Monday, September 24, 2018

පිදුරංගල, ඉතිහාසය සහ රැල්ල..


පිදුරංගල සහ සීගිරිය
පින්තූරය- මෙතනින්..
          ටික දවසකින් ආවා බ්ලොග් එක පැත්තේ. පහුගිය මාසේ වගේ සෑහෙන අවුල් ගොඩක් උනා ගෙදර පැත්තේ. උපන් දා ඉඳන් මාව බලා කියාගත්ත, මට හයියට හිටපු අපේ අත්තා, අවුරුදු 94ක් ආයු විඳලා පහුගිය හතර වෙනිදා පාන්දර අපිව දාලා ගියා. ඒ වැඩ නිසයි අන්තිම ටිකේ සෙට් උන වැඩ නිසයි ඊට පස්සේ ඉස්කෝලෙයි දහම් පාසලෙයි වැඩ අස්සෙයි මේ පළාතේ එන්න උනේ නෑ.
          අත්තා ගැන පෝස්ට් එකක් ලියන්න හිතං හිටියා පහු ගිය ටිකේ. ඒත් අත්තා ගැන නම් පෝස්ට් එකක් නෙවේ පොතක් ලියන්න පුළුවන්. ඒ පෝස්ට් එක දෙසැම්බර් නිවාඩුවේ හෙමීට ලියල දාන්නම්. අද නම් කතා කරන්න ආවේ වෙන දෙයක්. 
          පහුගිය ටිකේ මම ෆේස්බුක් එකේ දැකපු දෙයක් තමයි, කට්ටිය උඩ දාගෙන අපේ ඉතිහාසෙට බනිනවා පලු යන්න. සමහරු ඉතිං දෙදාස් පන්සීයේ මෑණියන්ගේ වස්ත්‍රය කියලත් පාවිච්චි කරනවා දැක්කා. ඔව් ඉතිං පුදුමෙකුත් නෑ, මොකද ඉතිහාසය කන්න ද අහපු “නායකයෝ” හිටිය (සහ ඉන්න) රටක් නේ මේක.. 
          කොහොමින් කොහොමින් හරි, මේකට එක හේතුවක් තමා අපේ අජ්ජාපන ක්‍රමවේදය. හැම මගුලම කටපාඩම් කරවපුවම මාර දැනුමක් සහ මිනිස්කමක් වගේම වින්දනයක් හිතට ඔටෝ ඩවුන්ලෝඩ් වෙනවා කියල හිතං ඉන්න තාක් කල් ඉතිං රටට බුදු සරණයි සංස්කෘතියට දෙවි පිහිටයි තමා. 
          ඇයි මම එහෙම කියන්නේ කිව්වොත්, ඇත්තටම අද කාලේ ළමයි ඉගෙනගන්නේ “මේ මොන වදයක් ද” කියන ප්‍රශ්නේ හිතිං අහගෙන. අම්මල එලවන හින්ද ඉස්කෝලෙට එනවා, උගන්නන උන්ගේ පරම්පරාවල් මතක් කරන ගමන් ක්ලාස් යනවා, ඊට පස්සේ විභාගෙට වාඩි වෙලා ලියන ගමන් ජාතිය අමතනවා. අන්තිමට ඔලුවේ මුකුත් නැති, වෛරක්කාරයෝ ටිකක් බිහි වෙනවා. 
          එයාලා ඉතිහාසය දන්නෙත් නෑ, වටිනාකමක් දන්නෙත් නෑ, අර පීඩනය නිදහස් නිසා හිස් මනසට ඉබාගාතේ යන්න දෙනවා. ඔන්න ඕකෙන් තමා නිදහස් දිනය දන්නැති, ජාතික ගීය වත් කියාගන්න බැරි, රුවන්වැලි සෑයට වඳින්න බැරි, අම්මල අප්පල සත පනහකට ගණන් ගන්නැති තරුණ පරපුරක් බිහි වෙන්නේ. 
          රටේ අනාගතය තීරණය කරන තීන්දු තීරණ ගන්න තැන් වල උන්දලා කෙලින්ම මේ වැඩේට වග කියන්න ඕනේ. ඒ තැන් වලට ඉතිං කියන කටවල් හොඳයි බිම උලාගන්නවා. ඉතිං ඊට ලේසී, අපි අපිම හැදෙන එක. මේ ටික මෙහෙම ලිව්වෙත් ඒකයි. 
          මේ චුට්ටත් ලියල මේ කෙටි සටහන අවසන් කරන්න හිතුවා- මේ ටිකේ මම දැකපු “රැල්ලක්” තමා සීගිරි ගල ඉස්සරහ තියන පිදුරංගල ගල උඩට ගිහිං, තමන්ගේ පස්චාත්භාගයේ කැටයම් ලෝක ප්‍රසිද්ධ කිරීම. කරන එවුන්ට ඉතිං ඕක තමා හොඳම පොරත්වය පෙන්වීමේ ක්‍රමය. හැබැයි ඉතිං මොලේ කලඳක් හරි තියන අයට මේක හෙන අවුල්. ඇයි ඒ? 


