Sunday, January 1, 2023

වියෝග, විප්ලව එක්ක ගෙවුන වසරක සමාලෝචනය

 

අවුරුද්දක් අවසානයටත් ඇවිත්.. සෑහෙන දේවල් සිද්ධ උන අවුරුද්දක්. රටේ වගේ ම මගේ පැත්තෙන් ගත්තත්.. රිවීව් එකක් ලියන එක මම සාමාන්‍යයෙන් කරන දෙයක් උනත්, මේ පාර ලියන්න දේවල් ගොඩක් නිසා, රටේ ලෝකේ වෙච්ච දේවල් වලින් අහුමුළු වල උන දේවල් ගැන වැඩිය කතා නොකර ඉන්න හිතුවා.

මේ සැරේ ජනවාරි මාසේ අවුරුද්ද පටන් ගත්තේ අවුරුදු දෙකක විපිරියාස වලින් පස්සේ තරමක් සාමාන්‍ය විදියට. හැබැයි ළඟ එන දරුණු ආර්ථික අවපාතයක ඉඟි ටිකක් එක්කම.. පහුගිය අවුරුදු දෙකේ කොරෝනා එක්ක කල් පැනපු අධ්‍යයන වර් (පාසල්/ විශ්වවිද්‍යාල) එක්ක, 2021 සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග පවා කල් ඇදිලා මේ අවුරුද්දට වැටුනා. ඒ නිසා අපි 2021 පටන් අරගත්ත 11R කියන පන්ති ක්‍රමවේදය මේ වසරටත් එහෙම ම අරගෙන එන්න උනා. ඔය අතරම, 10 වසර උඩට ඇවිත් මම වසර දෙකකින් පස්සේ නැවතත් පන්ති භාර ගුරුවරයෙක් උනා, 10F පන්තියේ. 

ගුවන් විදුලි වැඩසටහනකට යන්න අවස්තාව ලැබුනා. ඒකත් මේ බ්ලොග් එක නිසා..

අවුරුද්ද පටන් ගනිද්දිම ඉතිං කොරෝනා ඉන්ජෙක්ෂන් ගහන්නයි, ඊට පස්සේ ඒ කාලේ රටේ තිබ්බ අර්බුධ එක්ක පවර් කට්, ප්‍රවාහන කේස් අනංමනං එක්ක තමා අවුරුද්දේ මුල හරිය ඇදුනේ. ස්පෝට්ස් මීට් එක එහෙමත් කරා හැබැයි වැඩිය අවුලක් නැතුව. ඔහොම යද්දී තමා අරගල පටන් ගත්තේ. මුලින්ම එක පළාතකට පවර් අවුට් වෙන්නේ නැති එකට පටන් ගත්ත අරගල ගැන ගොඩක් තැන් වල ගොඩක් විස්තර ලියවුන නිසා ආයෙත් මෙතනත් කතා කරන්නේ නැහැ. 

පේරාදෙණිය තෙල් පෝලිම.. 

අරගල කතා.. 

ඔය අරගල එක්ක සමහර විට ඇඳිරි නීති වැටුනා, ඒ අස්සේ එක පාරට බස් එහෙම ස්ට්‍රයික් ඇවිත්, වෑන් වල එහෙම යන්න නැතුව, දුම්රිය නිලධාරීන් එක්ක කතා කරලා මැදිරි ඇදගෙන දුම්රිය හදාගෙන ආපු දවසුත් නැතුවාම නෙවෙයි. 

දුම්රිය පහසුකම් සාදාගෙන ගෙදර ඒම..

 

පා පැදියෙන් පාසලට..

