Tuesday, January 14, 2014

ජීවමාන පුරාවස්තුවක් සොයා ගියෙමු...

                             
අඟහරුවා සමග වයිස්රෝයි දුම්රිය..
            
        මේ අවුරුද්දේ මුල්ම පෝස්ට් එක.. ඔව්.. මේකත් චාරිකා සටහනක් තමා.. ඒ උනාට නිකම්ම චාරිකාවක් නෙවේ.. මට නම් මේක විශේෂ චාරිකාවක්... මේ පාර ගියේ, මෙන්න මෙයාව බලන්න....

B1A- 251
Sir Thomas Maitland...

           අපේ රටේ පෞරාණික වැදගත්කමකින් යුක්ත අතීතයේ සිහිවටන ගොඩාක් තියනවා.. ඒ අතරින් සමහර දේවල්, අප්‍රාණික දේවල්.. අතීත ප්‍රෞඩත්වයේ කතාව නිහඬව කියාපාමින් නොසැලී ඉන්නවා... ඒ අතරම තවත් දේවල් තියනවා, ඒවා අපේ පහුගිය ශතවර්ෂ වල ක්‍රියාකාරීත්වයන් ප්‍රදර්ශනය කරන ජීවමාන සිහිවටන...
          සියවසකුත් අඩසියවසක එලි පත්තේ සිටින අපේ ශ්‍රී ලාංකේය දුම්රිය සේවය සතුව, මේ දෙවර්ගයෙන්ම සිහිවටන බොහොමයක් තියනවා... උඩරට දුම්රිය මාර්ගය දිගේ කඳුකරය බලා ඇදෙන දුම්රිය මේ බොහොමයක් සිහිවටන තුලින් ගමන් කරනවා... පේරාදෙණිය හන්දිය, නාවෙලපිටිය, නානුඔය දුම්රිය ස්ථාන, අංක 5A දරණ ඉහලකෝට්ටේ බිංගෙය, හැටන් සින්ගිමලේ බිංගෙය ආදිය ඉන් සමහරක්... ඒ වගේම මනස්කාන්ත ඉදල්ගස්හින්න සහ දෙමෝදර පාලම සහ දුම්රිය මාර්ගය ඒ ඉපැරණි ඉංජිනේරු ශිල්පයේ, අසීරු ඉදිකිරීම් බාධක ජය ගැනීම් වල සටහන්...
          ඒ වගේම, දුම්රිය සේවයේ වයසින් අඩකටත් වඩා, ඒ කියන්නේ 1970 දශකය වන තුරුත්, කැළණි මිටියාවත හරහා ගිය පටු දුම්රිය මාර්ගයේ අවසානය තෙක්, දුම්රිය සේවයේ ප්‍රධාන බලසැපයුම් ක්‍රමය උනේ, ගල් අඟුරු වලින් වතුර උණු කොට ලබාගත් වාෂ්ප.. අඩි 44ට එකක් වූ සීඝ්‍ර නැග්ම තරණය කලේ, මාර්ග ඉදිකිරීම් කටයුතු වලදී වැඩ කලේ මේ වාෂ්ප දුම්රිය..
          නමුත්, 1969 වසරේ දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරය හෙබවූ බී. ඩී. රම්පාල මහතා ඒ ධාවන බලය ඩීසල් එන්ජින් වලට දී වාෂ්ප බලය විශ්‍රාම ගැන්වීමට තීරණාත්මක තීරණය ගන්නවා.. ඒ අනුව බටහිර ජර්මනියෙ Henschel AG Kassel සමාගමින් W1 පන්තියේ එන්ජින් 45කුත්,  නැගෙනහිර ජර්මනියේ Lokomotivebau Karl Marx සමාගමින් උඩරට ධාවනය සඳහා W2 පන්තියේ එන්ජින් 15කුත් වශයෙන් එන්ජින් 60ක්ද, පැවති M පන්තියේ එන්ජින් කිහිපය සමග අවම ඩීසල් එන්ජින් 80ක් පමණ සේවයේ යොදවා, අඟුරු කකා කොළඹ ගිය යකඩ යකාට ආයිබෝවන් කියනවා...
          ඒ ඉවත් කිරීම කෙසේවෙතත්, 1970 දශකයේ ඇති වූ ආර්ථික අවපාතය හා ඉන්ධන හිඟය නිසා, වාෂ්ප එන්ජින් නැවත ධාවනයට එකතු වෙනවා.. ඒ, ශ්‍රී ලාංකේය දුම්රිය ඉතිහාසයේ වාෂ්ප බලය ප්‍රධාන මෙහෙයුම් බලය ලෙස ක්‍රියාත්මක වූ අවසාන අවස්ථාව වශයෙන්... එවර ඉවත් කරනලද බොහෝ එන්ජින් රත්මලාන කර්මාන්ත ශාලා භූමියේ යකඩ වලට කැපී යනවා... ලංකාවේ එකම පටු ආමාන ගැරට් එන්ජිම- H1-293, පළමු ගැරට් එන්ජිම- C1- 241 ඒ අතර වනවා..
          නමුත්, එවකට JF Tours සංචාරක ව්‍යාපාරයේ සේවය කල හේමසිරි ප්‍රනාන්දු මහතාගේ හා ක්ලිෆඩ් ජෝන්ස් මහතාගේ උත්සාහය මත, අඟුරු කකා වතුර බිබී දුවන යකඩ යකා නැවතත් පීලි මතට පැමිණෙන්නේ "Viceroy Special" නාමය යටතේයි (වැඩි විස්තර සඳහා මෙතනින් යන්න. ) .. එදා පටන් අද දක්වා එම දුම්රිය 19 වන ශතවර්ෂයේ දුම්රිය ධාවනය නැවත වතාවක් විද්‍යමාන කරමින් ධාවනය වෙනවා...
  
