Friday, November 30, 2012

බෝඩිමේ ක්‍රමයට මැගී සෑදීම.


සතියකට එක ගානේ ලියන්න හිතාගෙන පටන් ගත්තට බලන් ගියාම එහෙමකට ලියන්න දෙයක් නෑනේ.. හරි හරි එව්වයින් කමක් නෑ අද කතාව කියන්නම්කො.

මේ දවස් වල ඉතින් මම අ.පො.ස. හුචස් පෙළ විභාගෙට ලියල ගෙදර ඉන්න කාලෙනේ.. මේ දවස් වල වැඩේ ඉතින් ඇවිදින එක තමයි. නැත්තම් අඩුම ගානේ නුවර වත් යනවා. එහෙමත් නොගිය දවසට ඉතින් ගෙදර. අදත් ඒ වගේ දවසක්. අදත් නුවර යන්න හිටියට මුණගැහෙන්න ඕනේ කෙනා ඊයෙම දුම්රියෙන් ගම රට බලා ගියා කියපු නිසා මම ඉතින් ගෙදර හිටිය. යකෝ හිටිය වගේ නෙවේ දැන් කන්නත් එපයි දවල්ට.

දවල්ට මෙහෙ උයලත් නැති නිසා, මට තිබ්බ එකම විසඳුම උනේ මැගී නූඩ්ල්ස් එකක් හදා ගැනීම තමා. එත් එව්වා එක පැකට් එකක් කන එක නිකම් අර මොකෙන්ද එකෙන් මොකද්ද ගියා වගේ නිසා දෙකක්වත් ඕනේ. හොයල බලද්දී දෙකක් හම්බුනා.. ඒත් දැන් තව පුරස්නයක්. අපේ ගෙදර තියන්නේ දර ලිපක්. ඕක පත්තු කරගන්නවා කියන්නේ හෙන ගේමක්. එතකොට බඩගින්න ගිහිල්ල තියෙයි.. ඉතින් ඕක ගැන කම්පනා කර කර ඉන්නකොට මතක් උනා ඉස්සර මම පාසලේ 4 වසරේදී බෝඩිමේ ඉන්නකොට ඔය නූඩ්ල්ස් හදාගත්තු විදිය. දැන් හරි.
ටාර් ගාල ගැහුවා හීටරේ.. රත් කරගත්ත වතුර ජෝග්ගුවක්. වතුර ප්‍රශ්නේ හරි. ඉතිරි ටික බොහොම ලේසි. වතුර රත් උනාට පස්සේ හීටරේ ගලවල අයින් කරලා මැටි ගත්ත මැටි මඩක්කුවක්. එකට වතුර දාල මැගී නූඩ්ල්ස් පැකට් දෙක කඩලා එක ඇතුලේ තියන අර අනුපානු පැකට් දෙක දැම්ම වතුරට. දාල හොඳට දිය කරා. ඒ කරලා දැම්ම නූඩ්ල්ස් ටිකත් වතුරට. කියවල හදනවා නම් එහෙම නූඩ්ල්ස් ටික කියුබ් එක පිටින්ම දාන්න එපා දෙක තුනට කඩලා දාන්න. නැත්තම් එක කොටසක් හොඳට ඉවිලා තව කොටසක් බාගෙට ඉවිලා තියෙයි. එව්වා කාල බඩේ අමාරු හැදුනම ඔන්න අපි නෑ...

ඉතින් ඔය කියපු විදියට නූඩ්ල්ස් ටිකත් දාල තව ටිකක් මිශ්‍ර කරලා ඕක වහල තිබ්බ විනාඩි දෙකක් තුනක්. (කොහොමත් 2 මිනිට්ස් නූඩ්ල්ස් කියලනේ කියන්නේ) මම ඉතින් ඕක වහල තියල පොඩ්ඩක් ගේ වටේ එහෙම කැරකිලා ආව. ඇවිත් බැලුවම ගානට ඉදිලා. දැන් ඉතින් වතුර පෙරන්නත් එපයි.. මම කරේ මඩක්කුව පිඟානකින්   වහල දෙකම අල්ලලා උස්සල හරහට නැමුව. එතකොට වතුර බේරිලා අයින් උනා නූඩ්ල්ස් කෑල්ලක් වත් හලන්නේ නැතිව. වතුර ඔක්කොම ගියාට පස්සේ ආපහු අනිත් පැත්ත හරවල ටිකක් කලවම් කරලා ගත්ත පිඟානකට දාල. මේ තියන්නේ ඒක. 
මේස රෙද්දේ ලියල තියන එව්වා ගණන් ගන්න එපා..

                             
   

Monday, November 26, 2012

අලුත් දුම්රියෙන් නානුඔයට ගිය විනෝද ගමනක් නොවූ විනෝද ගමන.




මම මේ පොස්ට් එක දාන්නේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුව ගැනම මහා කලකිරීමෙන්...  2012-11-10 දින මම මගේ පාසල් මිතුරන් දෙන්නෙක් එක්ක ගියා අලුත් බල වේග දුම්රියෙන් නානුඔයට.  අපි තුන් දෙනා ඉතින් පේරාදෙණියෙන් නුවරටත් ගිහින් ආපහු නානුඔය ගියා.. ඒ උනාට ඒ ගමන 921-922 සෙට් එක යන තරම් වේගවත් උනේ නැහැ.
අපි බලාපොරොත්තු උනේ නානුඔයේදී මොනවා හරි කන්නත් අරගෙන, උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයෙන් ඉතිරි වෙලා තියන එව්වත් බලල ෆොටෝ ටිකකුත් අරගෙනම එමුයි කියල. එත් ඒ වැඩ එකක්වත් කරගන්න උනේ නැහැ මොකද ඒක ප්‍රමාද වෙලා නානුඔයට යනකොට 2.44 උනා.. ඉතින් අපිට ආපහු එන්න ටිකට් ගන්නයි ඔක්කොම කරන්නයි විනාඩි 8ක් තමා ඉතිරි උනේ..
                              

                                                            
ඒ අස්සේ 924 කැබ් එකේ දොර ඇරෙන්නේ නැතිව විනාඩි 10ක් විතර ඒක ඇරගන්න වලි කාපු අතරේ අපි ෆොටෝ ටිකක් නම් ගත්ත. දොරත් ඇරගෙන ගාට ගාට ආව ග්‍රේට් වෙස්ටන් වලට. එතැනදී මොකද්දෝ දුම්රියක් එක්ක මාරු වෙලා ගල්බොඩට ආව. ඔන්න එතන හිටිය උඩරට මැණිකේ එනකල්. ඒ අතරේදී ගාඩ් මහත්තය කිව්වා කඩයක් තියනවා ඕනේ නම් කන්න මුකුත් ගන්න කියල එයා මම අඳුරනවා ටිකක්. එතනත් පරක්කු වෙලා තලවකැලේට ආව. එතෙන්දි තමයි කරදර පටන් ගත්තේ..
924 ඉස්සරහට අදින්නේ නැතිව ගියා. රියදුරු මහත්තය පුළුවන් උත්සාහය දාල බැලුවත් වැඩේ හරි යන්නේ නැති නිසා ඔන්න පස්සහ කැබ් එකේ(923) හිටපු චීන්නු දෙන්නට කතා කෙරුව. උන් දෙන්න ඊට එහා. හතර පස් පාරක් කතා කරහම තමයි ආවේ. පොරවල් වගේ ආවට මොකද ඒ හිපාටුවෝ දෙන්නට මෙලෝ සංසාරයක් කරගන්න බැරි උනා.. ඔය අතරේ රියදුරු මහත්තය ගිහින් මෝටර් එකේ පින් බලල. එතකොට එයා දැකල එතන පොඩි අවුලක්. එක හදාගෙන ඇද්ද. ඒ උනාට මීටර් 10ක් වත් යන්න උනේ නැහැ ආපහු මග. ඒ වෙලාවේ තමා ඔය පින්තූරේ ගත්තේ.. පේනවනේ? සිග්නල් දීල එත් කෝච්චිය කොට උඩ..           
                          

