Thursday, April 13, 2023

අලුත් අවුරුදු...

 

ආ ළමයි...

කොහොමද ඉතිං කස්ටිය..

බ්ලොග් එක ලියන්න පටන් අරගෙන, ලියවෙන 10 වෙනි අලුත් අවුරුදු පෝස්ට් එක.. 2013 මට මතකයි මහා ධාරානිපාත වැස්සක් මැද තමයි අවුරුදු පෝස්ට් එකක් කියල එකක් ලිව්වේ. සෝයා එකක් හදලා ඒ රෙසිපි එක තමා දැම්මේ.

මෙතනින් ගිහිං බලන්නකෝ කැමති නම්..

මේ අවුරුද්දේ නම්, කෑම හදන්න තියා වේල් තුන හරියට කන්න වත් නැති තත්වයක් තමා තියන්නේ. සෝයා එකක් හරියට හදල කාපු කාලයක් මතක නෑ ඇත්තම කිව්වොත්. ඇත්තටම ඒ 2013 තිබ්බ අවුරුදු සරුව වත් නෑ මේ පාර නම්.

මගේ පැත්තෙන් ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ආධුනික පුහුණුවකට ගිහිං ඒකෙ අන්තිම හරියේ ඉන්න නිසාත්, හරියට ආදායමක් ඒ කාලේ නොලැබුන නිසාත්, ඇත්තටම ලොකු දෙයක් කරගන්න හැකියාවක් තිබ්බෙත් නෑ. ඒ අතින් නම් 2013 – 2023 කියල වෙනසක් නෑ. රවුමක් කැරකිලා ආපහු එකම තැනට ඇවිත් වගේ.

ගෙවිච්ච මාස තුන හමාර ගැන නම් රිවීව් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මේ පාර. අවුරුද්දටම අන්තිමේ රිවීව් එකක් ලියන නිසා. මේ ටිකේ ෆේස්බුක් එක පැත්තේ කට්ටියක් ජැක්සන් ඇන්තනි මහත්තයාගේ ඉරණම ගැන හිටු කියල කෙස් පැලෙන්න තර්ක ඉදිරිපත් කරනවා. රිය අනතුරකට මුහුණ දීලා අන්තරාය අඩියක දීර්ඝ කාලයක් එහෙම යන්ත්‍ර වලින් ඉන්න එක ගොඩ දෙනෙක් ට ප්‍රශ්නයක් වෙලා තියනවා.

ඒ අතරේ අලුත්ම කතාව තමා චීනෙට අපේ රටේ රිලව් පටවන්න තියන සූදානම. ලංකාවේ මේ වෙද්දී රිලව් ලක්ෂ 30ක් විතර ඉන්නවලු (බුදු අම්මෝ...). ඒකෙන් ලක්ෂයක් චීනෙට එවන්න කියල එහෙ බලධාරීන් ඉල්ලුවා කියල කතාවක් යනවා. මේකට පක්ෂව සහ විපක්ෂව ඉතිං සෑහෙන ලොකු දාර්ශනික, පරිණාමික, විද්‍යාත්මක වගේ පැතිකඩ හරහා වාද විවාද යනවා.

හැබැයි ඉතිං කෑගල්ල පැත්තේ එහෙම මිනිස්සු ගෙවල් වල උයන බත් මුට්ටිය පවා උස්සගෙන යන තරමට මේ රිලා ගහණය ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ පැත්තටත් දැන් දැන් රිලව් 20-30 එන්න අරං. ඔය අතරේ චීනෙන් අපිට රේල් පීලි 10,000 කුත් දෙන්න කැමති වෙලා ලු. එක පීල්ලක් රිලව් 10 ට පාඩුත් නෑ හැබැයි. කොච්චර සල්ලි ඒකක ආවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය තාම අභාවයට ගිහිං නැද්ද කොහෙද.

