Tuesday, December 31, 2013

ආ මග දෙස හැරී බැලීම- 2013..

       තවත් අවුරුද්දක් අවසානෙට ඇවිල්ලා.. ඒ කියන්නේ අපි හැමෝම තව අවුරුද්දකින්, දවස් 365කින්, වයසට ගිහින්..  ජනවාරි පළවෙනිදා අලුත්ම කියල ගත්ත සමහර දේවල් අන්තිම පරණ වෙලා අවලංගු කාසි වගේ වෙලා ගිහින්..
                                                                    
                                          ගිය අවුරුද්දේ මගේ පැත්තෙන් ගත්තහම නම් පලවෙනි සති දෙක විතරයි වගේ හොඳට ගියේ.. ඊට පස්සේ නම් මෙලෝ රහක් නැති උනා අන්තිම සති දෙක ඇරෙන්න. ට්‍රිප් ටිකක් නම් සෙට් උනා තමා.. ඒ උනාට ඉතින් ජීවිතේ කියන්නේ ට්‍රිප්ම නෙවේනේ.. (අනේ එහෙම වෙනවා නම් කොච්චර එකක්ද....)
     කරපු කරපු වැඩේ කෙලවුනා.. හරි ගිය එවලත් මොකක් හරි හුට්ටප්පරයක් තිබ්බ. එක්කෝ හරි ගියත් හරි ගියේ තව එකක් කෙලවාගෙන. අනේ මන්දා මම ජනවාරි පළවෙනිදා ඇඳෙන් නැගිට්ට නැකත වැරදිද මන්ද..
    නැකත් ගැන කියද්දී මේකත් මතක් උනා.. අර ඉවාන් පවුලුෂා අයියත් කිව්වා වගේ, පෙළක් කස්ටිය දැන්ම ඉඳන්ම දත කට මැදගෙන ඉන්නවා දුවන්න නැකත් හඳහන් බලාගන්න. අද මම මාලිගාවට ගිහින් ආපු ට්‍රේන් එකටත් එකෙක් ඇවිල්ල කෑගගහ ලිත් විකුනනවා.. ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ඇත්ත කියල මමත් විස්වාස කරනවා ඒ උනාට දැන් තියන සෑස්තරේ නම් පට්ට පල් බොරුවක් කියල තමා මට නම් කියන්න තියන්නේ. ඒක බොරුවක් කරගෙන තියන්නේ..
     හරි හරි එවලින් කමක් නෑ.. ගිය අවුරුද්දේ තරමට රිවීව් එක දිග නැති උනත්, මේ අවුරුද්ද නම් මට එච්චර සුභ නෑ.. කොච්චර අසුභාද කියනවා නම් ඊයේ මට මගේ කාමරෙනුත් එලියට යන්න උනා.. මේ ටික ටයිප් කරන්නෙත් සාලේ කොනකට වෙලා ලැප් එක දිගෑරගෙන.. අද හවස පන්සලේ බෝධි පූජාවකට ගියා. ඒ වෙලාවේ කරන්ට් එක නැති වෙලා බෝධි පූජාව විකාරයක් උනා.. ඒකත් කෙලවුනා..
     බ්ලොග් පැත්තෙන් බැලුවොත්, අපේ පොඩ්ඩි අක්කා විවාහ උනා, මමත් බ්ලොග් යාළුවො ගොඩාක් අඳුරගත්ත, සමහර අය මූණටම හම්බුනා.. ඒ වගේම මම කලින් පොස්ට් එකේ සඳහන් කල විදියට බීච් පාටි එකටත් ගියා.. ඒ කිව්වේ මගේ පලවෙනි බ්ලොග් ගෙට්ටුව... 
     මේ අවුරුද්ද ගැන ආපහු මතක් කරද්දී මට මතක් වෙන්නේ 2003 අවුරුද්දත් මේ වගේම නේද කියල. මේ වගේම නැති උනත් මීට බොහෝ සමානයි වගේ... හැබැයි, 2003 ඉවරල 2004දි තමා මම හිතන විදියට ජීවිතේ හොඳම අවුරුදු වලින් එකක් ගත කලේ.. බලමු, මේ 2014ත් 2004 වගේ වේවිද, එහෙම නැත්තම්, අලුත්ම විදියකින් ගෙවිල යයිද කියල...
    කොහොම නමුත්, අවසාන වශයෙන් මේ අවුරුද්ද ගැන මට කියන්න තියන්නෙත් මෙච්චර තමා.. මේ මගේ මූනුපොතේ යාලුවෙක් දාපු ස්ටේටස් අප්ඩේට් එකක්..
"Dear 2013,
You have given me more than enough. Only 8 more days left. Shut your f%&@ing mouth & please go. Thanks for coming and please don't come back again. F&%$ You!
"

