Friday, May 10, 2013

කාලය..

                                          


කාලෙකින් ආව බ්ලොග් එක පැත්තේ.. මේ දවල් වල මගේ ලැප් රාජයට පපුවේ අමාරුවක් හැදිලා අසාද්‍ය වෙලා හිටියේ. අද තමයි යන්තම් "කෙටි දුර ධාවන කටයුතු" සඳහා පමණක් යෝග්‍ය ලෙස අලුත්වැඩියා කර ගෙදර ගෙනාවේ. කට්ටිය අහලත් තිබ්බ මොකෝ මේ කමෙන්ට් රිප්ලයි ඔක්කොම සිංග්ලිෂ් වලින් කියල.. මගේ ෆෝන් එකේ සිංහල නෑ. එකේ තියන්නේ ඉංග්‍රීසිය විතරයි තේරෙන භාෂාවකට. ඒකෙන් කමෙන්ට් කරන්නේ ඒකයි හොඳේ.. තරහ වෙන්න එපා..
     හොඳයි. අද මම ඔයාලට ටිකක් වෙනස් දෙයක් ගැන කියන්නයි හදන්නේ. මම දැන් මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ "කාලෙකින්" කියන වචනයෙන්.. මොකද්ද මේ කාලය කියන්නේ? මොකද්ද මේකෙන් කියවෙන්නේ? අපි සාකච්ජා කරලා බලමු..
     ඉස්සෙල්ලම බලමු ඇයි අපි මේ කාලය කියල සංකල්පයක් හදාගෙන තියන්නේ කියලා. දැන් නිකමට හිතන්න, අපේ ලෝකේ කාලය කියල සංකල්පයක් තිබුනේ නෑ කියල. ඒ වගේම අපේ මේ ලෝකෙට දවාලක් රැයක් කියල දේකුත් නෑ. හරි. ඉතින් මෙහෙම තියන ලෝකෙකදී, අපි කොහොමද කාලය කියල දෙයක් හදාගන්නේ?? මොකද අපේ ලෝකෙදි (අඟහරු නෙවේ හොඳේ) කාලය බෙදන්න අපි පළවෙනියටම සැලකුවේ ඉරේ වෙනස් වීම නේද? ඉස්සරලම මිනිස්සු පැය වලින් කාලය මනින්න කලින් දවස බෙදුවේ දෙකකට. ඒ තමයි දවාලයි රාත්‍රියයි. දැන් මම මෙහෙම ඇහුවොත්? එතකොට දැන් දවසකට වරු කීයක් තියනවද??
     ඔයාල හිතන්න ඇති මේ මොනාද මේ ප්‍රශ්න? ඕක අහන්නත් දෙයක්ය වරු තුනක් තියනවනේ උදේ දවල් සහ රෑ කියල.. හිතුවේ එහෙම නම් ඔයාලට වැරදිලා..!! දවසකට තවම තියන්නේ වරු දෙකයි.. ඒ තමයි පෙරවරුව සහ පස්වරුව..
     හරි. දැන් මේ විදියට කාලය මනින්නේ ඇයි?? සරලව කිව්වොත් යම් සිදු වීම් දෙකක් අතර තියන සම්බන්ධය ගොඩ නගන්න, එකක් අනිකකින් වෙන් කරලා දක්වන්න නේද? නැත්තම් අපි කොහොමද ගිය අව්රුද්දෙ කෙනෙක් මිය ගිය එක කියන්නේ? පොඩ්ඩක් හිතල බැලුවොත් ඔයාලට තේරේවි අපි කාලය එක්ක කොච්චර බැඳිලා ඉන්නවද කියල නේද??
     තව දෙයක්- කාල මත තමයි අපි වේගය වගේ දෙයක් උනත් ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් වශයෙන් භෞතික විද්‍යාවේදී අපි වේගය කියල කියන්නේ එකීය කාලයක් තුර ගමන් කල දුරට නේද?
     දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්? අපි මේ හැම හපන්කමක්ම කරන්නේ කාලය හැමතැනම එක විදියට තියනවා, එකම වේගෙන් තමයි ඉස්සරහට යන්නේ කියල හිතලානේ.. මේක වෙනස් උනොත් මොකද වෙන්නේ?? මම ඔයාල නිරුත්තර කරා නේද? ඇත්තෙන්ම ඒ වගේ දෙයක් අපිට හිතාගන්න අමාරුයි තමයි. මොකද අපිට එහෙම දෙකට ලක්වෙන්න සිදු වෙලා නැති හින්ද. නතිමත් නෙවෙයි.. දැනෙන වෙනසකට අපි ලක්වෙලා නැති හින්ද.
     මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයාල සර්වසම ඔරලෝසු දෙකක් අරගෙන, දෙකේම එකම වෙලාව තියල එකම වෙලාවට එකම වේගෙකින් යන ප්ලේන් දෙකකින් ලෝකේ වටේ දෙපැත්තට යැව්වොත්, එකරලා එක වටයක් ගියාට පස්සේ ඒ දෙකේම වෙලාවල් බැලුවොත් ඔයාලට තේරේවි දකුණු දිශාවට ගමන් කල යානයේ තිබ්බ ඔරලෝසුවේ වෙලාව අනිකට වඩා අඩු බව. ඔයාල කියවල තියනවනම් මතක් වේවි අර "ලෝකය වටේ අසූ දවසකින්" කියන පොතෙත් මේ දේම සඳහන් වෙනවා.
     ඒ වගේම මම තව දෙයක් කියන්නම්. දැන් හිතන්න, ඔයාගේ නිවුන් සහෝදරයෙක්/ සහෝදරියක් ඉන්නවා. ඔයා ඒ සහෝදරයා මේ ලෝකේ ඉද්දි ආලෝකයේ වේගයට ආසන්න වේගෙකින් අභ්‍යාවකාශ සංචාරයක යනවා, ඔයා ගිහින් ආපහු එද්දී... ඔව්, ඔයා ගිහින් ආපහු එනකොට ඔයා වයසට ගියාට වඩා වැඩි කාලයකින් ඒ සහෝදරයා වයසට ගිහින් කියල ඔයාට පේනවා..!!! ඇයි ඒ?? අන්න ඒවා තමයි අපිට හොයාගන්න තියන්නේ.. හැබැයි ඉතින් ආලෝකයේ වේගෙන් ගමන් කරන එක නම්, මහා විද්වතෙක් ලෙස සැලකෙන අයින්ස්ටයින්ට අනුව නම් තවත් ලොකු ප්‍රශ්න ගොඩක් ඇඟේ දමාගනීමක් වෙනවා.
      කාලය ගැන කියද්දී මට තව දෙයක් මතක් වෙනවා. ඒ තමයි, බටහිර ලෝකේ බොහෝ වෙලාවට කාලය හඳුන්වන්නේ "Arrow of time", එහෙමත් නැත්තම් කාලයේ ඊතලය කියල. ඒ මොකද කිව්වොත්, ඔයාලට තේරෙනවා ඇති කාලය කවදාවත් පිටිපස්සට යන්නේ නෑ.. එක යන්නේ ඉස්සරහට විතරයි.. විද්වතුන් කියන විදියට, මේ අපි ජීවත් වෙන ලෝකේ උස, දිග, පළල මත යැපෙන ත්‍රිමාන ලෝකයක්..ඒ කියන්නේ මේ මාන තුනම අපිට මේ ලෝකෙද යම් තරමකට උනත් පාලනය කල හැකියි. අපි මේ මාන තුන දිගේ චලනය වෙන ගමන්ම, කාලය කියන සිව් වැනි මානය දිගේ ඉදිරියට චලනය වෙනවා.. ඒ මානය දිගේ අපිට වෙන කොහේටවත් යන්න බෑ...
     ඒ නමුත්, මේ සීමා වලංගු අපේ ලෝකෙට විතරයි. මේ විශ්වයේ, අනන්ත අප්‍රමාන ලෝක තියෙන්න පුළුවනි. ඒ ලෝක අපේ වගේ ත්‍රිමාන නෙවේ සමහරවිට සිව්මාන, පංචමාන ලෝක උනත් තියෙන්න හැකි.. ඒකේ අනිත් පැත්ත බැලුවොත් උස, දිග සහ කාලය පාලනය කල හැකි ත්‍රිමාන ලෝක උනත් තියෙන්න පුළුවන්.. එහෙම නේද? ඒ වගේම මාන වෙනස් විශ්වයන් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් එක මත එක වේලිලා පැටලිලා තියෙන්න පුළුවන්.. එත් මාන වල වෙනස හින්ද එකක ඉන්න යට අනිකේ කට්ටිය පෙන්නේ නෑ.. මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරලා, බහුමාන විශ්වයක පැවැත්ම ගැන මහා විද්වත් අයින්ස්ටයින් කතා කරලා තියනවා..