                   
Viceroy Special
          එලෙස ධාවනය වූ බොහෝ අවස්ථා වල කඳුරටට පැමිණි මේ එන්ජිම දැක බලාගන්නට මා වාසනාවන්ත වුවත්, ජායාරූපයක් ගැනීමට හෝ ලං වී දැකබලා ගැනීමට අවකාශයක් සැලසුනේ නැති තරම්.. ඒ නිසා, ඊයේ දින, (2014/ 01/ 13) මේ එන්ජිම රඹුක්කන බලා පැමිණෙන ආරංචිය ලැබූ මා, නැවත 19 වන ශතවර්ෂයට යන ගමන සැලසුම් කළා... මේ ගමනට, මා මිත්‍ර විරාන් සංජීවද එක් වුනා...
          අප මහනුවරින් 10.30ට කොළඹ බලා ඇදෙන අංක 24 දුම්රියෙන් රඹුක්කන බලා පිටත් වුනා.. එම දුම්රිය ධාවනය වූයේ වාෂ්ප බලයට තිත තැබූ W3 පන්තියේ ඩීසල් එන්ජිමකින්! කෙසේ හෝ වෙලාවට විනාඩි 5ක් ප්‍රමාද වී දුම්රිය රඹුක්කනට ලඟා වුනා.. ඒ මොහොතේ සිට ගත වූ හෝරා කිහිපය සැබවින්ම අපට ඒ අතීත ධාවන ක්‍රම හා ඉංජිනේරු ශිල්පය අධ්‍යනය කිරීමට ඉතා හොඳ අවස්ථාවක් උනා...

                                              
අපිව පහලට එක්කන් ආපු W3- 667..
මේ කඩිගමුවේ ඉහලට එන 1007 දුම්රිය එනකල්...

රඹුක්කනදී අපට අශාන් විජේකෝන් මිත්‍රයාත් මුණ ගැහුනා.. මෙම සටහනේ ජයාරූප වලින් කිහිපයක් ගත්තේ ඔහු.. ඒ ගැන ඔහුටත් බොහොම ස්තුතියි! ඇත්තටම මේ ගමන ගැන දැනුවත් කරෙත් එයාම තමා..


251- ආනයනය කල පිලිවෙලින් එන්ජින් අංකය.
B1A- එන්ජිම අයත් වන ධාවන පන්තිය.           
Load A- එන්ජිමට පැටවිය හැකි බර. මෙයට විශේෂ සටහනක් ඇත..

තනි ධාවනයක...
මෙතෙන්දීම මෙයාගේ තාක්ෂණික විස්තර ටිකක් දෙන්න කියලා හිතුවා..
මෙයා ගෙන්නලා තියන්නේ එංගලන්තෙන්. ඒ 1927 පමණ. බේයර් පීකොක් සමාගම විසින්..
මෙයාගේ රෝද සැකැස්ම සම්මත ආකාරයෙන් 4-6-0.
ඒ කියන්නේ 4 Leading Wheels, 6 Driving Wheels, 0 Trailing Wheels.
බොයිලේරු පීඩනය- වර්ග අඟලකට රාත්තල් 160යි..
වරකට ගල් අඟුරු ටොන් 5ක් සහ වතුර ගැලුම් 3300ක් පිරවිය හැකියි..
දිග අඩි 58ක් වෙනවා.. බර ටොන් 52ක් වෙනවා..
ඇක්සලයකින් පීල්ල මතට ටොන් 13ක බරක් යෙදෙනවා..
තාක්ෂණික තොරතුරු අනුග්‍රහය- Railways of Sri Lanka- Dr. David Hyatt.