ඒ පාර මොකද්ද මගුලක් කරලා ඔන්න හදා ගත්ත. ඒ උනාට එතනම පැය බාගයක් පරක්කුයි. ඒ ඇද්දත් ඩයිනමික් බ්රේක් වැඩ කරන්නේ නැහැ . ඒ අස්සේ හුලන් බ්රේක් රිලීස් වෙන්නෙත් නැහැ ඔහොම හැටන් වලටත් ආව.
මෙතනින් රියදුරු මහත්තය බැස්ස පාලක මධ්‍යස්තානෙට කතා කරලා මොකද්ද කරන්නේ කියල අහන්න. මොකද එක එන්ජිමකින් බලය දෙන්නේ නැතිව පිටිපස්සේ විතරක් එන්ජිමක් තියාගෙන යන්න කැමති උනේ නැහැ ඉස්සරහ එන්ජිමේ බ්රේක් එහෙමත් නැතිව. චීන්නු දෙන්න දන්නා ලබ්බක් නැහැ මහා ලොකුවට ආවට. උන් දෙන්න එහාට මෙහාට කතා කරකර එක එකාගෙන් අහනවා. කොහොම හරි එතන හිටපු වෙන රියදුරු මහත්තයෙකුත් එක්ක එකතු වෙලා ඇදගෙන යන්න පුළුවන් වෙන්න හදාගත්තා. ඒ මදිවට දැන් ඩයිනමික් නැති නිසා යන්න වෙන්නේ හුලන් බ්රේක් වලින් සහ හෑන්ඩ් බ්රේක් වලින්.
යකෝ මේ මගුලේ හෑන්ඩ් බ්රේක් මෙලෝ සන්සාරෙකට නැහැ. ඒක තද කරගෙන යන්න පුළුවන් ෆ්ලැට් එකෙත්.
කොහොමින් කොහොම හරි හැටන් වලින් බස් වල යන්න හැදුවත් අන්තිම බස් එක එතනින් යන්නේ 5.30ට!! අපි එතෙන්ට එද්දිත් 6! ඉතින් මිනිස්සුන්ට තිබ්බේ දුම්රියේම පිහිට තමයි. පස්සේ ඔන්න ඕනේ ඇති කෙහෙල් ගෙඩියක් කියල කට්ටිය එන්න පිටත් උනා. 30km/h වේගෙකින් ඇවිල්ල ඔන්න නාවෙලපිටිය ලඟට එද්දී ඉබේටම අවුල හරි ගියා.. එතන ඉඳල 50ට විතර ආව. ඔහොම ඇවිල්ල යන්තම රෑ 9.06 වෙද්දී මහනුවරට ලඟා උනා. ඒ කියන්නේ පෑ 3ක ප්‍රමාදයක්!!! මම කොහොම හරි නුවරින් අපේ පැත්තට යන අන්තිම බස් එක අල්ලගත්තා.
අර චීන්නු ටික මොන මගුලකට ඇවිල්ල රවුම් ගහනවද මන්ද මොකද උන්ට මෙලෝ සංසාරෙක දෙයක් කරගන්න දන්නේ නෑ. ඒකේ එන්ජිම වැඩ කරපු නිසා ඕක කොම්පියුටර් එකේ ප්‍රශ්නයක් නම් එන්ජිම නැවත පන ගන්නල බැලුව නම් ඕක වෙච්ච වෙලාවේම බොහෝ විට හරි යන්න තිබුන. ඒ මදිවට තලවකැලේදී එයින් එකෙක් මොකද්දෝ සුකුරුත්තමක් ඔබල එක ආපහු උඩට ගන්නත් හෙන ගේමක් දුන්න. මේ කට්ටලය ආපු දවසේ ඉඳල මේ දුම්රිය ප්‍රමාදයි. මේ දවස් වල නම් දෙයියනේ කියල 921-922 ආපහු ඇවිත් තියනවා. ඒ වගේම 965 926, 972 928 කියන කට්ටල ටිකත් ඇවිත් තියනවා.. ඒ උනාට ඒවගෙත්  හෑන්ඩ් බ්රේක් නම් අර විදියම තමා. මට කියන්න තියන්නේ මෙච්චරයි..
මේ වගේ හිපාටු දුම්රිය නම් අපිට නැතුවට කමක් නැහැ. වෙලාවට දුවන්න පුළුවන්, මග හිටින්නේ නැති, කෑලි හැලෙන්නේ නැති ටිකක් දෙනවා නම් දෙන්න නැත්තම් නැතිවට කමක් නැහැ.
මේ වගේ රස්තියාදු කරන්නේ නැතිව හදාගන්න වෙලා යනවා නම් නැත්තම් බැරිම නම්, ඒ බව මගීන්ට කියල එයාලට වෙන ප්‍රවාහන ක්‍රමයක් හොයාගන්න හරි පුළුවන් වෙන්න දැනුවත් කරන්න ඕනේ. දුම්රිය සේවයේ වග කීම තමා මේ වගේ වෙලාවට දුම්රිය සේවයෙන්ම බස් රියක් හෝ වෙන ක්‍රමයක් සූදානම් කර දෙන එක. එව්වා ඉතින් වෙන දේවල් නොවෙන නිසා, මිනිස්සු නිකම් රස්තියාදු නොකර කලින්ම කියන්න ඕනේ.

අනික තමා මාර්ග තත්ත්ව බලල මැදිරි ආදිය ගෙන්නන එක. මේ චීන බලවේග දුම්රියේ හෑන්ඩ් බ්රේක් වදින්නේ එක බෝගියකට විතරයි. ඒත් දුවන්නේ කේබල් එකක්. අර පරණ රුමේනියානු මැදිරි වල වගේ යකඩ බාර් හෝ දම්වැල් ක්‍රමයක් නෙවේ තියන්නේ. මේවා ගැනත් පොඩ්ඩක් හිතුවොත් තමා හොඳ.

Friday, November 9, 2012

අලුත් දුම්රියෙන් නානුඔය බලා..




ඔන්න කාලෙකට පස්සේ ආපහු ආව බ්ලොග් එක පැත්තේ.. ටික දවසක ඉඳල දුවනවා මෙහෙ අලුත් කෝච්චියක්. ඒක ගැන මම රත්නපුරේ යන්න කලින් ලියලනේ ගියේ. ඉතින් මටත් නිකම් ගෙදරට වෙලා ඉන්න වෙලාවේ හිතුන ඔකේ රව්මක් ගිහින් බලන්න ඕනේ කියල. අනික ඉතින් උඩරට දුම්රිය මාර්ගය කියන්නේ මේ රටේ තියන ලස්සනම දුම්රිය මාර්ගයක් කියන එක අමුතුවෙන් කියන්න දේකුත් නෙවෙයිනේ..

