Saturday, October 21, 2023

කර්මාන්ත පුහුණුව - සතිය - 1

           පළවෙනි දවසෙම මට රිපෝට් කරන්න තිබ්බේ රත්මලාන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයට. මම උදෙන්ම මහනුවරින් මාතර බලා පිටත් වෙන කෝච්චිය අල්ලාගෙන, මරදානට ගියා. එතැනින් තව කෝච්චියක් අල්ලාගෙන රත්මලානට යද්දී නම් ටිකක් දවල් වෙලා. ගහක් වැටිලා මාර්ග අවහිරතාවයක් තිබ්බ නිසා මරදානට එන්න ටිකක් පරක්කු උනා.

          කොහොම හරි, එතැනින් අවශ්‍ය ලියකියවිලි අරගෙන, රත්මලාන දුම්රිය කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුල් වෙන්න අවශ්‍ය සේවා අවසරපත් එහෙමත් ලබාගෙන, දිවා විවේකය වෙලාවට ටිකකට කලින් ඇතුලට යන්න පුළුවන් උනා. 

පළවෙනියට ම ඇතුලට ගිය වෙලාව. ඔතනින් වමට තමා ෂොප් 27.

          කලින් කිව්වත් වගේ, මම පළවෙනියට අනුයුක්ත උන කර්මාන්තශාලාව තමයි අංක 27. මෙතනට මම යනකොට, ඒක භාර අධීක්ෂණ කළමනාකාර මහත්මයා හිටියේ නැහැ. මාව බාර දුන්නා සුපරීක්ෂකවරයෙකුට. සමස්ථ පුහුණු කාලය පුරාවටම මට ඉතාමත් කාරුණිකව හිතවත්ව සලකපු කුමාරසිරි මහතා තමයි ඒ. 

ෂොප් 27 ඇතුලේ දර්ශනයක්.

           කාලා එහෙම ඇවිත්, මට ටිකක් වෙලා ඉඳගෙන ඉන්න උනා. ඔය අතරේදී, කර්මාන්තශාලා පරිශ්‍රයේ කතා බහ වෙන රටාව, වැඩ කෙරෙන හැටි, ඉන්න ඕනේ යන්න ඕනේ තැන් ගැන කියල දුන්නා. සුපර්වයිසර් කුමාරසිරි සර් කිව්වට, පස්සේ මට අනික් අය කිව්වා කුමාරසිරි අයියා කියන්න කියල. ඒ වගේම, දවසට හතර පාරක් කාඩ් එක පන්ච් කරන්න ඕනේ එහෙම කියල දුන්නා. මම ඇඳන් හිටිය ෆුල් ෆෝමල් එක නම් වැඩ කරද්දී හරි යන්නේ නැති වෙයි කියල කිව්වට, එවෙලේ මාරු කරගන්න එකක් තිබ්බේ නැහැ. 

මේ ඇවිල්ලා මේ දුම්රිය කර්මාන්තශාලාවේ ම නිපදවපු පුංචි කෝච්චියක්. මේක B1 පන්තියේ ආකෘතියක් විදියට තමයි හදලා තියන්නේ. මෙයා තෙල් දහනය කරලා ඇත්තටම වාෂ්ප නිපදවලා තමයි දුවන්නේ. ආසන්නව අශ්ව බල දෙකක වගේ බලයක් නිපදවනවා. මේ වෙලාවේ කොහේ හරි ප්‍රදර්ශනයකට අරගෙන යන්න ලෑස්ති කරන ගමන්..

           ඒ වගේම, මෙතන වෙන හැම නඩත්තු කටයුත්තක්ම, ඉංජිනේරුමය කටයුත්තක්ම, සමාජ මාධ්‍ය වල ඵල කිරීම ඒ තරම් හොඳ නැහැ කියන එකත් මට අවබෝධ උනා. ජයාරූප ගැනීම ගැන මම පුහුණුවෙන කෙනෙක් නිසා ඒ තරම් ප්‍රශ්නයක් නොතිබ්බත්, මම හැම වෙලේ ම අහලා ඉන්න පරෙස්සම් උනා. ඒ වගේම, මේ වර්ක්ෂොප් එක යටතේ මට බාර වෙන හැම කටයුත්තකටම අදාළ කාර්මික චිත්‍ර, ඒ වගේම අනුයුක්ත වෙන සමහර ස්ථාන ගැන තොරතුරු එලියේ මාධ්‍ය වලට නොයවන විශ්වාසය මත තමයි ඒ දේවල් දුන්නේ. ඒ නිසා, මේ සටහන් පෙළේදීත් ඒ තොරතුරු ඉවත් කරලා තමයි ලියවෙන්නේ. ඒ ඉතිං දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන නීති හා ආචාර ධර්ම පද්ධතිය. මම ඒක මෙතන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ.

