Sunday, April 14, 2013

අලුත් අවුරුදු ඉස්පෙෂල්...

ඔන්න ඉතින් නව වසර උදා වෙන්න කට ළඟ තියල ආව බ්ලොග්ගේ පැත්තේ....
ඔව් බොලව් අපි අඟහරු උනත් මහා රෑ පන්සල් යන සිරිතක් නෑ.. ඉතින් එක හෙට උදේට කල් දාල ආව පොඩ්ඩක් කැරකිලා යන්න කියල. එළියේ මහා ධාරානිපාත වර්ෂාවක් අද හැලෙනවා.. ඒක හරියට වැස්සකටත් වඩා අහසින් වැටෙන දිය ඇල්ලක් වගේ.. ෆොටෝ නම් නෑ ඉතින් මේ ලෝකේ එහෙම තාක්ෂණයක් නෑනේ රෑ උනත් දවල් වගේ තියෙන්න ෆොටෝ ගහන්න.. හරි හරි ඒවායින් මේවයින් වැඩක් නෑ.. කියන්න ආවේ අද පොඩි පහේ කෑමක් හදන විදිය ගැන.
මේක මේ මමයි අපේ මලයෙකුයි පොඩි එඩිට් පාරක් දාල පස්සේ අපේම කරලා ගත්ත රෙසිපි එකක්.. මමත් ඉතින් ඔය ලෝක සංචාර කරනවටයි, කෝච්චි ගැන බලනවා හොයනවටයි එහෙම අමතරව පුංචි විනෝදාංශයක් වශයෙන් එක එක ජාතියේ කෑමත් හදල කාල බලනවා.. කලින් දැම්ම අපේ ක්‍රමයකට මැගී සෑදීම කියන සටහන කියවන්න ඇතිනේ කට්ටිය? ඒත් ඉතින් අපේ මාරයාතුමා තරම් නම් ඉතින් මම උයන්න දන්නේ නෑ.. ආය බොරු කියන්න ඕනෙය..
අද මම කියන්න යන්නේ සෝයා ටිකක් වෙනස් ක්‍රමේකට හදාගන්න හැටි. මේක ඉතින් මංතුමාගේම ක්‍රමයක්.

මේකට ඕනේ වෙනවා-
1. සෝයා පැකට් එකක් (මම නම් ගත්තේ ලංකාසෝයි එකක්)
2.උණුවතුර කේතලයක්.(උතුරන වතුර සමග)
3.පොල්තෙල් මේස හැඳි 6ක් පමණ.
4.සුදු ළූණු බික් 2ක්, ලොකු ළූණු මධ්‍යම ප්‍රමානයේ අලයක්,
5.තුනපහ, කෑලි මිරිස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට, *
6.රම්පෙ කරපිංචා, අමු මිරිස් කරල් දෙකක්,
7.අවශ්‍ය නම් ලීක්ස් ගහක්,
8.හැකි නම් උම්බලකඩ ස්වල්පයක්,
9. අබ ස්වල්පයක්,
10.වියලි මිරිස් කරල් 2ක්,
11.හොඳට කැපෙන පිහියක්,
12.තාච්චියක් හෝ නොන්-ස්ටික් පෑන් එකක්,
13.පොල් කටු හැන්දක් හෝ මොන මගුලක් හරි කලවම් කරන්න එකක්,
14.ලිපක්,
15. කුස්සියක්. :-D

*ඔය සමහර සොයා පැකට් වල ඇතුලේ තුනපහ මිරිස් පැකට් එකක් තියේ. එහෙම තියනවා නම් ඒ ගාන බලල විතරක් මිරිස් තුනපහ දාන්න. නැත්තම් අර චීන්නු මෙහෙ ඇවිත් මිරිස් මාළු කනවා වගේ තමා කන්න වෙන්නේ :-D

මෙහෙමයි හදන්නේ-:
     පළවෙනියට සොයා පැකට් එක කඩල, එකේ ඇතුලේ තව පැකට් එකක් තියනවා නම් එක අයින් කරලා මැටි මඩක්කුවක් (හරි ඕනේ ඉටිගෙඩියක්) අරගෙන ඒකට දාන්න. දැන් බලන්න ඒකෙ මුකුත් අමතර අදාළ නොවෙන දේවල් නැත්තම් උණුවතුර වක් කරන්න හොඳට. ඒකටම ලුණු වතුර ටිකකුත් දාගත්තොත් තවත් හොඳයි.. දැන් ඕක වහල විනාඩි 5 කට විතර පැත්තකින් තියන්න තැම්බෙන්න.
    
    ඒ අතරේ තියනවා වැඩක්. ඔය මම කිව්වා රම්පෙ කරපිංචා, සුදු ළූණු, බී ළූණු, ගත්ත නම් ලීක්ස් වේලිච්ච මිරිස්, අමු මිරිස්, එහෙම හීනි කෑලි වලට කපා ගන්න. බී ළූණු කපද්දී දික් අතටයි හරස් අතටයි දෙකටම කපාගන්න. ලීක්ස්උනත් නිකම් කටට දැනෙන්න තියන ගානට කපාගන්න. නැත්තම් අපි කියන විදියට ලියාගන්න. කැත්ත පාවිච්චි කරලා පුරුදුයි නම් එක තමා මේ වැඩේට හොඳම. හරි දැන් ලියාගත්තනම් ඔකටම කාලි මිරිස් ටිකකුයි උම්බලකඩ ටිකයි ලුණු කුඩු පොඩ්ඩකුයි ඉහල එක පැත්තකින් තියන්න.

   හරි දැන් ඔය වැඩ ටික ඉවර වෙනකොට අර සෝයා ටික තැම්බිලා තියෙයි ගානට. එකෙන් වතුර පෙරලා අහක් කරලා, ආපහු සැරයක් ඇල් වතුරෙනුත් හෝදලා මිරිකලා ගන්න. තව දෙයක් කියන්නම්. සොයා තෝරනකොට අර මිරිස් කරල් වගේ දිග එව්වත් නැතුව පොඩි කඩල ඇට වගේ තියන එක හරි, ඊට ටිකක් ලොකු එක හරි ගන්න. ලොකු ඒවා ගත්ත නම් එකක් දෙකකට වගේ කඩාගන්න පොඩි වෙන විදියට.
  
    ඒ වැඩෙත් ඉවර නම් දැන් ඉතින් ලිප පත්තු කරලා ගන්න. මුලින්ම තාච්චිය (හරි ගත්ත එක) ලිපේ තියල, තෙල් මේස හැඳි 2ක් විතර දාල තාච්චිය වටේට තෙල් ටික ගාගන්න. රත් වෙද්දී අර අබ ටික දාන්න. එක පුපුරද්දී  ලීක්ස් ළූනු එහෙම මික්ස් එකත් එකටම දාල, ලා දුඹුරු පාට වෙනකල් බැදගන්න.මේ වැඩේට නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා. ටෙලිෆෝන් බලන්නයි ටීවී බලන ගමන් උයන්නයි ගියොත් නම් මේ ටික කර වෙනවා සිකුරුයි. මේක එක පැත්තක් විතරක් කර වෙන එක වලක්වගන්න හැම වෙලේම කූරුගාන්න ඕනේ. හරි ඒ ටික බැදුනම තෙල් හැන්දෙන් අරන් පැත්තකින් තියන්න. දැන් තව තෙල් චුට්ටක් අර තෙල් ටිකටම දාල සෝයා ටිකත් ටික ටික එකතු කර කර ගින්දර ලාවට තියල හැඳි ගාන්න. කූරු ගෑවත් කමක් නෑ හැබැයි මොන මගුල කරත් එක දිගට කරන්න සෝයා වලට තෙල් අල්ලගන්නකල්. නැත්තම් තාච්චිය හෝදන්න වෙනම යුද්දයක් කරන්න වෙයි ඇල්ලුවට පස්සේ ඕන්...
    ඕක ලාවට බැදීගෙන එද්දී ඉතුරු තෙල් ටික සහ සෝයා එකත් එක්ක මිශ්‍රණයක් හම්බුනා නම් එකත් අවශ්‍ය පමණට දාගන්න. මේ හැම එකක්ම කරද්දී ගින්දර ලාවට තියල කලවම් කල යුතුමයි...නැත්තම් ඔන්න තාච්චිය වැලි කඩදාසියෙන් මදින්න වේවි..