මෙහෙම ඉන්න අතරේ මගේ හිතවතෙක් වෙච්ච ඔනාල් කරුණාරත්න කියන කෙනා මගෙන් ඇහුව යමුද කියල රව්මක්. මමත් ඉතින් හා කිව්වා.. මම මුලින්ම කිව්වනේ මේ දුම්රියේ පන්ති 3ක් තියනවා කියල. මගේ නම් අදහස උනේ 3න් වෙනි පන්තියේ යමු කියන එක. අනික මේකේ පළමුවෙනි පන්තිය නැරඹුම් මැදිරියක් නෙවේ වායු සමනය කල මැදිරියක්. යකෝ.. උඩරටට මොන වායු සමනයද? නාවෙලපිටියෙන් උඩහට යද්දීම ස්වාභාවික ඒ සී තියනවා ඇති වෙන්න. ඒත් ඉතින් අර ගොයියට ඕනේ උනේම ඒකේ එන්නමනේ.. මනුස්සය මටත් එක්කම ටිකට් එකත් ගන්නම් කිව්ව නිසා අය මොකටද මමත් බැහැ කියන්නේ කියල ඔන්න එහෙනම් යමු කියල සෙට් උනා..
මෙන්න චීනා..


ඉතින් වර්ෂ 2012ක්  වූ නොවැම්බර් මස 6 වන දා අඟහරුවාදා ගමන යොදා ගත්තා.. මම ඉතින් 9.48ට ගෙලිඔයෙන් අදින දුම්රියෙන් (9.48 උනාට ඒ වෙලාවට කවදාවත් ඕක එන්නේ නැහැ. එන්නේ 10ට. දුම්රිය ප්‍රමාදය ගැන වෙනම ලිපියක් පස්සේ ලියන්න බලාපොරොත්තු වෙනවා) ආව පේරාදෙණියට. ඇවිත් ඉතින් බලන් හිටිය ඒ හිපාටුව එනකල්.
මොන.. 2000හෙ දෙකක් දෙපැත්තේ තිබුනට ඒක අනිකට හපන්.. වෙලාවට පේරාදෙණියට කිට්ටු කරලවත් නැහැ. මමත් ඉතින් බන්දගත්තු බෙරේ ගහපන් කියල කියන නිසා ඉඳගෙන හිටිය. ඔන්න ඉතින් ඉඳල ඉඳල ඕකත් ආව. ඒ අස්සේ නාවෙලපිටියට යන දුම්රියකුත් එනවා.. ඔය ඔක්කොම ජල බැරි ටික කොහොම කොහොම හරි ඉවරල අපි ඉතින් ගමන පටන් ගත්තා..

මේ දුම්රියේ ගාඩ් මදිරියේත් තියනවා වේග මාපකයක්. ඉතින් සරින් සැරේට අපි ගිහින් බැලුව ඒක මොකද්ද කියන්නේ කියල. යකෝ සමහර තැන වලදී 60ට විතර යනවා..
ඔන්න යන වේගේ..
ඔන්න අපි පේරාදෙණියේ..
උලපනේදී..



ඔන්න ඉතින් නාවෙලපිටියෙන් උඩහට ගියාම අපිට නොහිතු කරදරයකට මුහුණ පාන්න සිදු උනා.. ඒ තමයි මොර සූරන්න වහින වැස්ස. මේ නිසා ෆොටෝ අල්ලන්නත් බැරි උනා..
මොන ඇල්ල ද කියල නම් දන්නේ නැහැ..
තලවකැලේ ජලාශය හරහා..


තලවකැලේ පහු කලාම මුහුණ දෙන්න උනේ අධික සීතලකට. ෆෝන් එකේ බැටරි මේකට මුහුණ දෙන්න බැරිය කියල වර්ජනයක් පටන් ගත්ත.. ඉතින් මොකෙන්ද බොලව් ෆොටෝ ගන්නේ.. මමත් වැඩේ අතාරියේ නැහැ. අන්තිම තිතටම යනකල් වැඩ ගත්ත. කොහොම කොහොම හරි නානුඔයටත් ආව.

නානුඔය ගුවන් පාලමේ සිට.



නානුඔය කියන්නේ ඉස්සර දුම්රිය මංසන්දියක්. ඒ කිව්වේ දුම්රිය මාර්ග දෙකක් එකට එකතු වෙන තැනක්. බොහොම ඉස්සර නානුඔය ඉඳන් නුවර එලිය හරහා රාගලට පුංචි කෝච්චියක්, ඒ කිව්වේ පටු ආමාන දුම්රියක් ගමන් කරලා තියනවා. ඒ දුම්රිය මාර්ගයේ නම් දැන් ලකුණක් වත් දකින්න නැහැ. ඒ උනාට එහෙම එකක් තිබ්බ කියල කියන්න තියන සාක්කියක් තවමත් නානුඔය දුම්රිය වේදිකාවේ තියනවා. මේ තියන්නේ ඒක.

ආ හා ඔය උඩුපුස්සැල්ලාවදුම්රිය මාර්ගයට යන මගීන් මේ පැත්තට යන්න...

ඉතින් ඔහොම ගිහින් 2.50ට අපි නානුඔයෙන් පිටත් වෙලා වැස්සේම ආපහු එන්න ගත්තා. මේ ඒ.සී පෙට්ටිය ගැන කියන්න ගත්තම තව දෙයක් කියන්න ඕනේ. මීට ඉස්සර මේ උඩරට මාර්ගයේ S5 කියල බලවේග දුම්රියක් ධාවනය උනා. ඒකේ තිබ්බ සැපපහසුකම් වලට නම් ලං වෙන්නවත් මේ දුම්රිය මැදිරියට බැරි බව. ඒක ගැන ඕනේ අය මෙතනින් ගිහින් බලල එන්නකෝ..
 කොහොමින් කොහොමින් හරි අපි හැටන් වලට එනකොට බැටරි නැවත පනගන්වාගන්න බැරි වෙන්නම බැහැල ගිහින්.. ඒ නිසා අය පින්තූර ගන්න නම් බැරි උනා..
හැටන්.

ඒ වගේම තමා තව දේකුත් කියන්න ඕනේ. මේ දුම්රිය අලුත් එකක් නිසා මේකේ කට්ටිය තවම නැහැ. ඒ උනාට සාමාන්යෙන් ගොඩාක් වැඩ කරන මිනිස්සු සහ හවස පන්ති වලට සහභාගී වෙලා ගෙදර යන ළමයි යන දුම්රියන් මේ විශේෂ දුම්රිය නිසා ප්‍රමාද වෙනවා. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව තව දුරටත් පාඩු ලබනවා ඇරෙන්න වෙන සෙතක් නැහැ. එදා ගමන ආපහු එද්දී පේරාදෙණියේදී සිග්නල් නැතිව විනාඩි 25ක් විතර ඉන්න උනා.. ඊට පස්සේ මම නුවරින් 7.10ට නාවෙලපිටිය බලා පිටත් වෙන දුම්රියෙන් ගෙදර ආවා.. හැබැයි ඒ...
..ආයෙත් දවසක මේ ගමන යන්න හිතාගෙන.

Tuesday, October 30, 2012

රත්නපුරයට ගිය සවාරිය..