  කොහොම උනත්, ගිය දේ ගිය නිසාත්, හෙට අලුත් වසරක් නිසාත්, ඒ උදාවෙන නව වසර, බ්ලොග් කියවන ලියන, ඔබ සෑම සියලු දෙනාටම අඟහරු වැසියන් වෙනුවෙන් මම මෙහෙම ආසිරි පතන්නම්!
සාමය සතුට සපිරි,
සෞභාග්‍යමත්,

සතුට පිරුනු,
සුභ නව වසරක් වේවා....!
                                     




Wednesday, December 25, 2013

ජීවිතයේ ගෙවී ගිය සොඳුරුතම හොරා කිහිපයක ආවර්ජනය...



මේ වසරේ සුහඳ හමුව වෙනුවෙන් නිර්මාණය වූ ලෝගෝව..

         අතත්‍ය සයිබර් අවකාශයේ අකුරු කරන සිය ගානක් වූ මිනිසුන් මොනිටර් වලින් සහ යතුරුපුවරු වලින් ඔවුනොවුන් හඳුනාගෙන කතා බහ කරගැනීම බොහෝ කලක පටන් සිදු විය.. නමුත් ඒ සම්බන්දතා තත්‍ය ලෝකයට ගෙන ආ විට එය සුන්දර දවසක කතාවක් ලෙස සිතේ නොමැකෙන සටහනක් තබයි.. ඒ බව දත් පැරණි බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් එකතු වී සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවක් වාර්ෂිකව සංවිධානය කළහ.. වසරින් වසර පැවත ආ ඒ සුහඳ හමුව මෙවර ගල්කිස්ස ජෝ ජෝ’ස් ප්ලේස් හිදී වෙරල අද්දර සාදයක් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු ලහි ලහියේ සූදානම් විය..
සීතල උඳුවප් මහේ 21 වෙනි සෙනසුරාදා දිනය ලෙස තීන්දු විය.. පිලිගැනීමේ ලිපි බෙදා හැරුණි..

     
කිව්ව විදියටම සොඳුරු සාදයක් උනා.. ඇත්තෙන්ම මම ගිය සුන්දරම එක..



             මෙවර හමුවට බොහෝ කලකට පෙරම නලීන් දිල්රුක්ෂ මහතා මට ආරාධනා කර තිබුණු අතර, ගල්කිස්සේ කියූ බැවින් සිත වෙව්ලමින් පැවතුනි... නමුත්, මුහුණු පොතේ හමු වූ ලබැඳි මිතුරන් බොහෝ දෙනෙකුත් සහභාගී වන බවට පැවසු නිසා, ඕනේ ඇටි කෙහෙලක් කියා මමද ගමන ස්ථිර කලෙමි..
මගේ සාමාජික අංකය ලෙස 118 ස්ථිර විය.. පිළිගැනීමේ ඊය මද පමාවකින් පසු ලැබුණි.. ඉතින් මේ ලෙස, ජීවිතයේ මා සහභාගී වූ හොඳම සාදයට යාමට මග පෑදුනි...
                         
මාතර දුම්රියෙන් ගල්කිස්ස බලා...
                                   
ඔන්න පෝට් එක.. ඔය එන්නේ ගාලු කුමාරි..


