මේ සතියේ සඳුදා නිවාඩු. දීපවාලි දවස. දිග සති අන්තයක්
ඉවර වෙලා යන සෙනඟ උදේට සෙට් වෙන නිසාත්, පාන්දරම කෝච්චියේ ගියත් වෙලාවට යාගන්න බැරි
නිසාත්, මම නැග්ගා සඳුදා හවස 8 ඩවුන් එකේ. මෙච්චර රෑ වෙලා කොළඹ ගිය පළවෙනි වතාව.
පරක්කු වෙලා මරදානට යනකොට රෑ 10යි වෙලාව. කොහොමහරි ඉතින් නවාතැනට ගියා.
පහුවදා, අඟහරුවාදා ගිහාම, මට කර්මාන්තශාලා අංක 27 දෙවැනි සෙක්ෂන් එකට, ඒ කිව්වේ S9, S12 සහ Y පන්තියේ නඩත්තු කටයුතු අංශයට යන්න උනා. මෙතන පරිපාලකවරයා හිටියේ බන්දුල කියල අයියා කෙනෙක්. කලින් සෙක්ෂන් එකේ වගේ ම, කතා කරලා මාව වැඩ වලට අනුයුක්ත උනා.
මෙතැනදී හම්බුන පළවෙනි වැඩේ උනේ S9 පන්තියේ අංක 860 මෝටර් කාර් එකේ පරිපථ නැවත එකලස් කරන්න. මේ S9 කියන්නේ, අපේ දුම්රිය සේවයට ගෙනාපු පළවෙනි බලවේග කට්ටලය (ඇත්තටම පවර් සෙට් එක) වෙන S1 වලින් පස්සේ ආව පළවෙනි ඩීසල් - විදුලි බලවේග කට්ටලය. මේකේ පාලනය සිද්ධ උනේ CCS (Car Control System) කියන පාලන පද්ධතියෙන්. මේක විද්‍යුත් - යාන්ත්‍රික (Electro- Mechanical) ක්‍රමයක්. මේකට අදාළ අමතර කොටස් දැන් නිෂ්පාදනය වෙන්නේ නැහැ.
S9 - 860 මෝටර් කාර් එක. මේ අලුත්වැඩියාවට කලින්.. |
මේ නිසා, මේක S10 (මේ ගැන ඊළඟ සතියේ කියන්නම්) වල තියන PLC (Programmable Logic Control) ක්‍රමයට සහ, ඉන්දියානු පද්ධතියක් වෙන මේධා සමාගමේ Micro-processor ක්‍රමයකට නවීකරණය වෙනවා. ඒ යටතේ මේ 860 මෝටර් කාර් එකට මයික්‍රෝප්‍රොසෙසර් පද්ධතියක් තියන්න තමයි මේ නැවත එකලස් කරන්නේ. ඊට සමගාමීව, අනික් උපාංගත් පූර්ණ අලුත්වැඩියාවක ට ලක් කොට තිබුනා.
මෙතැනදී, දුම්රිය එන්ජිමක/ මෝටර් කාර් එකක පාලන පද්ධතියට අයත් විවිධ උපාංග (පිළියවන/ ස්විච්/ කන්ටැක්ටර්...) වල ක්‍රියාකාරීත්වය, ඒ වගේම ඒවා නිවැරදිව හසුරුවලා පාලන පද්ධතියේ පිහිටවීම සහ වයර් සම්බන්ධතා ඇති කිරීම ගැන පුහුණුවක් ලබාගන්න හැකි උනා.