         එලිය ඔක්කොම බලලා අහවර වෙලා අපි අවසර අරගෙන එන්ජිම ඇතුලට නැග්ගා.. ඒ වෙලාවේ අපිට හිතුනු මුල්ම දේ තමා, ඒ දවස් වල ෆයර්මන් සහ රියදුරු මහතා මොන තරම් කටුක රැකියාවක් කරාද යන්න... ඒ එන්ජිම තුල අධික රස්නයක් පැවති අතර, වර්තමානයේ සියලුම එන්ජින් වල පාහේ ඇති රියදුරු අසුනක් වාෂ්ප එන්ජිමේ නෑ! ඒ කියන්නේ, 18 19 සියවස් වල මෙම දුම්රියයන් නානුඔය ආදී ප්‍රදේශ හරහා ධාවනය වන විට, රියදුරා සිය කාර්යය කලයුතු වූයේ සිටගෙනයි!! ෆයර්මන්ට ඉස්පාසුවක් නොමැතිව ගල් අඟුරු දැමීමට සිදු වූයේ වාෂ්ප පීඩනය නැති වුවහොත් එම දුම්රියට ඉදිරි ගමනක් නොමැති නිසාවෙන්. එම කාලයේ දුෂ්කර ප්‍රදේශ හා කඳුකරය බලා ධාවනය වූ දුම්රියයන්ට ෆයර්මන්වරුන් දෙදෙනෙක් අනුයුක්ත කෙරුනා..... මතක තබාගන්න, එම කාලයේ විනාඩියක ප්‍රමාදයක් වුවත් බරපතල ලෙස සැලකුණා...  
                                         
මේ තියන්නේ ගල් අඟුරු ගෙනියන කොටස. Tender කියල තමා මේකට කියන්නේ.. ඔය ගල් වගේ තියන්නේ ගල් අඟුරු...

මේ තියන්නේ දුම්රිය පාලනය කරන ප්‍රධාන ලීවරය. මෙයට Regulator එහෙමත් නැති නම් Throttle කියා කියනවා..

මේ තියන්නේ Firebox එහෙමත් නැති නම් ගල් අඟුරු දහනය වන තැනට දොරටුව. මෙය විවෘත කලාම දැඩි උණුසුමක් පවතිනවා.. මෙයට සවලකින් ගල් අඟුරු දැමීම සිදු කරනවා..

ධාවනයේදී රියදුරු මහතාට පෙනෙන්නේ මෙපමණයි.. ඉතින් සිතාගන්න... කෙතරම් අසීරු කාර්යයක්ද කියා මෙය...

          එන්ජිමේ ඇතුල බලා අවසාන වූ පසු අප සෙයාරූ කිහිපයක් ගැනීමට චැසිය මතට නැග්ගා.. ඒ සියල්ලට අවසර ලබා දීමට කාරුණික වීම ගැන කාර්ය මණ්ඩලයට ස්තුති කරන්න ඕනේ..
                       
ඔන්න මම තුමා චැසිය උඩ.. බලන්නකෝ චැසිය උඩ හිටගත්තත් මෙයා මට වඩා උසයි...

ඉපැරණි මතකයන් බලාගැනීමට රැස්ව සිටියේ අප පමණක් නොවේ.. තවත් බොහෝ පිරිසක් එක්ව සිටියා.. මෙම සේයාරුව එයින් කෙනෙක් ගත් එකක්.. මෙහි පිලිවෙලින් විරාන් සංජීව, මමතුමා, අශාන් විජේකෝන් සිටිනවා..

         එන්ජිම පැත්තේ වැඩ වලින් ටිකකට ඈත් වී, වයිස්රෝයි සෙට් එක බැලීමට යාමටත් අප ඉඩසලසාගත්තා.. ඒ, එම මැදිරි භාරව ආ මහතාගේ කාරුණික අවසරයෙන්..
   
නැරඹුම් මැදිරිය ඇතුලත.. පෞරාණික බව රැකෙන සේ නවීන පහසුකම් වලින් සම්පූර්ණ කොට නැවත සකසන ලද මැදිරියකි..