             මේ ලෙසින් මට ආරාධනාව පැමිණි අතර, උදේ පාන්දර මාතර දුම්රියෙන් යාමට යෙහෙලියක් සහ යහළුවන් දෙදෙනෙක් එන බව කියූහ. නමුත් අවසානයේ ඔවුන් කොළඹ බලා කලින් ගිය අතර, මා තනිවම උදේ 5.20 දුම්රියේ පා පුවරුවක් අල්ලාගෙන ගල්කිස්ස බලා ගියෙමි... කොළඹදී කෙරෙන එන්ජින් මාරු වීම් ආදියෙන් අනතුරුව 9 ට දහයක් පමණ තියා ගල්කිස්සට ලඟා වීමි..
නලීන් අයියාට කෝල් එකක් දුන් විට කිව්වේ, “ආ ඔහොම්මම රේල් පාර දිගේ ආපහු එන්න. එතකොට තැන හම්බ වෙයි..” ඉතින් මමත් එහෙම්මම රේල් පාරට බැස ආපහු ගියෙමි.. ඇතුලට යනකොටම උණුසුම් පිළිගැනීමක් නලීන් අයියාගෙන් හා තවත් කිහිපදෙනෙකුගෙන් ලැබුණු අතර, ප්‍රවේශ පත්‍රයද ගෙන ඇතුලට ගොස් කොට කලිසමක් දමා ආවෙමි..

                                        
මා පිළිගත් නලීන් අයියා..
                                    
ප්‍රවේශ පත් නිකුත් කරන මුදියා ඇතුළු පිරිස..

                
ප්‍රවේශ පත්‍රය.. මේකේ කොටසක් කෑවා නේ කස්ටිය..
              එද්දීම දැල් ඇදීමක් සෙට් උන අතර, ඒ වැඩ ඉවර වන විට බෝල ගැසීමට සෙට් විය.. ඒ මේ කටයුතු ඉවර වන විට නලීන් අයියා විසින් අප අමතා කණ්ඩායම් ගත කළේය.. එහි නරි, කුකුලන්, පූසන්, බල්ලන් හා එළුවන් විය. මා නරියෙක් කල පසු අපිට නයි නැටි අල්ලන්න කීවේය.. එම තරඟය අනුශූරයන් ලෙස නිම කල පසු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කළහ.. 
                                     
රජා ඇතුළු අප දැල් අදිමින්..
                                 

නලීන් අයියා වැඩ පටන් ගැනීම..

රජා, සුදීක අයියා, ඇතුළු කණ්ඩායම් නායකයින් පිරිස..
දෑස් බැඳ කණ්ඩායම් ගත කිරීම...
අපිට සෙල්ලම් කරන්න දුන්නේ සිමෙන්ති බෝලයක්!!

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට රැස් වෙමින්..
   
අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි...
                                             

            එහිදී නම් ඉතා විනෝදජනක සිදු වීම් කිහිපයක්ම වූ අතර, මයික් ගැලවී වැටීම, මඩ ප්‍රහාර එල්ල වීම ආදී නොයෙක් දෑ අවසානයේ සියල්ලන් දැන හඳුනාගතිමු..
එයින් පසුව එළඹියේ දෙවැනි ක්‍රීඩාව සඳහා වෙලාවයි.. එය නම් රිලේ එකකි. දිවගොස් කණුවක් අල්ලාගෙන වට පහක් කැරකී ආපසු විත් ඊළඟ පොරට පහක් දිය යුතුය. මෙය ඉතාම විනෝදජනක වූ අතර, සමහරක් කැරකිල්ල වැඩි වී රෝල් වීමද සිදු වූ අතර, තවත් සමහරක් තව පොඩ්ඩෙන් මාලදිවයිනටම යන්නේය.. ඒක නම් අපි දිනුවෙමු.. ලෙසටම ගේම ගියේය..

      
තරඟ අතරතුර විවේකයක්...

               එය ඉවර වන විට ඇසුනේ කන් පිනා යන අනවුන්ස්මන්ට් එකකි.. එනම් කෑම රේඩි කියාය.. පහල ඉඩ නැත්තම් උඩට යන්න කීවත් අපි කෙලින්ම උඩට ගියෙමු. එතනදී තුන් හතර දෙනෙක්ම සෙට් විය. කෑමෙන් පසුව මඩ සහ මතක සටහන් සඳහා ෆොටෝ එකතු කිරීම ඇරඹුණු අතර, කෑම වැඩි වූ අය නෑමටත් නැටීමටත් පටන් ගත්හ..
                
ජර්මනියේ සිට කඩා පාත් වූ වෙනී අයියා.. :D

                                          
කෑම එකත් ලෙසටම තිබ්බා.. මේ කස්ටිය කෑම කන ගමන් චැට් එකක්.. ඔය දිගෑරල තියන එක මම තුමාගේ..