සති දෙකක නිහැඩියාවක් තිබ්බේ මම අන්තිමට දාපු පෝස්ටුවෙන් පස්සේ සති දෙකක නිවාඩුවකට රත්නපුරේ බලා පිටත් උනු හින්ද. මේ තියන්න යන්නේ අන්න ඒ ගමන ගැන පොඩි සටහනක්..

2012හෙ ඔක්තෝබර් 14 වෙනිදා ඉරිදා මම උදෙන්ම ලැස්ති වෙලා හිටන් ගෙලිඔයේ දුම්රිය නැවතුම්පොළට ගියා නුවර යන්න දුම්රිය අල්ලගන්න.
මෙන්න  මෙයා ආව මාව නුවර එක්කන් යන්න.
W3-659

නුවරින් එහාට රත්නපුරේ බලා යන්න දුම්රියක ගිහින් බැහැ. ඉතින් මට තිබ්බ අනික් විකල්ප ක්‍රමේ උනේ බස් රථය. මම ගියා ලංගම බස් නවත්තන තැනට. ගිහින් බැලුවම තියනවා එකක් 8.30ට. ආය හොය හොයා හිටියේ නෑ නැගල අයිනක් අල්ලාගෙන ඉඳගත්ත. මෙයා ඉතින් හරියටම 8.30 වෙද්දී ඇද්ද. ඔහොම ගිහින් දෙහිඔවිටදී නතර කළා තේ බොන්න. ඔය පැත්තටත් ඉස්සර පටු දුම්රිය මාර්ගයක් ගිහින් තියනවා කොළඹ ඉඳල අවිස්සාවේල්ල හරහා ඇවිත් යටියන්තොටට. මේ පාරේ නෂ්ටාවශේෂ තවමත් දකින්න පුළුවන්. එන්න ඒ වගේ පාලමක් තමා මේ පහලින් දාල තියන්නේ


දෙහිඕවිට පාලම.



එතනින් පිටත් වෙලා කොහොමින් කොහොම හරි 12.30 වෙද්දී මම කොස්පැළවින්නෙන් බැස්ස. එතන ඉඳල කිලෝ මිටරේකට ආසන්න දුරක් පයින් ගිහින් නැන්දලාගේ දිහාටත් ගියා..
එදා එහෙම ඉඳල පහුවදා ඉතින් බයිසිකල් එක එහෙම හදාගෙන ගියා ඒ පැත්තේ සිරි නරඹන්න. ඔය කොළඹ ඉඳන් ඕපනායකට ගිය පටු දුම්රිය මාර්ගය, එහෙමත් නැත්තම් දැන් ගොඩක් අය හඳුන්වන විදිහට "කැළණි වැලි පටු දුම්රිය මාර්ගය" වැටිලා තිබුනේ අපේ නැන්දලාගේ ගෙවල් ගාවින්. ඉස්සර ඒ හරියේ "කොස්පැවින්න" කියල දුම්රිය ස්ථානයකුත් තිබිල තියනවා. මේ ලඟක් වෙනකල් ඒකෙ වැසිකිලි ටික එහෙම්මම තිබුන. ඒක අද දකින්නත් නෑ.


හිතාගන්නකෝ කොතනද ස්ටේෂම තිබ්බේ කියල.


 
මේ පාර දිගේ මේ විදියට රත්නපුර ඉඳල කුරුවිටට යනකල් යන්න පුළුවන් වෙන්න තාර/ සිමෙන්ති දාල හදල තියනවා. පරණ දුම්රිය පාලම් උඩිනුත් සිමෙන්ති දාල වාහන යන්න පුළුවන් විදියට හදල තියනවා.  මේ තියන්නේ පොල්හේන්ගොඩ කළු පාලම කියල හඳුන්වපු රේල් පාලම.




පොල්හේන්ගොඩ කළු පාලම.
 මෙතනින් පිටත් වෙලා මම කුරුවිට පැත්තට යන්න හැරුනා. මේ තියන්නේ ඒ යද්දී ගත්තු ෆොටෝ..
මේ තියන්නේ තවත් පාලමක්. මේක උඩින් යන්න ගිහින් තව පොඩ්ඩෙන් මම උඩින්ම එහා ලෝකෙට යනවා. ඒ ඉතින් ගිය වේගේ මදි වෙලා.. :-D






මේ ගමන ගිහින් එද්දී ඇඟට නිකම් හෙන ගහල වගේ.. ඔය ගෙදර ලඟ තියනවා කටු ගස් ඇල්ල කියල දිය ඇල්ලක්. ඉතින් ගෙදරිනුත් අවසරේ අරන් මම ගියා ඕකෙන් හොඳට නාගෙන එන්නම් කියල.



ඔන්න ඕක තමා දිය ඇල්ල.
ආ නෑ නෑ දිය ඇල්ලේ එක කොටසක්..





මෙතන ඉතින් උඩහට ගිහිල්ල එහෙම ඇවිත් පැයක් හමාරක් නා ගත්තා. දැනුනෙවත් නෑ වෙලා යනවා.                                          .............................................................................


ආයෙත් දවසක පිටත් උනා රේල් පාර දිගේ නැතිව වෙන පැත්තකට යන්න. එදා මේ දිය ඇල්ල එහෙම පහු කරගෙන ඒ පාරේ ටිකක් ඉස්සරහට ගියා. එතකොට හම්බුනා රත්නපුරේ ග්‍රිඩ් උපපොළ. එතන ජායාරූප කිහිපයක් අරගෙන තවත් උඩහට යද්දී පුංචි විදුලි බලාගාරයක් හම්බුනා. මේ තියන්නේ ඒ දෙකේ පින්තූර.
රත්නපුර ග්‍රිඩ් උපපොළ.

කිලෝ වොට් 115වේ විදුලි බලාගාරය.

ඔය ඔක්කොම බැලුවට පස්සේ ආය ඉතින් මෙහෙ ඇවිදින දුරින් කියල බලන්න දෙයක් නෑ. ඉතින් ඊළඟ සති අන්තේ මම එහෙ මල්ලිලා දෙන්නත් එක්ක ගියා රත්නපුර කෞතුකාගාරේ බලන්න. එතන නම් පින්තූර ගන්න හම්බුනේ නෑ.. එහෙ ඉද්දි කරපු අනිත් කටයුතු තමා බයිසිකල් පැදීම. ගම වටේ ගියා. අන්තිම දවසේ පරණ දුම්රිය මාර්ගය දිගේ යන්න ගිහින් ගිය වේගේ මදි වෙලා පාලමකටත් උඩින් ගිහින් වැටුන :-D
ඒ ගියේ ඇල්ලේ ගෙදර කියල තව දිය ඇල්ලක් බලන්න. මේ ඒක.
ඇල්ලේ ගෙදර.
වැටිලා කකුලක් ලෙලි ගිහින් තිබ්බ නිසාත්, රෑ උනු නිසාත් මේකේ උඩට නගින ඒක ආයේ ආපු දවසක කරන්න හිතාගෙන අපි ආපහු ආව. මේ ඉතින් එහෙදි ගත්තු පින්තූර ටිකක්.
මහවෙල තේ ෆැක්ටරිය.
බලන්නකෝ හවසට ගෙදර යන අපූරුව.

