Wednesday, August 28, 2013

තනිවම ගිය උඩරට සංචාරයේ සොඳුරු මතක සටහන්..


    මේ ටිකේ ඉතින් මම කොහේහරි ඇවිදින්න යන්නම තමා ට්‍රයි එක. ඒ උනාට, මේ පෝස්ට් එකට පදනම් උනේ නම් එච්චර හොඳ සිද්දියක් නෙවේ.. ඒක නිසා මේ ගමන ගැන උනත් පිටත් වෙද්දී එච්චර හොඳ අදහසක් තිබ්බේ නෑ මගේ හිතේ.. ඒ උනත්, ගමන පටන් අරගෙන ගම්පොළට යනකොටම, හිතේ තිබ්බ ඔක්කොම අවුල් අයින් වෙලා සෑහෙන සන්තෝසයක් හිතට ආව. මොකද, උඩරට දුම්රිය ගමනක් කියන්නේ, එසේ මෙසේ ගමනක් නොවෙන නිසා.. 
    පහුගිය දවස් දෙක තුනේ පොඩි ප්‍රශ්න ටිකක් නිසා මම පොඩ්ඩක් අවුල් ගිහින් හිටියේ.. පොඩි කිව්වට පොඩිමත් නෑ.. ඒ නිසා කොහේ හරි දුර ගමනක් යන්න මට කොහොමත් ඕනේ වෙලා තිබ්බේ.. දන්නවනේ.. හිතේ කරදර තියන වෙලාවලට කරන්න පුළුවන් දේවල් ටිකක් තියනවා..
*පොතක් කියවීම
* චිත්‍ර පටියක් බැලීම
* නිදා ගැනීම
* යාලුවෙක් මුණ ගැසී ප්‍රශ්නය ඔහු/ ඇය සමග බෙදා ගැනීම.
* තනිවම හෝ යහළුවකු/ යෙහෙළියක සමග තමන් කැමති පලාතක ගමනක් යෑම.
    මම පහු ගිය ටිකේ ඔය උඩ තියන පහෙන් තුනක්ම අත්හදා බැලුව. එත් එච්චර සාර්ථක උනේ නෑ.. ඊට පස්සේ තමයි අන්තිම එකට බැස්සේ. ඒ කියන්නේ ගමනක් යන්න. ඒත් යන්නේ කොහෙද කියල අදහසක් තිබ්බේ නෑ.. ඔය අතරේ මම මූණුපොතට රිංගුවා .. ඒ වෙලාවේ මගෙත් එක්ක දෙන්නෙක් කතා කළා.. එක්කෙනෙක් තමා අපේ බ්ලොග් ලෝකේ ගොඩාක් අය දන්න දොස්තර දීපානි අක්ක. එයා මට අදහසක් දුන්න අලගල්ල බලන්න යන්න කියල. ඒ විස්තර ඔක්කොම එයා මට දුන්න. ඒ ගමන යන්න හිතාගෙන එහෙම නිදා ගන්නකොට පොඩ්ඩක් රෑ උනා.. ඒ නිසා මම උදේ නැගිටිනකොට 7යි!! ඒ වෙලාව වෙද්දී මම යන්න ඕනේ දුම්රිය කඩුගන්නාවේ ඇති.. ඉතින් මොකෝ කරන්නේ ඒකත් නැති උනා කියල ඉන්නකොට, ආව අදහසක් උඩරට පැත්තේ ගිහින් එන්න. මම ඉතින් මේක ට්‍රිප් එකක් විදියට යන්න නෙවේ ප්ලෑන් කලේ. තනියම. පොඩ්ඩක් හිත කූල් කරගන්න කියල. මම ඉතින් උදේ පාන් ටිකක් එහෙම හදාගෙන, ඔන්න පොඩි මැණිකෙන් යන්න හිතුව. යන තැනක් ගැන අදහසක් නොතිබ්බ හින්ද, මම හිතුව පහලට එන පොඩි මැණිකේ ඉහලට යන එකට හමු වෙන ස්ටේෂමට කලින් ස්ටේෂමෙන් ආපහු හැරෙන්න. එතකොට මට කෑම කාල ටිකට් ගන්න වෙලාව ඉතුරු වෙන හින්ද. ඔන්න ඉතින් ඒ විදියට පොඩ්ඩි එක්ක තවත් උඩරට දුම්රිය චාරිකාවකට මග පෑදුනා.. මේ , ඒ ගමනේ විස්තර.. 

 
මෙන්න මෙහෙමයි ගමන පටන් ගත්තේ..


ඔන්න ගම්පොලටත් ආව. මෙතන ඉන්න උනා පහලට එනේ දුම්රියක් එනකල්...
මේ තියන්නේ අම්බුළුවාව. මේක සර්වාගමික මධ්‍යස්ථානයක්ලු.
මෙන්න මෙයා හිටිය නාවෙලපිටියට වෙලා අපි එනකල් බලාගෙන. මේ තමා නාවෙලපිටියෙන් මහනුවර බලා යන අංක 541 දරන දුම්රිය. 
        
