Thursday, April 16, 2015

අවුරුදු කතා...


        ඔන්න ඉතිං තව අවුරුද්දක් ඉවර උනා.. සූර්යයා ග්‍රහ චක්කරේ වටේ ගිහිං ආපහු මුලට ආවා.. ඉස්සර වෙලාම කට්ටියටම 
                                       
කියල ඉන්නම්කො...

         මේ ටිකේ ඇත්තටම මොකක් වෙලාද මන්දන්නේ නෑ බ්ලොග් එක 4 මායිමේ එන්න හිතෙන්නේ නෑ.. ලියන්න කියල දේකුත් හිතේ නෑ. කෝච්චි ගැන ලිව්වට කියවන බල්ලෙක් වත් නැති නිසා ඒවා ආය ලියන්න යන්නේ නෑ කියල හිතාගත්තා. ලියන්නේ මොනාද කියල හිත හිත ඉන්න ගිහිල්ල කොහොම හරි අවුරුද්දත් පැන්නා.. ඊයේ රෑ ඔන්න හිතුනා අවුරුදු කතා ටිකක් ලියන්න.. මේ ඒ ටික...

          මට ඔය අලුත් අවුරුද්ද හොඳට සැමරුවා කියල මතකයක් මුලින්ම තියන්නේ 1998 අවුරුද්දේ තමයි. ඒ කාලේ වෙද්දී අපේ අම්ම එහෙමත් අපිත් එක්ක හිටපු නිසාත්, ගෙදර අනික් කට්ටියත් නැකත් එහෙම නූලටම වගේ කරපු නිසාත් අවුරුද්ද ජයටම වගේ තිබ්බා. ගනුදෙනු කිරීම පවා ඒ කාලේ කරා. ජීවිතේ පලවෙනි පාරට ගිනි කූරක් ගැහුවෙත් ඒ අවුරුද්දේ... 99, 2000 අවුරුදුත් ඒ වගේ ගියා..

         කොහොමින් කොහොම හරි 2002 අවුරුද්ද නම් එපාම කරපු එකක් උනා මතකයි. ඒ ගැන වැඩිය සඳහනක් නොකර ඉන්නවා. 2004ත් තරමක් හොඳ උනත්, 2005, ඒ කියන්නේ මීට හරියටම දශකයකට කලින් අවුරුද්ද තමා මට නම් සරුම. නැන්දලාගෙන් මාමලාගෙන් ඇඳුම්, රතිඤ්ඤා, අහස්කූරු එහෙම හම්බුන ඒකත්, අප්‍රේල් මාසෙම නිවාඩු වෙච්ච ඒකත්, සෙල්ලම් කරන්න එහෙම සෑහෙන ගෘප් එකක් හිටපු ඒකත් එකට හේතු උනා..
        ඒ කාලේ 7 වසරේ හිටපු අපිට කොහොමත් අවුරුදු සරු වෙන්නේ ඇඳුම්, කෑම වලටත් වඩා ඔය ගිනිකෙළි නිසා නේ.. ඒ කාලේ අල්ලපු ගෙදර දෙන්නයි මමයි එකතු වෙලා තමයි ඕවා පත්තු කරන්නේ.. ටින් වලට දාල රතිඤ්ඤා පත්තු කරන එක, පොල් කටු අස්සට දාල පත්තු කරන එක, මහ පාර දිගේ අහස් කූරු යවන එක තමා ඒ දවස් වල අපේ වැඩේ. 