මේ දුම්රිය කට්ටල වල සමහර තැන් වලට පාවිච්චි වෙනවා ඔප්ටෝ කප්ලර්. මේකේ ඇතුලේ තියන්නේ LED ආලෝක ප්‍රභවයක් සහ ඒ කෙලින්ම පිහිටවපු ප්‍රකාශ ඩයෝඩයක්. LED එකට සංඥාවක් ලැබිලා පත්තු උනාම, ෆොටෝ ඩයෝඩ් එකෙන් එලියට වෝල්ටීයතාවයක් ලැබෙනවා. මේකෙන් විද්‍යුත් සම්බන්ධය කඩලා, සංඥාවක් හුවමාරු කරන්න හැකි. මේ Opto-coupler පරීක්ෂා කරන්නත් අවස්ථාවක් ලැබුනා.
Opto- Coupler Testing. |
මම ගිය සතියේ කිව්වා ඩීසල් - විදුලි ක්‍රමවේදය ගැන වැඩි දුර විස්තරයක් මේ සතියේ කියනවා කියල. මේ විදියේ ක්‍රමයක් අවශ්‍ය ඇයි කියල මම කලින් පෝස්ට් වල කියල තියනවා. කෙටියෙන්ම කිව්වොත්, දුම්රියක් කියල කියන්නේ අධික ස්කන්ධයක් තියන වාහනයක්. කෙලින්ම වාහනේක වගේ ගියර් පෙට්ටියක් හරහා බලය රෝද වලට යවන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේකට විදුලි සම්ප්‍රේෂණය, ද්‍රවශක්ති සම්ප්‍රේෂණය වගේ ක්‍රමයක් යොදාගන්නවා. ඉතා අඩු බලයක්/ බරක් ඇති ඒවාට පමණක් ක්ලච් එකක් සහිත යාන්ත්‍රික සම්ප්‍රේෂණය යොදාගන්නවා.
මේ තියන්නේ ප්‍රධාන විදුලි ජනකය. මේකට කියන්නේ Traction Alternator කියලා. |
මේ S පන්තියේ ඩීසල්- විදුලි බලවේග කට්ටල වල කරන්නේ, ඩීසල් මෝටරය එළවුම් දණ්ඩක් (Cardan Shaft) මගින් සම්බන්ධ කරනවා ප්‍රධාන විදුලි ජනකයට. මේක බ්‍රෂ් (ඇතිල්ලුම් විලි) රහිත වර්ගයේ එකක්. හැබැයි මෙතැනදී ක්ෂේත්‍ර චුම්භකය විදිහට ක්‍රියා කරන්න නිත්‍ය චුම්භකයක් නෑ (විදුලි ජනකයක් වැඩ කරන්නේ ෆැරඩේ ගේ නියමය අනුව - ඒ කියන්නේ “චුම්භක ක්ෂේත්‍රයක් අසල චලනය වන සන්නායකයක විදුලි ධාරාවක් ජනනය වේ” කියන නියමය අනුව. එතකොට මෙතන චුම්භක ක්ෂේත්‍රය හදාගන්න එක්කෝ නිත්‍ය චුම්භකයක් නැත්තම් විද්‍යුත් චුම්භකයක් තියෙන්න ඕනේ).
දැන් එතකොට කොහොමද මේ වැඩේ කරන්නේ? මේකේ තියනවා දඟර කිහිපයක්. මේ ප්‍රධාන විදුලි ජනකය කොටස් දෙකකට තියන්නේ (එකම ඒකකයේ ජනක දෙකක් විදියට). මුලින්ම හම්බවෙනවා පොඩියට ඔතපු ක්ෂේත්‍ර දඟරයක්. මේකට අපි, විචලනය කරන ධාරාවක් (සරල ධාරාවක්) ලබා දෙනවා. මේකෙන් ඒ දඟරය චුම්භකයක් වෙනවා. ඔය දඟරයට සමපාත වෙන්න, රෝටරයේ හදලා තියනවා තව දඟරයක්. දැන් මෙන්න මේකේ, අර උඩින් කියපු නියමය අනුව උපදිනවා විදුලිය. මේක ප්‍රත්‍යාවර්ථ ධාරාවක්. මේකට අපි කියනවා Excitation Generator කියලා.