    හරි. දැන් ඕක දුඹුරු පාට වෙනකල් කබල් ගාන්න තියන්නේ.. ඒ ගානට ආවම, අර පැත්තකින් තියපු මිශ්‍රනයත් එකතු කරගෙන හොඳට කවලම් කරන්න. තව මදි වගේ නම් ලුණු කුඩු ටිකක් ඉහගත්තත් කමක් නෑ. ඕක කර වෙන්න ඔන්න මෙන්න ගානට එද්දී තියනවා නම් සෝස් ටිකකුත් දාල තව පොඩ්ඩක් කලවම් කරලා ගන්න. සෝස් නැති උනත් කමක් නෑ. හරියට ආවනම් කන්න පුළුවන්.මේක ඉතින් බයිට් එකකට උනත් අව්ලක් නෑ. මේ මම අද(2013-04-13) හදපු එක ලිපෙන් බාන්න මොහොතකට කලින්..

ලිපෙන් බාන්න මොහොතකට කලින්..

ලිපෙන් බෑවට පස්සේ තෙල්  ඉතිරි වෙලා තියේ නම්බහින්න ටිකක් කලවම් කරලා තාච්චියේ අයිනකට කරලා තියන්න..
ප/ලි-
   මේක මම හැදුවේ ගෑස් ලිපක. නමුත් වෙනද මම උයන්නේ දර ලිපේ. ඒක තරම් අද එක රස නැත්ද කියල මට හිතෙනවා.. කොහොම නමුත් මේක මම උයද්දී නම් ගොඩක්ම රසට ආවේ දර ලිපේ තමා..

ඔයාලට වගේ නෙවේ අපේ ලෝකෙට, ඒ කිව්වේ අඟහරු ලෝකෙට උදා අවුරුදු උදා වෙන්නේ ඔයාලගේ පෘථිවියේ දවස් 687කට වරක්! ඔයාලගේ දවසකුයි අපේ දවසකුයි ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා ඔයාලට වගේ ආසන්න දෙගුනෙක කාලයක් අපේ අව්රුද්දක් දිගයි.. ඉතින්, මේ ලැබුවා වූ අවුරුද්ද
ඉතා හොඳින්,
තොරව මතින්,
සතුට මැදින්,
කෑම කමින්
සමරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා!!!
ඔන්න ඉතින් මම අවුරුද්දට කලින් දවසේ ආවා කෑමකුත් අරගෙන! හදල බලල වැරදි, අඩුපාඩු කියන්නකෝ!!
එහෙමනම්, හැමෝටම, කෑමෙන් බීමෙන් අඩුවක් නැති, සුවෙන් සැපෙන් පිරි, සාමය සතුට ඉතිරෙන,,

                      සුභම සුභ නව වසරක් වේවා!!!!
කරන කියන සෑම සුභ කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!!
ජය වේවා!!!

Thursday, March 28, 2013

කාලෙකට පස්සේ...





අවසාන වතාවට M6 එන්ජිමක් මගින් බලය ලබා කොළඹ බලා ඇදෙන පොඩි මැණිකේ හෙවත් පොඩ්ඩී...


ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආව බ්ලොග්ගේ පැත්තේ..
    යකෝ මම නොහිටි ටිකේ මේක සෑහෙන්න වෙනස් වෙලානේ.. මාරයා තුමා උයන්න ඉගෙනගන්න ගිහින්..
කෝච්චි තුමා Y එකකුත් එක්ක ආපහු වැඩට බැහැල.., පොඩි කුමාරිහාමි කේක් කන්න ගිහින්..

අනේ අම්මෝ සෑහෙන්න මේක වෙනස් වෙලානේ.. ඒ අස්සේ අන්තර්ජාතිකද මොකද්දෝ කියන ගුවන් තොටුපොළවල් හැදිලා, පාරවල් හෝ ගාල කර්පට් වෙලා, ජිනීවා ගිහින් යෝජනා ඇවිල්ල,, වැඩ කෝටියයි..
ඔය අතරේ මට ආපු කණගාටුදායක ආරංචියකින් කියවුනේ ලෝකේ හොල්ලපු නායකයෙක් වෙච්ච හියුගෝ චාවේස් කාලක්‍රියා කරා කියල. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.!!!

     හරි දැන් ඒ ඇති. අද මම කියන්න ආවේ පොඩ්ඩක් විතර පරණ කතාවක්. ඒ තමා, ඔයාල හැමෝම දන්න උඩරට දුම්රිය මාර්ගයේ දුවන "පොඩි මැණිකේ" සහ "උඩරට මැණිකේ" කියන දුම්රිය දෙකට ඉස්සර දුවපු එන්ජිමකින් අදින මැදිරි සමූහයකින් සමන්විත උන දුම්රිය කට්ටල වෙනුවට බලවේග දුම්රිය ආදේශ වීමේ පණිවිඩය දෙන්න. මේ විදියට ආදේශ උනේ මම මේ බ්ලොග් එක හරහා කලින් වතාවක දැනුවත් කල  S12 ධාවන පන්තියේ දුම්රිය කට්ටල. ඒ වගේම මේ සමගම මේ දුම්රිය වල කාලසටහන් එහෙම සහ සම්පූර්නෙන්ම උඩ යටිකුරු උනා කිව්වොත් එකේ ඇති වැරද්දක් නෑ.. කලින් නැවැත්තුවේ නැති තැන වලත් දැන් නවත්තනවා.. ඒ වගේම පොඩි මැණිකේ දැන් කලින්ට වඩා විනාඩි 50ක් කලින් එනවා. ඒ වගේම ඉස්සර වගේ මහනුවරටම ගිහින් තමා එන්නේ යන්නේ..
    ඒත් ඉතින් මේකේ පොඩි අස්පට් එකකුත් තියේ.. මොකද්ද දන්නවද?? අර උඩරට මාර්ගයේ සිරි නරඹන්න කියල තිබ්බ "නැරඹුම් මැදිරිය" (සිංහලෙන් කිව්වොත් Observation Saloon- OFV) එක නැති වෙලා!! ඒ මොකද කිව්වොත් බලවේග දුම්රියේ දෙපසින්ම එන්ජින් දෙකක් තියනවා. එන්ජිමක් මැදට හිටින්න මැදිරි අමුණන්න බෑ. අනික තමා උඩරට මාර්ගයේ දුවවන්න පුළුවන් ඔක්කොම නැරඹුම් මැදිරි වල තිරිංග  ක්‍රියාත්මක වෙන්නේ "රික්තක තිරිංග (Vacuum Brake)" ක්‍රමයට. නමුත් බලවේග දුම්රිය වල ක්‍රියාත්මක වෙන්නේ "වායු තිරිංග (Air Brake) ක්‍රමය.
ඉතින් මොකද්ද මේකේ අවුල? අවුල තමා, හදිසියේ වත් මේ බලවේග කට්ටලයක් ක්‍රියාවිරහිත උනොත් හරි පීලි පැනීමකට ලක් උනොත් හරි, ඇදගෙන එන්න W3 ධාවන පන්තියේ එන්ජිමක්ම ඕනේ වෙන එක. මොකද උඩරට එන්න පුළුවන් වායු තිරිංග තියන එන්ජිමකට කියල දැනට තියන්නේ එච්චරයි. එක M5c කාණ්ඩයේ එන්ජිමකත් මේ පහසුකම තිබ්බත් W3 තරම් සාර්ථක නෑ කියල තමා දැනගන්න තියන්නේ..

