Wednesday, October 16, 2013

හොරුන්ගෙත් හොරු..

    අද ලියන්නම් කියල ආවේ නම් වෙන දෙයක්. ඒ උනාට නෙට් ඇවිල්ල මූණු පොත දිහාට ගියහම දැක්ක දෙයින් ලොකු කලකිරීමක් ඇති උනා මේ රටේ මිනිස්සු ගැන. හැමෝම නෙවෙයි. සමහරක් ගැන.  සමහර මිනිස්සු ඉන්නවා අනිත් අය ගැන කිසිම හැගීමක් නෑ. ඒ අය හිතන් ඉන්නේ කොහෙන් හරි කමක් නෑ වෙන එකෙක් කරපු දෙයක් උස්සලා හරි තමුන්ගේ වගේ දැම්මම තමුන් පොර කියල. ඒ මදිවට සමහර අය මේ පොර මානසිකත්වේ නිසා නොකළයුතු වැඩත් කරනවා. මේ ඒ වගේ එකෙක්. මෙන්න මූ.. 
හොරෙක් කියන්නේ නියම හොරෙක්..
    මේ මනුස්සයා අපෙන්, තව සෑහෙන කට්ටියක් ගත්ත ෆොටෝ හොරකන් කරලා ඒවායේ නම් මකල තමුන් ගත්තුවා වගේ අප්ලෝඩ් කරනවා.. ඒ මදිවට තමුන්ගේ නමත් ගහගන්නවා එකේ. හොඳම වැඩේ කියන්නේ මම ගත්ත ෆොටෝ එහෙක (දුම්රිය එන්ජිමක බෝගිය) දාල තිබ්බ YY- SLR කියන එක මකල නැතුව උගේ නම ගහගෙන. මම හිතන්නේ මෙයා හිතන්න ඇති ඒක බෝගියේ ගහල තිබ්බ එකක් කියල :D 
    ජායාරූපයක් ගන්න තියන මහන්සිය දන්නේ ඒ ගන්න එක්කෙනා විතරයි. ඇත්තෙන්ම කිව්වොත් ඒක දිහා බලන එක්කෙනා වත්, කමෙන්ට් කරන කට්ටියවත් දන්නේ නෑ. ඒ දේවල් අවස්ථාව අනුව වෙනස් වෙනවා. එහෙම මහන්සි වෙලා ගත්ත එකක් අනුන්ගේ නමක් යටතේ අවසරයකින් තොරව වැටෙනකොට ඉතින් කොහොම හිතෙනවද කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..
  මේකෙම තව පැත්තක් තියනවා. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ඒක මේ බ්ලොග් අවකාශේ වෙන දෙයක්. මෙන්න ලින්ක් දෙක.
1. මේ ඔරිජිනල් එක.
2. මේ හොර කොපිය.

   ඔය ලින්ක් වල තියන්නේ සයිට් දෙකක්. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. ඒ උනාට එකක් අනික් එකේ සටහන එහෙම පිටින්ම කොපි පේස්ට් කරලා දාල. මේවා උනත් දේපොළ යටතේ වැටෙන දේවල්. බුද්ධිමය දේපල. ඒ කියන්නේ මේකත් හොරකමක්. බලන්න මම පහලින් දාන ස්ක්‍රීන් ෂොට් තුන. මේ ටික මට එව්වේ ඉහලින් දාපු ඔරිජිනල් එක ලියන තූර්ය ඔවිටිපාන අයිය.

බලන්න දෙපැත්ත.

මේකෙත් එහෙමයි. එකම එක. පොඩ්ඩක් වෙනස්..

අවශ්‍ය තොරතුරු අරන් එක්කෝ තමුන්ගේ විදියට වත් ලිව්වා නම්..


  මේ කාලකන්නි තේරුම් ගන්න ඕනේ මේ වගේ තොරතුරු අරගන්න ඒ පෝස්ට් එක ( හෝ මොකක් හෝ වේවා) ලියන කෙනා කොච්චර මහන්සියක් වෙනවද කියන එක. ඒ වගේම තමුන්ටත් ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය නම්, හරි වෙන දෙයක් කරන්න නම්, තමුන්ට ඕනේ තොරතුරු මහන්සි වෙලා හොයාගන්න තමුන් දැනගන්න ඕනේ. එහෙම නැත්තම්, උපුටාගැනීමක් අවශ්‍ය නම් ඒ අදාළ අයිතිකාරයගෙන් අවසර අරන් ඉන්න ඕනේ. එහෙම නැත්තම් මම මේක ගත්තේ මෙතනින් කියල වත් කියන්න තරම් සදාචාරාත්මක වෙන්න ඕනේ.. මේ වගේ අය නිසා තමා වැඩක් කරන්න හැකි, කරන්න ආස අයත් කිසි දෙයක් නොකර නිකා ඉන්නේ..
අන්තිමට කියන්න තියන්නේ ජාති ජාතිත් මේ වගේ උන් නොදකින් කියල තමා..

Wednesday, October 9, 2013

ශතවර්ෂ පූර්ණය...


මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයට ශතවර්ෂයක් සැපිරීම ව්‍යවහාර වර්ෂ දෙදහස් දහතුනක් වූ ඔක්තෝබර් මස 9 වන දිනට යෙදී තිබිණ.. මේ සටහන ඒ වෙනුවෙනි.....
           වර්ෂ එක්දාස් නවසිය දහතුනක් වූ ඔක්තෝබර් මස දිනයක ගරු විදුහල්පති ඒ.ජී. ෆ්රේසර් මහතා ගේ ධූර කාලය තුල ඇරඹුණු ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය විවිධ වූ අභියෝග, බාධක, කරදර මෙන්ම ජයග්‍රහණ තුලින් සියවසක කාලයක් සිසු දරුවන්ගේ දැනුම, රසවින්දනය පෝෂණය කරමින් දිගු ගමනක් පැමිණියේය... එදා මෙදා තුර කාලයේදී එයැ ගොඩනැගීමට උරදුන්,  එහි ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද සමසිතින් දරමින් සිසුන් දිරිමත් කළා වූ ගුරු මහත්ම මහත්මීන්ද බොහෝය.. එම ගුරුපියවරුන් හා ගුරු මවුවරුන් ගෙන් කිහිප දෙනෙකුට උපහාර පිදීම වස් සහ මේ ශතවර්ෂ පූර්ණය සිහිකරනුවස් අදදින (2013/10/09) උත්සවයක් පැවැත්වීමට යෙදිනි...
සන්නස් පත්‍රය කියවමින්...
              මෙම උත්සවය ත්‍රිත්ව විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට යෙදී තිබුනේ වාර්ෂික සිංහල භාෂා දින වැඩසටහනට සමගාමීවයි.. පස්වරු එකට යෙදී තිබුණු සුභ මොහොතින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මහාචාර්ය හේරත් දිසානායක මහතා, කුරුණෑගල බිෂොප් තුමා වන ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා සහ ගරු විදුහල්පති බ්‍රිගේඩියර් උදය ආරියරත්න මහතා අතින් පොල්තෙල් පහන් දැල්වීමෙන් ආරම්භ විය... 
කුරුණෑගල බිෂොප් තුමා වන ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා පොල්තෙල් පහන දල්වමින්...


අමුත්තන් පිළිගනිමින්..

නර්තනාංගයක්..
ගාල්ල මහින්ද විද්‍යාලය විවාදය ආරම්භ කරමින්...

