Friday, April 16, 2021

අවුරුදු සටහන..

 

කට්ටිය ට සුබ අලුත් අවුරුද්දක් වේවා! 

බක් මාසෙ ට පරිසරයත් සැරසෙනවා කියනවා නේ. මේ රජවත්ත රේල් හෝල්ට් එක ගාව..

සෑහෙන කාලෙකින් ආවා බ්ලොග් එක පැත්තේ.. (ඔව් ඔව් මේක හැමදාම ලියන වාක්‍යය තමා. ඒත් ඉතිං ඇත්ත කියන්ටත් එපා යැ)  

මාසෙන් මාසේ ට ලියනවා කිව්වා ට අන්තිමේ ලියන්ට වෙන්නේ ම මාස තුනකට සැරයක් වගේ. එක්කෝ වැඩක් වැටෙනවා, නැත්තම් ලියන්ට දෙයක් සෙට් වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ රිවීව් එකෙන් පස්සේ මුකුත් ලියාගන්ට උනේ නැහැ. මොන පෙරේත දිෂ්ටියක් වැටිලා ද දන්නේ නෑ බ්ලොග් එක ට.  

මාස හතරක් කෝමා එකක ද හිටියේ කියල අහන්ට එපා ඉතිං. කෝමා එකක් වගේ එකක තමා හිටියේ. මොකද ඉස්කෝලේ එක්සෑම් පෝලිමක් ඇරෙන්ට වෙන කිසි ම දෙයක් කරගන්ට වෙලාවක් තිබ්බේ නැහැ. පිරිත එහෙම තිබ්බා, එච්චර තමා. 

මේ පාර පිරිත වරුවකට සීමා කරලා, සහභාගීත්වය ත් සීමා කරන්න උනා තියන තත්වේ එක්ක. ඒ උනාට නොකැඩී තියාගන්ට පුළුවන් උන එකත් ලොකු දෙයක්..   

දහම් පාසලේ කථික සංසඳය කඳුරට සේවයේ හඬ පරීක්ෂණයක ට තියාගන්න පුළුවන් උනා. ඒ ටික තමා ඉතිං ඔය මාස තුන පුරාව ට වෙච්ච වැදගත් දේවල් ටික. ආ... අර ගල් අඟුරු කෝච්චියත් ආපහු උඩරට කරක් ගහන්ට ගියා. 

යකඩ යකා. මේ යකා ට එන අවුරුද්දට වයස අවුරුදු සීයයි..

ඒ ටික වෙලා පිරිතත් ඉවර වෙනකොට මෙන්න අවුරුදු කට උඩ.. මේ පාර කස්ටිය මොනවා නැතත් ෂොපින් නම් කරා දැක්කා ගිය අවුරුද්දට විතරක් නෙවේ ඊළඟ අවුරුද්දට ත් හරියන්නම. නුවර ටවුමේ මාර සෙනගක් හිටියේ. අර දළදා වීදියේ එහෙම නිකං ඉතියෝපියාව ට පාන් දැම්ම ගානයි. හැබැයි අනික් නගර වලත් තත්වේ එච්චර ම තමා කියල ෆේස්බුක් එක පැත්තේ කරක් ගැහුවා ම දැනගන්ට පුළුවන් උනා. ඒවල ප්‍රතිඵල මැයි මාසේ දිහා ට හම්බ වේවි.

අවුරුදු ගැන නම් ඉතිං හැමදාම වගේ රිවීව් එකකුයි කතා ටිකකුයි ලියන නිසා අමුතුවෙන් ලියන්ට කියල දේකුත් නැහැ. ගිය පාර තමා මම හිතන්නේ සාමකාමී ම අවුරුදු තිබ්බේ. ඇයි රතිඤ්ඤා එහෙම අරගන්ට තැනක් තිබ්බෙත් නැහැ නේ රට ලොක් ඩවුන් නිසා. මේ පාර නම් ඒකටත් එක්ක හරියන්ට තියනවා. ඊයේ හවස ඉඳන් මේ හරිය නිකං ගාසා තීරේ වගේ.