 පොඩි මැණිකේ දුම්රිය ඉතිහාසයෙන් බිඳක්..පොඩි මැණිකේ දුම්රිය පටන් ගත්තේ 1960 දශකයේ. ඒ ලංකාවේ දුම්රිය ධාවනයේ විශාල පෙරලියක් ඇති කරපු රම්පාල මහතා දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරය දරපු කාලේ. ඒ වෙද්දී උඩරට මැණිකේ ආරම්භ වෙලා ටික කලක් ගත වෙලා තිබ්බා.. ඒ වගේම තවත් සීඝ්‍රගාමී දුම්රියක් උඩරට මාර්ගයේ දුවවන්න පිඹුරුපත් සැකසෙමින් තිබුනා.. නමුත් මේ වතාවේ බදුල්ලටම නොව නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමටයි සැලසුම් සකස් උනේ.. ඉතින් මේ වැඩේට ඔක්කොම සෙට් කරලා, ඒ කාලේ වෙනකොට අලුත් පිටම ලැබිල තිබ්බ S3 කියන ජර්මානු බලවේග කට්ටල වලින් දුවවන්න තීරණය උනා. (මේ අයුරින් බලනවිට උඩරට මාර්ගයේ බලවේග දුම්රිය ධාවනයට එක් වන ප්‍රථම වතාව S12 ලෙස මාධ්‍ය මගින් හඳුන්වා දුන්නද එය අසත්‍යයක් බව පෙනේ. මන්ද යත් 1969 W2 එන්ජින් ධාවනය වනතුරු S3 හා S4 කට්ටල පොඩි මැණිකේ නානුඔය අරන් එන්නට ඇත.)
 පෙර කිසි කලෙක නොකරන ලද අයුරින් S3 එන්ජින් දෙකක් (දැනගැනීමට ඇති අයුරින් S3-603/604) Back to Back, (එනම්, එන්ජින් දෙකේ පිටුපසින් එකිනෙක සම්බන්ධ කිරීම- ඉදිරිපස පිහිටන්නේ දෙපසටය. මෙහිදී ආපසු ගමන සඳහා එන්ජිම හැරවීමක් අවශ්‍ය නොවන්නේ ඒක පසෙකින් ගලවා අනෙක් පසට සවි කල විට එන්ජින් දෙකේ කලින් පිටුපසට තිබූ එන්ජිම දැන් ඉදිරියට පිහිටන බැවිනි.) ආකාරය ඈදා ඊට පිටුපසින්   මැදිරි 9ක් වන ලෙසට සකසන ලද දුම්රිය  සාර්ථක ලෙස නානුඔය දක්වා ධාවනය වී ඇත. එහි ජයාරූප කිසිවක් මා සතුව නැතත්, මෑතකදී නිකුත් වූ "Lanka Rail Digest" නම් සඟරාවේ මේ දුම්රියේ මංගල ගමනේ ජායාරූපයක් දක්වා ඇත.
                                            

                                     
ඔය තියන්නේ Lanka Railway Digest සඟරාවේ 2012- අගෝස්තු- නොවැම්බර් කලාපේ කවරයේ ජායාරූපය. බලන්න මේකේ එන්ජින් දෙක සම්බන්ද කරලා තියන විදිය.

  නමුත් මේ වනවිට මෙම S3 බලවේග කට්ටල කිසිවක් ධාවන තත්වයේ නැත.. (අවසාන කට්ටලය 2007 වසරේ ඉවත් කරන ලදී)
පසු කලෙක W2 පන්තියේ පරිහානියත් සමග M2 හා "කඳුකරයේ ඔටුනු නොපලන් රජු" ලෙසින් දුම්රිය ලෝලීන් හඳුන්වන ප්‍රබල ජර්මානු එන්ජිම- M6 යන එන්ජින් වලින් බලය ලැබ සුවහසක් මගීන්ගේ ප්‍රවාහන පහසුකම් සපුරාලීය. ඒ M6 යුගයේ අවසානය මෙසේ වර්ෂ 2013ක් වූ පෙබරවාරි මස 28 වනදායින් සටහන් විය.  
                             

ගෙලිඔය පසුකර බදුල්ල බලා ඇදෙන පොඩි මැණිකේ දුම්රිය අවසාන වතාවට එන්ජිමක් සමගින්..

වර්තමාන කතාව..


වර්ෂ 2013ක් වූ මාර්තු මස පළමුවන දින සිට නැවතත් පොඩි මැණිකේ දුම්රිය S12 බලවේග කට්ටල මගින් "පවර්සෙට් කරණය" වූ වගයි.....
මේ "නැවත බලවෙගකට්ටලකරණයේ" මංගල ගමනට මමද සහභාගී වූයේ එම දුම්රිය එදින සිට ගෙලිඔය දුම්රිය ස්ථානයේද නවත්වා ධාවනය කරන බැවිනි. මේ එම ගමන අතරතුරදී ගත ජායාරූපයන්ය...
                              
                                       

ගෙලිඔයට ලඟා වන පොඩි මැණිකේ..
 
ගම්පොල පසුකර නාවෙලපිටිය බලා..
නාවෙලපිටිය බලා අධි වේගයෙන්..
S12 දුම්රියේ රියදුරු කුටිය.
පසුපසින් තල්ලු කර සහාය දක්වූ S12- 926 එන්ජිම. ඉදිරිපස ඇත්තේ S12 925 ය.
නාවෙලපිටිය පසුකර බදුල්ල බලා ඇදෙන අලුත් වූ පොඩි මැණිකේ..
                                        
                                       
                 මේ ගමන යන්න මගෙත් එක්ක තූර්ය ඔවිටිපාන අයියත් ආව. ඔහු ගැන කලින් පෝස්ට් එකේ සඳහන් කළා මතක ඇති. මේ අප දෙදෙනා නාවෙලපිටියේදී ගත ජායාරූපයක්.. (ජායාරූපය ගත් කෙනා සම්බන්දවත් විශේෂයක් ඇත)

තූර්ය ඔවිටිපාන අයියා සහ අඟහරුවා පොඩ්ඩි සමග නාවෙලපිටියේදී..
                       මේ ගමන මෙයින් අවසන් කරලා මම ඉතින් ආපහු ගෙදර ආවා..
සැ/යු:-
මා සෑහෙන කාලයක් නිහඬව සිටියේ බ්ලොගය අමතක වී නොව, මේ ලැප් රාජයා නැති වූ නිසාය. දැන් එය නැවත ලැබී ඇතිමුත්, මා මෙම වසරේ දෙවන වතාවට අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන බැවින් ඉදිරි මාස 4ක් පමණ කාලයේදී නැවත ලියන්නට ඇති ඉඩකඩ ඉතා සීමාසහිතය. පාඨකයෝ කරුණාකර ඉවසා වදාරත්වා!! තාවකාලික නිහඬතාවයක් මිස එය බ්ලොගය අත්හැර දැමීමක් ලෙස නොසලකන්න!!

බයි ද වේ.. සිංහල අවුරුද්දට පෙර නැවත ඒමට අවස්තාවක් නැති උවහොත්--

           ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
       

Monday, January 21, 2013

බ්‍රිතාන්‍ය යුගයේ සිහිවටන සොයා ඉපැරණි ලෝකයකට ගියෙමු..







ඇඩිෂම් බංගලාව..