ශ්‍රී වේළුවනාරාමය අපේ ගෙදර වහල උඩ සිට..
(Nokia 6720c දුරකතනයෙන් ගත් සේයාරුවකි)

           අපේ ගෙදර ඉස්සරහම තියන්නේ පන්සලක්. කුඩාපීලිගම ශ්‍රී වේළුවනාරාමය තමා නම. ඔකේ ඉන්න පොඩි හාමුදුරුවන්ට එහෙම මේ කාලෙට රතිඤ්ඤා අහස් කූරු නිලා කූරු එහෙම හම්බවෙනවා ආය කඩවල් ගණන්. දායක දායිකා සැදැහැවත් උපාසකයින් ගෙනත් පුදන ඒවා.. ඉතිං නිකම් ලැබෙන එක නේ.. අවුරුද්දට දවස් දෙකක් විතර තියලා පටන් අරං, ආය අවුරුදු පහු වෙලා සතියක් විතර යනකල් සද්දේ. හැබැයි හොඳම සෙල්ලම පටන් ගන්නේ රෑට. කට්ටිය සෙට් වෙලා අපේ ගෙදරටයි අල්ලපු ගෙදරටයි අහස් කූරු එවනවා. අපි යවනවා රිප්ලයි. අවුරුදු දවසට මේ හරිය නිකං මුදා නොගත් කලාපයක් වගේ තමයි.

මේ වගේ තමා ඒ දවස් වල අපේ ගෙවල් පැත්ත. මේක නම් ගූගල් සර්ච් එකෙන් හම්බුනේ.  



       දවසක් ඔය වගේ අහස් කූරක් ඇවිල්ලා අපේ ගෙදර ඉස්සරහම පිපුරුවා.. මම අහස් කූරු යවන්නේ කොසු මිටකට ඇණ දෙකක් ගහල අටවගත්ත ලෝන්චර් එකක තියල. ඕක මිදුලේ හිටවල තමා තියන්නේ. අහස් කූර ආපු එකට මට දැන් මල. මම මොකද කරේ ගානට ලෝන්චර් එක ඒම් කරලා, ඉරට්ට හරි කෙලින් තිබ්බ අහස් කූරකුත් අරගෙන, වැඩි හරිය කඩලා පත්තු කරා.. හුටා මේක කෙලින්ම ගිහිල්ල ආවාස ගේ දොරකඩ දඩෝන් ගාපි... ටිකකින් පන්සල ඇතුලෙන් ඇහෙනවා ලොකු හාමුදුරුවෝ අමතන සද්දේ... ඒ යුද්දේ එතැනින්ම අහවරයි.
          ආය දවසක් මම අහස් කූරක් පත්තු කරලා ආපහු හැරෙද්දී අත වැදුනා ඔය ලෝන්චර් ඒකෙ. අනේ ඒ අහස් කූර කැරකිලා ගිහිල්ල පාරේ ගිය වීල් එකක පිපුරුවා... ඌ ඇමතුවා ඇමතිල්ලක් ආය නෑ ඒ භාෂාව මාර සුන්දරයි.. කොච්චර සුන්දරද කියනවා නම් මම ඉස්සරහ ලයිටුත් නිවලා ගෙදර ඇතුලට ගිහිං දොරත් වහගත්තා... මම හිතන්නේ අපේ පරම්පරාවටම එදා කිබුහුම් යන්න ඇති හිටු කියලා..
            අහස් කූරු ඉවර උනහම අපි ගන්නේ ග්‍රෙනේඩ්.. ආ නෑ වැරදුනා රතිඤ්ඤා.. 
     