මේ රෝටරයට ඊළඟට හයි කරලා තියනවා ඩයෝඩ් ප්ලේට් එකක්. මේකත් රෝටරය එක්කම කැරකෙනවා. ඔය උඩින් කියපු තෙකලා ප්‍රත්‍යාවර්ථ ධාරාව, අර ඩයෝඩ් ප්ලේට් එක හරහා යවලා ඍජුකරණය කරලා, ඒ සන්නායක කෙලින්ම සම්බන්ධ කරනවා ප්‍රධාන ජනකයේ රෝටරයේ ඔතලා තියන ඊළඟ එතුමට. දැන් ඒ වයින්ඩින් එක කැරකෙන කාන්දමක් වෙනවා. හරියටම ඩයිනමෝ එකක වගේ. ඒ වටේට තියන දඟරය තෙකලා (3 Phase) Y එතුමක් විදියට තමයි ඔතලා තියන්නේ. එතැනින් ලයිව් වයර් 3ක් සහ එක උදාසීන අග්‍රයක් එලියට අරගන්න හැකි. මේ තමා Main Generator එක.
ප්‍රධාන ජනකයෙන් ඉවතට එන සජීවී සන්නායක, පාලන උපකරණ කුටියට ඇතුළුවන අයුරු. |
මෙතනින් එලියට එන ලයිව් වයර් තුන U, V, W කියලයි, උදාසීන එක N කියලයි නම් වෙනවා. මේ සන්නායක තුන එලියට අරගෙන, ආපහු සරල ධාරාව බවට හරවලා, යවනවා මෝටර් කට් ඕෆ් ස්විච් වලට. මේ බලවේග කට්ටලයක එක ඇක්සල් එකට එක ගානේ මෝටර් 4ක් තියනවා. ඒ එකකට එකක් ගානේ ස්විච් තියනවා. ඒවා හරහා පුළුවන් එක එක මෝටර් එකට යන විදුලිය නවත්තන්න.
Motor Cut Off Switches |
ඊට පස්සේ අපිට හම්බ වෙනවා චේන්ජ් ඕවර් ස්විච් (Changeover Switch) කියලා තව උපාංගයක්. මොකද්ද මේ? අපි දන්නවා ඕනෙම වාහනයක් දෙපසටම ධාවනය කරන්න හැකි වෙන්න ඕනේ. දුම්රියක මේකේ විශේෂයක් තියනවා. දෙපසටම එකම බලයෙන්, වේගයෙන් දුවන්න හැකි වෙන්න ඕනේ. මේ විදුලි මෝටර් එක්ක ඒක හරි සරල වැඩක්. ධාරාව ගලන දිශාව මාරු කරන එක නේ තියන්නේ. මෙන්න මේ වැඩේ ට තමයි ඔය ස්විච් එක තියන්නේ. මේක වැඩ කරන්නේ බාර් 5ක වායු පීඩනයෙන්. රියදුරු මහතා දුම්රිය FM (Forward Motoring), RM (Reverse Motoring) කියන දෙකෙන් එකකට යොමු කරාම, මෝටර් වලට අවශ්‍ය දිශාවට විදුලිය ලබාදීම කරන්නේ මෙතනින්.
මෙතනින් පස්සේ ධාරාව යනවා මෝටර් කන්ටැක්ටර් වලට. මේවා 5ක් තියනවා. මෝටර් වලට 4යි, බ්‍රේකින් ග්‍රිඩ් එකට එකයි. මේ බ්‍රේකින් ගැන මම එන සතියේ කියන්නම්. මේක වැඩ කරන්නෙත් අර වගේම බාර් 5ක වායු පීඩනයෙන්. මේවට පාවිච්චි කරන්නේ KMT කියලා. මේවා අල්ලන්නේ මෝටර් වලට කරන්ට් එක දෙන වෙලාවට. මේවායේ තියනවා එක ස්ථිර අග්‍රයක් සහ චලනය වෙන අග්‍රයක්. ඔය අග්‍ර දෙකේ ගැටෙන පෘෂ්ඨ රිදී. මේවා පාවිච්චිය එක්ක ගෙවෙනකොට, නැවත සකස් කරන්න ඕනේ.