          කාලෙකින් බ්ලොග් එක හතර මායිමේ පස් පාගන්න බැරි උනා. වැඩ නිසාමත් නෙවෙයි.. එක අතකට වැදගත් දෙයක් තිබ්බෙත්නෑ ඉතින් ලියන්න. වැස්ස ගැන හැමෝම කතා කල නිසා අමුතුවෙන් මෙතනත් කියවන්න ඕනේ නෑනේ කියල හිතල එක ගැන නම් මුකුත් දැම්මේ නෑ. ඒ කියල ඉතින් මේක අමතක වෙලාම තිබ්බෙත් නෑ. කොහොමින් කොහොමින් හරි ගලන්න වැහැපු වැස්ස හමාර වෙලා මෙන්න බොලේ පොලොව කරුකුට්ටන් වෙන්නම පායන්න ගත්ත දැන් සතියක හමාරක ඉඳල! එතකොට ඉතින් තවත් නම් ගේ ඇතුලට වෙලා බලා ඉන්න හැකියාවක් තිබ්බේ නෑ. ඉතින් අශාන් විජේකෝන් කියන මගේ මිත්‍රයයි මමයි කතා උනා  කාලයක් තිස්සේ අපේ හිත් වල තිබ්බ ගමනක් යන්න. ඒ තමා හපුතලේ ඇඩිශම් බංගලාව  බලන්න යන්නයි ඒ ගමන්ම ලංකාවේ තියන ලස්සනම දුම්රිය ස්ථාන වලින් එකක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට හපුතලේ බලා පාගමනින් යාමටත්.
           කියන්න නම් ලේසියි. ඒත් කරන්න නම් අමාරුයි කියන එකේ සත්‍යතාවය වැටහුනේ මේ ගමන සංවිධානය කරන්න ගියහම. පළවෙනියට බැලුවේ අපිට මේ ගමන දවස් දෙකක් නැතුව තනි දවසින් ඉවර කරගන්න පුලුවනිද කියල. ඒ කියන්නේ හපුතලේ පැත්තේ නවතින්නේ නැතුව එන්න පුලුවන්ද කියල. එතකොට මට පිහිටට ආවේ මගේ මිත්‍රයෙක් වන අපේ බ්ලොග් අවකාශයේත් සිටින දුම්රිය පාගමන් විශාල සංඛ්‍යාවක් ගොස් ඇති තූර්ය ඔවිටිපාන  අයියා සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ මගේ තවත් මිතුරෙක් වන රකිත ආරියරත්න මහතා. ඒ දෙපොළටම මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා අපිට ඒ උදව් කිරීම ගැන. ඒ උදව් නොවෙන්න අපි තාම යනවා!! එයාල තමා ඇත්තෙන්ම අපිට යන්න ඕනේ කෝච්චි ගැන දැනුවත් කරලා එහෙම මූලික වැඩ ටික කරේ.
           ඒ වැඩ ටිකත් හරි කියමුකෝ.. ඒ අස්සේ දැන් කට්ටිය එකතු කරගන්නත් එපාය. අපි ඕක යන්න හිටියේ ජනවාරි 25. නමුත්  ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියල තියන්නේ කට කහනවට නොවෙන නිසා, අපි තීරණය කළා 18 රාත්‍රී තැපැල් දුම්රියේ යන්න. ඉතින් අපි තුර්ය අයියට එහෙමත් එන්න කිව්වා. කොහොමින් කොහොමින් හරි ඒ අයට එයාලගේ කාර්ය බහුල ජීවිත වලින් එදාට විරාමයක් ගන්න බෑ කියල අන්තිම වෙද්දී ඉතිරි උනේ අශාන් සහ මම විතරයි. කමක් නෑ කියල ඉන්නකොට ඔන්න තව බාල්දියක් පෙරලුනා සඳුදා උදෙන්ම. මට එකසිය ගානට හෙම්බිරිස්සාව සමග උන ආවා. මම බදාදා වෙනකල්ම ගමන යන්න වෙන එකක් නෑ කියලයි හිතන් හිටියේ.. නමුත් කොහොමින් කොහොමින් හරි, සිකුරාදා උදේ වෙනකොට සියලුම ප්‍රශ්න විසඳිලා අපිට යන්න කොළ එලිය වැටුනා..
          ඊළඟට තමා තව වැඩක් සෙට් උනේ. දැන් අපි තීරණය කලේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ගිහින් අදාළ ටික බලල, පොඩි මැණිකේ දුම්රියෙන් ආපහු එන්න. ඒ කියන්නේ අපි සිකුරාදා රෑ ඉන්නේ දුම්රියේ. හිටිය වගේ නෙවේ අපි කන්න බොන්නත් එපයි.. ඉතින් මම ඕනේ මගුලක් කියල පාන් ටිකක් හදාගෙන ඔන්න ඉතින් රෑ 7.30ට විතර ගෙදරින් එලියට බැහැල පේරාදෙණියට යන්න බස් එකකට නැග්ග.
           ඒක 7.45 වෙද්දී පේරාදෙණියේ. යකෝ නයිට් මේල් එක එන්න තව පය 3යි ගානක් තියනවා!! මොනා කරන්නද? මුළු දුම්රිය ස්ථානයටම හිටිය එකම මගියා මම විතරයි. ඉතින් දුම්රිය ස්ථානාධිපති තුමා මට කාර්යාලය ඇතුලේ ඉන්න ඉඩ දෙන්න කාරුණික උනා. ඒ ගැන එතුමාටත් ස්තුතියි!  එහෙම නොවෙන්න මම එදා වේදිකාවේ සීතලට මැරෙනවා ආය දෙකක් නෑ..
            ඔය අස්සේ ඒ හිපාටු කෝච්චිය පැයක් විතර ප්‍රමාදයි කියල දැනගන්න ලැබුනා.. මට ඒ වෙලාවේ නම් ගමන නතර කරලා පයින්ම ගෙදර එන්න නොහිතුනා කිව්වොත් ඒ බොරු. කමක් නෑ කියල ඉතින් හිටිය. ඔන්න 12ට 15ක් තියල දුම්රිය ආව දෙවෙනි වේදිකාවට. මහනුවරට යන තැපැල් මලු ප්‍රවාහනය කරන මැදිරිය ගලවල අපි එතනින් පිටත් වෙද්දී සෙනසුරාදට ඉතුරු වෙලා තිබ්බේ තව විනාඩි 5යි!!
මෙයා තමා අපිව අරන්ගියේ පට්ටිපොළ වෙනකල්.
             ඔන්න දැන් ඉතින් පට්ට සීතලේ ගැහි ගැහි, අහසේ තරු, ප්ලේන් එහෙම ගණන් කර කර අපි දෙන්න පාපුවරුවක හිටගෙන යනවා. ගම්පොලදී තව එන්ජිමක් පිටිපස්සෙන් අමුණනවා දුම්රියට අමතර බලයක් දෙන්න. එතකොට එකකින් අදිනවා එකකින් තල්ලු කරනවා. එහෙම පට්ටිපොළ වෙනකල් ගියාම පිටිපස්සේ තිබ්බ එන්ජිමත් ඉස්සරහට අරගෙන එකෙන් දුම්රිය ඇදගෙන යනවා..
පිටිපස්සේ තිබ්බ එන්ජිම පට්ටිපොලදී ඉස්සරහට..
              ඇත්තෙන්ම එතන ඇදිල්ලක් වෙනවට වඩා තිරිංග යෙදීමක් තමා වෙන්නේ. මොකද මෙතන ඉඳල බොහොම තියුණු බෑවුමක් පටන් ගන්නේ බදුල්ල පැත්තට. කොහොමින් කොහොම හරි, පාන්දර 6 විතර වෙනකොට අපි ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ලඟා උනා.. එතකොට එලිය වැටෙන්න පටන් අරන්..
ඔන්න අපි ආවා..
             මම ජීවිතේ දැකපු සුන්දරම දර්ශනවලින් එකක් දැක්කේ ඒ වෙලාවේ තමා.. ඉර පායාගෙන එද්දී ඒ පළාත හරිම ලස්සනයි.. කොච්චර ලස්සනද කියනවා නම් අපිට එතන පැයක් උනත් ඉන්න තිබ්බ. අපි ඉතින් ඒ අවස්ථාව අපේ ජංගම දුරකථන වල කැමරා වලින් ජායාරුප ගත කරගත්ත. නමුත් ඒවා ඉතින් එච්චර ඉස්තරම් තත්ත්වෙකට නම් නෑ.
බලන්නකෝ ඉර පායාගෙන එද්දී තියන ලස්සන..
             කොහොමින් කොහොම හරි අපි ඉදල්ගස්හින්නේ වැඩ ඉවර කරලා පයින් ඇවිදගෙන ගියා. ඒ අතරේදී අපිට හම්බවෙච්ච් මාර්හ පරීක්ෂක මහත්තයෙක් අපිට ඇඩිශම් බංගලාවට යන නිවැරදි පාර කියල දුන්නා. ඉතින් අපි ඉස්සරහට එනකොට කිව්වත් වගේම අපිට හපුතලේ බස් මාර්ගය දුම්රිය මාර්ගය හරහා යන හරස් මාර්ගය හමු උනා. එතන තිබ්බ තවත් දෙයක් තියනවා..
ග්ලෙනනොර්. (Glenanore)
              