     කාලය ගැන කියද්දී මගේ මතකෙට එන දෙයක් තමයි, කාල තරණය. මේක මේ දවස්වල නැගලම යන මාතෘකාවක්. ඔයාල Terminator චිත්‍රපටි ටික බලල තියේ නම් මතක ඇති මම මේ කියන්නේ මොකද්ද කියල. හැබැයි, සත්‍ය ජීවිතේදී ඔයාලට එහෙම දෙයක් කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ. අපි මේකට කියනවා "Grandfather Paradox" කියල. Paradox කියන්නේ විරුද්ධාභාෂය කියන එකට. ඒ කියන්නේ දැන් හිතන්න, ඔයා ඉතිහාසෙට ගිහින්, ඔයාගේ සීයව මරනවා කියල. එත් ඔයා කරපු වෙලාවේම ඔයාවත් මේ විශ්වයෙන් සම්පූර්නෙන්ම අතුරුදහන් වෙන්න ඕනේ!! ඇයි, සීය නැත්තම් ඔයාට කවදාකවත් මේ ලෝකේ ජීවත් වෙන්න බෑ!! අනික, ඔයා ඉතිහාසෙට යන මොහොත වෙනකල් සීය කරලා තිබ්බ වැඩ වලටත් ආගිය අතක් නැති වෙන්න ඕනේ!! ඒත් මේක න්‍යායාත්මකව හරි ගියාට ප්‍රායෝගිකව කරන්න හැකි දෙයක් නෙවෙයි කියල මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති. අනික තමයි, ඔයා ඉපදෙන්න කලින් ඉතිහාසෙට ගියත්, ඒ වෙනකොටත් දැන් ඔයාලගේ ඇඟේ ඔය තියන භෞතික පදාර්ථ ටික ඒ කාලෙත් කොහේ හරි තිබිල තියනවා! එතකොට එකම පදාර්ථයට, එකම වෙලාවක දෙතැනක තියෙන්නත් බෑ නේද???
      හැබැයි බටහිර විද්‍යාවේ එනවා අදහස් ටිකක් මේ කාල තරණය යතාර්ථයක් කරගන්න පාවිච්චි කළහැකි අදහස් ටිකක්. ඒක මේ වගේ බ්ලොග් පිටුවකින් දෙන්න පුළුවන් අදහසක් නෙවෙයි.. නමුත්, මම එක පින්තූරයක් දාන්නම්. මේකට කියන්නේ "පණුගුල් න්‍යාය" කියල. ඕනේ කෙනෙක් ඉන්නවා නම් වැඩි දුර විස්තර, මම දෙන්නම් පහලින් යන්න පාරක්. ගිහින් හොයල බලන්නකෝ..
හරි.. මේ කාලය ගැන කියද්දී අමතක කරන්න බැරි දෙයක් තියනවා. ඒ තමයි ක්වොන්ටම් යාන්ත්රිකය. මේ යාන්ත්රිකය ක්‍රියාත්මක වෙන්නේ පරමාණුක අවස්තාවටත් පල්ලෙහා උප පරමාණුක අවස්ථාවේදී. ඒ කියන්නේ, මම කිව්වොත්, ඒ අවස්ථාවේදී පරමාණුවක් සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ, මේ සාමාන්‍ය ලෝකේ එවරස්ට් කන්දත් එක්ක!!
  නමුත්, අපිවත් හැදිලා තියන්නේ ක්වොන්ටම් අංශු වලින්... ඒ නිසා අපි පොඩ්ඩක් ඒ පැත්තත් බලමු! මේ යාන්ත්රිකය ක්‍රියාත්මක වෙන අවස්ථාව වෙනකොට, අංශු වලට අපි දන්නා සමීකරණ කිසි එකක් පාවිච්චි කරන්න බෑ!! ඒවා තවදුරටත් අදාළ නැති තත්වෙකට පත්වෙනවා! ඒ වගේම, මේ වෙනකොට අංශු වලත් කිරණ වලත් සාමාන්‍ය හැසිරීම ඒවාට නැති වෙනවා! මේ දෙකම, දෙවිදියටම ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා!