ඔය තියන්නේ ජාති ඔක්කොම..
       ඒ කාලේ තිබ්බ අලිඩොන්, මැණික්, යකා මාක්, මුවා එහෙම කියල බ්‍රෑන්ඩ් හැටහුටාමාරක්. හැබැයි ගිය අවුරුද්දේ කන පැලෙන්න සද්ද තිබ්බ එක ඊළඟ අවුරුද්දේ *ඩයක් තරම් වත් සද්ද නෑ. අලිඩොන් ඒකෙ නූල තියන්නේ අඟල් භාගයයි. නැත්තම් ඊටත් අඩුවෙන්. ඕක අපි කරන්නේ සවු කොලේ ගලවලා නූල ටිකක් පළුඳු කරන එක. හැබැයි එක දවසක් දාපු ගමන් පුපුරලා දකුණු කන කූං කූං ගගා තිබ්බා මාස ගානක්...
        ආය ඔය අපේ පැත්තේ මරිමෝල් ඩයල් එකක් ඉටිපන්දමකින් රතිඤ්ඤා පත්තු කරන්න ගිහිල්ල, ඉටි පන්දම විසි කරලා රතිඤ්ඤා එක සාක්කුවට දාගෙන තිබ්බා.. මිනිහා ඊට පස්සේ දකින්නවත් හිටියේ නෑ හැබැයි.. මේ පෝස්ට් එක ලියන වෙලාවේ අපේ අප්පච්චි ඉඳගෙන කියනවා අනුරාධපුර පැත්තේ සිගරට් එකකින් පත්තු කරන්න ගිහිල්ල ඒක විසි කරලා රතිඤ්ඤා එක කටේ ගහගත්තා කියලත්. මිනිහ නම් නොමැරී බේරිලා තියන්නේ 99යි දශම 999999ලු.
        මේ අවුරුද්දෙත් ඔය ගිනිකෙළි සෙල්ලම් සෑහෙන්න මෙහෙ තිබ්බා.. පන්සලේ හිටියා මුවෙක්. අනේ පන්සලේ ඩීන් ඩොන්ග් ගගා පුපුරන සද්ද වලට බයේ ඌ 14 වෙනිදා රාත්‍රියේ පැදුරටත් නොකියා පැනල ගිහිල්ලා.. ඌ තාම ආගිය අතක් නෑ කියල තමා දැනගන්න ලැබුනේ.
         අවුරුදු ගැන කියද්දී මතක් වෙන තවත් දෙයක් තමා අවුරුදු උත්සව. දහම් පාසලේ හිටපු ගුරුවරයෙක් වශයෙන් මමත් දහම් පාසලේ අවුරුදු උත්සවේට නොමසුරු ශ්‍රම දායකත්වය දුන්නා.. තව පොඩ්ඩෙන් කණා මුට්ටි බිඳපු පාර මගේ ඇහැකුත් දන් දෙන්න වෙනවා.. තව ඔය ෆේස්බුක් එක පැත්තේ දැක්කා මෙන්න මෙහෙම තරඟ වගේකුත්-
* අවුරුදු කුමාරිට පොල්ලෙන් ගැසීම,
* ලස්සනම කණා මුට්ටිය තේරීම,
* ලිස්සන ගහේ ග්‍රීස් ගෑම,
*අවුරුදු කුමාරයාගේ ඇට ගණන් කිරීම,
* පැපොල් ගෙඩිය හැන්දේ තබාගෙන යැම,
* ගම හරහා බඩ ගෑම,
* සැඟවුණු බනිස් සෙවීම,
* ගම හරහා කඹ ඇදීම,
* කනාට මුට්ටියෙන් ගැසීම,
* දෙහි ගෙඩියට ඇහැ තැබීම,
...... තව සෑහෙන්න තිබ්බා... ආ මේ අවුරුද්ද ගැන ලියද්දි මතක් උනේ.. ලබන සතියේ අපේ බ්ලොග් ලියන කට්ටියගේ සයිබර් සැණකෙළිය පැවැත්වෙනවා... කට්ටියම එන්ඩ ඈ.. ඕනේ නම් ඔය උඩ තියන තරඟයක් දෙකක් තියන්න කියමු...

ප.ලි- පැනලා ගිය මුවා පන්සලට ටිකක් එහා කැලේ සිටියදී හමු වී නැවතත් පන්සලට වඩම්මවා... ආ නෑ මේ ගෙනාපු බව ලාම්පු කණගාටුවෙන් යුතුව සඳහන් කරමි...

22 comments:

  1. අවුරුදු තරග ටික මරු...

    ReplyDelete
    Replies
    1. ආය ඒ ටික නම් පට්ට තරඟ ටික.. ලබන පාර සයිබර් ෆෙස්ටිවල් එකට මෙයින් ටිකක් දාන්න කියන්න ඕනේ..