නාවෙලපිටියේදී උඩහට යන දුම්රිය වල කාර්ය මණ්ඩලය මාරු වෙනවා. මේ නිසා මෙතන වැඩි වෙලාවක් නවත්තල තියනවා. මේ ඒ වෙලාවේදී ගත්ත ජායාරූපයක්.   

මෙතනින් එහාට තමා ගමන හරියට පටන් ගන්නේ.. මොකද මෙතනින් එහාට තමා මාර්ගයේ ලස්සනම හරිය. අනික අර යුරෝපීය කාලගුණයට සමාන වෙන්න කාලගුණය වෙනස් වෙන්නෙත් මෙතන ඉඳන් උඩහට.. ඇත්තෙන්ම මෙහෙන් එහාට යන්න වායු සමීකරණ අවශ්‍ය නෑ...
මේ උඩ ජායාරූපයේ තියන්නේ නාවෙලපිටියේ බදුල්ල දිහාට යන පාර. ඔය වම් පැත්තේ කොනේ බලන්න තරමක් ඉහලට වෙන්න ගැල් ටිකක් නවත්තල තියනවා නේද? අන්න ඒ තමා ඉස්සර බදුලු ගිය පාර. ඉස්සර නාවෙලපිටිය දුම්රිය ස්ථානයට බදුල්ල පැත්තෙන් එන්න තිබ්බේ කන්දක් නැගගෙන. දැන් එතන තියන මහාමාර්ගය යන පාලම ඒ කාලේ තිබ්බේ නෑ. ඒ වෙනුවට එතන සාමාන්‍ය ලෙවෙල් ක්‍රොසින් එකක් තමා තිබ්බේ. වාෂ්ප එන්ජින් වලට ඔය කන්ද අදින්න හරි අමාරු වෙලා තියනවා.. ඒ නිසා, නාවෙලපිටිය දුම්රිය ස්ථානය නැවත ගොඩනගද්දී මේ අද තියන විදියට වෙනස් කරලා තියනවා..



මේ වටවල. දන්නවනේ මොකේටද ප්‍රසිද්ධ කියල?
මේ ඇවිල්ල වටවල පහු කරලා ඉහල වටවලට යන ගමන් අහු උන තේ කර්මාන්ත ශාලාවක්.
මෙන්න රොසැල්ලේ අපි එනකල් බලන් ඉන්න උඩරට මැණිකේ... කලින් මේ දෙන්න මාරු උනේ හැටන් වලින් උනත් දැන් මේ අලුත් බලවේග කට්ටල එක්ක හැම දුම්රිය මාරු වීමක්ම වගේ කලින්ට වඩා එක දුම්රිය ස්ථානයක් වගේ ඉදිරියට ඇවිත් තියනවා..
රොසැල්ල කියන්නේ හැටන් වලට කලින් ස්ටේෂන් එක. මේ දුම්රිය ස්ථානයේ තියන විශේෂත්වේ තමා මේකට කොළඹ දෙසින් එන්න තියන්නේ දම්වැල් පහේ (අරය) වංගු දෙකක් පහු කරගෙන. ඒ දෙක පිහිටලා තියන්නේ ඉංග්‍රීසි S අකුරේ හැඩයට. මෙතෙන්ට කියන නම තමා Rozelle S curve. මෑතක් වෙනකල් ඉහලට එන දුම්රියක් මේකේ පැති මාර්ගයට ගන්න ඉඩ දුන්නේ නෑ. ඒ වගේම මෙතන පැයට සැතපුම් පහක වේග සීමාවක් පනවල තිබ්බ. පස්සේ කාලෙක මෙතනත් ආපහු හැදුව. ඔය ඉහල ජායාරූපයෙන් පෙන්නන්නේ පලවෙනි වංගුවේ ඉඳල රොසැල්ල දුම්රිය ස්ථානය පේන විදිය.          
මේ තමයි රොසැල්ලේ බලන් හිටපු කෙනා... මේ, බදුල්ලේ ඉඳන් කොළඹ කොටුව බලා යන උඩරට මැණිකේ දුම්රිය..
                                        
මේ අපිව අරන් යන කෙනා. S12-938. ඔය ඊට පස්සේ තියන්නේ වායු සමීකරණය කරපු පළමුවන පන්තියේ මැදිරිය.

                                             
පේනවනේ.. දැන් තමා තේ වතු කලාපය පටන් ගන්නේ.. ඔය දකුණු පැත්තෙන් එකක් තියන්නේ..
                                       

මේ හරියේ ඉඳල කාලගුණයේ පැහැදිලි වෙනසක් අත්දකින්න ලැබුන.. ඒ කියන්නේ වටේ පිටේ සීතල වෙලා.. හරියට එක පාරටම යුරෝපේ පැත්තට ගියා වගේ..

                                          
ඔය පේනවනේ.. මේවා දැක්කම ඉතින් හිතේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා,, හරියට පිටරටකට ගියා වගේ. සීතල කාලගුණයයි, තේ වතු මැදින් යන දුම්රියයි, පැරණි බ්‍රිතාන්‍ය ක්‍රමයේ දුම්රිය ස්ථාන ආදියයි, මහා පාලම දිය ඇලි එහෙමයි..එකතු උනහම ආය මොනවද..
                                      
මේත් යනකොට අහු වෙන තේ වත්තක්.. බලන්නකෝ ලස්සන. මේවා මෙහෙම නෙවේ සැබෑවටම බලනකොට තමා ලස්සන.
                                       
                                            
මේ හැටන්වලට එනකොට අපිට අහු උන දෙන්නෙක්. මොනුන්ද කියන්න නම් මම දන්නේ නෑ..