මේ සටහන ලියාගෙන යනකොට මට මතක් උනා අර කලින් කියපු හඬ පරීක්ෂණය. ඒකෙදි ළමයින්ට තිබ්බේ අවුරුද්ද ගැන පොඩි වැඩසටහනක් ඉදිරිපත් කරන්ට. ඕකට ටිකක් අපි ටික පන්සල ට සෙට් වෙලා ප්‍රැක්ටිස් කරා. ඒකෙදි මම දැකපු දෙයක් තමා ගොඩක් කට්ටියගේ අපේ පරණ සෙල්ලම් අනංමනං ගැන තිබ්බ අවබෝධය ඉතාමත් අල්පයක් කියල. චාරිත්‍ර ගැන උනත් (ඔව් ඉතිං විභාග ඉලක්ක කරපු අධ්‍යාපන ක්‍රමයකින් ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙන්ට බැහැ). 

කඳුරට සේවයේ හඬ පරීක්ෂණය ට ගිය දහම් පාසල් කථික සංසඳය..
(සේයාරුව- හංසිනි ද සිල්වා)

ඉතිං මම මොකද කරේ, සෙට් එක අපේ ගෙදර එක්කං ඇවිත් අපේ අප්පච්චිට කිව්වා පොඩ්ඩක් උන්දැල ටික ට කියල දෙන්ට කියල මේ ඔක්කොම වානිජකරණය වෙන්ට කලින් කොහොමද අවුරුදු සැමරුවේ කියල. මෙතන ඒ ඔක්කොම නම් ලියන්ට බෑ, ඒත් අප්පච්චිගේ ඒ විස්තරේ අහං ඉන්නකොට මට හිතුනේ අපි අද කාලේ ස්මරණ අවුරුද්ද මොන අවුරුද්දක් ද කියල.

වාණිජකරණය කොහොම උනත්, ඩිජිටල්කරණය වෙන්ට කලින් යුගය නම් අපිට මතකයි. ඒ කාලේ සෙල්ෆෝන්, කම්පියුටර් එහෙම නොතිබ්බ නිසා අපි ළමයි විදියට ඒවා ට සීමා වෙලා හිටියේ නැහැ. අපි නිවාඩුව දෙනකල් බලං ඉන්නේ සෙට් වෙලා සෙල්ලම් කරන්ට. ඇත්තට ම කිව්වොත් නිවාඩුව නෙවේ, පළවෙනි වාර පරීක්ෂණය ඉවර උන දා ඉඳන් ආය ඉතිං අපි ව ගෙවල් වල තියාගන්නවා කියන එක කරන්ට අමාරු වැඩක් නෙවේ, කරන්ට බැරි වැඩක්.

ඒ කාලේ ලොකුවට කට්ටිය පැල් බැඳගෙන ක්ලාස් ගියෙත් නෑ, ගිය ඒවත් උපරිම සතියට පැය දෙකක් වගේ. ඒවත් බොහෝ එව්වා නිවාඩුව ට සති දෙකක් වත් නිවාඩු දුන්නා. ඉතිං සෙල්ලම් කරන්ට ඕනේ තරම් වෙලා තිබ්බා. උදේ ට කාලා පිහිල්ල පාර ට හරි රේල් පාර ට හරි සෙට් උනා ම ආය ඉතිං දවල් ට කන්ට ගෙවල් වල ට යනවා, ඊට පස්සේ සෙට් උනා ම ආය හවස පහ - හය ට තමා.