          දිවා ආහාර වෙලාව ඉවර වෙලා, කාඩ් එක එහෙම ගහලා ආවට පස්සේ, පළමුවෙනි කාර්යය විදියට, S8 – 840 බලවේග කට්ටල පවර් කාර් එකට අනුයුක්ත උනා, විදුලි පද්ධතියේ තිබ්බ දෝෂ ටිකක් නිවාරණය කරන්න යන කණ්ඩායම එක්ක. 

විවිධ සම්බන්ධක

           මේ වර්ක්ෂොප් 27 කියන කම්හලේ අංශ 3ක් තියනවා. එක එක අංශයට එක එක සතිය තමා අනුයුක්ත උනේ. පළවෙනි සතියේ S8 අංශය. මෙතැනදී මේ S8 කියන ජපන්/කොරියන් බලවේග කට්ටලයේ මෝටර් කාර් එක, සම්පූර්ණයෙන් ම යටි රාමුව දක්වා ගලවලා, අවශ්‍ය අලුත්වැඩියාවන් කරලා, නැවත එකලස් කරලා, පරීක්ෂණ ධාවනයෙන් පස්සේ සේවයට මුදා හරිනවා. මෙතනම අංක 28 ෂොප් එකත් තියනවා. ඒකෙන් තමා යාන්ත්‍රික පැත්ත බලන්නේ. රත්මලානේ ගොඩක් තැන් වල මේ විදියට යාන්ත්‍රික කම්හලක් එක්ක විදුලි කම්හලක් විදියට තමයි පිහිටලා තියන්නේ. 

S8 - 840 පාලන පද්ධතියේ කොටසක්..

           මේ S8 කියන්නේ ඩීසල් - ද්‍රවශක්ති ක්‍රමයට ක්‍රියාත්මක වෙන බලවේග කට්ටලයක්. මේකේ බල සැපයුම් මෝටරය MTU සමාගමේ නිෂ්පාදනයක්. ද්‍රව සම්ප්‍රේෂණය Voith L520 වර්ගයේ. මේ දෙකට අමතරව, තිරිංග සහ උපාංග ක්‍රියා කරවන්න අවශ්‍ය වායව බලය උත්පාදනයට වායු සම්පීඩකයක්, විදුලි ජනකයක්, සිසිලන පංකාවක් මේ මෝටර් කාර් එකේ එන්ජින් කාමරය තුල අඩංගු වෙනවා.

          අපිට මේ සතියට නියමිත උනේ, මේ 840 කියන පවර් කාර් එකේ විදුලි පද්ධතියේ දෝෂ ටිකක් නිරාකරණය කරන්න. පළවෙනියට ම, පාලන පද්ධතියේ පිළියවන (Relay) කිහිපයක් මාරු කරන්න උනා. මේ රිලේ එකක කාර්යය කිව්වොත්, අඩු ධාරා පාලන පද්ධතියකින්, අධි ධාරා පද්ධතියක් පාලනය කරන්න තමයි මේවා යොදාගන්නේ. මේවා වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය උඩ. රිලේ ගැන වැඩි විස්තරයක් මම කරන්නම් සංඥා උප දෙපාර්තමේන්තුවේ කොටසේ දී. 

පිළියවනය - Relay

           ඊළඟට ඔය එක්කම, ප්‍රධාන පහන් පරිපථයේ දෝෂ ටිකකුත් බෙල් කරලා හොයාගෙන නිරාකරණය කරා. ඊට අමතරව, මේ පවර් කාර් එකේ පිටිපස්ස කොටසේ තියන මගී කුටියට ආලෝකය සපයන පහන් වලට විදුලිය නොලැබීමේ දෝෂයක් තිබ්බා.

