Sunday, April 13, 2014

හදවතේ නවාතැන...



         සාමාන්‍යයෙන් ඕනෙම මනුස්සයෙක් හරි සතෙක්ට හරි තියන බලාපොරොත්තුවක්, එහෙමත් නැත්තම් උවමනාවක් තමා තමන්ටම කියල වැටිලා ඉන්න තැනක් හදාගන්න එක.. එක අතකට, ඒක ඒ ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වෙන්න පුළුවන්.. සතුරන්ගෙන් බේරිලා, තමන්ට අයත් දේ එක තැනක තියාගෙන කරදරයක් නැතුව නිදහසේ තමන්ගේ කියල තැනක ජීවත් වෙන්න ඕනෙම කෙනෙක්ගේ හිතේ තියන්නේ ලොකු ආසාවක්.. ඉතින් මෙහෙම හදාගන්න තැනට, නමක් දීල තියනවා “නිවස” කියල..


"හදවතේ නවාතැන"


ඒත්.........

         තමන් ජීවත් වෙන ඕනෙම තැනක් තමන්ගේ නිවස වෙනවද...?
ඒ කියන්නේ තමුන්ගේ ඉඩමක උනත්, තමුන්ගේ ගමේ උනත්, තමුන්ගේ අය අතරම උනත් පිහිටලා තිබ්බත්, එතන තමුන්ගේ හිතට ඇල්ලුවේ නැත්තම්, කොච්චර සැප පහසු උනත් ඒකට හිතට එකඟව “මේ මගේ ගෙදර” කියල කියන්න පුලුවන්ද....
          මම 7 වසරේ ඉන්නකොට මම එක කතාවක් කියෙව්වා චාල්ස් ජී වෝ (
Charles  G. Waugh) කියල ලේඛකයෙක් ලියල තිබ්බ “Long way home” කියල කෙටි විද්‍යා ප්‍රබන්දයක්.. ඇත්තෙන්ම මම කියෙව්වේ දුමිදු විතාරණ මහත්මයා විසින් කල එහි පරිවර්තනය. ඒ කතාව පියෙක් සහ තාරකා අතරට යන දීර්ඝ සංචාරයකට සූදානම් වෙන පුතෙක් අතර වෙන් වන මොහොතේ ඇති වන සිදු වීම් මාලාවක් ගෙන එන ඉතාම සංවේදී ප්‍රබන්දයක්..
            මේ කතාවේ එන අන්තිම ඡේදයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම :-
    “මේ මගේ නිවසයි.. මගේ පියාගේ නිවස වූයේද මෙයයි. එහෙත් මිනිසකු ජීවත් වන තැන සැමවිටම ඔහුගේ නිවස වන්නේ නැත. මිනිසකුගේ නිවාස ඔහුගේ ගතේ නොව හදවතේ නවාතැනයි...”

            මේ කොටස ඒ පියාගේ හිතේ ඇතිවන සිතිවිල්ලක්.. මේ කතාවේ ඇත්ත නැත්ත 2005 වසරේ අවුරුදු 12ක ළමයෙක්ව ඉද්දි මට තේරුනේ නෑ..
          ඒ උනත්, ඊට අවුරුදු 3කට පස්සෙ, මම 10 වසරේ ඉන්නකොට, ඒ කියන්නේ 2008 වසරේ අගෝස්තු මාසේ, ඒ වෙද්දී වසර 60ක් පමණ වයස් වෙච්ච අපේ ගෙදර කඩා දමා එහි අලුත් නිවසක් තැනීමේ වැඩ පටන් ගන්නවා.. එහි පියවරක් වශයෙන් මා මගේ ජීවිතයේ දශක එක හමාරකට වඩා ගෙවූ, සුන්දර, අසුන්දර, බියකරු, විනෝදජනක, අත්දැකීම් සහ සිදුවීම් රාශියකට මුල් වූ මගේ කාමරය බිමට සමතලා කෙරෙනවා.. මාව ඒ ගෙදරම වෙනත් කාමරයකට මගේ සියලු ආම්පන්න සමග තල්ලු කෙරෙනවා.. එයින් වසර 6ක් ගිය තැන, අද දවසේ, ඒ පැරණි නිවසින්, හෙවත් මගේ හදවතේ “නිවස” යනුවෙන් සටහන් වී ඇති ස්ථානයෙන්, එහි අවසාන වැසියාත් ස්ථිරවම ඉවත් වෙද්දී, මට වෙන කාටත් වඩා හොඳින් නිවසක් යනු කුමක්ද යන්න පැහැදිලි උනා..