බ්‍රිතාන්‍ය යුගයේ ධාවනය වූ පළමු පන්තියේ භෝජන මැදිරියක ආකෘතියට මෙම මැදිරිය නිමවා ඇත..

මේ තියන්නේ ජෙනරේටර් එකක්... මේ මැදිරි ආනයනය කලේ මහජන චීන සමූහාණ්ඩුවෙන් 1961 වසරේදී.. එම මැදිරි වර්තමාන චීන මැදිරි වලට වඩා තත්වයෙන් බොහෝ උසස් බව කිවයුතුමයි.. ඒ නමුත්, එකල මැදිරි සඳහා දුම්රිය එන්ජිමෙන් විදුලි බලය සැපයීමක් සිදු වූයේ නෑ.. ඒ සඳහා, මැදිරියේ ඇක්සලයක් සමග පටි ඈදුමකින් සම්බන්ධ වූ මේ ආකාර ජෙනරේටරයක් පැවතියා.. එයටත් ඉස්සර 1800 සියවසේ දුම්රිය එලිය වූයේ තෙල් ලාම්පු වලින්!!

          අප දුම්රිය නරඹා පිටත් වූයේ තවත් එක් අතීතයට සින්න වී ගිය සිහිවටනයක් ලෙස ඉතිරි වී ඇති පුරාවස්තුවක් වන රඹුක්කන හැරවුම් මේසය දැක බලාගැනීමටයි.. එසේ පැමිණෙන විට, දුම්රිය එන්ජිමේ ඇක්සල් පෙට්ටි වලට ග්‍රීස් දමන ආකාරය අප දුටුවා.. ඒ ඇක්සල් පෙට්ටි වලට ග්‍රීස් සපයන කොටසක් මගේ කැමරා කාචයට මෙලෙස හසු වුනා...

ඇක්සල් පෙට්ටි ස්නේහනය කිරීම...

        එයත් දැකබලාගෙන, එතනදීත් වාෂ්ප දුම්රියේ ක්‍රියාකාරීත්වයේ විස්තර ලබාගෙන හැරවුම් මේසය බලා පිටත් වුනා..

රඹුක්කන හැරවුම් මේසයේ නටඹුන්..

        මේ අතර, මෙයට වසර 12 කට පෙර මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රඝාමි දුම්රිය රඹුක්කනට ආසන්න ස්ථානයකදී තිරිංග ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පීලි පැන අසල වෙල්යායකට පෙරළෙනවා.. ඒ අනතුර සුනාමි ඛේදවාචකයට පෙර ලක්දිව සිදු වූ බිහිසුනුම දුම්රිය අනතුරු වල ගොන්නට එකතු වන්නේ බොහෝ දෙනෙකුට මරණීය තුවාල සහ කිහිප දෙනෙකුට මරණය කැඳවමින්... එම දුම්රියේ එන්ජිම (M6- 788) පීලි මත තිබූ අතර, මැදිරි සියල්ල පීලි පැන තිබුනා.. එම මැදිරි මේ වනවිටත් එම ස්ථානයේ ඇති අතර, ඒවාද අපේ අවධානයට ලක් උනා..

රඹුක්කනදී වෙල් යායකින් ගමන අවසන් කල නගරාන්තර දුම්රිය..

     මේ අයුරින් අප චාරිකාව නිමා කොට දහවල් ආහාරය පිණිස යමක් ලබාගැනීමට දුම්රිය ස්ථානයේ භෝජනාගාරය බලා පිටත් වුනා.. ආහාර ගෙන සිටින අතරතුර හිතට ආ අදහසක් මා ක්‍රියාත්මක කලේ, නැවත මෙය දැකගැනීමට හැකි වේදෝයි දෙගිඩියාවක් හිතේ කොනක තිබූ නිසාමයි...


රෝද සහ බලසම්ප්‍රේෂණ පද්ධතිය...

        ඉතින් මේ අතිසාර්ථක, ඉතාම සතුටුදායක ගමනින් පස්සේ, අපි ටිකිරි මැණිකේ දුම්රියෙන්  ගෙදර බලා පිටත් වුනා.. එම දුම්රියට යොදා තිබුනෙත් W3 පන්තියේ එන්ජිමක්.. එනම්, වාෂ්ප දුම්රියට තිත තැබූ W1 පන්තියට නැවත එන්ජින් සවිකොට නවීකරණය කරන ලද එන්ජිමක්... එදා එම දුම්රියෙන් ගෙදර යද්දී, බිංග තුලින් ඉදිරියට ඇදෙද්දී, 1800 ගණන් වල වාෂ්ප එන්ජින් එම දුර්ග මාර්ගය කෙසේ නම් තරණය කරන්නට ඇත්දැයි කිහිප තැනකදීම මට සිතුනා....