               මෙහිදී විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන තාර්කික බවේ මංපෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම- "වාග් ප්‍රතිභා" විවාද තරඟාවලියේ අවසන් වටයේ තරඟය පැවැත්වීමට යෙදී තිබුණු අතර, මෙවර වාග් සටන් බිමට පිවිසියේ දකුණු ලක අගනුවර ප්‍රධාන පාසලක් වන ගාල්ල මහින්ද විද්‍යාලය සහ කන්ද උඩරට විද්‍යාර්තීන් වන විද්‍යාර්ථ විදුහලයි.. තියුණු තරඟයකින් අනතුරුව ගාල්ල මහින්ද විද්‍යාලය 2013 වසර සඳහා ශූරතාවය දිනාගනු ලැබුණි...

                    
මහනුවර විද්‍යාර්ථ විදුහලේ කණ්ඩායම ප්‍රති තර්ක ඉදිරිපත් කරමින්...
       එම තියුණු තරඟයෙන් අනතුරුව කුරුණෑගල බිෂොප් තුමා ඉතා හරවත් හා වටිනා කතාවක් කල අතර, සාහිත්‍යයේ අගයත්, වත්මන් ගුරු භූමිකාවේ තත්වයත් එයින් දැක්වුණි.. ඊට අමතරව, එතුමා අතින් අප සාහිත්‍ය සංගමයට විශිෂ්ට සේවයක් ඉටු කර, පාසලෙන් විශ්‍රාම ගොස් සිටින ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට සමරු පලක ප්‍රධානයක් සිදු විය..
ගරු කුරුණෑගල බිෂොප් තුමා සභාව අමතමින්..
පිදිය යුත්තන් පිදීම ක්‍රියාවෙන් ඔප්පු කිරීම...

          මෙම කටයුතු අතර මුහුදු පුත්තු නාට්‍යයේ කොටසක්ද. හෙන්රි ජයසේන මහතාගේ හුණු වටයේ කතාව නාට්‍යයෙන් කොටසක්ද ආදී වශයෙන් නාට්‍යංගද, සිංහල භාෂා දින තරඟ වලින් ජයග්‍රහණය කල මධ්‍යම පළාතේ පාසල් වල සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රධානය කිරීම ද සිදු කෙරිණි..
ගරු විදුහල්පති, බ්‍රිගේඩියර් උදය ආරියරත්න මහතා සභාව අමතමින්...
                  
පැමිණ සිටි සිසුන් දෙමාපියන්, ගුරුබවතුන් ඇතුළු අමුත්තන්..

             මෙම උත්සවයේ ප්‍රධානාරාධිත මහාචාර්ය හේරත් දිසානායක මහතා විසින් සාහිත්‍යයේ අගය, සාහිත්‍ය සුරැකීම, භාෂාව කෙරෙහි ව්‍යාකරණයේ බලපෑම සහ වැදගත්කම ඇතුළු ඉතා පුළුල් පරාසයක කරුණු දැක්වීමක් සහිතව වටිනා දිගු දේශනයක් කළේය...

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ, මහාචාර්ය හේරත් දිසානායක මහතා හරබර දේශනයක් ඉදිරිපත් කරමින්...

       මෙම උත්සවය මෙසේ අතිසාර්ථක අයුරින් පැවැත්විය හැකි වූයේ සාහිත්‍ය සංගමය මෙහෙයවන රන්දෙනිය ගුරු මෑණියන් ඇතුළු අනෙකුත් සියලුම ගුරුමණ්ඩලයේද, සභාපති ඇතුළු සියලු සිසුන්ගේද, ආදී ශිෂ්‍යන්ගේද එකමුතු කමින් සහ මහන්සිය නොබලා කල කැපවීම් රාශියක් තුලින් බව මා මේ අවස්ථාවේදී සිහි කල යුතුමය.
විශේෂ ස්තුතිය-


  •  ගරු විදුහල්පති තුමාට.. 
  • සිංහල සාහිත්‍ය සංගමයේ සියලු ගුරුභවතුන්ට..
  • සිංහල සාහිත්‍ය සංගමයේ  ගරු සභාපති ඇතුළු සියලු සිසුන්ට..
  • දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවී වැඩ කල සියලු දෙනාට...
    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

    මෙම උත්සවයට මටද ආරාධනා කල සියල්ලන්ටම මා ස්තුති වන්ත වන අතර, සිංහල සාහිත්‍ය සංගමයට දිගු ගමනක් යාමට මා ඉත සිතින් ආශීර්වාද කරමි.. සිංහල භාෂාව දෙවෙනි තැනට වැටී පර භාෂා නැගී එන අවදියක ඉතා සාර්ථක අයුරින් මෙවැනි තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් දියත් කරමින් දිවයිනට වැඩ දායි පුද්ගලයින් බිහිකිරීමට උර දෙන ඒ විශිෂ්ට මෙහෙවරට මාගේ ශීර්ෂ ප්‍රණාමය........                   
                                                                 


                                             

Sunday, October 6, 2013

ලේ දන් දුන්නෙමි..


හෆූ.... මේකේ දැකුළු මලුත් බැඳිලා..
       මේක සතියෙන් සතිය ලියන්න හිටියට මේ ටිකේ අරව මෙව්වා වැඩ ටිකක් සෙට් වෙලා බ්ලොග් ලියන්න තියා කියවන්නවත් බැරි උනා.. වෙලාව නැති කම නිසා නෙවේ.. මට සතියට ලැබෙන මෙගා බයිට් 500න් වැඩ ගොඩක් කරන්න තිබ්බ නිසා.. ඒ අතරේ ලියන්නම්ම කියල හිතන් හිටි මාතෘකා සෑහෙන තොගයක් මිස් උනා.. හරි කමක් නෑ.. මේ ටික වත් ලියන්නම්..
        හරි ඒ කතා ඉවරයි.. අද කියන්න යන්නේ මම කරපු පොඩි පහේ පින් කමක් ගැන. ඔයාල අහල ඇතිනේ ඔය ඇස්, වකුගඩු අරව මේවා දන් දෙන එක ලොකු පින්කමක් කියලා.. අපේ පන්සලේ කලින් හිටිය ලොකු හාමුදුරුවෝ, කරමඩ අරියතිස්ස හාමුදුරුවෝ අපවත් උනා 2007 ඔක්තෝබර් පළවෙනිදා.. ඉතින් ඒ නිමිත්තෙන් එදා ඉඳන් අවුරුද්දකට වතාවක් ඔක්තෝබර් පලවෙනි සතියේ ඉරිදා තියනවා ලේ දන් දීමේ වැඩසටහනක්. ඔතන ලේ දෙන්න මමත් පලවෙනි වතාවට සෙට් උනා.. මේ ඒ ගැන...
මෙන්න වැඩේ..
මේ ලේ දෙන කස්ටිය.. ආ නෑ නෑ ගන්න කස්ටියත් ඉන්නවා..
                                                                              
මේ ලේ දීල ඉවර වෙලා අන්තිම වැඩ ටික කරන ගමන්..
            මම ඉතින් කොහොමත් ඔයවෙලාවේ පන්සලේ ඉන්නවා.. මොකද මම දහම් පාසලේ උගන්වන නිසා. අදත් ඉතින් දහම්පාසලේ වැඩ ඉවරල ආව මමත් පහලට. එතකොට වැඩේ නැගලම යනවා.. හෙට පීනන්න යන්න තිබ්බත් ආය මොකෝ කියල ඔන්න ඔහේ ෆෝම් එකක් පුරවල ඩොක්ටර්ගෙන් අත්සනත් අරන් පෝලිමට එකතු උනා.. පැයක් විතර පෝලිමේ ඉඳල ඔන්න ඇඟිල්ලට විදලා ලේ ටිකක් අරන් මොකද්ද කරලා ප්‍රෙෂරුත් බලල සාමාන්‍යයි කියල එතනින් සිග්නල් දුන්න.. එකරලා මොන මොනවදෝ සෙට් එකක් අතට දීල යැව්වා පෝලිමට ආපහු.
          මම මේ දෙවෙනි පාරට තමයි ලේ දෙන්නේ. ඒ නිසා ටිකක් නුහුරු ගතියකුත් දැනුන. ඒ වගේම වෙන තැනක් වගේ නෙවේ හතර වටේම දන්න උන් පිරිලා :-D මමත් ඉතින් පොර සේ ගිහින් පෝලිමට එකතු උනා..
        