      Delete
    2. ලබන පාර මාත් එනවා සැඟවුනු බනිස් ගෙඩිය සොයන්න... :-)

      Delete
    3. ඩ්‍රැකී- එන්න එන්න.. ඉතුරු ටිකටත් ඉන්න බැරුවය...

      Delete
  2. හිකිස්..කතාව නම් මරේ මරු..
    ඉදල ඉදල ඉදල ඉදල ලියන කතා තමයි පට්ට ආතල්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මේ ටිකත් ඔය තෝරලා තෝරලා හැකි තරම් කෙටියෙන් තමා කිව්වේ.. කටින් කියද්දී තරම් ලියද්දි රහ නෑ අෆ්ෆා...

      Delete
  3. අඩේ මරු තරඟ ටික බං..

    ReplyDelete
    Replies
    1. ආය ඉතින් අපි කරොත් දන්නවනේ.. :D

      Delete
  4. අපේ බාප්පා එක පාරක්, (මේක නම් අඟහරුවා පල්ලා සහතික ඇත්ත) බඹර චක්‍රයක් පත්තු කරලා, ගිණි පෙට්ටිය දෙපැත්තට ගසලා විසික් කරලා, ගණිකූර සාක්කුවේ දාගත්තා. සාක්කුවෙ තව බඹර චක්‍ර දෙකක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ බාප්ප බඹරයක් වගේ උනාද?

      Delete
    2. හපොයි සල්ලි.. ආ නෑ බඹර චක්‍ර... එතකොට අතේ තිබ්බ එකට මොකද උනේ?

      Delete
  5. නියම කතා ටික බං.
    මේ ගමන අවුරුද්ද මටත් ඒ හැටි සරුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉතිං ඒ හැටි සරුවක් නෑ... කොහොමත් ඔය 2005 අවුරුද්ද වගේ එකක් ආය ජීවිතේට එන්නෙත් නෑ...

      Delete
    2. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහල ලින්ක් එකෙන් අපේ සින්ඩියට ඇවිත් අපට ඔබගේ බ්ලොග් ලින්ක් එක මේල් කරන්න පුළුවන්.

      http://blogdharshakaya.blogspot.com/

      Delete
  6. හිටපිය මමත් ගල් බෝතල් තුනක් විතර එක හුස්මට ගහලා මේ ලැයිස්තුවේ තියන තරග වලට සහභාගී වෙනවා. යකෝ මෙව්වා කියවලා තනියෙන් හිනාවෙනකොට ගෙදර උන්දැ අහනවා පිස්සුද කියලා. ඒකට කියන්න උත්තරයක් කියලා දීපං.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා මේ තරඟ ටිකට සහභාගී වෙද්දී පොඩ්ඩක් දන්වන්න ඈ..
      හාමිනේට කියන්න අඟහරු අවුරුදු උත්සවයක විස්තර වගයක් දාලා කියලා..

      Delete
  7. අගහරුවෝ උඹටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා හරිය

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරේ ඔබ සැමදෙනාටත් එසේම වේවා හරිය!!

      Delete
  8. නියම කතා ටික. ඉස්සර අපේ ප්‍රියතම බ්‍රෑන්ඩ් එක ගොරිල්ලා. අහස් කූරු නම් ටිකක් බයානකයි. කොහේ කැරකෙයිද කියලා සුවර් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා ඔව්.. එක පාරක් එකක් කැරකිලා ගේ ඇතුලටත් ඇවිල්ලා තියනවා.. වෙලාවට ඒක පිපුරුවේ නෑ ඇතුලේ. මම එදා ඉඳන් ඉරට්ටේ නැවිල තියන හරිය කඩනවා..

      Delete
  9. බලාගෙන ගියාම උඹ අපේ අල්ලපු වැටේ ද කොහෙද ඉන්නේ.. මම ඉන්නෙත් ඔතනමයි, ගල් වැඩපල ඉස්සරහ :D

    ReplyDelete