ටිකිරි මැණිකේ සමග W3- 638 කඳු රටට යාමට සැරසෙමින්..


      මෙම දුම්රියට ප්‍රමාදය නිසා ලැබෙන ගැරහුම් බොහෝ වුවත්, ඊයේ නම් වෙලාවටත් කලින් මහනුවරට ලඟා විය... අපට තිරිංග මැදිරියේ ගමන් කිරීමටද ලැබුණු අතර, ගෙදර යන විට නම් මහා වැස්සකට කොටු වෙන්න සිදු වූයේ අප දෙදෙනාටමය.... එය එසේ උවත්, අප සතුටින් ගමන අවසන් කලේ, නැවත වතාවක් මෙයාව උඩරට දී දැක ගැනීමේ බලාපොරොත්තුව සිත තබාගෙන.....

      

Tuesday, December 31, 2013

ආ මග දෙස හැරී බැලීම- 2013..

       තවත් අවුරුද්දක් අවසානෙට ඇවිල්ලා.. ඒ කියන්නේ අපි හැමෝම තව අවුරුද්දකින්, දවස් 365කින්, වයසට ගිහින්..  ජනවාරි පළවෙනිදා අලුත්ම කියල ගත්ත සමහර දේවල් අන්තිම පරණ වෙලා අවලංගු කාසි වගේ වෙලා ගිහින්..
                                                                    
                                          ගිය අවුරුද්දේ මගේ පැත්තෙන් ගත්තහම නම් පලවෙනි සති දෙක විතරයි වගේ හොඳට ගියේ.. ඊට පස්සේ නම් මෙලෝ රහක් නැති උනා අන්තිම සති දෙක ඇරෙන්න. ට්‍රිප් ටිකක් නම් සෙට් උනා තමා.. ඒ උනාට ඉතින් ජීවිතේ කියන්නේ ට්‍රිප්ම නෙවේනේ.. (අනේ එහෙම වෙනවා නම් කොච්චර එකක්ද....)
     කරපු කරපු වැඩේ කෙලවුනා.. හරි ගිය එවලත් මොකක් හරි හුට්ටප්පරයක් තිබ්බ. එක්කෝ හරි ගියත් හරි ගියේ තව එකක් කෙලවාගෙන. අනේ මන්දා මම ජනවාරි පළවෙනිදා ඇඳෙන් නැගිට්ට නැකත වැරදිද මන්ද..
    නැකත් ගැන කියද්දී මේකත් මතක් උනා.. අර ඉවාන් පවුලුෂා අයියත් කිව්වා වගේ, පෙළක් කස්ටිය දැන්ම ඉඳන්ම දත කට මැදගෙන ඉන්නවා දුවන්න නැකත් හඳහන් බලාගන්න. අද මම මාලිගාවට ගිහින් ආපු ට්‍රේන් එකටත් එකෙක් ඇවිල්ල කෑගගහ ලිත් විකුනනවා.. ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ඇත්ත කියල මමත් විස්වාස කරනවා ඒ උනාට දැන් තියන සෑස්තරේ නම් පට්ට පල් බොරුවක් කියල තමා මට නම් කියන්න තියන්නේ. ඒක බොරුවක් කරගෙන තියන්නේ..
     හරි හරි එවලින් කමක් නෑ.. ගිය අවුරුද්දේ තරමට රිවීව් එක දිග නැති උනත්, මේ අවුරුද්ද නම් මට එච්චර සුභ නෑ.. කොච්චර අසුභාද කියනවා නම් ඊයේ මට මගේ කාමරෙනුත් එලියට යන්න උනා.. මේ ටික ටයිප් කරන්නෙත් සාලේ කොනකට වෙලා ලැප් එක දිගෑරගෙන.. අද හවස පන්සලේ බෝධි පූජාවකට ගියා. ඒ වෙලාවේ කරන්ට් එක නැති වෙලා බෝධි පූජාව විකාරයක් උනා.. ඒකත් කෙලවුනා..
     බ්ලොග් පැත්තෙන් බැලුවොත්, අපේ පොඩ්ඩි අක්කා විවාහ උනා, මමත් බ්ලොග් යාළුවො ගොඩාක් අඳුරගත්ත, සමහර අය මූණටම හම්බුනා.. ඒ වගේම මම කලින් පොස්ට් එකේ සඳහන් කල විදියට බීච් පාටි එකටත් ගියා.. ඒ කිව්වේ මගේ පලවෙනි බ්ලොග් ගෙට්ටුව... 
     මේ අවුරුද්ද ගැන ආපහු මතක් කරද්දී මට මතක් වෙන්නේ 2003 අවුරුද්දත් මේ වගේම නේද කියල. මේ වගේම නැති උනත් මීට බොහෝ සමානයි වගේ... හැබැයි, 2003 ඉවරල 2004දි තමා මම හිතන විදියට ජීවිතේ හොඳම අවුරුදු වලින් එකක් ගත කලේ.. බලමු, මේ 2014ත් 2004 වගේ වේවිද, එහෙම නැත්තම්, අලුත්ම විදියකින් ගෙවිල යයිද කියල...
    කොහොම නමුත්, අවසාන වශයෙන් මේ අවුරුද්ද ගැන මට කියන්න තියන්නෙත් මෙච්චර තමා.. මේ මගේ මූනුපොතේ යාලුවෙක් දාපු ස්ටේටස් අප්ඩේට් එකක්..
"Dear 2013,
You have given me more than enough. Only 8 more days left. Shut your f%&@ing mouth & please go. Thanks for coming and please don't come back again. F&%$ You!
"

