Saturday, January 9, 2016

ලංකාවේ ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානය වෙත..

           අඹේවෙල  දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ, නැවතත් සිය සුපුරුදු නැග්ම වෙත අවතීර්ණ වූවාය.. අවට පරිසරය තේ වතු වලට වඩා, උඩරට එළවලු වගාවන් තුලින් වැටුණු සෙයක් දිස් විය. ඇත්ත වශයෙන්ම තේ වතු නොදුටු තරම්ය. 
උඩරට  එළවලු වගාවන්..

          මාර්ගයේද දළ බෑවුමක් නොවූ ලෙසින්, පොඩි මැණිකේ මෙම කොටසේ තරමක වේගවත් ධාවනයක් සිදු කලාය. අඹේවෙල වන තුරු පැමිණි අඩි හතලිස් හතරට එකක් වූ දැඩි ආනතියට වඩා අඩු ආනතියක අප ගමන් කරන ලෙසක් දැනුනි.
          එමෙන්ම, ඉහලට යන විට කාලගුණයේ සහ අවට පරිසර උෂ්ණත්වයේද වෙනසක් දැනුනි. හිරු පායා තිබුණු දීප්තිමත් දිනයක් වුවත්, අවට පරිසරයේ වූයේ ප්‍රබෝධජනක සිසිල්, නැවුම් බවකි. අප පා පුවරු වලම ගමන් කළෙමු. දුම්රිය තොරතුරු හුවමාරු කරගනිමින්, මාර්ගය ආදී දේ ගැන අප දත් දේ සාකච්ජා කරමින්, විහිලු තහළුවෙන් අප ගමන් කළෙමු.

          අශාන් ඔහු මෙම මාර්ගයේ ඔහු පැමිණි රේල් හයික් ගැන කතා කළේය. අපද එවැනි රේල් හයික් එකක් යා යුතු බව ඔහු යෝජනා කළේය.. රේල් හයික් ගැන එතරම් පැහැදීමක් හෝ දැනුමක් නොවුණු මා එම කතා අසා සිටියේය.
  
         ඉතා කෙටි දුරක් ගෙවීමෙන් අනතුරුව, නැවතත් සංඥා කුළුණක් දිස් විය. ඒ, පට්ටිපොළ ඉහල අවුට් හෝම් සංඥාවයි. තවත් කෙටි දුරකින්, පොඩි මැණිකේ පට්ටිපොළ දුම්රිය ස්ථානයට ලඟා වූවාය..
පට්ටිපොළ වෙත ලඟා වන පොඩ්ඩි.. පේනවා නේ? කැමරා ටික අතේම තමා..
         පොඩි මැණිකේ මේ පැමිණියේ, උඩරට මාර්ගයේ තවත් වැදගත් දුම්රිය ස්ථානයක් වෙතටයි. උඩරට මාර්ගයේ පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවටම සහ ලෝකයටම වැදගත් දුම්රිය ස්ථානයක් වෙතටයි. ඒ නම්, ලොව ඉහලම උසකින් පිහිටි පුළුල් ආමාන (Broad Gauge) දුම්රිය ස්ථානය වෙතටයි. එමෙන්ම, දැනට ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයටයි..
ප්ලැට්ෆෝම් ඒකෙ මෙන්න මෙහෙම එකක් තිබ්බා..
         උසින් මුහුදු මට්ටමේ සිට අඩි 6224ක් සහ, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 139ක් සහ දම්වැල් 19ක දුරින් පිහිටි පට්ටිපොළ දුම්රිය ස්ථානය, පාෂ මාර්ගයකින් සහ නටඹුන්ව ගිය තවත් වේදිකාවකින් සමන්විත තරමක් කුඩා දුම්රිය ස්ථානයකි. මහ එලිතැන්න රක්ෂිතය ආශ්‍රිතව පිහිටි මෙම දුම්රිය ස්ථානය, වාෂ්ප එන්ජින් යුගයේදී දුම්රිය ත්‍රිකෝණයක්ව පැවතුනි. එය භාවිතයට ගත්තේ, එකල නානුඔය දෙසින් සහ බදුල්ල දෙසින් පැමිණෙන සහායක එන්ජිම ආපසු හරවා යැවීම පිණිසයි.  
පට්ටිපොළ දුම්රිය ස්ථානය..
          දුම්රිය එන්ජිමක් හැරවීමට ක්‍රම දෙකක් ඇත. එකක් නම් මහනුවර ආදී දුම්රිය ස්ථාන වල දක්නට ඇති හැරවුම් මේසයයි (Turn table). අනෙක නම් ත්‍රිකෝණයයි. මෙම ක්‍රමය වියදම් අඩු ක්‍රමයකි. පට්ටිපොළ ත්‍රිකෝණයේ අඹේවෙල දෙසින් වූ කොටස, පසු කාලීනව ගලවා ඉවත් කර ඇත. 
දුම්රිය ත්‍රිකෝණයේ ඉතිරි කොටස..
         මගීන් කිහිපදෙනෙක් දුම්රියට ගොඩ වූ අතර, කිහිප දෙනෙක් බැස ගියෝය. දුම්රියට නලා සංඥාව ලබා දෙන්නට පැමිණි දුම්රිය ස්ථානාධිපති දුටු මට සහ අකිල අයියාට පුදුම සිතුනි. ඒ, එම දුම්රිය ස්ථානාධිපති වෙන කිසිවෙක් නොව, කලින් ගෙලිඔය දුම්රිය ස්ථානයේ සේවය කල ස්ථානාධිපතිවරයා වූ බැවින්ය!
වෙලාව පස්වරු 1යි 16 වී ඇත. විනාඩියක ප්‍රමාදයක් සහිතව අප පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් පිටත් වූයෙමු..