ඔය අහු අස්සේ අපරාදේ පොත් වල සල්ලි - හුචස් පෙළ (2021 විභාගේ ඈ) ඉවර වෙලා අවුරුදු කිට්ටු වෙද්දී තමා මිනිස්සුන්ට අර් බුධය දැනෙන්න ගත්තේ ටිකක්. මොකද අවුරුදු දෙකක් ගෙවල් වලට කොටු වෙලා ඉඳලා ටිකක් සමරන්න පුළුවන් අවුරුද්දක් ආවම ඒක කරගන්නත් බෑ නේ. කෑම, ඇඳුම් එහෙම කෙලින්ම ෆයර් මැතමැටික්ස්.. ඔන්න කස්ටිය බැස්සා පාරට. කොහොම හරි වෙසක් එහෙම පහු වෙලා ජූලි වගේ වෙනකොට ආණ්ඩුවක් ජනාධිපති එක්කම ගෙදර යන්න වෙන තරමට මේක ප්‍රබල උනා. ඒ කතා වීඩියෝ අනංමනං එක්කම හතර වටේ ගියා නේ.. 

අරග ලේ..

බයිසිකලේ ට අවුරුදු.. ඩයිනමික් බ්‍රේක්

සුළුවට රඟපාන්නත් චාන්ස් එකක් වැදුනා.. ඉස්කෝලේ පන්තියේ යාලුවෙක් නිසා..

හැබැයි ඔය අහු අස්සේ මගේ වැඩ නම් නැවතුනේ නැහැ. ඉස්කෝලේ ස්පෝට්ස් මීට් එකෙන් පස්සේ පිරිත, ඊට පස්සේ දහම් පාසලේ වැඩ, විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පාඨමාලාවේ වැඩ එහෙම වෙනද වගේම කෙරීගෙන ගියා. ඉස්කෝලේ වාර විභාග තිබ්බා, ප්‍රශ්න පත්‍ර බැලුවා, දෙමාපිය හමු තිබ්බා, ඔයිට අමතරව දැනට අවුරුදු කිහිපයක ඉඳන් හදාගෙන එන බුද්ධ ධර් උපකාරක කෙටි සටහනත් මේ පාර ටිකක් වැඩි වැඩ එක්ක ළමයි ටිකක් එක්ක සම්පූර් කරලා, සාමාන්‍ය පෙළ (2021 අවුරුද්දේ විභාගේ තිබ්බේ මැයි) ළමයින්ට දීගන්න පුළුවන් උනා. 

ලේ ත් දුන්නලු..

මගේ ඉංජිනේරු පාඨමාලාවට අදාළ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මාස 6ක් අනිවාර් යය ක්ෂේත්‍ර පුහුණුවක් ලබාගත යුතුයි. මේක 2019 අවුරුද්දේ කරන්න හිටියත් ලෝකල් බින් ලාඩන්ලයි ඊට පස්සේ චීනෙක්ට වවුල් සුප් බොන්න හිතිලා ඊට පස්සේ අවුරුදු දෙකෙයි කරගන්න බැරි උනා. මේ අවුරුද්දේ ඒ ගැන වැඩ පටන් ගත්තා ජූලි මාසෙන් පුහුණුව පටන් ගන්න බලාගෙන. 

අවුරුදු 12ක ට එහා ඉඳන් මගෙන් ඉගෙනගත්ත ගෝලයෝ දෙන්නෙක් ට ශිෂ්‍ය නායිකා පදවි හම්බුන දවස.. ඇත්තටම ගුරු සේවයේ ඉද්දි මේවා තමා සතුටු වෙන්න එන අවස්ථා..

යාන්ත්‍රික ඇඳීම පිලිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය 

මෝටර් යාන්ත්‍රික සංගමයේ අවසාන රැස්වීම..

අවසන් සේවා දිනය..

හැබැයි ඉතිං ලාංකේය දුම්රිය සේවයේ කාර් යක්‍ෂම නිලධාරීන් නිසා (ඇත්තටම නිලධාරීන් දෙන්නෙක් නිසා), ඒ කටයුත්ත පටන් ගැනීම අගෝස්තුත් පහු වෙලා ඔක්තෝබර් වෙනකල් ම ඇදුනා. කොහොමින් කොහොම හරි, ඉස්කෝලෙන් මාස 6ක් නිවාඩු අරගෙන, ජීවිතේ එක හීනයක් වෙච්ච ශ්‍රී ලංකා දුම්රිය සේවයට අනුයුක්ත වීම (පුහුණුවන ශිල්පියෙක් හැටියට හරි) සැබෑ කරගන්න හැකි උනා. මේ සටහන ලියවෙද්දීත් මම ඉන්නේ එතන. 

