Monday, February 7, 2022

අදිසි යාමය

 


වෙලාව හවස හයයි හතලිස් පහ  ආසන්න ය.     

පාසලේ පැවති දෙමාපිය රැස්වීමේ කටයුතු අවසාන කල බණ්ඩාර මහතා, යුහුසුළු  මහා මාර්ගය  අවතීර්ණ වූයේ 7.10 නාවලපිටිය දුම්රිය අල්ලාගැනීමේ අපේක්ෂාවෙනි. හවස් වරුවේ ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව නැවතී තිබුනත්, තවමත් වැහි අන්ධකාරය පැවතුනි.

අස්ගිරියේ සිට මහනුවර දක්වා මේ යන ගමන, ඔහු ට සිය ගෙදර ඇවිදිනවා මෙන් පළපුරුදු ය. දශකයක ට අධික කාලයක් ගමන් කර තිබුණු මාර්ගයේ යාම ට විදුලි පන්දමක ට වඩා යමක් ඔහු ට අවශ්‍ය නොවීය.

“නුවර ට යන කෝච්චිය ගියා ද? යි හෙතෙම අස්ගිරියේ රේල් ගෙට්ටුව භාර ව සිටි තැනැත්තාගෙන් ඇසීය.

“ඔව් දැන් ටිකක් වෙලා ගිහිං.. කළුවරයි නේ ද, පරෙස්සමෙන් යන්න” යයි ඔහු ට පිළිතුරු ලැබුණි.

ඔහු ට සුභ රාත්‍රියක් පැතූ බණ්ඩාර, සිය ජංගම දුරකතනයේ පිහිටෙන් මග බලාගෙන සිල්පර කොටයෙන් කොටයට මහනුවර දෙසට අඩි ඉක්මන් කලේ ය. වර්ෂාව නිසා පැවති අඳුර තුලින්, මහනුවර දෙස ට ම ඇවිද යන තවත් කෙනෙක් තරමක් ඈතින් ඔහු ට දිස් විය.

සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රාථමික අංශය පසු කොට, සිංහ රෙජිමේන්තුවේ කඳවුර අසල දී තවත් තරුණයකු බණ්ඩාර මහතා පසු කර ගියේ “මල්ලි දැන් කෝච්චිය එනවා” යයි පවසමිනි.

ඒ සමග ම, මහනුවර දෙසින් පිටත් වූ මාතලේ දුම්රිය දුන් නලා හඬ ඔහු ට ඇසුනි. “අදත් මේ හිපාටුව පරක්කුයි” යයි සිත ට ආ සිතිවිල්ලත් සමග ඔහු පය ඉක්මන් කරේ, ඒ හරියේ මාර්ගයෙන් ඉවත් වීම ට ඉඩක් නොතිබුණු නිසා ත්, 7.10 යේ දුම්රිය සිහි වූ නිසාත් ය. මේ වන විට වෙලාව හවස 6.50 ලෙස සටහන් වුවත්, දුරකතනයේ එලිය විහිදෙන සීමාවෙන් පිටත වූයේ කෑලි කැපිය හැකි අඳුරකි.

මහනුවරින් පැමිණෙන දුම්රිය, මේ වන විට පොලිසිය අසල වංගුව ට ආසන්න වී තිබුණු බව එහි ප්‍රධාන ලාම්පු එළියෙන් කිව හැකි විය. ඔහු ට ඉදිරියෙන් ගිය පුද්ගලයා මාර්ගයෙන් ඉවත් වනු දුටු ඔහු ද, දුම්රිය මාර්ගයෙන් ඉවත් ව වම් පස වූ පටු අඩි පාර ට පැමිණ ඉදිරියට ගියේ ය.

කොළඹ වීදියේ ඉහල කෙලවර ඇති පාළම යට ට පැමිණ සිටි ඉදිරියෙන් ගිය පුද්ගලයා, තව දුරටත් එම අයුරින් ම ගමන් කළහොත් නිසැකව ම දුම්රියේ ගැටෙන බව බණ්ඩාර ට සිතුනි. ඒ සමග ම මෙන් වංගුවෙන් මතු වූ දුම්රිය දීර්ඝ නලා හඬක් නගමින් මාර්ගයේ සිටි අය ට දුම්රියේ පැමිණීම සංඥා කලේ ය.

මාර්ගයෙන් තවත් පසෙක ට වූ බණ්ඩාර, තමා දෙස ට ප්‍රධාන ලාම්පුව දල්වාගෙන, උපරිම බලය යොදා නැග්ම තරණය කරමින් පැමිණෙන W3 පංතියේ එන්ජිම දෙස බැලීය. ඉදිරියෙන් යන පුද්ගලයා ගේ රුව, දුම්රිය එන්ජිමේ ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාව අවහිර කරමින් ඔහු ට පෙනුනි.

ඒ සමග ම අර ඉදිරියෙන් ගිය පුද්ගලයා එක් වර ම පය පැකිලී ඇද වැටුනාක් මෙන් ප්‍රධාන ලාම්පුවේ ආලෝක ධාරාවෙන් අතුරුදහන් විය!

බණ්ඩාර ගේ තොල කට වියලී ගියේ ඔහු කොතෙකුත් මෙවැනි අනතුරු දැක ඇත ත්, මනුෂ්‍ය ජීවිතයක් සිය ඇස් ඉදිරිපිට ම අහිමි වීම බරපතළ කම්පනයක් ගෙන දෙන අත්දැකීමක් නිසාම ය.

කෙසේ හෝ එම ස්ථානය පසු කල දුම්රිය, අඩි 75 ක පමණ දුර නිමේෂය ක ට ගෙවා බණ්ඩාර වෙත නලා හඬක් නිකුත් කරගෙන ම, ඔහු පසු කර ඇදී ගොස් පසුපස වංගුවෙන් හැරී අතුරුදහන් විය.

මේ වන විටත් ඉදිරියට ගමන් කරමින් සිටි බණ්ඩාර, අනතුර සිදු වූ ස්ථානය ට ලඟා විය. ඔහු ගේ මහත් විශ්මය ට හේතු වන පරිදි, අදාළ ස්ථානයේ අනතුරක හෝ මනුෂ්‍යයෙකු ගේ සේයාවක් වත් නොවුනි! වර්ෂාව සහ හවස් වෙලාව නිසා හිස් වූ කොළඹ වීදියත්, දකුණු පස වතුර පිරී ඉතිරී යන කාණුව සහ තාප්පයත් දෙස බැලූ බණ්ඩාර, නැවත ජංගම දුරකථනයේ ආලෝකය මාර්ගය වෙත යොමු කලේ කුමක් හමු වීමේ බලාපොරොත්තුවෙන් දැයි ඔහුටත් විශ්වාස නැති විය.

වර්ෂාවෙන් මඩ වී, පා සටහන් පමණක් වැදුණු එම පොළොවේ අනතුරක සේයාවක අංශු මාත්‍ර සාක්ෂියක දු නුදුටු බණ්ඩාර ගේ සිත ට එක වර ම නොසන්සුන්තාවයකුත්, සතුටකුත්, එසේ ම තමා යාම ට බලාපොරොත්තු වන දුම්රියත් ඇතුළු විය.

පය ඉක්මන් කර එම අඩවියෙන් ඉවත් වූ බණ්ඩාර මහතා, වෙලාවට විනාඩි 5ක් තබා මහනුවර දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාව ට ලඟා විය.

දුම්රියේ එන්ජිම දෙස ට ඇවිද ගිය බණ්ඩාර ට දන්නා හඳුනන නියාමකවරයෙක් හමු විය. අත්දැකීම ඔහු හා බෙදාගත් විට ඔහු දුන් පිළිතුරෙන්, බණ්ඩාර ගේ කොඳු නාරටිය සියුම් සීතලකින් කිළිපොලා යනු ඔහු ට දැනුනි..

“ඔය වගේ දේවල් ගොඩක් තැන් වල වෙලා තියනවා. කට්ටිය දැකලත් තියනවා...”

(2018 වසරේ ලත් සත්‍ය අත්දැකීමක් මත පදනම් වූ කතාවකි)

සේයා රූ දෙක ම කතාව ට පසුබිම් වූ ප්‍රදේශයේ මා විසින් ගන්නා ලද ඒවා ය.

 

 

11 comments:

  1. හැබෑවටම ද මේ?

    මට නම් විශ්වාස කරන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඕක 2018 මම දැකපු ඇත්ත ම සිද්ධියක්. ඒ අවුරුද්දේ 8 වසරේ ළමයින් ගේ දෙවෙනි වාරේ ගුරු-දෙගුරු රැස්වීම. ඒ දවස් වල හවස 4 ට වගේ පටන් අරන් රෑ වෙනකල් යන්න හදල තිබ්බා ක්‍රමයක්. ඒ ඉවරල එද්දී තමා ඕක උනේ.

      Delete
  2. හ්ම්....කතාව ලියල තියෙන විදිහ හරි අපූරුයි.🙏👌😊
    අර ඉලෙක්ට්‍රොනික්ස් රෙපයාර් වැඩේට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඉලෙක්ට්‍රොනික් වැඩේ ත් යනවා හෙමි හෙමින් ඉස්සරහට. ඒ ගැන අප්ඩේට් එකක් දෙන්නම් කෝ ඊළඟ පෝස්ට් වලින්.

      Delete
  3. බණ්ඩාර ස' ... බයහිතෙන ටික තව ටිකක් උළුප්පල ලීවනම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා ප්‍රතිචාරය ට! බලමු තව කතාවක් ලියන්න..

      Delete
  4. බණ්ඩාර ස' ට එදා රෑ නින්ද ගියේ නෑ කියන්නෙ බොරු වෙන්න ඇති නෙහ්.

    ReplyDelete
    Replies
    1. අපෝ එච්චර ගාණක් නෑ ඕවා.

      Delete
  5. ඔය වගේ දේවල් වෙලත් තියෙනවා, ගොඩක් කට්ටිය දැකලත් තියෙනවා බණ්ඩාර සර්... ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මමත් ඕවා ටිකක් විශ්වාස කරනවා..

      Delete
  6. මල්ලි මම ඉන්නෙත් අස්ගිරිය රේල් ගේට්ටුව ගාව.මාත් මේ රේල් පාර දිගේ පයින් යනවා. හප්පා දැන් නම් ටිකක් බය හිතුනා.

    ReplyDelete