මේ තියන්නේ ඒ දීපු අඬු බඬු ටික තමා..
           ඒ පොලිමේත් පැය භාගයක් විතර හිටියට පස්සේ ඔන්න ඇඳක් සෙට් උනා.. මම 7.45 ට ගෙදරින් කාල ආපු ගමන් නිසා එකසිය ගානට බඩගින්නේ හිටියේ.. ඒ නිසා පෝලිමේ ඉඳිල්ල එපාම වෙලා තිබ්බේ. කොහොම හරි ඔන්න ලේ ටිකත් ගත්තා..
 
මං තුමා ලේ දෙන ගමන්..
     ලේ දීල ඉවර උනහම තමා එලම වැඩේ උනේ.. කට්ට ගලවල අරන් මට කිව්වා එහා පැත්තේ මේසෙන් මොනවා හරි අරන් කාල කිරි එකක් බීල යන්න කියල. මමත් ඉතින් හා කියල ගියා. දකුණු අත වැලමිටෙන් නවාගෙන හිටියේ. මට කෙලින්ම කිරි එකක් දුන්න. ඒක බීල ඉවරල පැකට් එක අයින් කරන්න යද්දී මෙන්න බොලේ තුවාලෙන් ලේ විදිනවා!! දහම්පාසලේ කට්ටියත් බලන් හිටිය මේ මොකෝ මුට වෙලා තියන්නේ කියල.. ඕනේ මගුලක් කියල මම එතන හිටි කෙනෙක්ට විස්තරේ කියල ආපහු ප්ලාස්ටර් කෑල්ලක් අලවගත්ත..
   කොහොම හරි මගෙන් පයින්ට් එක හමාරක් විතරම අද ලේ ගියා අන්තිමට. පයින්ට් එකක් බැංකුවට බාගයක් කමිසෙට :-D
   මමත් ඕනේ එකක් කියල ආව එන්න ගෙදර. ඇවිත් නිදාගත්තා පැයක්.. හවස බයිසිකලෙන් ටවුමටත් ගිහින් ආව.. තාම නම් වැඩි අමාරුවක් නෑ..

Monday, September 9, 2013

යකඩ යක්කු සමග මගේ අත්දැකීම්..

මේ අපේ දුම්රිය ස්ථානය.
     මේ පෝස්ටුව දාන්න  හිතුනේ අපේ හිරු අක්ක ලියපු මෙන්න මේ කෝච්චි කතා පෝස්ට් එක නිසා. මමත් ඉතින් 1996 (මට මතක මුල්ම කාලේ) ඉඳල කෝච්චියේ ගියා. ඒ නිසාම මටත් මේ ගැන අත්දැකීම් සෑහෙන්න තියනවා. මේ සූදානම ඒවා ටිකක් ලියල දාන්න..
       මම මුලින්ම දුම්රිය ගමනට එකතු උනේ පාන්දර 5ට මහනුවර ඉඳන් මාතර යන දුම්රියෙන්. ඒ කිව්වේ ඉස්සර අපේ අම්මයි අප්පච්චියි දෙන්නම රස්සාව කලේ කොළඹ. ඉතින් සඳුදා උදේට අපි ඒ දුම්රිය අල්ලාගෙන කොළඹ යනවා. මමත් යනවා. සිකුරාදාට හවස සෙන්කඩගල මැණිකේ දුම්රියෙන් ආපහු එනවා.. ඒ සෙල්ලම වැඩි දවසක් කරන්න ඕනේ උනේ නෑ මොකද දෙන්නම මාරු වෙලා මහනුවර ආපු නිසා. එතකොට මම එකතු උනේ නාවෙලපිටියෙන් මහනුවර බලා එන උදෑසන කාර්යාල දුම්රියට. මේ වෙනකොට මම බොහොම පොඩි. පෙර පාසල් වත් නෑ. ඒ උනාට අප්පච්චිලගේ ඔෆිස් එකට මමත් යනවා. (වැඩියත්ම ගෙදර ඉන්න කම්මැලි නිසා සහ ඒ කාර්යාලය අසලම තිබ්බ ළමා උද්‍යානයට යන්න තිබ්බ ආසාව නිසා)
       ඔන්න ඔය කාලෙන් තමා මගේ දුම්රිය යුගය හරියට පටන් ගන්නේ.... අපේ අප්පච්චි කියන්නේ මම කෝච්චි පිස්සෙක් කියල. :-D මම ඒ කාලේ ඉඳලම දුම්රියට පුදුම විදියට ආස කළා. ඒ දවස් වල උඩරට මාර්ගයේ ධාවනය වෙච්ච දුම්රිය එන්ජින් පන්ති මට ඒවායේ හෝන් එකෙන් කියන්න හැකියාව තිබ්බ කිව්වොත් ඒ අතිශයෝක්තියක් නෙවේ. හැබැයි ඉතින් මම ඔය දුම්රිය වර්ග කරලා තියන අකුරු ඉලක්කම් දන්නේ නෑ නේ.. ඒ නිසා මම කිව්වේ මෙහෙමයි.
W1- උදේ ඔෆිස් ට්‍රේන් එකේ එන්ජිම.
M2- කැනේඩියන් එන්ජිම.
M4- බඩු කොච්චි අදින කැනේඩියන් එන්ජිම.
M5- බස් එන්ජිම.
M6- උඩරට මැණිකේ එන්ජිම.
M7- කොළඹ කෝච්චියේ එන්ජිම.
M9- මේක එද්දී නම් M9 කියන එක දැනගෙන හිටිය.
W3- මෙයා W1 වලින් 10ක් අරගෙන අලුතෙන් එන්ජින් තියල හදපු පන්තියක්. මෙයා පළවෙනියට මගී දුම්රියක්      එක්ක උඩරට එන ගමන මම බලන් හිටිය. ඒ 1997.එදා අපේ අත්ත තමයි මට කිව්වේ අන්න අර අලුත් එන්ජිම දාල කෝච්චියක් එනවා කියල. ඉතින් ඒක ඒ විදියට අලුත් එන්ජිම උනා..  ඒ කාලේ ඉඳන් 2003 වෙනකල් අපි මෙයාට කිව්වේ අලුත් එන්ජිම කියල.
S5- හිතාචිය.
        තව මොකක් හරි බලවේග කට්ටලයක් මෙහෙ දිව්වා. මම හිතන්නේ S6/S7නැත්තම් S8.මොකද්ද මම දන්නේ නෑ හැබැයි ඒක නම් මහනුවරදී පීලි පැනීමකට ලක් වෙලා හදන්න අරන් ගියා ගියාමයි ආය පැත්ත පළාතේ ආවේ නෑ. කොහොම හරි එයාට මම කිව්වේ පවර් සෙට් එක කියල. ( ඉහත සියලු ධාවන පන්ති පිලිබඳ විස්තර මෙම අඩවියේ සඳහන්ව ඇත)
  ඔහොම ටික කාලයක් යනකොට W1 එන්ජින් මෙහෙන් අයින් වෙලා එවල රාජකාරි W3 වලට ගියා. M5 අයින් වෙලා M5B ආව. M4 යන්නම ගියා..
  ඔය අතරේ මම ජීවිතේ දැකපු මුල්ම දුම්රියට අසු වීමේ සිදු වීමට මුහුණ දුන්නේ මම පාසලේ 1 වසරේ ඉද්දි. ඒ කියන්නේ 1999යෙ. අපි සෙන්කඩගල මැණිකේ එක්ක කොළඹ යනකොට අප්පච්චි කියන හැටියට ඉහල කෝට්ටේදී තමා මේක උනේ. පාර අයිනේ හිටිය කෙනෙක් අහු වෙලා. හැබැයි මැරිලා නෑ. මම දැක්ක මනුස්සය උස්සන් එනවා. එදා නම් ඒක එච්චර ගානක් ගියේ නෑ..
  තව දවසක් අපි නුවර එළියේ ගියා.. නුවර එළියේ ඉඳල නානුඔයට ඇවිත් එතනින් පහලට එන උඩරට මැණිකේ අල්ලාගෙන ගෙදර එන්න තමා අපි ආවේ. කොහොම හරි නාවෙලපිටියට ටිකක් ලං වෙලා ස්ටේෂමක (මම හිතන්නේ ඉඟුරුඔය වෙන්න ඇති) කෝච්චිය නතර කළා. අප්පච්චි ගිහින් බලපුවහම අපිට කලින් ගිය කෝච්චියක් පීලි පැනල. දැන් ඉතින් මොකෝ කරන්නේ.. ආව නාවෙලපිටියටම පයින්! ඉස්සරහ තිබ්බ කෝච්චිය ලඟින් ආවේ මාවත් වඩාගෙන ඒකෙ තිබ්බ දම්වැල් වගයක් එහෙම අල්ලාගෙන බොහොම අමාරුවෙන්. ඒ තමා දුම්රිය පීලි පැනීම් ගැන මගේ මුල්ම අත්දැකීම.