            මේ තමා ග්ලෙනනොර් (Glenanore) කියන පෞරාණික අගයක් තියන ඉපැරණි දුම්රිය පොළ. මෙතන තියන විශේෂත්වය තමා තවමත් මේක පරණ විදියටම තියන එක. ලංකෙම් ආයතනයෙන් මේක ඒ පරණ විදියටම සංරක්ෂණය කරලා තියනවා. මෙතනට ආවම හරියට බ්‍රිතාන්‍ය පාලන යුගයේදී තේ පටවපු දුම්රිය ස්ථානයකට ආව වගේමයි. මෙතන තවමත් තේ කිරන්න එහෙම පාවිච්චි වෙනවා. ඒ බවට සාක්ෂි ඕනේ තරම් දකින්න ලැබුනා.. උදේ ආහාරය එතැනදී අරගෙන අපි කියපු පාර දිගේ ඇඩිෂම් බංගලාවට පිටත් උනා..
           අපි පිටත් වෙන්න යනකොට එතන රේල් ගේට්ටුව මුරට හිටි කෙනා අපිට කෙටි මාර්ගයක් පෙන්නලා දුන්නා.. නමුත් ඒක හරියට ශ්‍රීපාදේ යනකොට හමුවෙන මහගිරිදඹේ වගේ පාරක් කිව්වොත් අශාන් මගෙත් එක්ක එකඟ වේවි මම හිතන්නේ. මම ඕක නතර නොවීම තරණය කළා. නමුත් තව බොහෝ දුරක් ඉහලට යාමට ඇති බවයි පෙනුනේ.. ආසන්නයටම යනකල් කිසිම නාම පුවරුවක් හෝ සවි කර නැහැ. නමුත් අපි කොහොමින් කොහොම හරි හෙමි හෙමින් ගිහින් අදාළ තැනට ලඟා උනා..
පළමු දැක්ම..

        ටිකට් අරගෙන ඇතුලට ගියා විතරයි.. "එංගලන්තේ ආව වගේ"" මේ අශාන්ගේ හඬ. ඇත්තෙන්ම මටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනා! ඒ තරමටම එතන පෞරාණික බව රැකගෙන තිබුනා.. සංචාරකයන්ට පෙන්වන්නේ බොහොම සුළු කොටසක් උනත්, ඒ ඇතුලේ ජායාරුප ගැනීම තහනම් උනත්, එළියේ අපිට ඕනේ හැටියකට ජයාරූප ගැනීමට තහනමක් නෑ. මේ බංගලාව ගොඩනගල තියන්නේ සම්පූර්ණ කළු ගලින්. ඒ 1931 වර්ෂයේදී. තෝමස් ලිස්ටර් කියන සුදු ජාතික වැවිලි කරුවා තමයි මේක ගොඩ නගල තියන්නේ. වැඩි විස්තර ඕනේ නම් කලින් දාපු ලින්ක් එකට ගිහින් බලාගෙන එන්නකෝ..
        ඒක ඉක්මනට බලල ඉවර කරලා අපි ආපහු ගමන පිටත් උනා. ඒක නම් එච්චර අමාරුවක් උනේ නෑ මොකද ගමන තිබ්බෙම පහලට. හපුතලේට එද්දී 10.25 විතර උනා. ඒ ඇවිත් අපි බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා යන පොඩි මැණිකේ දුම්රිය එනතුරු බලා හිටියා.
        වෙලාවට විනාඩි 10ක් පමණ ප්‍රමාද වී දුම්රිය පැමිණියා.. එතනදීත් අපේ ඉමහත් සතුටට හේතු වන ලෙස දන්නා හඳුනන රියදුරු මහතෙකු සිටි බැවින් අපිට මද දුරක් (හපුතලේ සිට පට්ටිපොළ දක්වා) එන්ජිමේ ගමන් කිරීමේ අවස්තාවක් ලැබුනා. ඒ ගැන ඔහුට ගොඩාක් පින්!!
මීදුමෙන් වැහෙන ඉදල්ගස්හින්න..
         නානුඔයට පැමිණි දුම්රිය එහි සුළු කාර්මික දෝෂයක් අලුත්වැඩියා කරමින් සිට ඉහලට එන පොඩි මැණිකේ දුම්රිය ආවයින් පස්සේ ගමනට පිටත් උනා..
සුළු කාර්මික දෝෂයකට නානුඔයේදී පිළියම්..
         නමුත් ගමනේ අත්දැකීම් තවමත් අවසන් වී තිබුනේ නැහැ. වටවලට පැමිණි දුම්රියෙන් එන්ජිම ගලවා ඉවත් කරගන්නා ආකාරය දුටු මට කුමක් හෝ ජල්බරිස් එකක් වෙලා තියන වග තේරුනා. ඉතින් ගිහින් බැලුවම කට්ටියක් අලවංගු, උදලු එහෙම එන්ජිමට පටවනවා. ගාඩ් මහත්තයගෙන් ඇහුවම කිව්වා "අපිට කලින් ගිය උඩරට මැණිකේ ගල්බොඩදී පීලි පැනල. ඒ සෙට් එක ඇදගෙන එන්න අපේ එන්ජිම යවනවා. කෝච්චිය පැයක් විතර ප්‍රමාද වේවි" කියල.
කෝ යකෝ එන්ජිම??
         බල්ලා නයා කාපිය කිව්වලු. දැන් ඉතින් මොකක් කොරන්නද කියල අශාන් එක්ක කතා කරලා, ඔක්කොටොම කලින් මොනවා හරි කාල ඉන්න ඕනේ කියල දුම්රිය ස්ථානයෙන් ඇහුව කඩයක් ගැන. පැත්ත පලාතක එකක් නෑ කියල තමා අහන්න ලැබුනේ. ඉතින් එහෙනම් දුම්රියේ කැන්ටිමේ තියන ටිකවත් ඉවර වෙන්න කලින් කමු කියල දෙන්න නැග්ග ඒකට. යකෝ එකේ එනකොට තිබ්බ කෑම වලින් 20න් එකක්වත් නෑ. දුම්රිය නතර කරලා විනාඩි 10ක් යන්න කලින් එකේ තිබ්බ ඔක්කොම කෑමජාති ඉවරයි!!
වටවල දුම්රිය ස්ථානයේ ඇතිදුම්රිය මැදිරි වල බර මැනීමට භාවිතා කල තරාඳිය.
       අපි ඉතින් කාල එහෙම එළියේ ටිකක් ඇවිදලා, වටවල පරණ ගබඩාව පැත්තේ තිබ්බ කොට ටිකක් උඩට වෙලා කයියක් දාගෙන හිටියා. ඒ අතරේ ඔන්න අර සෙට් එක අරන් එන්ජිම ආව.
ඔය එන්නේ ඇදගෙන..
       ඒක පිටිපස්සෙන්ම බදුලු යන බලවේග දුම්රියත් ආව. ඉතින් අපි ආපහු පිටත් වෙලා නාවෙලපිටියට ආවේ තිරිංග මැදිරියේ. ඒ අර පීලි පැනපු එක හරියට බලාගන්න. ඒකත් බලාගෙන නාවෙලපිටි එද්දී 5.10යි. එතනින් ගම්පොල එද්දී නුවරින් 5ට හැටන් යන දුම්රිය, ඒ කියන්නේ මම ගෙදර එන්න හිතාගෙන හිටි දුම්රිය ගෙලිඔයෙන් පිටත් වෙලා. ඉතින් ඒ දුම්රිය දෙක මාරු උනේ ගම්පොලින්. දැන් ඉතින් බස් එකෙන් පටන් අරන් බස් එකේනම් ගමන ඉවර කරන්නයි තියන්නේ කියල හිතාගෙන පෙරදෙනියටම ආව.
ටිකිරි මැණිකේ පොඩි මැණිකේ හමුව.
         එතෙන්දී අශාන්ව ඒ දුම්රියේම පිටත් කරලා මම පේරාදෙණියේ දුම්රිය ස්ථානයට උඩින් යන මහා මාර්ගයේ පාලම ලඟින් මහනුවර- ගම්පොල බස් රථයකට නැග්ග. ඒ වෙද්දී වෙලාව හවස 6.20ට විතර ඇති. යකෝ නැග්ගට පස්සේ තමා තේරුනේ ඉතිරි පැයත් ස්ටේෂන් එකේ ඉඳල 7. 10යට එන කෝච්චියෙම ආව නම් හොඳයි කියල. බස් එකේ පොල් පටවල වගේ සෙනග. මම හිතන්නේ පොල් වත් එහෙම පටවන්නේ නැතුව ඇති. ඒ අස්සේ කොන්දා තව ලෝඩ් කරනවා. මට ඌට ගහන්න තරම් තරහයි.. එත් ගහන්න තියා අතක් පයක් වත් හොලවගන්න බෑ එකේ. ඉතින් පොඩි වෙලා තැලිලා තැලිලා ගෙදර ගාවට යන්තම් 6.45 වෙද්දී ආව. ඒ ජීවිතයේ ගිය සුන්දරම චාරිකාවක් නිමා කරමින්..
ඔන්න ඔහේ අපි දෙන්නත් පින්තූරයක් ගත්ත ගමන මතක් වෙන්නත් එක්කල.


