Saturday, March 5, 2016

දෙමෝදර රේල් ගැටය හරහා හාලිඇල වෙත..

දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ, නැවතත් බදුල්ල බලා පල්ලම් බැසීම  ආරම්භ කලාය. මෙසේ ගමන් ආරම්භ කල පොඩි මැණිකේ, ශ්‍රී ලාංකේය දුම්රිය මාර්ග ඉතිහාසයේ අද්වීතීය ඉදිකිරීමක් තරණය කලාය. ඒ, සුප්‍රසිද්ධ දෙමෝදර රේල් ගැටයයි (Demodara rail loop). 
දෙමෝදර දුම්රිය ස්ථානයේ ඇති මාර්ග විස්තර සටහන.
මෙම අද්වීතීය නිර්මාණය,  “Looping the loop” ලෙස හැඳින්වේ. ඒ නම්, විශාල උස පරතරයක් තරණය කිරීමට, දුම්රිය මාර්ගයේ ආනතිය රඳවාගනිමින් සැකසුනු වක්‍ර මාර්ගයකි. දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රිය, කන්ද වටේ රවුමක් ගොස්, දුම්රිය ස්ථානයට යටින් පිහිටි බිම්ගෙයක් (අංක 42) තුලින් දුම්රිය ස්ථානය නැවතත් පසු කරයි. බිම්ගෙයින් පිටතට පැමිණෙන දුම්රිය, දුම්රිය ස්ථානයට අඩි 100ක් පහළ මට්ටමකින්, නැවතත් බදුල්ල කරා ඇදී යයි.. 
දෙමෝදර දුම්රිය ස්ථානය යටින් දිවෙන බිම්ගෙය.
(සේයාරුව- නිපුන දොඩන්තැන්න)
මෙම අද්වීතීය නිර්මාණය පිලිබඳ ජන කතා සහ ප්‍රවාද රාශියක් ගොඩ නැංවී ඇත. සුදු ජාතික ඉංජිනේරුවන් මෙම බාධකය ජය ගැනීමට නොහැකිව විපිළිසර වී සිටියදී එතනට පැමිණි ගොවියෙක් සිය ජටාව ආශ්‍රයෙන් මෙම විසඳුම ඉදිරිපත් කල බව එක් ජන කතාවකි. ඒ නමුත්, මෙම සුවිශේෂී ඉදිකිරීම පසුපස සිටින්නේ, ලංකාවට ජල විදුලිය ලබා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ, ඩී. ජේ. විමලසුරේන්ද්‍ර ඉංජිනේරු මහතාය. සමහර විට, ඔහු මෙම ආකෘතිය ඉදිරිපත් කිරීමේදී, ගොවියාගේ ජටාව ආදර්ශයට ගන්නට ඇත. 

දෙමෝදර පහල අවුට් හෝම් සංඥාව.
නමුත් මෙවැනි ඉදිකිරීම් ලොව වෙනත් ස්ථාන වලද ඇත. ඉන්දියාවේ ඩාජීලිං මාර්ගයේද ඇත. 
දෙමෝදර පසු කල පසු හමු වූ තවත් පාලමක්..
දෙමෝදර රේල් ගැටය පසු කර මද දුරක් ධාවනය වූ පොඩි මැණිකේ, තවත් එක් කුඩා දුම්රියපොලක් වෙත සේන්දු වූවාය. මේ වනවිට දුම්රියේ මගීන් බොහෝ අඩු වී සිටි අතර, අප සිව් දෙනාටම ආසන තිබුණි. අප ඉඳගෙන, ආ ගමන ගැන කතාබහ කරමින් සිටියෙමු. මෙම දුම්රියපොලේදී, අප මැදිරියේ සිටි මගීන්ගෙන් එක් අයෙක් හැරෙන්නට අන් සියලු දෙනා බැස ගියෝය. 
ගැඹුරු V කැපුම තුලින් ඉදි වූ මාර්ගය..
මේ, මෙම දුම්රිය ගමනේදී අපට හමු වූ අවසාන දුම්රිය නැවතුම්පොලයි. ඒ, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 175ක් සහ දම්වැල් 49ක දුරින් පිහිටි උඩුවර දුම්රිය පොලයි. 
පොඩි මැණිකේ නැරඹුම් මැදිරියට දිස් වූ උඩුවර දුම්රිය නැවතුම.
උඩුවර දුම්රියපොලින් පිටත් වූ පොඩි මැණිකේ, තවත් ඉතා කෙටි දුරකින් පසු, මෙම දුම්රිය ගමනේ අපට හමු වන අවසාන දුම්රිය ස්ථානය වෙත පිවිසුනාය. ඒ, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 177ක් සහ දම්වැල් 37ක දුරකින් ද, මුහුදු මට්ටමේ සිට අඩි 2402 ක උසකින්ද පිහිටි, හාලි ඇල දුම්රිය ස්ථානයයි. 


