක් නොවෙන නිසා. ඒක එක අතකට හිතට නිදහසක් උනාට, යන්න තිබ්බ ට්‍රිප් එකක් මිස් උනා..
          මිස් උනයි කිව්වට මිස් උනේමත් නෑ, මොකද විදුහල්පතිතුමා ඇතුළු පරිපාලනය 10 වසරේ ළමයි ටිකක් අරගෙන ගවේෂණාත්මක සංචාරයක් යන්න සූදානම් කරලා තිබ්බා. ඒ කමිටුවට මගේ නමත් ඇතුලත් වෙලා, අපි මූලික කටයුතු සංවිධානය කරද්දී තමා මේ වෛරස් එක ඇවිත් වැඩේ අනුභව කලේ.
          ඒ අතරම, වාර්ෂික ක්‍රීඩා තරඟය එහෙම සුපුරුදු පරිදි තිබ්බා. ඒකෙන් මේ පාර ගුරු මහත්වරුන්ට සහය දිවීමේ තරඟයක් තිබුනා. අපේ නිවාසයේ කණ්ඩායම පළවෙනි තැනට ආවා. ඒ තමා මම පාසලට ගුරුවරයෙක් හැටියට සේවයට එකතු වෙද්දී ඉඳපු විදුහල්පති “ඇන්ඩෘ ෆව්ලර්- වොට්” මහතාගේ අවසාන සේවා දිනය.
හිටපු විදුහල්පතිතුමා අතින් ධාවන තරඟයේ ත්‍යාගය..
          පාසැල් නිවාඩු ලැබෙන්න කලින්, සාමාන්‍යය පෙළ විභාගයට යාන්ත්‍රික තාක්ෂණවේදය හදාරණ සිසුන් එක්ක රත්මලාන දුම්රිය කර්මාන්තශාලාව බලාගන්න යන්න හම්බුනා. මට පේන හැටියට මේ අවුරුද්දේ කරන්න වෙන එක ම විසිට් එක ඔච්චරයි අපිට. මොකද පාසැල් වාරයේ වැඩ සති තුනක් විතර ම අතපසු වෙච්ච නිසා, ඒ ටික අල්ලගන්න එක දිගට අදින්න වේවි ඉස්සරහ වාරේ අමතර වැඩ නැතුව. මැයි 11 වෙනිදා පාසැල් පටන්ගන්නවා කියල රජය මේ සටහන ලියවෙද්දී තීරණයක් අරගෙන තියනවා.
පිරිත් කොටුව..
          අන්තිමට ඉතිං වාරේ ගැන කියද්දී කියන්න තියන්නේ ඉස්කෝලේ පිරිත ගැන තමා. ඒකත් කොහොමින් කොහොමින් හරි කරගත්තා සාර්ථකව. මේ පාර මගේ නම් ලොකු දායකත්වයක් තිබ්බේ නැහැ, එක එක හේතු නිසා. එත් දානෙත් ඉවර වෙනකල් ම ඉඳලා එන්න හැකි උනා. ඉස්කෝලේ කාලේ ඉඳන් මගේ මිත්‍රයෙක් වෙන කාංචන ගේ මල්ලි 2014 පිරිත වෙලාවේ සෙට් උනා පොර ඉස්කෝලේ ඉද්දි. මේ පාර ආපහු මනුස්සයා ඇවිත්, දානේටත් ඉඳලා, අන්තිමේ මාත් එක්ක ස්ටේෂන් එකට ම ආවා. ඒ මේ දේවල් එක්ක ඉතිං අපූරු මතකාවර්ජනයක් උනා ඒ පිරිත.

ගෝල බාලයෝ ටික..
(සේයාරූ අනුග්‍රහය- ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය)


අතුරුපාන මල්ලි එක්ක සෙල්ෆියක් ගැහුවා.. මේකා ආය කවද දකින්න වෙයි ද දන්නේ නෑ නේ..
          වෙනදා නම් නිවාඩුව ඉවර කරලා ගෙදර එන්නේ අවුරුද්දට ඇඳුම් එහෙමත් අරගෙන. ඒක 2010 ඉඳන් මම කරගෙන ආපු දෙයක්. එහෙමත් දවසක තමා ආපහු දවසක යන්න උනේ. වෙනදා මම කරන්නේ ඔය රෙදි කඩේකට හවස් වෙලා ගිහිං හිතට අල්ලපු ඩෙනිමක්, ටී ෂර්ට් දෙකක්, කොට කලිසමක් ඇරගෙන, කාලා එහෙම 5.00 හරි 7.10 හරි ගෙදර එන එක. මේ සැරේ ඒවා නෑ ඉතිං. හැබෑවටම අප්පච්චි අද මතක් කරනකල් ඔලුවට ආවේ වත් නැහැ හෙට අවුරුදු කියලා.
          මේ පාර ඉතිං ඔය රට වටේ තියන්න හිතාගෙන හිටිය අවුරුදු උත්සව කානිවල් අනංමනං එහෙමත් නෑ. එක අතකට ඒක නම් සෑහෙන හොඳයි. අනික් එක ඉතිං කනක් ඇහිලා හිටියා මාසයක් විතර සද්ද බද්ද එහෙම නැතුව. ඔය අහු අස්සේ මම දැක්කා ෆේස්බුක් එකේ අවුරුදු උත්සවයකට තරඟ වගයක් ලැස්ති කරලා තියනවා. මෙන්න මෙහෙම-
·        * සැඟවුණු කොරෝනා රෝගීන් සෙවීම.
·        * නිරෝධායන කුමරා/කුමරිය සෙවීම.
·        * තරඟෙට චූන් පාන් කෑම.
·        * එළවලු ලොරිය පසුපස දිවීම.
·        * සූප්පුවෙන් කොත්තමල්ලි බීම.
·        * කොස් ගහේ නැගීම.
·        * රා මුට්ටිය බිඳීම.
·        * කොරෝනා රෝගියෙක් සමග පොර බැදීම.

          හොඳම එක-
·        * මාස්ක් නැතුව හොස්පිටල් යාම.
-         ඔය අන්තිම එකට නම් ජයරත්න උන්නැහේලා මිනී පෙට්ටියක් දෙනවයි කියල තිබ්බා.
හැබැයි ඉතිං නිවාඩුවේ යමක් නොවුනා ම යි කියන්නත් බෑ. ගෙදර තිබ්බ පරණ ඉලෙක්ට්‍රික් කෑලි බෑලි එහෙම රිපෙයා කරා ඇති හැකි විදියට. අලුතීන් කෑලි ගන්න නැති උනා ට, ගෙදරදී පුළුවන් ඒවා හැදුවා පුළු පුළුවන් විදියට. එතකොට තව ඔය පරණ හාඩ් වල එහෙම තිබ්බ වැදගත් ඊ බුක්ස්, පරණ ෆොටෝ එහෙම බලලා ඇදලා ගත්තා. ඉස්කෝලේ කාලේ ෆොටෝ එහෙමත් හම්බුනා. අන්තිමට ඒවත් ඇති වෙලා පරණ ඇඳන් පුටු එහෙමත් රිපෙයාර් කළා කෑලි උපකරණ තිබ්බ තිබ්බ විදියට.

පුටු හැදිල්ල- මේ ඇවිල්ලා වැලි කඩදාසියෙන් මදින ගමන්. ඔය බළල් තඩියත් ඇවිල්ලා හිටියා ඒ අහලපහල.


පුටු හැදිල්ල- මේ ඇවිල්ල වැලි කඩදාසියෙන් මැද්දට පස්සේ..



පුටු හැදිල්ල ආසන්න වශයෙන් ඉවරයි. එක ටොප් කෝට් ලේයර් එකක් ගාන්න ඕනේ. ඒත් ටොප් කෝට් ඉවරයි.. ගේන්න බෑ හාඩ්වෙයාර් වහලා.