අලුත්වැඩියාව අතරතුර මෝටර් කන්ටැක්ටරය. |
Motor Contactor. මේ තමා අධික ධාරාව නිසා සිදු උන හානිය. මේක නැවත සකස් කරන්න ඕනේ. |
ඔයින් පස්සේ තමා මෝටර් වලට ධාරාව යන්නේ. මේවා සරල ධාරා මෝටර්. අපි දන්න පොඩි සරල ධාරා මෝටර් වල නිත්‍ය චුම්භකයක් එක්ක සල දඟරයක් නේ තියන්නේ. මේවයේ නිත්‍ය චුම්භක නැහැ. ක්ෂේත්‍ර දඟරයක් තියන්නේ ඒ වෙනුවට. මේ නිසා අපිට පුරුදු අග්‍ර 2ක් වෙනුවට, අග්‍ර 4ක් එලියට එනවා. ආමේචර් එකෙන් 2යි, ෆීල්ඩ් එකෙන් 2යි. මේවා සම්බන්ධ වෙන්නේ ශ්‍රේණිගත විදියට. ඒ කියන්නේ කොයිල් දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ වෙන විදියට.
ඔය ක්‍රමය සහ ඊට අදාළ දේවල් අධ්‍යයනය කරන්න තමයි මේ සතියේ දවස් හතරම ගත උනේ. ඊට අමතරව, කලින් සතියේ හදපු S8 – 840 මෝටර් කාර් එක අලුත්ගම ට ට්‍රයල් එකක් ගියා, සියලු දේවල් සම්පූර්ණ ද බලන්න. ඒ ගමනට මටත් සහභාගී වෙන්න හම්බුනා.
පරීක්ෂණ ධාවනය නිම කොට අලුත්ගම දී ආපසු ගමන සඳහා හැරවෙන S8 - 840. |
ඩීසල් - විදුලි ක්‍රමය මේ විදියට යොදාගන්නේ ඇයි, කෙලින්ම DC ජනනය කරලා නොගන්නේ ඇයි කියන ප්‍රශ්න වලට උත්තර ලබන සතියේ කතා කරමු. ඒ වගේම, මෝටර්, ජෙනරේටර් ගැන, ඊළඟ ෂොප් එකේදී අපිට සෑහෙන්න කතා කරන්න තියනවා. ඒ නිසා මේ සතියට විස්තරය මෙතනින් මම නවත්තන්නම්. ඊළඟ සතියේ හමු වෙමු.
වෙන මක්කවත් කියන්ඩ ඕන්නෑ.
ReplyDeleteවිශිෂ්ඨයි!
(සෑහෙන්න සිංහල තාක්ෂණික වචන ඉගෙනගන්නව මේකෙන්. බොහොම ස්තුතියි!)
ජයවේවා!
Myself Hattor
ස්තුතියි කමෙන්ටුවට!
Deleteඅදත් ආව පුරුදු ලෙසට අඟහරු අඩ්වියේ
ReplyDeleteතවත් වටින සටහනකුත් බැලුවා හදිසියේ
නොදත් බොහෝ විස්තරයන් ලියලා මෙහි තියේ
අපත් සමගෙ එය කිව්වට තුති දෙමි මෙම රැයේ....
වටිනවා.
ජයවේවා
ස්තුතියි අයියා!
Deleteහොඳ විස්තරයක්. නියමයි.👍👌
ReplyDeleteස්තුතියි!
Delete👍👍
ReplyDeleteස්තුතියි!
Deleteනියම විස්තරයක්.
ReplyDeleteස්තුතියි අයියා!
Deleteකලින් නොතිබුනු Medha microprocessor සවිකලායින් පසුව ලැබුනු වාසි මොනවද S9 කට්ටල් වලට...?