19 comments:

  1. නියමයි.
    ලෝකාන්නෙට යන එක පාරක් වැටිල තියෙන්නෙ පට්ටිපොල ස්ටේෂම කිට්ටුවෙන් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. එක පාරක් සහ ලේසි පාර වැටිලා තියන්නේ ඔතනින්. අනික් එක ඔහිය හරහා.

      Delete
  2. සාමාන්‍ය දවසක නම් මීදුම් සේල වලින් වැසුණු, සුන්දරතම අමුතු පරිසරයක් තියන තැනක් හැටියට මම පට්ටිපොළට ලොකු කැමැත්තක් තියනවා. හැබැයි වැහි කාලෙදිනම් සංසාරේ එපාවෙන මහා කුණාටු වැහි තමයි තියෙන්නේ.

    පට්ටිපොළ වැනි විශේෂ ස්ථානයක් ගැන කියනකොට ආශ්‍රිත කියවීම් සඳහා සබැඳියාවක් දෙකක් දීමෙන් ලිපියේ වටිනාකම වැඩිවෙනවා. ඒ නිසා ඉදිරි ලිපිවලදී ඒ ගැනත් සිතා බලන්න. මේ තියෙන්නේ එවැනි සබැඳියාවක්.

    https://en.wikipedia.org/wiki/Rail_transport_in_Sri_Lanka

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ යෝජනාවට. මම පට්ටිපොළ- ඔහිය- ඉදල්ගස්හින්න-හපුතලේ රේල් හයික් ගිහිං ඒ පැති ගැන ලොකු විස්තරයක් කලින් පෝස්ට් වල ගෙනාවා. ඒ විස්තරම ආය ලියන්න වෙන නිසා තමා මේ පෝස්ටුව මෙච්චර කෙටි කලේ. හපුතලේට යනකල් කෙටි පෝස්ට් ටිකක් තමා තියන්නේ..
      මට නම් පට්ටිපොලටත් වඩා අල්ලලා ගියේ ඉදල්ගස්හින්න.

      Delete
  3. පට්ටිපොල කියන්නෙ අමුතු සුන්දරත්වයක් තියෙන පලාතක්. ඒ හරියේ තේ වතු නැති උනාට උඩරට ගැමි පරිසරයයි එළවලු වගාවයි එක්ක පසෙකින් තිබෙන හෝටන් තැන්න ආශ්‍රිත කඳුකර වාන ලැහැබ් මේ සුන්දරත්වය එක් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. පට්ටිපොළ හරිම සුන්දර දුම්රිය ස්ථානයක්. මම කලින් පෝස්ට් එකකින් ඕක සම්පූර්ණයෙන්ම කවර් කරපු නිසා ආය කියන්න ගියේ නෑ..

      Delete
  4. ඔහොම ඒමු .......... ඔහොම ඒමු...............

    ඊළගට ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ ඊළගට අපේ වැයික්කිය...... අපි තේ ඒහෙම හදාගෙන බලාගෙන ඉන්නම්..... කාලා බීලා යන්න බැරියැ මෙතනින්......

    ReplyDelete
    Replies
    1. ආ නියමයි.. අපි ඊළඟ පාර කෑවෙත් ඒ හරියේදී තමා... එන්නම්කෝ එන්නම්කෝ..

      Delete
  5. කමෝන් සනා...

    විස්තරේ නම් මරේ මරු...ටොපේ top...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් කිව්වා!! අද නම් කෙටියි පෝස්ට් එක..

      Delete
  6. පට්ටිපොල ලංකාවේ වැඩිම උසකින් තිබෙන දුම් රිය ස්ථානය කියලනම් දැනගෙන හිටියා ඒත් පුළුල් ආමාන දුම්‍රිය මාර්ග වලින් ලෝකේම වැඩිම උසක පිහිටි දුම් රිය ස්ථානය කියලා දැනගන හිටියේ නෑ. පට්ටිපොල දුම් රිය ස්ථානය හා අවට පාරිසරික සුන්දරත්වය ගැන මටත් හොඳ මතකයක් තියෙනවා. එහෙනම් කලින් පෝස්ට් එකත් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. එල. ලංකාවේ හැබැයි ඉහලින්ම තිබ්බේ නම් ඕක නෙවේ. කඳපොල. මීටත් වඩා අඩි සීයක් විතර උසයි.

      Delete
  7. Table එකට වඩා ඇත්තටම අඩු වියදම්, සරල ගණිතමය සංකල්පයක් ත්‍රිකෝණය.
    මමත් එකතු කරන්නංකො
    ඔහොම යං!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දාද්දි පොඩි අලයක් වුණා දෙවන පේලියෙ. මෙන්න මේක...
      https://en.wikipedia.org/wiki/Wye_(rail)

      Delete
    2. ඔව්. ඒත් ත්‍රිකෝණයක් හදන්න ගොඩක් ඉඩ ඕනේ. සහ ඒක ඔපරේට් කරන්න සිග්නල් දෙන්න වෙනවා, පොයින්ට්ස් හදන්න වෙනවා, එතකොට ඒවාට ලිවර් හදන්න, කේබල් දාන්න, වැඩ කෝටියයි...
      ස්තුතියි ලින්ක් එකට!

      Delete
  8. මේකනම් ගොඩාක් වටිනවා....

    ReplyDelete
  9. යනවනම් අන්න පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඒක තව ඉස්සරහට.. මෙතනින් තමා හොඳම හරිය..

      Delete