අපි අර සිංහල සාම්ප්‍රදායික ක්‍රීඩා ටික නම් කරේ බොහොම අඩුවෙන් තමා. ඒ උනා ට ඉතිං කරපු මොන ඉලව්ව හරි කරේ ෆෝන් එකෙන් ඔන්ලයින් නෙවේ රියල් ලයිෆ්. අප්‍රේල් මාසේ කියන්නේ ඉතිං හුළං එහෙම නැති මාසේ නේ. අපි කරන්නේ පිහිල්ල පාර අවට කැලේ එහෙම හැංගිමුත්තම් කරන එක එහෙම සෙල්ලම්. ඔය පාරේ එක පැත්තක වෙල. වෙල වටේ ට තමා පාර යන්නේ. අනික් පැත්තේ කැලේ තිබ්බේ. ඕකේ තිබ්බා ඉස්සර නරි හිටිය නරි වලක්. ඔය අහු අස්සේ තමා හැංගෙන්නේ. ආය ඉතිං වරු ගාණක් හොයනවා. සමහර වෙලාව ට ෂර්ට් මාරු කරගන්නවා. ඉන්න තැන ශේප් එකේ මාරු වෙනවා. නිකං ගරිල්ලා මිෂන් එකක් වගේ තමා. අප්‍රේල් නිවාඩුවේ ක්‍රිකට් ගහන්ට සෙට් උනේ අඩුවෙන්, මොකද වැහැලා පාරවල් එහෙම මඩ වෙලා නිසා.

ආය  තව අපි කරා පොයින්ට්/නෝ පොයින්ට් කියල සෙල්ලමක්. මේකේ ම තව වර්ෂන් එකක් තිබ්බා තාරාඳි කියල (නමේ තේරුම මොකද්ද, කොහෙන් කොහොම ආව ද නම් දන්නේ නෑ). සරල ව කිව්වොත් මෙච්චරයි කතාව. ටින් එකක් අරගෙන, ගල් ටිකක් දාලා කට තලනවා. ඉඩ තියන තැනක් අරගෙන (පාරක් මැද වගේ ශෝක්) අඩි දෙකක විතර රවුමක් ඇඳලා ඕක තියනවා මැදින්. ඉන්න සෙට් එක ගණන් කරලා එකෙක් තෝරනවා.

ආ.. ගණන් කරනවයි කිව්වා ම තව එකක් මතක් උනා. අපි ඔය ගණන් කරන්ට නිකම්ම දහය විස්ස කියල කිව්වේ නෑ. ඒක ට අපි ට තිබ්බා කවි අනංමනං කිහිපයක් ම. මට දැන් ඔක්කොම නම් මතක නැහැ, එක දෙකක් මෙතන ලියල තියන්නම් කියල හිතුවා මේ ගමන් ම. එකක් තිබ්බා මෙන්න මෙහෙම-

“ මුහුද මැදින් නැවක් ගියා එංගලන්තේ ට - එකේ හිටපු තට්ට මාමා පැන්නා මුහුදට

කෝ මාමේ කලිසම- මාළු කෑවා ද..”

ආය තව එකක් තිබ්බා පොඩි ම කාලේ කියපු එකක්. ඒකෙ අන්තිම පේලිය විතරයි මතක. ඒක ඉවර උනේ “තට්ටු දෙකේ බස් යනවා මහනුවර” කියල.

මේ ලඟක් වෙනකල් මතක තිබ්බ, පාවිච්චිත් කරපු එකක් තිබ්බා මෙන්න මෙහෙම. මේක දැකලා කට්ටිය ටිපර් වෙන්ට එපා ඉතිං ඈ..

“තම්බි ගේ තට්ටේ දිලිසෙනවා- ටොක්කක් ඇන්න ම හිල් වෙනවා

තම්බි ට ඉන්නේ එක ම දුවයි- ඒ දුව දුන්නොත් සල්ලි ගොඩයි..”

මේ වර්ස් එක සාමාන්‍යයෙන් ඉවර කරන්නේ “ටක් ටික් ටුක්” කියල නේ. අපි නම් ඉවර කරේ “ටක් ටික් ටූන ටුකෙන් ටුක්” කියලා. තව අර වගේ කවි දෙක තුනක් තිබ්බා. මතක නෑ හයියෝ..