ReplyDeleteකොටින්ම කිව්වොත්, මුකුත් නෑ!
Deleteනියමයි මල්ලී 👌👌💓
ReplyDeleteස්තුතියි අයියා!
Deleteමේකේ ඉංග්‍රීසි වචන ටික දැම්ම එක හොඳයි. නැත්නම් වැඩේ තේරුම් ගන්න අමාරු වෙනවා. නියමයි
ReplyDeleteසිංහල පාරිභාෂික වචන සමහරක් ඒවා කියද්දී දිවත් නෑ..
Deleteමින් පසුව ඔබ ඡායාරූප පල කරණ විට; හැකි හැම විටකම පරිමාණයක් සමග පල කරණ්න! (මිනිහෙක් එක්ක අව්කන පිළිමෙ පින්තූර දානවා වගේ!)
ReplyDeleteමොකද අර ඕල්ටර්නේටරේ ඇත්තටම කොයි තරම්ද කියලා දැන ගන්න ඇති කැමැත්ත නිසා.
මම M1 එන්ජිම ඇථුලට ගිහින් තියෙනවා. මම දන්නා තරමට ඒක ජර්මන් එන්ජිමක්. ඒකට හයි කරලා තියෙන්නේ නැව් එන්ජිමක් කියලත් කවුදෝ මා සමග කීවා.
එළිසබෙත් මහ රැජීන ලංකාවට ආ පලමු වතාවේ ඇය ගමන් කොට තිබුනේ M1 එකක වගෙයි මතක.
මුල්ම කාලේ (මම හිතන්නේ ඩීසල් කියලා ආපු පලමු එන්ජිම වෙන්නෝන!) කොළබ ත්‍රිකුණාමලෙත් දිව්වේ M1 කියලා මම අහලා තියෙනවා. (ඔය කථාව කිව්වේ ගල් ඔය හංදිය ස්ටේශන් මාස්ටර්! මට ඒ වෙලාවේ අහන්න බැරි උනා යාල් දේවි ගැන!)
ඒකෙ ඇතුලෙ තියෙන ජෙනියාඩි 8ක විතර විශ්කම්භයක් තියෙන එකක්.
ඒ එන්ජිමේ දෙපැතේම රියැදුරු කුටි තියෙනවා. එන්ජිම ඇතුලෙන් ඒ පැත්තේ සිට අනිත් පැත්තට එන්න පුළුවන්!
ඔයා මේවා සියල්ල දන්නවා ඇති.
ඒත් මම ඔහේ ලිව්වා!
ඒ එන්ජින් අන්තිම කාලේ වැඩ කලේ මහව - මලේ, මහව - ගල් ඔය හංදිය වගේ පොඩි දුරවල්.
මුළු එන්ජිමම ඔයිල් ප්‍රයිමර් ගාලා වගේ!
තේරෙණ භාශාවෙන් කියනවා නම් රත් හඳුන් දෙහි ඇඹුලෙන් ගාලා වේලෙන්න ඇරලා වගේ!
ඒවායේ නොම්මර තිබ්බේ 560 වගේ ඒවා!
(මේක නිකං මැක්කාගේ කථාව වගේ නේද? මම කිව්වේ මගේ කමෙන්ට් එක!)
පරිමානයක් ඇතුව ගන්න කල්පනා උනේ නැහැ ඒ ෆොටෝ ගනිද්දී. හැකි විදියට එහෙම කරන්න බලන්නම්.
DeleteM1 එක එංගලන්තෙන් ගෙනාවේ. සබ්මැරීන් නෙවෙයි, නාවික කටයුතු සඳහා සැලසුම් කල ඩීසල් මෝටර් එකක් අවශ්‍ය විදියට සකස් කරගෙන තමා මේ කාර්යයට යොදාගත්තේ. හෝස් පවර් 1000ක එන්ජින් එකක්.