  කොහොම උනත්, ගිය දේ ගිය නිසාත්, හෙට අලුත් වසරක් නිසාත්, ඒ උදාවෙන නව වසර, බ්ලොග් කියවන ලියන, ඔබ සෑම සියලු දෙනාටම අඟහරු වැසියන් වෙනුවෙන් මම මෙහෙම ආසිරි පතන්නම්!
සාමය සතුට සපිරි,
සෞභාග්‍යමත්,

සතුට පිරුනු,
සුභ නව වසරක් වේවා....!
                                     




Wednesday, December 25, 2013

ජීවිතයේ ගෙවී ගිය සොඳුරුතම හොරා කිහිපයක ආවර්ජනය...



මේ වසරේ සුහඳ හමුව වෙනුවෙන් නිර්මාණය වූ ලෝගෝව..

         අතත්‍ය සයිබර් අවකාශයේ අකුරු කරන සිය ගානක් වූ මිනිසුන් මොනිටර් වලින් සහ යතුරුපුවරු වලින් ඔවුනොවුන් හඳුනාගෙන කතා බහ කරගැනීම බොහෝ කලක පටන් සිදු විය.. නමුත් ඒ සම්බන්දතා තත්‍ය ලෝකයට ගෙන ආ විට එය සුන්දර දවසක කතාවක් ලෙස සිතේ නොමැකෙන සටහනක් තබයි.. ඒ බව දත් පැරණි බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එකතු වී සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවක් වාර්ෂිකව සංවිධානය කළහ.. වසරින් වසර පැවත ආ ඒ සුහඳ හමුව මෙවර ගල්කිස්ස ජෝ ජෝ’ස් ප්ලේස් හිදී වෙරල අද්දර සාදයක් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු ලහි ලහියේ සූදානම් විය..
සීතල උඳුවප් මහේ 21 වෙනි සෙනසුරාදා දිනය ලෙස තීන්දු විය.. පිලිගැනීමේ ලිපි බෙදා හැරුණි..

     
කිව්ව විදියටම සොඳුරු සාදයක් උනා.. ඇත්තෙන්ම මම ගිය සුන්දරම එක..



             මෙවර හමුවට බොහෝ කලකට පෙරම නලීන් දිල්රුක්ෂ මහතා මට ආරාධනා කර තිබුණු අතර, ගල්කිස්සේ කියූ බැවින් සිත වෙව්ලමින් පැවතුනි... නමුත්, මුහුණු පොතේ හමු වූ ලබැඳි මිතුරන් බොහෝ දෙනෙකුත් සහභාගී වන බවට පැවසු නිසා, ඕනේ ඇටි කෙහෙලක් කියා මමද ගමන ස්ථිර කලෙමි..
මගේ සාමාජික අංකය ලෙස 118 ස්ථිර විය.. පිළිගැනීමේ ඊය මද පමාවකින් පසු ලැබුණි.. ඉතින් මේ ලෙස, ජීවිතයේ මා සහභාගී වූ හොඳම සාදයට යාමට මග පෑදුනි...
                         
මාතර දුම්රියෙන් ගල්කිස්ස බලා...
                                   