හරි, දැන් ඔහොම කියලා ගැනල ගත්ත එකා ඉද්දි, අනික් අයගෙන් එක්කෙනෙක් අර ටින් එක අරගෙන හොලවලා ටිකක් ඈත ට විසි කරනවා. ඒ ගමන් ම අර ගැනලා ගත්ත එකා ගිහිං ඒක අහුලලා අරගෙන ඇවිත් අර රවුම මැදින් තියනවා. ඒ අතර අනික් අය ගිහිං හැංගෙනවා.

දැන් තියන වැඩේ තමා අරයා හැංගිච්ච කට්ටිය හොයන්ට යනවා. හැබැයි රවුමෙන් වැඩි ඈත ට යන්ට බෑ. ඒ අතර හැංගිලා ඉන්න අය හෙමින් රවුම ට කිට්ටු කරලා, එක්කෙනෙක් දූවන් ඇවිත් අර ටින් එක ට පයින් ගහනවා. එහෙම උනොත් අර කලින් එක්කෙනා ම ආපහු හොයන්ට ඕනේ. දුවන් ඇවිත් ගහන්ට කලින් දැක්කොත් හොයන්ට ඉන්න කෙනා ඇවිල්ලා ටින් එක අරගෙන අදාළ කෙනා ගේ නම කියල තාරාදී කියල කෑ ගහනවා. එහෙම උනොත් ඒ පළවෙනිය ට අල්ලගත්ත කෙනා තමා ඊළඟ වටේ හොයන්නේ.

ඕක ම ටින් එකක් නැතුව, පොයින්ට් කියල කණුවක් හරි ගහක් හරි අරගෙන කරනවා. එතකොට හැංගෙන්න වෙලාව දෙන්නේ අදාළ කෙනා ව කණුව පැත්තට හේත්තු කරලා කියනවා එකේ ඉඳන් 100 ට ගණන් කරන්ට කියල. හයියෙන් කියන්ට ඕනේ. එතකොට කට්ටිය ගිහිං හැංගෙනවා. කාව හරි දැක්කොත් එයා ගේ නම කියල කණුව ට ගහනවා නෝ පොයින්ට් කියල. පේන්නේ නැතුව කණුව ගාව ට ආපු කෙනෙක් තමන්ගේ නම කියල පොයින්ට් කියල කෑ ගහනවා.

ඕවා තමා ප්‍රධාන වශයෙන් සෙල්ලම් විදියට කරේ. ආය අපි ඔක්කොටොම වගේ 7-8 වසර වලට එද්දී බයිසිකල් හම්බුනා. ඉතිං ඊට පස්සේ වැඩේ බයිසිකල් පදින එක උදේ වරුවේ. හවස් වරුවේ වහිනවා ගොඩක් වෙලාව ට. එක්කෝ අපේ ගෙදර ට හරි, නැත්තම් හිටියා නිපුන් කියල යාලුවෙක්. එහෙ ට හරි සෙට් වෙලා, එක්කෝ රටේ නැති කෙප්ප කෙල කෙල ඉන්නවා. නැත්තම් කැරම් ගහනවා. සමහර වෙලාව ට මට තිබ්බ ඉලෙක්ට්‍රොනික් උණ හොඳ වෙන්ට කට්ටිය ම එක්ක සර්කිට් හදනවා.

අපේ ගෙදරයි, නිපුන්ලා ගේ ගෙදරයි ගස් දෙකක් උඩ හදල තිබ්බා අට්ටාල දෙකක්. ඕක වැස්ස ට තෙමෙන්නේ නැති වෙන්ට හොඳ ට හදල තිබ්බා. හෙන ගගහ වහින වෙලාවක උනත් ඕක ට නැගලා ඉඳගෙන කයිවාරු කෙලින එකේ අමුතු ම රහක් තිබ්බා. කොකෝවා අනංමනං තිබ්බොත් ඒකකුත් අරගෙන තමා යන්නේ.