අමු වැස්සේ නව සේවා ස්ථානයට.. ශ්‍රී ලංකා දුම්රිය සේවය- ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව- රත්මලාන.

 

පළමු පරීක්ෂණ ධාවන චාරිකාව - S8 - 840 සමග අලුත්ගම වෙත..

රත්මලාන දුම්රිය කර් මාන්තශාලාව වෙත පැමිණි තාක්ෂණවේදය විෂයය හදාරන සිසු පිරිස.

 

ඊට අමතරව ඉස්කෝලේ ළමයි අරගෙන වෝටර් රොකට් කම්පිටිෂන් වලට ගියා, විවාද තරඟ වලට ගියා (සමහර ඒවාට මමත් විනිශ්චය මණ්ඩලයේ ඉඳන් සහයෝගයක් දුන්නා), රත්මලාන දුම්රිය කර් මාන්තශාලාවට ෆීල්ඩ් විසිට් එක්ක ගියා, වාග් ප්‍රතිභා විවාද තරඟයත් තිබ්බා. ඒ වගේම මෙතන විස්තරයක් නොලියවුනාට, 2012 වසරේ අශාන් එක්ක ගිය බලන- රඹුක්කන හයික් එක රිපීට් කරා, ඉස්කෝලේ සර් කෙනෙක් එක්ක (සහන සර්) පූජාගල නැග්ගා, තව අශාන් එක්කම නානුඔය- ග්‍රේට් වෙස්ටන් හයික් එකක් ගියා. මේ අවුරුද්දේ තමා වැඩිම කොළඹ - නුවර ගමන් ප්‍රමාණයක් ගියේ. ඒ වගේම, මගේ කෝච්චි සීසන් එකට තව ගමනාන්තයක් එකතු උනා. 

වාග් ප්‍රතිභා - 2022

 

ජල රොකට් තරඟය..

පූජාගල 

මෙහෙත් ගියා ලු...

බලන -රඹුක්කන පා ගමන..  

මැදවල විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කථික වැඩමුළුවක්..

ඕවා ඔහොම වෙද්දී, එංගලන්තේ මහා රැජින - දෙවෙනි එලිසබෙත් රැජින, මේ ලියන වෙලාවේ දැනගත්ත විදියට දහසය වෙනි බෙනඩික් හිටපු පාප් වහන්සේ වගේ ලෝක නායකයො, ගෞරවනීය පුද්ගලයෝ අපි අතරින් සමුගත්තා. තව පාපන්දු ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කරපු කණ්ඩායම් නියෝජනය කරපු එකම ක්‍රීඩකයා- පේලේ ත් ඊයේ ලෝකෙන් සමු අරගෙන තිබ්බා.

ඒ වගේම තවත් දෙයක්- අපි හැමෝම ආදරේ කරපු ඇන්ටනොව් - 225 එකම ගුවන් යානය, රුසියා- යුක්රේන් යුද්ධෙට මැදි වෙලා විනාශ උන පුවත අපිට අවුරුද්ද මැද අහන්න ලැබුනා.  

ඇන්ටනොව් - 225 

ඒ වගේම අපේ රටේ  නිහාල් නෙල්සන් වගේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ අභාවය, ඉන්දියාවෙන් ආපු දුම්, ධාරානිපාත වැසි, නාය යාම්, එක දිගට දුම්රිය පීලි පැනීම් වගේ ගොඩක් සිද්ධි වාර්තා උනා. සුනාමියෙන් විනාශ උන ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත හදන්න උදව් කරපු ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ගේ අභාවය, ඔය මුරලිදරන් එක්ක තිබ්බ අවුල් එක්ක අපේ ඒ කාලේ පරම දුෂ්ටයා ලේබල් එක වැදිලා තිබ්බත් සෑහෙන දැනුන සිදුවීමක් උනා. 