ඔන්න පෝට් එක.. ඔය එන්නේ ගාලු කුමාරි..


             මේ ලෙසින් මට ආරාධනාව පැමිණි අතර, උදේ පාන්දර මාතර දුම්රියෙන් යාමට යෙහෙලියක් සහ යහළුවන් දෙදෙනෙක් එන බව කියූහ. නමුත් අවසානයේ ඔවුන් කොළඹ බලා කලින් ගිය අතර, මා තනිවම උදේ 5.20 දුම්රියේ පා පුවරුවක් අල්ලාගෙන ගල්කිස්ස බලා ගියෙමි... කොළඹදී කෙරෙන එන්ජින් මාරු වීම් ආදියෙන් අනතුරුව 9 ට දහයක් පමණ තියා ගල්කිස්සට ලඟා වීමි..
නලීන් අයියාට කෝල් එකක් දුන් විට කිව්වේ, “ආ ඔහොම්මම රේල් පාර දිගේ ආපහු එන්න. එතකොට තැන හම්බ වෙයි..” ඉතින් මමත් එහෙම්මම රේල් පාරට බැස ආපහු ගියෙමි.. ඇතුලට යනකොටම උණුසුම් පිළිගැනීමක් නලීන් අයියාගෙන් හා තවත් කිහිපදෙනෙකුගෙන් ලැබුණු අතර, ප්‍රවේශ පත්‍රයද ගෙන ඇතුලට ගොස් කොට කලිසමක් දමා ආවෙමි..

                                        
මා පිළිගත් නලීන් අයියා..
                                    
ප්‍රවේශ පත් නිකුත් කරන මුදියා ඇතුළු පිරිස..

                
ප්‍රවේශ පත්‍රය.. මේකේ කොටසක් කෑවා නේ කස්ටිය..
              එද්දීම දැල් ඇදීමක් සෙට් උන අතර, ඒ වැඩ ඉවර වන විට බෝල ගැසීමට සෙට් විය.. ඒ මේ කටයුතු ඉවර වන විට නලීන් අයියා විසින් අප අමතා කණ්ඩායම් ගත කළේය.. එහි නරි, කුකුලන්, පූසන්, බල්ලන් හා එළුවන් විය. මා නරියෙක් කල පසු අපිට නයි නැටි අල්ලන්න කීවේය.. එම තරඟය අනුශූරයන් ලෙස නිම කල පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කළහ.. 
                                     
රජා ඇතුළු අප දැල් අදිමින්..
                                 

නලීන් අයියා වැඩ පටන් ගැනීම..

රජා, සුදීක අයියා, ඇතුළු කණ්ඩායම් නායකයින් පිරිස..
දෑස් බැඳ කණ්ඩායම් ගත කිරීම...
අපිට සෙල්ලම් කරන්න දුන්නේ සිමෙන්ති බෝලයක්!!

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට රැස් වෙමින්..
   
අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි...
                                             

            එහිදී නම් ඉතා විනෝදජනක සිදු වීම් කිහිපයක්ම වූ අතර, මයික් ගැලවී වැටීම, මඩ ප්‍රහාර එල්ල වීම ආදී නොයෙක් දෑ අවසානයේ සියල්ලන් දැන හඳුනාගතිමු..
එයින් පසුව එළඹියේ දෙවැනි ක්‍රීඩාව සඳහා වෙලාවයි.. එය නම් රිලේ එකකි. දිවගොස් කණුවක් අල්ලාගෙන වට පහක් කැරකී ආපසු විත් ඊළඟ පොරට පහක් දිය යුතුය. මෙය ඉතාම විනෝදජනක වූ අතර, සමහරක් කැරකිල්ල වැඩි වී රෝල් වීමද සිදු වූ අතර, තවත් සමහරක් තව පොඩ්ඩෙන් මාලදිවයිනටම යන්නේය.. ඒක නම් අපි දිනුවෙමු.. ලෙසටම ගේම ගියේය..

      
තරඟ අතරතුර විවේකයක්...

               එය ඉවර වන විට ඇසුනේ කන් පිනා යන අනවුන්ස්මන්ට් එකකි.. එනම් කෑම රේඩි කියාය.. පහල ඉඩ නැත්තම් උඩට යන්න කීවත් අපි කෙලින්ම උඩට ගියෙමු. එතනදී තුන් හතර දෙනෙක්ම සෙට් විය. කෑමෙන් පසුව මඩ සහ මතක සටහන් සඳහා ෆොටෝ එකතු කිරීම ඇරඹුණු අතර, කෑම වැඩි වූ අය නෑමටත් නැටීමටත් පටන් ගත්හ..
                