නැත්තම් ළඟ කඩේ තිබ්බා රුපියල් 5 ට මුරුක්කු. ඉස්සර රුපියල් 5 කියන්නේ සැලකිය යුතු ගාණක්. 5 බයිට් පැකට් දෙකක් කෑවා ම නිකං දවල් ට කෑවා වගේ තමා. ඕවා කාලා කට දනවට කන්නේ අයිස් පැකට් (ඔව් ඔව් මම දන්නවා කට්ටිය ට අයිස් කියන මත් ද්‍රව්‍ය තමා මතක් උනේ කියල. මේ කියන්නේ ඒ අයිස් නෙවේ. වතුර ට රසකාරකය දාලා සීතල කරලා හදන අයිස් එක). මේවා රුපියල ට, දෙක ට, පහට, දහය ට තිබ්බා. රුපියලේ එක පොඩි. දෙකේ එක ඒකමයි ටිකක් දිගයි. පහේ ඉඳන් එක එක රස ඒවා තිබ්බා. කෝපි, චොකලට් එහෙම එහෙම කියලා.

ආය ඔය ආසන්න කාලේ (වැස්ස පායපුවම) කරපු දෙයක් තමා ඔට්ටුපාළු බෝල ඔතන එක. මේක කරන්නේ අපේ පැත්තේ තියනවා (තිබ්බා) පරණ වතු වලින් ඉතුරු උන රබර් ගස්. මේ ගස් වල කඳට වක් පිහියෙන් කොටනවා. එතකොට කිරි වෑස්සෙනවා. ඕවට ගලාගෙන ගිහිං කැටි ගැහෙන්ට දෙනවා. කඳ දිගේ පහලට ගලපුවාම එහෙම ම කැටි ගැහෙනවා. හවස් වෙලා ආව ම, තීරු තීරු ගලවගන්ට පුළුවන්. මේවා ඒ එකක්ම හරි, කොලයක් ගුලි කරලා අරං ඒක වටේ හරි ඔතලා, බෝලයක් හදන්ට පුළුවන්. දිගෑරෙන්නේ නැති වෙන්ට අමු කිරි ටිකකුත් ගානවා ඔතලා ඉවරල එතනින් ම අරං. ඔය විදියට 2004 ඉඳන් හදපු බෝලයක් තාම මං ගාව තියනවා. 

ඔට්ටපාළු බෝලේ.. මම 6 වසරේ ඉද්දි හදන්ට අරගෙන, 7 වසරේ තමා ඉවර කරේ.  

ආය ඉතිං උණ බට තුවක්කු හදන එක, රීම් ගහන එක, ටයර් ගහන එක එහෙමත් සුළු සුළු වශයෙන් කරා. දුණු ඊතල හදාගෙන ඒවායින් විදින තරඟ තිබ්බා, හෙළි හදාගෙන ගෝත්‍රික ජීවිත ගත කරා.. ඔය මුකුත්ම නැත්තම්, පිහිල්ල පාර වෙල ඉවුරෙන් උඩට හැරෙන තැන තිබ්බා බෝක්කුවක්. ඕකේ කණු ටික අපි සෙට් එක බුක් කරගෙන හිටියේ. එක එක්කෙනා ට. ඕකේ වාඩි වෙලා කයිය ගහන එක තමා වැඩේ. කලාතුරකින් දවසක ඩෙක් පීස් එකක් ගෙනත් අපේ ගෙදර හරි, සීඩී එකක් ගෙනත් නිපුන් ල ගේ දිහා හරි බලනවා.

