Tuesday, October 4, 2022

තවත් එක පොතක් නොවේ...

          මාව ටිකක් ලඟින් ආශ්‍රය කරන අය දන්නවා මගේ එක විනෝදාංශයක් තමයි පොත් කියවන එක. ඔය පුරුද්ද මට ඇති උනේ බොහොම පොඩි කාලේදී. මම අපේ අම්මා ගැන වැඩිය සඳහනක් මේ බ්ලොග් එකේ නොකරට, ඒ පුරුද්ද ඇති කිරීම ගැන නම් සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ අපේ අම්මට. මම 3 වසරේ ඉන්නකොට දයා කළමුල්ල මහත්තයා ලියපු “මොණර නැටූ ගලේ නිධානය” පොතෙන් පටන් ගත්ත ඒ කියවීම සෑහෙන විෂයයන් ගාණක් යටතේ ලියවුන පොත් බර ගාණක් හරහා මේ වෙද්දී මාව අරගෙන ඇවිල්ලා තියනවා.

          ඒ කියවපු පොත් සෑහෙන ගාණක් අතරින්, මගේ හිතට දැනුන, ඒ කියන්නේ හිත කම්පනය කරන්න පුළුවන් උන, ගැඹුරෙන් ම හිතට දැනුන පොත් තියනවා කිහිපයක්. ඒ ගොඩට එකතු වෙන තවත් එක පොතක්, මට මේ ගිය සතියේ කියවන්න ලැබුනා. ඇත්තට ම කිව්වොත් පළවෙනි පාර කියවලා හිතට ආපු දේවල් එක්ක, ආපහු පාරක් පොත කියවලා තමයි මේ සටහන තියන්නේ.

          මොකද්ද එතකොට මේ පොත?? 


කංචුකය

           වෛද්‍යය බෝධිනී සමරතුංග මහත්මිය ලියපු “සායනික සටහන් නොවේ” කියන කෘතිය තමයි මේ විදියට මගේ හිත කම්පනය කරන්න සමත් උනේ. ඉතිං එහෙම කම්පනය කරන්න තරම් මොනවද ඒකෙ තියන්නේ? ඒ ගැන ෆේස්බුක් එක ට පොඩි සටහනක් තියන්න ඕනේ කියල හිතුවා. ඒ උනාට පස්සේ හිතුනා මේක ෆේස්බුක් එකේ යට යනවට වඩා බ්ලොග් එකේ තියෙයි නේද කියල, ඉතිං ටිකක් අමතර කරුණුත් එක්ක, සටහන මෙතෙන්ට දානවා.

2018- 2019 කියන අවුරුදු දෙකක කාල පරිච්ජේදය තුල “රැස” පුවත්පතේ පළවුණ තීරු ලිපි කිහිපයක් එකතු කරලා තමයි මේ පොත සකස් කරලා තියන්නේ. ගුරුවෘත්තිය ට පස්සේ මම දකින විදියට සමාජයේ විවිධ ජන කොට්ඨාශ එක්ක වඩාත් ලඟින් ආශ්‍රය කරන්න වෙන, ඔවුන්ගේ ජීවිත වලට එබිලා බලන්න ලැබෙන, ඒ වගේ ම ඒ ජීවිත වල මග තීරණය කරන ප්‍රධානතම වෘත්තීය තමයි වෙද වෘත්තීය (මේ කරුණ ගැන වාද විවාද තියෙන්න පුළුවන්, මේ ලිව්වේ මම දකින විදිය).

කොහොම හරි, ඔය සේවා දෙකේදී ම අපිට සමාජයේ විවිධ පැතිකඩ දකින්න පුළුවන් සෑහෙන්න යතාර්ථවාදී වගේ ම ප්‍රායෝගික ආකාරයට. එක එක ආටෝප සළුපිලි වලින් ඔතල හැඩවැඩ දාලා සරසලා තියන දේව පිළිම වල ඇතුළාන්තය දකින්න පුළුවන් ඒ ක්‍රියාන්විත වලදී. මෙතැනදී වෛද්‍ය වෘත්තීය ගුරුවරයාත් අභිබවා යන තැන් අප්‍රමාණයි.

කොහොම හරි, ගුරුවරයෙක් විදියට මගෙත් අවුරුදු 12ක කාලය ඇතුලත ඇසුදුටු සමාජමය සිද්ධීන්, වෛද්‍යමය දෘෂ්ඨිකෝණයකින් දැකලා ලියවෙච්ච සටහන් පෙළක් තමා මේ සායනික සටහන් නොවෙන, සායනික සටහන්.