                                 
පේනවනේ.. තේ වතු අතින් අල්ලන්න පුළුවන් ගානට. ඔය පිටිපස්සේ තියන්නේ මේ කට්ටලයේ පසුපස එන්ජිම. ඒ කියන්නේ S12-939.
              මම තලවකැලෙන් බැහැල එතනින් ඇහුව කොහෙද පොඩි මැණිකේ දෙක මාරු වෙන්නේ කියල. එතනින් දැනගන්න ලැබුන ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් කියල. මම ඉතින් කල්පනා කරා සෑහෙන වෙලාවක් හිටගෙන ඇවිල්ල මහන්සි, වතුර තිබහයි. බඩගිනි. ග්‍රේට් වෙස්ටර්න් ගිහින් ටිකට් අරන් දුම්රියට ගොඩ වෙන්න පුළුවන් උනත් සෙනග එක්ක මට ආසනයක් කෙසේවත් ගන්න බැරි බව. ඒ කියන්නේ මට කන්න විදියක් තැනක් නැති වෙනවා. මම ඉතින් ටිකක් අපහසුවෙන් උනත් හිත හදාගෙන ඒ මනස්කාන්ත දුම්රිය ස්ථානයට යෑම පසු අවස්ථාවකට කල් දාල වටගොඩින් බැහැගත්තා...
 අපි ආපු දුම්රිය මම වේදිකාවේ ඉන්නකොට එතනින් පිටත් වෙද්දී මට දැනුනේ සුරපුරයකට යන ගමනක අවසානයට ගිහින් ආපහු හැරුන වගේ...                         
ඔන්න අද දවසේ මගේ ගමනාන්තය. මේ වටගොඩ දුම්රිය ස්ථානය. පේනවනේ.. ගල් අඟුරු යුගයේ දුම්රියට වතුර සපයපු ටැංකිය, බ්‍රිතාන්‍ය යුගයේ දුම්රිය ස්ථානය එහෙම තාම ඉතුරු වෙලා තියනවා..
                                           
                 මම ඉතින් ගෙනාපුව කාල එහෙම ප්‍රවේශපත් අරගෙන තව විනාඩි 10ක් විතර ඉතිරි උන නිසා ජයාරූප ටිකක් ගන්නම් කියල ටිකක් ඇවිද්ද. මේ ඒ වෙලාවේ ගත්ත ජයාරූප කිහිපයක්. මට ඇත්තටම හිතුන මේ වගේ නිස්කලංක පලාතක ඉන්න තියේ නම් කොච්චර එකක්ද කියල...                          
ඔන්න විස්තර ටික.

                                      
මෙන්න මේක හම්බුනෙත් එහෙදි තමයි. මේ ඇවිල්ල කොච්චි පීලි පන්නන එකක්. (Derailing apperatus) 
ජායාරූප ටික අරන් තව ටිකක් එහාට යන්න හදනකොට ග්‍රේට් වෙස්ටර්න් වලින් පහලට එන පොඩ්ඩි ආව බවට සංඥාවක් නිකුත් උනා.. ඒ නිසා මම ආපහු වේදිකාවට ආව. ටික වෙලාවකින් ඔන්න පුරුදු හඬක් නැගෙන්න ගත්ත. ඒ මෙන්න මේ ගමන ගිය බලවේග කට්ටලය. දකිද්දී නම් පොඩි බයකුත් නොදැනුනා නෙවේ එදා වැඩේම අදත් වෙයිද කියල..
මෙන්න මාව පහලට එක්කන් ආපු කෙනා.. මෙයාගේ හෝන් එක ඇහෙද්දීම මම අඳුරගත්තා.. 

                                      
මේ පාලම මම පාපුවරුවේ ඉඳන් ජයාරූප ගතකලේ. මහා ලොකු දුරක තියන එකක් නෙවේ. ඒ උනාට මේක මගේ ඔලුව ගානට තියන්නේ. බලන්න පාලමේ ආනතිය. හිතාගන්නකෝ මේ මාර්ගයේ තියන ආනතිය..
මේ තමයි ඉහල කොත්මලේ ජලාශය හරහා එන පාලම.
මේ තියන්නේ ශාන්ත ක්ලෙයාර් දුම්රිය නැවතුම. මේ රටට දුම්රිය ආවේ කෝපි ප්‍රවාහනය කරන්න. නමුත් මේ පැති වලට දුම්රියඑනකොට වනසන එමිලි කෝපි විනාස කරලා දාල ඉවරයි. ඒ කෝපි වතු වල තමයි දැන් තේ වතු තියන්නේ.. අන්තිමට කෝපි අදින්න ආපු දුම්රියට අදින්න උනේ තේ. මේ තේ පටවන්න තේ වතු/කර්මාන්තශාලා ළඟ මේ වගේ පොඩි දුම්රිය ස්ථාන බිහි උනා. උඩරට මාර්ගයේ මේ වගේ තැන් සෑහෙන්න තියනවා. සමහර ඒවා නම් තිබ්බ තැනක් වත් හොයාගන්න නෑ. සමහර ඒවා දුම්රිය ස්ථාන බවට පත්වෙලා..
මේ තියන්නේ ඒ වගේ තැනක්. මේකට එහා පැත්තේ තියන්නේ සෙන්ට් ක්ලෙයාර් තේ කර්මාන්ත ශාලාව. දැනට නම් මේ දෙකම භාවිතයෙන් තොර තත්වයක තමා තියන්නේ...
මේ තමා සුප්‍රසිද්ධ සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල. මම මේක පොඩ්ඩක් විශාලනය (zoom) කරලා ගත්ත. එකයි අපැහැදිලි.
මේ හැටන් වලට එන අංක 1007 දුම්රිය. මේක දකිද්දී නම් හිතට පුංචි දුකක් දැනුන. මොකද මෙච්චර කාලයක් පොඩ්ඩි මේ වගේ එනකොට බලවේග කට්ටලයක් තමා 1007ට ආවේ. ඒත් මීට අවුරුද්දකට කලින් ඉඳන්. ඊටත් කලින් දෙකම බොහොම ලස්සනට M6 පන්තියේ එන්ජින් දෙකකින් බලය ලබන දුම්රිය. ඒත් දැන්.... කාලය මැව් වෙනසක අරුමය කියන්නේ මේකට වෙන්න ඇති...
                                                   
                                        
                                     
මේ මම තුමා හැටන් වලදී. මේ සෙට් එක එක්කම එක ගමනකදී මෙතන පැයකට වඩා ඉඳල තියනවා.. ඒ විස්තර මම කලින් පෝස්ට් එකකින් ගෙනාව. මේ ජායාරූපය ගත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධීපති කෙනෙක් විදියට කටයුතු කරන කෙනෙක්. එයාගේ නම නම් අහගන්න බැරි උනා..
මම කලිනුත් කිව්වා මේ මාර්ගයේ දිය ඇලි වලින් අඩුවක් නෑ කියල. මේ තියන්නේ තව එකක්.
නාවෙලපිටියටත් ආව. මෙතනින් ඉතින් අර කලින් කිව්වා වැඩේම ආපහු සිද්ද වෙනවා. ඒවා ඉවර උනත්, අපි මෙතෙන්ට එද්දී පැය බාගයක් පමණ ප්‍රමාද වෙලා නිසා, මෙයා එනකල් නාවෙලපිටියේ ඉන්න උනා. මේ තමයි මහනුවරින් 2.10ට නවෙලපිටිය බලා එන පාසල් දුම්රිය. වෙනදට මේ දෙන්න මාරු වෙන්නේ උලපනෙන්.
ඔය පින්තූරේ බලන්න, ඈතින් පාලමක් පෙනෙයි. ඒ තමා නුවරඑලිය පාර.
ඔන්න අපේ දුම්රිය ස්ථානය. ඒත්, ගෙදර ගිහින් කරන්න කියල වැඩක් නොතිබ්බ නිසාත්, හවස 4.45ට ආපහු එන්න ට්දුම්රියක් තිබ්බ නිසාත්, මම පොඩ්ඩි එක්ක නුවරටම ගියා..
කොහෙන් ගියත් අන්තිමේ මෙයාව මුණගැහෙනවමයි වගේ. මේ තමා ටිකිරි මැණිකේ. මම ඉතින් ගෙලිඔයෙන් බහින්නේ නැතුව මහනුවරට ආපු නිසා මෙයා එක්ක තමා ගෙදර යන්න උනේ. මේ දවස් වල සෙනග සෑහෙන්න. ඉතින් මම සීට් එකක් අල්ලගන්නම් කියල අනිත් පැත්තට බැස්ස. හැබැයි මෙයා යද්දී නම් විනාඩි 45ක් විතර පරක්කු උනා..
                                       
                                   
        මේ ගමන නම් හොඳයි.. ආපහු ගෙදර ආවේ ටිකක් මහන්සියෙන් උනත්, හිතේ සෑහෙන සැහැල්ලුවෙන්.. අලුත් කිසි දෙයක් නොවුනත්, උඩරට මාර්ගයේ ස්වභාවය තමයි කිසිම දෙයක් දෙපාරක් සිදු නොවීම. ඒ නිසා මේකත් එක්තරා ආකාරයකට අලුත් අත්දැකීමක් තමයි..
මේ ගමන යන්න මට කාල සටහන් හොයාගන්න උදව් වෙච්ච දුම්රිය ස්ථානාධිපති තුමන්ලාටත්, පහලට ආ පොඩි මැණිකේ දුම්රියේ උප නියාමක මහතාටත් ස්තුති කරන්නට මේ අවස්ථාවේදී අමතක කල නොහැකි. ඒ වගේම, අපේ දොස්තර දීපානි අක්කටත්, තූර්ය අයියටත් ගොඩාක් පින්... (පින් ඇරෙන්න මම වෙන මොනවා දෙන්නද ඉතින්..)

Friday, August 23, 2013

සැඟවුණු දිය ඇල්ලක් වෙත ගිය සොඳුරු සවාරිය..

ගල්බොඩ ඇල්ල (Galboda falls)
    දැන් ඉතින් විභාගෙත් ඉවර එකේ, කරන්න කියල ඒ හැටි වැඩකුත් නෑ.. කෝස් කට්ටක් කරන්න බැලුවත් සැප්තැම්බර් වලින් මෙහා පටන් ගන්න එකක්වත් නෑ.. ඒ නිසා ඉතින් ඉඳගෙන හිටපුවටත් එක්ක හරි යන්න, හිතුව පොඩි ට්‍රිප් පාරක් දාන්න ඕනේ කියල. කැමරා කටුවකුත් හම්බුන එකේ, මම බැලුවේ උඩරට පැත්තට යන්න. ප්ලෑන් කලේ මාව හැමදාම වගේ උඩහට එක්කන් ගිය පොඩ්ඩි එක්කම උඩහට, රොසැල්ල පැත්තට ගිහින් එයා එක්කම ආපහු එන්න. ඕක හිත හිත ඉන්නකොට මගේ යාලුවෙක් වෙච්ච අකිල අයිය කිව්වා එයාල ගල්බොඩ දිය ඇල්ල බලන්න යනවා, කැමති නම් එන්න කියල. ආය ඉතින් මොනවද මමත් ඉතින් හා කිව්වා..
   ලංකාවේ ලස්සන දිය ඇලි වගේ දේවල් ගොඩාක් තියනවා බොහෝ දෙනෙක් නොදන්න ඒ වගේම මාර්ග පහසුකම් කිසිවක් නැති. ඒ වගේ එක දිය ඇල්ලක් තමයි එල්ජින් ඇල්ල. මේක උඩරට දුම්රිය මාර්ගයට දර්ශනය වෙන ලස්සන දිය ඇල්ලක්. මේ ගල්බොඩ ඇල්ලත් ඒ වගේ. මෙතෙන්ට ලඟා වෙන්න උඩරට දුම්රිය මාර්ගයේ නාවෙලපිටිය පසු කල විට හමු වන දෙවන දුම්රිය ස්ථානය වන "ගල්බොඩ" දුම්රිය ස්ථානයෙන් බැස කිලෝ මීටරයක් පමණ දුරක් පාගමනින් ගමන් කල යුතු වෙනවා.
   අපි ඉතින් ගමනට සෙට් වෙලා පොඩි මැණිකේ එක්ක යන්න කතා උනා. මම ඉතින් පාන් ටිකක් එහෙම ටෝස්ට් කරගෙන 9 වෙද්දී ලැස්ති වෙලා ස්ටේෂමට ආව.. එතෙන්දි අකිල අයියල හම්බුනා. යන්න ප්‍රවේශ පත්‍රයක් මට එයාලගේ අප්පච්චි අරන් දුන්නා.. ඔය අතරේ පොඩ්ඩි පේරාදෙණියෙන් පිටත් වූ බවට පේරාදෙණියෙන් දැනුම් දුන්නා..     
  
මෙන්න අලුත් වෙච්ච පොඩ්ඩි..
. මෙයා දැන් ගෙලිඔයෙත් නතර කරන නිසා සෑහෙන්න ලේසි. මාර යාමනක් යන්නේ.. ඔව් ඉතින් දෙපැත්තෙන්ම බලය දෙනකොට යන්නැතුව පොල් ගාන්නයැ නේද?


                                            
ඔන්න නාවෙලපිටියටත් ආව..

               අපි කොහොම හරි 10.45 වගේ වෙද්දී ගල්බොඩට ආව..

මෙන්න ගල්බොඩ. ගල්බොඩ කියන්නේ නාවෙලපිටිය පහු කලාම දෙවෙනි දුම්රිය ස්ථානය.
මෙතන ඉතින් මේ ස්ථානය ගැන දත යුතු සියලු විස්තර තියනවා.. හැබැයි දිය ඇල්ලට යන්න තව ටිකක් යන්න ඕනේ කඳු පාරක.
අපි යන්න සෙට් උනේ දවල් පෙරහැර දවසේ.. ඒ කියන්නේ 2013/08/21. ඒ දවසට සාමාන්යෙන් උඩරටට අනිවාර්යෙන් වහිනවා.. එදත් ඉතින් එකේ වෙනසක් තිබ්බේ නෑ..
මෙන්න ගිය කස්ටිය.. ඔය කුඩයක් ඉහලන් ඉන්නේ අකිල අයියගේ මලයා..
මේ දිය ඇල්ල ඈත ඉඳන් පේන හැටි..
මේ තියන්නේ දිය ඇල්ල උඩ කොටස. 


මෙතෙන්ට ඇවිත් නාන්නේ නැතුව යනවා නම් ගමන සම්පූර්ණ නෑ,. ඒ උනාට පිහිනන්න නිදන්න කෙනෙක් නම් වැඩිය මැදට නොයන එක තමා නුවනට හුරු. අපි ඉතින් ගෙනාපු කෑම වලින් කොටසක් කාල, වැස්ස මැද්දෙම නාගෙන, ෆොටෝ ටිකක් අල්ලාගෙන ආපහු එන්න පිටත් උනා//                             

                           

ඔය ඉන්නේ මමතුමා..
මේ තමයි මේ ගමනට මාව එක්කන් ගිය අකිල අයියා..
මෙන්න සූම් කරලා ගත්ත එකක්.
ලඟදි ඉඳන් මේඇල්ලෙන් වතුර අරන් ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මේ ඒකෙ කොටහක්.
මේ තමයි අංක 1007 දරන දුම්රිය. මෙයා තමා දැනට මහනුවරින් උඩහට නැරඹුම් මැදිරි පහසුකම එක්ක යන එකම දුම්රිය.
මෙයාට කියන්නේ ගල්බොඩ මැණිකේ.. නාවෙලපිටියේ ඉඳන් ඇවිත් ආපහු යනවා..
මේ තියන්නේ ගල්බොඩ දුම්රිය ස්ථානය. බලන්න පරණ බ්‍රිතාන්‍ය යුගයේ  සිහිවටන සෑහෙන්න ඉතිරි වෙලා තියනවා..
මේ අපිව ආපහු ගෙදර අරන් ගිය කොළඹ බලා යන පොඩ්ඩි..
  පොඩ්ඩි මෙතෙන්ට එන්නේ හවස 2.26ට . ඒ නිසා මේ දිය ඇල්ල බලන්න එනවා නම් හොඳම ක්‍රමය තමා උදේ 5.50ට කොළඹ කොටුවෙන් (උදේ 8.36 මහනුවරින්) පිටත් වෙන පොඩි මැණිකේ දුම්රියෙන් එන එක. එකේ ඇවිත් බලල නාල කනවා නම් කාල ආපහු හවස පහලට යන පොඩ්ඩි එක්කම යන්න පුළුවන්.. දැන් බලවේග කට්ටලයක් යන නිසා ඉඩ කඩේ ප්‍රශ්නෙකුත් නෑ.. ඕනේ නම් වෙන්කරවාගන්න පන්ති තුනෙන්ම මැදිරි තුනක් තියනවා..

    අපි ඉතින් ගමන ඉවරල ආපහු සතුටින් ගෙලිඔයට සැපත් උනා. එතකොට නම් මගේ කැමරාවේ බැටරිය මැරිලා. ආ.. කැමරාව ගැන නම්  තියන්න තියන්නේ එච්චර හොඳ සටහනක් නෙවේ. වෙනද මම ෆොටෝ ගන්න නොකියා 6220 ජංගම දුරකතනයටත් අන්තයි. මේකේ දාල තියන ෆොටෝ උනත් තෝරලා තෝරලා ගත්තේ.. අනිත් ඒවා බොහොමයක් හරියට හවස 6ට 7ට ගත්ත ගානයි..


ප/ලි- කට්ටිය එල්ජින් ඇල්ල ගැන අහල තිබ්බ නිසා මෙන්න ඒකෙ ෆොටෝවකුත් දානවා-
මේ තමයි එල්ජින් ඇල්ල. මේක ගත්තේ කලින් දාපු මෙන්න මේ ගමන  ගිහින් පොඩ්ඩි එක්ක ආපහු එනකොට පා පුවරුවක ඉඳන්..

 විශේෂයෙන් සැලකිය යුතුයි-

* පිහිනීමට කිසිඳු හැකියාවක් නොමැති හෝ දුර්වල ශරීර ඇති අය නෑමට ඇල පාර මැදට යාම නම් අතිශය භයානකයි.. එසේම දිය ඇල්ල පාමුලට යාමට මාර්ගයක් නොමැත. යා යුත්තේ ගල් පර්වත උඩින් පැනගෙනයි. එම ගල් නිරතුරුවම දියසෙවෙල් වලින් ආවරණය වී පවතී..

* මෙම ප්‍රදේශයේ ගෝනුස්සන්, සර්පයන් ආදී සතුන් ගැවසේ. විශේෂයෙන් කූඞැල්ලන්ගේ ප්‍රහාරයට ලක් වීම බලාපොරොත්තු විය හැක. දෙහි ගෙඩි දෙක තුනක් ගෙන යාම කොයි අතිනුත් ප්‍රයෝජනවත්ය.

* මෙම පරිසර පද්ධතිය රැකබලා ගැනීම හා ආරක්ෂා කිරීම මෙහි සංචාරය කරන ඔබ සතු වගකීමකි. පිය සටහන් පමණක් තබා එන්න. ඒ හැර ඉවත දමන දේ දැමීමට නියමිත තැන් වල පමණක් දමන්න.

* පානීය ජලය හා ආහාර රැගෙන යාමට වග බලාගන්න.


විශේෂ ස්තුතිය-
අකිල කරුණාරත්න අයියාට- මා ගමනට සම්බන්ද කර ගැනීම වෙනුවෙන්..
අකිල අයියාගේ පියාට- මා සඳහාද ප්‍රවේශපත් මිල දී ගැනීම හා ජයාරූප ගැනීම වෙනුවෙන්..
සහ නන් අයුරින් උපකාර කල සැමට.....

Sunday, August 18, 2013

විභාගය, තවත් දේ සහ තව තවත් දේ..

    අන්තිමට ලියපු චිත්‍රපටි කතාවෙන් පස්සේ සෑහෙන කාලයක් නිහඬව ඉන්න සිද්ද උනා.. මොකද මම උසස් පෙළ ලියපු නිසා.

   ඒ හේතුව නිසාම මගේ පරිගණකය පැත්තකට දාල තිබ්බ නිසා බ්ලොග් කියවන්න/ කමෙන්ට් දාන්න උනේ ෆෝන් ඒකෙන්. ඒක නොකියා  6720c එකක්. සිංහල නෑ. ඉතින් කමෙන්ට් කරේ සිංග්‍රීසි වලින්. ඔය හේතුව නිසා බ්ලොග් ලියන අය මගෙත් එක්ක පුෂ්පය පන්නගෙන හිටි බව මම දන්නවා!! 
   මේ පාර නම් උසස් පෙළ ගිය පාරට වඩා ටිකක් අමාරුයි කියන්න තමයි තියන්නේ... ටිකක් නෙවේ හුඟක් අමාරුයි මට නම්.. ඇත්තෙන්ම කිව්වොත් සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියන එක මම තාම හිතනවා...                        
                                        

     

   

       ඒ අතරේ වෙච්ච තව තව සිදු වීම් ගොඩාක් තියනවා. අලුත් දුම්රිය නිසා උඩරට දුම්රිය කාල සටහන ජංජාලයක් වෙලා. හවස 4.30ට කාර්යාල වලින් එන මිනිස්සු දුම්රියේ ගෙදර යන්න ඕනේ නම්, ඒ කිව්වේ නාවෙලපිටිය පැත්තට, 4.45 වෙනකොට මහනුවර දුම්රිය ස්ථානයට එන්න ඕනේ.. ඒ කිව්වේ ඉස්සර හවස 5ට හැටන් ගිය එක දැන් යන්නේ 4.45ට! යකාගේ දුම්රියක් තමයි එක. පොඩ්ඩක් හරි මග පරක්කු උනොත් දිගටම පරක්කු වෙන්න ගන්නවා දැන්..
     ආ... කෝච්චි ගැන කියනකොට තව එකක් මතක් උනා.. මම විභාගේ ලියපු පලවෙනි දවසෙම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න උනා. ඒ තමයි ගැහැනියක් දුම්රියට අසු වී කුඩු වෙන හැටි බලන් ඉන්න වීම. මම එදා විභාගේ කරලා එද්දී දුම්රිය ස්ථානයෙන් කිව්වා අපේ කෝච්චිය ප්‍රමාදයි කියල. ඉතින් මම එවෙලේ පේරාදෙණියට ගිය දුම්රියේ ආව මොකද එතන ඉඳන් ගෙදරට යන්න දෙන්න ඕනේ නුවර ඉඳන් බස් එකට දෙනවට වඩා බාගයක් අඩුවෙන් :-)
    ඒත් මම පේරාදෙණියෙන් ගිහින් ඇහුවම කිව්වා කඩුගන්නාවේ තියන්නේ, දැන් එයි කියල. ඒ වෙද්දී වෙලාව 4.25යි. ඉතින් තව වෙලා තියනවනේ කියල ඉද්දි ඔන්න පොඩි මැණිකේ ආව දෙවෙනි වේදිකාවට. මමත් ඔකේ නැග්ග පිටිපස්සෙන්. නුවර අපේ සෙට් එක ඉන්නවනේ.. පොඩි මැණිකේට දැන් යන්නේ අර අලුත් බලවේග දුම්රියක්..
ඔය ඉන්නේ.. මෙයාටම තමා එදා හැප්පුනේ..
    ඉතින් මෙයාගේ දිග වැඩි නිසා වංගුවකදී පිටිපස්සේ ඉන්න අයට ඉස්සරහ හොඳට පේනවා. අර C අකුරේ වගේ.. මමත් හිටියේ පිටිපස්සේ නිසා මටත් පේනවා. දැන් මේක ප්‍රමාද වෙලා නිසා කඩාගෙන යනවා 80ට විතර. හෝන් එක ගහගෙන ගන්නෝරුවේ ක්රොසින්ග් එක පහු කලා විතරයි උසාවිය හරියේදී ගෑනු කෙනෙක් තිබ්බ නේද පාරට අඩිය.. චස් ගාල වැදුනා. ඒ වැදිච්ච හැටියට ආය ඉතුරු වෙන්න දෙයක් තිබ්බේ නෑ. කුඩේ පැටලිලා බ්රේක් හෝස් එකක් ගැලවිලා තිබ්බ. පහු කරගෙන ගිහින් නතර උනා. ආය ඉතින් මොනවද.. මිනිහෙක්ද බල්ලෙක්ද ඌරෙක්ද කියලවත් හොයාගන්න බෑ. කෑලි කෑලි අඩි 15ක් විතර පාර පුරා.. කට්ටිය රැස් වෙලා සිටි සිටි ගාල ෆොටෝ ගහනවා. මගේ අතෙත් ෆෝන් එක තිබ්බත් මේවා ෆොටෝ කරලා කන්නද කියල බලල විතරක් ආවා..... ඒක දැකල නම් සංසාරේ එපා උනා.. ඒත් අපි හැටන් කොච්චියේදීත් කතා උනා මෙහෙම කෑලි ගොඩක් වෙලා මැරෙන්න මොන තරම් පව් කරපු කෙනෙක් වෙන්න ඇතිද කියල..
   පස්සේ ගෙදර ආවම තමා සිද්දිය දැනගත්තේ.. මේ ගෑනි ඇවිල්ල අරක්කු විකුනපු එකියක්.. ගමකටම බොන්න දීපු පවට මෙහෙම දෙයක් වෙන්න ඇති කියල මට නිකමට හිතුනා.. ඇයි යකෝ ඔය බීම නිසා පවුල් කීයක් කඩාකප්පල් වෙන්න ඇතිද? ඒ පව තමා ඔය වදින්න ඇත්තේ.. මේ ඉතින් මට හිතිච්ච විදිය..
   තව කියන්න තියන්නේ මම දහම් පාසල් අවසානේ ධර්මාචාර්ය විභාගෙත් ලිව්වා.. ඒ විභාගේ අන්තිම දවසේ ආරංචියක් ආව බුද්ධගයාවට බෝම්බ ගහල කියල කාලකන්නි ටිකක්. මමත් ඉතින් පොඩ්ඩක් ඇහැ දාල බැලුව මොකද වෙලා තියන්නේ කියල. වැඩිය විනාසයක් වෙලා නම් නෑ.. ඒත් ඕවගේ පලියත් වදියි ඉතින් වැදිය යුත්තාට...
    මේ රටේ බලපුවාම නම් එකක් පස්සේ එකක් කතා කල යුතු මාතෘකා ඇති උනා.. ඒ උනාට... ඒවා ගැන ගොඩාක් බ්ලොග් වල එක එක දෘෂ්ටි කෝන වලින් පෝස්ට් දැකපු නිසා, ආය මෙතන නම් කියවන්න ඕනේ නෑ කියල හිතල මුකුත් දාන්නේ නෑ....
     ඒත් ඇන්කර් කාරයෝ කරපු වැඩේ නම් වැරදියි.. උන් යකෝ උන්ගේ නවසීලන්තේ මව් සමාගමෙනුත් පිළිගත්ත ඉලව්ව නෑ කියන්න තව දැන්වීමුත් දානවනේ.. එක්කෝ කට පියාගෙන ඉන්න ඕනේ.. මේ කිරි ගැන ඇත්තම කිව්වොත්, මේ ලෝකේ කිරි බොන වයස පහු වෙලත් කිරි බොන එකම සත්තු ජාතිය තමා මිනිස් සතා.. එක බොන්නෙත් තමන්ගේ ජාතියෙන් නෙවේ වෙන, පහත කියල සලකන ජාතියක දරුවෙකුට දෙන්න එරෙන කිරි ටික උදුරාගෙන.. ඒ සත්තුන්ට කොහොම දැනෙනවා ඇද්ද? අනික, මම ඉගෙනගෙන තියන හැටියට, මිනිසාට කිරි දිරවගන්න (හරියට දිරවගන්න) පුළුවන් පොඩි කාලේ විතරයි. ඊට පස්සේ ඒ හැකියාව අඩු වෙනවා. කිරි පෝෂ්‍යදායකයි තමයි.. ඒත් ඒ වෙනුවෙන් තව සතෙකුගේ පෝෂණ අවශ්‍යතාවය බිල්ලට දෙන එක හරිද?? එක අතකට අර මේ ලෝකේ මනුසතා විතරක් ජීවත් උනා නම් ඇති, අනිත් උන්ට හෙන ගැහුනත් කමක් නෑ කියන දර්ශනය උඩ දුවන මේ ලෝකේ, මම මේවා කියෙව්වයි කියල වෙන වැඩකුත් නෑ..



   **************************************************************************

     බ්ලොග් ලෝකේ පැත්තෙන් බැලුවමත් සෑහෙන දේවල් වෙච්ච කාලයක්..
මට බ්ලොග් ලෝකේ පලවෙනි රිප්ලයි කමෙන්ට් එක දාපු පොඩි කුමාරිහාමි විවාහ ජීවිතේට ඇතුල් වෙලා, මාරයා තුමා උයල දිනලා, තව වැඩ කෝටියයි.. ඒ අතරේ මගේ මේ බ්ලොග් කටුවටත් අවුරුද්දක් පිරුනා! ඒ වෙනුවෙන්වත් පෝස්ට් එකක් දාන්න වෙන්නේ අද! ඉතින් මෙච්චර කලක් මගෙත් එක්ක රැඳිලා හිටපු, මම දාපු ට්‍රයල් පෝස්ට් එකේ හිටන් පෝස්ට් කියවපු, කමෙන්ට් කරපු, රිප්ලයි කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි!! ඒ වගේම, දිගටම මගෙත් එක්ක ඉන්න!!!