          මේකත් බෙල් කරගෙන ට්‍රේස් කරලා, අලුතින් වයර් එකක් ඇදලා ඒ දෝෂයත් නිරාකරණය කරගන්න අපිට හැකි උනා. මොකද්ද මේ බෙල් කරනවා කියන්නේ කියල හිතෙනවා නම්, ඒ කරන්නේ වයර් එකක හරි වෙන ඉලෙක්ට්‍රිකල් පාත් එකක, ඒ කිව්වේ සන්නායකයක, අඛණ්ඩතාවය පරීක්ෂා කරන එකට. මල්ටිමීටර් එකක බසර් මොඩ් එකට සමාන දෙයක් තමයි මෙතන වෙන්නේ. මේ බෙල් නම් මෙහෙ රත්මලානෙම ඇසෙම්බල් කරපුවා. දිග වයර් එක්ක. 

මගී මැදිරියේ පහන් පරිපථය අලුත්වැඩියාවෙන් පසු පරීක්ෂා කිරීම.

           ඒ වගේම, මේ S8 වල විදුලිය අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම, බැටරි ආරෝපණය කරගන්න සහ පාලන උපාංග සමහරකටත්, ඒ වගේම ආලෝකකරණය සඳහා. මේ ටිකට බලය සපයන්න පොඩි AC ජනකයක් ඩීසල්මෝටර් එකටම සම්බන්ධ කරලා තියනවා. මේකේ ප්‍රතිදානය පාලනය කරන්නේ, ස්ටේටර් දඟරයට දෙන වෝල්ටීයතාවය පාලනය කරලා (ඒ අනුව ඒ දඟරයේ චුම්භක ශක්තිය අඩු වැඩි වෙන නිසා). ඔන්න ඔය පාලන උපාංගය සහ, ඒ ජනකයෙන් එලියට එන වයර් එකෙත් දෝෂයක් තිබිලා නිවැරදි කරා.

          ඔය අතරම, ෂොප් එකේ තිබ්බ S10 පන්තියේ බලවේග කට්ටලයත් ටිකක් අධ්‍යයනය කරා. මේක ඩීසල් - විදුලි ක්‍රමයට වැඩ කරන එකක්. මේකෙදි කරන්නේ ඩීසල්මෝටර් එක කාඩන් ශාෆ්ට් එකක් හරහා ලොකු විදුලි ජනකයකට සම්බන්ධ කරනවා. මේක තෙකලා ජනකයක් (3 Phase alternator). මේ වර්ගයේ 882 කාර් එක ඇවිත් තිබ්බා වර්ක්ෂොප් එකට. මේකේ කොටස් ගලවන්න උනා. එතැනදී මම ඒ විදුලි ජනක ක්‍රියාවලිය එක්කම, කොටස් ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. 

මෝටර්  කන්ටැක්ටරය (Motor Contactor). මේ ගැන වැඩි විස්තරයක් ඊළඟ සතියේ කරනවා.

 

S10 පන්තියේ ප්‍රධාන ජනකයෙන් ඉවතට එන සම්බන්ධක රැහැන්.

          පළවෙනි සතිය ඉතිං ඔහොම තමයි ගෙවුනේ. මේ වර්ක්ෂොප් එකට යනකොටම, පරණ යාළුවො තුන් දෙනෙක් හම්බුනා. අචලිත අයියා, ප්‍රදීප් අයියා, චරිත් මධුසංක අයියා තමයි ඒ. ඉතිං ලොකුවට අවුලක් පාළුවක් දැනුනේ නැහැ එයාලා හිටි නිසා. ඒ වගේම, මම පළවෙනි දවසේ උදේ පිටත් වෙනකොටත්, එදා රෑට වත් ඉන්නේ කොහෙද කියල හරිහමන් අදහසක් තිබ්බේ නැහැ ස්ථිරව. නවාතැනක් හොයාගන්න රසික අයියා ගොඩක් උදව් කරා.