                                   
මතක සටහන්...
 

කාල ඉවරල ගත්තුවා..

                                                                                                   
ඔය ඉන්නේ සෙට් එකම..
                                            
                                                        

නෙරන්ජි අක්කා..
                                                                     
                                             

මෙතන වෙච්ච විහිලුව නිසා එක්කෙනෙක්ගේ ඇත්ත එලි උනාලු :D

                                                    
          

මෙයාගේ ෆෝන් එක තව පොඩ්ඩෙන් මගේ අතින් අභාවප්‍රාප්ත වෙනවා..

                                                                                            
මේ තව සෙට් එකක්..
                                                                                   
බ්ලොග් කාරියෝ සෙට් එක... ආ එක්කෙනෙක්ගේ අක්ක කෙනෙකුත් ඉන්නවා..
                                                                                     
වොලී බෝල ප්‍රහාරයක් එල්ල වන අවස්තාවකදී ගත් සේයාරුවකි..

කාපුවා බහින්නත් එක්ක නටන්න සෙට් වෙච්ච අය..

මේ අයේෂා අක්කා.. මෙයාට හොඳ නමකුත් කිව්වා ඒ උනාට මෙතන දාන එක හරි නෑ වගේ... :D
               ඔය ඔක්කොම සෙල්ලම් අස්සේ වෙනදා ගෙට්ටු එහෙම තිබ්බම මඩ ලොරි පිටින් අරන් එන රජාගේ කැමරාව සහ රාජකීය ෆෝන් කට්ට අභාවප්‍රාප්ත උනා කියල තමා අඟහරු පැත්තේ ආරංචිය ආවේ.. ඒක නිසාද මන්ද දවස පුරාවට රජා නිකම් දාහට අරන් දහයට දුන්නා වගේ හිටියේ..
මේකේ හම්බවෙච්ච යාළුවො යෙහෙළියෝ හැමෝම වගේ මගේ පලවෙනි ගෙට්ටුව උනත් කිසි වෙනසක් නොදක්වා කතා කරලා හිනා වෙලා විනෝද උනා.. එදා එන්න බැරි වෙච්ච අය ගැන නම් ඇත්තෙන්ම දුකයි.. මම බලන් හිටියා හිරු අක්කවයි මාරයා අයියවයි අඳුරගන්න.. බලමුකෝ අවුරුදු උත්සවේ වත්... ඔය ආපු හැම කෙනෙක්ගෙම නම් මට මතක තිබුනෙත් නෑ.. වෙලාවට මෙන්න මෙතන ඔය ඔක්කොලා ගැනම හොඳ පොස්ට් එකක් තියනවා..
ඔන්න මම ගෙදර ආපු කෝච්චිය- සෙන්කඩගල මැණිකේ- වේදිකාවට එන ගමන්... ඔය ප්ලැට්ෆෝම් එකේ පොර කාපු උන් ඇතුලට නගිනකොට මම මොලේ පාවිච්චි කරලා අනිත් පැත්තට බැහැල නැගල සීට් එකක ඉඳගෙනත් ඉවරයි...
       මේ සියලු විස්තර සහිත වීඩියෝවක් අපේ චන්දන ලියන ආරච්චි මහතා විසින් සාදා යූ ටියුබ් අඩවිය වෙත එක් කිරීමට පියවර ගෙන තිබුණි... එය බැලීම සඳහා මෙතනින් යන්න.. 
          එසේ මෙසේ සියලු ෆන් සහිත හොරා 6ක් අවසානයේ දුකින් උවත් මා හට සෙන්කඩගල මැණිකේ ඇල්ලීමට එතනින් සමු ගැනීමට සිදු විය.. සියල්ලන්ටම වගේ කියා, සෙයාරූ කිහිපයක්ද රැගෙන ආපසු රාත්‍රී 8.30 පමණ වන විට නිවසට පැමිණියෙමි..
ඒ... නැවතත් ඒ සොඳුරු මිනිසුන් හමු වීමේ දැඩි අපේක්ෂාවෙනි....

ඔන්න ඔහේ මමත් එකක් කියල ගත්තා..

                                                   

Saturday, November 16, 2013

මහා රාත්‍රියේ සිහින දේශයකට ගිය ගමනේ චාරිකා සටහන...