මේ ප්‍රසිද්ධියේ දාන්න පුළුවන් එකක්..

          එකක්, පිදුරංගල සහ සීගිරිය කියන්නේ ලෝක ඉතිහාසයේ වගේම ලංකා ඉතිහාසයේත් වැදගත්ම ස්ථාන දෙකක්. බුද්ධාගමට අදාළ කාරනා ටික පැත්තකින් තියමුකෝ මොකද දැන් ලංකාවේ ආගමක් නෑ ලු නේ. පිදුරංගල කියන්නේ මහාවංශය ලියන්න පටන්ගත්ත තැන. ලංකාවේ විතරක් නෙවේ ඔය උඩ දාගෙන ඉතිහාසේ කියවන ඉන්දියාවේත් ඉතිහාසය ට්‍රේස් කරන්න ඕනේ වෙච්ච මූලාශ්‍රයක් තමා ඒ. එතැනින් එහාට ගියාම, පස්චාත්භාගය ඔය පැත්තට පෙන්නද්දී, තමන්ගේ ඉතුරු උපාංගය දික් කරන්නේ, අදටත් ලෝකේ විශිෂ්ඨතම ඉංජිනේරු නිර්මාණයක් වෙන සීගිරිය දිහා ට. එකක් ඒක රජ මාලිගාවක්. එච්චර ආදායමක් සෘජු හා වක්‍ර මාර්ග වලින් රටට හොයල දෙන සංචාරක ස්ථාන තව තිබ්බොත් ඒ ඉතිං දෙක තුනයි වැඩිම උනොත් පහයි. ලංකාවේ උන්ගේ ඉතිං කොහොමත් තියන්නේ කන්න දෙන අත හපන ගුණය නේ.
          අනික් අතින්, ලෝකේ මොන රටේ ද මිනිස්සු තමන්ගේ හෝ තමන්ගේ නොවන ඓතිහාසික උරුම මේ විදියට හෑල්ලු කරන්නේ? උදාහරණයක් කිව්වොත් ඇමරිකාවේ ඉන්න සුද්දෝ ටික ඇවිල්ලා ඒ රටට කිසිම සම්බන්ධයක් නැති, හිටිය අය මරලා දාලා රට අල්ලගත්ත “කාලකන්නි” ටිකක්. අපේ භාෂාවෙන් කියනවා නම් අධිරාජ්‍යවාදියෝ. හැබැයි අද කාලේ උන් උනත් තමන්ගේ රටේ තියන අර ඉතිහාසය වනසන්න යන්නේ නෑ. ඒක හොඳින් රැක ගන්නවා. දෙන්න ඕනේ ගෞරවේ දෙනවා. 
          අපේ රටේ උන්ට මාකට් කරන්න තියන දේ ටත් ගරහලා විනාස කරලා අන්තිමට පස්චාත්භාගේත් දික් කරලා ඉතිහාසය කන්නදත් අහනවා. ලැජ්ජා නැති කම මහමුදලි කමටත් එහා වෙච්ච නිසා ද කොහෙද, තව ඒවා ෆොටෝ අරං ෆේස්බුක් එකටත් දානවා. ඕවා බල බල පිට රටවල මිනිස්සු මෙලහට ලංකාවට හිනා වෙනවා ඇති. ඔය දාන *කෙන් ම.