මේ ඇවිල්ල දුම්රිය මාර්ගය තිබ්බ කාලේ හිටවපු මායිම් කණුවක්.


ඔය කඳු තුනෙන් මැදින් පේන එක තමයි සිරි පාද කන්ද. ඕක අහු වෙන්නෙත් පරණ කෝච්චි පාර දිගේ යනකොට තමයි..


මේ මමතුමා පරණ කෝච්චි පාර දිගේ යන ගමන්. මේක ගත්තේ එහෙ ගෙදර මල්ලි.



ඔක්කොම පිස්සු ටික නටල ඉවර වෙලා සති දෙකක් සැප සේ ඉඳල ඉතින් එන්න පිටත් උනා.. ඒ එද්දී මගදී රුවන්වැල්ල හරියේ ඉඳන් මහා ධාරානිපාත වැස්සකට අහු උනා. ඉතින් මෙහෙම රෑ වෙලා යන ඒක ටිකක් අනතුරුදායක නිසා අපි එදා, ඒ කියන්නේ 27 වෙනිදා ගමන මාවනැල්ලෙන් නැවැත්තුව. මේ උදේ ඒ ගෙදරින් එලියට බැහැල බලපුවාම දැක්ක දේ..
මාවනැල්ලේ ගෙදරට පේන කඳුකරයේ දර්ශනයක්..
.
                                ඊළඟ දවසේ, ඒ කියන්නේ 28වෙනිදා ඉරිදා, අපි අපේ ගෙදරට ආවා..

ගමන අවසන් කර අපේ ගෙදරදී..

Friday, October 12, 2012

අලුත්ම බඩුව..

     මේ දවස් වල ලංකාවට සූ ගාල ආධාර ලැබෙනවා.. විදේශ ආධාර, ණය ආධාර, බස් ආධාර, ප්‍රථමාධාර, මූල්‍යාධාර, අර ආධාර, මේ ආධාර කිව්වට ඉවර කොරන්න පුළුවන් ලිස්ට් එකක් නෙවෙයි ඒක..
     මේ අතරේ ලැබෙන එක ආධාර වර්ගයක් තමයි ණය ආධාර වශයෙන් ලැබෙන දුම්රිය ආධාර.
මම ඉතින් හිතුව මේක ගැනත් මොනවා හරි කුරුටු ගාල තිබ්බොත් හොඳයි කියල...

      මේ තියන්නේ මෙහාට ආපු අලුත්ම දුම්රිය ආධාරේ..
Class S12..
      මෙයාව හම්බුනේ චීනෙන්. අවුරුදු පහළොවකින් ගෙවන්න මැක්සිම් බැංකුවෙන් ණය ආධාරයක් යටතේ තමා මෙව්වා අපිට දීල තියන්නේ.. ඇත්තම කියනවා නම් මෙව්වා තවම ලැබෙමින් පවතිනවා.. දුම්රිය දෙපාර්තමේන්තුව කියන විදියට නම් මෙව්වා ගෙනල්ල තියන්නේ උඩරට මාර්ගයේ (ඒ කිව්වේ කොළඹ- මහනුවර- බදුල්ල එහෙම) දුවන්නයි කැළණි වැලි මාර්ගයේ  (ඒ කිව්වේ කොළඹ- අවිස්සාවේල්ල) දුවවන්නයි.. කලින් ඉන්දියාවෙන් එහෙමත් මේ වගේ S පන්තියේ එකක් (S- 11) ගෙනල්ලා හෙන කට්ටක් කාලා එපා වෙලා හිටපු නිසා අපේ අය මේක චීනෙන් එද්දී සෑහෙන බලාපොරොත්තු තියන් හිටියා කිව්වොත් ඒක බොරුවක් නෙවේ.. අනික මේ වගේම, මේ සමාගමෙන්ම හදපු තවත් බලවේග කට්ටලයක් දැනට ඇති සාර්ථක ලෙස ධාවනය වෙන නිසා ඇත්තටම මේ ගැන කස්ටිය ආසාවෙන් බලන් හිටියා..
     මේකේ ඉතින් කෑලි බෑලි ගොඩාක් වැඩියි.. උඩරට මාර්ගයේ ධාවනය කරන්න ගෙනාපු එව්වගේ 3න් වන පන්තියේ මැදිරි 3ක්, 2වන පන්තියේ මැදිරි 3ක්, 1 පළමුවන පන්තියේ වායු සමීකරණය කල මැදිරියක්, 3න් වන පන්තියේ භෝජනාගාර මැදිරියක් තිබෙනවා. ඒ කියන්නේ පෙට්ටි 8ක් තිබෙනවා. මේ දුම්රිය කට්ටලයේ දෙපසින් අශ්ව බල 2000ක් බැගින් ඇති එන්ජින් 2ක් තිබෙනවා.ඕනේ අය මේකේ තාක්ෂණික විස්තර මෙතනින් ගිහින් බලාගෙන එන්නකෝ..
      නමුත් මේකේ කියන්න තියන දේ තමා මේක ආවත් ආව තවම උඩරට මාර්ගයේ දෛනික ධාවනයට එකතු වුනේ නම් නෑ.. මට මතක විදියට මේක මෙහාට ගොඩබැස්සේ මේ අවුරුද්දේ ජූලි මාසේ විතර. නමුත් එදා ඉඳන් උඩරට මාර්ගයේ ප්‍රථම පරීක්ෂණ ධාවනය කරේ නෑ 2012හෙ අගෝස්තු 19 වෙනිදා වෙනකල්. ඔය දාල තියන ජායාරූපෙත් ගත්තේ එදා මහනුවරදී තමා.
       එදා පරීක්ෂණ ධාවනය නම් අතිසාර්ථකයි මම දන්නා විදියට. තව ටිකක් කල් ඉඳලා තවත් ධාවනයක් සිදු කරා.. ඒක නම් පට්ටිපොලත් පන්නල ගියා කියල තමයි ආරංචිය. මම ඒකත් අල්ලගත්ත උලපනේදී. තව එකක් මේ ළඟදී දවසක නවෙලපිටිය බලා ගියා. මේ දෙක අතරේ මාතර හෝ ගාල්ල බලා පරීක්ෂණ ධාවන 2ක් සිදුකරලා තියනවා. අද (2012/10/12) දිනත් බදුල්ල බලා ධාවනයක් සිදු කරා. නමුත් එක ලෙඩක් හරියනකොට තව ලෙඩක් මතුවෙන එක ඇරෙන්න මේ ධාවන වලදී සිදු වෙච්ච දෙයක් නෑ කියල තමයි පේන්න තියන්නේ.. මුලින්ම කිව්වා බෙයාරිංග් ගියා කියලා. පස්සේ කිව්වා හෑන්ඩ් බ්රේක් මදි කියල. දැන් මේ පාර මොනවා කියයිද දන්නේ නෑ..
        උඩරට සෙට් එකේ කතාව එහෙම උනත් කැළණි වැලි සෙට් 4 නම් මේ වෙනකොට ධාවනයට එකතු වෙලා.. ඒ උනත් ඒවත් නිතරම මග හිටීමේ දෝෂයට ලක් වෙන බව තමයි අහන්න ලැබුනේ.. එව්වගේ තියන වැඩ කෑලි නිසා කියලත් කියනවා සමහරු කියනවා කලින් එව්වා තරම් ඉහල තත්වෙක නෑ කියලත්. ඒ මේ කතා කොහොම වෙතත් කවදත් වගේ අන්තිමට උඩරට මාර්ගෙට අලුත් දෙයක් උනේ නෑ.. වෙලාවකට හිතෙනවා මෙව්වා ගෙනාවේ ට්‍රයල් දුවන්නම විතරද කියලත්.
        ඒ අතරේ ඇහෙන තව කතාවක් තමා මේ අලුත් එව්වයෙන් උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුවවන්න යනවා කියල. පොඩි මැණිකේ නම් පටන් අරන් තියන්නෙත් බලවේග කට්ටලෙකින් කියල තමා දැනගන්න තියන්නේ.. ඒ උනත් දැන් බලවේග කට්ටල ආවොත් නැරඹුම් මැදිරිය අයින් වෙනවා.. ඒකට නම් ගොඩක් අය ඒ හැටි කැමැත්තක් නෑ.. අනික මේකේ තියන 1වෙනි පන්තියේ මැදිරිය පෞද්ගලික අංශයට දුන්නොත් දුම්රිය සේවයේ සේවකයන්ට දීල තියන බලපත්‍රය පාවිච්චි කරන්න බැරි වෙනවා.. ඒ නිසා එයාලත් මේකට ඇතුලෙන් කැමති නැතිව ඇති. මමනම් කියන්නේ තියන එව්වා එහෙම්මම තියල මෙව්වයින් අලුත් දුම්රිය සහ ඉස්සර දුවල එන්ජින් නැති කමෙන් අයින් කරපු දුම්රිය නැවත පටන් ගන්න ඕනේ.
      මේ මොන කතාව කිව්වත් උඩරට දුම්රිය මාර්ගයට සෑහෙන කාලෙකින් එන අලුත් සඟයා පිළිගන්න අපි ලෑස්තියි.. ඉස්සරහට බලමු එයාගේ වැඩ කොහොමද කියල. හැබැයි කවදා එයිද කියන සැකය තමයි මට තියන්නේ....
                          .............කවදා හෝ ඔබ එනතුරු අපි බලන් ඉන්නවා.........................