හාලිඇල දුම්රිය ස්ථානය..
හාලිඇල දුම්රිය ස්ථානය, එක් පාෂ මාර්ගයකින් සහ පැරණි ආකෘතියට සෑදුනු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලකින් යුතු, කුඩා දුම්රිය ස්ථානයකි. නමුත්, මෙහි පැරණි වේදිකාව පවා බොහෝ දුරට ඒ අයුරින්ම තිබෙනු දැකගත හැකිය. පාර්සල් කිහිපයක් හුවමාරු විය.. නැවතත් දුම්රියට ඉදිරියට යාම සඳහා සංඥා ලැබුණි. ඒ සමගම, පොඩි මැණිකේ, දීර්ඝ සංචාරයක අවසන් පියවර කිහිපය තැබීමට පටන් ගත්තාය..

26 comments:

  1. සුන්දර ස්ථානයක් තමා...... තාම ඔය කොටස කෝච්චිය තුළ ඉදන් පහු කරලා නැහැ... යන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ට්‍රිප් එකේදී තමා ගියේ. ආය යන්න උනේ නෑ. වෙන්නෙත් නැති වෙයි..

      Delete
  2. ගැටගැහෙන්නෙ නැතුව ගැටේ ඇතුලෙනුත් ගියා එහෙනං. තව පොඩ්ඩයිනෙ ඉතුරු ටිකත් යං.

    ReplyDelete
    Replies
    1. ආ අපි එහෙම ලේසියෙන් ගැට ගැහෙන්නේ නෑ..

      Delete
  3. ඔන්න මාත් ආවා. ඉවර වෙන්න බොහොම ටිකයි බදුල්ලටම අපිත් එනවා.

    ReplyDelete
    Replies
    1. ආය ටිකක් නෑ. තව එකයි. එකෙන් ඉවරෙටම ඉවරයි..

      Delete
  4. උඩරට දුම්රිය මාර්ගයේ කෙලවරටත් ආවා එහෙනම්. ඊලගට මඩකලපු ලයින් එකට යමුද??

    ReplyDelete
    Replies
    1. ආය නම් යන්නේ නැතෝ.. මේකෙන් ඉවරයි..

      Delete
    2. අපි යමු ආයේ සැරයක් කට්ටිය එකතු කොරගෙන.

      Delete
    3. අනේ බෑ. ඒ කාලේ ගියා. ආය මම රේල් ට්‍රිප්ස්/ හයික්ස් යන එකක් නෑ.

      Delete
  5. ඇයි දැං ආපහු යන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආපහු යන ගමන් කියල ලියන්න ඉතිං විශේෂ දෙයක් නෑ නෙහ්.. එකයි අවුල..

      Delete
  6. ඔය දුම්රියපොළ අසල තියන සදම් නමැති තේ කම්හල් පරිශ්‍රයේ තමයි මම හමුදා කඳවුරක් පවත්වාගෙන ගියේ. එහි සිට බොහොම ලස්සනට නරඹන්න පුළුවන් කෝච්චිය කන්ද වටේ යනහැටි.

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු ආසාවක් තියනවා ඈත ඉඳන් ඔය ගමන බලාගෙන ඉන්න. ඒත් කරන්න ක්‍රමයක් නෑ..

      Delete
  7. අර ගැටේ ගැන නම් යන්තමට අහල තිබ්බාට හරියටම විස්ටහ්ර දැනගත්තේ අද තමයි....

    ReplyDelete
    Replies
    1. ඕක ගැන කතා ගොඩක් තියනවා. ඒත් ඔක්කොම ලියන්න හිතුවේ නෑ. දිග වැඩි වෙනවා නේ.

      Delete
  8. හාලිඇල යන්න හිතන් ඉන්නේ.....අද විස්තරෙත් නියමයි මල්ලී

    ReplyDelete
    Replies
    1. මටත් ආය යන්න ලොකු ආසාවක් තියනවා. ඒත් කරගන්න ක්‍රමයක් නෑ.
      ස්තුතියි!

      Delete
  9. දැන් නම් බොහොම ලඟයි ,

    ReplyDelete
    Replies
    1. ඔව්. තව හැතැප්ම 10ක් වත් නෑ...

      Delete
  10. දීර්ග චාරිකාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි.. දීර්ග චාරිකාවක අවසාන කොටස්..

      Delete
  11. මේ ඔය ගැටේ ආකෘතියක්
    http://2.bp.blogspot.com/_nab9A_JOQK0/SlWv_CwevnI/AAAAAAAAAV0/HXF-TpjPcKw/s400/structure+of+demodara+station.jpg

    මේං උඩිං පේන විදිහ
    http://lh6.ggpht.com/-jo-Vnf_67GQ/T9ObJVrVbpI/AAAAAAAAA8E/lYhI9MUotNE/Looping%252520the%252520loop%252520Paint%252520copy_thumb%25255B2%25255D.jpg?imgmax=800

    https://lh3.googleusercontent.com/-xksQK7RwH1g/T6rjtkW2l8I/AAAAAAAACTs/WMMMjBLckAA/w960-h462/untitled.JPG

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ ලින්ක්ස් වලටත්! ඔය පැත්ත ආපහු බලන්න යන්න ආසාවක් තියනවා. ඒත් යන්න ක්‍රමයක් නෑ.

      Delete