විශේෂ ස්තුතිය-
අශාන් විජේකෝන් මිත්‍රයාට.
ගෙහාන් චන්දික, තුර්ය ඔවිටිපාන අයියලාට.
රකිත ආරියරත්න මහතාට.
මට ගමන් වියදම් සපයා දුන් මා  පියාණන්ට.
සහ නන් අයුරින් උපකාර කල සැමට...

Monday, December 31, 2012

අවුරුද්දක සාරාංශය.

 මේ අවුරුද්ද, එසේත් නැත්නම් ව්‍යවහාර වර්ෂයෙන් 2012 වර්ෂය මට සුභ මෙන්ම අසුභ දේ ද උරුම කර දුන් අවුරුද්දකි. නමුත් කල්පනා කර බලන විට මේ අවුරුද්දේ සුභ දේ වලට වඩා අසුභ දේ වැඩි බව මට සිතේ. අනික් අතට, මේ අවුරුද්දේ මා අවුරුදු 14ක් එක දිගට ගිය, මට ගෙදර සේ සමීප වූ මාගේ පාසල වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මා ගත කල අවසාන වර්ෂය ලෙස මේ වසර සටහන් විය. මේ වසරේ සිදු වූ වඩාත්ම දුක් බර, අසතුටුදායක සිදු වීම නම් එයයි. එය හරියටම ගෙදරින් එලියට යාමට සිදු වූවාක් මෙන් දැනුනි.
මේ මා ශිෂ්‍යයෙක් ලෙස විදුහල දකින අවසාන අවස්ථාවයි....

මේ වසරේ අගෝස්තු මස මා අ. පො. ස. හුචස් පෙළ විභාගයට පෙනී සිටි අතර එයද  සිතූ තරම් යහපත් නොවීය. එහි රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය දුටු විට මට එය කෑමට තරම් සිත් විය.
හුචස් පෙළත් ඉවරයි...
සිදු වූ තවත් දෙයක් නම් මට තව දුරටත් පාසල් වාරප්‍රවේශ පත්‍රය වලංගු නොවීමයි. මේ හේතුවෙන් කලින් රුපියල් 90ට ගිය මාසයට සැප්තැම්බර් මස සිට 240ක් ගෙවීමට සිදු විය. ප්‍රවාහනය ගැන කියද්දී මේ වසරේ මුලදී මහනුවරින් උදේ 10.15ට පිටත් වීමට තිබු දුම්රියද 9.40ට පිටත් වීමට වෙලාව වෙනස් කරන ලදී. ඒ අනුව දැන් උදේ 8ටේ දුම්රියෙන් නුවර ගොස් වැඩ ටිකක් කරගෙන අඩුම තරමේ පුස්තකාලයට වත් ගොස් ඒමට දැන් දුම්රියක් නැත.

තව බොහෝ දේවල් සිදු විය. ඒ අතර යහළුවන් ඈත් වීම් බොහෝ ප්‍රමාණයක් සිදු විය. ඒ ප්‍රමාණයද මේ වසරේ අධික විය. පාසලෙන් අස් වීම එක හේතුවක් වූ අතර තව නොයෙක් හේතුද ඒ සඳහා හේතු විය. තවත් සමහර මිතුරන් තරහ වූ අතර එයින් කිහිප දෙනෙක් මා සතුරෙක් හැටියට සලකන්නට පටන් ගෙන ඇත.

මේ වසරේ මට පමණක් නොව රටටද එතරම් සුභ කාලයක් නොවූ බව ආපසු මතක් කිරීමෙන් පෙනී යනුඇත.බොහෝ කලකෝලාහල ඇති වූ අතර උසස් පෙළ 2011 ප්‍රතිපල වලින් ආරම්භ වී අය වැය හරහා ලෝක විනාසයක් ගැන කතාවක් දක්වා එය ඇදී ආවේය..
                                     
                                                                      **********

අසුභ දේවල් වලින් සිදු වූ සුභ දේවල් පැත්තට ගියහොත් ඒ පැත්තෙන්ද දේවල් සිදු වී ඇත. ඒ අතර මා හට හොඳ යහළුවන් කිහිප දෙනෙක් අඳුනාගන්නට ලැබීම හා ඔවුන් සමග දුම්රිය චාරිකා කිහිපයක් සිදු කරන්නට ලැබීමද, S12 දුම්රිය මේ වසරේ මගේ උපන්දිනය යෙදී තිබු දිනම මහනුවරට සිය ප්‍රථම පරීක්ෂණ ධාවනය කිරීම හා ප්‍රියන්ත අයියා සමග එය බැලීමට යාමට ලැබීම ගත හැකිය. පසුව මහනුවරට ගොස් තවත් දෙදෙනෙක්, එනම්  නලින් අයියා  සහ  ප්‍රියංක මහතා  හමු වී එම S12 දුම්රිය ඇතුලට නැගී බැලීමට හැකි වීමද විශේෂයකි.
ප්‍රථම පරීක්ෂණ ධාවනය.

තවත් හොඳ දෙයක් නම් මා කලින්සඳහන් කල පරිදි අශාන්  සහ සංජය නම් මිතුරන් දෙදෙනා හමු වීමයි. ඒ අතරින් සංජය දුර වැඩි කම නිසා නිතර හමු නොවුනත් අශාන් සමග මහනුවර දුම්රිය  ධාවනාගාරය, දුම්රිය අංගනය, මහනුවර නගරය, සහ කඩුගන්නාව- රඹුක්කන අතර දුම්රිය පාගමන් දෙකක්ද  ඇතුළුව බොහෝ සංචාර සංඛ්‍යාවක් කලෙමි. ඒවාට මා සමග පැමිණීමට ඔහුට අතිශයින් ස්තුති වන්ත වෙමි.

ඒ සමගම හුචස් පෙළ විභාගය අවසන් වූ පසු රත්නපුර, ගම්පහ ආදී ප්‍රදේශ වලද සංචාරය කලෙමි. එම ගමන් තනියම ගිය අතර අලුත් දුම්රියෙන් නානුඔය බලා දෙවරක්ම යාමට ලැබුණි. ඒ එක් අවස්ථාවකදී සිදු වූ දෙය පිලිබඳ කලින්  සටහනකින් විස්තර ගෙනාවෙමි.

ඒ අතර තවත් යහළුවන් දෙදෙනෙක් සමග පොඩි මැණිකේ දුම්රියෙන් බදුල්ල. දක්වා අමතක නොවන චාරිකාවක් ගියෙමි. ඒ සඳහා අනුග්‍රහය දැක්වූ අකිල කරුණාරත්න හා ජනක මිලන්ත අයියලාට මාගේ ස්තුතිය පිරිනමමි.

තවත් දෙයක් නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ ඉහලම නිලධාරීන් දෙදෙනෙකු හමු වීමට ලැබීමයි. දෙමටගොඩ ධාවනාගාරය නැරඹීමට ලැබීම හා වසරේ අවසාන කාලයේදී අශාන් සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ කැළණි මිටියාවත මාර්ගයේ මද දුරක් ගමන් කිරීමට ලැබීමද එක් හොඳ සිදු වීමකි.
මුහුදුබඩ මාර්ගයේ..