ප. ලි:-
   මෙම දුම්රිය ඔක්තෝබර් මස 19වන දින සිට උඩරට මාර්ගයේ නානුඔය දක්වා ධාවනයේ යෙදෙන බව සතුටින් සටහන් කරමි.

ප. ප. ලි:-
   මෙම දුම්රියේ තාක්ෂණික විස්තර බලන්න කියල දීපු ලින්කුව වැඩ නෑ කියල කස්ටිය කියනවා. එහෙනම් මෙන්න මේකෙන් බලාගන්න.

ප. ප. ප. ලි:-
මේ දුම්රිය නිසා උඩරට මාර්ගයේ ධාවනය දැන් සහ සම්පූර්නෙම්ම අවුල් වී ඇති බව තමයි දකින්න ලැබුනේ. මෙහෙ විතරක් නෙවේ කැළණි වැලි දුම්රිය මාර්ගේත් ප්‍රශ්න ගොඩයි කියල තමා තේරෙන්නේ. උඩරට මාර්ගේ ප්‍රමාදය අඩු කරගන්න කියල දැම්මට මේක නිසා ප්‍රමාදය වැඩි වෙලා පෙර නොවූ වීරූ අයුරින්. ළඟදීම මේ දුම්රියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම තියනවා..

Thursday, October 11, 2012

මම ළඟ ඇති එක..


මේ දවස් වල ඉතින් ගෙදරම තමයි. පහුගිය දවස් ටිකේම රවුම් ගහල රවුම් ගහල අද ටිකක් ගෙදරට වෙලා ඉන්න හිතුව.
ඒ උනාට කරන්න දෙයක් නැති නිසා ආව බ්ලොග්ගේ පැත්තේ. ලියන්න දෙයක් හිත හිත ඉන්නකොට ආව ටාර් ගාල අයිඩියා පාරක්..


මේක ලියන්න ගනිද්දී මම පත්තර කෑල්ලක කියවපු කතාවක් මතක් උනා..
"මේකක් නැති කෙනෙක් හරියට බාල්දු වූ සුපියල වාගේය.. නැති එකෙකුට ගෙදරකින් වතුර වත් දෙන්නේ නැත... ඉලව්වක් මගුලක් කියනවා තබා ගෙදරකට වද්දා ගන්නේ වත් නැත."
දැන් ගෙවල් වල ඉන්න මාළු බලු බළල්ලු ඇරෙන්න අලුත උපන් පොඩි එකාට පවා මෙව්වා එකක් තිබේ..
මේකක් නොමැතිව පාරේ බැහැලා යෑමට පවා බැරිය. වෙන මොක නැතත් මේකක් නැත්තම් අද මේ රටේ ඉඳලා හමාරය. කන්න සල්ලි නැතත් තියන මගුල විකුනලා හෝ මෙව්වා එකක් ගත යුතුමය...
දැන් ඉතින් හිතාගන්න ඕනේ මොකක් ගැනද මේ කුරුටු ගාන්න හදන්නේ කියල...
ඔව්.. මේ කියන්න යන්නේ කුදලාගෙන යන දුරකථනය හෙවත් තේරෙන සිංහලෙන් කියනවා නම් සෙල්ෆෝන් එක ගැන..
මම මුලින්ම සෙල්ෆෝන් පොල්ලක් අතට ගත්තේ 2008 මාර්තු මාසේ. ඒ අපේ අයිය කෙනෙක් රට යද්දී එයාගේ පරණ තිබ්බ වැඩ කරන්නෙත් නැති එකක් ඉල්ලගෙන. (ඉල්ලගත්තේ නම් ගලවල ඇතුල බලන්න. ඒ උනත් පස්සේ එහෙන් මෙහෙන් ඇදල කරලා ඕක වැඩ කරන්න හදා ගත්ත). Nokia 5110 එකක්..
ඒ උනත් ඉතින් ෆෝන් එකක් විතරක් තිබිල හරියන්නේ නෑනේ... ඒකත් හරියට මැටි පූසෙක් ගෙනාව වගේ වැඩක්...
ඕකට සිම් එහෙකුත් එපයි ඕක පාවිච්චි කොරන්න... ඉතින් ගෙදරට පොඩි මොර්තයක් දාල අලුත්ම අලුත් සිම් කෑල්ලක් ගෙන්නගත්තා.. කිව්වට මොකද ඒක තවමත් මම පාවිච්චි කරනවා.. ඒ ෆෝන් ඒක නම් අතුරුදහන් උනා ඒ දවස් වලම. තවමත් ඒකට උන දෙයක් හිතාගන්න බෑ... 
මේක තමා මගේ මුල්ම ෆෝන් එක..

පේනවා නේද සයිස් එක? ආය වලියකට උනත් බය නැතුව අරන් ගිහින් ඔලුවක් උනත් පලන්න පුළුවන්. මූගේ එකම අවුල තිබ්බේ මම හදලගත්තු එකක් නිසා බැටරි ඉක්මනට බැහැල යන එක තමා..
අනික ඉතින් පේනවනේ මේකේ හැටියට සාක්කුවේ නම් කීයටවත් දාගෙන යන්න බෑ..