ජර්මනියේ සිට කඩා පාත් වූ වෙනී අයියා.. :D

                                          
කෑම එකත් ලෙසටම තිබ්බා.. මේ කස්ටිය කෑම කන ගමන් චැට් එකක්.. ඔය දිගෑරල තියන එක මම තුමාගේ..

                                   
මතක සටහන්...
 

කාල ඉවරල ගත්තුවා..

                                                                                                   
ඔය ඉන්නේ සෙට් එකම..
                                            
                                                        

නෙරන්ජි අක්කා..
                                                                     
                                             

මෙතන වෙච්ච විහිලුව නිසා එක්කෙනෙක්ගේ ඇත්ත එලි උනාලු :D

                                                    
          

මෙයාගේ ෆෝන් එක තව පොඩ්ඩෙන් මගේ අතින් අභාවප්‍රාප්ත වෙනවා..

                                                                                            
මේ තව සෙට් එකක්..
                                                                                   
බ්ලොග් කාරියෝ සෙට් එක... ආ එක්කෙනෙක්ගේ අක්ක කෙනෙකුත් ඉන්නවා..
                                                                                     
වොලී බෝල ප්‍රහාරයක් එල්ල වන අවස්තාවකදී ගත් සේයාරුවකි..

කාපුවා බහින්නත් එක්ක නටන්න සෙට් වෙච්ච අය..

මේ අයේෂා අක්කා.. මෙයාට හොඳ නමකුත් කිව්වා ඒ උනාට මෙතන දාන එක හරි නෑ වගේ... :D
               ඔය ඔක්කොම සෙල්ලම් අස්සේ වෙනදා ගෙට්ටු එහෙම තිබ්බම මඩ ලොරි පිටින් අරන් එන රජාගේ කැමරාව සහ රාජකීය ෆෝන් කට්ට අභාවප්‍රාප්ත උනා කියල තමා අඟහරු පැත්තේ ආරංචිය ආවේ.. ඒක නිසාද මන්ද දවස පුරාවට රජා නිකම් දාහට අරන් දහයට දුන්නා වගේ හිටියේ..
මේකේ හම්බවෙච්ච යාළුවො යෙහෙළියෝ හැමෝම වගේ මගේ පලවෙනි ගෙට්ටුව උනත් කිසි වෙනසක් නොදක්වා කතා කරලා හිනා වෙලා විනෝද උනා.. එදා එන්න බැරි වෙච්ච අය ගැන නම් ඇත්තෙන්ම දුකයි.. මම බලන් හිටියා හිරු අක්කවයි මාරයා අයියවයි අඳුරගන්න.. බලමුකෝ අවුරුදු උත්සවේ වත්... ඔය ආපු හැම කෙනෙක්ගෙම නම් මට මතක තිබුනෙත් නෑ.. වෙලාවට මෙන්න මෙතන ඔය ඔක්කොලා ගැනම හොඳ පොස්ට් එකක් තියනවා..
ඔන්න මම ගෙදර ආපු කෝච්චිය- සෙන්කඩගල මැණිකේ- වේදිකාවට එන ගමන්... ඔය ප්ලැට්ෆෝම් එකේ පොර කාපු උන් ඇතුලට නගිනකොට මම මොලේ පාවිච්චි කරලා අනිත් පැත්තට බැහැල නැගල සීට් එකක ඉඳගෙනත් ඉවරයි...
       මේ සියලු විස්තර සහිත වීඩියෝවක් අපේ චන්දන ලියන ආරච්චි මහතා විසින් සාදා යූ ටියුබ් අඩවිය වෙත එක් කිරීමට පියවර ගෙන තිබුණි... එය බැලීම සඳහා මෙතනින් යන්න.. 
          එසේ මෙසේ සියලු ෆන් සහිත හොරා 6ක් අවසානයේ දුකින් උවත් මා හට සෙන්කඩගල මැණිකේ ඇල්ලීමට එතනින් සමු ගැනීමට සිදු විය.. සියල්ලන්ටම වගේ කියා, සෙයාරූ කිහිපයක්ද රැගෙන ආපසු රාත්‍රී 8.30 පමණ වන විට නිවසට පැමිණියෙමි..
ඒ... නැවතත් ඒ සොඳුරු මිනිසුන් හමු වීමේ දැඩි අපේක්ෂාවෙනි....

ඔන්න ඔහේ මමත් එකක් කියල ගත්තා..