සමාජයේ මම දකින විදියට නම් ප්‍රශ්න නැති කිසි කෙනෙක් නෑ. හැමෝටම තමන් එලියට නොකියන කතා ගොඩාක් තියනවා. සමහරුන්ගේ ඒ කතා එලියට එන්නේ නැතුව, එයාලා එක්කම වැළලිලා යනවා. සමහරු කියන්න උත්සාහ කරනවා, ඒත් ඇහුම්කන් දෙන්න කෙනෙක් නැති වෙන නිසා, අවසානයේදී එයාලා ඒවා කියන්න හරිම අනුවේදනීය පියවර වලට එළඹෙනවා. වෛද්‍යවරයෙකුට මේවා හැමදාම වගේ දකින, ඇහෙන දේවල්. හැබැයි අපි මොහොතකට වත් නොහිතන, වෛද්‍යවරු ඒවායින් කොච්චර කම්පනයට පත් වෙනවා ද කියන එක ට මේ සටහන් හොඳ ම සාක්ෂි සපයනවා. මොකද, මේ ඒවා එක්ක කටයුතු කරපු කෙනෙක් ගේ හෘද සාක්ෂිය..

ඒ වගේම, මේ කාලේදී ගුරුවරු වෙන අපිටත් ලොකු සටනක් කරන්න වෙලා තියන දෙයක් තමයි මත් ද්‍රව්‍ය. ඉස්කෝල වල පිටු ගණන් රචනා ලිව්වට, උපදේශන කියල පැය ගණන් කතා කරාට, බෑග් චෙක් කරාට, දවසින් දවස අපේ ළමා සහ තරුණ පරම්පරාව මත් ද්‍රව්‍ය සුනාමියක් විසින් ගිලගනිමින් පවතිනවා. ඇත්තට ම කිව්වොත්, පොතේ සඳහන් වෙන විදියට ම, ඒක වීරකමක් කියල දකින තරමට සමාජය ඒවාට යොමු වෙලා.

මේකේ ප්‍රශ්නේ තමයි, ඇබ්බැහි උනාම නවත්තගන්න බෑ. ඊට පස්සේ ලබා ගන්න විවිධ අපරාද වලට, ඒ වගේම පාවිච්චි කරාට පස්සේ ඇති වෙන මානසික විකෘතියත් එක්ක සිද්ධ වෙන අපරාධ, අපචාර කරන්න මේ තරුණ පරපුර පෙළඹෙනවා. වැඩිහිටි පරම්පරා වල තත්වයත් එමමයි එසේමයි. තාත්තා විසින් දරුවන් දූෂණය කරන්න පවා පෙළඹෙන්නේ ඔය තත්වය උඩ ගොඩක් වෙලාවට. මේ විදියට අතවරයට ලක් උන ළමයි එක්ක මම ගුරුවරයෙක් හැටියට කතා කරලා තියනවා. එයාලා උඩින් හිනා වෙලා හිටියට, ඇතුළතින් මොන තරම් විඳවනවා ද, සමහර විට සමාජයට වෛර කරනවා ද කියන එක මම අත්දැකලා තියනවා. ඒ අතින් මේ සටහන් ටික, මගේ අත්දැකීම් වල වෛද්‍යමය කියවීමක් වගේ මට දැනුනා.

ඒ වගේ ම මේ පොතේ තවත් ලොකුවට ම කතා කරලා තියන දෙයක් තමයි, උතුරු- දකුණු සම්බන්ධය. හේතුව, යුද්ධේ අන්තිම කාලේ වගේ මේ කතුවරිය ගත කරලා තියන්නේ රටේ උතුරු කොනේ (මේ ගැන වෙනම ම පොතක් තියනවා “උතුරු කොන” කියල. හොයාගෙන කියවන්න ඕනේ). උතුරත් දකුණත් අවුලපු අය, අවුලපු හේතු, ඇවිලුන විදිය ගැන කතා, නිර්වචන සෑහෙන්න තියනවා, ඒවා මෙතන මම ලියන්න යන්නේ නැහැ. හැබැයි දශක තුනක් පුරාවට රටක් ගිනි තියන්න ඒ ගින්නට පුළුවන් උනා.

මට ඒ පරිච්ජේද කියවනකොට, මම සෙල්ලම් කරපු පරිඝණක ක්‍රීඩාවක එන පාඨයක් මතක් උනා. “Older men declare war. But it is the youth that must fight and die.” මේක කියල තියන්නේ හර්බර්ට් හූවර් කියල ඇමරිකානු හිටපු ජනාධිපතිවරයෙක්, 1944දී. ඉතිං ඒ වගේ ම, ලංකාවේ තිබ්බ යුද්ධෙනුත් රටට අහිමි උනේ ශ්‍රම බලකායට විවිධ ආකාරයෙන් දායක වෙලා රටේ සංවර්ධනයට උර දෙන්න හිටිය මහා ජනකායක්. ඒ වගේම, රටේ සංවර්ධනයට දායක කරගන්න තිබුන සම්පත්, මුදල් ගිණිය නොහැකි ප්‍රමාණයක්.

ඔය ඔක්කොම එහෙම වෙද්දී, එකම රටේ එකම භූමියේ ජීවත් වෙන එකම වාතලයෙන් හුස්ම ටික බෙදාගන්න ජනවර්ග දෙකක්, එකම භූමියේ පර සතුරන් කරලා දාන්නත් මේකට හැකි උනා. ඒ උනාට උඩින් පෙන්නන ප්‍රතිරූපයට වඩා බිම් මට්ටමේ තිබ්බ යතාර්ථය කොහොමද කියන එක මේ සටහන් අතර විවිධ ආකාරයෙන් පෙන්නලා දෙන්න මේ කතුවරිය තමන්ගේ පෑන මෙහෙයවලා තියනවා.