නෑ නෑ පිටසක්වල යානයක් නෙවෙයි.. මේ ඇවිල්ලා මහා රෑ Tamping Machine එකක් බලන්න ගිය එකක්..

තව මේ අවුරුද්දේ ලියන්න තියන්නේ දේවල් දෙක තුනයි (ඈ.... එච්චර ද යකෝ උනේ අහන්න එපා ඉතිං. ජීවිතේ හැම දෙයක් ම මේකේ දාන්න බෑ නේ). එකක් තමා මේ අවුරුද්දේ මම අලුත් ජංගමයෙක් ගත්තා. ඇපල් අයිෆෝන් SE 2 එකක්. තව ෆුට් සයිකල් එකට කෑලි ටිකක් ගත්තා (ගත්තට තාම හයි කරේ නෑ හැබැයි).. ආ ෆුට් සයිකලේ කියද්දී මතක් උනේ. ඔය අවුරුද්ද මැද හරියේ දවසක ගෙලිඔය ටවුම කිට්ටුව මම ගිහිං තුන්සක රියක වැදුනා.. ලොකු අවුලක් උනේ නෑ, ඒත් කාලෙකින් සිද්ධ වෙච්ච රිය අනතුරක මතකයක් එකතු කරා (2012 රත්නපුරේදී පාලමක් පල්ලේ ගියාට පස්සේ ද කොහෙද).

ආය ඉතිං ලියන්න තියන්නේ, මිනිස්සු ගැන තමා. යාළුවො යෙහෙළියෝ, නෑයෝ එහෙම හිටු කියල බැඳගෙන බැඳගෙන ගියා, ඒ මගුල් දෙක තුනකටත් යන්න හම්බුනා. මිනිස්සු ගැන ලියනකොට මෙතනට දාන්න ම ඕනේ කියල හිතුන එකක් ලියනවද නැද්ද කියලත් ඉඳල, ලියල තියන්නම් කියල හිතුවා. 

කේසර මල්ලිගේ විවාහය 

අපි සමහර වෙලාවට අපේ ලඟම නෑයෝ, නැත්තම් අපේම නෑයෝ වගේ ලං කරගන්න යාළුවො/ යෙහෙළියෝ ගැන කල්පනා කරනවා, කවදාවත් අපිට නරකක් නොකරයි, අපිව තනි නොකරයි, අතාරින්නෙ නැති වෙයි කියල. හැබැයි මම හිතන්නේ මේ අවුරුද්දේ ඉගෙනගත්ත වටිනාම පාඩමක් තමයි, ඔය හැමෝම ඉන්නේ තමන්ට උදව් තියනකල් විතරයි කියන එක. ඒ ගැන හොඳම උදාහරණයක් මේ අවුරුද්දේ හම්බුනා. මම සිද්ධිය විස්තර කරන්න නම් යන්නේ නැහැ, හැබැයි මතක තියාගන්න හොඳ දෙයක් තමයි, උදව් ඉවර උනාම සහෝදරකමුත් ලෙප්ට් වෙනවා කියන එක.

අනික් එක, කොච්චර කල් ආශ්‍රය කරත්, මොන විදියේ බැඳීමක් තිබ්බත් (නෑයෝ/ යාළුවො), මනුස්සයෙක් ට වෙනස් වෙන්න යන්නේ බොහොම සුළු කාලයයි. ඉතිං මේ අවුරුද්දේ ඔලුවට හොඳටම දැනුන පාඩමක් තමයි, කිසිම කෙනෙක් ඕනෙවට වඩා ලං කරගන්න එපා, ඕනෙවට වැඩිය කරන්න යන්න එපා කියන එක. මොකද කිව්වොත් එහෙම ඉඳල වෙනස් උනාම දරාගන්න සෑහෙන්න අමාරු වෙලා, දරුණු තීරණ වලට පවා එළඹෙන්න පුළුවන්.