          ඔහොම වැඩ ටික කරගෙන, සිකුරාදා මම ගියා ෆෝමන් මහත්තයා හම්බ වෙන්න. දැන් නම් ෆෝමන් කියන තනතුර අධීක්ෂණ කළමනාකරු කියල වෙනස් වෙලා. මේ ෂොප් එක බාරව හිටියේ සහබන්දු කියල මහත්මයෙක්. මම පළවෙනියට ගිහින් කතා කරාම කිව්වා “රිපෝට් එක ලියනවා නේද, හැබැයි පොත් වල තියන තියරි එහෙම ලියාගෙන එන්න එපා, කරපු වැඩ විතරක් ලියන්න” කියලා.

          ඇත්තටම මම ඒ උපදෙස මගේ අන්තිම දවස වෙනකල් ම අකුරට ම පිළිපැද්දා. ඒ වගේම, පළවෙනි සතියෙම මම හිතාගත්තා මෙතනින් උපරිමය අරගන්න ඕනේ කියල. ඔය ටිකත් කරගෙන, සිකුරාදා හවස මම ගෙදර ආවා හවස 4.35 කෝච්චියේ.

          ඊළඟ සතියේ වැඩ එක්ක, ලබන සෙනසුරාදා හම්බෙමු. 

17 comments:

  1. නියමයි. ඔහොම යමු.👌🙏

    ReplyDelete
  2. ඇත්තම අලි බැලිල්ලයි බලි බැලිල්ලයි ඇති වෙන්නේ නෑ කිව්වට; කෝච්චි බැලිල්ලත් එහෙමම තමයි.
    මගේ දුම් රිය මතක ආරම්භ වෙන්නේ නානු ඔය දුම් රිය ස්ථානයෙන්. ඒ තාත්තා සමග වොරන්ට් එකෙන් සිය පවුල පිරිවරා ගිය ගමනකදී. ඒ කාලේ උඩ රට දිව්වේ රම්පාල මහත්තයාගේ W ක්ලාස් කොල පාට එන්ජින්! තවමත් ඒ මතක එහෙමමයි!
    ඔබ ඒ මතක අවුස්සමින්!

    ReplyDelete
    Replies
    1. W class තාම දුවනවා අවුරුදු ගානකට පස්සෙත්. ට්‍රේනිං එකේ සතියක් මට ඒවා එක්ක වැඩ කරන්නත් හම්බුනා. මම ඒ ගැන ලියන්නම් ඒ සතියට..

      Delete
  3. ඇරඹුම හොදයි ඒ දිනයේ සුබ පෙණුනා
    සතියෙම බොහෝ දේවල් දැණුමට ලැබෙනා
    වෙනමම දෙයක් එන සතියේ ඔබ ලියනා
    මග මම හිදිමි කියවන්නට සිත දුවනා

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කවි සිතිවිල්ලට ස්තුතියි!

      Delete
  4. පිළියවනය -අන්න අවයවය! (රවියාගේ මාමන්ඩිගෙන් බ'රෝ කරන ලදී)
    මං කාලෙකට ඉස්සර ලියූ කෝච්චි කතාව මරදානෙන් පටං අරං තාම කොටුවේ!
    ඒකෙ ඊළඟ කොටසේ ඔය පිළියවනයෙ කේස් එකක් තියෙනවා!

    ඇත්තමයි ලොකු සර්, ඔය වචනේ මුලිම්ම ඇහුවෙ දැක්කෙ අදමයි. තැන්කිව් වේවා!

    ඔබට ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අඟහරු අඩවියට!
      ඉන්න මමත් එන්නම් ඒ කතාව කියවන්නත්.

      Delete
  5. සීයා, තාත්තා දෙන්නම රේල්ලුවේ
    වැඩ කෙරුවා- ඒ හින්දා ණයක් තියේ
    කෝච්චියක් දකිනා විට ඇන්නෑවේ
    හීල්ලෙයි- දැනුත් ඒකයි සිදු වූවේ

    ReplyDelete
    Replies
    1. මගේ නම් අත්තගේ නෑයෙක් සහ අපේ නැන්දා කෙනෙක් විතරයි රේල්ලුවේ වැඩ.

      Delete
  6. නියමයි නියමයි.
    ඔහොම යං.

    ReplyDelete
  7. නියමයි ,දිගටම ලියමු...මල්ලී 👌👌❤️‍🔥

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා.. තව එහෙමම කතාව..

      Delete
  8. මේ දුම්රිය කතා මරු

    ReplyDelete