ඔය වගේ, ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට අහු වෙන විවිධාකාර සමාජ ගැටළු- මානසික රෝගීන් , ළමා මෙහෙකාරකම්, මූලික පහසුකම් නොමැති ගම්මාන, මාපිය- දූදරු සම්බන්ධතා, දරිද්‍රතාවය වගේ සෑහෙන වපසරියක් පුරා විහිදුන විස්තර ගොඩක්, මේ පරිච්ජේද 60 අස්සේ තියනවා. ගුරුවරයෙක් විදියට ඇත්තටම මගේ හිතත් කම්පනය කරන්න හේතු උනේ අන්න ඒ පරිච්ජේද අස්සේ කියවෙන කතා, නම් ගම් වෙනස් කරලා ගත්තම මට හම්බුන සමහර අයටත් කොච්චර දුරකට ආදේශ කරන්න පුළුවන් ද කියල ආපු හැඟීම. සමහර විට, මගේ ම ජීවිතයට උනත්.. 

පටුන (මුල් සටහන් 30)

මේ ග්‍රන්ථය මම අවුරුද්ද මුල ඉඳලා අරගන්න බලාගෙන හිටිය එකක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් අරගන්න ගියත්, මට ඒක එතැනින් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතන ගොඩක් දෙනා අහද්දීම කිව්වේ ලංකාවේ ජාතික පිළිතුර - නෑ!

පස්සේ දවසක මහනුවර ගුණසේන පොත්හලෙන් තමා අරගන්න හැකි උනේ. ඒ අරගෙන ඇවිල්ලා භාගයක් කියවලා මම කියවන එක ටිකකට නතර කරා, ඒ භාෂාවත් එක්ක කතන්දර මට ටිකක් තදින් දැනුන නිසා. ගුරුවරයෙක් විදියට මම මේ බ්ලොග් එක කියවන, ඒ වගේම සටහන දකින හැමෝටම ඇරයුම් කරනවා මේ පොත එක පාරක් හරි කියවන්න කියල. බෙහෙත් අහුරක් දීලා සාක්කුව හිස් කරන, රටේ ප්‍රශ්න ගැන අසංවේදී පිරිසක් විදියට පවා සමාජයේ හැඳින්වෙන වෛද්‍යවරු දකින ලෝකේ මොන වගේ ද කියල තේරුම් ගන්න මේ සටහන් සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි. මේ සටහන් අපිට කියවන්න මෙහෙම ලිව්වට, බෝධිනී අක්කට ගොඩක් ස්තුතියි!

            

5 comments:

  1. blog ලියද්දි මේවා පොත් වේවියැයි සිතුවේ නෑ ඒත් මේ සෞඛ්‍ය සටහන් පුවත්පත් වල පල වුනා. බොහොම ස්තූතියි මල්ලි පොත රැගෙන කියවලා ඒ ගැන සටහනක් තැබුවා ට. සෞඛ්‍යය කියන දේ අත්‍යාවශ්‍යයෙන් අපි සැලකිලිමත් විය යුතු දෙයක්. දියුණු රටවල මූලිකත්වය දෙන්නෙ සෞඛ්‍ය අංශයෙ කරුණු කාරනා වලට. එහෙත් අපේ රටවල එහෙම නෑ. මිනිසුන් සෞඛ්‍ය කරුණු දන්නවා නම් රෝග පාලනය මෙන්ම රෝග වැලැක්වීමද ප්‍රතිකාරයද පහසුයි. ලංකා පොළොව උඩ වැඩ කරද්දී බෙහෙත් දීලා විතරක් මදි ඔවුන්ගේ ජීවිතය පිළිබඳ බොහෝ දෑ සොයා බැලිය යුතුයි. ඉතින් ඒ අත් දැකීම් එක්ක අපි ලැබූ පුහුණුව මහත් විශාල වපසරියක පැතිරී තිබෙනවා. පොත මිලදී ගෙන පොත කියවා මෙලෙස සටහන් තැබීම මට මහත් වූ දිරියක් ශක්තියක්. ඔබට බොහෝ ස්තූතියි.

    ReplyDelete
  2. මම මේ බ්ලොග් එක අනිවාර්‍යෙන් කියවන එකක්. ලංකාවට ආපු වෙලාවක පොතත් අරගන්න ඕනි

    ReplyDelete
  3. මේක කියවලා ඉවර වුණාට පස්සේ මම තීරණය කළා ඔය පොත අරගෙන කියවන්න ඕන කියලා.

    ReplyDelete
  4. බෝ ගේ පොත් දෙකක් මගේ ළඟ තියෙනා. මේක අපි කියෙව්වා නේද ෆේස්බුක් එකේ

    ReplyDelete