හරි, එහෙමනම් අවුරුද්දේ සාරාංශය තමා ඔය (ලියපු දේවල් වලට වඩා නොලියවුන දේවල් සෑහෙන්න වැඩියි). අන්තිමට ම, මේ අවුරුද්දේ මාත් එක්ක හිටපු, දුක සැප බෙදාගත්ත හැමෝටම ස්තුතියක් කරන්නම ඕනේ. විශේෂයෙන් ම මට දුම්රිය සේවයට අනුයුක්ත වෙලා පුහුණුව ලබාගන්න උදව් කරපු රකිත අයියා, විරාජ් මහත්මයා, ඒ වගේම රසික අයියා, අරජුන අයියා, දුෂ්‍යන්ත් මල්ලි, පුලස්ති අයියා ඇතුළු යාළුවො ටිකයි, අපේ සුවේන්ද්‍රා නැන්දම්මා, පුහුණු අංශයේ පරිපාලන නිලධාරීතුමිය, ඒ වගේම ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුතුමාගේ ඉඳන් ලංකා ජරමන් දුම්රිය කාරමික අභ්‍යාස ආයතනයේ සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ රත්මලාන කර්මාන්තශාලාවේ අඳුරන, අඳුරගත්ත හැමෝවමයි මතක් කරන්න ම ඕනේ. නම් වශයෙන් ගහන්න ගියා නම් වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා ඒ ලිස්ට් එක.

ඒ වගේම, අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා, උප විදුහල්පතිතුමන් සහ සහෝදර ආචාරය මණ්ඩලයත් මතක් කරන්න ඕනේ මම ඉල්ලපු පරක්කුවෙන් සේවයෙන් නිදහස් කරලා යන්න දුන්නට සහ මගේ වැඩ ටිකත් අමතර බරක් කියල නොසලකා කරට අරං කරගෙන යන එකට..

ඒ වගේම, මාත් එක්ක හැමදාම ඉන්න මිත්‍රයො සෙට් එකයි, ඉස්කෝලෙයි දහම් පාසලෙයි ගෝලබාල සෙට් එකයි මතක් කරන්නම ඕනේ. මොකද මම නැති උනා කියල විෂයය අතාරින්නෙ, පැමිණිලි කරන්නේ මුකුත් නැතුව ඒ බරින් ඔළුව නිදහස් කරගෙන මට මගේ වැඩ ටික කරගෙන යන්න දුන්නට (මම සිලබස් එක ඉස්සරහට ඇදල ගියේ).

ඉතිං ඒ මේ ඔක්කොමත් එක්ක, 2022 කියන්නේ සෑහෙන බරපතල දේවල් සිද්ධ උන අවුරුද්දක්. 2012 ට වඩා සෑහෙන්න වෙනස් අවුරුද්දක්. මගේ බ්ලොග්කරණයටත් දශකයක් දැන්. මම එද්දී ලියවුන බ්ලොග් ඔක්කොම වගේ දැන් අක්‍රීය වෙලා. දිගටම ලියවෙන පරණ බ්ලොග් නැති තරම් දැන්. ඒ අස්සේ ජනෙල් 10ට එන ගිනි නරියා බ්‍රවුසර් එකෙන් බ්ලොග් වලට කමෙන්ට් දාන්න බෑ. මේක ලියන්නෙත් පරණ ලැප් එකෙන්. 

සුබ ගමන් කලු..

 

අපි බලමු, 2023 අවුරුද්ද කොහොම වෙයි ද කියල. එහෙනම්, ලියන කියවන හැමෝටම, සුබ අලුත් අවුරුද්දකට ආසිරි! 

Tuesday, October 4, 2022

තවත් එක පොතක් නොවේ...

          මාව ටිකක් ලඟින් ආශ්‍රය කරන අය දන්නවා මගේ එක විනෝදාංශයක් තමයි පොත් කියවන එක. ඔය පුරුද්ද මට ඇති උනේ බොහොම පොඩි කාලේදී. මම අපේ අම්මා ගැන වැඩිය සඳහනක් මේ බ්ලොග් එකේ නොකරට, ඒ පුරුද්ද ඇති කිරීම ගැන නම් සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ අපේ අම්මට. මම 3 වසරේ ඉන්නකොට දයා කළමුල්ල මහත්තයා ලියපු “මොණර නැටූ ගලේ නිධානය” පොතෙන් පටන් ගත්ත ඒ කියවීම සෑහෙන විෂයයන් ගාණක් යටතේ ලියවුන පොත් බර ගාණක් හරහා මේ වෙද්දී මාව අරගෙන ඇවිල්ලා තියනවා.