       

12 comments:

  1. මේක අපේ ජාති්යේ වැරැද්දක් ද කොහෙද මොනව හරි වැදගත් තැනක ගොන්පාට් කරන එකම ජාතිය අපේ රටේ කට්ටිය වෙන්න ඇති. ගලක් දකිනන් බෑ නං කොටනවා. වතුරක් දකින්න බෑ පනිනවා . ඡායාරූප ගන්නේ මොනවද? කොතනද ?සමහරුන්ට කිසිම සිහියක් පතක් නෑ .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි වැරැද්ද. තැනක් නොතැනක් නෑ වෙලාවක් කලාවක් නෑ..

      Delete
  2. ඔයා කීවා වගේ මේ සිදුවීම පිළිබඳව මම පැති කීපයකින්ම දකිනවා ,
    විශේෂයෙන්ම මේ වගේ දෙයක් වෙන්න අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රභල වැරැද්දක් තමා. මොකද කීවොත් අද ළමුන් බහුතරයක් ඉගෙන ගන්නේ OL සහ AL දඩමීමා කරගෙන මිසක්, එතනින් එහා දැනුමක් ලබාගන්න නෙමෙයි.
    අධ්‍යාපන ක්‍රමයේදී පවා දැනුම, ආකල්ප, කුසලතා යන ත්‍රිවිධ දක්ෂතා සිසුන්ට ලබා දෙන්න උත්සාහ කළත්, මේ යන විදියට සිසුවාගේ හදවතට දෙයක් දීමට වත්මන් අධ්‍යාපන ක්‍රමය සමත්වෙලා නැති බව මේ සිදුවීම හරහා 100% ක්ම තහවුරු වෙනවා.

    ඒ වගේම සමාජානුයෝජනයේ මූලිකයා වන පවුල (දෙමාපිය දූ දරුවන්) හරහා ද මේ සිදුවීම ට මුල් වෙච්ච අයට ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳව නිසි දැනුමක් ලබා දීලා නැතිබව අපිට පිළිගන්න සිද්ධවෙනවා.

    අනිත් අතට දහම් අධ්‍යාපනය පිළිබඳව නිසි ප්‍රමුඛත්වයක් නොදක්වන සමාජ පසුබිමක් තුළ මේ වගේ දේවල් නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕන. (So sad)

    කොහොමින් කොහොම උනත් අනාගතයේදී නන්දා මාලිනී මහත්මියගේ ගීතයක සදහන් වන පරිදි
    "කලුගල්වලට විකුණාගෙන සීගිරිය, සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය" කියලත් ඔය සමහරක් (🐴🐴🐴) කියන්න බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. අද කාලේ ෆෝකස් එක දැනුම විතරනේ. හදවත කැලේ. මොළේට ගියා නම් එච්චරයි. ඉතිං මෙහෙම වෙන එක අහන්න දේකුත් නෑ..

      Delete
  3. ආත්තාගේ මරණය පිළිබඳව මගේ සාතිශය සංවේගය.

    ReplyDelete
  4. සුද්දෝ හිටන් කරන දේවල් අපේ ගොන් හැත්ත දුව දුව කරන්න යන එක තමයි මූලික හේතුව...

    අධ්‍යාපනයට වැඩ මම නම් හිතන්නේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ආකල්ප (Attitudes) වල.

    =================

    අත්තා ගේ වියෝව ගසන මගේ බලවත් සංවේගය..

    ReplyDelete
    Replies
    1. ආකල්ප හැදිල්ලත් ඉතිං අජ්ජාපනේම කොටසක්නේ. මේක හැබැයි ඉස්කෝල වලට විතරක් කියන්නත් බෑ.

      Delete
  5. අත්තා ගේ වියෝවෙන් ඔයාගෙ මනසේ ලොකු හිස්තැනක් ඉතුරු වෙලා ඇති. මට ඒක තේරෙනව. මගෙ තාත්ත මට නැති උනේත් ඒ විදිහට... ඒ කිය්නනෙ මගෙ ජීවිතේ ලොකු හිස් ඉඩක් ඉතිරි කරල. ඔයාට පුළවන් ඒ අත්ත වගේ වෙන්න තව කාට හරි. ඒ විදිහට තමයි අපිට ඒ හිස් ඉඩ පුරවගන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හිස් ඉඩක් ඉතුරු කරා නම් තමා. සහතික ඇත්ත. පහු වෙද්දී තමා ඒක තේරෙන්නේ.

      Delete