ආ අළුත් අය ඩෙක් පීස් එක අහල නැතුව ඇති නේ.. ඒ නමින් අපි හැඳින්නුවේ VHS කැසට් එක. ඒ ප්ලේයර් එකක් මෙහෙ තියනවා. ID තියලා තමා අරගෙන එන්නේ. අඳුරන ම තැනක ට තමා ඒක නැතුව දුන්නේ. දවස ට කුලිය 40- 60 අතර ගියේ. එකක් අරගෙන ගිහිං බලලා එදා ම ගෙනත් දුන්නොත් තව එකක් ගත හැකි. ප්‍රශාන්ත කියල වීඩියෝ සෙන්ටර් එකක් තිබ්බා ගෙලිඔයේ (තාම තියනවා). මේකෙන් තමා අරගෙන ආවේ. 

මෙන්න මේවා තමා ඩෙක් පීස් කියන්නේ. මේවා නඩත්තුවත් ඉතිං සෑහෙන කාරියක්. දන්නෝ දනිති.  

ඕක බලන්ට විශේෂෙන් සූදානම් වෙන්ට ඕනේ. අත්තලා එහෙම ටීවී බලන්නේ නැති වෙලාවක් හොයාගෙන, ගෙදර ම තියන බෙඩ් ශීට් ගෙනල්ලා ජනෙල් වල එල්ලලා සාලේ කළුවර කරලා අත්තම්ම ට කියල කන්ට මොනාහරි හදවාගෙන තමා බලන්ට සෙට් වෙන්නේ. ප්ලේයර් එක ටීවී එකේ ඇන්ටනා ජැක් එක ට තමා කනෙක්ට් වෙන්නේ. අපේ ටීවී එක නැෂනල් ක්වින්ට්‍රික්ස් එකක්. ඒකෙ චැනල් 8යි තියන්නේ. ඒකෙන් අංක 1 ට තමා ප්ලේයර් එක ටියුන් කරන්නේ. අපි බලන්නෙත් හොල්මං, පිටසක්වල වගේ ෆිල්ම් ඉතිං. ආනිසංස තියන්නේ රෑ නිදාගන්ට ගිහාම තමා.. හැබැයි ඒකෙන් දැන් ඕනේ හොල්මං කතාවක් අහලා, බලලා කිසි අවුලක් නැතුව නිදාගත හැකි.

අපේ කාලේ ඉතිං අවුරුදු නිවාඩුව ගෙවුනේ ඔහොම තමා. අපේ ඉස්කෝලේ කොහොමත් අවුරුදු නිවාඩුව ටිකක් දිගයි. අන්තිම සතිය ඉතිං උදේ වරුව තනියම. අනික් අය ඔක්කොම ඉස්කෝලේ යන නිසා. ඒ වෙලාව ට ඉතිං ඔය කාමරේ අස් කරන ඒවා එහෙම තමා කරන්නේ. හවස ට පුරුදු ටයිම් ටේබල් එක ම තමා. ඕක වෙනස් වෙන්නේ ඉතිං ඉස්කෝලේ පටන්ගත්තා ම තමා.. 

ගෙනාපු නිලා කූරු ටිකක් හම්බුනා. පත්තු කරා ඉතිං නිකං ඉන්න එකේ..

අවුරුදු කාලේ ඉතිං අපිට නම් වැඩියෙන් ම රස වෙන්නේ ගිනිකෙළි නිසා. ඒත් ඒ ගැන කලින් කතා කරලා තියන නිසා ආය කතා කරන්ට යන්නේ නැහැ. මේ දේවල් ලියාගෙන යනකොට ඒ කාලේ වෙච්ච සිද්දි සෑහෙන ගාණක් මතක් උනත්, ඒවා රස තියන්නේ විඳපු අපිට තමා. මොකද පසුබිම් කතා අනංමනං ඔක්කොම දන්නේ අපි විතරක් නිසා. ඒ නිසා ඒවා ටිකත් මෙතන ලියන්ට යන්නේ නැහැ.