          ඒ කියවපු පොත් සෑහෙන ගාණක් අතරින්, මගේ හිතට දැනුන, ඒ කියන්නේ හිත කම්පනය කරන්න පුළුවන් උන, ගැඹුරෙන් ම හිතට දැනුන පොත් තියනවා කිහිපයක්. ඒ ගොඩට එකතු වෙන තවත් එක පොතක්, මට මේ ගිය සතියේ කියවන්න ලැබුනා. ඇත්තට ම කිව්වොත් පළවෙනි පාර කියවලා හිතට ආපු දේවල් එක්ක, ආපහු පාරක් පොත කියවලා තමයි මේ සටහන තියන්නේ.

          මොකද්ද එතකොට මේ පොත?? 


කංචුකය

           වෛද්‍යය බෝධිනී සමරතුංග මහත්මිය ලියපු “සායනික සටහන් නොවේ” කියන කෘතිය තමයි මේ විදියට මගේ හිත කම්පනය කරන්න සමත් උනේ. ඉතිං එහෙම කම්පනය කරන්න තරම් මොනවද ඒකෙ තියන්නේ? ඒ ගැන ෆේස්බුක් එක ට පොඩි සටහනක් තියන්න ඕනේ කියල හිතුවා. ඒ උනාට පස්සේ හිතුනා මේක ෆේස්බුක් එකේ යට යනවට වඩා බ්ලොග් එකේ තියෙයි නේද කියල, ඉතිං ටිකක් අමතර කරුණුත් එක්ක, සටහන මෙතෙන්ට දානවා.

2018- 2019 කියන අවුරුදු දෙකක කාල පරිච්ජේදය තුල “රැස” පුවත්පතේ පළවුණ තීරු ලිපි කිහිපයක් එකතු කරලා තමයි මේ පොත සකස් කරලා තියන්නේ. ගුරුවෘත්තිය ට පස්සේ මම දකින විදියට සමාජයේ විවිධ ජන කොට්ඨාශ එක්ක වඩාත් ලඟින් ආශ්‍රය කරන්න වෙන, ඔවුන්ගේ ජීවිත වලට එබිලා බලන්න ලැබෙන, ඒ වගේ ම ඒ ජීවිත වල මග තීරණය කරන ප්‍රධානතම වෘත්තීය තමයි වෙද වෘත්තීය (මේ කරුණ ගැන වාද විවාද තියෙන්න පුළුවන්, මේ ලිව්වේ මම දකින විදිය).

කොහොම හරි, ඔය සේවා දෙකේදී ම අපිට සමාජයේ විවිධ පැතිකඩ දකින්න පුළුවන් සෑහෙන්න යතාර්ථවාදී වගේ ම ප්‍රායෝගික ආකාරයට. එක එක ආටෝප සළුපිලි වලින් ඔතල හැඩවැඩ දාලා සරසලා තියන දේව පිළිම වල ඇතුළාන්තය දකින්න පුළුවන් ඒ ක්‍රියාන්විත වලදී. මෙතැනදී වෛද්‍ය වෘත්තීය ගුරුවරයාත් අභිබවා යන තැන් අප්‍රමාණයි.

කොහොම හරි, ගුරුවරයෙක් විදියට මගෙත් අවුරුදු 12ක කාලය ඇතුලත ඇසුදුටු සමාජමය සිද්ධීන්, වෛද්‍යමය දෘෂ්ඨිකෝණයකින් දැකලා ලියවෙච්ච සටහන් පෙළක් තමා මේ සායනික සටහන් නොවෙන, සායනික සටහන්.