මේකේ නයි පොළොංගු නෙවේ තව නොදන්නා උනුත් පැලපදියම් වෙලා. හොල්මන් එහෙමත් ඇති හෙව්වා නම්.......

 බ්ලොග් එක අමතක වෙලා වත් අතැරලා වත් තිබ්බේ නෑ.. ගමනක් ප්ලෑන් කරගෙන හිටියා.. ඒකෙ චාරිකා සටහන දාන්න හිටියට එක එක හේතු නිසා ගමන කල් ගියා.. ඒ නිසා ඉතින් පෝස්ට් එකත් කල් ගියා.. මොකෝ ගමන යන්නේ නැතුව පෝස්ට් එක ලියන්නේ කොහොමද.... හරි ඒ කතා වැඩක් නෑ.. මෙන්න සටහන.. 

පට්ටිපොළ දුම්රිය ස්ථානය..


         ඔන්න ඔය උඩින් දාල තියන තැන තමා මේ පාර අපේ ගමනාන්තය උනේ.. ගමනාන්තයමත් නෙවේ, දුම්රිය ගමනේ අවසානය උනේ මෙතන.. මෙතන ඉඳන් ඔහිය දක්වා පාගමනින් මහ එලිතැන්න රක්ෂිත අඩවිය හරහා ගිය පාගමන ගැන සටහන තමා අද ලියන්න බලාපොරොත්තු වෙන්නේ....
        මේ ගමනත් ඉතින් එක දවසින් ගිහින් එන්න තමා ප්ලෑන් කලේ.. ඒ කිව්වේ බදුලු මේල් එකේ ගිහින්, අදාළ ටික බලල, පොඩ්ඩි හරි 1008 දුම්රියේ හරි ආපහු එන්න තමා. ඒ කිව්වේ මේ ගමනේ කාලසටහනම තමා. ඒ උනාට ඉතින් ඒ දවස් වල පොඩ්ඩිගේ තිබ්බ ගතිය දැන් නෑ.. හරි ඒ කතා පස්සට...
        මේ ගමන දාගත්තත් හරි එක එක බාධා ආව. වෙලාවක වැස්ස, තව වෙලාවක කට්ටිය නෑ, තව දවසක යන්න පුළුවන් දුර වැඩියි, අන්තිමට අශාන් සහ මම තීරණය කළා මේ කොටස බලල එමු කියල. ඒ ගිය ඉරිදා උදේ. දහම් පාසලේ උගන්න උගන්න ඉද්දි තමා මොලේට මීටර් උනේ.. ඊට පස්සේ හවස මූණුපොතට රිංගලා නිපුන අයියාවත් වැඩේට සෙට් කරගත්තා.. වැඩි කල් නොයවා 11 වෙනි සඳුදා රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන යන්න කතා කරගත්තා... කෑම කලින් විදියමයි.. ඒ කිව්වේ පාන් :)
          තැපැල් දුම්රිය අල්ලන්න කලින් පාරක් ගිහින් එක්ස්පීරියන්ස් හම්බ වෙලා තිබ්බ නිසා, මම මේ පාර ගෙදරින් ගියේ 8. 15 ට වගේ, ඒ කියන්නේ පැයක් විතර පරක්කු වෙලා. ගියෙත් කොට කොටා සර්විස් එකක. ඒක යද්දී 9ට 20යි. වැඩේ ඉවරනේ. ඉන්න වෙන්නේ පැය දෙක හමාරක් වගේ.. කිසි අවුලක් නෑ. හැබැයි මේ පාරත් 11 වෙනකල් වේදිකාවේ හිටිය එකම මගියා මම විතරයි... එදා වගේම මම ගියේ පාපුවරුවේ. ප්ලේන් නම් දැක්ක 30 කට වැඩි වෙන්න. මම හිතන්නේ අර චුයින්ගම් එකට කට්ටිය අරන් ආපුව වෙන්න ඇති. මෙතන ඉඳන් කතාව ෆොටෝ වලින් කියන්නම්....
මේ ඇවිල්ල එන්ජින් දෙක හමු උන මොහොත. ඔය සැලුට් ගහගන්නේ.. :)