මේ දේවල් මතක් වෙනකොට ඇත්තට ම මට ම දුකයි. දුක අතරිනුත් පොඩි හිනාවක් එනවා අනේ ඒ කාලේ ඉතිං නේ ද කියල. අප්පච්චිලා කියපු 60-70 ගණන් වල අවුරුදු තරම්ම නැති උනත්, අපේ කාලේ අපිත් අවුරුදු අසිරිය වගේ ම ළමා කාලේ නිදහස එහෙම වින්දා උපරිමේට ම. ගෙවල් වල ට සෙට් වෙලා කෑම අනංමනං කාලා කරලා සෙල්ලම් කරා. ඒ අතින් ඇත්තටම දැන් ළමයි පව්.

ඉස්කෝලේ ගිහිං අනිවාර්යයෙන් සිංහල, ඉංග්‍රීසි විෂයන් දෙකට ම සෙට් වෙන වැඩක් තමා අවුරුදු නිවාඩුව ගෙවපු හැටි ගැන රචනාවක් ලියන එක. ඉංග්‍රීසි එච්චර පොහොසත් නැති නිසා ඒක එච්චර දිග නොවුනට, සිංහල රචනාව නම් පිටු 4-5ක් අදින්ට පුළුවන් උනේ අපි ඇත්තට ම ගොඩාක් දේවල් කරපු නිසා. හැම දවසක ම අත්දැකීම් එකකින් එකක ට වෙනස්. ඒ ටික ඒ දවස් වල ම ලිව්වා නම්, මෙලහට ඇත්තට ම ටොප් සෙලර් පොතක් ලියන්ට තිබ්බා. කියවන ඔයාලටත් මීටත් වඩා රසවත් මතක සටහන් ඇති.

අද කාලේ ළමයින්ට ඒ රචනාව ම ලියන්ට දුන්න ම ලියන කරුනුත් අපි දෙන්ට ඕනේ. ෆෝන් එකෙන්, කම්පියුටරෙන් එළියේ ජීවිතයක් එයාල ට නෑ. ගහපු ගේම් ටිකයි, බලපු ෆිල්ම් ටිකයි ගැන තමා අද කාලේ කට්ටිය ට කතා කරන්ට තියන්නේ. නැත්තම් අවුරුද්ද කට උඩ වෙනකල් ක්ලාස් කට්ටිය ට. දැන්නම් ඔන්ලයිනුත් තියනවා. ඒවාට වෙලාවක් කලාවක් නෑ. මේ විදියට ගිහිං අපේ ළමයි, රටේ අනාගතේ ගිහිං නතර වෙන තැන නම් හිතාගන්ට බෑ..

ලියන්ට හිතාගෙන ආපු පොඩි විස්තර ටික ට වඩා සෑහෙන දිග ට ලියවිලා. ඒ උනාට, තවත් ගොඩාක් විස්තර නොකියා ඉතුරු වෙලා ඇති. විටින්විට මතක් වෙයි. ඒ ආපහු නොඑන දවස් වල ට හිතින් හරි යන්ට තාම ආසයි.

ඊයේ හඟුරන්කෙත ගිහිං ආවා. ඔය කාලේ දැකපු ගෙදර ට වඩා අද යනකොට තිබ්බ ගෙදරත් සෑහෙන්ට වෙනස් වෙලා. ඒ දවස් වල අවුරුද්දට අත්තයි අත්තම්මයි හිටිය නිසා කට්ටිය ම මෙහෙ එනවා අවුරුද්ද ට කලින්. දැන් ඒවත් ටික ටික නැති වෙනවා. වෙනදා වගේ ජේදයක් ගානේ ෆොටෝ නොතිබුනා ට, මම හිතන්නේ දිගට ම ලියවෙච්ච සටහනක් වෙන්ට ඕනේ මේක. 

හඟුරන්කෙත ගියා අමු වැස්සේම.. ගෙදර සෑහෙන්ට වෙනස් වෙලා.. 