මේ පාර අවුරුද්දේ නම් චාරිත්‍ර නැකත් වත් බලන්න තරම් වත් උනන්දුවක් නෑ. වෙනදා නම් ඉස්කෝලේ කාලේ වාරේ අන්තිම දවසෙත්, පස්සේ අප්‍රේල් ක්ලාස් දවසක හවස එහෙමත් ගිහිං ඇඳුම් අරං ආවත් (2017 ට කලින් අප්පච්චිගෙන් සල්ලි ඉල්ලං), ඒ දවස් වල මම සෑහෙන ඇඳුම් සෙට් එකක් ගත්තා. ඩෙනිමක්, ත්‍රී ක්වාටර් ෂෝර්ට් එකක්, ටී ෂර්ට් දෙකක් වගේ අනිවාර්ය අංග ටිකක් තිබ්බා. මේ පාර උග්‍ර ආර්ථික අර්බුධයක ඉන්න නිසාත්, අවුරුදු කියල මහා ලොකුවට නොදැනිච්ච නිසාත් මම එක ටී ෂර්ට් එකක් විතරයි ගත්තේ (ඒකත් ට්‍රේනිං කාලේ අවුල් ගිය දෙකකට රීප්ලේස් කරන්න). හැබැයි මම නොගත්තැයි කියල ඇඳුම් කඩවල් වල පෝලිම් නම් අඩු වෙලා තිබ්බේ නෑ. තිලකවර්ධන එක එහෙම පැත්ත පළාතේ යන්න බෑ ඊයේ හවස් වෙද්දීත්.

ආ.. අවුරුදු වලට මුකුත් හැදුවේ නැත්තෙමත් නෑ. ඊයේ හවස් අතේ අප්පච්චියි මමයි ට්‍රයල් එකක් විදියට උඳුවැල් හැදුවා (සමහර පැති වල පැණි වළලු කියන්නේ).. හිතුවට වඩා හොඳට ආවා හැබැයි. අන්තිම ටිකෙන් ඉතිං මට සුපුරුදු පරිදි විකාර අදහස් ටිකක් පහල වෙලා අඩු සීනි වර්ෂන් එකක්, මුරුක්කු ටිකක් හදාගත්තා. එයින් ටිකක් හපන ගමන් තමා මේ සටහනේ මුල් ටික ලිව්වේ. 

එන්න ළමයි උඳු මුරුක්කු කන්න.. 

රෙසිපි නම් දාන්න දෙයක් නෑ ඉතිං දැන් එකසිය ගානට යූ ටියුබ් චැනල් වල ඕවා තියනවා නේ.. තව පොඩ්ඩක් ඉතුරු උනා නම් හැබැයි චොකලට් උඳුවැල් ටිකකුත් හදල තමා නතර වෙන්නේ..

මේ පාර රතිඤ්ඤා එහෙම ගන්න එපා කියල සෑහෙන කතා බහ යනවා දැක්කා. ඇත්තටම මේ පාර පුපුරන සද්ද සෑහෙන්න අඩුයි. මමත් රතිඤ්ඤා පෙට්ටියක් ගෙනාවා හැබැයි. අවුරුද්දට දාන්නත් වඩා රිලවුන්ට දාන්න. ඒකත් දැන් 600 ගාණක්. නූල් කොටයි අඟල් භාගෙටත් වඩා.

මේ  අවුරුද්දට හරි යනම බ්‍රෑන්ඩ් එක..
 

ආ.. ගණන් ගැන කියද්දී මතක් උනේ.. අපේ රටේ තියනවා නේ ඇඳුම් එහෙම සේල් කියල ජාතියක්.. ඔය උත්සව කාලෙට තමා හෝ ගාලා හතු පිපෙන තාලෙට මතු වෙන්නේ. හැබැයි අර බුවාලන්තේ ලියපු තිස්ස කරුණාසේකර කියපු විදියට ම, අපේ බුවාලන්තේ සේල් කියල කියන්නේ විකුණගන්න බැරි වෙච්චා ගොඩක් අඩු ගාණට ඇඟේ ගැහීම කියන එක තමා ඇත්ත කතාවේ එක පැත්තක්.

අනික් පැත්ත තමා, ලංකාවේ ජඩ ව්‍යාපාර සංස්කෘතියේ කතාව. ඒ කියන්නේ, උත්සව කාලෙට කලින් 1500 ට තිබ්බ නම් කමිසයක්, ඕක උත්සව කාලේ ලං වෙලා ලේබල් කරනවා 2750 ට විතර. ඊට පස්සේ සේල් කියල ගහනවා 10% වගේ අඩු කරලා. ඕක 20% කරත් අත උඩින් ලාබයි. අපේ මිනිස්සුත් උත්සව කාලෙටම රෙදි ගන්න දත කැට මැදගෙන ඉන්න නිසා, මම හිතන්නේ රෙදි කඩ කාරයෝ ඔය කාලේ බිල් ගේට්ස් ටත් වඩා හොයනවා.