මම කලින් කිව්වා ගම්පොල ඉඳල නයිට් මේල් එකට එන්ජින් දෙකක් දානවා කියල. මේ එන්ජින් දෙකම පට්ටිපොලදී එකතු වෙලා පහලට අරන් යනවා මේල් එක. අපි ගිය දවසේ කොටුවෙන් ආවේ M6- 786. ගම්පොලින් උදව් උනේ M6- 797. මේ ඒ දෙන්න එකතු උන වෙලාව තමා උඩින් දාල තියන්නේ..
කෝච්චිය ගියාට පස්සේ එදා ඉදල්ගස්හින්නේදී  ගත්ත වගේ ඉර පායනවා බලන්න ගියා. ඒ උනාට මීදුමයි වලාකුලුයි ඒ වැඩේ කෑවා. ඇත්තම කිව්වොත් අපි ගෙදර එනකල් ඉර දැක්කේ නෑ දවසටම.
මේ ඉන්නේ මම තුමා.. මෙච්චර ඇඳගෙන හිටියත් සීතලට වෙව්ලනවා..  උෂ්ණත්වේ තිබ්බේ සෙල්සියස් 14රෙ!

පට්ටිපොළ ගත්තාම එක විශේෂත්වයක් තියනවා.. උසම දුම්රිය ස්ථානය නෙවේ..මෙතන දුම්රිය ත්‍රිකෝණයක් තිබ්බ තැනක්.. ඒ කිව්වේ පේරාදෙණිය හන්දිය වගේ. මේ ත්‍රිකොනේ පාවිච්චි කරලා තියන්නේ ඉස්සර වාෂ්ප එන්ජින් යුගයේ භාවිතා වූ එන්ජින් ආපසු හරවාගන්න. හැරවුම් වේදිකාවක් තනා නඩත්තු කරනවාට වඩා අඩු වියදමකින් ත්‍රිකෝණයක් නඩත්තු කල හැකිවීමත්, ගැරට් (C1A) වැනි අඩි 70ක් පමණ දිග වාෂ්ප එන්ජින් හරවා ගැනීමට ලේසි වීමත් හේතුවෙන් මෙය ඉදි උනා.. ඒ කාලේ B1, B2 ආදී වාෂ්ප එන්ජින් එක් පසෙකට පමණක් ධාවනය කල හැකි තත්වයේ තමයි තිබුනේ. අනිත් පැත්තට යනවා නම් හෙඩ් ලයිට් එහෙම නෑ.. ඒ නිසා එන්ජිම හැරවීම අනිවාර්ය උනා.. පට්ටිපොළ තෙක් පසු පසින් අමුණන එන්ජිම ආපසු යැවීම සඳහා මෙතනින් හරවා යවා තිබෙනවා.. නමුත් 1960 දශකයේ ඩීසල් දුම්රිය ආදේශයත් සමග මෙය වල් බිහි වූ අතර, 1990 වන විට බණ්ඩාරවෙල දෙසින් වූ කොටස සම්පූර්ණයෙන් ගලවා දමා දැන් ඉතිරි වී තිබෙන්නේ මෙම කොටස පමණයි. ජායාරූපයේ දකුණු දෙසින් ඇති මාර්ගය එම ත්‍රිකෝණයේ සිට එන මාර්ගයයි.. 
මෙතනට වෙලා තමා අපි උදේට කෑවේ..
මෙන්න තොරතුරු ටිකක් කතා කරන්න අවස්ථාවක්.. පට්ටිපොළ දැනට උසම දුම්රිය ස්ථානය උනාට, ලංකාවේ දුම්රියක් ගිය උසම දුම්රිය ස්ථානය කඳපොල. මෙතෙන්ට වඩා තවත් අඩි 120ක් උසයි. හැබැයි එක තිබ්බේ පටු ආමාන මාර්ගයක් වෙච්ච උඩුපුස්සැල්ලාව මාර්ගයේ..
පට්ටිපොළ ස්ටේෂන් එකේ ඇවිදලා ඉවර වෙලා අපි ආව ලෝකේ පුළුල් ආමාන දුම්රිය මාර්ගයක් ගිය උසම තැන වෙන පට්ටිපොළ ඉඳන් කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පිහිටා ඇති මේ ස්ථානය බලන්න. මෙතනින් එහාට බදුල්ල පැත්තට වෙනකල් බෑවුමක් තමා තියන්නේ.. සීඝ්‍ර බෑවුමක්.. අඩි 44ක් යද්දී අඩියක් පහලට වැටෙනවා.. ඒ කියන්නේ බදුලු මේල් එක ගත්තම කෝච්චියේ ඉස්සරහා එන්ජිම සහ අන්තිම පෙට්ටිය අතර අඩි 15ක විතර බෑවුම් වෙනසක් තියනවා. අන්තිම පෙට්ටිය තියන්නේ එන්ජිමට අඩි 15ක් උඩින්!!