ලෝකේ වෙනස් වෙන ඉතිං ස්වාභාවිකයි. ඒ උනාට එහෙමයි කියල මම නම් හිතන්නේ නැහැ අපි ආසාවෙන් විඳපු දේවල්, අද උනත් මතක් වෙද්දී කට කොණට හිනාවක් එකතු වෙන දේවල් දැන් ළමයින්ගෙන් ඈත් කරන්ට ඕනේ කියල. ගුරුවරයෙක් විදිහට මගේ අදහස නම් ඒක මහා පවුකාර වැඩක්. ඒ වගේ ම, රටක්, ජාතියක් ගැන හැගීමක් ඇති කරනවා නම්, ඒක කිසි ම දවසක සිලබස් එකක් හැටියට හදලා ඒවා එක්සෑම් වල ට කට පාඩම් කරවල කරන්ට බැහැ කියන තැන තමා මම නම් ඉන්නේ. දැන් ජන ක්‍රීඩා සිලබස් වල ට සීමා වෙලා තියන්නේ, අවුරුදු උත්සව පාටි ගේම්ස් වලින් පිරිලා තියන්නේ එහෙම කරපු නිසා තමා.

එහෙනම්, කට්ටිය ට ම ආපහු වතාවක් සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්නම්!

9 comments:

  1. ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
    අගහරුවා blog එකට ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා! ඔබටත් ජය වේවා!

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ!

    කියන්න ඕන දේවල් දෙකක් තියෙනවා.
    1. මේ blog එකට කෝමා එකක් තමයි. ඒක ඉතින් අද ඊයෙක ඉදන් නෙවෙයි, සෑහෙන්න කාලෙක ඉඳන් තියෙන එකක්.

    2. දැන් ළමයි අවුරුදු සමරන හැටි කතා නොකර ඉමු. මොකද, අපේ දෙමව්පියෝ සමරපු තරම් හොදට අවුරුදු සමරන්න අපිට බැරි වුණත්, නිර්මාණාත්මකව, එකමුතුව අවුරුදු සමරන්න අපිට පුළුවන් වුණා.

    ඒත් දැන් online අවුරුදු 😂

    ReplyDelete
    Replies
    1. අපෝ ඔන්ලයින් අවුරුදු නම් මම දැකපු තැන පෝස්ට් එකේ ඉඳන් හයිඩ් කරනවා. ලයික් හිඟා කන්ට කරන විකාර.

      Delete
  3. ශා ඒ විස්තරය . ඇස් දෙකට කදුලක් ඉනුවා පොඩ් දවස් මතක් වෙලා . මේකේ ලියලා තියෙන සෙල්ලම් ඔක්කොම වගේ කලා . අවුරුදු දවස් අපිට නම් සුපිරිම තමයි . හතර වටේට අවුරුදු කැවිලි පිගන් ලැබෙනවා . කොන්ඩෙ කැවුම්වලට හරිම පෙරේතයි මම .
    කුබුරේ සෙල්ලම් කරලා පහළ ඇලට ගිහින් නාන්න තියෙනවා නම් ඒතෙනින් එහාට මුකුත් ඕනෙම නැහැ . දැන් ඔන්ලයින් පරම්පරාව ගැන හිතනකොට 😢
    ඔබට ජයවේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං කට්ටිය ට ෆෝන් එකෙන්/ටැබ් එකෙන් එහා ලෝකයක් නැහැ නේ. උන් අවුරුදු තරඟ තියන්නෙත් ලයික් වලින්. ආය මොන කතා ද ඉතිං..

      Delete
  4. අඟහරු වාසී සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    දැං පොඩි උං ටික ඔය තත්වෙට පත් කරල තියෙන්නෙ ඒ කාලෙ හැම දෙයක්ම විඳපු දෙමාපියොම තමයි. අධ්‍යාපනේ කොහොම වෙතත් ඇලක දොළක ගිලිල මැරෙන්නැතුව තමංගෙ ජීවිතේ බේරගන්න දන්න අය ඉන්නෙත් ගොඩක් අඩුවෙන් දැං.

    ReplyDelete