  ඉතින් ඔහොම කාලේ ගෙවිල යද්දී ලංකා දුම්රිය ඉතිහාසයේ දරුණුම අනතුරක් විදියට සැලකෙන මහනුවර- කොළඹ කොටුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය රඹුක්කනදී පීලි පැනීම සිදු වුනා 2002 වර්ෂයේදී. ඒකෙන් අපේ පාසලේ ආපන ශාලාවේ වැඩ කරපු දෙන්න නැති උනා....
   මේ කාලේ වෙනකොට අපි කටුගස්තොට පැත්තට ගියා මාස ගානකට. ඒ නිසා දුම්රිය අත්දැකීම් එච්චර නෑ. ඊට පස්සේ ආපහු ගෙලිඔයට ආව.
     7 වසර වෙනකොට මම පාසැලේ පිහිනුම් කණ්ඩායමට බැඳුනා. ඒ පුහුණුවීම් ඉවරල හැමදාම වගේ ගෙදර ආවේ අංක 23- ටිකිරි මැණිකේ දුම්රියෙන්. එදා ඉඳන් 2013 වසර දක්වා බොහෝ දින වල ගෙදර ආවේ ඔය දුම්රියෙන්ම තමා.                             
මේ ඇවිල්ල මම පාසැල් ගිය අංක 236 දුම්රිය. ඔය පලවෙනි පාපුවරුවේ ඉන්නේ මමතුමා! පින්තූරය ගත්තේ අශාන් විජේකෝන්.
     ඒ වගේම මම 9 වසරේ ඉඳන් උදේ පාසැල් දුම්රියෙන් පාසල් යන්න පටන් ගත්තා.. සාමාන්‍ය පෙළ පළමු වසරේ ඉද්දි( ඒ කියන්නේ 10 වසරේ) මම වාර ප්‍රවේශපත්‍ර අරගන්න පටන් ගත්ත ගෙලිඔය- මහයියාව. මේක කොච්චර ලාබද කියනවා නම්, එතෙන්ට සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව රුපියල් 15යි. වාර ප්‍රවේශපත්‍රය 90යි! ඒ කියන්නේ සතියකින් ගාන කවර්! ඉතිරිය නිකම් වගේ!! ඒ නිසා, පැය භාගෙට වැඩියෙන් ප්‍රමාද උනොත් ඇරෙන්න, හැමදාම වගේ දුම්රියේම පාසල් ගියා.. හැබැයි ඉතින් උදේ 7.30ට පටන් ගන්න ඉස්කෝලෙට, 8.15ට ගිය දවසුත් දෙක තුනක් තිබ්බා :-D
   මුල කාලේ දවසක් මම භයානක අත්දැකීමකට මුහුණ දුන්න ඔය ට්‍රෙන් එකේදී. එදා මම දෙවෙනි පන්තියේ මැදිරියට නගින්නම් කියල දුම්රිය එක්කම ඉස්සරහට ආව. නවත්තන්න ලං වෙද්දීම මම දොරේ බාර් එක අල්ලගත්ත. ඒ එක්කම කව්ද කෙනෙක් මගේ පිටට අත තිබ්බ. ඒ ආපු තල්ලුවට මම කොච්චියයි ප්ලැට්ෆෝම් එකයි අතරට වැටුන!! ඒත් මම බාර් එක අතෑරියේ නැති නිසාත්, අන්තිම පඩියට කකුලක් තියාගත්ත නිසාත් දුම්රිය ඇතුලට නොවැටී බේරුනා.. එතකොටම දුම්රියත් නැවැත්තුව. හැබැයි, වැඩේ කියන්නේ මගේ පිටට අත තියපු කෙනා, මටත් උඩින්ම දුම්රියට නැගල!!
  කොහොමින් කොහොම හරි, ඇඳුමේ මඩ පාරක් ඇරෙන්න වෙන හානියක් නැතුව මම එදා බේරුනා..
ආපහු ටිකිරි මැණිකේ ගැන කතා කලොත්, ඕක කොළඹ ඉඳන් හැටන් එන දුම්රියක්. මහනුවර හරහා එන්නේ.. ඒ කියන්නේ හවස 4.10යට මහනුවර ඇවිත්, එන්ජිම අනිත් පැත්තට හයි කරගෙන හවස 4.45ට හැටන් යනවා.. සාමාන්‍ය පෙළ  අමතර පන්ති, උසස් පෙළ ටියුෂන් පන්ති ඉවරල ගෙදර ආවෙත් ඔය දුම්රියේ. ඕකේ යද්දී මම දරුණුම අත්දැකීමට මුහුණ දුන්නේ 2011හේ මැයි මස දෙවැනි දිනයි. එනම්, අප පාසලේ අපිට අවුරුද්දක් පහල පන්තියේ මල්ලි කෙනෙක් අප ගමන් ගත් දුම්රියට අසු වී මිය යාමයි. ඔහු දුම්රිය මාර්ගය හරහා මාරු වීමේදී මෙය සිදු විය. හවස පන්ති ඉවර වී මහනුවර අධිකරණ සංකීර්ණය අසල ගුවන් පාලම යටින් මාර්ගය හරහා යාමට ඔහු පැමිණියේ ජංගම දුරකතනයෙන් සිය මවට කතා කරමිනි! ඒ.. ඔහුගේ අවසාන දුරකථන ඇමතුම විය...
   ඒ වගේ බිහිසුණු අත්දැකීම් වගේම සොඳුරු අත්දැකීමුත් තියනවා. මට 2007 වසරේ ඉඳන් දුම්රියේ මිතුරන් කණ්ඩායමකට එක් වීමට හැකි උනා. මේ වසරේ මා හවස දුම්රියේ ගමන් නවත්වන තුරු මා ආ ගියේ ඒ කණ්ඩායම සමගයි.. අප 2010 වසරේදී යාපහුව බලා විනෝද සවාරියක්ද ගියා. ඒ ගමන නම් මා ජීවිතයේ ගිය හොඳම විනෝද සවාරි වලින් එකක් වූ බව කිවයුතුමයි. උදේ ගොස් හවස ආපසු ආ ගමනක් උවත්, එම ගමන මාගේ මතකයේ රසවත් සටහන් රාශියක් සටහන් කිරීමට සමත් උනා....
                                                                                                                   
ඔය ඉන්නේ අපේ කට්ටිය. මේ ඇවිල්ල ටිකිරි මැණිකේ මග නතර උන දවසක්. රජවත්ත කියන හරියේ..