මේ ඉන්නේ අපි 4 දෙනා.. දෙපැත්තෙන්ම බෝඩ් දෙකක් ගහල තියනවා උසම ස්ථානය ලකුණු කරලා..
මේවට තමා මහරත් මල් කියන්නේ.. මේ ටිකේ සෑහෙන්න තියනවා..
මේ තමා අංක 18 දරණ බිංගේ. මේකේ තියන විශේෂත්වේ තමා කාලගුණික කලාප දෙකක් අතර පිහිටා තිබීම. ඒ කිව්වේ පට්ටිපොළ පැත්තෙන් යද්දී තියන්නේ සීතල, වැහිබර කාලගුනයකින් යුක්ත උඩරට තෙත් කලාපය. ඒ උනාට ඔහිය පැත්තෙන් එලියට එද්දී තියන්නේ වැඩි සීතලකින් තොර, උඩරට වියලි කලාපය.පෙළක් දවසට මේ පැත්තෙන්ඇතුලට යද්දී වහිනවා. එහා පැත්තෙන් එලියට එද්දී අව්ව පායලා!! හිතාගන්නත් බෑ නේද...
ඒ උනාට මීදුම නැත්තෙත් නෑ.. අපි ගිය දවස නම් පලාතම මීදුමෙන් වැහිලා.. අශාන් නම් මීදුමට බොහොම ආස උනා.. :D
මේ එන්නේ බදුල්ලේ ඉඳන් කොළඹ ටොකුවට යන උඩරට මැණිකේ.. බලන්නකෝ අන්තිම පාරට වඩා කොච්චර වෙනස් වෙලාද... ඒ උනාට පරණ සෙට් එකේ තිබ්බ ගතිය නම් මේ හිපාටු වල නෑ. අනික තමා උඩරට මැණිකේ කියද්දී තියන ගතිය නෑ මේවල..
මම කිව්වේ අශාන් මීදුමට සෑහෙන ආස උනා කියලා.. මේ පේනවනේ.. අනික් කස්ටිය කන්න ලැස්ති වෙද්දීත් මේ මනුස්සයා ෆොටෝ අල්ලනවා...
මෙන්න හැංගිලා වෙඩි තියනවෝ....
මේ තමා ඔහිය රක්ෂිතය. මේක වතාවක් දෙකක් ගිනි ගත්තා... මේ පේනවනේ.. කළු ගැහිලා ඔක්කොම. හැබැයි කඳේ පිටපොත්ත ගිනි අරන් ඇතුල බේරිලා. ගහට හානියක් නෑ.. හානි උන ගස් වලින් රේල් පාරේ පිච්චුනු සිල්බර කොට වෙනුවට සිල්බර කොට හදලා දැම්මා..

ඒ හරියෙදීම තමා මෙයා අහු උනේ.. මේ ඇවිල්ල අං කටුස්සෙක්. ලංකාවට ආවේනික එක්කෙනෙක්.

මේ තමා ලංකාවේ තනි කෙලින් පිහිටි දිගම දුම්රිය බිංගේ.. අංක 20 බිංගේ.. පේනවනේ අනිත් කොන? මේක අතුල වැහි ලිහිණින්ගේ ලැගුම් පොලක් විදියටත් පාවිච්චි වෙනවා...
මේ තමා මහනුවරින් පාන්දර 3.30 ට බදුල්ල බලා යන මිශ්‍ර දුම්රිය. මේක කොච්චර හයියෙන් යනවද කියනවා නම්, පෙළක් දවසට නුවරින් 8. 40 ට එන පොඩ්ඩිත් මෙයාට කලින් යනවා!
මේ පැත්තේ තියන පාලමක උනත් සෑහෙන ගතියක් තියනවා.. මේ තියන්නේ ඔහියට ලං වෙලා තියන ඒ වගේ එකක්.. මේක හරහා පිටස්තර අයට යන්න තහනම් උනත්, අපිට පියාඹන්න බැරි නිසා මේක හරහා ආව..
කොහොමින් කොහොම හරි, 11.03 ට ඔහියෙන් පිටත් වෙන පොඩ්ඩි අල්ලගන්න 11.02 වෙද්දී වේදිකාවට එන්න අපිට හැකි උනා... මේ තමා පහලට එන පොඩ්ඩි ට පෙත්ත (ටැබ්ලට් එක) දීපු අවස්තාව. මේක නැත්තම් මෙයාට මෙතනින් එහාට යන්න අවසර නෑ..