ඔහොම මාස 4ක් ඉඳල අප්පච්චි මට පොඩි ෆෝන් කට්ටක් ගෙනත් දුන්නා.. ඒක නම් එලම භාණ්ඩයක්.. මම තවමත් ඒක පාවිච්චි කරනවා අදටත් කිසිම අලුත්වැඩියාවක්, කෑලි මාරු කිරීමක් නොමැතිව. අඩුම ගානේ බැටරියවත් මාරු කරේ නෑ තවම. දවස් 7ක් දුවනවා සම්පූර්ණෙන් චාර්ජ් කලාම. වැටිලා ඇති හිසේ කෙස් ගානට ඒත් වැඩිම උනොත් හීරුනා ඇරෙන්න වෙන ලොකු හානියක් නම් උනේම නෑ.. තාමත් මෙතනට වෙලා ඉන්නවා.. කිසි ලෙඩක් නැති එකා.. ඒ තමා Nokia 1200...
මේ ඉන්නේ පොර..

සාමාන්‍ය පෙළ කරලත් මාස 4ක්ම යනකල් පාවිච්චි කරේ ඕක තමයි.. ඊට පස්සේ අපේ තව අයිය කෙනෙක් මට එයා ළඟ තිබ්බ එහෙකුත් දුන්නා. වැඩිය වැඩ කෑලි තියන එකක් නෙවේ උනාට මට නම් ඒ දවස්වල i- phone එකක් ලබුනටත් වඩා ඒක වැදගත් උනා.. මම ට්‍රිප් ගිහින් ෆොටෝ ගත්තේ, මූණු පොතට මුලින්ම රිංගුවේ, සින්දු ඇහුවේ ඔක්කොම කරේ ඕකෙන් තමා.. ඒ උනත් මෙයා නම් හදිසි අනතුරක් (වගේ එකක්) නිසා චාර්ජ් වෙන්න බෑ කියල කියන්න පටන් ගත්තා.. මේ ඇවිල්ලත් නොකියා එකක්ම තමයි.. 6230i. ඔකේ මෙමරි කාඩ් දාන්න පුළුවන් 512Mb වෙනකන් විතරයි කියල කියන්නේ. ඒත් මම 2Gb කාඩ් දාලත් ඕක පාවිච්චි කරා..
මේ ඉන්නේ එයා තමයි.. ස්මාර්ට් ෆෝන් කියන ඒවා කැලේ...

ඔහොම ඉඳල මේකේ අර චාර්ජ් වෙන්න බෑ කියන ලෙඩේ ආවට පස්සේ ඉතින් තව එකක් ගන්න අවශ්‍යතාවය ආව. මම ඉතින් අප්පච්චිට යෝජනාව දැම්ම. මගේ ඉමහත් සන්තෝෂයට හේතු වෙමින් ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබුන..!! ඉතින් ගත්ත නොකියා 2700 එකක්... යකෝ ඒක අරක තරම්වත් හොඳ නෑනේ.. ඒක හිර වෙනවා එහෙම ලෙඩ ගොඩක් ආපු නිසායි 3G නැති නිසායි ඒකව එලවල දැම්ම. මේ තියන්නේ ඒ හිපාටුව.
එකම හොඳේ තමා බැටරි බහින්නේ හෙමීට..

ඕක එලවල දාල ගත්තේ මේකෙම 3G තියන එක. ඒ කිව්වේ 2730. ඕක නම් නොකිය තමයි ගත්තේ. මේකෙන් නම් සෑහෙන වැඩ තොගයක් ගත්ත. මූණු පොතේ ඉර උඩ සිටීම, පරිගණකයේ අවශ්‍ය දේවල් යාවත්කාලීන කිරීම, උසස්පෙළ ව්‍යාපෘතියට ජයාරූප ගැනීම, කෝච්චි පිස්සුව තිබුණු නිසා ඒක හොඳ වෙන්න ෆොටෝ ගැනීම, සින්දු ඇසීම, සින්දු බෑම, සිතියම් බැලීම වගේ මෙකී නොකී සමදෙයක්ම කරා.. ඒ උනත්, මෙයත් ගිය අවුරුද්දේ අග හරිය වෙනකොට ලෙඩ දෙන්න පටන් ගත්ත.. ඒ කොහොම උනත් ඇදගෙන ආව මමත්. ඒ ඇවිත් ගිය මාසේ මූවත් අඳුරන අයිය කෙනෙකුට සෙටමෝල් කලා..
මේ ඉන්නේ බුවා තමා..

මේ ඔක්කොම අස්සේ මට අන්තිමේට හම්බු වෙච්ච එකා තමා දැන් පාවිච්චි වෙන්නේ. එකේ නැති මගුලක් නෑ,, කැමරාව, සිතියම්, අරව මේවා හම දෙයක්ම තියනවා ඒත් මේ අලුත් බුවා ගැන නම් කියන්න තවම කල් වැඩියි කියලයි මට හිතෙන්නේ. බලමුකෝ මූ කොහොම ඉඳීද කියල.. දැනට නම් කිසිම අවුලක් නැති එකා..
Nokia 6220 classic...

ඒ උනත් මේ ඔක්කොටොම වඩා මට 1200 වටිනවා මොකද තවම මේවගේ බැටරි බැහැල ඕෆ් වෙලාම ගියාම, නැතිනම් සිකනල් මදි උනාම පිහිටට ඉන්නේ ඌ තමා..
ඔන්න ඔහොමයි ජංගම දුරකථන වලින් මම පරිනාමය උනේ.. හැබැයි ඔක්කොම නොකියා තමා....!!!
ප/ලි-
මේ අන්තිමට කියල තියන එකා තමා සුපිරිම භාණ්ඩේ.. පොරගේ කැමරාවත් සුපිරි. වේගයෙන් ධාවනය වන බයිසිකලයකින් වැටිලත් තවම කිසි අවුලක් නැතුව තියනවා.. මෙයා Classic එකක් උනාට වැඩ නම් එක්ස්ප්‍රස් මියුසික් වගේ! කිසිම ප්‍රශ්නයක් නැතුව කැමරාවක් විදියට පාවිච්චි කල හැකි..
 මේ ලඟදි මට නොකියා 6720 එකකුත් ලැබුනා. එයත් තරමක් සුපිරි වගේ.. එත් අලුත් නිසා දැම්මම මුකුත් නොකියා ඉන්නම්..
ප.ලි..
නොකියා ඉන්නම් කිව්වට නොකියම ඉන්නත් බෑනේ.. ඒ ෆෝන් එකත් සුපිරිම භාණ්ඩයක් කියල කියන්නම ඕනේ. පොඩි අවුලකට තියන්නේ 6220 තිබ්බ Xe ෆ්ලෑෂ් එක LED වෙලා තියන එකයි, ඒකෙ වගේ කැමරාවේ කාචේ සීරීම් වලින් බේරගන්න වහල තියන්න එකක් නැති එකයි තමයි.. නැත්තම් සුපිරිම භාණ්ඩේ.. ආය වලියකට උනත් අව්ලක් නෑ ගහන්න බැරිනම් පිටිපස්සේ ෆ්ලැප් එක ගලවල අරන් අතක් උනත් කපන්න පුළුවන්...
දැනට නම් කොල්ල ගින්දර වගේ වැඩ. ඔය ඉන්නේ එයා තමයි..


ජීවිතේ දුක්බරම දවසක මතකයන්....