    ඉතින්, මේ අපි දන්න පදාර්ථ වගේම තව දෙයක් තමයි "ප්‍රතිපදාර්ථ." ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රෝනයක ප්‍රතිපදාර්ථය තමයි "පොසිට්‍රෝනය" මේ දෙකක් එකට හැප්පුනොත් ඒ පදාර්ථය සම්පූර්නෙන්ම ශක්තිය බවට පරිවර්තනය වෙනවා! ඒ කියන්නේ ෆෝටෝන දෙකක් උපදිනවා! ෆෝටෝන වලට අපි පාවිච්චි කරන දන්නා වචනේ තමයි ආලෝකය!! ඉතින්, දැන් මෙහෙම හිතන්න. ඔය ෆෝටෝන දෙක, එකකට එකක් ආලෝක වර්ෂ මිලියන ගානක් ඈතින් තියල, එකකට පොඩි වෙනසක් කරලා, ඒ කියන්නේ ඒක ගමන් කරන දිශාවට පොඩි වෙනසක් කරලා ඒ ගමන්ම අනික දිහා බැලුවොත්... ඔව්, එහෙම කරොත් අපිට දකින්න ලැබෙන්නේ, ඒ අපි කලින් එක වෙනස් කරපු දිශාවට විරුද්ද දිශාවට නමුත් ඒ වේගෙන්ම අනිකත් චලනය වෙන බව!! ආලෝක වර්ෂ 1ක් උනත් සෑහෙන දුරක්! ඉතින් මෙතරම් ඉක්මනට මේවා අතරේ සන්නිවේදනය කරන්න පුළුවන් කියන්නේ, ෆෝටෝන වලට කාලය ඉක්මවා කටයුතු කරන්න පුලුවන්ද?? නැත්තම් ඇත්තටම කාලය කියල දෙයක් තියනවද?? ඇත්තම කිව්වොත්, සමහර භෞතික විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ, මෙන්න මේ හේතු හින්ද, කාලය කියල දෙයක් සැබවින්ම නොපවතින බවයි!
      ඉතින් එහෙනම්, අපේ වීඥාණයට කාලය ඉක්මවා කටයුතු කල හැකි විය යුතුයි. ඇත්තෙන්ම මේ ගැන අපිට හොඳ උදාහරණ හමු වෙනවා බුද්ධ චරිතයෙන්. මොකද ජාතක කතා හැම එකක්ම බුදුහාමුදුරුවෝ අතීතයෙන් දේශනා කරපුව. ඒ වගේම බුදුන්ගේ අවසාන කාලයේ "පාතලිපුත්ත" කියන නගරය ඉදිකරද්දී ඒක ගැන පෙරයීමකුත් බුදුහාමුදුරුවෝ වදාරන්නේ ඒ අතිශයින් දියුණු කල මනසට ඉහත සඳහන් කල මාන පිලිබඳ සාධක අදාළ නොවූ නිසාද? නැත්තම් කාලය කියා දෙයක් නොපවතින නිසාද??
      අවසානයට, මට තවත් දෙයක් කියන්න දෙන්න., මේ ලෝකේ හැම දෙයක්ම අවසාන වෙන හින්ද, කාලයත් යම් තැනකින් අවසාන වෙන්න ඕනෙද? එහෙම වෙනවා නම් ඒ කොහෙදිද? සමහරුන් මේ තැන හඳුන්වන්නේ කළු කුහරයක් හැටියට.
ඒ කියන්නේ විශ්වයේ තියන අධික ස්කන්ධ ස්ථානයක්. මේකේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ගැලවෙන්න ආලෝකයටවත් බෑ. මේකක් අස්සේදී කාලය අවසාන වෙන බවට විද්වතුන් මත ප්‍රකාශ කරලා තියනවා!!
       හැබැයි අර කාලය කියල දෙයක් නෑ කියල ගත්තොත්, තුන්කල් එකම මොහොතකදී උනත් පවතින්න පුළුවන් නේද? එහෙම නම් අපි අර හොල්මන් කියල කියන්නේ ඒ කාලයේ බැම්මෙන් මිදිලා කාල සංචාරය කල හැකි තත්වෙකට පත් උන අයට වෙන්න බැරිද??? ඒ වගේම, ඉතිහාසයෙන් ආපු යම් දෙයක් හෝ යම් කෙනෙක් අපිත් එක්ක මේ මොහොතේත් ජීවත් වෙනවා වෙන්න බැරිද??? දෙන්නෙක්ගේ අත් ඔරලෝසු දෙකක විනාඩි 5ක වෙනසක් තියනවා කියන්නේ, එක්කෙනෙක් අනිත් එක්කෙනාට වඩා විනාඩි පහක් කලින් ලෝකේ දකිනවා, වැඩ කරනවා කියන එකද? එතකොට එයා ඉන්නේ වෙනම ලෝකෙකද??? ඇත්තටම කාලය යනු කුමක්ද??
 

ආශ්‍රිත ලිපි ලේඛන-
 1. විකිපීඩියා විශ්ව කෝෂය.  
 2.  කාලය වෙබ් අඩවිය. 
 3. Aerial Hauntings ග්‍රන්ථය.- මාර්ටින් කැයිඩින් මහතා.
 4. තරුලොව සඟරාව.


18 comments:

  1. හරිම අපූරු ලිපියක් අඟහරු. මගේ ඊලඟ කතාව කාලය තරණය කල කෙනෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. Thanks!
      Kaalaya gana thawa godak dewal kiyanna thiyanawa. Eth me wage eka lipiyen nam ewa kiyanna amaaruyi. Me gana thawa lipiyak, wenas konekin balapu lipiyak idiriyedi daanna balaporoththu wenawa..
      E kathaawa kiyawanna mama balan innawa! Eke kaalaya tharanaya karana widiya balanna aasayi.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. වැදගත් ලිපියක්, අඟහරුවෝ. හුඟක් සංකීර්ණ දෙයක් සරල ලියලා තියෙන්නේ. ඇත්තට ම හෞතික විද්‍යාව අමතක ම වෙලා දැන් නං. ‍අනේ මන්දා! මේ ලොකේ හරි පුදුම තැනක්. අපිට තේරුම් ගත්තා කියලා හිතන ඒත් තේරුම් නොගත්ත දේවල් කොච්චර තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. Ow. Aththatama godak dewal walin ape danuma wishaalayi kiyala hithan hitiyata, api thawamath ewa gana mukuth nodanna gaanayi. Sthuthyi me paththe aawata!

      Delete
  4. අපෙ අප්පේ අද අගහරුවා අපට විද්‍යා පාඩමක්ම ගෙනත් ඔලුවට අතැරලා.. එතකොට ඉංගිලිසියෙන් කොමෙන්ටු කොටන්නේ මේ හේතුව හින්දයි නේද අගහරුවෝ..

    ReplyDelete
    Replies
    1. Meka widya paadamakin bohoma sulu kotasak.. Innako lap 1 hadaagannakal.. Thawa deka thunakma thiyanawa post hadapuwa. Type karala daannam.
      Ow. Me Nokia S60 phone wala Sinhala enne naane.

      Delete
  5. හොදයි බං මල්ලියේ නොදන්න දේවල් දැනගත්තා . දිගටම ලියහං

    ReplyDelete
    Replies
    1. Nodanna deyak kiyanna labunata santhosayi!
      Digatama enna honde!

      Delete
  6. අනේ මල්ලි ඔයා මගේ වෙබ් එකට ඇවිල්ලා මගේ ලිපි කියවලා කමෙන්ට් දාපු එකට කොඩාක් ස්තූතියි. අනේ මල්ලි ඔයා ආයිමත් ඒවි කියලා මම හරිම ආසාවෙන් බලා ඉන්නේ. අනේ රත්තරන් මල්ලියේ ආයේ සැරයක් මගේ වෙබ් එකට ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. Thanks me paththe aawata! Comment nodammath mama aniwa kiyawanawa honde? Samahara wita me phone 1n comment daanna denne na. Naththam aniwa daanawa.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Honda holman katawak damu bn :)
    api comerce ney kare mewa greek wage :(

    ReplyDelete
    Replies
    1. Thopita ithin widyawa one reddak kiwwoth eka Greek kiyapan. Ane yako, kiyawala therum ganin. Commerce witharak karala goda giya ekek na yako.
      Hari. Hitapan. Ekak hadala thiyanawa 2012 College Magazine 1ta daanna liyapu ekak. Poddak wenas karala daannam.

      Delete
  9. මාත් මේ විෂයය ගැන උනන්දුවක් දැක්වුනා කාලයක්. ඒ වගේන මේ කාල තරණය (Time Travel) සංකල්පයත් මගේ ප්‍රියතම එකක්. අඟහරුවා කියවලා/බලලා තියෙනවද The Time Machine?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් කියවල/ බලල නෑ dude තුමෝ.. කාල තරණය ගැනත්, කාලය ගැනත් කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නෑ. මගෙත් ප්‍රියතම විෂයක් තමා ඕක. මම හිතන්නේ අධි භෞතික විද්‍යාව. කාලතරණය සම්බන්දයෙන් මම තව පොස්ට් එකක් දාන්න බලන් ඉන්නේ. ඒකත් කියවන්න එන්න හොඳේ..

      Delete
  10. හරිම පුදුමයි මේ ලෝකෙ. අපි නොදන්නා දේවල් කොයිතරම් ඇද්ද... මේ ලිපිය මාව අයෙමත් මේ දේවල් ගැන හොයන්න තියෙන ආසාව වැඩි කලා. ඉස්සරහටත් මේ වගේ ලිපි දාන්න.. ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. Bohoma sthuthyi comment karaata. Palaweni wathaawa neda Angaharu paththe? Saadarayen piligannawa!
      Ow. Me loke bohoma pudumaakaara thanak. E wagemayi wishwayath. Thawa me wage lipi aniwaaryen daanawa. Ewath kiyawanna enna!

      Delete