සමාජයේ මම දකින විදියට නම් ප්‍රශ්න නැති කිසි කෙනෙක් නෑ. හැමෝටම තමන් එලියට නොකියන කතා ගොඩාක් තියනවා. සමහරුන්ගේ ඒ කතා එලියට එන්නේ නැතුව, එයාලා එක්කම වැළලිලා යනවා. සමහරු කියන්න උත්සාහ කරනවා, ඒත් ඇහුම්කන් දෙන්න කෙනෙක් නැති වෙන නිසා, අවසානයේදී එයාලා ඒවා කියන්න හරිම අනුවේදනීය පියවර වලට එළඹෙනවා. වෛද්‍යවරයෙකුට මේවා හැමදාම වගේ දකින, ඇහෙන දේවල්. හැබැයි අපි මොහොතකට වත් නොහිතන, වෛද්‍යවරු ඒවායින් කොච්චර කම්පනයට පත් වෙනවා ද කියන එක ට මේ සටහන් හොඳ ම සාක්ෂි සපයනවා. මොකද, මේ ඒවා එක්ක කටයුතු කරපු කෙනෙක් ගේ හෘද සාක්ෂිය..

ඒ වගේම, මේ කාලේදී ගුරුවරු වෙන අපිටත් ලොකු සටනක් කරන්න වෙලා තියන දෙයක් තමයි මත් ද්‍රව්‍ය. ඉස්කෝල වල පිටු ගණන් රචනා ලිව්වට, උපදේශන කියල පැය ගණන් කතා කරාට, බෑග් චෙක් කරාට, දවසින් දවස අපේ ළමා සහ තරුණ පරම්පරාව මත් ද්‍රව්‍ය සුනාමියක් විසින් ගිලගනිමින් පවතිනවා. ඇත්තට ම කිව්වොත්, පොතේ සඳහන් වෙන විදියට ම, ඒක වීරකමක් කියල දකින තරමට සමාජය ඒවාට යොමු වෙලා.

මේකේ ප්‍රශ්නේ තමයි, ඇබ්බැහි උනාම නවත්තගන්න බෑ. ඊට පස්සේ ලබා ගන්න විවිධ අපරාද වලට, ඒ වගේම පාවිච්චි කරාට පස්සේ ඇති වෙන මානසික විකෘතියත් එක්ක සිද්ධ වෙන අපරාධ, අපචාර කරන්න මේ තරුණ පරපුර පෙළඹෙනවා. වැඩිහිටි පරම්පරා වල තත්වයත් එමමයි එසේමයි. තාත්තා විසින් දරුවන් දූෂණය කරන්න පවා පෙළඹෙන්නේ ඔය තත්වය උඩ ගොඩක් වෙලාවට. මේ විදියට අතවරයට ලක් උන ළමයි එක්ක මම ගුරුවරයෙක් හැටියට කතා කරලා තියනවා. එයාලා උඩින් හිනා වෙලා හිටියට, ඇතුළතින් මොන තරම් විඳවනවා ද, සමහර විට සමාජයට වෛර කරනවා ද කියන එක මම අත්දැකලා තියනවා. ඒ අතින් මේ සටහන් ටික, මගේ අත්දැකීම් වල වෛද්‍යමය කියවීමක් වගේ මට දැනුනා.

ඒ වගේ ම මේ පොතේ තවත් ලොකුවට ම කතා කරලා තියන දෙයක් තමයි, උතුරු- දකුණු සම්බන්ධය. හේතුව, යුද්ධේ අන්තිම කාලේ වගේ මේ කතුවරිය ගත කරලා තියන්නේ රටේ උතුරු කොනේ (මේ ගැන වෙනම ම පොතක් තියනවා “උතුරු කොන” කියල. හොයාගෙන කියවන්න ඕනේ). උතුරත් දකුණත් අවුලපු අය, අවුලපු හේතු, ඇවිලුන විදිය ගැන කතා, නිර්වචන සෑහෙන්න තියනවා, ඒවා මෙතන මම ලියන්න යන්නේ නැහැ. හැබැයි දශක තුනක් පුරාවට රටක් ගිනි තියන්න ඒ ගින්නට පුළුවන් උනා.