බ්ලොග් එකක් පටන් ගත්තට ඒක ලියන්න වෙලාවක් තිබුනෙමනෑ මේ ටිකේ මොකද මම අ.පො.ස. උසස්පෙළ විභාගෙට ලියන්න ඔන්න මෙන්න තියල තමා මේක පටන් ගත්තේ.
ඒත් මේක ලියන්න පටන්ගන්න වෙන්නේ නම් මගේ ජීවිතේ දුක්බරම, සංවේදී අවස්ථාවක් ගැන ලියන මේ සටහනින්..

..........................ඒ දුක්බර දවස තමයි මම ඉස්කෝලෙන් සමුගත්ත දවස.......................



         අවුරුදු 14ක් එක දිගට ගියපු, දවසින් බාගේකටත් වඩා ඉඳපු, සෙල්ලම් කරපු, අකුරු කරපු, සෙල්ලම් කරපු, රණ්ඩු කරපු, තැන එක දවසින් දාල යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවේ කියන එක මට හොඳින්ම තේරුනේ එදා......
         ඇත්තටම මම 6,  7 වසර වලදී හිතන් හිටියේ ඉස්කෝලෙන් අස් වෙන එක හරියට අපායෙන් එලියට යනවා වගේ තියෙයි කියල. ඒ දවස්වල උදේ නැගිටින එක තමා පෙන්නන්නම බැරි වැඩේ..
         කොහොමින් කොහොම හරි නැගිට්ටමයි කියමුකෝ..
ඊළඟ අමාරු වැඩේ තමා වෙලාවට පාරට යන එක, විශේෂෙන් වැස්ස දවස් වලට. ගෙදර පාර ලඟම තිබ්බත් ඕකේ යන එක අපායට යනවට වඩා අමාරු වැඩක්..
      එව්වා මෙව්වා කොහොම හරි කොරල 9 වසරේදී කෝච්චියේ යන්න එන්න පටන් ගත්තා....
(ඊට කලින් කාලයක් බස් වලත් කෙටුවා)
කෝච්චියේ යන්න ගත්තට පස්සේ නම් හැමදාම වගේ ඉස්කෝලේ ගියා... වෙලාවට නැගිටින්න, කාල බීල ඔක්කොමත් කරලා හරියට උදේ 6.15 වෙද්දී පාරට බහින්න පුරුදු උනා සති 2න්..
එහෙම ඉන්නකොට මම කොච්චි වලටත් ඒ දවස් වල ආසාවක් තිබුණු නිසා එන්ජින් වල යන්න එහෙමත් ලැබුන.
      ඔහොම ඉතින් ඔන්න උසස් පෙළ කරන්නත් ආව.
මේ දවස් වල අපේ ඉස්කෝලේ තිබ්බ පලවෙනි වාරේ කැමති එකක් තෝරාගෙන කරන්න පුළුවන් ප්‍රතිපල ආවම ඕනේ නම් මාරු වෙන්න පුළුවන් කියල. ඉතින් මම ගණිතය කරා ...
       පස්සේ ප්‍රතිපල ආවම මම ජීව විද්‍යාවට මාරු උනා. මට ජීව විද්‍යාවට වඩා අමාරු උනේ රසායන විද්‍යාව අල්ලගන්න එක.. සම හරක් කියනවා ගණිතය කරන අයට භෞතික විද්‍යාව ලේසි රසායන ව්ද්‍යාව අමාරුයි, ජීව විද්‍යාව කරන අයට එකේ අනිත් පැත්ත කියල. මට නම් කියන්න තියන්නේ එහෙම එකක් නෑ කියල. මම ජීව විද්‍යාව කරාට රසායන විද්‍යාව මට අපබ්‍රංස වගේ.. කාලයක් එක ගුරුතුමියක් මට කොහොමහරි එක කියල දෙන්න හැදුව ඒ උනත් මගේ කරුමෙට හරි මොහොකට හරි ඒ ගුරුවරිය 2011 අපේ ඉස්කෝලෙන් අයින් උනා.. එතන ඉඳන් කොහොම හරි අල්ලාගෙන ආව විබාගෙට එනකන්ම..
        ඉතින් මෙහෙම ඇවිත් උසස්පෙළ විභාගෙත් ලිව්වා මේ අව්රුද්දෙ අගෝස්තු මාසේ...
අපේ ඉස්කෝලේ ක්‍රිස්තියානි ඉස්කෝලයක්..  ඉතින් අලුතෙන් ඉස්කෝලෙට එන දවසෙයි එකෙන් අස් වෙලා යන දවසෙයි විශේෂ දේව මෙහෙයක් තියනවා.. ඒකට ආගම බලපාන්නේ නෑ සහභාගී වීම අපේක්ෂා කරනවා. ඉතින් ඕකට සහභාගී වෙන්න අපේ අවස්ථාවත් උදා උනා 2012හෙ සැප්තැම්බර් 11 වෙනිදා...
ඒ තමයි මම පාසල් නිල ඇඳුම් ඇඳපු අවසාන දවස.

මේ තමයි මට පාසල් ජීවිතයේ හමු වෙච්ච හොඳම මිතුරන් දෙදෙනා.. කාංචන අතුරුපාන සහ හරිත ද සිල්වා... ඔයාල නැති පාළුව නම් මට හොඳට දැනෙනවා...!!


මේ මගේ අන්තිම භෞතික විද්‍යා පරීක්ෂණය..
මේ අපේ පුස්තකාලේ... මම ඉස්කෝලෙන් කැමතිම තැනක්.. ආය ඉතින් මේකටත් ගිහින් හමාරයි..





මේවා ඉතින් ආය කවදා කරන්නද...??

           මම ඉතින් ඉස්කෝලේ 4 වටේම ඇවිදලා මට උගන්නපු, මට හරි පාර පෙන්නපු, අවුරුදු 14ක් මට ශිල්ප ලබා දීපු ගුරු මහත්ම මහත්මීන්ගේ දෙපා වැඳලා කතා කරලා එහෙම අන්තිමේ 2.10ට නුවරින් නවෙලපිටිය බලා පිටත් වෙන දුම්රියෙන් ගෙදර ආවා.....



"Though long we've missed the sight of her,
Our hearts may not forget;
We've lost the old delight of her,
We keep her honour yet..."
"We will honour yet the school we knew,
The best school of all;
We will honour yet the rule we knew;
Till the last bell call.
For working days or holidays.
And glad or melancholy days,
They wer great days or jolly days,
AT THE BEST SCHOOL OF ALL."
-From the  college anthem by sir Henry Newbolt-
  • ........මට ශිල්ප ලබා දුන්, මට සෙවනක් වූ, දෙවෙනි නිවසක් වූ, කනගාටුදායක, ප්‍රීතිජනක, බියජනක අත්දැකීම් රාශියකින් මා පොහොසත් කරා වූ මාගේ විදුබිම වූ මහනුවර ත්‍රිත්ව විදුහල් මාතාවට  මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිමි....
  • ......... මා වැරදි මග යන විට හරි මග පෙන්වා දෙමින්, නිසි අද්යාපනයක් ලබා දෙමින්, මාගේ උත්සාහය, දෛර්යය හීන වූ විට මට නැවත නැගී සිටීමට කියාදෙමින් අවරුදු 14 පුරා මා සමග සිටි මහනුවර ත්‍රිත්ව විදුහලේ ගරු ආචාර්ය මණ්ඩලයට මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිමි....