Saturday, October 28, 2023

කර්මාන්ත පුහුණුව - සතිය - 2


          මේ සතියේ සඳුදා නිවාඩු. දීපවාලි දවස. දිග සති අන්තයක් ඉවර වෙලා යන සෙනඟ උදේට සෙට් වෙන නිසාත්, පාන්දරම කෝච්චියේ ගියත් වෙලාවට යාගන්න බැරි නිසාත්, මම නැග්ගා සඳුදා හවස 8 ඩවුන් එකේ. මෙච්චර රෑ වෙලා කොළඹ ගිය පළවෙනි වතාව. පරක්කු වෙලා මරදානට යනකොට රෑ 10යි වෙලාව. කොහොමහරි ඉතින් නවාතැනට ගියා.

පහුවදා, අඟහරුවාදා ගිහාම, මට කර්මාන්තශාලා අංක 27 දෙවැනි සෙක්ෂන් එකට, ඒ කිව්වේ S9, S12 සහ Y පන්තියේ නඩත්තු කටයුතු අංශයට යන්න උනා. මෙතන පරිපාලකවරයා හිටියේ බන්දුල කියල අයියා කෙනෙක්. කලින් සෙක්ෂන් එකේ වගේ ම, කතා කරලා මාව වැඩ වලට අනුයුක්ත උනා.

මෙතැනදී හම්බුන පළවෙනි වැඩේ උනේ S9 පන්තියේ අංක 860 මෝටර් කාර් එකේ පරිපථ නැවත එකලස් කරන්න. මේ S9 කියන්නේ, අපේ දුම්රිය සේවයට ගෙනාපු පළවෙනි බලවේග කට්ටලය (ඇත්තටම පවර් සෙට් එක) වෙන S1 වලින් පස්සේ ආව පළවෙනි ඩීසල් - විදුලි බලවේග කට්ටලය. මේකේ පාලනය සිද්ධ උනේ CCS (Car Control System) කියන පාලන පද්ධතියෙන්. මේක විද්‍යුත් - යාන්ත්‍රික (Electro- Mechanical) ක්‍රමයක්. මේකට අදාළ අමතර කොටස් දැන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. 

S9 - 860 මෝටර් කාර් එක. මේ අලුත්වැඩියාවට කලින්..

මේ නිසා, මේක S10 (මේ ගැන ඊළඟ සතියේ කියන්නම්) වල තියන PLC (Programmable Logic Control) ක්‍රමයට සහ, ඉන්දියානු පද්ධතියක් වෙන මේධා සමාගමේ Micro-processor ක්‍රමයකට නවීකරණය වෙනවා. ඒ යටතේ මේ 860 මෝටර් කාර් එකට මයික්‍රෝප්‍රොසෙසර් පද්ධතියක් තියන්න තමයි මේ නැවත එකලස් කරන්නේ. ඊට සමගාමීව, අනික් උපාංගත් පූර්ණ අලුත්වැඩියාවක ට ලක් කොට තිබුනා.

මෙතැනදී, දුම්රිය එන්ජිමක/ මෝටර් කාර් එකක පාලන පද්ධතියට අයත් විවිධ උපාංග (පිළියවන/ ස්විච්/ කන්ටැක්ටර්...) වල ක්‍රියාකාරීත්වය, ඒ වගේම ඒවා නිවැරදිව හසුරුවලා පාලන පද්ධතියේ පිහිටවීම සහ වයර් සම්බන්ධතා ඇති කිරීම ගැන පුහුණුවක් ලබාගන්න හැකි උනා.

මේ දුම්රිය කට්ටල වල සමහර තැන් වලට පාවිච්චි වෙනවා ඔප්ටෝ කප්ලර්. මේකේ ඇතුලේ තියන්නේ LED ආලෝක ප්‍රභවයක් සහ ඒ කෙලින්ම පිහිටවපු ප්‍රකාශ ඩයෝඩයක්. LED එකට සංඥාවක් ලැබිලා පත්තු උනාම, ෆොටෝ ඩයෝඩ් එකෙන් එලියට වෝල්ටීයතාවයක් ලැබෙනවා. මේකෙන් විද්‍යුත් සම්බන්ධය කඩලා, සංඥාවක් හුවමාරු කරන්න හැකි. මේ Opto-coupler පරීක්ෂා කරන්නත් අවස්ථාවක් ලැබුනා. 

Opto- Coupler Testing. 

මම ගිය සතියේ කිව්වා ඩීසල් - විදුලි ක්‍රමවේදය ගැන වැඩි දුර විස්තරයක් මේ සතියේ කියනවා කියල. මේ විදියේ ක්‍රමයක් අවශ්‍ය ඇයි කියල මම කලින් පෝස්ට් වල කියල තියනවා. කෙටියෙන්ම කිව්වොත්, දුම්රියක් කියල කියන්නේ අධික ස්කන්ධයක් තියන වාහනයක්. කෙලින්ම වාහනේක වගේ ගියර් පෙට්ටියක් හරහා බලය රෝද වලට යවන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේකට විදුලි සම්ප්‍රේෂණය, ද්‍රවශක්ති සම්ප්‍රේෂණය වගේ ක්‍රමයක් යොදාගන්නවා. ඉතා අඩු බලයක්/ බරක් ඇති ඒවාට පමණක් ක්ලච් එකක් සහිත යාන්ත්‍රික සම්ප්‍රේෂණය යොදාගන්නවා. 

මේ තියන්නේ ප්‍රධාන විදුලි ජනකය. මේකට කියන්නේ Traction Alternator කියලා.

මේ S පන්තියේ ඩීසල්- විදුලි බලවේග කට්ටල වල කරන්නේ, ඩීසල් මෝටරය එළවුම් දණ්ඩක් (Cardan Shaft) මගින් සම්බන්ධ කරනවා ප්‍රධාන විදුලි ජනකයට. මේක බ්‍රෂ් (ඇතිල්ලුම් විලි) රහිත වර්ගයේ එකක්. හැබැයි මෙතැනදී ක්ෂේත්‍ර චුම්භකය විදිහට ක්‍රියා කරන්න නිත්‍ය චුම්භකයක් නෑ (විදුලි ජනකයක් වැඩ කරන්නේ ෆැරඩේ ගේ නියමය අනුව - ඒ කියන්නේ “චුම්භක ක්ෂේත්‍රයක් අසල චලනය වන සන්නායකයක විදුලි ධාරාවක් ජනනය වේ” කියන නියමය අනුව. එතකොට මෙතන චුම්භක ක්ෂේත්‍රය හදාගන්න එක්කෝ නිත්‍ය චුම්භකයක් නැත්තම් විද්‍යුත් චුම්භකයක් තියෙන්න ඕනේ).

දැන් එතකොට කොහොමද මේ වැඩේ කරන්නේ? මේකේ තියනවා දඟර කිහිපයක්. මේ ප්‍රධාන විදුලි ජනකය කොටස් දෙකකට තියන්නේ (එකම ඒකකයේ ජනක දෙකක් විදියට). මුලින්ම හම්බවෙනවා පොඩියට ඔතපු ක්ෂේත්‍ර දඟරයක්. මේකට අපි, විචලනය කරන ධාරාවක් (සරල ධාරාවක්) ලබා දෙනවා. මේකෙන් ඒ දඟරය චුම්භකයක් වෙනවා. ඔය දඟරයට සමපාත වෙන්න, රෝටරයේ හදලා තියනවා තව දඟරයක්. දැන් මෙන්න මේකේ, අර උඩින් කියපු නියමය අනුව උපදිනවා විදුලිය. මේක ප්‍රත්‍යාවර්ථ ධාරාවක්. මේකට අපි කියනවා Excitation Generator කියලා.

මේ රෝටරයට ඊළඟට හයි කරලා තියනවා ඩයෝඩ් ප්ලේට් එකක්. මේකත් රෝටරය එක්කම කැරකෙනවා. ඔය උඩින් කියපු තෙකලා ප්‍රත්‍යාවර්ථ ධාරාව, අර ඩයෝඩ් ප්ලේට් එක හරහා යවලා ඍජුකරණය කරලා, ඒ සන්නායක කෙලින්ම සම්බන්ධ කරනවා ප්‍රධාන ජනකයේ රෝටරයේ ඔතලා තියන ඊළඟ එතුමට. දැන් ඒ වයින්ඩින් එක කැරකෙන කාන්දමක් වෙනවා. හරියටම ඩයිනමෝ එකක වගේ. ඒ වටේට තියන දඟරය තෙකලා (3 Phase) Y එතුමක් විදියට තමයි ඔතලා තියන්නේ. එතැනින් ලයිව් වයර් 3ක් සහ එක උදාසීන අග්‍රයක් එලියට අරගන්න හැකි. මේ තමා Main Generator එක. 

ප්‍රධාන ජනකයෙන් ඉවතට එන සජීවී සන්නායක, පාලන උපකරණ කුටියට ඇතුළුවන අයුරු. 

මෙතනින් එලියට එන ලයිව් වයර් තුන U, V, W කියලයි, උදාසීන එක N කියලයි නම් වෙනවා. මේ සන්නායක තුන එලියට අරගෙන, ආපහු සරල ධාරාව බවට හරවලා, යවනවා මෝටර් කට් ඕෆ් ස්විච් වලට. මේ බලවේග කට්ටලයක එක ඇක්සල් එකට එක ගානේ මෝටර් 4ක් තියනවා. ඒ එකකට එකක් ගානේ ස්විච් තියනවා. ඒවා හරහා පුළුවන් එක එක මෝටර් එකට යන විදුලිය නවත්තන්න. 

Motor Cut Off Switches 

ඊට පස්සේ අපිට හම්බ වෙනවා චේන්ජ් ඕවර් ස්විච් (Changeover Switch) කියලා තව උපාංගයක්. මොකද්ද මේ? අපි දන්නවා ඕනෙම වාහනයක් දෙපසටම ධාවනය කරන්න හැකි වෙන්න ඕනේ. දුම්රියක මේකේ විශේෂයක් තියනවා. දෙපසටම එකම බලයෙන්, වේගයෙන් දුවන්න හැකි වෙන්න ඕනේ. මේ විදුලි මෝටර් එක්ක ඒක හරි සරල වැඩක්. ධාරාව ගලන දිශාව මාරු කරන එක නේ තියන්නේ. මෙන්න මේ වැඩේ ට තමයි ඔය ස්විච් එක තියන්නේ. මේක වැඩ කරන්නේ බාර් 5ක වායු පීඩනයෙන්. රියදුරු මහතා දුම්රිය FM (Forward Motoring), RM (Reverse Motoring) කියන දෙකෙන් එකකට යොමු කරාම, මෝටර් වලට අවශ්‍ය දිශාවට විදුලිය ලබාදීම කරන්නේ මෙතනින්.

මෙතනින් පස්සේ ධාරාව යනවා මෝටර් කන්ටැක්ටර් වලට. මේවා 5ක් තියනවා. මෝටර් වලට 4යි, බ්‍රේකින් ග්‍රිඩ් එකට එකයි. මේ බ්‍රේකින් ගැන මම එන සතියේ කියන්නම්. මේක වැඩ කරන්නෙත් අර වගේම බාර් 5ක වායු පීඩනයෙන්. මේවට පාවිච්චි කරන්නේ KMT කියලා. මේවා අල්ලන්නේ මෝටර් වලට කරන්ට් එක දෙන වෙලාවට. මේවායේ තියනවා එක ස්ථිර අග්‍රයක් සහ චලනය වෙන අග්‍රයක්. ඔය අග්‍ර දෙකේ ගැටෙන පෘෂ්ඨ රිදී. මේවා පාවිච්චිය එක්ක ගෙවෙනකොට, නැවත සකස් කරන්න ඕනේ. 

අලුත්වැඩියාව අතරතුර මෝටර් කන්ටැක්ටරය.   

Motor Contactor. මේ තමා අධික ධාරාව නිසා සිදු උන හානිය. මේක නැවත සකස් කරන්න ඕනේ. 

ඔයින් පස්සේ තමා මෝටර් වලට ධාරාව යන්නේ. මේවා සරල ධාරා මෝටර්. අපි දන්න පොඩි සරල ධාරා මෝටර් වල නිත්‍ය චුම්භකයක් එක්ක සල දඟරයක් නේ තියන්නේ. මේවයේ නිත්‍ය චුම්භක නැහැ. ක්ෂේත්‍ර දඟරයක් තියන්නේ ඒ වෙනුවට. මේ නිසා අපිට පුරුදු අග්‍ර 2ක් වෙනුවට, අග්‍ර 4ක් එලියට එනවා. ආමේචර් එකෙන් 2යි, ෆීල්ඩ් එකෙන් 2යි. මේවා සම්බන්ධ වෙන්නේ ශ්‍රේණිගත විදියට. ඒ කියන්නේ කොයිල් දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙන විදියට.

ඔය ක්‍රමය සහ ඊට අදාළ දේවල් අධ්‍යයනය කරන්න තමයි මේ සතියේ දවස් හතරම ගත උනේ. ඊට අමතරව, කලින් සතියේ හදපු S8 – 840 මෝටර් කාර් එක අලුත්ගම ට ට්‍රයල් එකක් ගියා, සියලු දේවල් සම්පූර්ණ ද බලන්න. ඒ ගමනට මටත් සහභාගී වෙන්න හම්බුනා. 

පරීක්ෂණ ධාවනය නිම කොට අලුත්ගම දී ආපසු ගමන සඳහා හැරවෙන S8 - 840. 

ඩීසල් - විදුලි ක්‍රමය මේ විදියට යොදාගන්නේ ඇයි, කෙලින්ම DC ජනනය කරලා නොගන්නේ ඇයි කියන ප්‍රශ්න වලට උත්තර ලබන සතියේ කතා කරමු. ඒ වගේම, මෝටර්, ජෙනරේටර් ගැන, ඊළඟ ෂොප් එකේදී අපිට සෑහෙන්න කතා කරන්න තියනවා. ඒ නිසා මේ සතියට විස්තරය මෙතනින් මම නවත්තන්නම්. ඊළඟ සතියේ හමු වෙමු.

Saturday, October 21, 2023

කර්මාන්ත පුහුණුව - සතිය - 1

           පළවෙනි දවසෙම මට රිපෝට් කරන්න තිබ්බේ රත්මලාන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයට. මම උදෙන්ම මහනුවරින් මාතර බලා පිටත් වෙන කෝච්චිය අල්ලාගෙන, මරදානට ගියා. එතැනින් තව කෝච්චියක් අල්ලාගෙන රත්මලානට යද්දී නම් ටිකක් දවල් වෙලා. ගහක් වැටිලා මාර්ග අවහිරතාවයක් තිබ්බ නිසා මරදානට එන්න ටිකක් පරක්කු උනා.

          කොහොම හරි, එතැනින් අවශ්‍ය ලියකියවිලි අරගෙන, රත්මලාන දුම්රිය කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුල් වෙන්න අවශ්‍ය සේවා අවසරපත් එහෙමත් ලබාගෙන, දිවා විවේකය වෙලාවට ටිකකට කලින් ඇතුලට යන්න පුළුවන් උනා. 

පළවෙනියට ම ඇතුලට ගිය වෙලාව. ඔතනින් වමට තමා ෂොප් 27.

          කලින් කිව්වත් වගේ, මම පළවෙනියට අනුයුක්ත උන කර්මාන්තශාලාව තමයි අංක 27. මෙතනට මම යනකොට, ඒක භාර අධීක්ෂණ කළමනාකාර මහත්මයා හිටියේ නැහැ. මාව බාර දුන්නා සුපරීක්ෂකවරයෙකුට. සමස්ථ පුහුණු කාලය පුරාවටම මට ඉතාමත් කාරුණිකව හිතවත්ව සලකපු කුමාරසිරි මහතා තමයි ඒ. 

ෂොප් 27 ඇතුලේ දර්ශනයක්.

           කාලා එහෙම ඇවිත්, මට ටිකක් වෙලා ඉඳගෙන ඉන්න උනා. ඔය අතරේදී, කර්මාන්තශාලා පරිශ්‍රයේ කතා බහ වෙන රටාව, වැඩ කෙරෙන හැටි, ඉන්න ඕනේ යන්න ඕනේ තැන් ගැන කියල දුන්නා. සුපර්වයිසර් කුමාරසිරි සර් කිව්වට, පස්සේ මට අනික් අය කිව්වා කුමාරසිරි අයියා කියන්න කියල. ඒ වගේම, දවසට හතර පාරක් කාඩ් එක පන්ච් කරන්න ඕනේ එහෙම කියල දුන්නා. මම ඇඳන් හිටිය ෆුල් ෆෝමල් එක නම් වැඩ කරද්දී හරි යන්නේ නැති වෙයි කියල කිව්වට, එවෙලේ මාරු කරගන්න එකක් තිබ්බේ නැහැ. 

මේ ඇවිල්ලා මේ දුම්රිය කර්මාන්තශාලාවේ ම නිපදවපු පුංචි කෝච්චියක්. මේක B1 පන්තියේ ආකෘතියක් විදියට තමයි හදලා තියන්නේ. මෙයා තෙල් දහනය කරලා ඇත්තටම වාෂ්ප නිපදවලා තමයි දුවන්නේ. ආසන්නව අශ්ව බල දෙකක වගේ බලයක් නිපදවනවා. මේ වෙලාවේ කොහේ හරි ප්‍රදර්ශනයකට අරගෙන යන්න ලෑස්ති කරන ගමන්..

           ඒ වගේම, මෙතන වෙන හැම නඩත්තු කටයුත්තක්ම, ඉංජිනේරුමය කටයුත්තක්ම, සමාජ මාධ්‍ය වල ඵල කිරීම ඒ තරම් හොඳ නැහැ කියන එකත් මට අවබෝධ උනා. ජයාරූප ගැනීම ගැන මම පුහුණුවෙන කෙනෙක් නිසා ඒ තරම් ප්‍රශ්නයක් නොතිබ්බත්, මම හැම වෙලේ ම අහලා ඉන්න පරෙස්සම් උනා. ඒ වගේම, මේ වර්ක්ෂොප් එක යටතේ මට බාර වෙන හැම කටයුත්තකටම අදාළ කාර්මික චිත්‍ර, ඒ වගේම අනුයුක්ත වෙන සමහර ස්ථාන ගැන තොරතුරු එලියේ මාධ්‍ය වලට නොයවන විශ්වාසය මත තමයි ඒ දේවල් දුන්නේ. ඒ නිසා, මේ සටහන් පෙළේදීත් ඒ තොරතුරු ඉවත් කරලා තමයි ලියවෙන්නේ. ඒ ඉතිං දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන නීති හා ආචාර ධර්ම පද්ධතිය. මම ඒක මෙතන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ.

          දිවා ආහාර වෙලාව ඉවර වෙලා, කාඩ් එක එහෙම ගහලා ආවට පස්සේ, පළමුවෙනි කාර්යය විදියට, S8 – 840 බලවේග කට්ටල පවර් කාර් එකට අනුයුක්ත උනා, විදුලි පද්ධතියේ තිබ්බ දෝෂ ටිකක් නිවාරණය කරන්න යන කණ්ඩායම එක්ක. 

විවිධ සම්බන්ධක

           මේ වර්ක්ෂොප් 27 කියන කම්හලේ අංශ 3ක් තියනවා. එක එක අංශයට එක එක සතිය තමා අනුයුක්ත උනේ. පළවෙනි සතියේ S8 අංශය. මෙතැනදී මේ S8 කියන ජපන්/කොරියන් බලවේග කට්ටලයේ මෝටර් කාර් එක, සම්පූර්ණයෙන් ම යටි රාමුව දක්වා ගලවලා, අවශ්‍ය අලුත්වැඩියාවන් කරලා, නැවත එකලස් කරලා, පරීක්ෂණ ධාවනයෙන් පස්සේ සේවයට මුදා හරිනවා. මෙතනම අංක 28 ෂොප් එකත් තියනවා. ඒකෙන් තමා යාන්ත්‍රික පැත්ත බලන්නේ. රත්මලානේ ගොඩක් තැන් වල මේ විදියට යාන්ත්‍රික කම්හලක් එක්ක විදුලි කම්හලක් විදියට තමයි පිහිටලා තියන්නේ. 

S8 - 840 පාලන පද්ධතියේ කොටසක්..

           මේ S8 කියන්නේ ඩීසල් - ද්‍රවශක්ති ක්‍රමයට ක්‍රියාත්මක වෙන බලවේග කට්ටලයක්. මේකේ බල සැපයුම් මෝටරය MTU සමාගමේ නිෂ්පාදනයක්. ද්‍රව සම්ප්‍රේෂණය Voith L520 වර්ගයේ. මේ දෙකට අමතරව, තිරිංග සහ උපාංග ක්‍රියා කරවන්න අවශ්‍ය වායව බලය උත්පාදනයට වායු සම්පීඩකයක්, විදුලි ජනකයක්, සිසිලන පංකාවක් මේ මෝටර් කාර් එකේ එන්ජින් කාමරය තුල අඩංගු වෙනවා.

          අපිට මේ සතියට නියමිත උනේ, මේ 840 කියන පවර් කාර් එකේ විදුලි පද්ධතියේ දෝෂ ටිකක් නිරාකරණය කරන්න. පළවෙනියට ම, පාලන පද්ධතියේ පිළියවන (Relay) කිහිපයක් මාරු කරන්න උනා. මේ රිලේ එකක කාර්යය කිව්වොත්, අඩු ධාරා පාලන පද්ධතියකින්, අධි ධාරා පද්ධතියක් පාලනය කරන්න තමයි මේවා යොදාගන්නේ. මේවා වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය උඩ. රිලේ ගැන වැඩි විස්තරයක් මම කරන්නම් සංඥා උප දෙපාර්තමේන්තුවේ කොටසේ දී. 

පිළියවනය - Relay

           ඊළඟට ඔය එක්කම, ප්‍රධාන පහන් පරිපථයේ දෝෂ ටිකකුත් බෙල් කරලා හොයාගෙන නිරාකරණය කරා. ඊට අමතරව, මේ පවර් කාර් එකේ පිටිපස්ස කොටසේ තියන මගී කුටියට ආලෝකය සපයන පහන් වලට විදුලිය නොලැබීමේ දෝෂයක් තිබ්බා.

          මේකත් බෙල් කරගෙන ට්‍රේස් කරලා, අලුතින් වයර් එකක් ඇදලා ඒ දෝෂයත් නිරාකරණය කරගන්න අපිට හැකි උනා. මොකද්ද මේ බෙල් කරනවා කියන්නේ කියල හිතෙනවා නම්, ඒ කරන්නේ වයර් එකක හරි වෙන ඉලෙක්ට්‍රිකල් පාත් එකක, ඒ කිව්වේ සන්නායකයක, අඛණ්ඩතාවය පරීක්ෂා කරන එකට. මල්ටිමීටර් එකක බසර් මොඩ් එකට සමාන දෙයක් තමයි මෙතන වෙන්නේ. මේ බෙල් නම් මෙහෙ රත්මලානෙම ඇසෙම්බල් කරපුවා. දිග වයර් එක්ක. 

මගී මැදිරියේ පහන් පරිපථය අලුත්වැඩියාවෙන් පසු පරීක්ෂා කිරීම.

           ඒ වගේම, මේ S8 වල විදුලිය අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම, බැටරි ආරෝපණය කරගන්න සහ පාලන උපාංග සමහරකටත්, ඒ වගේම ආලෝකකරණය සඳහා. මේ ටිකට බලය සපයන්න පොඩි AC ජනකයක් ඩීසල්මෝටර් එකටම සම්බන්ධ කරලා තියනවා. මේකේ ප්‍රතිදානය පාලනය කරන්නේ, ස්ටේටර් දඟරයට දෙන වෝල්ටීයතාවය පාලනය කරලා (ඒ අනුව ඒ දඟරයේ චුම්භක ශක්තිය අඩු වැඩි වෙන නිසා). ඔන්න ඔය පාලන උපාංගය සහ, ඒ ජනකයෙන් එලියට එන වයර් එකෙත් දෝෂයක් තිබිලා නිවැරදි කරා.

          ඔය අතරම, ෂොප් එකේ තිබ්බ S10 පන්තියේ බලවේග කට්ටලයත් ටිකක් අධ්‍යයනය කරා. මේක ඩීසල් - විදුලි ක්‍රමයට වැඩ කරන එකක්. මේකෙදි කරන්නේ ඩීසල්මෝටර් එක කාඩන් ශාෆ්ට් එකක් හරහා ලොකු විදුලි ජනකයකට සම්බන්ධ කරනවා. මේක තෙකලා ජනකයක් (3 Phase alternator). මේ වර්ගයේ 882 කාර් එක ඇවිත් තිබ්බා වර්ක්ෂොප් එකට. මේකේ කොටස් ගලවන්න උනා. එතැනදී මම ඒ විදුලි ජනක ක්‍රියාවලිය එක්කම, කොටස් ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. 

මෝටර්  කන්ටැක්ටරය (Motor Contactor). මේ ගැන වැඩි විස්තරයක් ඊළඟ සතියේ කරනවා.

 

S10 පන්තියේ ප්‍රධාන ජනකයෙන් ඉවතට එන සම්බන්ධක රැහැන්.

          පළවෙනි සතිය ඉතිං ඔහොම තමයි ගෙවුනේ. මේ වර්ක්ෂොප් එකට යනකොටම, පරණ යාළුවො තුන් දෙනෙක් හම්බුනා. අචලිත අයියා, ප්‍රදීප් අයියා, චරිත් මධුසංක අයියා තමයි ඒ. ඉතිං ලොකුවට අවුලක් පාළුවක් දැනුනේ නැහැ එයාලා හිටි නිසා. ඒ වගේම, මම පළවෙනි දවසේ උදේ පිටත් වෙනකොටත්, එදා රෑට වත් ඉන්නේ කොහෙද කියල හරිහමන් අදහසක් තිබ්බේ නැහැ ස්ථිරව. නවාතැනක් හොයාගන්න රසික අයියා ගොඩක් උදව් කරා.

          ඔහොම වැඩ ටික කරගෙන, සිකුරාදා මම ගියා ෆෝමන් මහත්තයා හම්බ වෙන්න. දැන් නම් ෆෝමන් කියන තනතුර අධීක්ෂණ කළමනාකරු කියල වෙනස් වෙලා. මේ ෂොප් එක බාරව හිටියේ සහබන්දු කියල මහත්මයෙක්. මම පළවෙනියට ගිහින් කතා කරාම කිව්වා “රිපෝට් එක ලියනවා නේද, හැබැයි පොත් වල තියන තියරි එහෙම ලියාගෙන එන්න එපා, කරපු වැඩ විතරක් ලියන්න” කියලා.

          ඇත්තටම මම ඒ උපදෙස මගේ අන්තිම දවස වෙනකල් ම අකුරට ම පිළිපැද්දා. ඒ වගේම, පළවෙනි සතියෙම මම හිතාගත්තා මෙතනින් උපරිමය අරගන්න ඕනේ කියල. ඔය ටිකත් කරගෙන, සිකුරාදා හවස මම ගෙදර ආවා හවස 4.35 කෝච්චියේ.

          ඊළඟ සතියේ වැඩ එක්ක, ලබන සෙනසුරාදා හම්බෙමු. 

Saturday, October 14, 2023

කර්මාන්ත පුහුණුව - පසුබිම

ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානය 

මේ බ්ලොග් එක බලන හැමෝම වගේ දන්නවා මම දුම්රිය පිලිබඳ සෑහෙන උනන්දුවක් දක්වනවා කියල. ඒ වගේම එයින් සමහර දෙනෙක් දන්නවා, මම විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා කියල. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ මොන රටක මොන ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවත්, අනිවාර්යයෙන් ම අදාළ ක්ෂේත්‍රයේ පුහුණු කාලසීමාවක් (ආධුනික කාලයක්) ගත කරන්න වෙනවා අවම මාස 6ක්, අදාළ සුදුසුකම් මට්ටම් සම්පූර්ණ කරන්න.

ඉතින් මේ කටයුත්ත කරන්න, මටත් සිද්ධ උනා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාගන්න පුළුවන් ද බලන්න මම උත්සාහ කරා. ඒ, මගේ කාර්මික පුහුණුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තෝරාගෙන.

ශ්‍රී ලංකා දුම්රිය සේවය කිව්වට, මේකේ උප දෙපාර්තමේන්තු 10ක් තියනවා. ඒකෙන් මට අවශ්‍ය කාර්යය කරගන්න පුළුවන් උප දෙපාර්තමේන්තු 3යි තියන්නේ. ඒ ඇවිල්ලා;

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු (Chief Mechanical Engineers Sub Department)

සංඥා සහ විදුලි සංදේශ ඉංජිනේරු (Chief Signal and Telecommunication Engineers Sub Department)

ප්‍රධාන ධාවනබල ඉංජිනේරු (Chief Engineer – Motive Power Sub Department)

කියන උප දෙපාර්තමේන්තු තුන. මේ තුනෙන් මාස 3-3 වගේ හිටින්න උප දෙපාර්තමේන්තු දෙකකට අනුයුක්ත වෙන්න තමා මගේ අදහස තිබ්බේ.

ඉතින් ඔය අදහස අරගෙන, මම මුලින්ම 2019 වගේ අපේ ඉංජිනේරු පාඨමාලාව මෙහෙයවන බ්‍රිතාන්‍යයේ City and Guilds ආයතනයේ අනුමැතිය අරගන්න ඒකෙ සම්බන්ධීකාරක ආයතන වලට එහෙම ලියල, ඔන්න අවසර ගත්තා.

ඒ පැත්තේ වැඩ ටිකත් ඉවරලා, මූලික වටයේ විභාග ඉවරල, ලියුම් කියුම් ගන්න යද්දී චීනෙකුට වවුල් සුප් බොන්න ඕනේ උනා.

ආය මොනාද ඉතින් අවුරුදු දෙකක් විතරම ගෙවල් අස්සෙනේ ලෝකෙම.

ඒ කරදරත් ඉවරලා, ආයෙත් අපේ ඉස්කෝලේ වැඩ පටන්ගත්තාම, ඒ පැත්තෙනුත් අවසර අරගෙන, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉන්න මගේ හිත මිත්‍ර ඉංජිනේරුවරයෙක් වෙන, රකිත ආරියරත්න මහත්මයාගේ උපදෙස් එක්ක, අයැදුම් කරා කාර්මික පුහුණුවට..

මෙන්න මෙතන ඉඳන්, රාජ්‍ය සේවයේ තියන කාර්යක්ෂමතාව, වැඩ පිළිවෙල, නීති රීති අනංමනං ගැන සෑහෙන ප්‍රායෝගික අවබෝධයකින් පස්සේ, කාර්මික පුහුණු කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත එක් වෙන්න අවස්තාව ලැබුනා.

අද පෝස්ට් එකෙන්, ඒ පුහුණුව පටන් අරගන්න දවස වෙනකල් වෙච්ච මූලික ක්‍රියාමාර්ග සහ “රසබර” සිද්ධි ටිකක් අරගෙන එන්න තමා හිතුවේ. ඒ වගේම, මෙතැන් සිට සෑම සති අන්තයකම, පුහුණුවේ එක සතියක් ගානේ ආවරණය වෙන විදියට, ලිපි පෙළක් ඵල වේවි.

එහෙනම් ඉතිං, ඕන්න අහගන්ටලාකෝ ඒ විස්තරෙත්..

          පළවෙනියට ම දාපු ලියුම් කඩදහිය, ඒ කාලේ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා අතට ගිහිං, එතැනින් රහත් උනා ආයුබෝවන්ට.. ඒකට වෙච්ච දෙයක් නෑ..

එහෙමයි කියල බෑ නේ. දැම්මා දෙවෙනි කඩදහියකුත්. මෙදා සැරේ අර සංඥා ඉංජිනේරු මහත්තයගේ අත්සනකුත් අරගෙනම දැම්මේ. දැන් වැඩේ ඉස්සරහට යනවා. මම නිවාඩුත් අනුමත කරගත්තා ඉස්කෝලෙන්. මට අංකයක් හම්බුනා, පුහුණු අංශයෙන් කියල, කතා කරලා විස්තර අහගන්න කියල.

අනේ මමත් කතා කරාම, හරි කරුණාවෙන් කතා කරලා “අනේ පුතා ඔයාගේ වැඩේ හරි හොඳ ද, ලබන සඳුදා ඇවිත් පත්වීම් ලියුම ගන්න” කිව්වා. ආය ඉතිං මොනාද, මමත් ඉන්ටර්සිටියේම ගියා. මේ වැඩ වලට මට ගොඩක් උදව් කරා මගේ හිත මිත්‍රයෙක් වෙන පුලස්ති කාංචන අයියා.

අපි දෙන්නා ගිහිං බැලුවම, එහෙම ලියුමක් ඤැහ්.. ගිහිං වටේ බැලුවම, එහෙම ලියුමක් කොහේටවත් ගිහිං නෑ. පොඩ්ඩක් ඇවිදලා කැරකිලා බැලුවම, මෙන්න ලියුම තාම ආපු විදියටම ෆයිල් එකේ!!

ඒ පාර අර නිලධාරීතුමා කියනවා, හරි පුතා, ලබන සතියේ හදල දෙන්නම් කියල. තටු අකුලාගෙන ආවා. ඒ කරලා මෙන්න බදාදා කියනවා යස කතාවක් - “පුතා මේක එංගලන්තෙන් කරන කෝස් එකක් නේ, අපිට එහෙම අයව ට්‍රේනිං වලට ගන්න එපා කියල ජර්මන් ටෙක් එකෙන් කියනවා..”

මට දැන් මල අතේ.. පහුවදාම උදේ නැග්ගා කෝච්චියට, ගියා කොළඹ. මම දන්න තව පරිපාලන නිලධාරී මහත්මයෙක් ඉන්නවා විරාජ් නානායක්කාර කියල. එතුමාටත් මම නිකමට විස්තරේ කිව්වම කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ කියල. 

උදේ කෝච්චියෙන් කොළඹට..

 ඔය අතරේ අපේ නැන්දාටත් මම විස්තරේ කිව්වම, එයා කිව්වා එහෙම එකක් නෑ, පුහුණුවට ගන්නවා කියල. නැන්දාත් ඒ පැත්තෙන් බලල තිබ්බා මොකද උනේ කියල. මෙතන වෙච්ච අලකලංචි සම්පූර්ණයෙන් වත් ඒ අදාළ මනුස්සයාගේ නම වත් මම සඳහන් කරන්නේ නෑ.

පුලස්ති අයියටත් විස්තරේ කිව්වම, එයත් ආවා. රකිත මහත්මයවත් දැනුවත් කරා මෙහෙම කතාවක් කිව්වා කියල. ගිහිං බලද්දී අර නිලධරු අසුනේ නැත!

අපි ගිහිං එතන පරිපාලන නිලධාරීතුමිය හම්බුනා. අපේ කතාවයි විස්තර ටිකයි අහලා, එවෙලේම ඒ ලියුම ගෙන්නාගෙන, සටහනක් දාලා, අවශ්‍ය අනුමැති වලට අදාළ තැන් වලට යැව්වා. කොහොම හරි එදා දවසෙන්, රත්මලාන ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂතුමාට මගේ අවශ්‍යතාවය දන්වලා ලියුමක් ලියල, මට පහුවෙනි සතියේ ඇවිත් ඒක අරගෙන ගිහිං, අවශ්‍ය කටයුතු කරගන්න කිව්වා.

ඔය අතර ඉතින්, රත්මලාන කියන්නේ උදේ හවස යන්න එන්න පුළුවන් තැනක් නෙවෙයි නේ. ගමන කොහොමහරි කරගත්තත්, වියදමත් ප්‍රශ්නයක්. අනික මහන්සිය.. රත්මලානේ මම ඉන්න ඕනේ උදේ 8ට. එහෙ 4.30 වෙනකල් වැඩ. ඔය වෙලාවට දුවන කෝච්චි නෑ.

ඉතින් එකම විසඳුම උනේ ඒ පැත්තෙන් නවාතැනක් හොයාගන්න එක. නැන්දලා මාමල කොළඹ හිටියට, ඒ ඉන්න තැන්, දුරවල් එක්ක ඒ තැන් ප්‍රායෝගික උනෙත් නැහැ. අන්තිමට, මට තැනක් හොයල දෙන්න ඉස්කෝලේ දරුවෙක් සහ දුම්රිය සේවයේ රසික කරුණාතිලක ස්ථානාධිපති මහතා කටයුතු කරා. ඒ හැමෝටම ස්තුති කරන්නත් ඕනේ.

මේ වැඩේ පටන් ගත්තම මට කල්පනා උනා, සමහර විට මට සෙනසුරාදා/ ඉරිදාත් කොළඹ ඉන්න වෙන්න පුළුවනි, ඒ වගේ ම, ඒ වෙද්දී ඉස්කෝලේ මම ස්ථිර නොවුන නිසා, ආපහු එතැනට යැවෙන සම්භාවිතාවයත් සෑහෙන අඩුයි කියල. ඉතිං කෝකටත් කියල, මම ඉස්කෝලේ දන්න අඳුරන අයටයි, දහම් පාසලේ කථික සංසඳයටයි කියල, ඒ ළමයි හම්බෙලා කතා කරලා තමයි ආවේ. ඔය දහම්පාසල් ළමයි හම්බුනේ මේ එන්න කියපු දිනේට කලින් දා. ඒ කිව්වේ ඔක්තෝබර් 13 වෙනිදා.

දැන් ඉතින් ඉස්කෝලෙන් නිවාඩුත් හරියට දින තියල දාගෙන, ඔන්න ලියුම ආවට පස්සේ, ඒකත් අරගෙන අමු ධාරාණීපාත වැස්සේ, පහුවදා, 14 වෙනිදා, ගියා රත්මලානට. ගිහිං මුලින්ම රත්මලාන ජර්මන් ටෙක් එකට ගිහිං, එතන පුහුණු හා මානවසම්පත් පිලිබඳ ඉංජිනේරුතුමා හමු වෙලා, ලියකියවිලි වැඩ අවසන් කරා. 

පළමු දැක්ම..

එතුමා මට කර්මාන්තශාලාව ගැන විස්තර, මොන වගේ වැඩ ද ඇතුලේ වෙන්නේ, වැඩ කරන පැය ගණන් කොහොමද, මොන මොන කර්මාන්තශාලා ද මට යන්න ඕනේ වෙන්නේ, වගේ කරුණු කාරණා ගොඩක් කියල දුන්නා. එතැනින් අත්සන් කරගත්ත ලියුම් අරගෙන, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයට ගිහිං, අදාළ මුදල් ගෙවීම්, කොළ පිරවිලි එහෙම ඉවර කරගෙන, එතනින් ම දවල්ට කාලා, එදාට වැඩ ඉවර කරගත්තා. 

අමු වැස්සේ.. 

14 වෙනිදා කියන්නේ අමු වැසි දවසක්. මගේ කුඩේත් කලින් දවසේ මාරු වෙලා තිබ්බේ (එකම ජාතියේ එකම ප්‍රමාණයේ එකකට). හැබැයි ඒ වැස්සට ඒ වගේ කුඩ 10ක් වත් ඕනේ. ස්ටේෂන් එකට යනකොට සපත්තු වතුර බෝතල් වෙලා. කලිසම් කමිස ඇඟට ඇලිලා. ඊට පස්සේ හොඳම කතාව තමයි කොටුවට එන්න හම්බුන කෝච්චිය.

මේක S11 වර්ගයේ බලවේග කට්ටලයක්. හුළඟ එක්ක එන වැහි වතුර, කෙලින්ම ෂවර් එකක් ගානට ඇතුලට වදිනවා. දොරවල් වහන්න බෑ. ඇතුලේ කට්ටියට හොඳ බාත් එක ඉතින්. කොහොම හරි කොටුවට යන්තමින් ඇවිත්, එතනින් එහාට අදින්න බැරුව ඒක එතන ෆේල්! අපි 4.35 නුවර එක අදිනකොටත් ඒක එතනමයි! 

අඩු මිලට ගමන් පහසුව සමග නොමිලේ සුපිරි නෑමක්..

ඉතුරු දවස් ටිකේ ඉතින් සෑහෙන්න වැඩ තිබ්බා. ගෙනියන දේවල් හදාගන්න එක, බෑග් රිපෙයා කරගන්න එක, ඉස්කෝලේ විවාද කණ්ඩායම, දහම්පාසලේ කථික සංසඳය ගැන ඉස්සරහ කටයුතු කරන එක, අවශ්‍ය වාර්තා, කරුණු එකතු කරගන්න එක, විෂය කරුණු හදාගන්න එක වගේ.. ඔය අතර දහම්පාසලේ ළමයි ටික මම යනවට ටිකක් අවුල් ගිහිනුත් තිබ්බා. හැබැයි එයාලා ගෘප් එකක් එහෙම හදාගෙන, මට අරව මේවා මතක් කර කර සෑහෙන සපෝට් එකකුත් දුන්නා.

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව 

රත්මලාන වැඩබිම කියන්නේ කර්මාන්තශාලා පරිශ්‍රයක්. එතන කර්මාන්තශාලා 40කට වැඩියෙන් තියනවා. ඒත් මට අදාළ වෙන්නේ ඒවායින් විදුලි වැඩ කෙරෙන කර්මාන්තශාලා විතරයි නේ. මාව අනුයුක්ත උනේ 27, 39, 35, 30,31 කියන තැන් වලට. කලින් මේකේ ඇවිදලා තිබ්බට, මට මතක තිබ්බේ 27 විතරයි ඔතනින්. ඒ පරණ ෆොටෝ එහෙම බලලා මෙමරි එක හදාගත්තා.

කොහොමින් කොහොම හරි, මට රත්මලානේ වැඩ බාරගන්න තිබ්බේ ඔක්තෝබර් 17 ඉඳන්. 16 මෙහෙ කඨින පිංකම. උදේ ඒකටත් ගිහිං, ඉතුරු පොත්පත් අනංමනං ඔක්කොම ලැස්ති කරා. හවස ආය කථික සෙට් එක ආවා පන්සල්. එයාලා එක්ක පැයක් හමාරක් ඉඳලා, එක්කෙනෙක්ගේ උපන්දිනේකුත් සමරලා, ටවුන් ගිහිං ඉතුරු අඩු වැඩියත් අරගෙන, රෑ 10.30 වෙද්දී ඉන්වෙන්ට්‍රි එකක් අරගෙනම බෑග් 2කට බඩු ටික පැක් කරගෙන, පහුවදා මාතර කෝච්චිය අල්ලගන්න බලාගෙන නිදාගත්තා..

මෙතැනින් එහාට කතාව, ඊළඟ සෙනසුරාදා ඉඳන් කියවමු..