එයිට අමතරව මේ කාලේ වෙන තව දේවල් තමා නරක වෙච්ච/ කල් පැනපු අමුද්‍රව්‍ය දාලා එක එක ඒවා හදන එක. මේකේ ශෝචනීය වගේම භයානක පැතිකඩ තමා ආහාරත් මේවට ඇතුලත් වෙන එක. මේ ලඟදි මම දැක්කා කල් පැනපු කිරි එහෙම තොගයක් නෙවේ සම්පූර්ණ ගබඩාවක් අල්ලලා. අයිස්ක්‍රීම් හදන්න විකුනන්න ලු. අනේ ඉතිං මේවා කන මිනිස්සුන්ට හැදෙන ලෙඩ වලට බෙහෙත් කොයි ලෝකේ හොයන්න වෙයි ද කියල.

ඔච්චර තමා ඉතිං අවුරුද්දට ලියන්න තියන්නේ. දහම් පාසලේ අවුරුදු උත්සවේ තිබ්බේ නෑ 2019න් පස්සේ. බ්ලොග් ගෙට් එකක් තියන්න සූදානමක් තිබිලත් මොකද්ද එකක් උනා ඒකට. මොකද්ද උනේ කියල මටත් තාම හරියටම තේරුමක් නෑ. නැකත් පායෙන් දීපු නැකත් පතේ බලද්දී අවුරුදු උදාව තියන්නේ හෙට හවස. එහෙනම්, ලියන කියවන හැමෝටම,

ලබ්බවන්නා වූ නව වසර සාමය සතුට කෙසේ වෙතත් පණ ගැටගහගෙන ජීවත් වෙන්න ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!

 

18 comments:

  1. "කොච්චර සල්ලි ඒකක ආවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය තාම අභාවයට ගිහිං නැද්ද කොහෙද"

    ඉතිහාසය රිපීට් වේගෙන එනවා අයියේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත මල්ලි..

      Delete
  2. //....නව වසර සාමය සතුට කෙසේ වෙතත් පණ ගැටගහගෙන ජීවත් වෙන්න...//

    හ්ම්....කියෙව්වාම කනගාටු හිතුනා. පොලවෙ පය ගහලා ජීවත් වෙන එකත්, ඇත්ත ඇති සැටියෙන් දැකිමත් හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. දුකයි නම් තමා.. ඒ උනාට ඉතිං යතාර්ථයෙන් ඈත් වෙන්න බෑ නේ..

      Delete
  3. මේ අවුරුද්දවත් සුබ වේවා කියා පතමු.
    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රාර්ථනා කරමු..

      Delete
  4. ඔය කල්පැනපු, හොඳනැති දේවල් ගැන මිනිස්සුන්ට එච්චර සබුද්ධිකත්වයක් ඇත්තෙත් නෑ පාලකයන්ට ඒ නිසා ඒ ගැන ගානකුත් නෑ. ඒක නෙව... පාරෙන් කෑම අරන් සීත මන්දිර වලින් සෙදි ගන්නෙ අපේ උන්දලා.

    වේවා වේවා සුබ වසරක්!. පණ ගැටගහගන්න... අපි අපි පුලුහං ට්‍රයි එකක් දෙමු

    ReplyDelete
    Replies
    1. රෙදි ගැනීම ගැන නම් කියල වැඩක් නෑ.

      Delete
  5. පව් රිලව්. රිලව් පව්. සුබ නව වසරක් වේවා ඔබට සහ පවුලේ සැමට

    ReplyDelete
    Replies
    1. රිලව් නෙවෙයි අරං ගියා නම් චීන්නු පව්.

      Delete
  6. ඔව් මිස්ටර් ධනසේකර... කොයි හැටි වෙතත් පණ ගැට ගහගන්ඩ හැකි වෙන අලුත් අවුරුද්දක් උනහම ඒකත් ඇති...

    එසේ ම වේවා!

    ReplyDelete
    Replies
    1. මාස දෙකක් නම් දැනට අවුලක් නෑ..

      Delete
  7. අවුරුද්ද සුබ වේවා.. උඹට අපිට රටට හැමෝටම.. !

    අවුරුද්දට කලින් බ්ලොග් ගෙට් එකක් තියන්න කතාවක් ගියා නේද? මම හිතුවේ ඒක ගැනත් උඹලා ලියයි කියලා.. :)))

    ReplyDelete
    Replies
    1. ඒ ගෙට් එකට මොනවා උනා ද දන්නේ නෑ..

      Delete