මට ඒ පරිච්ජේද කියවනකොට, මම සෙල්ලම් කරපු පරිඝණක ක්‍රීඩාවක එන පාඨයක් මතක් උනා. “Older men declare war. But it is the youth that must fight and die.” මේක කියල තියන්නේ හර්බර්ට් හූවර් කියල ඇමරිකානු හිටපු ජනාධිපතිවරයෙක්, 1944දී. ඉතිං ඒ වගේ ම, ලංකාවේ තිබ්බ යුද්ධෙනුත් රටට අහිමි උනේ ශ්‍රම බලකායට විවිධ ආකාරයෙන් දායක වෙලා රටේ සංවර්ධනයට උර දෙන්න හිටිය මහා ජනකායක්. ඒ වගේම, රටේ සංවර්ධනයට දායක කරගන්න තිබුන සම්පත්, මුදල් ගිණිය නොහැකි ප්‍රමාණයක්.

ඔය ඔක්කොම එහෙම වෙද්දී, එකම රටේ එකම භූමියේ ජීවත් වෙන එකම වාතලයෙන් හුස්ම ටික බෙදාගන්න ජනවර්ග දෙකක්, එකම භූමියේ පර සතුරන් කරලා දාන්නත් මේකට හැකි උනා. ඒ උනාට උඩින් පෙන්නන ප්‍රතිරූපයට වඩා බිම් මට්ටමේ තිබ්බ යතාර්ථය කොහොමද කියන එක මේ සටහන් අතර විවිධ ආකාරයෙන් පෙන්නලා දෙන්න මේ කතුවරිය තමන්ගේ පෑන මෙහෙයවලා තියනවා.

ඔය වගේ, ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට අහු වෙන විවිධාකාර සමාජ ගැටළු- මානසික රෝගීන් , ළමා මෙහෙකාරකම්, මූලික පහසුකම් නොමැති ගම්මාන, මාපිය- දූදරු සම්බන්ධතා, දරිද්‍රතාවය වගේ සෑහෙන වපසරියක් පුරා විහිදුන විස්තර ගොඩක්, මේ පරිච්ජේද 60 අස්සේ තියනවා. ගුරුවරයෙක් විදියට ඇත්තටම මගේ හිතත් කම්පනය කරන්න හේතු උනේ අන්න ඒ පරිච්ජේද අස්සේ කියවෙන කතා, නම් ගම් වෙනස් කරලා ගත්තම මට හම්බුන සමහර අයටත් කොච්චර දුරකට ආදේශ කරන්න පුළුවන් ද කියල ආපු හැඟීම. සමහර විට, මගේ ම ජීවිතයට උනත්.. 

පටුන (මුල් සටහන් 30)

මේ ග්‍රන්ථය මම අවුරුද්ද මුල ඉඳලා අරගන්න බලාගෙන හිටිය එකක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් අරගන්න ගියත්, මට ඒක එතැනින් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතන ගොඩක් දෙනා අහද්දීම කිව්වේ ලංකාවේ ජාතික පිළිතුර - නෑ!

පස්සේ දවසක මහනුවර ගුණසේන පොත්හලෙන් තමා අරගන්න හැකි උනේ. ඒ අරගෙන ඇවිල්ලා භාගයක් කියවලා මම කියවන එක ටිකකට නතර කරා, ඒ භාෂාවත් එක්ක කතන්දර මට ටිකක් තදින් දැනුන නිසා. ගුරුවරයෙක් විදියට මම මේ බ්ලොග් එක කියවන, ඒ වගේම සටහන දකින හැමෝටම ඇරයුම් කරනවා මේ පොත එක පාරක් හරි කියවන්න කියල. බෙහෙත් අහුරක් දීලා සාක්කුව හිස් කරන, රටේ ප්‍රශ්න ගැන අසංවේදී පිරිසක් විදියට පවා සමාජයේ හැඳින්වෙන වෛද්‍යවරු දකින ලෝකේ මොන වගේ ද කියල තේරුම් ගන්න මේ සටහන් සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි. මේ සටහන් අපිට කියවන්න මෙහෙම ලිව්වට, බෝධිනී අක්කට ගොඩක් ස්තුතියි!