මෙතනින් එහාට ඉතින් සුපුරුදු කතන්දරේ තමා..ටොකොස් ටොකොස් ගගා හෙමීට පහලට ආවා.. අර එදා එම් 6 එක එක්ක එද්දී තිබ්බ ගතියෙන් භාගයක් වත් නෑ...  

මේ වගේ ලස්සන දර්ශන නම් මේ මාර්ගයේ හැම තැනම.. බලන්නකෝ තේ වත්තේ ලස්සන..මේවා නැත්තම් මෙහාට දුම්රිය එන්නෙත් නෑ...

නානුඔය පාලමෙන් එතෙර වෙන පොඩ්ඩි...

දැන් පොඩ්ඩි ගෙලිඔයේ නවත්තන නිසාත්,මහනුවරට ගියත් ටිකිරි මැණිකේ පරක්කුද කියල දැනගන්න විදියක් නැති නිසාත්, මම ගෙලිඔයෙන් බැහැල ගෙදර ආවා.. මේ ඉන්නේ තුන් දෙනා.. එයාලටනම් තව යන්න තියනවා.. ගමනට අන්තිමට සම්බන්ධ වෙලා, පළවෙනියට සමුගත් කෙනා උනේ මම...

     මේ ගමනත් මම ගිය සුන්දරම චාරිකා අතරට වැටෙනවා.. ගමනේ මුළු දුර කිලෝ මීටර් 7ක් පමණ. ඒ වගේම කූඩැල්ලෝ එහෙම ලේ පයින්ට් එකක් වත් අදින්න ඇති. ඒ උනාට, ඇත්තෙන්ම ඒ වගේ චාරිකා තියන්නේ අතේ ඇඟිලි වලටත් වඩා අඩුවෙන්.. ඒ උනාට මට මේ ගමනෙන් සම්පූර්ණ කරගන්න බැරි දේවල් ටිකකුත් තිබ්බා. ඒ තමා, 1008 දුම්රියේ ආපසු පැමිණීම, සහ පට්ටිපොළට ඉර පායන ලස්සන ජයාරූප ගත කිරීම.. ඒ ටික නැවත වතාවක් ගිය වෙලාවක හරි කරගන්න ඕනේ..
      මේ ගමන මෙච්චර සාර්ථක විදියට අවසන් කරන්න අත හිත දුන් සියලු දෙනාටම මම මේ වෙලාවේ ස්තුති කරනවා.. ඒ වගේම, අපිව මග දිගට දැනුමෙන් පෝෂණය කරපු ආසිරි අනුරාධ අයියටත්, ගමනේ මට මිස් වෙන්න ගිය පින්තූර අරන් දීපු අශාන් විජේකෝන් මිත්‍රයාටත්, නිපුන දොඩන්තැන්න අයියාටත් බෙහෙවින්ම ස්තුතියි.. ඒ වගේම, වෙනද වගේ මට උදව් කල තුර්ය අයියා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ රකිත ආරියරත්න මහතාටත්, නිලුපුල් වික්‍රමගේ මහතාටත් ඒ ස්තුතිය යන්න ඕනේ.. තව පේරාදෙණිය දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට, පට්ටිපොළ සහ ඔහිය දුම්රිය ස්ථානාධිපතිලාටත් ඒ ස්තුතිය යනවා..
    නැවතත් මේ වගේම සංචාරයක් ඔහිය- ඉදල්ගස්හින්න අතරේ යන්නත් හිතේ කොනක බලාපොරොත්තුවක් තියනවා...