වර්ෂයේ අවසාන ගමන ලෙස උඩරට මැණිකේ දුම්රියෙන් ගම්පහ ගොස්පසුදා උදේ ආනන්ද පාසලේ පිහිනුම් තටාකයට බැස, පසුවදා මෝටර් රියකින් කෑගල්ලට පැමිණ 27 වනදා යතුරු පැදියකින් අයියා කෙනෙක් සමග ගෙදර පැමිණීම සටහන් කල යුතුමය. ඒ එය මගේ ජීවිතයේ මෙතෙක් කල් ගිය දුරම යතුරු පැදි සවාරිය වූ නිසාය...

රට පැත්තෙන් බැලුවද මේ වසරේ අද්භූත එලි, අමුතු පාට වැසි ආදියෙන් "කුල්මත්"වූ වසරක් බැව් නොකීවොත් මේ සටහන සම්පූර්ණ නොවනු ඇත..


සිදු වූ තවත් දෙයක් වන්නේ මේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමයි..

ඉතින් මිතුරනි..
පුරා වසරක් පමණ කාලයක් මා සමග රැඳී සිටි සහ ඊටත් බොහෝ කලින් සිට මා දන්නා හඳුනන, මාගේ මිතුරු ඔබ සැමට උදා වන 2013 නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා!! කියා මා ප්‍රාර්ථනා කරන්නෙමි....

Friday, December 21, 2012

ලෝක විනාසය.

අද ඔය මොකද්ද ලෝක විනාසයක්ද මොකද්ද එකක් එනවා කිව්වනේ...
මම ඊයේ රෑ 12 වෙනකල්ඇහැරලා හිටිය ඕක ලයිව් බලාගන්න කියල...
ඒත් ආපු රෙද්දක් නෑනෙ..
ඉතින් ඔන්න ඔහේ කියල නිදාගත්තා..


යකෝ උදේ ඇහැරලා බලද්දී වැහැ වැහැ තිබ්බ එක මෙන්න හොඳට පායලා!!
ඇයි යකෝ මූණු පොත පැත්තේ තිබ්බනේ අද නිබිරු ඇවිත් වදිනවා, සීබ්‍රා ද මොකුන්දෝ එනවා, ටී සුනාමි එනවා කියල..
ඒ මුකුත් අහන්න වත් දකින්න වත් නෑ. අහසේත් එක වලාකුලක් තිබ්බේ නෑ. පියාඹන පීරිසියක් තියා කෝප්පයක්වත් දැක්කේ නෑ..
ඒ නිසා ඔන්න ඔහේ කියල ගියා නුවර පැත්තේ.. ටවුන් එකේ කිසි වෙනසක් නෑ වෙනද වගේම සෙනග හිටියා.


බලන් යද්දී මේකත් නිකම්ම පුස් බොරුවක් විතරයි කියලයි මට හිතුනේ.....


එත්..
මම දැක්ක ප්‍රවෘති වලට පෙන්නුවා ගාල්ලේ, කොළඹ එහෙම නගර එහෙම පිටින්ම වගේ පාලුවෙලා ගිහින්..
තව සමහර උදවිය ගෙවල් වලිනුත් එලියට බැහැල නෑ.

මේ ගැන මට හිතෙන දේ නම්,,
යකෝ, කැලෙන්ඩරයක් ඉවර වෙච්ච පලියට ලෝකේ විනාස වෙනවා නම්,, මෙලහට මේ ලෝකේ කීපාරක් විනාස වෙලා තියෙන්න ඕනෙද??

Friday, December 14, 2012

පිටසක්වල යානා..



අපේ එකක් නම් නෙවේ ඔන්න..
මේ දවස් වල ඉතින් රතු වැහි උල්කා වැහි අර වැහි මේ වැහි වලින් කෙළවරක් නෑ.. වහින වැස්සේ වතුර බනිදු වලටත් වඩා වැහි තොගයක් ලංකාවට වහිනවා.. ඒ අස්සේ මතු වෙච්ච අලුත්ම කේස් එක තමා පියාඹන පීරිසි කේස් එක. පියාඹන පීරිසි කිව්වට අමුතු එලි කියල තමා කතාව එලියට ආවේ. මේ වෙනකොට උඩරට කඳුකරයෙන් ඇරෙන්න රටේ අනිත් හතර දිගින්ම මේ ගැන වාර්තා වෙලා තියනවා. (මම හිතන්නේ පීරිසි වලට කඳු අදින්න බැරුව ඇති එක්කෝ නැත්තම් කඳු වල හැප්පෙයි කියල බය ඇති)

මේක නම් ඇත්තටම ගත් එකක් කියල කියන්නේ.. අනේ මන්දා....
කොහොමින් කොහොමින් හරි පළවෙනියට පුත්තලමෙන් පටන් ගත්තු එලි කතාව මේ වෙනකොට ගාල්ල, ගම්පහ, අකුරණ වගේ හැමතැනටම ගිහින්. ඔයාලට මතක ඇති සමහර විට 2001කේ එහෙමත් අනුරාධපුර පොලොන්නරුව පැත්තේ මේ වගේම පාතින් යන නිල් පාට එලි වගයක් ගැන කතාවක් ගියා. ඒක ගැන ප්‍රවෘති වලට හිටන් පෙන්නුවා. කට්ටියක් පරාක්‍රම සමුද්‍රය හරියට වෙලා ගවේෂනයකුත් කරාලු. එකේදී එයාලටත් මොනවදෝ අමුතු එලි වගයක් දකින්නන ලැබුන කියල තමා මේ පැත්තට ආරංචිය ආවේ.

ඒ මේ කොහොම වෙතත් කව්රුත් නොහිතන පැත්තකුත් මේ කතා ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ තමා දියුණුයි කියල කියාගන්න රටවල් අනික් රටවල් වල කටයුතු හොයා බලන්න දාපු අපූරු උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේක. මොකද මේවා දැකපු ගමන් සාමාන්‍ය මිනිස්සු දුවල හැන්ගෙනවා. හමුදාවක් උනත් වෙඩි තියන්න නිර්භීත වේවි කියල හිතන්න අමාරුයි.  එන්න ඒ නිසා අර වගේ වැඩක් වෙන්න හොඳටම ඉඩ කඩ තියනවා.

ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කල රේඩාර් වලට අහු නොවෙන ගුවන් යානයක් වන F117- Night Hawk යානය.
ඇමෙරිකාවේ ප්ලේන් හදල තියනවා මොනම රේඩාර් උපාංගයකට වත් අහු නොවෙන. ඉතින් අපේ ලෝකෙම එහෙම දේවල් තියද්දි මේවා රේඩාර් වලට අහු වෙලා නෑ කියලා මෙහෙම දේවල් නෑ, ඕව බොරු කියල අහක දාන එකත් එච්චරම හොඳ නෑ.

අනික තව සමහර අය කියන දෙයක් තමා මේ අරන් තියන පින්තූර බොරු, ඒවා නිකම්ම බල්බ් එහෙම අරන් ෆොටෝ ෂොප් වගේ එව්වලින් එඩිට් කරලා දාපුවා කියල. එකේ වරද්දකුත් නෑ මොකද එහෙම කරන අයත් ඉන්න නිසා. ඒත් එක එහෙමයි කියල හැම ජායාරූපයක්ම එහෙම නෙවෙයි නේද?
 තව සමහරු කියනවා ඒවා කැමරා වල කාච දෝෂ, ජල වාෂ්ප, දූවිලි නිසා හැදුන ඒවා කියල. ඒකට නම් මම එකඟ නෑ මොකද ඉස්සෙල්ල ඇහින් දකලානේ පස්සේ වීඩියෝ කරන්නේ..
අනික ගොඩ දෙනෙක් එක වර දැකපු තැනුත් තියනවා.. ඒ හැමෝගෙම ඇස් වල එකම වෙලාවේ එකම දොශේ එන්න අමාරුයි නේද??