         අලුත් නිවසක්, අලුත් කාමරයක්, අලුත්ම අලුත් බිත්ති ආදිය කුමක් තිබුනත්, මගේ දශක දෙකකට ආසන්න ජීවිත කාලයෙන් හතරෙන් තුනක් පමණ ගෙවී, මට සෙවන සැපයු, ජීවන සුවඳ රැගත් “නිවස” නොමැකෙන සිහිවටනයක් ලෙසින් මගේ මතකයේ තැම්පත් වී තිබේවි..

            

මේ සොඳුරු මතකයන්, නැවත කිසිදා කිසිඳු අයුරකින් නොසිදුවෙන සිදුවීම් දායාද කල තැන හදවතේ නවාතැන වීම අරුමයක්ද...
                              
          අදටත් මට බැහැර ස්ථානයක සිට නිවස මතක් කරන විට සිහියට එන්නේ අලුත්ම අලුත් ගෙදර නොව, පිළිස්සූ ගඩොල් මැටි බදාමයෙන් බැඳ, කොටසක් මැටි කපරාරුවෙන් හා කොටසක් සාමාන්‍ය කපරාරුවෙන් වසා ක්‍රීම් පැහැය ආලේප කරන ලද ඒ පැරණි නිවසයි..

ප/ලි-
පසුගිය පෝස්ටුවෙන් පසු නැවත සිංහල අලුත් අවුරුද්දට කලින් ලිපියක් ලිවීමට අදහසක් නොවීය. නමුත් පරණ නිවස අත්හැර දැමීම හේතුවෙන් ඇති වූ සිතිවිලි වලින් ස්වල්පයක් මෙසේ අකුරු කිරීමට මට සිත් විය.. එසේ ඇවිත් අවුරුද්දට සුභ පතා යා යුතු යයි සිතුනු බැවින්,
ඔබ සෑම සියලු දෙනාටම නව බලාපොරොත්තු සහිත,
නැවුම් අරමුණු සහිත,
සෞභාග්‍යමත්,
සුභ නව වසරක් වේවා!!



10 comments:

  1. 'හදවතේ නවාතැන ' ලස්සණයි. :)
    ආයෙම සැරයක් සුබ අලුත් අවුරුද්දක් අඟහරුට.!!!

    ReplyDelete
    Replies
    1. මම මේ ලින්ක් එක දෙන්න හිතුව විතරයි.. මේ පොස්ට් එක හදිසියේ ටයිප් කරේ හිතට ආපු අදහස් ටිකක්..
      අක්කටත් ආයෙමත් සුභම සුභ නව වසරක් වේවා!!

      Delete
  2. ඔය වගේ නවාතැනකට ඇත්තටම මාත් මාරම ආසයි..

    සුභ අළුත් අවුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. මෙතන ඇත්තටම මාරම ගති.. මමත් ආසම ගෙදරක්..
      දිනේෂ්ටත් එසේම වේවා!!

      Delete
  3. පරණ අවුරුද්දේ ඉඳලා අලුත් අව්රුද්දට එත්දී, පරණ නිවසේ ඉඳල අලුත් නිවසට එම සිහියට ආපු එක වටිනවා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. අලුත් ගෙදරට ආපු එක නම් වටිනවා.. පරණ නිවසත් එහෙම්මම තියනවා අවුරුදු ඉවර වෙනකල්..
      සු දී ක අයියටත් සුභම සුභ නව වසරක් වේවා!!

      Delete
  4. ඔන්න අඟහරු මලේ අපිත් ගොඩ වැදුනා.. දිගටම ගොඩවදින්නම් අලුත් අවුරුද්දේ ඉදන්.. ඉතින් සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ෂැගියාවත් සාදරයෙන් පිලිගන්නවා අඟහරු ලෝකෙට...! එන්න එන්න දිගටම එන්න අපිත් එන්නම් ඔය පැත්තෙත්.. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්!

      Delete
  5. ඔන්න මලේ මං අවා.බලන්න වටින බ්ලෝග් එක්ක.කොහොමද මන්දා මඟ ඇරුණා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා! ස්තුතියි ප්‍රතිචාරයට! දැන් ඇඩ්රස් හොයාගත්ත එකේ දිගටම එන්නකෝ!

      Delete