   දුම්රිය හැමදාම වෙලාවට ධාවනය වන්නේ නෑ... නොවැලක්විය හැකි හේතු නිසා ප්‍රමාද වීම් සිදු වෙන එක වළක්වන්නත් බෑනේ... ඒ වගේ දවස්  වලට දුම්රිය මහනුවරට පැමිණ තිබුනොත් (මෙම දුම්රිය ගමන් අරඹන්නේ කොළඹ කොටුවේ සිටයි) අප කරන්නේ සියල්ලන්ම මුදල් දමා යම්කිසිවක් දුම්රිය ස්ථානයේ  භෝජනාගාරයෙන් ගෙනවිත් බෙදාගෙන කෑමයි. දුම්රිය කීයට පිටත් වුවත් අපට කිසි ගානක් නොවන්නේ අප මිතුරන්ගේ විහිලු තහළු ආදියෙන් කාලයේ ගෙවී යෑම නොදැනෙන තරම් දෙයක් කරන නිසාය. දුම්රිය මහනුවරට පැමිණ නැත්නම්, පැය දෙකකට වඩා ප්‍රමාද නම් අප කරන්නේ මහනුවර- නාවෙලපිටිය බස් රථයක අවසාන ආසනය අල්ලාගැනීමයි. මගින් නගින කිහිප දෙනාටද බස් රියේ ඩිපෝ අංකය (උදා- NW-45) කියා එයට පසුපස දොරෙන් ගොඩ වන ලෙස කියමු. ඉන්පසු දුම්රිය බස්රිය වෙනසක් අපට නොමැති තරම්ය.. :-)
   ඔයින් මෙයින් මම උසස්පෙළ කරන්නත් ආව. උසස් පෙළට හැම ශිෂ්‍යයෙක්ම ව්‍යාපෘති දෙකක් කරන්න ඕනේ කියන එක දන්නවනේ.. ඉතින් මම මගේ කේවල ව්‍යාපෘතිය කරේ "ශ්‍රී ලංකා දුම්රිය සේවය භාවිතා කරන සංඥා පද්ධති" කියන මාතෘකාවෙන්. ඉතින් මේ ව්‍යාපෘතියට ඕනේ ජයාරූප ගන්න කැමරාවක් මගේ ගාව තිබ්බේ නෑ. ඒ වැඩේ කරගත්තේ මගේ ජංගම දුරකථනයෙන්. ඒ ජයාරූප ටික හදල, පාවිච්චි කරන්න පුළුවන් විදියට දාල දුන්නෙත් අර දුම්රියේ මිතුරන් අතර හිටි ගයාන් සාලියරත්න අයියා! ඒ ගැන එයාටත් ස්තුතියි!
   තව ගොඩක් දේවල් තියනවා.. අපි 2010 වසරේ කතාවෙලා යාපහුවට විනෝද චාරිකාවක් ගියා.. ඒ ගමන මම ජීවිතේ ගිය හොඳම ගමන් වලින් එකක් විදියට මතක සටහන් අතර තියනවා. අපි කුරුණෑගල ඇත්කඳ විහාරෙටත් ගිහින්. යාපහුව මුදුනටම ගියා.. එක දවසේ ගමනක් උනත් ඒ ගමන ලෙසටම ගියා..
                                         
ඔය ඉන්නේ ට්‍රිප් එක ගිය කස්ටිය. මේ කුරුණෑගල ඇත්කඳ විහාරේදී. 
මේ තමයි ඔය සියලු සිදුවීම් ඇරඹුණු ටිකිරි මැණිකේ දුම්රිය..


ආය ඉතින් තව විවිධාකාර අත්දැකීම් තියනවා.. සමහර එව්වා මේ බ්ලොග් එක හරහාම කියල තියන නිසා ආයෙම කියන්නේ නෑ... ඒ උනාට ටිකක් වැදගත් කියල හිතෙන දෙයක් තියනවා.. ඒ තමා, උඩරට මාර්ගයටම කියල බලවේග කට්ටල ගෙන්නපු එක. ඇවිත් පලවෙනි පරීක්ෂණ ධාවනයත් මම දැක්ක. ෆොටෝත් ගත්ත.
මේ මහනුවරට ආපු පරීක්ෂණ ධාවනයේදී ගත්ත ජායාරූපයක්.
  තව දෙයක් තමා මම දැකපු දුම්රිය අනතුරක්.. මේක උනේ 2008 වසරේ. ඩයලොග් ආයතනයේ සැටලයිට් tv සම්බන්දතා ලබාදෙන්න ආපු වෑන් රියක් අපරීක්ශාකාරීත්වය නිසා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට වැදී එහි ගමන් කල තිදෙනාගෙන් දෙන්නෙක්ම මියගියා.. රියදුරු නම් බේරුනා. හැප්පෙනවා නොදැක්කට පස්සේ එතෙන්ට ගිහින් බැලුව.. දුම්රිය එන්ජිම සමග වෑන් රිය මීටර් තුන්සීයක් පමණ ඉදිරියට ගොස් තිබුනා.. එක් අයෙක් ඒ මොහොතේදීම මිය ගිය අතර, අනෙක් තැනැත්තා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හවස 6.30ට පමණ මිය ගිය බව දැනගන්නට ලැබුනා.. එම වෑන් රිය පපඩමක් මෙන්  වී තිබුණු අතර, ටයරයක් අසල වූ කුඹුරත් පැන, මහපාරත් පැන, පාරෙන් එහා නතර වී තිබුනා.. මොවුන්ට දුම්රිය ගැන ඒ නිවසේ කට්ටිය අනතුරු අඟවා තිබුනත්, එන ගමන් මොවුන් සීඩී යන්ත්‍රයද ක්‍රියාත්මක කරවා, වීදුරු සියල්ල වහගෙන, මත්පැන් බොමින් පැමිණ ඇති අයුරු දිස් උනා.. අනතුරෙන් පසුවත් සීඩී යන්ත්‍රය ක්‍රියාකරමින් තිබුණු අතර, එහි ශබ්ද දර්ශකය (volume indicator) උපරිම මට්ටමට මදක් පහලින් තිබුනා!! මෙම සිදු වීම අප නිවස ඉදිරියේම සිදු වූවක්.. 
 උඩරට මැණිකේ ගැන කියද්දී තවත් එකක් මතක් උනා.. මෙතෙක් කාලයක් එන්ජිමක් එක්ක ගිය (බොහෝ විට M2/ M6) උඩරට මැණිකේ දුම්රියටත් බලවේග කට්ටලයක් ආදේශ උනා. එකේ ප්‍රථම ධාවනයට මමත් එක් උනා..
                                         
ඔය තියන්නේ ඒ ගමනේදී ගෙලිඔය පහු කරලා ගිය අවස්ථාව.
ඒ වගේම, මේ රටට මෙතෙක් ආපු අසාර්ථකම එන්ජිම විදියට කවුරුත් හඳුන්වන M9 පන්තියේ ප්‍රංශ එන්ජිමේ පලවෙනි උඩරට ධාවනයත් මම බැලුව මතකයි. ඒ ගමනේ නම් පෙට්ටි සෑහෙන තොගයක් ඇදන් ආවත්, පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ, නාවෙලපිටියෙන් උඩහට යන්න බැරි තත්වෙට එයා පත් වෙනවත්මම දැක්ක.මේ තියන්නේ නාවෙලපිටියට මැදිරි 4ක දුම්රියක් ඇදගෙන යන අවස්තාවක්. (අලුත්ම ආරංචි මාර්ග වලට අනුව, මේ එන්ජින් සියල්ලම තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරලා තියනවා)
මේ ඇවිල්ල රඹුක්කන සිට නාවෙලපිටිය බලා යන අංක 120 දරණ දුම්රිය. දැන් මෙයත් මහනුවරට ගිහින් එන්නේ.. 



මේ මම පාසල් යන කාලේ ගත්ත එකක්. ගෙදර යන ගමන්. මේ ඇවිල්ල මහනුවර බලා ආපු ටිකිරි මැණිකේ දුම්රිය. ජායාරූපය ගත්තේ කලින් මගේ යාලුවෙක් වෙච්ච යෂ්මාල් නෙරන්ජ.

        මේ කතා ඔක්කොම අස්සේ මට එක්කෙනෙක් ගැන කියන්න අමතක උනා.. ඒ තමයි උඩරට දුම්රිය මාර්ගයේ 1961 වසරේ සිට වසර පනහක් පමණ අඛණ්ඩ සේවයක් කොට, මේ වෙනකොට සුළු ආබාධ තත්වයෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන M2C නමැති එන්ජිම. මේ එන්ජින් විශේෂයෙන් ඇමරිකාවේ General Motors- Electro Motive Devision සමාගම මගින් නිපදවා දුන්නේ අපේ රටේ කඳුකර මාර්ගයට ගැලපෙන විදියට. මම සාමාන්‍ය පෙළ කරනකොටත් මේ දෙන්න (626- Montreal  සහ 627- Vancouver.) රාත්‍රී තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, නානුඔය නගරාන්තර දුම්රිය වගේ නොයෙක් දුම්රිය ඇද්ද. එතකොට මෙයාට අවුරුදු 48ක්! මේ එයාලගේ උඩරට සේවයේ අවසාන කාලේ ගත්ත එකක්.. 
                                            

නානුඔය නගරාන්තර දුම්රිය සමග කොළඹ බලා යන කැනේඩියානු එන්ජිම.
    ඉහත මම සඳහන් කලේ දුම්රිය ගැන මා ලැබූ අත්දැකීම් වලින් ඉතාම ස්වල්පයක් පමණයි.. මා හිරු අක්කාගේ පෝස්ටුවට දැමූ කමෙන්ටුව ලෙසම, ඒ ගැන සඳහන් කරන්නේ නම් පොතක් උවත් ලිවීමට තරම් දේ මා සතුව තියනවා.. 

Wednesday, August 28, 2013

තනිවම ගිය උඩරට සංචාරයේ සොඳුරු මතක සටහන්..


    මේ ටිකේ ඉතින් මම කොහේහරි ඇවිදින්න යන්නම තමා ට්‍රයි එක. ඒ උනාට, මේ පෝස්ට් එකට පදනම් උනේ නම් එච්චර හොඳ සිද්දියක් නෙවේ.. ඒක නිසා මේ ගමන ගැන උනත් පිටත් වෙද්දී එච්චර හොඳ අදහසක් තිබ්බේ නෑ මගේ හිතේ.. ඒ උනත්, ගමන පටන් අරගෙන ගම්පොළට යනකොටම, හිතේ තිබ්බ ඔක්කොම අවුල් අයින් වෙලා සෑහෙන සන්තෝසයක් හිතට ආව. මොකද, උඩරට දුම්රිය ගමනක් කියන්නේ, එසේ මෙසේ ගමනක් නොවෙන නිසා.. 
    පහුගිය දවස් දෙක තුනේ පොඩි ප්‍රශ්න ටිකක් නිසා මම පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ.. පොඩි කිව්වට පොඩිමත් නෑ.. ඒ නිසා කොහේ හරි දුර ගමනක් යන්න මට කොහොමත් ඕනේ වෙලා තිබ්බේ.. දන්නවනේ.. හිතේ කරදර තියන වෙලාවලට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනවා..
*පොතක් කියවීම
* චිත්‍ර පටියක් බැලීම
* නිදා ගැනීම
* යාලුවෙක් මුණ ගැසී ප්‍රශ්නය ඔහු/ ඇය සමග බෙදා ගැනීම.
* තනිවම හෝ යහළුවකු/ යෙහෙළියක සමග තමන් කැමති පලාතක ගමනක් යෑම.
    මම පහු ගිය ටිකේ ඔය උඩ තියන පහෙන් තුනක්ම අත්හදා බැලුව. එත් එච්චර සාර්ථක උනේ නෑ.. ඊට පස්සේ තමයි අන්තිම එකට බැස්සේ. ඒ කියන්නේ ගමනක් යන්න. ඒත් යන්නේ කොහෙද කියල අදහසක් තිබ්බේ නෑ.. ඔය අතරේ මම මූණුපොතට රිංගුවා .. ඒ වෙලාවේ මගෙත් එක්ක දෙන්නෙක් කතා කළා.. එක්කෙනෙක් තමා අපේ බ්ලොග් ලෝකේ ගොඩාක් අය දන්න දොස්තර දීපානි අක්ක. එයා මට අදහසක් දුන්න අලගල්ල බලන්න යන්න කියල. ඒ විස්තර ඔක්කොම එයා මට දුන්න. ඒ ගමන යන්න හිතාගෙන එහෙම නිදා ගන්නකොට පොඩ්ඩක් රෑ උනා.. ඒ නිසා මම උදේ නැගිටිනකොට 7යි!! ඒ වෙලාව වෙද්දී මම යන්න ඕනේ දුම්රිය කඩුගන්නාවේ ඇති.. ඉතින් මොකෝ කරන්නේ ඒකත් නැති උනා කියල ඉන්නකොට, ආව අදහසක් උඩරට පැත්තේ ගිහින් එන්න. මම ඉතින් මේක ට්‍රිප් එකක් විදියට යන්න නෙවේ ප්ලෑන් කලේ. තනියම. පොඩ්ඩක් හිත කූල් කරගන්න කියල. මම ඉතින් උදේ පාන් ටිකක් එහෙම හදාගෙන, ඔන්න පොඩි මැණිකෙන් යන්න හිතුව. යන තැනක් ගැන අදහසක් නොතිබ්බ හින්ද, මම හිතුව පහලට එන පොඩි මැණිකේ ඉහලට යන එකට හමු වෙන ස්ටේෂමට කලින් ස්ටේෂමෙන් ආපහු හැරෙන්න. එතකොට මට කෑම කාල ටිකට් ගන්න වෙලාව ඉතුරු වෙන හින්ද. ඔන්න ඉතින් ඒ විදියට පොඩ්ඩි එක්ක තවත් උඩරට දුම්රිය චාරිකාවකට මග පෑදුනා.. මේ , ඒ ගමනේ විස්තර.. 

 
මෙන්න මෙහෙමයි ගමන පටන් ගත්තේ..


ඔන්න ගම්පොලටත් ආව. මෙතන ඉන්න උනා පහලට එනේ දුම්රියක් එනකල්...
මේ තියන්නේ අම්බුළුවාව. මේක සර්වාගමික මධ්‍යස්ථානයක්ලු.
මෙන්න මෙයා හිටිය නාවෙලපිටියට වෙලා අපි එනකල් බලාගෙන. මේ තමා නාවෙලපිටියෙන් මහනුවර බලා යන අංක 541 දරන දුම්රිය. 
        
නාවෙලපිටියේදී උඩහට යන දුම්රිය වල කාර්ය මණ්ඩලය මාරු වෙනවා. මේ නිසා මෙතන වැඩි වෙලාවක් නවත්තල තියනවා. මේ ඒ වෙලාවේදී ගත්ත ජායාරූපයක්.   

මෙතනින් එහාට තමා ගමන හරියට පටන් ගන්නේ.. මොකද මෙතනින් එහාට තමා මාර්ගයේ ලස්සනම හරිය. අනික අර යුරෝපීය කාලගුණයට සමාන වෙන්න කාලගුණය වෙනස් වෙන්නෙත් මෙතන ඉඳන් උඩහට.. ඇත්තෙන්ම මෙහෙන් එහාට යන්න වායු සමීකරණ අවශ්‍ය නෑ...
මේ උඩ ජායාරූපයේ තියන්නේ නාවෙලපිටියේ බදුල්ල දිහාට යන පාර. ඔය වම් පැත්තේ කොනේ බලන්න තරමක් ඉහලට වෙන්න ගැල් ටිකක් නවත්තල තියනවා නේද? අන්න ඒ තමා ඉස්සර බදුලු ගිය පාර. ඉස්සර නාවෙලපිටිය දුම්රිය ස්ථානයට බදුල්ල පැත්තෙන් එන්න තිබ්බේ කන්දක් නැගගෙන. දැන් එතන තියන මහාමාර්ගය යන පාලම ඒ කාලේ තිබ්බේ නෑ. ඒ වෙනුවට එතන සාමාන්‍ය ලෙවෙල් ක්‍රොසින් එකක් තමා තිබ්බේ. වාෂ්ප එන්ජින් වලට ඔය කන්ද අදින්න හරි අමාරු වෙලා තියනවා.. ඒ නිසා, නාවෙලපිටිය දුම්රිය ස්ථානය නැවත ගොඩනගද්දී මේ අද තියන විදියට වෙනස් කරලා තියනවා..



මේ වටවල. දන්නවනේ මොකේටද ප්‍රසිද්ධ කියල?
මේ ඇවිල්ල වටවල පහු කරලා ඉහල වටවලට යන ගමන් අහු උන තේ කර්මාන්ත ශාලාවක්.
මෙන්න රොසැල්ලේ අපි එනකල් බලන් ඉන්න උඩරට මැණිකේ... කලින් මේ දෙන්න මාරු උනේ හැටන් වලින් උනත් දැන් මේ අලුත් බලවේග කට්ටල එක්ක හැම දුම්රිය මාරු වීමක්ම වගේ කලින්ට වඩා එක දුම්රිය ස්ථානයක් වගේ ඉදිරියට ඇවිත් තියනවා..
රොසැල්ල කියන්නේ හැටන් වලට කලින් ස්ටේෂන් එක. මේ දුම්රිය ස්ථානයේ තියන විශේෂත්වේ තමා මේකට කොළඹ දෙසින් එන්න තියන්නේ දම්වැල් පහේ (අරය) වංගු දෙකක් පහු කරගෙන. ඒ දෙක පිහිටලා තියන්නේ ඉංග්‍රීසි S අකුරේ හැඩයට. මෙතෙන්ට කියන නම තමා Rozelle S curve. මෑතක් වෙනකල් ඉහලට එන දුම්රියක් මේකේ පැති මාර්ගයට ගන්න ඉඩ දුන්නේ නෑ. ඒ වගේම මෙතන පැයට සැතපුම් පහක වේග සීමාවක් පනවල තිබ්බ. පස්සේ කාලෙක මෙතනත් ආපහු හැදුව. ඔය ඉහල ජායාරූපයෙන් පෙන්නන්නේ පලවෙනි වංගුවේ ඉඳල රොසැල්ල දුම්රිය ස්ථානය පේන විදිය.          
මේ තමයි රොසැල්ලේ බලන් හිටපු කෙනා... මේ, බදුල්ලේ ඉඳන් කොළඹ කොටුව බලා යන උඩරට මැණිකේ දුම්රිය..
                                        
මේ අපිව අරන් යන කෙනා. S12-938. ඔය ඊට පස්සේ තියන්නේ වායු සමීකරණය කරපු පළමුවන පන්තියේ මැදිරිය.

                                             
පේනවනේ.. දැන් තමා තේ වතු කලාපය පටන් ගන්නේ.. ඔය දකුණු පැත්තෙන් එකක් තියන්නේ..
                                       

මේ හරියේ ඉඳල කාලගුණයේ පැහැදිලි වෙනසක් අත්දකින්න ලැබුන.. ඒ කියන්නේ වටේ පිටේ සීතල වෙලා.. හරියට එක පාරටම යුරෝපේ පැත්තට ගියා වගේ..

                                          
ඔය පේනවනේ.. මේවා දැක්කම ඉතින් හිතේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා,, හරියට පිටරටකට ගියා වගේ. සීතල කාලගුණයයි, තේ වතු මැදින් යන දුම්රියයි, පැරණි බ්‍රිතාන්‍ය ක්‍රමයේ දුම්රිය ස්ථාන ආදියයි, මහා පාලම දිය ඇලි එහෙමයි..එකතු උනහම ආය මොනවද..
                                      
මේත් යනකොට අහු වෙන තේ වත්තක්.. බලන්නකෝ ලස්සන. මේවා මෙහෙම නෙවේ සැබෑවටම බලනකොට තමා ලස්සන.
                                       
                                            
මේ හැටන්වලට එනකොට අපිට අහු උන දෙන්නෙක්. මොනුන්ද කියන්න නම් මම දන්නේ නෑ..

                                 
පේනවනේ.. තේ වතු අතින් අල්ලන්න පුළුවන් ගානට. ඔය පිටිපස්සේ තියන්නේ මේ කට්ටලයේ පසුපස එන්ජිම. ඒ කියන්නේ S12-939.
              මම තලවකැලෙන් බැහැල එතනින් ඇහුව කොහෙද පොඩි මැණිකේ දෙක මාරු වෙන්නේ කියල. එතනින් දැනගන්න ලැබුන ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් කියල. මම ඉතින් කල්පනා කරා සෑහෙන වෙලාවක් හිටගෙන ඇවිල්ල මහන්සි, වතුර තිබහයි. බඩගිනි. ග්‍රේට් වෙස්ටර්න් ගිහින් ටිකට් අරන් දුම්රියට ගොඩ වෙන්න පුළුවන් උනත් සෙනග එක්ක මට ආසනයක් කෙසේවත් ගන්න බැරි බව. ඒ කියන්නේ මට කන්න විදියක් තැනක් නැති වෙනවා. මම ඉතින් ටිකක් අපහසුවෙන් උනත් හිත හදාගෙන ඒ මනස්කාන්ත දුම්රිය ස්ථානයට යෑම පසු අවස්ථාවකට කල් දාල වටගොඩින් බැහැගත්තා...
 අපි ආපු දුම්රිය මම වේදිකාවේ ඉන්නකොට එතනින් පිටත් වෙද්දී මට දැනුනේ සුරපුරයකට යන ගමනක අවසානයට ගිහින් ආපහු හැරුන වගේ...                         
ඔන්න අද දවසේ මගේ ගමනාන්තය. මේ වටගොඩ දුම්රිය ස්ථානය. පේනවනේ.. ගල් අඟුරු යුගයේ දුම්රියට වතුර සපයපු ටැංකිය, බ්‍රිතාන්‍ය යුගයේ දුම්රිය ස්ථානය එහෙම තාම ඉතුරු වෙලා තියනවා..
                                           
                 මම ඉතින් ගෙනාපුව කාල එහෙම ප්‍රවේශපත් අරගෙන තව විනාඩි 10ක් විතර ඉතිරි උන නිසා ජයාරූප ටිකක් ගන්නම් කියල ටිකක් ඇවිද්ද. මේ ඒ වෙලාවේ ගත්ත ජයාරූප කිහිපයක්. මට ඇත්තටම හිතුන මේ වගේ නිස්කලංක පලාතක ඉන්න තියේ නම් කොච්චර එකක්ද කියල...                          
ඔන්න විස්තර ටික.

                                      
මෙන්න මේක හම්බුනෙත් එහෙදි තමයි. මේ ඇවිල්ල කොච්චි පීලි පන්නන එකක්. (Derailing apperatus) 
ජායාරූප ටික අරන් තව ටිකක් එහාට යන්න හදනකොට ග්‍රේට් වෙස්ටර්න් වලින් පහලට එන පොඩ්ඩි ආව බවට සංඥාවක් නිකුත් උනා.. ඒ නිසා මම ආපහු වේදිකාවට ආව. ටික වෙලාවකින් ඔන්න පුරුදු හඬක් නැගෙන්න ගත්ත. ඒ මෙන්න මේ ගමන ගිය බලවේග කට්ටලය. දකිද්දී නම් පොඩි බයකුත් නොදැනුනා නෙවේ එදා වැඩේම අදත් වෙයිද කියල..
මෙන්න මාව පහලට එක්කන් ආපු කෙනා.. මෙයාගේ හෝන් එක ඇහෙද්දීම මම අඳුරගත්තා.. 

                                      
මේ පාලම මම පාපුවරුවේ ඉඳන් ජයාරූප ගතකලේ. මහා ලොකු දුරක තියන එකක් නෙවේ. ඒ උනාට මේක මගේ ඔලුව ගානට තියන්නේ. බලන්න පාලමේ ආනතිය. හිතාගන්නකෝ මේ මාර්ගයේ තියන ආනතිය..
මේ තමයි ඉහල කොත්මලේ ජලාශය හරහා එන පාලම.
මේ තියන්නේ ශාන්ත ක්ලෙයාර් දුම්රිය නැවතුම. මේ රටට දුම්රිය ආවේ කෝපි ප්‍රවාහනය කරන්න. නමුත් මේ පැති වලට දුම්රියඑනකොට වනසන එමිලි කෝපි විනාස කරලා දාල ඉවරයි. ඒ කෝපි වතු වල තමයි දැන් තේ වතු තියන්නේ.. අන්තිමට කෝපි අදින්න ආපු දුම්රියට අදින්න උනේ තේ. මේ තේ පටවන්න තේ වතු/කර්මාන්තශාලා ළඟ මේ වගේ පොඩි දුම්රිය ස්ථාන බිහි උනා. උඩරට මාර්ගයේ මේ වගේ තැන් සෑහෙන්න තියනවා. සමහර ඒවා නම් තිබ්බ තැනක් වත් හොයාගන්න නෑ. සමහර ඒවා දුම්රිය ස්ථාන බවට පත්වෙලා..
මේ තියන්නේ ඒ වගේ තැනක්. මේකට එහා පැත්තේ තියන්නේ සෙන්ට් ක්ලෙයාර් තේ කර්මාන්ත ශාලාව. දැනට නම් මේ දෙකම භාවිතයෙන් තොර තත්වයක තමා තියන්නේ...
මේ තමා සුප්‍රසිද්ධ සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල. මම මේක පොඩ්ඩක් විශාලනය (zoom) කරලා ගත්ත. එකයි අපැහැදිලි.
මේ හැටන් වලට එන අංක 1007 දුම්රිය. මේක දකිද්දී නම් හිතට පුංචි දුකක් දැනුන. මොකද මෙච්චර කාලයක් පොඩ්ඩි මේ වගේ එනකොට බලවේග කට්ටලයක් තමා 1007ට ආවේ. ඒත් මීට අවුරුද්දකට කලින් ඉඳන්. ඊටත් කලින් දෙකම බොහොම ලස්සනට M6 පන්තියේ එන්ජින් දෙකකින් බලය ලබන දුම්රිය. ඒත් දැන්.... කාලය මැව් වෙනසක අරුමය කියන්නේ මේකට වෙන්න ඇති...
                                                   
                                        
                                     
මේ මම තුමා හැටන් වලදී. මේ සෙට් එක එක්කම එක ගමනකදී මෙතන පැයකට වඩා ඉඳල තියනවා.. ඒ විස්තර මම කලින් පෝස්ට් එකකින් ගෙනාව. මේ ජායාරූපය ගත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධීපති කෙනෙක් විදියට කටයුතු කරන කෙනෙක්. එයාගේ නම නම් අහගන්න බැරි උනා..
මම කලිනුත් කිව්වා මේ මාර්ගයේ දිය ඇලි වලින් අඩුවක් නෑ කියල. මේ තියන්නේ තව එකක්.
නාවෙලපිටියටත් ආව. මෙතනින් ඉතින් අර කලින් කිව්වා වැඩේම ආපහු සිද්ද වෙනවා. ඒවා ඉවර උනත්, අපි මෙතෙන්ට එද්දී පැය බාගයක් පමණ ප්‍රමාද වෙලා නිසා, මෙයා එනකල් නාවෙලපිටියේ ඉන්න උනා. මේ තමයි මහනුවරින් 2.10ට නවෙලපිටිය බලා එන පාසල් දුම්රිය. වෙනදට මේ දෙන්න මාරු වෙන්නේ උලපනෙන්.
ඔය පින්තූරේ බලන්න, ඈතින් පාලමක් පෙනෙයි. ඒ තමා නුවරඑලිය පාර.
ඔන්න අපේ දුම්රිය ස්ථානය. ඒත්, ගෙදර ගිහින් කරන්න කියල වැඩක් නොතිබ්බ නිසාත්, හවස 4.45ට ආපහු එන්න ට්දුම්රියක් තිබ්බ නිසාත්, මම පොඩ්ඩි එක්ක නුවරටම ගියා..
කොහෙන් ගියත් අන්තිමේ මෙයාව මුණගැහෙනවමයි වගේ. මේ තමා ටිකිරි මැණිකේ. මම ඉතින් ගෙලිඔයෙන් බහින්නේ නැතුව මහනුවරට ආපු නිසා මෙයා එක්ක තමා ගෙදර යන්න උනේ. මේ දවස් වල සෙනග සෑහෙන්න. ඉතින් මම සීට් එකක් අල්ලගන්නම් කියල අනිත් පැත්තට බැස්ස. හැබැයි මෙයා යද්දී නම් විනාඩි 45ක් විතර පරක්කු උනා..
                                       
                                   
        මේ ගමන නම් හොඳයි.. ආපහු ගෙදර ආවේ ටිකක් මහන්සියෙන් උනත්, හිතේ සෑහෙන සැහැල්ලුවෙන්.. අලුත් කිසි දෙයක් නොවුනත්, උඩරට මාර්ගයේ ස්වභාවය තමයි කිසිම දෙයක් දෙපාරක් සිදු නොවීම. ඒ නිසා මේකත් එක්තරා ආකාරයකට අලුත් අත්දැකීමක් තමයි..
මේ ගමන යන්න මට කාල සටහන් හොයාගන්න උදව් වෙච්ච දුම්රිය ස්ථානාධිපති තුමන්ලාටත්, පහලට ආ පොඩි මැණිකේ දුම්රියේ උප නියාමක මහතාටත් ස්තුති කරන්නට මේ අවස්ථාවේදී අමතක කල නොහැකි. ඒ වගේම, අපේ දොස්තර දීපානි අක්කටත්, තූර්ය අයියටත් ගොඩාක් පින්... (පින් ඇරෙන්න මම වෙන මොනවා දෙන්නද ඉතින්..)