ඉතින්...
මේ ගැනතවත් මම කතා කරලා වැඩක් නෑ.. මම මේ සටහන අවසන් කරන්නම් ඉංග්‍රීසි නාට්‍ය රචක ශේක්ස්පියර් මහතාගේ නාට්‍යකින් උපුටාගත් කොටසකින්..
"හොරෙශෝ.. ඔබගේ දර්ශනයට හසු නොවන බොහෝ දේ ස්වර්ගයේත් මහා පොළොවේත් ඇත.."

Wednesday, December 5, 2012

පරපුරක අවසානය..


W1- 650 මරදානේදී ගත් ජායාරූපයක්. (2012-11-20)
ඩීසල්- ද්‍රවශක්ති එන්ජින් පරපුරේ ආරම්භක පරපුර වූ W1 ධාවන පන්තිය එහි අවසානය කරා ලඟාවෙමින් සිටි..
1969 වසරේ දුම්රිය ස්වර්ණමය යුගයේදී එකල දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරය දැරූ බී. ඩී. රම්පාල මහතා ධාවන බලය ඩීසල් වලට හැරවීමේ අරමුණින් බටහිර හා නැගෙනහිර ජර්මනියෙන් ඩීසල්- ද්‍රවශක්ති ක්‍රමයට ක්‍රියාත්මක වන දුම්රිය එන්ජින් 60ක් ගෙන ඒමට ඇනවුම් කිරීමත් සමගම මේ රටේ ගල් අඟුරු හා ඩීසල් - විදුලි ක්‍රමයට පමණක් සීමා වී තිබු දුම්රිය ප්‍රවාහනය යාන්ත්‍රික විය. බටහිර ජර්මනියෙන් W1 පන්තිය යටතේ අශ්ව බල 1150කින් යුතු එන්ජින් 45ක්ද, නැගෙනහිර ජර්මනියෙන් W2 පන්තිය යටතේ අශ්ව බල 1578ක බලයකින් යුත් එන්ජින් 15ක් උඩරට මාර්ගයේ ධාවනයට ගෙන්වන ලදී. ඒ එන්ජින් අතුරින් W2 පන්තියේ එන්ජින් අධික ජවයකින් යුතු වූ බව පැවසෙන අතර දිශා තෝරන ලීවරය (Direction of travel lever) එක පැත්තකට දමා එන්ජිම පන ගැන්වූ විට එන්ජිම ඒ පැත්තට පනින බව කියවේ.

කෙසේ නමුත් මේවායේ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහිත මෝටර් රථයක මෙන් සුමට ධාවන හැකියාවක් වූ අතර සමකාලීන අන් එන්ජින් මෙන් නොව ඉතා අඩු ශබ්දයක් සහිතව ධාවනය විය. ඉතා අධික බ්‍රමණ වේගයක් සහිත එන්ජින් වලින් සමන්විත වූ මේ එන්ජින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති දුම්රිය මාර්ග වල කරක් ගැසුවේ ධාවනය වූ සෑම ආකාරයකම දුම්රිය ධාවනය කරමිනි. (පටු දුම්රිය මාර්ගයක් වූ කොළඹ- ඕපනායක මාර්ගයේ හැර). උඩරට මාර්ගයේ තියුණු නැග්ම එක එන්ජිමක් භාවිතයෙන් තරණය කිරීමට මේවාට හැකි වූ බව කියවේ.

කෙසේ නමුත් රම්පාල මහතාගේ නික්ම යාමත් සමග දුම්රිය සේවයේ කඩා වැටීම ආරම්භ වූ අතර මෙම ද්‍රවශක්ති එන්ජින් වල අදාළ අලුත්වැඩියාවන් ඒ නියමිත කාලයටම කල යුතු වූ අතර එසේ නොවීමෙන් ඒවායේ අධික බ්‍රමණ වේගයන් හේතුවෙන් ගෙවීම් අධික වීමෙන් හානි වේ. එසේම ද්‍රවශක්ති එන්ජින් වල බල සම්ප්‍රේෂණය කිරීමට ඇති ද්‍රවයට නිසි ගණත්වයක් වන අතර එය නොමැති වීමෙන් ඒ උපකරණද හානි වේ. නුපුහුණු කාර්මිකයින්ගේ නොසැලකිලිමත් අලුත්වැඩියාවන් ආදී කටයුතු නිසා 1980 දශකය වන විට මෙම එන්ජින් වලින් සැලකිය යුතු කොටසක් ධාවනයෙන් ඉවත්ව තිබු බව පෙනෙන අතර එසේ ඉවත් වූ එන්ජින් වලින් කොටස් ගෙන එන්ජින් කිහිපයක් ධාවනය කිරීමට දෙපාර්තම්නේතුව කටයුතු කර තිබේ.

මේ අතරම මේවායේ නිෂ්පාදකයින් කියා තිබුනේ වසර 10කින් මේවායේ බලසැපයුම් එන්ජින් වෙනස් කලයුතු බවයි. නමුත් ඒ අතරම W2 නිපදවූ සමාගම වැසී යාමෙන් එම පන්තියට අවශ්‍ය අමතර කොටස් හිඟ වන්නට විය. එන්ජින් අලුතෙන් තබන්නට යන වියදමින් අලුත් එන්ජින් කිහිපයක් ගත හැකි වූ බැවින් මෙම වටිනා එන්ජින් තැන තැන අත්හැර දැමෙන්නට පටන් ගත්තේය. එයින් බොහෝ එන්ජින් යකඩ වලට කපා අලෙවි කරන ලද අතර අනෙක් ඒවා වල වැදුනි.

නමුත් වර්ෂ 1997තේදී ජර්මන් ජාතිකයෙකුගේ මැදිහත්වීමෙන් W1 පන්තියට අයත් 631, 636, 638, 647, 659, 665, 666, 667, 669 හා 673 දරණ එන්ජින් වලට කැටපිලර් එන්ජින් හා ඩයිනමික් බ්රේක් එකතු කර W3 ධාවන පන්තිය යටතේ නැවත ධාවනයට එකතු කරන ලදී. එම එන්ජින් සියල්ලම වගකීම් කාලය ඉක්මවා අවුරුදු 5 කට පසුවත් ඉතා හොඳින් ධාවනය වේ.
W1 පන්තියේ එන්ජින් වලට අලුතෙන් බල සැපයුම් එන්ජින් සවි කර W3 යනුවෙන් ධාවනයට එක් කල 666 එන්ජිම. 


කෙසේ හෝ මෙය ලියන 2012 වර්ෂය පටන් ගන්නා විට W1 ධාවන පන්තියේ එන්ජින් 3ක් ධාවනය වූ අතර ඒ අංක 650, 657 හා 658 යන එන්ජින්ය. ධාවන තත්වයේ තිබු අවසාන W2 එන්ජිම වූ අංක 715 දරණ එන්ජිම 2011 වසරේ අගදී අත්හැර දැමුණු බව දැනගන්නට ඇති අතර ඒ අනුව ඒක කලෙක විශිෂ්ට සේවයක් කල දුම්රිය සේවයේ යෝධ පරපුරක අවසානය එසේ සනිටුහන් විය.
W1 පන්තියටද මේ ඉරණමම අත්වෙන්නට යන බව පෙනෙන්නට තිබෙන අතර අද දින (2012-12-05) සිදු වූ පීලි පැනීමකින් පසු ධාවන තත්වයේ ඇති ගණන 1ක් බවට පත් වී ඇත. දැනට ධාවනය වන්නේ 657 පමණකි. 658 දරන එන්ජිමත් මෑතකදී අලුත් වැඩියාවන් අත්හැරදමා ඇති සැටියකි. 650 දරන එන්ජිම අද දින පීලි පැනීමට ලක් විය. ඒ අනුව ළඟදීම ඓතිහාසික දුම්රිය පන්තියක සාක්ෂි රහිත අවසානය ළඟදීම සිදු වනු ඇත...........

ප/ලි-  ද්‍රවශක්ති බල සම්ප්‍රේෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න- මෙතනින් හෝ   මෙතනින්..

W1 ධාවන පන්තිය ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

W2 ධාවන පන්තියේ විස්තර සඳහා පිවිසෙන්න.

W3 ධාවන පන්තියේ විස්තර මෙතනින්.