ආය ඔය කාලෙකින් අතෑරලා දාලා තිබ්බ පරණ පොත්, පත්තර එහෙමත් නැවත කියෙව්වා. ඉස්සර මට සෑහෙන පිටසක්වල පිස්සුවක් තිබ්බ නේ (ඔව් ඔව් එකෙන් තමා මේ බ්ලොග් එකටයි මටයි නමත් වැටුනේ). ඉතිං ඒ පොත් පත්තර සඟරා එහෙම ආපහු ඇදලා අරගෙන දැනුම අලුත් කරගත්තා. බලං ගියහම මම 8-9 වසර වල සෑහෙන දේවල් තොගයක් දැනගෙන ඉඳලා නේ කියල කල්පනා උනේ නැතුවමත්  නෙවෙයි ඒවා කියවද්දී. 

පොත් සෙට් එක..
 කොරෝනා තත්වේ නම් මේ ටිකේ හිටු කියල යනවා. ඒ ගැන ඉතිං ඕනෙවටත් වඩා වාර්තා සටහන් තියන නිසා මේකෙත් කියවන්න යන්නේ නැහැ. මට නම් ඇත්තටම කිව්වොත් ඔය වචනෙත් දැන් අහල එපා වෙලා කිව්වොත් ඒ තමා ඇත්ත. ඒ අස්සේ එංගලන්තේ ඉන්න අපේ මාරයා තුමාටත් අසනීප වෙලා තිබ්බා. එතුමා නම් කොහොමින් කොහොම හරි කරලා හොඳ කරගත්තා.
          වෙන ඉතිං මේ පාර ලියන්න කියල ලොකූවට දෙයක් නැහැ. 2018න් පස්සේ කොහොමත් අපි ලොකුවට අවුරුද්දක් සැමරුවේ නැහැ, අත්තම්මල එහෙම නැති උනාට පස්සේ. ගිනි කෙළි එහෙම ගෙනාවේම නැහැ. මේ පාර නම් හොයාගන්න තියා හදාගන්න වත් නෑ මම හිතන්නේ. පන්සලත් නිශ්ශබ්දයි කියන්නේ ඉතිං ආය හොයන්න නෑ ම තමා.
          ඒ අහු අස්සේ කට්ටිය ට ගෙදර ඉඳන් කරන්න වැඩ නැතුව ද කොහෙද අපි ට මගුල් ජෝඩු කරන්න වලි කනවා. එහෙං මෙහෙන් යෝජනා විතරක් නෙවේ මැර තර්ජන පවා එල්ල වෙන්න පටන් අරගෙන “දැන් කෙනෙක් හොයාගනීන් යකෝ” කියන ශීර්ෂ පාඨය ඇතුව. ඇත්තට ම මමත් පොඩ්ඩක් හොයලා බලලා කෙනෙක් ගැන අදහසක් ඔලුවට දාගත්තා.. තාම ඉතිං වැඩි දුර ලොකුවට ගියේ නැති නිසා ඒ ගැන මෙතනින් එහාට කිසි ම සඳහනක් කරන්නේ නැහැ. ඕවා වෙයි ද නැද්ද දන්නේ නෑ නේ. විවාහ තර්ජන එල්ල කරන අයට නම් ඉතිං එන එන විදියට මමත් උත්තර දීලා නිකා ඉන්නවා.
මට නිකම් කල්පනා උනේ අපේ රටේ ආසන්න ඉතිහාසයේ හැම පරම්පරාවක් ම කන්න පෝලිමේ ඉඳල තියනවා. 1800 ගණන් වල අය කැරලි කාලෙයි ලෝක යුද්ධ කාලෙයි, පස්සේ 1973 ආර්ථික අර්බුධ කාලේ, දැන් අපේ පරම්පරාව කොරෝනා කාලේ..
          පහු ගිය සිංහල අවුරුද්ද සලකල බලද්දී හරියට වඩා රුවිතෙට හැම දෙයක් ම සිද්ධ වෙච්ච හැටි තමා දකින්න තිබ්බේ. හෙටිං උදා වෙන අලුත් අවුරුද්ද වත් ටිකක් හරි හරි පැත්තට මේවා වෙනස් වෙයි කියල හිතමු. එහෙම නම් ඒ ප්‍රාර්තනාවත් එක්ක, ලියන කියවන හැමෝට ම,
සාමය,
සතුට,
සෞභාග්‍යය සපිරි,
නිරෝගීමත්,
ඉසුරුමත්,

සුභ නව වසරක් වේවා!!